නිවස සංවාද ලුවියා රඟපාන්න ලේසි චරිතයක් නෙවෙයි

ලුවියා රඟපාන්න ලේසි චරිතයක් නෙවෙයි

- ප්‍රවීණ රංගවේදී කුමාර තිරිමාදුර

by Thanushika
April 25, 2024 12:30 am 0 comment

 

වේදිකාව ජීවිතය කරගනිමින් කලා ක්ෂේත්‍රයට පිවිසෙන කුමාර තිරිමාදුර ඉකුත්දා සරසවිය සිනමා සම්මාන උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි. එදා මෙදා තුර බිහිවූ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට රැසකට රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායක වු කුමාර තිරිමාදුර  “The News paper”  චිත්‍රපටයේ ලුවියාගේ චරිතයට පණ පොවයි. මෙම චිත්‍රපටය පිළිබඳවත් ඔහුගේ කලා දිවිය පිළිබඳවත් මතක ආවර්ජනය කිරීමට මෙසේ සරසවිය හා සම්මුඛ විය.

මුලින්ම ඔබ කලාවට පැමිණි ආකාරය පිළිබඳ සිහිපත් කළොත්…?

වයස අවුරුදු 16දී තමයි පළමුවෙනි වේදිකා නාට්‍යයට මම රංගනයෙන් දායකත්වය සපයන්නේ. ලුම්බිනි රඟහලේ මගේ පළවෙනි දහඩිය බිංදු ටික වැටෙනවා. අවුරුදු පනස් පහක චරිතයක් තමයි මම අවුරුදු දහසයේදී රඟ දක්වන්නේ. කුඩා කාලයේ ඉඳලා විවිධ අවස්ථාවල මම රංගනයේ යෙදිලා තියෙනවා.තාත්තට හොරෙන් අම්මා තමයි මට උදව් කරන්නේ නාට්‍යය වල රඟපාන්න යන්න. ඉගෙන ගන්න වයසෙදි රඟපාන්න යනවට තාත්තා කැමැති වුණේ නෑ.

සරසවිය සිනමා සම්මාන උලෙළේ 2020 වසරේ හොඳම නළුවා ලෙස ඔබ සම්මාන ලබන්නේ The Newspaper චිත්‍රපටය මඟින්. මේ චිත්‍රපටයේ ලුවියාගේ චරිතයට ඔබ ජීවය දුන් ආකාරය පිළිබඳ කතා කළොත්…?

ලුවියාගේ චරිතය ගැන කතා කළොත් ඒ චරිතය ගමේ ගොඩේ අධ්‍යාපනයක් ලබා නැති චරිතයක්. දැනුම් තේරුම් කමින් අඩු චරිතයක්. ලුවියාගේ හොඳම යාළුවා තමයි ගුණේ කියන්නේ. තමන්ගේ යාළුවාට මොකක් හරි ගැටලුවක් වුණොත් ඒ වෙනුවෙන් පෙනී ඉදිමින් යාළුවාට යහපතක් සලසන, යළුවා වෙනුවෙන් පණ උනත් දෙන චරිතයක් තමයි ලුවියා කියන්නේ. ඉතින් මේ චරිතය රංගනයේ යෙදෙන්න කලින් මම ගොඩක් අධ්‍යයනය කළා. ලුවියාගේ චරිතයට පණ පොවන එක ලේසි වැඩක් උණේ නෑ. ලුවියාගේ විතරක් නෙමෙයි අනෙක් හැම චරිතයක්මත් එහෙමයි. චරිතයකට පණ පොවන එක අධ්‍යයනයකින් තොරව සිදු කරන්න අමාරුයි. තාත්වික රංගනයක යෙදෙන්න නම් චරිතය හොඳීන් අධ්‍යයනය කළ යුතුයි.

ඔබ ලුවියාගේ චරිතය රඟ දක්වන විට සෙසු චරිතයන් තුළින් ඔබට ලැබුණු සහයෝගය කෙබඳුද…?

සෙසු චරිත කියන්නේ චිත්‍රපටයේ රඟ දක්වන නළු නිළියන්ගේ විතරක් නෙවෙයි.චිත්‍රපටය හා බැඳී සිටින සියලු දෙනාගේ සහයෝගය මට ලැබුණා. මට විතරක් නෙමෙයි අනිත් හැමෝටමත් සහයෝගය ලැබුණා. ඒ හැමෝගෙම සහයෝගය නොලැබුනා නම් අද මෙහෙම සාර්ථකත්වයක් ළඟා කරගන්න වෙන්නේ නෑ. හැමෝම සහයෝගයෙන් වැඩකටයුතු කරපු නිසා අද අපි හැමෝම සාර්ථක වුණා. චිත්‍රපටයක පමණක් නොව ඕනම ක්‍රියාවලියක ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා සහයෝගීතාවය අවශ්‍ය වෙනවා.

සරත් කොතලාවල සමඟ ඔබ මීට පෙර වැඩ කර තිබේද…?

ඔව් .අපි ඒකට ගොඩක් වැඩ කරලා තියෙනවා. වේදිකා නාට්‍ය, චිත්‍රපට, තිර රචනයන් වගේ ගොඩක් දේවල් අපි දෙන්න එකතුවෙලා කරලා තියෙනවා. ඉස්සරහටත් කරනවා. සරත් කොතලාවල කියන්නේ මගේ හොඳ යාළුවෙක්. අපි හම්බවෙන්නේ ඉස්සෙල්ලාම සුනිල් චන්ද්‍රසිරි මහතාගේ “සමාවෙන්න වැරදීමක්” වේදිකා නාට්‍යයක් රඟ දැක්වීමේදී. මම හොඳම සහය නළුවා සම්මානය ගනිද්දී සරත් කොතලාවල තමයි හොඳම වේදිකා පසුතල නිර්මාණය සඳහා සම්මාන ලබන්නේ.

ඔබ රංගනයේ යෙදුණු චිත්‍රපට අතරින් ඔබට විශේෂ වූ චිත්‍රපටයක් තිබේද…?

නෑ. ඇත්තටම එහෙම විශේෂයි කියලා එක චිත්‍රපටයක් වෙන් කරන්න බෑ. මම රංගනයේ යෙදුණු හැම චිත්‍රපටයක්ම මට විශේෂයි. විශේෂත්වය එකකට සීමා කරන්න බෑ.

ඔබ තිර රචනය කළ, අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපට පිළිබඳව පැවසුවොත්…?

සරත් කොතලාවලයි මමයි එකතුවෙලා තමයි “තණ්හා රති රඟා” තිර රචනය සිදු කරන්නේ. The Newspaper  චිත්‍රපටයද අපි දෙන්නා එකතු වෙලා තිර රචනය, අධ්‍යක්ෂණය කළේ. තව ගොඩක් නාට්‍ය අපි එකතු වෙලා තිර රචනය කරලා තියෙනවා.

“තණ්හා රති රඟා”චිත්‍රපටය තිර රචනයට ඔබ යොමු වූයේ කෙසේද…?

සරත් කොතලාවලයි මමයි එකතුවෙලා තමයි මෙහි තිර රචනය සිදු කරන්නේ. යුද්ධය නිමාව, ප්‍රභාකරන්ගේ වියෝවත් සමඟ ජනතාව ප්‍රීතිඝෝෂා දුන්නා. කිරිබත් හැදුවා, කැවුම් බැද්දා, සැරසිලි කරා මේ වගේ ගොඩක් දේවල් ඔවුන්ගේ සතුට වෙනුවෙන් කරා. මං මේ හැමදේම බලාගෙන හිටියේ. කොහොම හරි මම රෑ නිදාගන්නේ යද්දි තමයි මට “තණ්හා රති රඟා” තිර රචනයට අදහසක් ආවේ. මම ඒ වෙලේම කොතලාවලට කෝල් එකක් දීලා අදහස කිව්වා. ඊට පස්සේ තමයි අපි දෙන්නත් එක්ක එකතුවෙලා තිර රචනය පටන් ගත්තේ.

නැවතත් චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුවීමට අදහසක් තිබේද…?

ඔව් තියනවා. චිත්‍රපටයක් නිර්මාණය කරන්න නිෂ්පාදකයෙක් අවශ්‍යයි. කවුරුන් හෝ නිෂ්පාදකයෙක් චිත්‍රපටයක් නිර්මාණයට දායකත්වය සපයනවා නම් අපට පුළුවන් චිත්‍රපටය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්න. අවශ්‍ය දේවල් සපයන්න. අපි ලෑස්තියි නිෂ්පාදකයක ඉන්නවා නම් අලුත් චිත්‍රපට ප්‍රේක්ෂක ඉල්ලුම් මත නිර්මාණය කරන්න. ප්‍රේක්ෂකයන් වැඩි පිරිසක් ඉල්ලන්නෙ කොමඩි චිත්‍රපටයක්. ඉතින් ඒ ප්‍රේක්ෂක ඉල්ලීම මත කටයුතු සූදානම් කරන්න අපට නිෂ්පාදකයෙක් අවශ්‍යයි.අපට චිත්‍රපටයක් තනියම නිර්මාණය කරන්න බෑ.මුල්‍යමය වශයෙන් හයියක් අපට ඕන.

“ඔටුනු නොපලන් කුමාරයාගේ හැඟුම්බර සිනමා පෙරහැර”පිළිබඳ විස්තර අපට පැවසුවොත්…?

ඇත්තටම මේක ක්‍රියාත්මක වුණේ කොරෝනා සමය උදාවූ පසුව. මෙහි චිත්‍රපට පහක් අන්තර්ගත වෙලා තියෙනවා. සිනමා උලෙළ සංවිධානය කරනු ලැබුවේ උපුල් නිශාන්ත. කොරෝනා එක්ක සිනමාශාලාවල් වැහුණා. හැබැයි අපට පුළුවන් වුණා නැවත සිනමාශාලාව විවෘත කරලා චිත්‍රපට විකාශය කරන්න. මෙහි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය ප්‍රේක්ෂකයන් මත හා මාධ්‍යවේදීන් මත පැටවුණා.

ප්‍රේක්ෂකයා සිනමා ශාලාව තුළ චිත්‍රපට නැරඹීම ප්‍රතික්ෂේප කිරීම, අන්තර්ජාලය හරහා චිත්‍රපට නැරඹීමට නැඹුරුවීම පිළිබඳ ඔබේ අදහස…?

ඇත්තටම ඉස්සර වගේ නෙමෙයි. වර්තමානයේ වෙද්දී සිනමා ශාලාව තුළ චිත්‍රපට නරඹන පිරිස අඩුයි. විශේෂයෙන් තරුණ පරම්පරාව. නව තාක්ෂණයත් එක්ක තාරුණ්‍ය සිනමා ශාලාව තුළ චිත්‍රපට නැරඹීම ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් අන්තර්ජාලය භාවිතා කරමින් විවිධ වර්ගයේ චිත්‍රපට නරඹනවා. ඒ අතර සිංහල චිත්‍රපට නරඹන පිරිස අඩුයි. ගොඩක් තරුණ ළමයි කරන්නේ විදේශීය චිත්‍රපට නරඹන එක. ඉන්දියන්, ඇමෙරිකන්, කොරියන් සිනමාවට තාරුණ්‍ය ඇලුම් කරනවා. මේක සිංහල අපට කනගාටුදායක කරුණක්. අපි පොඩි කාලේ බැලුවේ ගාමිණී ෆොන්සේකාගේ, ජෝ අබේවික්‍රමගේ චිත්‍රපට. මම ගොඩක් ආසාවෙන් බලපු මගේ ලෝකේ වීරයෙක් විදිහට සලකපු කලාකරුවෙක් තමයි ගාමිණී ෆොන්සේකා කියන්නේ. ඔහු බලන්න, ඔහු හා වැඩ කරන්න ආසාවෙන් හිටියත් මට ඒ අවස්ථාව මගහැරුණා. ඒක මගේ අභාග්‍යයක්.

චිත්‍රපට නරඹන ප්‍රේක්ෂක පිරිසක් වේදිකා නාට්‍යය නරඹන ප්‍රේක්ෂක පිරිසත් අතර යම් වෙනසක් පවතිනවාද…? ඔබ දකින අයුරින් ඊට හේතුව කුමක්ද…?

චිත්‍රපට හා වේදිකා නාට්‍ය නරඹන ප්‍රේක්ෂක පිරිස අතර පැහැදිලිවම වෙනසක් තියෙනවා. අද වන විට චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයින් පිරිස අඩුවෙලා වේදිකා නාට්‍ය නරඹන ප්‍රේක්ෂක පිරිස වැඩිවෙලා තියෙනවා. සිනමා ශාලාවක චිත්‍රපටයක් නරඹන ප්‍රේක්ෂක පිරිසට වඩා අපේ වේදිකා නාට්‍යයක් නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂක පිරිස වැඩියි. ඊට එක හේතුවක් ලෙස මම දකින්නේ ප්‍රේක්ෂකයින් සජීවී රංගනයන්ට ප්‍රිය වීමයි. නළු නිළියන් සජීවීව දැක බලා ගැනීම, ඔවුන් හා කතා කිරීමට මඟ පාදා ගැනීම ප්‍රේක්ෂකයින්ගේ අරමුණු වෙනවා. ඒ හේතුවෙන් ඔවුන් වේදිකා නාට්‍ය නරඹනවා. තවත් හේතුවක් තමයි චිත්‍රපටයක් නැරඹීමට ලබාගන්නා ප්‍රවේශ පත්‍රයට වඩා අඩු මුදලකින් වේදිකා නාට්‍ය ප්‍රවේශ පත්‍රයක් ප්‍රේක්ෂකයින්ට ලබාගන්න පුළුවන්. පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ඔවුන් චිත්‍රපටයක් නරඹනවාට වඩා වේදිකා නාට්‍යයක් නැරඹීමට පෙලඹෙනවා. මම දකින විදිහට තවත් හේතුවක් තමයි වේදිකා නාට්‍ය තුළට දේශපාලනය ප්‍රවේශ වීමක් නොමැතිවීම හේතුවෙන් වැඩි ප්‍රේක්ෂක පිරිසක් වේදිකා නාට්‍ය නරඹනවා. චිත්‍රපටයට, ටෙලි නාට්‍යයට දේශපාලනික මැදිහත්වීම් තියෙනවා. සමහර චිත්‍රපට, ටෙලි නාට්‍ය දේශපාලනය නිසා විකාශනය වෙනවා මෙන්ම ඇතැම් විට දේශපාලනය නිසා විකාශය නතර කරනවා. නමුත් අද වෙනකන් වේදිකා නාට්‍යවලට දේශපාලනය ප්‍රවිෂ්ට වීමක් සිද්ධ වෙලා නෑ. ඒක ප්‍රේක්ෂකයෝ දන්නවා. ඉතින් ඒ නිසාම පිරිසිදු වූ වේදිකා නාට්‍ය නිර්මාණයක් නැරඹීමට ප්‍රේක්ෂකයින් පැමිණෙනවා.

වර්තමානයේ වේදිකා නාට්‍ය බිහිවීම පිළිබඳ ඔබේ අදහස…?

ඉස්සර බිහිවුණ වේදිකා නාට්‍ය අතරයි අද බිහිවෙන වේදිකා නාට්‍යය අතරයි යම් වෙනසක් පවතිනවා. ඉස්සර වේදිකා නාට්‍යය ප්‍රේක්ෂකයින් ඉතා ආදරයෙන් වැලඳගෙන රස වින්දා. අද සිටින ප්‍රේක්ෂකයින්ද ඉස්සර බිහිවුණ වේදිකා නාට්‍යවලට ඇලුම් කරනවා. ඒ වේදිකා නාට්‍යයන්හි ගුණාත්මක භාවය හා රසාත්මක භාවය හේතුවෙන්. වේදිකා නාට්‍යයන්හි තේමාවන් විවිධාකාර වුණා. කතා රසයන්ද විවිධයි. නමුත් අද තරුණ පරම්පරාව හා බිහිවන වේදිකා නාට්‍ය එකම වූ කතා තේමාවක් යොදාගෙන නිර්මාණය වෙනවා. ඔවුන් සේ නාට්‍යයන්වලින් කතා කරනු ලබන්නේ ලිංගිකත්වය පිළිබඳව. වෙලාවකට නාට්‍ය නරඹන ප්‍රේක්ෂක පිරිසට අහගෙන ඉන්න බැරි තරමට අසභ්‍ය වූ දෙබස් අන්තර්ගත වෙනවා. ලංකාවේ ලිංගිකත්වය පිළිබඳ ගැටලුවට අමතරව ඕන තරම් ගැටලු වේදිකා නාට්‍ය බිහිකරන්න තේමාවන් විදිහට තියෙනවා. ඒත් තරුණ පරම්පරාව කතා තේමාව කරගනු ලබන්නේම ලිංගිකත්වය පමණයි. මම ඒක නරකයි කියනවා නෙවෙයි. හැබැයි ඊට වඩා වෙනස් කතා තේමාවන්ගෙන් අපිට වේදිකා නාට්‍ය නිර්මාණය කරන්න පුළුවන්.

වර්තමානය බිහිවන ටෙලි නාට්‍ය පිළිබඳ ඔබේ අදහස…?

ලංකාවේ අද විකාශනය වන ටෙලි නාට්‍ය අවසානයක් නැතිව දිගටම ගලාගෙන යන කතා මාලාවක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ලංකාවේ ටෙලි නාට්‍ය නිෂ්පාදකයින්ට අධ්‍යක්ෂවරුන්ට අද තැනක් නැති තරම්. ගුවන් කාලය සම්පූර්ණ කරන්න විදේශිය ටෙලි නාට්‍යයක් විකාශනය කිරීමට නාලිකා කටයුතු කරනවා. ලංකාවේ අධ්‍යක්ෂවරයෙක් නිෂ්පාදකයෙක් හඳුනන්නේ නැති සමාජයක් ගොඩනැඟිලා තියෙන්නේ විදේශීය ටෙලි නාට්‍යයන් විකාශය වීම නිසා. ප්‍රේක්ෂකයින් විදේශීය කතා මාලාවන් නාලිකා ඔස්සේ නරඹන බැවින් ඔවුන් ඒ චරිතයන් ඒ ඒ සංස්කෘතීන් අනුගමනය කරනවා.

ඔබ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායකයෙක්. ගායකයකු ලෙස ඔබ ගායනා කරනු ලැබූ ගීත පිළිබඳ මතක ආවර්ජනය කළොත්…?

මම කලාවට ප්‍රවිෂ්ට වෙන්න බලාගෙන හිටියේ ගායකයෙක් විදිහට. ඒත් මම රංගනයට ප්‍රවිෂ්ට වුණා. ඉන්පසුව වේදිකා නාට්‍ය පසුබිම් ගීත, චිත්‍රපට පසුබිම් ගීත යේ ගායනා කළා. පස්සෙ තමයි “උඩැක්කි කෝලම” වගේ සින්දු මම ගායනා කරන්නේ. මේ වෙන විට මට සංගීත ප්‍රසංගයන්හි ගීත ගායනයට අවස්ථා, ආරාධනා කිරීම් ගොඩක් තියෙනවා. මම ඒ ආරාධනා කිරීම පිළිගෙන ගීත ගායනා කරලා තියෙනවා. අනිත් හැමදේටම වඩා මම කැමති ගායනයට. ගීත ගායනා කරන්න ඉදිරියටත් මම බලාපොරොත්තු වෙනවා. වෘත්තිමය වශයෙන් නොවුණත් මගේ කැමැත්ත අනුව තමයි මම ගායකයෙක් විදිහට පෙනී ඉන්නේ.

ඔබත් ලේඛන කලාවත් අතර ඇති සබඳතාව විස්තර කළොත්…?

මම ලේඛන කලාවට උපන් සමතෙක්. පත්තරේට මම විවිධ ලිපි ගණනාවක් ලියලා තියෙනවා. පස්සේ මම “මගේ ජීවිතේ” කියන පොත එළි දක්වන්නේ පත්තරේට ලියපු ලිපි ද උපයෝගී කරගෙන. මේ වනවිට “සැඳෑ සමය ඉක්මනින්ම ඇවිත්” කියලා පොතක් ලියමින් ඉන්නවා ඒ පොතත් තව ටික කාලයකින් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබේ රංගන ජීවිතයට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද…?

මගේ පවුලෙන් සහයෝගයක් නැති වුණා නම් අද මම මෙහෙම තත්ත්වයක නෑ. මගේ බිරිඳ ගැන විශේෂයෙන් කියන්න ඕන. ඇය තමයි මගේ හයිය. මම ජනතාවට අයිති කෙනෙක් කියලා ඇය තේරුම් අරන් සමග සාමකාමීව ආදරයෙන් ජීවත් වෙනවා. ඇය මාව තේරුම් නොගත්තානම් කුමාර තිරිමාදුර කියලා රංගන ශිල්පයෙක් නැති වෙන්නත් ඉඩ තිබුණා. මට ඇයව හමුවෙන්නේ ඒ/ඹ් ක්ලාස් වලදි. ඇය මගේ ජීවිතේ, මගේ හීන ජයගන්න උදව් කළා. සමහර වෙලාවට මගේ ඇති ණයට වෙන්න ඕන යුතුකම් වගකීම් මගහැරෙන්නට ඇති. ඒත් ඇය ඉවසුවා. දරුවන් දෙදෙනාද හොඳීන් රැකබලා ගනිමින් ඇය මට සවියක් වුණා. ස්ත්‍රියක් තම ස්වාමියා හා නිතර කාලය ගෙවන්න කැමති. ඒත් මට එහෙම ඉන්න කාලයක් නැති තරම්. ඇය පවසන ආකාරයට මම අයිති ජනතාවට. ජනතාව මාව ඉල්ලනවා. මම ජනතාව වෙනුවෙන් සේවය කරන්න ඕන.

ඔබ ලැබූ ජයග්‍රහණ පිටුපස සිටින පුද්ගලයින්ට ස්තුතිවන්ත වෙන්න අවස්ථාවක් ලැබුණොත්…?

මම මුලින්ම ස්තූතිවන්ත වෙන්නේ මගේ අම්මට. ඇය තමයි මාව කලාවට ප්‍රවිෂ්ට කළේ. තාත්තටත් හොරෙන් තමයි ඇය පාසල් අවධියේදී මාව වේදිකා නාට්‍ය රංගනයට යොමු කළේ. මගේ බිරිඳටත් මම ස්තූතිවන්ත වෙන්න ඕන. ඇය මාව තේරුම් අරගෙන මාත් එක්ක මගේ හයිය වෙලා ඉන්නවට. මගේ දරුවෝ දෙන්නටත් මම ස්තූතිවන්ත වෙනවා තාත්තා විදිහට මාව තේරුම් අරන් වැඩ කරනවට. මාත් එක්ක කලා ක්ෂේත්‍රයේ කටයුතු කරන හැමෝටමත් මං මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. ඒ හැමෝම මාත් එක්ක හිටි නැත්නම් මට මේ ජයග්‍රහණයන් ලබාගන්න වෙන්නෙ නෑ. අපේ රංගන ශිල්පීන් අතරින් මම තමයි වාසනාවන්ත රංගන ශිල්පියා. මොකද මම හැම රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් එක්කම වැඩ කරලා තියෙනවා. සරච්චන්ද්‍ර මහතාගේ ඉඳලා හැමෝම එක්ක කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරලා තියෙනවා. ගාමිණී හත්තෙට්ටුව, ජගත් මාරසිංහ ඇතුළු හැමෝටමත් මම ස්තූතිවන්ත වෙනවා.

විද්‍යාර්ථි තිලක්ෂි රත්නායක

කැලණිය විශ්වවිද්‍යාලය

ජනසන්නිවේදන අධ්‍යයනාංශය

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT