Home » වෘත්තීය ගමනේ දී වගෙම නිර්මාණ ජීවිතයේදී ජයග්‍රහණ ලැබුණා ලේඛක – පත්මසිරි ප්‍රනාන්දු

වෘත්තීය ගමනේ දී වගෙම නිර්මාණ ජීවිතයේදී ජයග්‍රහණ ලැබුණා ලේඛක – පත්මසිරි ප්‍රනාන්දු

by mavan
May 7, 2026 1:08 pm 0 comment

 

නිර්මාණකරුවකුගේ වපසරිය සමහර විට මිනිය නොහැකි වනු ඇත.එය එක් ඉසව්වකින් ඇරඹී මාවත් ගණනාවක ගමන් කළ හැකිය. පුවත්පත් කලාවෙන් ඇරඹී, රූපවාහිනි මාධ්‍ය ඔස්සේ ගමන් කර ග්‍රන්ථකරණයේ පුළුල් ඉසව්වකට අවතීර්ණ වී සිටින ලේඛකයකු එසේ අපට හමුවේ. රූපවාහිනී මාධ්‍යයේ කළ කැපී පෙනෙනසුලු වැඩ කොටසකින් පසු අද ඔහු ලේඛකයකු වශයෙන් අවධානයට යොමු වී සිටී. ඒ අනුව පත්මසිරි ප්‍රනාන්දු නම් සම්මානනීය නිර්මාණවේදියා අපට සම්මුඛ වූයේ මෙසේය.

මගෙ මුල් වෘත්තිය සම්බන්ධ වුණේ රූපවාහිනී මාධ්‍යයට. පුහුණු වන නිෂ්පාදන සහකාරවරයකු ලෙසයි මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඒ යටතේ ළමා අංශයට සම්බන්ධ වී ආ ගමන් මඟ එහි අංශ ප්‍රධානී,සහකාර අධ්‍යක්ෂ දක්වා කටයුතු කර විශ්‍රාම ලැබූයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන්.

ලිවීමේ ඇල්ම හට ගෙන තිබුණේ පාසල් යන අවධියේ සිටයි. ඒ කාලෙ මිහිර පුවත්පතට තමයි මුලින් ම ලිව්වේ.

සලරුව කියල තිබුණ සිනමා සඟරාවෙ තමයි පසු කාලයේ මම මුලින්ම වැඩ කළේ. එවකට එහි කර්තෘ ධුරය දැරුවේ රොඩ්නි විදානපතිරණ මහත්මයායි. ඒ කාලයේ එහි අමරසිරි කලංසූරිය මහත්මා ගැන ‘ කලං කියන දුක්බර කතාව’ කියන විශේෂාංගය කතාබහට ලක් වුණා. ඒ වගේම තරුණයා, විජය, සුරතලා වැනි පුවත්පත්වලටත් ඒ සමයේ දායක වී ලේඛකයකු ලෙස කටයුතු කර තිබෙනවා. ඒ අතරෙ එදා මෙදා තුර ළමා කතා පොත් 57කුත් එළිදක්වන්න පුළුවන් වෙලා තියෙනවා.

වෘත්තීය ගමනේ දී වගෙම නිර්මාණ ජීවිතයේදී ලබා ගත් ජයග්‍රහණ තිබෙනවා.

ළමා පොත් තමයි මගෙ අතින් වැඩිපුරම ලියැවී තිබෙන්නේ. මොකද දරුවන් හා සම්බන්ධ නිර්මාණ මගෙ විෂය වූ නිසා.ඒ අතරෙ 2009 මම ලියපු වඳුරු නැටුමක් කියන ළමා කතා පොතේ පිටකවරයට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වීම එක් අවස්ථාවක්. කවරය ඇන්දේ කුමුදු තාරක විසින්.වසර තිස් හතකට ආසන්න මගෙ වෘත්තීය ජීවිතයේ රූපවාහිනී මාධ්‍යවේදියකු විදියටයි කටයුතු කළේ.ඒ අතර 1985 දී මම කළ මොනවද මුත්තේ මොකද කරන්නේ කියන ගීතය විශේෂ නිර්මාණයක්. එස්. මහින්ද හිමිගෙ පදරචනයක් රෝහණ වීරසිංහ මහත්මාගෙ සංගීත නිර්මාණයෙන් අලංකාර කොට නිර්මාණය කළ ඒ රූප රචනය ලෝකයේ රටවල් හතළිස් හතක පමණ මේ වනවිට නරඹා තිබෙනවා.

ඊට අමතරව මා කළ විශේෂ සංගීත වැඩසටහනක් තමයි ‘ උදාර ‘ කියන සංගීත වැඩසටහන.1985 දී ආරම්භ කළ එය වසර එකොළහක් අඛණ්ඩව ඉදිරිපත් කළා. අද සංගීත ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ නිර්මාණකරුවන් ගොඩක් අත්පොත් තැබුවේ උදාර ළමා සංගීතමය වැඩසටහන ඔස්සේ. ශෂිකා නිසංසලා උරේෂා රවිහාරි, දර්ශන ප්‍රමෝද්, හර්ෂ බුලත්සිංහල ධනන්ජය සෝමසිරි ජනනාත් වරකාගොඩ වැනි ගායනවේදීන් හා සංගීතවේදින් ගණනාවක් මතු වුණේ උදාර වැඩසටහන ඔස්සේ. මම කරපු තවත් එවැනි ම වැඩසටහනක් තමයි හෙට පිපෙන මල් කියන්නෙත්.

ඊට අමතරව මම ළමා ටෙලි නාට්‍ය කීපයක් කළා.

