සිනමා කැමරාව යනු තප්පරයට රූප 24ක වේගයෙන් වෙඩි තැබිය හැකි සෞන්දර්යකාමී තුවක්කුවකි. එය හුදෙක් තාක්ෂණික මෙවලමක් ම නොවේ. මනාව සකසන ලද සිනමා රූපයකින් අර්ථ සහ පණිවුඩ බොහෝ ජනනය කළ හැකි ය. සිනමා කැමරාව නමැති මෙවලම ඔස්සේ අපුරු ආකාරයේ සිනමාත්මක රූප මවන කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස ධම්මික රත්නායක දශක ගණනාවක මෙරට වෙළඳ දැන්වීම, ටෙලිනාට්‍ය, සිනමාව යන තෙයාකාරයෙහි දස්කම් පෑ සම්මානලාභී නිර්මාණකරුවෙකි. මේ දිනවල සිනමාශාලා බොහෝමයක අති සාර්ථක ලෙස තිරගත වෙන “OIC ගඩාෆි” චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ධම්මික රත්නායක විසිනි. මෙවර සරසවිය කලාපයේ ඉඩ හසර වෙන්වන්නේ කැමරා අධ්‍යක්ෂ ධම්මික රත්නායක සමඟ සිදු කළ කතාබහ සමඟිනි.
ඔබ කැමරා අධ්‍යක්ෂණය කියන කාර්යයට එන්නේ කොහොමද?
මම මුලින්ම සහභාගී වෙන්නේ කළුබෝවිල තියෙනවා අ.ඉ වීඩියෝ කියලා එකක්. එතන තමයි මම මුලින්ම වැඩට එන්නේ. එතන බොහෝමයක් කළේ ටෙලිනාට්‍ය වැඩ. ඒ 1996 දී විතර. ඊටපස්සේ මම තරුණයෙක් විදිහට හොයන්න ගන්නවා කැමරාකරණය ගැන. පොතපත කියවුවා. කැමරාකරණය කියන්නේ මොකක්ද? කියන එක සම්බන්ධයෙන් වැඩිදුර හැදැරීම කළා. සාහිත්‍යමය වශයෙන් ගත්තොත් දෙබස් සහ පිටපත. ඊට පස්සේ තමයි අපේ කර්තව්‍යට එන්නේ. කොහොමද? රූප රාමුවෙන් සාහිත්‍ය පිටපතට තල්ලුවක් දෙන්න පුළුවන් කියලා.
කතාවක් සන්නිවේදනය කරන්නේ කොහොමද? සහ ජීවිතය අල්ලගන්නෙ කොහොමද? කියන දේවල් ඇතුළේ තමයි මූලික හැදැරීම තිබුණේ. මම සිනමා පාසලට ගිහින් සිනමාකරණය හැදෑරීම කළේ නැහැ. හැමෝම එක්ක වැඩ කරලා තමා අත්දැකීම් ලබා ගත්තේ. අපේ පවුල ගත්තොත් මාමා සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒ කාර්මික ශිල්පියෙකු විදිහට. එයා ඉස්සර පන්සල්වල චිත්‍රපට පෙන්නුවා. ඒත් එක්කම මට පොඩි කැමැත්තක් ඇති වුණා.
සිනමා කැමරාකරණයේ මනා අධ්‍යයනයකින් ඉගෙන ගත්තෙ මොන වගේ තැනකින්ද?
