ඒ සුමිහිරි ගීත ගායනයෙන් සිත් මුසපත් නොවූ කිසිවෙකුත් නැති තරම් ය. ලොව කිනම් භාෂාවක් කථා කළ අයෙතුට වුව ද ඇගේ ගී ගැයුම් කනට මී බිඳු වෑහෙන්නා සේ විය. කොලිවුඩය ද බොලිවුඩය ද හොලිවුඩය ද යන්නට සීමා නොවී ඒ ගිත ශ්‍රවණය කළ පිරිස බිලියන ගණනකි. එය රටින් රට, මහද්වීපයෙන් මහද්වීපයට පැතීරී ගිය මනෝහර සංගීත ස්වරයක් විය. පුරා දශක අටකට වැඩි කාලයක් ඇය ලොව පුරා රසික සිත් ගීතයෙන් සනහාලූයේ ය. ඒ වෙන කිසිවකුත් නොව අප අසල්වැසි රට වන ඉන්දියාවේ ගී ගැයූ කෙවිලිය වන ආශා බෝස්ලේ ය.
ලොව පුරා රසික සිත් සැනසූ සුපිරි ඉන්දීය ගායිකා ආශා බෝස්ලේ පසුගිය සිය ජීවන ගමන නිමා කළේ පසුගිය අප්‍රේල් 12 වන දා.මිය යන විට ගීත දොළොස්දහකට වැඩි සංඛ්‍යාවක් ගායනා කර තිබූ ඇය සුපිරි ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර්ගේ බාල සොයුරිය වීම ද සුවිශේෂී විය.ඇයගේ ගීත බොලිවුඩයේ පමණක් නොව ලොව පුරා රසික රසිකාවන් විසින් ඇද බැඳගත් බවටනම් නොරහසකි. ඉන්දීය රජයෙන් පිරිනැමෙන දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන පද්ම විභූෂණ සම්මානය හිමි කර ගෙන ඇති ඇය භාරතීය ශ්‍රේෂ්ඨ කලාකාරිනියක ලෙස විරාජමාන වී හමාරය. මියයන විට 92 වැනි වියේ පසුවූ ආශා බෝස්ලේ මිහි පිට සිටි ජ්‍යේෂ්ට ගායිකාවක ලෙස ජන හදවත් තුළ සිත්තම් වී සිටියා ය.
ඇය මංගේෂ්කාර් කලා පවුලේ දියණියක්
1933සැප්තැම්බර් 08 දා ඉන්දියාවේ මුම්බායිහි මංගේෂ්කාර් පවුලේ දියණියක ලෙසින් උපත ලැබූ ඇය ඉන්දියාවේ බිහි වූ ශ්‍රේෂ්ඨ ගායිකා ලතා මංගේෂ්කාර්ගේ නැගණිය වීම ම සුවිශේෂී භාග්‍යයක් හිමි කර ගැනීමකි. ඇය මහාරාෂ්ට්‍රයේ සංග්ලි හි ගෝර් ගම්මානයේ දී දීනනාත් මංගේෂ්කාර්ගේ සංගීත පවුළෙහි ආශා මංගේෂ්කාර් ලෙස උපත ලැබීය. සිය ජ්‍යේෂ්ඨ සොයුරිය වූ ලතා මංගේෂ්කාර්ගේ මඟ ම යමින් ඇය ද ගායනය ප්‍රගුණ කළේ කුඩා අවධියේ දී ම ය. ඇය වයස අවුරුදු 9 දී වෘත්තීයමය වශයෙන් ගායනා කිරීමට පටන් ගත්තාය. එසේම තම පියා වන දීනනාත් මංගේෂ්කාර්, ඔහුගේ ගෝලයන් සහ ඇගේ වැඩිමහල් සොහොයුරිය වන ලතා මංගේෂ්කාර් ගායනා කරන ආකාරය උනන්දුවෙන් අසා ඉගෙන ගැනීම මේ විශිෂ්ඨ බවේ පදනම විය. ඇත්තෙන්ම ඇය පැවසුවේ සංගීතය ඇයට “හුස්ම ගැනීමට සමාන” වන බව ය.
ඇය චිත්‍රපට ගීත, ගසල්, පොප්, සම්භාව්‍ය, භජන් සහ කැබරට් ගායනා හරහා විශිෂ්ටත්වයට පත්විය. ඇගේ සහෝදරියන් වන ලතා සහ උෂා මංගේෂ්කාර් පසුබිම් ගායිකාවන් විය. වැඩිමහල් සහෝදරිය වන මීනා මංගේෂ්කාර් සහ බාල සහෝදරයා වන හෘදයා නාත් මංගේෂ්කාර් සංගීත අධ්‍යක්ෂවරුන් විය.
විශිෂ්ඨ චිත්‍රපට පසුබිම් ගායිකාව
1943 දී සිය පළමු මරාති චිත්‍රපට ගීතයෙන්ම සංගීත ක්ෂේත්‍රයට ඇය අත්පොත් තැබීය.ඒ ‘”චලා චලා නව් බාලා”, මරාති චිත්‍රපටයට (ර්චණඩච ඕචත) ගායනා කරමිනි. හන්ස්රාජ් බෙල්ගේ චුනරියා (1948) සඳහා “සාවන් ආයා” ගීතය ගායනා කිරීමත් සමඟ ඇය සිය පළමු හින්දි චිත්‍රපටයට පිවිසියාය.තවත් චිත්‍රපටයක් වන ඒදඤඩධද ම්ඪ ච්භදඪරච එම වසරේම චුනරියාට පෙර නිකුත් විය. ඇයගේ පළමු ඒක පුද්ගල හින්දි චිත්‍රපට ගීතය වූයේ 1949 දී “රාත් කි රාණි” චිත්‍රපටය සඳහා ය. 1969 දී කිෂෝර් කුමාර් සහ ආචාර්ය භූපෙන් හසාරිකා සමඟ “සිකිමික් බිජුලි” චිත්‍රපටය සඳහා “පෝකිරාජ් ගෝරා” ගීතය ගායනා කළ විට ඇය ඇසෑම් චිත්‍රපටවලද ඇගේ මංගල ගීතය ගායනා කළාය.
1957 වසරෙදි තිරගත වූ නයා දෝර් චිත්‍රපටයේ ඇය කළ ගීත ගායනා ඇගේ සංගීත ජීවිතයේ පෙරළියක් ඇතිකළ සංධිස්ථානය විය. සිය සොයුරිය වූ ලතා මංගේෂ්කාර් භාරතයේ ශ්‍රේෂ්ඨතම ගායිකාව ලෙස ඉතිහාසයට එක් වෙද්දී ආශා බෝස්ලේ ඉන්දියාවේ දෙවැනි ශ්‍රේෂ්ඨ ගායිකාව ලෙස ලෝක ප්‍රසිද්ධියට පත් විය.
ගන්පැට්‍රාවෝ බෝස්ලේ සමඟ 1949 දී වූ විවාහය නිසා ආශා ගේ නමට බෝස්ලේ යන්න එකතු විය. භාෂා ගණනාවක් කතා කළ හැකි වූ ඇයගේ ගීත ගායනා ලෝකයේ විවිධ රටවල ජනතාව ඉතා ප්‍රිය කළ බව නොරහසකි.වෘත්තීය ජීවිතය තුළ, ඇය භාෂා 20 කට වැඩි ගණනකින් ගීත දහස් ගණනක් පටිගත කර ඇති අතර බොහෝ ගෞරව සමිමාන දිනා ගෙන තිබීම ද සුවිශේෂි ය.
ඉන්දියානු සිනමාවේ ප්‍රධාන වශයෙන් ඉන්දියානු පසුබිම් ගායිකාවක්, ව්‍යාපාරික කාන්තාවක්, නිළියක් සහ ප්‍රකට රූපවාහිනී පෞරුෂයක් ඇයට හිමි විය. තවද ඇය හින්දි සිනමාවේ ශ්‍රේෂ්ඨතම සහ වඩාත්ම බලගතු ගායිකාවක ලෙස හඳුන්වා දෙනු ලැබී ය.
සම්මානනීය ගායිකාව
හොඳම චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙසින් වාර්තාගතව ෆිල්ම් ෆෙයාර් සම්මානය හත් වරක් ඇය දිනා ගෙන ඇත. එය ඇගේ සිනමා ජීවිතයේ සුවිශේෂී සම්මාන එකතුව විය.ඇය විවිධ ඉන්දියානු භාෂාවලින් චිත්‍රපට සහ ඇල්බම සඳහා ගීත පටිගත කළ අතර, ජාතික චිත්‍රපට සම්මාන දෙකක්, ඕජ්බ්ඒ සම්මාන හතරක්, මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත චිත්‍රපට සම්මාන දහඅටක්, ජීවිත කාලය පුරාම සම්මානයක් ඇතුළුව ෆිල්ම් ෆෙයාර් සම්මාන නවයක්ඇතුළු සම්මාන රාශියක් දිනා ගත්තාය.
ග්‍රැමී නාමයෝජනා දෙකකට අමතරව. 2000 දී, ඇය සිනමා ක්ෂේත්‍රයේ ඉන්දියාවේ ඉහළම සම්මානය වන දාදාසහෙබ් ෆාල්කේ සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.2008 පද්ම විභූෂණ සම්මානය ඇය වෙත පිරිනැමීම ද විශිෂ්ට අවස්ථාවක් විය. පද්ම විභූෂණ සම්මානය යනු ඉන්දියාවේ ඉහළම සම්මානය වන භාරත රත්න සම්මානයට පසු ඇති ඉහළම සම්මානයයි. එබැවින් එය සිවිල් පුරවැසියතු සඳහා පිරිනැමෙන දෙවන උසස්ම සම්මානය වේ. මෙයට අමතරව ඉන්දියාවේ විවිධ සිනමා හා කලා ආයතන වෙතිනි ඇය ලැබූ සමිමාන සංඛයාව ද සිය දහස් ගණනකි.
2011 වසරේ ඇය ගිනස් වාර්තාවක් තැබුවේ ලොව වැඩිම වාරයක් ශබ්දාගාර පටිගත කිරීම් සිදුකළ එකම ගායිකාව ඇය ලෙස ය.
සිංහල බසින් ගී ගයා පළ කළ ලාංකේය බැඳීම
ශශ්‍රී ලංකාවේ රසිකයන්ටද ආශා බෝස්ලේගේ ගීත රස විඳීමට අවස්ථාවක් 2009 වසරේදී උදාවිය…..දේ දුන්න සේදී වැනිල්ල උතුරා… යන ගීතය, සන්තුෂ් හා භාතිය සමග ගයමින් මෙරට ගීත ලෝලීන් කුල්මත් කිරීමට ඇය සමත් විය. ඇයගේ සංගීත ප්‍රසංග සඳහා ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ ඉහළම ආදරය ඇය ලැබූ බවද මෙහිදී කිව යුතුය. විශේෂයෙන් ඇය ගායනා කළ බොහෝ ගීත ලාංකේය ප්‍රේක්ෂක සිත් ද අමන්දානන්දයට පත් කර ඇත.
ශ්‍රී ලාංකේය දේශපාලනඥයන් කලා කරුවන් ඇතුළු බෙහෝ දෙනා ඇයගේ වියෝව වෙනුවෙන් ශෝක ප්‍රකාශ ද පළ කළහ. එය දේශසීමා ඉක්මවා ගිය හඬක් බවයි බොහෝ දෙනාගේ අදහස වූයේ.
කලාකරුවන් හා ආසියානුනායකයන්ගේ ශෝකය බොලිවුඩ් සුපිර් නළු අමිතාබ් බච්චන්,ශාරුක් ඛාන් ඇතුළු බොහෝ නළු නිළියන් සචින් තෙන්ඩුල්කාර් ඇතුළු ක්‍රීඩකයින් පවා මේ අසහාය ගායිකාවගේ වියෝව වෙනුවෙන් සිය ශෝකී පණිවිඩ පළ පළ කොට තිබුණි.
ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු තම ශෝකය පළ කරමින්,එය සංගීත ලෝකයේ විශාල හිස්බවක් ඇති කර ඇති බව පැවසීය.සුප්‍රසිද්ධ ගායිකාවක් ලෙස ඇයගේ සුප්‍රසිද්ධ වෘත්තීය ජීවිතය ඉන්දියාවේ සංගීත යුගයක් නිර්වචනය කර ඇති බව ඇය සඳහන් කළාය.ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ශෝකය පළ කළේ මෙලෙසිනි. “දශක ගණනාවක් පුරා දිවෙන ඇගේ අසාමාන්‍ය සංගීත ගමන, අපගේ සංස්කෘතික උරුමය පොහොසත් කළ අතර ලොව පුරා අසංඛ්‍යාත හදවත් ස්පර්ශ කළේය. එය ඇගේ ආත්මීය තනු හෝ විචිත්‍රවත් රචනා වේවා, ඇගේ කටහඬ සදාකාලික දීප්තියක් ගෙන දුන්නා ය” මෝදි මහතා පැවසීය. ඉන්දීය නායකයාන් පමණක් නොව ආසියානු කලාපයේ හා ලොව බොහෝ රටවල නායකයින් හා ප්‍රබල පුද්ගලයන් මේ සම්බන්ධව අදහස් දක්වා තිබුණි.
ආශා සහ ලතා ගැන සමාජ මාධ්‍යවල වාර්තා කළ ඇදහිය නොහැකි දේ ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් ආශා බෝස්ලේගේ වියෝව සහ ඇගේ සහෝදරිය වන ශ්‍රේෂ්ඨ ගායිකා ලතා මංගේෂ්කාර්ගේ අභාවය අතර ඇති අද්භූත අහඹු සිදුවීම් කිහිපයක් පෙන්වා දීම ද මේ දිනවල කතා බහට ලක් වුණි.
1929 දී උපත ලැබූ ලතා මංගේෂ්කාර්, 1933 දී උපත ලැබූ ඇගේ බාල සොහොයුරිය වන ආශා බෝස්ලේට වඩා අවුරුදු 4ක් වැඩිමල්ය. කැපී පෙනෙන අහඹු සිදුවීමකින්, ලතා 2022 දී මිය ගියේය. ඒ 2026 දී මිය ගිය ආශාට වඩා හරියටම වසර හතරකට පෙරදී ය.
එසේම. සහෝදරියන් දෙදෙනාම වයස අවුරුදු 92 දී මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේදී ම මිය ගිය අතර ඒ දෙකම සිදු වී ඇත්තේ ඉරිදා දිනයක වීම පුදුම සහගතය. ආශා බෝස්ලේ ඇගේවෘත්තීය ජීවිතය තුළ, භාෂා 20 කට වැඩි ගණනකින් ගීත 12000කට වැඩි ගණනකට දායකත්වය ලබා දී ඇත. දාදාසහෙබ් ෆාල්කේ සම්මානය සහ පද්ම විභූෂණ ඇතුළු බොහෝ ගෞරව දිනා ගෙන ඇත.එසේම ඇය මිය ගියේ පෙණහළු සංකූලතා හා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙනි.
ලතා මංගේෂ්කර් දින 28 ක් තිස්සේ කොවිඩ් සහ නියුමෝනියාව නිසා ඇතිවන සංකූලතා හේතුවෙන් 2022 පෙබරවාරි 6 වන දින මිය ගියාය. ලතා, දශක අටක වෘත්තීය ජීවිතය තුළ භාෂා 36 කින් ගීත 30,000 කට වඩා පටිගත කළාය. ඇය පද්ම භූෂණ, දාදාසහෙබ් ෆාල්කේ සම්මානය, පද්ම විභූෂණ සහ ඉන්දියාවේ ඉහළම සිවිල් ගෞරවය වන භාරත රත්න සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. මේ සොයුරියන්ගේ ජීවිත තුළ සැඟවූණූ අපූර්ව යමක් ඇති බවයි මේ සන්සන්දනයෙන් බොහෝ දෙනා පැහැදිලි කරන්නේ.
භාරතීය සුමියුරු ගීත පියුම් විල
ආශා බෝස්ලේගේ කෘතිවලට චිත්‍රපට සංගීතය, පොප්, ගසල්, භජන්, සාම්ප්‍රදායික ඉන්දියානු සම්භාව්‍ය සංගීතය, ජන ගී, කව්වාලි සහ රබීන්ද්‍ර සංගීතය ද ඇතුළත් විය. ඇය ගායනය මෙන්ම රංගනය ද රසාලිප්තව මුසු කළ ශ්‍රේෂ්ඨ කලාකාරියකි. 2026 අප්‍රේල් 12 වන දා ඇය අවසන් හුස්ම හෙළූ බව අසා මුළු ඉන්දියාවම සෝ බරිත විය.මෙදින පැවති ඉන්දියානු අයිපීඑල් ක්‍රිකට් ශූරතා තරගාවලියේ තරග ආරම්භයට මත්තෙන්මසියලු ක්‍රිකට් ක්‍රීඩකයින් හා ක්‍රීඩෝලීන් ඇයට ගෞරව පිදුවේ ද ඒ අතිවිශිෂ්ට හඬ පෞරුෂයට ගරු කරමිනී. 2026 අප්‍රේල් 13 දා ඇයගේ දේහය වෙනුවෙන් අවසන් චාරිත්‍ර ඉටු කෙරිණි.නිහඬ වූ බොලිවුඩයේ ගී මියැසිය ලෙස ඇගේ වියෝව බොහෝ දෙනාගේ හදවත්වල ලියා තැබුවේ ලොව විශිෂ්ටතම ගායිකාවකගේ නික්ම යෑමේ කඳුළු සටහනයි. එය ශශ්‍රී ලාංකික අපටත් ඉතා තදින් දැනේ.
(තොරතුරු දැක්වීමේදී ඉන්දීය ජ්ඪතථ ඩ්ඥපඪබචඨඥ ජ්ධභදඤචබඪධද ආයතනය ලබා දුන් සහයෝගයට ද ස්තූතිය හිමි වේ)
නිශාන්ත චාමින්ද පීරිස්
