දහම් පාසලෙන් සහ පාසල් වේදිකාවෙන් සිය කලා දිවියේ මුල් අඩිතාලම දැමු බව ප්‍රකට රංගන හා ගායන ශිල්පිනී කාංචන මාලා මහවිතාන පැවසුවාය.
කොළඹ මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය, පාසල් අවධියේදීම නර්තනය හදාරා සමස්ත ලංකා නාට්‍ය තරඟවලදී සම්මානයට පාත්‍ර වී ඇත ජාතික තරුණ සේවා සභාවේ ප්‍රථම යොවුන් සම්මාන උළෙලේදී භරතනාට්‍ය අංශයෙන් සමස්ත ලංකා හොඳම නර්තන ශිල්පිනිය ලෙස සම්මානය දිනා ගත්තාය. එම දක්ෂතා දුටු ප්‍රකට නළු සුනිල් හෙට්ටිආරච්චි ඇයට ප්‍රසිද්ධ වේදිකාවට පිවිසීමට ආරාධනා කර ඇත.
සිනමාවට පිවිසෙන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂ ඩී.බී. නිහාල්සිංහ මහතාගේ ‘චාරිකා’ කෙටි චිත්‍රපටය හරහාය . පසුව ඔහුගේම ‘රේඛා’ ටෙලිනාට්‍යයෙන් සිය ටෙලිනාට්‍ය රංගන දිවිය ආරම්භ කළාය. මේ වන විට ටෙලිනාට්‍ය 50කට අධික සංඛ්‍යාවක සහ වේදිකා නාට්‍ය 200කට ආසන්න ප්‍රමාණයක රඟපා ඇත .
‘අඟුරු සිත්තම්’ ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් ඇය රයිගම් විශේෂ කුසලතා ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ මවගේ චරිතය වෙනුවෙන් ‘සෙනෙහසේ අම්මා’ සම්මානයෙන් ද ඇගයීමට ලක් වියඝ.
කලා කටයුතුවලට අමතරව ඇය කොළඹ මහ නගර සභාවේ වසර 38ක කාලයක් රාජ්‍ය සේවා නිලධාරිනියක ලෙස සේවය කොට 2023 වසරේදී විශ්‍රාම ලැබුවාය. හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස ද කටයුතු කර ඇත.
කාංචන මාලා මහත්මියගේ සැමියා වූයේ ප්‍රකට සංගීත අධ්‍යක්ෂ ස්ටැන්ලි ලියනගේ. තම සැමියා පිළිබඳව ‘ප්‍රියයාණෙනි’ නමින් පොතක් ද රචනා කර සැමියාගේ උපන්දිනයක් දවසක පොත එළිදැක්වූවාය. ඇයට දරුවන් දෙදෙනෙකු සිටින අතර, පුතා බුද්ධික සහන් ඕස්ට්‍රේලියාවේ ‘ටීවී සීලෝන්’ (TV Ceylon) නාලිකාව පවත්වාගෙන යන අතර, දියණිය චමත්කා වීණාවී එංගලන්තයේ මනෝවිද්‍යාඥවරියක (Psychologist) ලෙස සේවය කරයි.
රංගනයට මෙන්ම ගායනයට ද දක්ෂතාවක් දක්වන ඇය, චිත්‍රපට කිහිපයකටම ගීත ගායනයෙන් සහ ගීත රචනයෙන් දායක වී ඇත. වසර 14ක පමණ කාලයක් සිය සැමියා සමඟ එක්ව ‘සුමියුරු සිනමාගී’ නමින් නොමිලේ පවත්වන සංගීත වැඩසටහන් ද ඇය පැවැත්වූවාය. මම අදටත් වසරකට ටෙලි නාට්‍ය තුනක හරි වැඩ කරනවා.
සිය සැමියාගේ නිර්මාණයක් වූ ‘අල්ලපු ගෙදර’ වේදිකා නාට්‍යය මේ දිනවල නැවත නිෂ්පාදනය කරමින් සිටී. එහි විශේෂ දර්ශනයක් ජුනි මස 12 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් හිදී පැවැත්වීමට නියමිතයි. මේ නාට්‍යය මගේ මහත්මයාගේ රචනයක් හා සංගීත අධ්‍යක්ෂණයක්, නිෂ්පාදන බාරව සිටින්නේ මාගේ දියණිය චමත්කා විණාවී ලියනගේයි. මේ නාට්‍යයේ මාත් එක්ක සම්පත් බන්ඩි හෙට්ටිගේ, රවීන්ද්‍ර කෝදාගොඩ, හිරන්ත මධුරංග, අනෝජා වීරසේකර, හෙන්රි ප්‍රේමරත්න, මධුරංග රත්නසිරි සහ රොහාන් විජේසේකර රඟපානවා. සංගීතය මෙහෙයවන්නේ සුසිල් සිරිමාන්න, ඩන්ස්ටන් පෙරේරා, සුමිත් අල්විස් යන තිදෙනායි. වේශ නිරූපණයෙන් හෙන්රි ප්‍රේමරත්න හා දේවින්දි රාජේන්ද්‍රන් සහභාගිවෙනවා. පෙළ මතක් කිරීම චින්තක පතිරණ කරනවා. මීට අමතරව මා ටවර් හෝල් ශිල්පිනියක් හැටියට ටවර් හෝල් වේදිකාවෙත් ප්‍රසංග වලට සහභාගිවෙනවා.
ලබන දෙසැම්බර් මාසයේදී ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ ගේ ගීත ඇතුළත් සිනමා ගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද ඇය සැලසුම් කර තිබෙන බවද ශිල්පිනී කාංචන මාලා මහවිතාන පැවසුවාය.
නිමල් රාජපක්ෂ