මම සෑහෙන්න විවිධ රටවල වැඩමුළුවට සහභාගී වෙලා තියෙනවා. මගේ අදහස අනුව කොහොමද? ජීවිතය කියන සාධකය කැමරාවට හසු කරගන්නේ කියන දේ තමා සිනමා කැමරාකරණය එක්ක බැඳීල තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. තාක්ෂණය අතින් දැන් උසස් කැමරා එනවා. ලංකාවේ තිරගතවන විදෙස් චිත්‍රපටවල තියෙන ගුණාත්මක බව ගැන හිතලා ඒ චිත්‍රපටවල තියෙන ගුණාත්මක තත්තවයට අපේ චිත්‍රපටයක් කරන්නේ කොහොමද? කියන එක ගැනයි මම නිරතුරුවම හිතුවේ. සිනමාකරණය ඉගෙන ගත්තේ අත්දැකීම් සහ වැඩ ඇසුරින්. මගේ දැක්ම තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. විශේෂයෙන් කැමරා අධ්‍යක්ෂවරයෙක් විදියට මම හිතන්නේ මෙන්න මේ ආකාරයට. ඔබ හිතන්න..එකම සිනමාශාලාවේ තිරගත වන විදෙස් චිත්‍රපට සමඟ තරඟ කළ හැකි සිනමාත්මක සහ ගුණාත්මක චිත්‍රපටයක් නිර්මාණය කරන එක තමා මගේ අරමුණ. එහි ප්‍රතිඵලය තමයි “OIC ගඩාෆි”.
ඔබ ප්‍රථමයෙන් දායක වූ ටෙලි නිර්මාණය මොකද්ද?
පළමුවැන්න තමයි ආනන්ද අබේනායක මහත්තයාගේ “ඔලෝගුවෝ” කියන ඒකාංගික පෝය නාට්‍යය. ඒ කරපු නිර්මාණය වෙනුවෙන් මට 2008 වර්ෂයේ රූපවාහිනී සම්මාන උලෙළෙහි කුසලතා සම්මානයක් හිමිවෙනවා. ප්‍රියන්ත සිරිකුමාර තමයි ආනන්ද අබේනායකට මාව හඳුන්වලා දෙන්නේ. ප්‍රියන්ත අයියා සහ මම අතර ලොකු බැඳීමක් තියෙනවා අදටත්. ප්‍රියන්ත අයියා තමයි පළමුවැනි අඩිතාලම දැම්මේ අද මෙතනට එන්න. කැමරාකරණය පැත්තෙන් මුල් ගුරුවරයා තමයි ත්‍රිසූල දීප තඹවිට. කැමරාව සම්බන්ධයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔහුගෙන්. ඊළඟට චන්න දේශප්‍රිය. සහාය කැමරා අධ්‍යක්ෂවරයෙක් විදියට චන්න අයියා එක්ක සෑහෙන්න වැඩ කරලා තියෙනවා. මම කරපු පළවෙනි දීර්ඝ ටෙලි නාට්‍ය තමයිි මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු “මිරිඟු නදිය” කියන ටෙලිනාට්‍යය. ඒ වගේම “තක්සලාව”, “අප්පච්චි”, “දස්කොන්”, “සහෝදරයා”, “අහසින් වැටුණා” වගේ ටෙලිනාට්‍ය බොහෝමයක මම වැඩ කරලා තියෙනවා. ටෙලිනාට්‍යවලින් පස්සේ සිනමාවට එනවා. ඇත්තටම මම සිනමාවට එන්නේ චිත්‍රපට කරන්නම නෙමෙයි. වෙළෙඳ දැන්වීම් කරන්න. වෙළඳ දැන්වීමි කරන්න ගත්තෙත් සින කැමරාවලින්නේ. “මහින්දාගමනය”, “තරු අතර මං”, ”දුස්රා”, “දේවී සම්බුලා” චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂවරයෙක් විදියට වැඩ කළා.
“OIC ගඩාෆි” චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ කොහොමද?
රන්ජන් අයියයි මායි මියුසික් වීඩියෝ එකක් කරනවා. ඒ මියුසික් වීඩියෝ එකෙන් පස්සේ මාව හිතට අල්ලනවා. ඊට පස්සේ රන්ජන් අයියා කතා කරනවා අලුත් ෆිල්ම් එකට. මගේ ජීවිතයේ හමුවුණු වඩාත් සුන්දර මනුස්සයෙක් තමයි රන්ජන් අයියා කියන්නේ. ඔහු එක්ක වැඩ කරන්න හරිම පහසුයි. මම ස්තුතියිවන්ත වෙනවා ඔහුට මාව තෝරා ගැනීම සම්බන්ධව. “OIC ගඩාෆි” කියන්නේ ඔබ නැරඹිය යුතුම සිනමාවක්.
OIC ගඩාෆි” චිත්‍රපටයේ රූප නිර්මාණය කිරීමේදී ඔබ භාවිත කළ උපක්‍රම මොනවද?
“OIC ගඩාෆි” කියන්නේ කමර්ෂල් වැඩක්. මම මීට කලින් මැද මාවතේ පොඩි ආර්ට් පීස් වැඩ ටිකක් කලේ. ඒ කරපු වැඩත් එක්ක මේ අභියෝගය මං භාර ගත්තා. ආලෝකකරණය, කැමරාකරණය යන අංශ දෙක පිළිබඳ සෑහෙන්න හිතලා රූප රාමු විදෙස් සිනමාපටයක තිබෙන ප්‍රමිතිය මෙන් සකස් කළා.
OICගඩාෆි” සිනමාපටය රූගත කළ ප්‍රදේශය ප්‍රේක්ෂාගාරයේ අවධානය දිනාගන්නවා. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?
මාතලේ නාවුල තමයි අපි චිත්‍රපටය රූගත කළේ. ලොකේෂන් හොයන්න සෑහෙන මහන්සි වුණා. රන්ජන් අයියත් සෑහෙන කාර්යබහුල නිසා මමයි දමින්ද ඩී. මඩවලයි සෑහෙන මහන්සි වෙලා ලොකේෂන් හෙව්වා. රූප රාමුවට, කතාවට ඔබින පසුබිම හොයාගන්න අපි සෑහෙන මහන්සි වෙන්න ඕන.
රූප රාමු නිර්මාණය කිරීමේදී නළු නිළියන් හැසිරවීම සිදුකළේ කොහොමද?
සියලුම නළු නිළියන් නිළියන් මහන්සි වුණා. විශේෂයෙන් චිත්‍රපටයේ ආරමිභයේදී පෙන්වන කඩේ ගාව සින්දුව රූගත කරන්න නළු නිළියන් සෑහෙන මහන්සි වුණා. රූප නිර්මාණය කරද්දී ඔවුන් සමඟ නිතරම සාකච්ඡා කළා. ඒ වගේම කැමරා රූප රාමු නිර්මාණය කරද්දි ඔවුන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා.
ඔබේ අදහස අනුව හොඳ කැමරා අධ්‍යක්ෂවරයෙක් කියන්නේ කවුද?
මගේ අදහස අනුව හොඳ කියන එකට වඩා දක්ෂතාවය තියෙන්න ඕන. මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය අල්ලලා අපිට කතා කරන්න අමාරුයි. මිනිස්සු විවිධාකාරයි. හැබැයි කැමරා කැමරාකරණය කියන එක තිරයට ආවට පස්සේ ඒකෙ තියෙන්නෙ දක්ෂතාවය. වෘත්තීමය වශයෙන් ගත්තොත් මම ගන්නේ දක්ෂතාවය හැටියට.
“OIC ගඩාෆි” චිත්‍රපටය රූගත කරද්දී ඔබ මුහුණ දුන් අමතක නොවන සිදුවීම් මොනවද?
එක අභියෝගයක් තමා රංජන් අයියගේ එන්ට්‍රි සීන් එක. අභියෝගය විදියට අධ්‍යක්ෂතුමා රඟපානවා එයාට රූප පේන්නේ නෑ. ඒ රූප රාමු ටිකට රන්ජන් අයියා සෑහෙන්න කැමති වුණා. දවස් තුනක් ඒ සීන් එක ෂූට් කළා. කොච්චර මහන්සි වුණාද කියුවොත් අපි පාරවල් වහගෙන පවා ෂූට් එක කළේ.
ඔබේ ඊළඟට එන්න නියමිත නිර්මාණ මොනවාද
තව චිත්‍රපට කිහිපයකට ලෑස්ති වෙනවා. ඒ අතර රන්ජන් අයිය කියනවා මේ එක්කම ඊළඟ චිත්‍රපටයත් කරමු කියලා. නාමල් ජයසිංහ එක්කත් චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මලින්ත විතානගේ
