නිවස සංවාද නිර්මාණයක් ඇතුළේ මුලින්ම රූප දකින්නේ තිරරචකයායි

නිර්මාණයක් ඇතුළේ මුලින්ම රූප දකින්නේ තිරරචකයායි

යොවුන් මාධ්‍යවේදි ටෙලි-සිනමා තිරරචක නිදුක් මධුෂික

by Thanushika
April 25, 2024 12:30 am 0 comment

මේ දිනවල විකාශය වන “ප්‍රාර්ථනා, සැලෙනා නුවන්, හිරු ටෙලි සිනමා සිත්තම” ආදී ටෙලිනාට්‍යයන්හි මෙන්ම “කම්බිලි” චිත්‍රපටය ආදියේ තිරරචකයා සේම තරුණ ජනමාධ්‍යවේදියකු ද වන නිදුක් මධුෂික සිය තිරරචනා කලාව පිළිබඳවත් සිය මාධ්‍ය කලා දිවිය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් සරසවිය හා මෙසේ එක්විය.

මේ දිනවල විකාශය වන ඔබේ තිරරචනයක් වූ නවතම ටෙලිනාට්‍යය වූ “ප්‍රාර්ථනා” ගැන කතා කළොත් …….?

“ප්‍රාර්ථනා” කියන්නේ මගේ 03 වැනි ටෙලිනාට්‍ය පිටපත. මේ ටෙලිනාට්‍යය සතියේ දිනවල රාත්‍රී 9:30ට දෙරණ ඊඍ ඔස්සේ විකාශය වෙනවා.. මෙහි ප්‍රස්තුතය වෙන්නේ තමන්ගේ දරුවා ඉපදෙනවිටම නැතිවුණා කියලා සිතාගෙන අවුරුදු 10ක් නගරයේ ජීවත්වුණු අම්මා කෙනෙක් ගැනයි. ඇය හදිස්සියේම දැනගන්නවා තමන්ගේ දරුවා ජීවත්වෙනවා කියලා. එවිට් ඒ අම්මා දරුවා සොයාගෙන එනවා. එතැනින් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. දරුවා සොයාගෙන යෑමේ වගකීම පැවැරෙන්නේ එයාගේ ලොකුදුවට. ඇය සංගීතය සමඟ ජීවත්වෙන දරුවෙක්. ඇය සංගීත පන්ති පැවැත්වීමේ අරමුණින් ගමකට ඇවිත් එතැනින් පසු ගමේ කතාව ගොඩනැඟෙන කුතුහලයෙන් යුතු කතාවක්. “ප්‍රාර්ථනා” අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දයි. නිෂ්පාදනය හර්ෂ උඩකන්දගේ බිරිඳ ශලනි ප්‍රනාන්දුයි. ලාල් වීරසිංහයි. නගරයේත් ගමේත් මෙහි රූගතකිරීම් සිදුවෙන වෙනස්ම විදිහක කතාවක්.

ඔබේ අනෙකුත් ටෙලිනාට්‍ය තිරරචනා එක්ක සංසන්දනය කිරීමේදී “ප්‍රාර්ථනා”හි තිරරචනය වෙනස්වන්නේ කවර අයුරින් ද…..? “ධරණි” සහ “සැලෙනා නුවන් ” ටෙලිනාට්‍ය දෙක සමඟයි මෙහිදී සංසන්දනය කරන්න වෙන්නේ. “ධරණී” ගත්තොත් ළමයි දෙන්නා සමඟ තනිවෙන බිරිඳක් ගැනයි කියවෙන්නේ. ළමයින්වත් හදාගෙන සාර්ථකව ජීවත්වෙන්න හදන කාන්තාවක් ගැන එහි කියවෙන්නේ . සටන් ජවනිකාත් ඇතුළත් ටෙලිනාට්‍යයක්. සටන්වලට මූලිකත්වය දෙමින් ගොඩනඟාගත යුතු කතාවක්. “සැලෙනා නුවන්” ගත්තොත් ගමක කතාවක්.ගමේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින මිනිස්සුන්ගේ ශ්‍රමයට වටිනාකමක් නොදෙන අසාධාරණව වැජඹෙන මුදලාලි කෙනෙක්ට විරුද්ධව උපාධිධාරී තරුණයෙක් නැඟීසිටින කතාවක්. එම ටෙලිනාට්‍ය දෙකේම තිරරචනා සමඟ බලද්දී මවු සෙනෙහස පාදකවුණු, දරුවෙක් අහිමිවූ මවක් පිළිබඳ කියවෙන සංගීතය ද එයට මුසුවූ කතාවක් “ප්‍රාර්ථනා” කියන්නේ. මේ කතා තුනේම කතා තේමාව පවා වෙනස්. මෙහි චරිත එකිනෙකට වෙනස්. “ප්‍රාර්ථනා” පිටපත ලියවෙන්නේ සංගීතය ආශ්‍රයෙන් . “ධරණී” ගත්තොත් සටන් ආශ්‍රයෙන් ලියවෙන්නේ. “සැලෙනා නුවන්” ගම ආශ්‍රයෙන් ලියවෙන්නේ. “ප්‍රාර්ථනා” නගරයත් ගමත් මිශ්‍රවුණු ගතිලක්ෂණ ඇති මිනිස්සුන්ගේ කතාවක්. “ප්‍රාර්ථනා”හි යම් වෙනස් ආකෘතිකමය ලක්ෂණ කිහිපයක් දක්නට ලැබෙනවා. මට තිරරචනයට එය පහසුවක් වුණා. මොකද මම ඒ චරිතවලට දායකවෙන කෙනා සහ දර්ශනතල ගැන අවබෝධයකින් ඒ කතාව ලියන්නේ. “ධරණි” ගත්තත් “ප්‍රාර්ථනා” ගත්තත් තිරරචනය ලියා තමයි ශිල්පීන් තේරීම දර්ශනතල තේරීම සිදුවුණේ. “සැලෙනා නුවන්” හිදී ඒ ගැන අවබෝධයක් තිබුණු එක එහි සාර්ථකත්වයට හේතුවක් කියා සිතනවා. උදාහරණයක් ලෙස තිරරචනය ලියා ලොකේෂන් බලන්න ගියාම ගෙයක් කිව්වොත් එහි ඇතුළත දර්ශන කිව්වොත් ඇතුළත දර්ශනය රූගත කරන්න පුළුවන් ලොකේෂන් එකක් සොයන්නේ. එය පරිකල්පනය ඇතුළේ තිබුණුදේම නොවෙන්න පුළුවන්. එවිට ඒ රහම සමහරවිට එන්නේ නැහැ. ලොකේෂන් බලලා ලියන්න ගත්තම රූගත කිරීම් පහසුයි කියා සිතෙනවා. ඒ අවබෝධය තියෙන නිසා. එවිට එය සාර්ථකයි කියා මම සිතනවා. තිරරචනයේ මගේ උපරිම දායකත්වය මම දෙනවා. කතාවක් ගොඩනැඟීමේදී තිරරචනයයි මූලික වෙන්නේ. මගේ සේවය හරියට දුන්නේ නැත්නම් ඒ නිර්මාණය අසාර්ථක වෙනවා. අසාර්ථක තිරරචනයකින් සාර්ථක නිර්මාණයක් බිහිවෙන්නේ නැහැ කියන දේ මම හොඳීන්ම දන්නවා

ඔබේ තිරරචනයෙන් හැඩවූ “සැලෙනා නුවන්” ටෙලිනාට්‍යය ද ඉතා ජනප්‍රියයි. එහි ජනප්‍රියත්වයට ඔබේ තිරරචනය කොතෙක්දුරට බලපෑවාදැයි පැහැදිලි කළොත් ……?

“ධරණි” තිරරචනය ලියා මට මාස 06ක නිදහස් කාලයක් ලැබුණා. ඒ කාලේදී චිත්‍රපටයක් ලිව්වා. ඉන්පසු “සැලෙනා නුවන්” සඳහා මට ඉඩහසර ලබාගන්න පුළුවන් වුණා .මම මෙහි කතාවක් ගොඩනඟලා දළ සැලැස්මක් හදාගෙන ලොකේෂන් බලන්න යන්න නිදහසක් තිබුණා. අපේ පරිකල්පනය තුළ තිබ්බා ගමක කතාවක් කරන්න ඕන කියලා. ඒ වගේ ගමක් සොයාගන්න පුළුවන් වුණා. ස්ක්‍රීන් ටෙස්ට් එකේදී මගේ ඔළුවේ තිබුණු චරිත තෝරාගන්න පුළුවන් වුණා.

තිරරචකයාට නිර්මාණය තුළ සිය පරිකල්පනය එලෙසම රඳවාගත හැකිද…..? ලංකාවේ කර්මාන්තයක් ලෙස තිරරචනා කලාව ස්ථාවර වෙලා නැති නිසා ලැබෙන මුදලත් එක්කයි නිර්මාණ කරන්න සිදුවෙන්නේ. පරිකල්පනය සහ අත්දැකීම් එක්ක හොඳට පිටපතක් ලියන්න හැකියාවක් තිබුණත් බාහිර කරුණුත් සමඟ (මුදල් ප්‍රශ්නය, නිෂ්පාදන ආයතන තිරරචකයාගේ දායකත්වය ගැනීම වැනි)තමයි තිරරචකයාට වැඩකරන්න වෙන්නේ. මේ ක්ෂේත්‍රය පවතින ක්‍රමයත් එක්ක තිරරචකයාට කටයුතු කරන්න වෙන්නේ යම් සීමාවකට යටත්වයි. තිරරචකයා කොතරම් හොඳීන් ලිව්වත් අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණය තුළින් තිරරචකයාගේ ආබ්‍යානයම ද එළියට එන්නේ කියන ප්‍රශ්නයත් මතුවෙනවා. තිරරචකයාව ප්‍රේක්ෂකයා කියවාගන්නේ සිනමාවේ හෝ රූපවාහිනියේ පෙන්වන රූපරාමු තුළින්. රූපරාමුවලින් තිරරචකයා බාහිර සමාජය කියවාගන්නේ. රූපරාමු මත තිරරචනය නිශ්චය කිරීම කොතරම්දුරට සාර්ථක ද යන ප්‍රශ්නය මට තියෙනවා

ඔබ මාධ්‍යවේදියෙක්. මාධ්‍යවේදී රැකියාව එක්ක තිරරචනා කලාව එකට බැඳී තිබෙන බව පැහැදිලියි. මාධ්‍ය වෘත්තිය සමඟ ඔබේ තිරරචනා කලාව සුසංයෝග වන අයුරු පැහැදිලි කරනවා නම් …..?

මගේ යාළුවන්ට තිබුණේ සාම්ප්‍රදායික රැකියා කතන්දර ටිකක්. මට ඒක ඇතුළේ එහෙම ආත්මතෘප්තියක් ලැබුණේ නැහැ . මට දැනෙන දේ කළයුතුයි කියන අදහසයි මට තිබුණේ. මට දැනෙන හැම හැඟීමක්ම ලියන්නයි මම පටන්ගත්තේ. මට හරි පහසුයි යම් කෙනෙක්ට දෙයක් කියනවට වඩා ලියන එක. මෙය වෘත්තියක් කරගත යුතුයි කියන අදහස මට තිබුණෙත් නැහැ. මේක ඇතුළට එන්න ඕන කියලා යම් අවකාශයක් සොයමින් මම හිටියේ. මුලින්ම පටන්ගත්තේ මට දැනෙන දේ කවි, නිසඳැස්වලින් පත්තරයට ලිවීමටයි. මම යවපු දේවල් පත්තරවල පළවීමෙන් මට උත්තේජනයක් ලැබුණා මම ලියන දේ දැනෙනවානේ, පළවෙනවානේ කියලා. ඉන්පසු මම කොළඹට ඇවිත් “අද, තරුණයා, සිරිකත” වගේ පත්තරවලට ලියන්න ගන්නවා. මේ තුළ මට හොඳ විශේෂාංග ලියන්න අවකාශයක් ලැබෙනවා. මට කොළඹ නගරය ඇතුළේ ගොඩාක් අය එක්ක ගනුදෙනුවකට අවස්ථාව ලැබෙනවා . බන්ධනාගාරවලට ගිහින් ආර්ටිකල් ලියනවා, ඩ්ධ්ඍ ආසදිත අය, මත්ද්‍රව්‍ය පානය කරන්නන් හමුවී ඒ ගැන ලියන්න ගන්නවා. කලාව පිළිබඳ විශාල විශේෂාංග ලිපි ලිව්වා. නවකතා පුවත්පත්වලට ලිව්වා. එහිදී ලැබෙන මුදල එක්ක කොළඹ ජීවත්වීම අපහසු වීම නිසා වෙනත් දෙයක් කළයුතුයි කියා මට සිතුණා. ඉන්පසුව තමයි තිරරචනා කලාවට යොමුවෙන්නේ.

මෙරට තිරරචනා කලාවේ වෘත්තියමය පසුබිම ගැන කතා කළොත් …..?

වෘත්තියමය වශයෙන් මෙහි අස්ථාවර බවක් තිබෙනවා. මාධ්‍ය අධ්‍යයනය හදාරන සිසුන් පවා එනිසා මෙය වෘත්තියමය වශයෙන් කරන අවකාශය අඩුබවක් පේනවා. තිරරචනය උගන්වන ආයතනවල පවා න්‍යායාත්මක කරුණු තමයි උගන්වන්නේ. මේ තුළ ස්ථාවර වීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. අමෙරිකාව වගේ බටහිර රටවල “රයිට් ඔෆ් බිල්ඩ් ඔෆ් අමෙරිකා” කියා තිබෙනවා. ඔවුන්ටම හැදුණු න්‍යායපත්‍රයක් තිබෙනවා. ඒ න්‍යාය පත්‍රයමයි සමස්තයක් ඇතුළේ වැඩකරන්නේ.. ඒ රටවල තිරරචනයට හොඳ කර්මාන්තයක් නිර්මාණය වී තිබෙනවා. ලංකාව වගේ කුඩා ප්‍රේක්ෂකාගාරයක් ඉන්න රටක කර්මාන්තයක් ලෙස කටයුතු කිරීමේ හැකියාවකුත් නැහැ. අනෙක ප්‍රේක්ෂකාගාරය තුළ තිරරචනා ශිල්පියාව හඳුනාගැනීමේ අවකාශයක් මදි වගේ දෙයක් තිබෙනවා.

මෙරට සිනමාව, රූපවාහිනිය වැනි මාධ්‍ය තුළ තිරරචනා කලාව ස්ථානගත වී ඇති ආකාරය කවරේදැයි පැහැදිලි කළොත් …..? රූපවාහිනියේ නම් තිරරචකයාව තෝරාගන්නේ නිෂ්පාදක ආයතනය විසින් නැතහොත් අධ්‍යක්ෂවරයා.සමහර අවස්ථවලදී චැනල් එකෙන් තිරරචකයා තෝරාගන්නවා.එතැනදී නිර්මාණ ඇතුළේ වැඩකිරීමේදී අන්තගාමී විදිහට බැඳෙන්නට තිරරචකයාට සිදුවෙනවා. ස්වාධීනත්වය නැති වාතාවරණයක් එතැන හැදෙනවා. එහිදී රචකයාගේ නිර්මාණයට සාධාරණයක් සිදුවෙන්නේ නැහැ .රචකයා, රංගන ශිල්පියා , අධ්‍යක්ෂවරයා යන තිදෙනාගේ පරිකල්පනය එකක් වුණොත් තමයි ප්‍රේක්ෂකයාට විශ්වසනීය චරිතයක් දෙන්න පුළුවන් වෙන්නේ. සිනමාව තුළනම් එහෙම ලොකුවට අදහසක් දක්වන්න අපහසුයි. මම සිනමාව තුළ ලොකුවට දායකත්වයක් නැති නිසා.

