Home » “සිහිනයකි රෑ” වැඩසටහන නතර වූ පසු ප්‍රසංගයක් බවට පත්වුණා

“සිහිනයකි රෑ” වැඩසටහන නතර වූ පසු ප්‍රසංගයක් බවට පත්වුණා

by mavan
April 23, 2026 12:46 pm 0 comment

අනුන්ගේ ගීතයක් තමන්ගේ හඬින් රසට මිහිරට ගායනා කරමින් රසිකයා පෙර නොවූ මහත් ආශ්වාදජනක ආනන්දයක ගුලිකොට තබන අත්දැකීමක් මුලින්ම වින්දේ නම් එය හුදෙක්ම උපහාර හෝ අනුස්මරණ උත්සවවලදී පමණි. නමුත් මෙය වර්තමානයේ රැල්ලක් බවට පත්ව ඇතැම් වෘත්තීය ගායක ගායිකාවන් පවා අනුන්ගේ ගීත ගායනා කරමින් රසිකයා මුසපත් කරන්නට සමත්ව තිබේ .උපහාර උත්සවවලට පමණක් කොටුවී තිබූ මෙය සංකල්පයක් ලෙස රූපවාහිනී තිරය මත පතිත කරමින් ජනතාව අතර ප්‍රචලිත කරන්නට මුල් වූ ජාතික රූපවාහිනියේ “සිහිනයකි රෑ” නිෂ්පාදක මහේෂ් නිශ්ශංක සමග “සරසවිය” කළ සංවාද සටහනකි මෙය

සිහිනයක් කරපු “සිහිනයකි රෑ” මේ අමුතු නම හැදුණේ කොහොමද?

මගේ ටෙලිවිෂන් ජීවිතයේ බොහෝ අවස්ථාවල උපහාර අනුස්මරණ වගේ උත්සවවලට සහභාගී වෙනකොට ලබපු ඉතාම මිහිරිම අත්දැකීමක් තමයි වෙනත් කෙනෙකුගේ ගීතයත් තවත් ගායකයකු හෝ ගායිකාවක එයාගේ හඬින් එයාගේ විදියට අමුතුම රහකට ගයනවා අහපු එක. අනුන්ගේ ගීතයක් තමන්ගේ හඬින් සංගීත කණ්ඩායමක් එක්ක වේදිකාවක ගයන එක ඒ ශිල්පියාටත් මහා හීනයක්. ඉතින් මේ හීනයක්, හීනයක්, කියන එක මුමුනමින් සංගීත අංශයේ ඉන්න ගමන් සුමිත් දිසානායකට කිව්වා මේ වගේ වැඩසටහනකට හොඳ නමක් තෝරන්න කියලා.ඒ වැඩසටහන රෑට විකාශය වෙන හන්දා රෑ සිහිනයකි කියන එක තමයි යෝජනා කළේ පස්සේ ඒක “සිහිනයකි රෑ” කියල දෙපැත්ත මාරු කරලයි නම හදා ගත්තේ.

“සිහිනයකි රෑ” සංගීත වැඩසටහනේ අරමුණ මොකක්ද?

නිර්මාණකරුවෙක් හැටියට හැමදාම මම කල්පනා කළේ කවුරුත් නොකරපු අලුත් දෙයක් කරන්න. ඔය උපහාර උත්සවවලදී වගේ වෙනත් අයගේ ගීත ගායනා කරන ශිල්පියාගේ හඬ,නුහුරු නුපුරුදු රසය, ඒ තුළින් රසිකයා තුළ ඇතිවන මහත් ආනන්දජනක වූ අමුතුම මිහිර සමඟ නවමු අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදීමේ අරමුණින් තමයි මේ වැඩසටහන ආරම්භ කළේ

කොහොමද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාර?

ඉතාම ඉහළයි මුලින් සැලසුම් කලේ වැඩසටහන් 25කින් අවසන් කරන්න .පස්සේ 50, 100 වෙලා අන්තිමට “සිහිනයකි රෑ” නවත්තන විට වැඩසටහන් 318 ක් විකාශය කරලා තිබුණා. වසර හතරක් පමණ කාලයක් තුළ සමස්ත රූපවාහිනී නාලිකා අතරින් වසරේ හොඳම සංගීත වැඩසටහන ලෙස දෙවරක් සම්මාන ලැබුවා. හොඳම සම්ප්‍රවේශකයා ලෙස රයිගම් සම්මානයෙන් පිදුම් ලැබුවා මේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟ ජාතික රූපවාහිනිය ප්‍රේක්ෂකයා අතර ඉහළ තලයකට ගෙන එන්න හැකිවුණා වෙනත් ශිල්පියකුගේ ගීතයක් තමන්ගේ හඬින් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා ගායනා කිරීම සිහිනයක්ව තිබූ ශිල්පීන්ට එය ඉටු කරගන්න ලැබුණා. ගීතයක් ගත්තම ඒ ගීතය තුළින් කියැවෙන අරුත වෙනත් ආකාරයෙන් විග්‍රහ කරන්නට ආරාධිත අමුත්තන්ට විද්වතුන්ට අවස්ථාව ලැබුණා. සමස්තයක් ලෙස රසිකයාගේ රස මනස පෝෂණය කරන වැඩසටහනක් බවට “සිහිනයකි රෑ”පත්වුණා රූපවාහිනි සංගීත වැඩසටහන් අතර “සිහිනයකි රෑ” අතිශය ජනප්‍රිය වුණා ඒ නිසාම වෙනත් රූපවාහිනී නාලිකාවන් මේ වැඩසටහනම වෙනත් වෙනත් නම් වලින් විකාශය කරන්න පෙලඹුණා. මේ ගැන මට නම් තියෙන්නේ මහත් සතුටක්

ඔබ කියන විදියට මේ ජනප්‍රියත්වය තුළින් “සිහිනයක රෑ”සංගීත වැඩසටහනට අනුග්‍රාහකයන්ගෙන් විශාල ආදායමක් උපයන වැඩසටහනක් වෙන්න ඇති?

අතිශය ජනප්‍රිය වැඩසටහනක් වූ නිසා “සිහිනයකි රෑ ” සංගීත වැඩසටහනට විශාල අනුග්‍රාහක පිරිසක් දායක වුණා. ඒ හරහා තම වෙළඳ අරමුණ ඔවුන් ඉටුකරගත්ත වගේම රූපවාහිනියටත් විශාල ආදායමක් ලැබෙන වැඩසටහනක් වුණා. ඒ එක්කම නව සංකල්පයක් හැටියට ප්‍රේක්ෂකයන් 300 කට පමණ නැරඹිය හැකි මැදිරියක් තුළ කැමරා හතරක් යොදාගෙන හුඳකලාව පටිගත කළ “සිහිනයකි රෑ” වැඩසටහන නරඹන්නන්ට අවස්ථාව ලබා දෙමින් ජාතික රූපවාහිනියට විශාල මුදලක් උපයා දෙන්න අපට හැකි වුණා. මේ ගැන දැන්වීමක් රූපවාහිනීයේ ප්‍රචාරය කළාම එක් අයෙකුගෙන් රුපියල් 1000/- බැගින් ටිකට් පත් අලවි කළා.දින දෙකකින් ටිකට් පත් විකිණී අවසන් වුණා. සෙනසුරාදා දවසට වැඩසටහන් දෙකක් පටිගත කළාම ටිකට්පත් 600 ක් ලේසියෙන්ම අලෙවි වුණ හින්ද ලැබුණු ආදායම දිනකට ලක්ෂ හයක් මේ විදියට රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ රූපවාහිනියට උපයාගන්න ලැබුණා. ඒ සේරම ගියේ සුභසාධක අරමුදලට .

මේ තරම් ජනප්‍රියත්වයක් සහ රූපවාහිනියට විශාල ආදායමක් උපයා දුන්නු වැඩසටහනක් නතර කළේ ඇයි ?

මෙහෙමයි. 2019 කොරෝනා වසංගතයත් එක්ක රූපවාහිනී වැඩසටහන් විකාශය අත්හිටුවන්න සිදුවුණා. ඉන් පස්සේ 2022 දී නැවත වැඩසටහන් ආරම්භ කළා. එතෙක් විකාශනයන් නතර කර තිබූ වැඩසටහන් දොළහක් නැවත ආරම්භ කිරීමට අනුමැතිය ඉල්ලුවා එවකට සිටි සභාපතිවරයා ඉන් එකොළහක ටම අනුමැතිය දුන්නා “සිහිනයකි රෑ” සංගීත වැඩසටහනට පමණක් නැවත ආරම්භ කිරීමට අවසර දුන්නේ නෑ.

හේතුව?

කිසිම හේතුවක් නැහැ. “සිහිනයකි රෑ” වැඩසටහන තවදුරටත් අවශ්‍ය නොවේ යන්න පමණයි ඔහු සඳහන් කර තිබුණේ

ඔබ හිතන්නේ එයට හේතුව මොකක් කියලද ?

වැඩසටහනේ ජනප්‍රියත්වයත් සමඟ සංස්ථාවේ සමහර පිරිසක් මා සමඟ ද්වේශයෙන් වෛරයෙන් පසුවුණා බොහෝ කෙනෙහිලිකම් කළා මම ඒවා දරාගෙන හිටියා.

ඉතින් ඇයි ඔබට බැරි වුණේ ඔබ සමග සිටින පිරිසක් හදාගන්න?

මම නිර්මාණකරුවෙක් හැටියට ජාතික රූපවාහිනිය ඉහළට ඔසවා තබන්න වැඩ කරපු කෙනෙක්. අසාධාරණය ට එරෙහිව සාධාරණය සහ යුක්තිය උදෙසා සටන් කළා තවත් නිර්මාණකරුවන් නොවන පිරිසක් තමන්ගේ රැකියාව උදෙසා නිහඬව සිටියා ඇත්තටම ඔවුන් ආවේ උදේ 8:00 ත් සවස 4:00 ත් අතර රැකියාව කරන මාසෙ අන්තිමට වේතනය ගන්න සේවක පිරිසක් හැටියට. ඒ අයට හොඳ වැඩසටහන් තුළින් රූපවාහිනිය ඉහළ තලයක තියන්න වුවමනාවක් තිබුණෙ නෑ. වැටුපක් ගන්න රස්සාව තිබුණා නං ඇති. නමුත් රූපවාහිනියෙන් ගමනත් ආරම්භ කරලා ඒ ගමන සාර්ථකව ඉදිරියට ගෙනගිය නිර්මාණකරුවෙක් හැටියට ජාතික රූපවාහිනිය වැටෙනවා දකින විට ඊට එරෙහිව තනිවම සටනක් මම කළේ .

ඔබ ඉන් ඉවත් වුණේ ඇයි?

ජාතික රූපවාහිනිය සාමාන්‍ය ක්‍රමවේදය තමයි ජ්‍යේෂ්ඨතාවය මත තනතුරු ලබා දීම. 2023 වන විට සංගීත අංශයෙහි අංශ ප්‍රධානියාගේ පුරප්පාඩුවක් තිබුණා. ඒ වන විට මම හිටියේ එහි වැඩ බලන අංශ ප්‍රධානියා හැටියට කොහොමත් අංශ ප්‍රධානියා හිමිවෙන්න ඕනෑ මට. ඒ සඳහා මට ඊනියා සම්මුඛ පරීක්ෂණයක් තිබ්බා සවස 5:00 ට. එදින රාත්‍රි 7:30 වන විට කාර්යාලය වේලාවෙන් බැහැර කාලය තුළ මගේ නම නෙවෙයි මට වසර 15ක් පමණ කනිෂ්ඨ සේවකයෙකු අංශ ප්‍රධානී තනතුරට පත් කරලා තිබුණා. ඒක මට දරාගන්න බැරි අපහසු කාරණයක් වුණා. උසස් පෙළ අවසන් කරලා හිරිමල් තරුණයෙක් හැටියට රැකියාව ලෙස රූපවාහිනී සංගීත අංශයට ආව මම අවුරුදු 30 ක් වැඩ කරල එයින් බොහෝ දේවල් ජීවිතයට එකතු කරගෙන එකතු කරගත් දෑ තුළින් රසවත් නිර්මාණ එක්ක ජාතික රූපවාහිනියේ ඉහළම තලයට ඔසවා තැබීමේ සිහිනය මට අහිමිව ගියා නිසා එයින් මම ඉවත් වුණා.

එතකොට “සිහිනයකි රෑ” ?

කොහොමත් රූපවාහිනියෙන් “සිහිනයකි රෑ” ගැලෙව්වට පස්සේ දිනේෂ් ගමගේට ලොකු වුවමනාවක් තිබුණා රසිකයන්ට මෙය නැවත ලබා දෙන්න ඒ නිසා දිනේෂ් ගමගේ කියන මගේ හිතවතා එක්ක මහජන ප්‍රසංගයක් හැටියට මෙය රට පුරාම පවත්වනව. දැනට ඕස්ට්‍රේලියාව , එක්සත් ජනපදය , ඇමෙරිකාව වගේම මැද පෙරදිග රටවල ප්‍රසංග ගණනාවක් පැවැත්වූවා ‘”සොඳුරු සිහිනයකි රෑ” නමින් .

“සොඳුරු සිහිනයකි රෑ ” දැනට ප්‍රසංග කීයක් පවත්වලා තියෙනවාද?

ප්‍රසංග වාර 350කට වැඩිය පවත්වලා තියෙනවා

රූපවාහිනියට එන්න කියලා ආරාධනා කළොත් නැවත රූපවාහිනියට යනවද?

සභාපති, අධ්‍යක්ෂ ජනරාල් වැනි තනතුරක් ලැබුණොත් පමණයි ඒ කාර්යය කරන්න පුළුවන්. එවැනි තනතුරක් මට දුන්නොත් බාරගන්නවා.

මොකක්ද කරන වෙනස ?

රූපවාහිනියේ නිර්මාණකරුවන්ගේ හිඟයක් නෑ. ඔවුන් හරියට කළමනාකරණය කරලා ප්‍රේක්ෂකයාගේ මනදොල සපුරා ලන වැඩසටහන් සුදුසු කල්හි සුදුසු වෙලාවට ලබාදීමයි කරන්න ඕනෑ. ඒ සඳහා ජාතික රූපවාහිනිය සේවක පිරිසට විධිමත් ආකාරයට වටිනාකමක් ලබාදීලා ඔවුන්ගේ සේවය ජනතාවට ලබාදීමයි කරන්න ඕනෑ. ඒ සඳහා ක්‍රමවේදයන් ගොඩක් තිස් වසරක ටෙලිවිෂන් ජීවිතයේ මා ලබාගත් අත්දැකීම් තුළින් මට ක්‍රියාත්මක කරන්න පුළුවන්.

පණ්ඩුක සමරසේකර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT