වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ ඇතැම් අය එක රැයකින් ජනප්‍රිය වීමට උත්සාහ කරති. එහෙත් කලාව පිළිබඳ දැනුමක් ඇතිව කලා ක්ෂේත්‍රයට පැමිණි ශිල්පීන් එසේ නොවෙති. ඔවුන් සිතන්නේ තම ජන්ප්‍රියතාවයට වඩා තමාගේ දක්ෂතා ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම පිළිබඳවය. එවැනි චරිත බොහෝමයක් අද කලා ක්ෂේත්‍රයේ නිහඬව තම දක්ෂතා පෙන්නුම් කරති. එවැනි කලාකරුවන්ට කලාකාරිනියන්ට ඔවුන්ගේ දක්ෂතා පිළිබඳ කතා කිරීමට ඉඩහසර ලබා දිය යුතුය. ලිලන්තා චිත්‍රානි යනු වසර ගණනාවක් තිස්සේ කලා ක්ෂේත්‍රයේ නියළී සිටින කලාකාරිනියකි. ඇය මුලින්ම ක්ෂේත්‍රයට පා තබන්නේ පාසල් වේදිකාවෙනි. එයින් පන්නරය ලබගත් ඇය මේ වන විට හැකියාවෙන් පිරිපුන් රංගන ශිල්පිනියකි. කෙතරම් දක්ෂ වුවත් ඇය ප්‍රසිද්ධි පසුපස නොගිය කලාකාරිනියකි. ඇය රංගන ශිල්පිනියකට අමතරව නර්තනයට , ගායනයටද දක්ෂතාවය දක්වන්නියකි. එපමණක් නොව ඇය නිවේදන කලාවේද නියැළෙන කාන්තාවකි. පසුගිය දිනෙක ඇය සරසවිය සමඟ එක්වූයේ ඇගේ කලාකාමී ජීවිතය ගැන කතා කරන්නටය.
පුංචි කාලේ ඉඳන් මම කලාවට ප්‍රියකළා. ආදරය කළා. පාසල් කාලයේ සිට වේදිකා නාට්‍ය රංගනයට, නර්තනයට, ගායනයට සම්බන්ධ වුණා. අපේ පාසලේ හිටියා රත්නායක කියලා සර් කෙනෙක්. ඔහු නිර්මාණය කළ ජසයා සහ ලෙන්චිනා වේදිකා නාට්‍යයට මම සම්බන්ධ වුණා. ඒ මඟින් මට ලැබුණ අත්දැකීම් මගේ රංගනය වැඩි දියුණු කරගන්න ඉවහල් වුණා කිව්වොත් නිවැරදියි. ඉනපසු මට පාසල් වේදිකාවේ රඟපාන්න දිගටම අවස්ථාව ලැබුණා.
ඒ විදිහට පාසල් වේදිකාවේ රැඟදැක්වුවත් උසස් පෙළින් පසු මට රඟපාන්න බැරි වුණා. ඉතා අඩු වයසින් විවාහ වු නිසා කලා කටයුතුවලින් සම්පූර්ණයෙන්ම මට ඉවත් වෙන්න සිදුවුණා. විවාහ වෙලා ඉන්න කොට හරි අපූරු සිදුවීමක් වුණා. දවසක් මම ටවුන් එකට ගියා. එහිදී හිටපු කෙනෙක් මාව දැකලා ඇහුවා රඟපාන්න ආස නැද්ද කියලා. ඒ අහපු පුද්ගලයා නළුවෙක්. මම මුකුත් නොකියා ගෙදර එන්න පිටත් වුණා. ඒ පුද්ගලයා මගේ පස්සෙන්ම ආවා ගෙදරට වෙනකන්. ගෙදරට ආපු නළුවාව මගේ මහත්තයා බැනලා පන්න ගත්තා.
” රඟපාන්න යන්න නිළියෝ අපේ ගෙදර නැහැ ” කියලා.
මටත් ආයේ රඟපාන්න ආසාව තිබුණා. මගේ ආසාව මම හිතේ තියාගෙනම හිටියා. මහත්තයට හොරෙන් ගිහින් මම රඟපෑවා. ඒ අතරේ මට දුව ලැබුණා. ඉන්පසු රඟපෑමෙන් ඈත්වුණා. දුව ටිකෙන් ටික ලොකු වෙනකොට මට ආයෙමත් අවස්ථාව ලැබුණා රඟපාන්න. ඒ අතරේ මගේ හිතවතෙකු වෙන සනත් රත්නායක හමුවුණා.. ඔහු මට ඉන්දියානු චිත්‍රපටයක රඟපාන්න කතාකළා. ඉන්පසු මම දිගටම රඟපාන්න ගියා. දෙබස් මුකුත් නැතුව නිකං හිටගෙන ඉන්න චරිතත් මම කළා. එහෙම කළේ රඟපාන්න තිබුණ ආසාවට. එහෙම චරිතත් ඇතුළුව ටෙලි නාට්‍ය පනස් හතරක පමණ රඟපාලා තියෙනවා. මාස්ටර් සර්, හලෝ ඩඩා, වාව් මැඩම්, රොකී වැනි ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම මගේ රංගනය කැපී පෙනුණේ පෝය ටෙලි නාට්‍යවල. මේ වනවිට පෝය ටෙලි නාට්‍ය විසිතුනක රඟපාල තියෙනවා. පසුගිය පෝයට විකාශය වූ රන්මාලයේ සෙවණැලි පෝය ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. ඒ වගෙම ඉදිරි මාසයේ මම රඟපැ තවත් පෝය ටෙලිනාට්‍යයක් විකාශය වීමට නියමිතයි. ඒ හත්වෙනි මනමාලි කියන නාට්‍යය. ඊට අමතරව වෙළඳ දැන්වීම් ගණනාවකටත් පෙනී සිටියා. මේ දිනවලත් වෙළඳ දැන්වීම් කිහිපයක රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා.
මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ ප්‍රවීණ නාට්‍යවේදී සුගත් සමරකෝන්ගේ ” උතුරේ රහුල” වේදිකා නාට්‍යය. සුගත් සර් මට මුණ ගැසුණේ මගේ වාසනාවට. රංගනය ගැන එතුමා මට අයන්නේ සිට කියා දුන්නා. මම පාසල් කාලයේ සිට රඟපෑවත් සුගත් සර් අපිට දුන් දැනුම සහ පුහුණුව නිසා මගේ රංගන විලාසය ඔප්නංවා ගන්නට හැකිවුණා.
උතුරේ රාහුල නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්න අතරේ රූපවාහිනී නාලිකාවලින් කරන කෙටි චිත්‍රපටවලට මට ආරාධනා ලැබුණා. ගුරුකම, පරමාර්ථය වැනි කෙටි චිත්‍රපටවල රඟපාන්න මට ආවස්ථාව උදාවුණා.
මට නර්තන හැකියාවත් තියෙන නිසා මේ දිනවල නර්තන අංග ඉදිරිපත් කරන්න ආරාධනා ලැබෙනවා. මම නොසිතූ ලෙස ඒ සඳහා ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඉන් පසුව ඉල්ලීම් ගලාගෙන ආවා. එක් එක් කලා උත්සව වල නර්තනයන් ඉදිරිපත් කරන්න ඉල්ලීම් බොහෝමයක් තියෙනවා.ගායන හැකියාවෙනුත් මම ඉදිරියේදී අලුතින් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා.
මේ සියල්ලට අමතරව මෑතක සිට මම නිවේදන කටයුතුවලටත් සම්බන්ධ වුණා. මගේ හිතවතෙකුගේ මාර්ගයෙන් මට නිවේදන කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ. ආගමික වැඩසටහන් නිවේදිකාවක් විදිහට මම කටයුතු කරනවා.
මම කවදාවත් ප්‍රසිද්ධිය පසුපස හඹාගියේ නැහැ. ඒ නිසා මා ගැන කතාබහක් ඇතිවුණේ නැහැ. මම වැඩ ගොඩක් කළ කෙනෙක්. ගෙදරින් මුලදී විරුද්ධ වුණත් දැන් මට පූර්ණ නිදහස තියෙනවා” රඟපාන්න. ලැබෙන චරිතය් සුළු චරිතයක්ද කියන එක මට අදාළ නැහැ. එයිනුත් දක්ෂතාවය පෙන්නුම් කරන්න පුළුවන්. රාණි චිත්‍රපටයෙ මම රඟපෑවේ ජ්‍යේෂ්ඨ රංගවේදිනි ස්වර්ණා මල්ලවාරච්චි සමඟ ඉදිරියට ඇවිදගෙන එන දර්ශනයක්.ඒ සුළු කොටසත් මට වටිනවා. මේ අවස්ථාවේ මගේ ජීවිතයට ලොකු ශක්තියක් ලබා දෙන්නෙ මගෙ දුව. ඇයගේ නම මේඝා අයේෂ්මිණී. ඇය මගේ ඇඳුමේ සිට සෑම දේ ගැනම සොයා බලනවා. ඒ වගේම මගේ අම්මා, මගේ මහත්මයා ඒ දෙදෙනාගෙනුත් උපරිම සහයක් ලැබෙනවා.
බොහෝ බාධක මැද ආරම්භ වූ මගේ කලා ජීවිතයෙන් මම කිසිදාක ඈත් වෙන්නේ නැහැ. මා මෙතෙක් රඟපෑ චරිතවලට වඩා සිනමාවේ හෝ ටෙලි නාට්‍ය කලාවේ යමක් කළ හැකි චරිත ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් ඉන්නවා. කලකට පසු මගේ කලා කටයුතු ගැන කතා කරන්න සරසවිය පුවත්පතෙන් ඉඩක් ලබා දීම ගැන ස්තූතියි.
නයනාංජලි දෙහිපිටිය