විශේෂයෙන් ම මතක් කළ යුතු නාට්‍යයක් තමයි අඹ යහළුවො කියල කියන්නෙ. මම එහි සහය අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කළා.

ඊට අමතරව මම රූපවාහිනී මැදිරි නිෂ්පාදනයක් විදියට කරපු වනපෙතක අන්දරය කියන නාට්‍යයත් දරුවන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. ඒ අතරින් මම කරපු ‘ රත්ති ‘ කියන නාට්‍යය 2006 වසරේදී ජාතික ටෙලි සම්මාන උලෙළේ හොඳම ළමා වැඩසටහන විදියට සම්මානයට පාත්‍ර වුණා. ඊට අමතරව ජර්මනියේ වසර දෙකකට වරක් පැවැත්වෙන ෆී ජුනෙස් අන්තර්ජාතික ළමා චිත්‍රපට හා නිර්මාණ උලෙළේ දී (2008) අවසන් වටය සඳහා රත්තී නාට්‍යය තේරී පත් වී ආසියාවේ හොඳම ළමා නිර්මාණය වෙනුවෙන් වූ සම්මානය ඊට හිමි වුණා.

ඊළඟට සෞඛ්‍ය අධ්‍යාපන කාර්‍යංශය හා ජාතික රූපවාහිනිය වෙනුවෙන් කළ උදාවූ වසන්තය කියන නාට්‍ය මාලාව නව යොවුන් අවධියේ දරුවන් පිළිබඳව කළ නාට්‍ය මාලාවක්. එහි තිර රචනය පර්සි ජයමාන්න හා තුසිත මලලසේකර මහත්වරුන් විසින් කළේ. අධ්‍යක්ෂණය කළේ මවිසින්. ඒ නාට්‍ය මාලාවේ පළමුවැනි නාට්‍යයට 2006 වසරේදී ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ දැනුම්වත් කිරීම උදෙසා වූ විශිෂ්ටතම ප්‍රජනක සෞඛ්‍ය වැඩසටහනට හිමි වන සම්මානය ද හිමි වුණා.

මේ දිනවලදී මම තව පොත් කීපයක් අවසන් කරමින් ඉන්නෙ. එක පොතක් සත්තු ගැන වෙනම විදියකට ලියැවෙන පොතක්. ඊට අමතරව යොවුන් නවකතාවක් සහ කෙටි කතා සංග්‍රහයකුත් නිකුත් කරන්න බලාපොරොත්තුව ඉන්නව මේ වසරේ.

ඉතින් මම විශ්වාස කරනව ලංකාවේ හොඳ ළමා සාහිත්‍යයක් තිබෙනව කියල. අපිත් ගොඩ නැඟුණෙ ඒ ඔස්සෙනෙ. ලේඛකයො විදිහට.

කුමාරතුංග මුනිදාස, එස්. මහින්ද හිමි වැනි විද්වතුන් වගේම අරිසෙන් අහුබුදු ශූරීන්ගෙන් ගොඩ නැඟුණ ළමා ගීත සාහිත්‍යයත් තමයි අපිව පෝෂණය කළේ.ඒ වගේම මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ මඩොල්දූව වැනි යොවුන් නවකතා, එතකොට ටී.බී. ඉලංගරත්න මහත්තයගෙ අඹ යහළුවෝ තිලක හා තිලකා, විලම්බිත වැනි කතාවලින් තමයි අපි පන්නරය ලැබුවෙ.හැබැයි මම දුටු දෙයක් තමයි මේ කතාවල අර ෆේමස් ෆයිව් කතාවල රුව ගුණ ගැවී තිබුණ කියන එක. ඒ කතා ඔක්කොම වික්‍රමාන්විත ඒවා ලෙසයි ගොඩ නඟා තිබුණ්.හැබැයි මෑත කාලයේ යොවුන් නවකතාව ඊට වඩා වෙනස් පැත්තකට යොමු වෙලා තියෙනවා කියලා හිතනවා. විශේෂයෙන් සමාජ ප්‍රගමනයට ඒ ඔස්සේ යම් උත්තේජනයක් සැපයීමට නූතන යොවුන් නවකතාකරුවන් උත්සාහ දරන බව පෙනී යනවා. ඒක මම හිතනවා අර අපි වික්‍රමාන්විත නිමාවේ කතා ස්වරූපයෙන් එහාට ගිය සොබාවයක් කියල. මම හිතනව ඒක හොඳ දෙයක් වගෙම ළමයි ඒව කියවයි කියල. මොකද මීට දශක දෙක තුනකට පෙර හිටපු ළමයා නොවෙයි නෙ අද ඉන්නෙ. ඊට වඩා හරි පරිණත දරුවෙක් අද ඉන්නෙ. වෙනස් ලෝකයක් දැකපු, අන්තර්ජාලය ඇසුරු කරන දරුවෙක්. ඒ නිසා එතනදි අපට බොරු දේවල් හෝ මවාගත් දේවල් ලියන්න බැහැ. දරුවාට පුළුවන් ඉක්මනින් සොයා බලා ඒක තහවුරු කරගන්න. ඒ නිසා ඔවුන්ව කියවීමට පොලඹවා ගන්න නම් සත්‍යවාදී ගවේෂණශීලී දේවල් විතරක් නෙවෙයි අතිශය නිර්මාණශීලී ප්‍රවේශයක් ද ගත යුතු වෙනවා. මම හිතනව නූතන නිර්මාණකරුවන් මේ ප්‍රවේශය ගනීවි කියල. ඒ පිළිබඳ මට විශ්වාසයක් තියෙනවා. ලේඛකයකු විදියට.

 

 

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT