Home » මට සිනමාවට එන්න ලැබුණේ දුෂ්ටයාගේ චරිතයෙන් රංගන ශිල්පී දර්ශන් තවරාජ්

මට සිනමාවට එන්න ලැබුණේ දුෂ්ටයාගේ චරිතයෙන් රංගන ශිල්පී දර්ශන් තවරාජ්

by mavan
May 7, 2026 1:42 pm 0 comment

පසුගියදා සිංහල සිනමා තිරයේ දිග හැරුණු සුර දෙටුවෝ හි දුෂ්ටයාගේ චරිතය විශේෂයෙන් කැපී පෙනුණු චරිතයක් විය. ඒ මුහුණ සිනමා තිරයේ නිතර පෙනුණු මුහුණක් නොවේ. ඔහු කඩවසම්ය. ආකර්ෂණීය පෙනුමකින්ද යුක්තය. ඔහු රංගනයට දක්ෂයෙක් වූ දර්ශන් තවරාජාය. දර්ශන් රංගන ශිල්පියෙකු වගේම දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. අප ඔහුව නිතර දකින්නේ පුංචි තිරයේය. මේ දිනවල අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වී ඇති ‘රාජු’ ට පණ පොවන්නේද දර්ශන් තවරාජාය. රංගනයට පැමිණ දිගු කලක් වුවත් දර්ශන් සිනමාවට පිවිසියේ ලක්මාල් වීරසිරිගේ සුරදෙටුවෝ චිත්‍රපටය ඔස්සේය. එය ඔහුගේ මුල්ම සිනමා රංගනය වුවත් එහිදී ඔහු සිනමාවට ආධුනිකයෙකු ලෙස පෙනුණේ නැත. දර්ශන් පුංචි තිරයේ ඉතා කාර්‍යබහුල චරිතයකි. කොතරම් කාර්‍යබහුල වුවත් සරසවියේ ආරාධනය පිළිගෙන පත්තර මහගෙදරට පියනගන්නට ඔහු මැළි වූයේ නැත. එනිසා ඔහු මෙවර සරසවිය සමඟ එක්වූයේ ඔහුගේ පළමු සිනමා රංගනය වෙන සුර දෙටුවෝ සහ ඔහු නියැළී සිටින අනෙකුත් කටයුතු ගැන කතා කරන්නටය.

සුර දෙටුවෝ ලක්මාල් වීරසිරිගේ අධ්‍යක්ෂණයක්. මට එහි රඟපාන්න ලැබුණේ දුෂ්ටයාගේ චරිතය. සමහර අය අහනවා ඇයි මුලින්ම දුෂ්ටයාගේ චරිතයෙන් සිනමාවට ආවේ ඇයි කියලා. මට ලැබුණේ ඒ චරිතය. ලැබෙන චරිතය මම හොඳීන් කළා. සුර දෙටුවෝ මුලින්ම පෙන්වපු දවසේ මම ගියේ ගොඩක් පරක්කු වෙලා. එදා රූගත කිරීමක් තිබුණ නිසා. සුරදෙටුවෝ බලන්න මම ගෙදර අයවත් එක්ක ගියා. එදා තමයි ගෙදර අය තේරුම් ගත්තේ මම මෙච්චර මහන්සි වෙන්නේ ඇයි කියලා. මම වැඩිපුර කාලය ගත කරන්නේ ගෙදරින් පිට. උදේ පාන්දර ෂූටිං ගිහාම එන්නේ රෑ වෙලා. ඉතින් ගෙදර රැදෙන කාලය අඩුයි.

මට රඟපාන්න ලැබුණ සුර දෙටුවෝ ලස්සන ෆිල්ම් එකක්. ඒ වගේ ෆිල්ම් එකකින් මට සිනමාවට එන්න ලැබුණ එක සතුටක්. මට මින් පෙරත් ෆිල්ම්ස් හම්බ වුණා. ඒත් ඒ චිත්‍රපටවල මට දැනෙන්න දෙයක් කරන්න තිබුණේ නැහැ. ඒ නිසා ඒ චිත්‍රපට මඟ හැරුණා. සුර දෙටුවෝ චිත්‍රපටයේ රඟපෑ දුෂ්ඨයාගේ චරිතයට ලැබුණ ප්‍රතිචාර ගැන සතුටුයි. චිත්‍රපටවල දුෂ්ටයාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර එතරම් සුබවාදී නැහැ. එහෙත් මට ලැබුණ ප්‍රතිචාර හරිම ආදරණීයයි කිව්වොත් නිවැරදියි. මම කවදාවත් හිතලා තිබුණේ නැහැ නළුවෙක් වෙන්න. වෙනත් රැකියාවක නිරත වෙන්න තමයි හිත තිබුණේ. ඉස්සර නළු නිළියෝ තිරයේ පෙනෙද්දී මට හිතුණේ ඒ අය වෙනත් ලෝකයකින් ආපු අය වගේ. ඉතින් මටත් හරි පුදුමයි මමත් සිනමා නළුවෙක් වුණ එක ගැන. ඉස්සර මම ආස කළ නළු නිළියෝ එක්ක අද තිරයේ පෙනී සිටින විට ඇත්තටම ඇතිවෙන්නේ සතුටක්.

මම මේ රංගන ක්ෂෙත්‍රයට ආපු හැටිත් හරි පුදුමයි. මම ටීවී එකෙන් නිතර දැකපු කෙනෙක් පාරේදී හම්බ වුණා. මම කතාකළා. එදා ඔහු කිව්වා ” අපේ ටිවී චැනල් එකේ කෙටි චිත්‍රපට කරනවා. කැමති නම් සම්බන්ධ වෙන්න කියලා. ඉන්පසු ඔහු මාව මුහුණු පොතට එකතු කර ගත්තා. ඔහු මට කතා කළ නිසා මම ගියා. ඒත් මම මොකටද යන්නේ, මොනව කරන්නද කියලා තීරණයක් නැතුවයි ගියේ. ඒ ගිය ගමන නිසා අද මම සාර්ථක වෙලා ඉන්නවා.

ලංකාවේ මේ වනවිට දෙමළ සිනමා නිර්මාණ බිහිවෙනවා. ඒත් මට අවස්ථාව ලැබිලා නැහැ එහි රඟපාන්න. ඒකට හේතුව මගේ රූපය , මම රඟපාන විලාසය දෙමළ චිත්‍රපටවලට ගැළපෙන්නේ නැතුව ඇති. දෙමළ චිත්‍රපට නිර්මාණය වෙන්නේ එක් එක් ප්‍රදේශ අදාළ කරගෙන. උදාහරණයක් විදිහට යාපනයේ ප්‍රදේශ අදාළ කරගෙන දෙමළ චිත්‍රපට කෙරෙනවා. ඒ අනුව මගේ රූපය ගැළපෙන්නේ නැතුව ඇති කියලා මට හිතෙනවා. දෙමළ සිනමාවේ වැඩ කරන අය මම පෞද්ගලකවත් දන්නවා. මම මෙතෙක් දෙමළ චිත්‍රපටයක රඟපාල නැති වුණත් ඉදිරියට දෙමළ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් තියෙනවා. ඒක කරන්නේ යාපනයේ. ඒ චිත්‍රපටයට සිංහල රංගන ශිල්පිනියකුත් සම්බන්ධ වෙලා ඉන්නවා.

මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් පමණ වෙනවා. මීට කලින් මට සිනමාවේ ලැබුණු ඇතැම් චරිත නොලැබී ගිහින් තියෙනවා. මම හිතන්නේ එහෙම චරිත නොලැබී ගියේ කුමක් හෝ හොඳකටයි කියලා. මේ දවස්වල මාව ජනප්‍රිය වෙලා තියෙන්නේ රොන් සොයා ටෙලි නාට්‍යයේ රාජු කියන චරිතයෙන්. එහි මම රඟපාන්නේ ත්‍රී රෝද රථ රියදුරෙකුගේ චරිතයක්. මම ඒ චරිතය හොඳට අධ්‍යයනය කරල කරන්නේ. ත්‍රීරෝද රථ රියදුරන් හැසිරෙන ආකාරය පවා මම හොඳීන් නිරීක්ෂණය කරනවා. ඒ චරිතය ටිකක් බොළඳ මෝඩ ගතියක් පෙන්නුම් කරන චරිතයක් විදිහට තමයි පෙනෙන්නේ. දවසක් රොන් සොයා නරඹන කෙනෙක් මට මුණ ගැසුණා. ඔහු කිව්වා අනේ ඔයා හොඳට කතා කරනවනේ. රාජු දකින් කොට නම් හිතුණේ මේ මනුස්සයා මෙච්චරම මෝඩද කියලා හිතුණා. ඒ චරිතය ප්‍රේක්ෂකයාට දැනිලා තියෙනවා කියලා මට ඒ මොහොතෙත් හිතුණා. එවැනි ප්‍රතිචාර ඉතා වටිනවා රංගනය සාර්ථක කරගන්න.

රංගන ශිල්පියෙකුට අමතරව මම චිත්‍ර ශිල්පියෙකු ලෙසත් කටයුතු කරනවා. කුඩා දරුවන්ගේ සිට තරුණ තරුණියන් දක්වා මගෙන් චිත්‍ර ඉගෙන ගන්න එනවා. මට ඒ සඳහාම ඇකඩමියක් තියෙනවා. මගෙන් ඉගෙන ගන්න දරුවන් මගේ රංගනය වෙනුවෙන් දක්වන ප්‍රතිචාර වලට සතුටක් දැනෙනවා. කුඩා දරුවන්ට ඒ ගැන එතරම් තේරුමක් නැහැ. එයාලට මාව පේනවා ඇත්තේ ටීවී එකේ ඉන්න කාටූන් එකක් වගේ. මම මගේ ආර්ට් ක්ලාස් එකට ගිහාම ඒ ගැන පමණයි අවදානම යොමු කරන්නේ. චිත්‍ර ඉගෙන ගන්න කැමති වුණාට මට අකමැති මගෙන් ඉගෙන ගන්න අකමැති අය ඉන්න පුළුවන්. ඒ නිසා තවත් ගුරුවරු තුන්දෙනෙක් යොදවලා තියෙනවා චිත්‍ර ඉගැන්වීමේ කටයුතු වෙනුවෙන්.

මේ ආකාරයට තමයි මගේ ජීවිතය ගෙවෙන්නේ. මගේ රංගන කටයුතුයි, චිත්‍ර ඉගැන්වීමයි සමබරව කරගෙන යන්න මට හැකියාව තියෙනවා. සුරදෙටුවෝ සමඟින් ඇරඹූ සිනමා ගමන ඉදිරියටම ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. සුරදෙටුවෝ චිත්‍රපටයේදී මට සහය දැක්වූ සියලු දෙනාවත් මම ආදරයෙන් මතක් කරනවා. ඉදිරියේදී තවත් සිනමා නිර්මාණ ඔස්සේ ඔබ හමුවට එන්න මම සූදානම්.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT