දියණියකට තම ජීවිතයේ සැබෑවටම ආදරය කරන පුද්ගලයා වන්නේ තම පියාණන් ය. උපන් දා සිට රැකවරණය ලබා දෙමින් , පෝෂණය ලබා දෙමින් නිහඬව පසෙකට වී තම දූ පුතුන් උස් මහත් වෙන ආකාරය බලා සිටින්නේ ආදරණීය පියාණන් ය. ඔහු නිතර සිතන්නේ තම දරුවන්ට තමන් අතින් සිදුවිය යුත්තේ කුමක්ද යන වගයි. පුෂ්පික ලොකුහේවා යනු දක්ෂ ගායකයෙකු සේම දක්ෂ වාදකයෙකි. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරමින් සංගීත කටයුතු වල නියැළෙමින් සිටින සොඳුරු කලාකරුවෙකි. ඔහුගේ එකම දියණිය මේදිනී ලොකුහේවාය. ඇය දක්ෂ නර්තන ශිල්පිනියකි. පුෂ්පික ඇය වෙනුවෙන් සදා මතකයේ රැදෙන වටිනා තිළිණයක් තිළිණ කළේය. ඒ ඔහුගේ හඬින් ඇය ගැන කියවෙන ගීතයකි. පසුගිය දිනෙක ඒ බව කලාවට කවදත් , කාටත් සවියක් වන සරසවියට පැවසූයේය.
අපි පදිංචිව සිටින්නේ ඇමරිකාවේ. මගේ දුව මේදිනි ලොකුහේවා. ඇය මේ වන විට නිව්යෝක්හි ප්‍රධාන පෙළේ රෝහලක සේවය කරනවා. ලබන වසරේ වෛද්‍ය විභාගය සඳහා ඉදිරිපත් වීමට නියමිතයි. මම ඇයට දෙන්න පුළුවන් සහාය උපරිමයෙන් දුන්නා ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා. මගේ බිරිඳත් එසේමයි. ඉදිරියටත් අප දෙදෙනාගේම සහයෝගය ඇයට දෙනවා. මම ගායකයෙක්. ඒ නිසා අමුතු ආකාරයක දෙයක් මගේ දියණිය වෙනුවෙන් කරන්න මට සිතුණා. මට කළ හැකි හොඳම දේ ඇය වෙනුවෙන් ගීතයක් ගායනා කිරීම. එය මම කළා. ප්‍රකට ගී පද රචකයෙකු වන සිඩ්නි චන්ද්‍රසේකරයන් මට ලස්සන පදවැල් කිහිපයක් රචනා කර දුන්නා. එය තවත් හැඩ කරන්න රොෂාන් ද සිල්වා විසින් තනුවක් යොදා සංගීතය නිර්මාණය කළා.
තාත්තාගේ ඇස් දෙක
තාත්තාගේ කම්මුල
තාත්තාගේ තොල්දෙක
තාත්තාගේ සිනහව
තනතන තම්දෙන – තාලෙට නටනා දොණියා.
තාත්තාට තොත්තුවක්
දෙන්නකෝ දෝණියා //
තාත්තාගේ නළලද
තාත්තාගේ කෙස් රොද
තාත්තාගේ ගමනද
තාත්තාගේ හැඩවැඩ //
තනතන තම්දෙන තාලෙට නටනා දෝණියා.
තාත්තාගේ බුද්ධිය
තාත්තාගේ ශක්තිය
තාත්තාගේ ලස්සන
දෝණිට පිහිටා ඇත. //
තනතන තම්දෙන තාලෙට නටනා දෝණියා.
මේ ඒ ගීතයේ කොටසක්. මගේ දුව දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒ ගැන ඉස්මතු වෙන්නත් එක්ක තමයි සිඩ්නි චන්ද්‍රසේකරයන් මේ ගීතය රචනා කළේ. මගේ දුව ගැන සහ දුව වෙනුවෙන් නිර්මාණය වූ ගීතය ගැන කතා කරන්නයි මම දුරු රටක සිට වුවත් සරසවිය සමඟ එක්වුණේ.
දුව නර්තනය ඉගෙන ගත්තේ ඇයට අවුරුදු හතේදී පමණ. මුලදී කකුල් රිදෙනවා කියලා නැටුම් ඉගෙන ගන්න අදිමදි කළා. ඇගේ ආච්චි අම්මාත් නර්තන ගුරුවරියක් වූ නිසා ඇගේත් බල කිරීම මත දුව නර්තනය හදාරන්න පටන් ගත්තා. ඒ අතරේ දුව ඉගෙනීමත් හොඳීන් කරගෙන ගියා. හැමදාම පන්තියේ පළමුවැනියා වුණා.
මගේ දුව මේදිනි උපන්නේ ඇමෙරිකාවේ වුවත් ලංකාවේ නැටුම් සම්ප්‍රදායන්ට ගරු කරමින් අපේ කලාවට මුල්තැන දෙනවා. ඇය උඩරට සහ පහතරට සම්ප්‍රදායන් යන අංශ දෙකම හොඳීන් ප්‍රගුණ කර තියෙනවා. ඒ වගේම ඇය සිනමාවටත් පුදුම ආසාවක් දක්වනවා. දුව යටතේ මේ වන විට ඇමරිකාවේ වෙසෙන සිංහල දරුවන් නර්තනය ඉගෙන ගන්නවා. මෙහි පැවැත්වෙන ප්‍රසංගවලටත් ඇය නර්තනයෙන් එක්වෙනවා. නර්තන කණ්ඩායමක් විදිහට සහ තනිවමත් ඇය ඒ සදහා සහභාගී වෙනවා. ඇමෙරිකාවේ ඉපදුණ ඇය වඩාත් ආදරය කරන්නේ ලංකාවේ නර්තන සම්ප්‍රදායට.
ඇයට අවශ්‍ය නර්තන ඇඳුම් පැලඳුම් ඇමරිකාවේ නැහැ. ඒ සියල්ල ගෙන්වා ගන්නේ ලංකාවෙන්. මේ රටේ ඉන්න උදවිය අපේ ලංකාවේ නර්තන අංගවලට බොහෝ ප්‍රියයි. ඒ බව අපට දැනෙන්නේ විදේශිකයන් ඉදිරියේ ඇය උඩරට, පහතරට නැටුම් ඉදිරිපත් කිරීමේදී. ඒ අභිමානය අපට ලැබෙන්නේ අපේ කලාවෙන්ම පමණයි කියා තමයි දුව නිතරම පවසන්නේ.
මම ඇය වෙනුවෙන් ගායනා කළ ගීතය සඳහා වීඩියෝවක් නිර්මාණය කර ළඟඳීම එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඇගේ නර්තනයක් එයට මුසු කෙරෙනවා. මම ගායකයෙකු නිසා මම ගයනා කරන විට ඒ සඳහා මගේ දුව නර්තනයෙන් සම්බන්ධ වෙනකොට මට ඇසට කඳුළක් නැඟෙන එක වළක්වා ගන්න බැහැ. ඒ තරම් ලොකු සතුටක් තාත්තා කෙනෙක් විදිහට මට විදිනවා .
වර්තමානයේ ඉතා දුක්බර සිද්ධීන් අපි නිතර දකිනවා. සමහර තාත්තලා තමන්ගේම දරුවන්ට වදහිංසා පමුණනවා. එවැනි දෑ සිදුවීම කනගාටුවට කරුණක්. මව්පියන් සහ දරුවන් අතර තද බැඳීමක්, ආදරයක් තිබිය යුතුයි. දරුවන්ව සතුටින් තැබීම තමයි මව්පියන් විදිහට අපි කළ යුත්තේ. දරුවන්ව සතුටු කරන්න පුංචි දෙයක් දුන්නත් ඇති. ඒ නිසාම තමයි මගේ දුවට , මගේ හැකියාවෙන් නිර්මාණයක් තිළිණ කළේ. මේදිනී ලොකුහේවා දක්ෂ නර්තන ශිල්පිනියක ලෙසින් ඉදිරියටම යන හැටි මම ආසාවෙන් බලාඉන්නවා. ඒ වගේම තමන්ගේ දරුවන්ට කලාව ගැන ආදරයක්, උනන්දුවක් ඇතිකරන්න සහ කලාව සඳහා දරුවන්ව යොමු කරන්න කියා මම මව්පියන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.