පාසල් අවධියේත් ලේඛනයට නැඹුරු වී සිටියාද……?

පාසල් කාලයේත් ලියන්න පටන්ගත්තා .කවි, කතා ලිව්වා.පාසල් සමිතිවල න්‍යායපත්‍ර ලිව්වා

මාධ්‍යවේදියකු ලෙස ඔබට වෘත්තියමය පදනම වැටුණු ආකාරය කෙසේද….?

මා කලින් කිව්වා වගේ පුවත්පත් කලාවට යොමුවුණා. මාධ්‍ය කලාව පිළිබඳ පාඨමාලා කිහිපයක් කළා. පුවත්පත් මාධ්‍යයට ආවම නොයෙක් අත්දැකීම් ලබමින් කටයුතු කළා. ජ’පුර විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන ඩිප්ලෝමාවත් කළා.

තිරරචනා කලාවට අවතීර්ණ වූ ආකාරය සහ මුල්ම තිරරචනය ගැන මතක් කළොත් …..? මෙහිදී කංචන දසනායක සර්ව මතක් කළ යුතුයි.ඔහු “අද” පත්තරේ හිටපු කර්තෘ.ඔහු කිව්වා සිරස එෆ්. එම්.හි ගුවන්විදුලි නාට්‍යයක් ලියන්න කිහිපදෙනෙක් සොයනවා ඔයා යන්න කියලා.එහිදී මගේ පිටපතක් තෝරාගෙන කරන්න අවස්ථාවක් ලැබෙනවා .ඉන්පසු 2014දී ගුවන්විදුලි නාට්‍ය ලියන්න පටන්ගත්තා.එහෙමයි මාධ්‍යවේදියකු ලෙස තිරරචනා කලාව ආරම්භ කරන්නේ.. එතැන් සිට මේ දක්වා ගුවන්විදුලි නාට්‍ය ලියනවා. ගුවන්විදුලි නාට්‍ය ලියමින් ඉද්දී මට ටෙලි, චිත්‍රපට ලියන්නත් අවස්ථාව ලැබෙනවා. එය මට හොඳ අභ්‍යාසයක් වෙනවා. එහෙම නාට්‍ය 30ක් වගේ ලියාතිබෙනවා. ඉන්පසුවයි ටෙලිනාට්‍ය ලියන්න යොමුවෙන්නේ.එහිදී “ධරණී” ලියන්න යොමුවුණා. දෙරණ ටෙලිනාට්‍ය අංශයේ ප්‍රධානියා වූ චරිත් කොතලාවල මහතාව, දෙරණ උපසභාපති ලක්සිරි වික්‍රමගේ සර්වත් මතක් කළ යුතුයි

මෙරට තිරරචනා කලාව අධ්‍යයනය සඳහා ඇති ආයතන පිළිබඳ සෑහීමකට පත්විය හැකිද…..?

එසේම විශ්වවිද්‍යාල විෂය නිර්දේශය තුළ සිනමා, ටෙලි තිරරචනයට ඇති අවකාශය ගැන ඔබේ මතය කවරාකාරද …..?

තිරරචනා කලාව ඉගෙනගන්න කියා වෙනම ආයතනයක් නැහැ. තිබෙන්නේ සිනමා අධ්‍යක්ෂණය , කැමරාකරණය වැනි අංශ පිළිබඳ ඉගෙනීමට ඇති ඒවායි. එහි වෙනම මාතෘකාවක් ලෙසයි තිරරචනය තිබෙන්නේ..තිරරචනය ඉගෙනීමත් එළියේ වැඩකිරීමත් දෙකක්. විෂය නිර්දේශයයි ක්ෂේත්‍රයේ වැඩකරන ආකාරයයි සම්බන්ධ කරගන්නවා නම් වඩාත් සාර්ථකයි කියා හිතනවා

සිනමා තිරරචනයේදී ඔබේ භූමිකාව පැහැදිලි කළොත් ……?

ඒ ගැන කීවොත් “ධරණී” ටෙලිනාට්‍යය ලියා අවසානයේ ලැබුණු අවකාශය තුළ කළ වැඩක් තමයි “කම්බිලි” චිත්‍රපටය . එහි කතාව, දෙබස්, තිරරචනය මගේ.මට එහි තිරපිටපත කිහිපවරක්ම ලියන්න අවස්ථාව ලැබුණා. මටම තේරෙනවා ලිව්වට මේක මදි වගේ කියලා. තිරරචනය ගැන මම සෑහීමකට පත්වූවාට පසුවයි සිනමා නිර්මාණයට එය භාරදුන්නේ.එහි තිරරචනයේදී මට මැවෙන චරිත මම විසින්ම මැව්වා. “කම්බිලි” නිෂ්පාදක පවා තිරරචනය බලලයි එහි නිෂ්පාදනය භාරගත්තේ

ඔබේ නවකතාකරණය ගැන සඳහන් කරනවා නම් සහ ඒ අතරින් ඔබ පෞද්ගලිකව වඩාත් කැමැත්තක් දක්වන නවකතාවක් තිබේද….?

මම පුවත්පත්වලට විතරයි නවකතා ලියා තියෙන්නේ .ඒක ඇත්තෙන්ම ලොකු අභ්‍යාසයක් වුණා.පුවත්පතකට නවකතාවක් ලිවීමේදී දිගටම ලියන්න බැහැ. සතියකට වරයි ලියන්න වෙන්නේ. පොතක් ලෙස නවකතාවක් ලිවීමේදී සිදුකරන ක්‍රමවේදයට වඩා පුවත්පතකට ලිවීමේදී අනුගමනය කරන ක්‍රමවේදය වෙනස්. “අමාන්තය” නමින් ලියූ නවකතාවට මගේ කැමැත්තක් තිබෙනවා. ඒක තරමක් වෙනස් නවකතාවක්. විවාහවූවට පසු මිනිසුන්ගේ ප්‍රශ්න එක්ක ඔවුන් ගනුදෙනු කරන ආකාරය, ආධ්‍යාත්මික බැඳීම්, ලිංගික බැඳීම් වැනි දෑ කෙසේද වෙන්නේ කියන දේ ගැන අවධානය යොමුකරමින් එය රචනා කළේ. දැනට ලියමින් යන නවකතාවටත් කැමැත්තක් තිබෙනවා .එය වෙනස්ම වැඩක් ලෙස මම දකිනවා

කලා කෘතියක අධ්‍යක්ෂ , සහය අධ්‍යක්ෂ , නිෂ්පාදක, කලා අධ්‍යක්ෂ , කැමරා ශිල්පි ආදී භූමිකා සමඟ තිරරචක භූමිකාව විශේෂවනුයේ කවරාකාරයෙන් දැයි ඔබ සිතන්නේද……? කලා කෘතියක ඉහත කී භූමිකා සමස්තයටම මූලික වශයෙන් බලපාන්නේ තිරරචනයයි. ඒක හරියට කණ්ඩායම ඇතුළේ බයිබලය වගේ. මම සෑමවිටම උත්සහ කරන්නේ ඉහත කී පිරිසට සහයෝගයක් ලැබෙන විදිහට තිරරචනා ලියන්න.

ගීත රචනය තුළ ඔබේ ස්ථානය කුමනාකාරද ….?

මම එහෙම ලොකු ගීත ප්‍රමාණයක් ලියලත් නැහැ . එහෙම ලියන්න තරම් උණක් මට තිබුණෙත් නැහැ. ටෙලියකට හෝ වෙනත් දෙයකට ගීතයක් ලියන්න කියා අහම්බෙන් අවස්ථාවක් ආවොත් මිසක් මමම මෙය කළයුතුයි කියා හිතලා ගීත ලියා නැහැ. සීමිත ගීත ප්‍රමාණයක් මම ලිව්වේ.

මෙගාරැල්ලේ ටෙලිනාට්‍ය අනවශ්‍ය ලෙස දීර්ඝ කරන බවටත් තිරරචකයා එහි ආරම්භය, මැද, අවසානය කෙරේ අවධානයක් නොමැතිව ලියාගෙන යන බවටත් එයින් රසවින්දනය හීන වන බවටත් චෝදනා තිබෙනවා .එකී කරුණ ඔබ දකින්නේ කෙසේද……?

ඒ වගේ ටෙලිනාට්‍යයක වැඩකරන පිරිසට වෘත්තියක් ලෙස අවුරුදු 01ක් 02ක් පමණ ස්ථාවරත්වයක් තිබෙනවා . එකදිගට වැඩතිබෙන නිසා. ප්‍රේක්ෂකයාගේ රසය එලෙසම පවත්වාගෙන යමින් රචනය කරන්න පුළුවන් නම් එය තිරරචකයාගේ සාර්ථක බවක් ලෙස මම දකිනවා. ඒවගේම මෙවැනි ටෙලියක රංගනයට එන කෙනෙක් ටෙලිනාට්‍යය අතරතුර රට හැරයාමක් වගේ වුණොත් ටෙලිනාට්‍ය කණ්ඩායමට හදිස්සියේ කරන්න දෙයක් නැතිවෙනවා. සමස්ත ටෙලිනාට්‍ය කණ්ඩායමම අසරණ වෙනවා.

ටෙලි තිරරචනයේදී ඔබ හා අධ්‍යක්ෂ අතර ගනුදෙනුව කෙබඳුද….? එහිදී නළුනිළියන් තෝරාගැනීමේ කාර්යයේදී ඔබේ දායකත්වය කෙසේද …..?

ඒ ගනුදෙනුව තමයි හොඳීන්ම තියෙන්න ඕන. ඒ ගනුදෙනුව තුළ නිසි අවබෝධයකින් වැඩකළොත් තමයි නිර්මාණය විශ්වසනීයත්වයකින් ප්‍රේක්ෂකයාට ලබාදෙන්න පුළුවන් වෙන්නේ. “ධරණී, සැලෙනා නුවන්” ටෙලිනාට්‍යවලදීත් මාත් අධ්‍යක්ෂත් අතර නිසි අවබෝධය තිබුණා. නළුනිළි තෝරාගැනීමේදී අපි දෙදෙනාට අමතරව දෙරණ උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහතාත් අපට සහය දෙනවා.අපි සාකච්ඡා කර වඩාත් හොඳම දේ කරන්න උත්සහ කරනවා .අධ්‍යක්ෂවරයා සමඟ ගනුදෙනුවේදී සෑම රූගතකිරීමකටම පෙර අපි හමුවෙලා කතා කරනවා. දුරකතනයෙනුත් බොහෝ වේලාවක් ඒ ගැන කතා කරනවා

“ධරණී” තිරරචනය ඔබේ තිරරචනා කලාව තුළ විශේෂවෙන්න ඇති…..?

“ධරණී” කියන්නේ මම පටන්ගත්ත තැන. දෙරණ නාට්‍ය අංශ ප්‍රධානි චරිත් කොතලාවල මහතා තමයි මට මුලින්ම මෙයට කතා කරන්නේ .ඔහු මාව ලක්සිරි සර්ට මුණගස්වනවා. මෙහි කන්සෙප්ට් එක ලක්සිරි වික්‍රමගේ සර් තමයි දෙන්නේ. ඒ එක්කම මම කතාව ගොඩනඟනවා.අධ්‍යක්ෂ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායකත් මගේ වයස වගේ නිසා අපේ ගනුදෙනුව සාර්ථකයි..ඔහුගෙන් මට හොඳ දායකත්වයක් ලැබුණා . “ධරණී” මගේ පළමු දීර්ඝ ටෙලිනාට්‍ය පිටපත. ඒක ඇතුළේ මට වැරදීම් ගොඩක් වෙන්නත් ඇති. “ධරණි” විකාශය වන අතරේ මම සෑහෙන්න දේ ඉගෙනගත්තා. විශාල අත්දැකීම් ලැබුවා. මම එහිදී ලියන්නේ ළමයි දෙන්නා එක්ක තනිවුණු මවක් ගැන වගේම සටන් ශිල්පය ගැන.මම ඒක ලියද්දී පිරිමියෙක් වගේම අවිවාහකයි. එතැනදී මට ලොකු වෙහෙසක් ගන්න වුණා එවැනි කෙනෙක්ගේ අත්දැකීම් මොනවගේද කියා අධ්‍යයනය කරන්න

1990 දශකයේ ටෙලිනාට්‍ය සහ අද විකාශය වන මෙගා ටෙලිනාට්‍ය අතර වෙනස ඔබ දකින්නේ කෙසේද ….?

ඔව්, 1990 දශකයේ රූපවාහිනී නාලිකා සීමිතයි. ඒ තත්ත්වය තුළ තරඟකාරීත්වයක් තිබුණේ නැහැ .ඒ තුළ පරිකල්පන අවකාශයට ඉඩක් තිබුණා. ආනන්දයෙන් ප්‍රඥාවට යෑමක්. ඒ නිර්මාණ කියවාගත හැකි කාලයක් තිබෙන තත්ත්වයක් තිබ්බා.අද වෙද්දී ආර්ථික, සමාජ, දේශපාලන ක්‍රමය එක්ක ඒ හැමදේම වෙනස්වෙලා.පවතින ක්‍රමයත් එක්ක හැමදේම වෙනස්වී තරඟකාරීත්වයත් වැඩිවෙලා.නිර්මාණ මුදාහැරීමේ අවකාශය පුළුල් වෙලා.වෙනත් ආකාරයේ වෙළෙඳපොළක් නිර්මාණය වෙලා.මාධ්‍ය වෙළෙඳපොළ තුළ මාධ්‍ය ආයතනවලට අනුව කටයුතු කරන ක්‍රමයක් ඇතිවෙලා.1990 දශකයේ ටෙලිනාට්‍යයක් අද ප්‍රේක්ෂකාගාරය භාරගන්න විදිහ වෙනස්. ඒ දේවල් එක්ක අද ටෙලි රචකයා තුළ වැරැද්දක් දකින්න බැහැ.

යම් නිර්මාණයක චරිත ගොඩනැඟීමේදී ඔබ පරිකල්පනයට දෙනු ලබන ඉඩප්‍රමාණය පිළිබඳ පැහැදිලි කළොත් ……..?

මම සෑමවිටම උත්සහ කරන්නේ අපට සමීප පෞද්ගලික අත්දැකීම්වලට වැඩි අවස්ථාවක් දෙන්න. එවිට විශ්වසනීයත්වයෙන් එය ගොඩනඟා ගැනීමේ හැකියාවක් තිබෙනවා .පරිකල්පනය ඇතුළේ සිදුවීම් ගොඩනඟද්දී එහි විශ්වසනීයත්වය රැකගැනීමට මම පරිස්සම් වෙනවා.එසේ විශ්වාසනීයත්වයක් නැතිවුණොත් ප්‍රේක්ෂකාගාරය එය භාරගන්න අයුරු අවුල්සහගත වෙනවා. පරිකල්පනය ඔස්සේ කතාව ගොඩනඟද්දී විශ්වසනීයත්වයට ඉඩදෙමිනුයි එය ගොඩනඟන්න උත්සහ කරන්නේ.එවැනි දේ මගේ අත්දැකීම් ඔස්සේමයි ලියන්න උත්සහ කරන්නේ. මම නිතරම යාවත්කාලීන වෙන්න උත්සහ කරනවා.සමාජ පරිවර්තනය හරියට තේරුම්ගෙන අපි ප්‍රේක්ෂකාගාරයට කතා කළ යුතුයි.නිර්මාණයක් ඇතුළේ මුලින්ම රූප දකින්නේ තිරරචකයායි.රංගන ශිල්පීන්ගේ හැකියාව අධ්‍යයනය කර තමයි මම ඒ පුද්ගල චරිතයට අදාළව දෙබස් පවා රචනය කරන්නේ. ආධ්‍යාත්මික හැඟීම්වලට බර කොටස් , ආදරණීය බව හැඟෙන අවස්ථා හොඳට කරන අය ගැන හිතලා ඔවුන්ට ගැළපෙන ලෙස ඒ චරිතවල දෙබස් රචනය සිදුකරනවා

සිනමා සහ ටෙලිනාට්‍ය තිරරචනය ගැන ඔබේ දැක්ම කවරාකාරද …..?

සිනමාව සහ ටෙලිනාට්‍ය ගත්තොත් ආකෘතිකමය වශයෙන් එම මාධ්‍ය දෙකම වෙනස්වෙනවනේ.. සිනමාව ගත්තොත් නිශ්චිත කාල අවකාශයක් තුළ සිදුවෙන දෙයක්. එය පැය 02කින් වගේ කියා අවසන් කරන්න පුළුවන් . එයට නිශ්චිත ආකෘතියක් තියෙනවා .ආඛ්‍යානමය ආකෘතියක් තියෙනවා . ඒ ආඛ්‍යානය කොයි විදිහටද ගත්තේ කියලා, හේතුඵල ක්‍රියාදාමයක් එක්ක කාලයයි අවකාශයයි සමඟ සිදුවීම් මාලාවක් අවසන් කරන්න පුළුවන් .ඒ ආඛ්‍යානය ඇතුළේ අතුරු කතා ප්‍රමාණ අඩුයි. ටෙලිනාට්‍ය කියන්නේ දීර්ඝ කාලයක් විකාශය වන දෙයක්.ඒ තුළ තිබෙන අවකාශය වෙනස්.එහි එක් ප්‍රධාන සිදුවීම සමඟ අතුරු කතා කිහිපයක් තිබෙන්න පුළුවන්.එයට වෙනම තියරියක් භාවිත කරන්න වෙනවා. සෑමදේම අවසානයේ නතරවෙන්නේ රචකයා ළඟයි.

ගුවන්විදුලි නාට්‍ය රචනයට ද ඔබ දායකවී තිබෙනවා ……?

අදටත් හිරු එෆ්. එම්. හි දහවල් කාලයේ නාට්‍ය ලියනවා.අවුරුදු 06ක වගේ කාලයක් පුරා ඒවා ලංකාවේ අංක 01හි ගුවන්විදුලි නාට්‍ය බවට පත්වෙලා තියෙනවා සමීක්ෂණ වාර්තා එක්ක. ගුවන්විදුලිය කියන්නේ තව මාධ්‍යයක්.එය ප්‍රේක්ෂකාගාරයක් නෙවෙයි ශ්‍රාවකාගාරයක්. ශ්‍රාවකයාට කොහොමද හඬින් අපි කතාව කියන්නේ කියන දේ ගැන විශේෂ අවධානය යොමුකරගෙන කියන්න පුළුවන් වෙනමම වැඩක් ඒක. මේවා ලියන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයට. ටෙලි හා සිනමාව ලියන්නේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය යන මාධ්‍ය දෙකට. ඒ දෙකෙහි තිරරචනයේ සිට අනුගමනය කළයුතු ක්‍රියාපිළිවෙත හරිම වෙනස්.

සම්මානිත නවකතාවක් ආශ්‍රයෙන් තිරරචනයක් ලියන්න අදහසක් නැද්ද….? එහිදී නවකතාව සහ ඔබේ තිරරචනය සමාන්තර වන හෝ නොවන අවස්ථා ඇති……?

අපි නවකතාවක් කියවද්දී අපට අනන්‍ය චරිත මවාගෙන කියවන්නේ.අපට අනන්‍ය දෘෂ්ටිකෝණයකින් නවකතාව කියෙව්වොත් එතැන අපි කැමැති කෙනෙක් මවාගෙන ඒ චරිතය රසවිඳීන්නේ. ඒ නවකතාව තුළ අපේ පරිකල්පනයට, ෆැන්ටසි එකට, අතීත කාමයට ලොකු ඉඩක් තිබෙනවා .අපි අපිට ඕන විදිහට හීන දකිනවා. නවකතාව එසේවූවාට ඒ ආශ්‍රයෙන් තිරරචනයක් ලියද්දී (තිරයට රචනා කරද්දී) එය සමස්ත ප්‍රේක්ෂකාගාරයට ලියන්නේ.එතැනදී ඒ චරිත පොදුවෙනවා. නවකතාව කියවලා ටෙලිනාට්‍යය බලද්දී ” මේ ඒ නවකතාවමයි” කියනවානම් එතැන වෙන්නේ බලාපොරොත්තු සුන්වීමක්. එකිනෙකාගේ පරිකල්පනය තුළ තිබෙන රූප, ශබ්ද , රස සියල්ල වෙනස්. ඒකයි නවකතාවෙන් කෙරෙන ටෙලිනාට්‍යය හෝ චිත්‍රපටය නවකතාව තරම් දැනුණේ නැහැයි කියන්නේ

මාධ්‍යවේදියකු ලෙස මේතාක් පැමිණි ගමන්මඟ දෙස ආපසු හැරීබලද්දී මොකද හිතෙන්නේ ……?

ඇත්තෙන්ම නිහතමානී සතුටක් තියෙන්නේ .මම ගමේ හිටියේ.තාත්තා ඒකාලයේ කියන්නේ එයාට උදව් නොකරන නිසා “උඹට නම් හරියන්නේ ලියන එකම තමයි ” කියලා. අද ඒක මම වෘත්තිය කරගෙන තියෙනවා . හරි අමාරු තැනකින් මම පටන්ගත්තේ.ලොකු කට්ටක් කාගෙන ටිකටික ඉදිරියට පැමිණීම ගැන මට සතුටුයි .මේ ගමනේදී මට සොඳුරු මිතුරන් පිරිසකුත් හමුවෙනවා .වසර 15ක් ආදරය කළ තරුණියත් අද මගේ බිරිඳ වෙලා.ඇයත් මට ලොකු ශක්තියක් වුණා මේ ගමනේදී

ඉදිරි නිර්මාණ කාර්යයන් ගැන ඉඟියක් දුන්නොත් …..?

දැන් මම ටෙලිනාට්‍ය 02ක් සහ ගුවන්විදුලි නාට්‍යයක් ලියනවා.මගේ නවතම නවකතාව රචනා කරමින් සිටිනවා.එය මේ වසරේදී එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටයක් ලියන්න අවස්ථාව ලැබුණා .එයටත් මූලික සැලසුම් සකස් කරමින් ඉන්නේ.මම ලිව්ව කොටස් 30ක ටෙලිනාට්‍යයේ තිරපිටපත සංවර්ධනය කරමින් සිටිනවා.ඉදිරියට බලාපොරොත්තු රැසක්ම තිබෙනවා . මා ලියූ චිත්‍රපටය ඉදිරියේදී තිරගත වේවි.

මාධ්‍ය දිවියට අතහිත දුන් පිරිස සිහිපත් කරනවා නම්…..?

පත්තර කලාවට ඇවිත් මට කොළඹ පය ගහන්න උදව් කළේ කාංචන දසනායක මහතා සහ නිරෝෂන් ප්‍රේමරත්න මහතා.ඔවුන්ව සිහිපත් කරනවා.ගුවන්විදුලියේ මට ඉඩහසර ලබාදුන් පසන් කීර්තිනන්ද මහතා, සිරසේ නිහාල් වික්‍රම එදිරිසූරිය , දෙරණේ නාට්‍ය අංශයේ හිටපු ප්‍රධානි චරිත් කොතලාවල , ඒවගේම දැනට ඉන්න චමින්ද මහතා වගේම දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාත් මතක් කරන්න කැමැතියි . ලක්සිරි වික්‍රමගේ මහතා පියෙක්, ගුරුවරයෙක් වගේ මා ළඟින්ම සිටිනවා . හිරු එෆ්.එම්.හි හිටපු චන්දන දර්ශන සූරියනාත් අයියා වගේම ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායක අධ්‍යක්ෂවරයා , හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂවරයා , ලාල් වීරසිංහ වැනි පිරිස මතක් කරන්නම ඕනේ. ඔවුන් සියල්ලෝම හරිම සොඳුරු මිනිස්සු…..2013 සිට 2023 තෙක් සියලු මාධ්‍යයන්හි මගේ නිර්මාණවලට , මගේ අකුරුවලට පණක් දෙන්න එකතු වූ කාර්මික ශිල්පීන් , රංගන ශිල්පීන් , නිෂ්පාදකවරුන් මතක් කරනවා

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ ගමනට ලැබුණු සහාය මොනවගේද…….?

මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, මල්ලිලා දෙන්නා.අම්මා ගෘහණියක්. තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. ලොකු මල්ලි ශානුක මධුෂාන්. දෙවැනියා රංගන මධුසංඛ. බිරිඳ ක්‍රිෂාන්ති චතුරිකා ගොඩිගමුව. මගේ ලිවීමත් ඉවසා දරාගෙන මට නිදහස ලබාදී තිබීම ගැන සතුටු වෙනවා…. මම ලියන වේලාවට ඇය කෑම බීම පවා ළඟටම ගෙනත් දෙනවා.එවැනි බිරිඳක් සිටීම ගැන සතුටුයි.පියාගේ අභාවයත් එක්කම මම ජීවිතය තනිවම ගොඩනඟා ගත්තා.

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT