35 වැනි සරසවිය සම්මාන උලෙළ

35 වැනි සරසවිය සම්මාන උලෙළහෙළයේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන සරසවිය සම්මාන උලෙළ මේ මස 28 වැනි බ්‍රහස්පතින්දා  සවස 6.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. සරසවිය පුවත්පතට වසර 60ක් පිරීම මෙන්ම මෙවර 35 වැනි වරට  සරසවිය සම්මාන උලෙළ පැවැත්වීම සම්බන්ධව මාධ්‍ය දැනුම්වත් කිරීම පසුගියදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ දී පැවැතියේ ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියලු කර්තෘවරුන්,  යුනිලීවර් ශ්‍රි ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂිකා ශමාරා සිල්වා, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, මෙවර නිල බැංකු සහකරු ලෙස ඉදිරිපත්වන කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී අලෙවිකරණ ඉරෝෂා වෙත්තසිංහ, සරසවිය ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

 

සම්මාන උළෙලේ ඉතිහාසය

මෙරට පළමු සිනමා පුවත්පත ලෙස ‘සිනමා’  පුවත්පත ඇරැඹෙන්නේ 1952 වසරේ දී රොබට් ජයවර්ධනයන්ගේ පුරෝගාමීත්වයෙනි. ඉන් වසර එකොළහකට පසුව පත්තර මහගෙදරින් සරසවිය පුවත්පත බිහිවන්නේ රංජිත් විජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන්  1963 අප්‍රේල්  10 වැනිදා ය. එය මෙරට බිහිවූ 46 වැනි සිනමා පුවත්පත ලෙස ඉතිහාසයට එක්වන්නේ සුප්‍රකට කවියකු මෙන්ම තිර පිටපත් රචකයකු වන පී. කේ. ඩී. සෙනෙවිරත්නයන් විසින් යොදන ලද සරසවිය නාමය ද සමඟිනි. සරසවිය පුවත්පත ඇරැඹීමේ නැකත බඹරැන්දේ සිරි සීවලී හිමියන් විසින් සාදා දුන්හ. මේ සියල්ලේ  විශේෂ ගෞරවය හිමිවිය යුත්තේ පත්තර මහගෙදර නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ටය. සරසවිය පුවත්පතට සමගාමීව  1964 මැයි 9 වැනිදා සරසවිය සම්මාන උලෙළ බිහිවූවේ ද  රංජිත් විජයවර්ධනයන්ගේ මූලිකත්වයෙනි.  ගෙවුණු වසර 60  පුරා විවිධ හැඩයෙන් සිනමා පුවත්පත් 115ක් බිහිවුව ද මේ වන විට ඉන් 114ක්ම නැවතී සරසවිය පුවත්පත පමණක් කලාවේ උන්නතිය උදෙසා අභිමානවත් ලෙස වැජඹෙමින් සිටියි.

.

සම්මාන උළෙලේ අනුග්‍රහය

මෙවර සරසවිය පුවත්පත සමරනු ලබන්නේ වසර 60 පිරීමේ වජ්‍ර ජයන්තියයි. ඊට සමගාමීව යමින් සරසවිය සම්මාන උලෙළ ද සිය අභිමානවත් 60 වැනි වසර සමරයි. විවිධ හේතූන් මත මගහැරුණු  අවස්ථාවන් හැරුණු විට මෙවර සරසවිය සම්මාන උලෙළ සමරනු ලබන්නේ 35 වැනි සම්මාන රාත්‍රියයි. වසර 30කට පසුව නැවතත් ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස  ශ්‍රී ලංකා යුනිලීවර් (ලක්ස්) ඉදිරිපත් වීම ද සරසවිය අභිමානය තවදුරටත් ඉහළ නංවන්නකි. ලොව වටා නිළියන්ගේ ප්‍රතිරූපය හා බැඳුණු කීර්තිමත් වෙළෙඳ නාමයක්  වන ලක්ස් මෙවර සියවැනි සංවත්සරය සමරනු ලැබීම ද විශේෂත්වයකි. හෙළයේ මහා කලා මංගල්‍ය ලෙස සැලකෙන සරසවිය සම්මාන උලෙළ සඳහා නිල බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව අත්වැල්  බැඳගන්නා අතර  නිල මාධ්‍ය සහයෝගීතාව  සහෝදර අයි.ටී.එන්. මාධ්‍ය ජාලයෙනි.

මෙවර පිරිනැමෙන සම්මානයන්

මෙවර සම්මාන උලෙළ සඳහා සලකා බැලෙන චිත්‍රපට

මෙවර සම්මාන උලෙළ සඳහා සලකා බැලෙනුයේ 2019 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා තිරගත වූ චිත්‍රපට 30ක් හා 2020 වසරේ ජනවාරි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා තිරගත වූ චිත්‍රපට 12 ක් ඇතුළුව සමස්ත චිත්‍රපට 42කි. 2019 සහ 2020 වසර සඳහා වෙන වෙනම සම්මාන පිරිනැමෙන අතර ජනප්‍රිය නළුවා සහ නිළිය සඳහා හිමි සම්මාන ද වසර ද්විත්වය සඳහාම පිරිනැමේ.

 

 

2019 වසරේ තිරගත වූ චිත්‍රපට  – 30

ගින්නෙන් උපන් සීතල, සංගිලි, තාල, නැති බැරි ටාසන්, දැකල පුරුදු කෙනෙක්, අසන්ධිමිත්තා, සුළඟ අප රැගෙන යාවි, සාම කුමරු කතාව, සංසාරයේ දඩයක්කාරයා, කතා කරන හීන, වැලි පවුරු, ඉස්කෝලෙට මං ආවා, තිත්ත ඇත්ත, සුභා තෙරණිය, ෆේස් ටු ෆේස්, සිකුරු යෝගය, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්, ජය ශ්‍රී ඇමැතිතුමා, හුස්ම,මානය, රෂ්, විජයබා කොල්ලය, යූ ටර්න්, පාර්තිබන්, ගෝරි, එක රෑනේ කුරුල්ලෝ, රී ලෝඩ්, සකී, උලලේනී, විෂම භාග

 

2020 වසරේ තිරගත වූ චිත්‍රපට – 12

පාංශු, මිස් ජෙනිස්, සුනාමි, ද නිවුස් පේපර්, රූකඩ පැංචී, ඇවිළෙන සුලුයි, සූස්ති, ඊතලය, සේද මාවත, ෂෙලීනා, සුපර්ණා, හෝන්

 

 

 

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT