Home » රවීන්ද්‍ර සහ මයිකල් එකිනෙකට හාත්පසින්ම වෙනස් ප්‍රවීණ රංගනවේදී ශ්‍යාම් ප්‍රනාන්දු

රවීන්ද්‍ර සහ මයිකල් එකිනෙකට හාත්පසින්ම වෙනස් ප්‍රවීණ රංගනවේදී ශ්‍යාම් ප්‍රනාන්දු

by mavan
April 23, 2026 12:25 pm 0 comment

 

කෙටි කලක් තුළ වේදිකාව රිදීතිරය හා පුංචි තිරය සිය රංගන ප්‍රතිභාවෙන් එකලු කළ ඔහු දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූ රංගන ශිල්පියෙකි. ඔබ නැතුව, ඔබ එක්ක, ප්‍රේමය නම්, සක්කාරං, ඇවිලෙන සුලුය, ප්‍රාණ, ගාඩි, Paradise, රතු සමනළ හීනයක්, දූස්රා වැනි සිනමා නිර්මාණ තුළ විවිධ චරිතයන්ට පණ පෙවීය. මේ කතාබහ ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු සමඟිනි. ඔහු රංගනයෙන් දායක වන “මලකි දුවේ නුඹ” සහ “ෆාදර්” චිත්‍රපට මේ දිනවල තිරගත වේ.

ඔබ ගුරු වෘත්තියෙන් සමු අරන් රංගනය ආවා. ලංකාවේ රඟපෑම කියන්නේ වෘත්තියක්ද?

රඟපෑම වෘත්තියක් වෙන්න නම් පිළිගැනීමක් තියෙන්න ඕනෑ. අපි වෙනුවෙන් මැදිහත් වෙන්න වෘත්තීය සමිති නැහැ. එහෙම පිළිගැනීමක් නැති වුණත් මුදලක් උපයන නිසා අපිම අපේ කැමැත්තෙන් හදා ගත්තු සදාචාරයක් පැවැත්මක් එක්ක කටයුතු කරනවා. අපේ රටේ සිනමාවේ ඉතිහාසයේ ඉඳලම ඒකට ආදරෙන් ජීවිතේ කැප කරපු ශිල්පීන්ව අගය කරන්න ඕනෑ. වෙන රටවල් වල සිටින වෘත්තීය රංගන ශිල්පීන්ට සමානවම වෘත්තීය ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරන පිරිසක් අපි අතර ඉන්නවා. අපේ පරම්පරාවේ මමත් ඇතුළුව සමස්ත රංගන ශිල්පීන්ට දක්වන ගෞරවයක් හැටියට ඒක කියන්නේ රංගන ශිල්පීන්ව හොඳීන් බලා ගන්න ඔවුන්ව පරිස්සම් කරන්න ඕනෑ.

ඔබ නැතිව ඔබ එක්ක ‘සරත්සිරි’ තවමත් ඔබේ මතකයේ ඇති එහෙම නේද?

ඔව්. සරත් සිරිව අමතක වෙන්නේ නැහැ. ඕනෑම රංගන ශිල්පියෙකුට මුලින්ම තමන්ගේ භූමිකාව කරපු චිත්‍රපටය අමතක වෙන්නේ නැහැ. අත්දැකීමක් හැටියට ඒක විශේෂයි. ඒ චිත්‍රපටය ප්‍රේක්ෂකාගාරය දැකපු විදිය ලෝකය මාව හඳුනාගත්තු විදිය විශේෂයි. ප්‍රදර්ශනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය තුළම වෘත්තිය භාවයක් තිබුණා. ජනාධිපති, සිග්නීස් සම්මාන ඇතුළු සම්මාන වලින් විශාල ඇගැයීමක් ලැබුණා ප්‍රසන්න විතානගේ ගේ අධ්‍යක්ෂණය යටතේ ලැබුණු ඒ අවස්ථාව තුළින් මගේ දක්ෂතා දියුණු කරගෙන ඉදිරියට යන්න ලැබීම වාසනාවක් කියලා මට හිතෙනවා.

සරත් සිරි මට විශේෂ විදිහට දැනුණා. ප්‍රසන්න කියන්නේ මට හමුවුණු මම කැමති අධ්‍යක්ෂවරයෙක්. සමස්ත චිත්‍රපටය සහ චරිතය ගොඩනැංවීම ඇතුළේ ප්‍රසන්න කරන ක්‍රියාවලිය හරහා චරිතයේ ආත්මය තුළට යන්න මට පුළුවන් වුණා. ඒ වෙනුවෙන් ඔහු පාවිච්චි කරන ක්‍රමවේදය විශේෂයි. අනිත් අධ්‍යක්ෂවරුන්ව අවතක්සේරු කරනවා නෙවේ. ඒ ආකාරයේ චරිත නිරූපණයන් කළාම කලක් ගත වුණත් එවැනි ගනුදෙනු ඉතුරු වෙනවා. හැම චරිතයකටම එහෙම වෙන්නේ නැහැ.

‘ප්‍රේමය නම්’ සමගින් ඔබට හමුවුණු කල්පන සහ වින්දන ආරියවංශ සොහොයුරන් පිළිබඳව…..

මට වින්දන හමුවන්නේ ඔබ නැතුව ඔබ එක්ක කරන කාලයේ. වින්දන එහි රේඛීය නිෂ්පාදකවරයෙක් හැටියට කටයුතු කළා. චිත්‍රපටයේ රූපගත කිරීම් ඉවරවෙලා

හැටන් සිට කොළඹට එන විට වින්දන කිව්වා චිත්‍රපටයක් කරන්න හිතමින් ඉන්නවා. ඔයා ඒකට හොඳට ගැළපෙනවා කියලා. ප්‍රේමය නම් චිත්‍රපටයට සම්බන්ධ වුණේ ඒ විදිහටයි. කල්පන සහ වින්දන ගැන කියද්දි මට සිනමා කර්මාන්තයේ ඉන්න මහත්මා ගතිගුණ තියෙන මහත්වරු දෙදෙනෙක් හැටියට ඔවුන්ව හඳුන්වන්න පුළුවන්. ඒක ඔවුන්ගේ පියා කුලරත්න ආරියවංශගේ ආභාසයත් එක්ක ඔවුන්ට ලැබුණු තත්වයක් ආරක්ෂා කරගෙන වැඩ කරන ආකාරය මට හරිම වැදගත්.

මලකි දුවේ නුඹ චරිතය ගැනත් කියන්න….

මම මහාචාර්ය කවීන්ද්‍ර සේනානායක ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්. රජයේ උපදේශකවරයෙක් ගත් කතුවරයෙක් මම එවැනි චරිතයක් මීට පෙර කරලා නැහැ. එවැනි අධ්‍යාපන පසුබිමක් සමාජ ඇසුරක් සහ නිර්මාණශීලී හැකියාවක් තියෙන පුද්ගලයෙක් සාමාන්‍ය ජීවිතය තුළ ජීවත් වෙන්නේ කොහොමද? විශ්වවිද්‍යාල ජීවිතය තුළ හැසිරෙන්නේ කොහොමද? කියන කාරණය සහ දරුවෙක් සමඟ ජීවත් වෙන්නේ කොහොමද? කියන කාරණයත් නිරූපණය වෙනවා. ඔහු සමාජය තුළ විවාදාත්මක චරිතයක් බවට පත් වන්නේ දරුවෙක් සිටින මවක් සිය ජීවන සහකාරිය ලෙස තෝරාගැනීම හේතුවෙනි. ඒ චරිතය සුපහන් විදිහට ගොඩනඟන්නේ කොහොමද කියන අභියෝගයට කල්පන සහ වින්දන මට උදව් කළා.

චමින්ද ජයසූරියගේ ෆාදර් චිත්‍රපටයේ මයිකල් මන්ත්‍රීතුමා වුණු ඔබ….

එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිත දෙකක් හැටියට මේ දිනවල තිරගතවෙන චිත්‍රපට දෙක තුළ මට රඟපෑමට ලැබී තිබුණේ. කවීන්ද්‍ර සේනානායක කියන්නේ උසස් සමාජ ඇසුරක් තියෙන කෙනෙක් මයිකල් කියන්නේ පහළ මට්ටමේ මිනිස්සු ඇසුරු කරන ඔවුන් සමඟ ගැවසෙන දේශපාලන චරිතයක්. අපි පසු කළ අඳුරු දේශපාලන යුගයක අඳුරුතම දේශපාලන චරිතයක් මයිකල් කියන්නේ. පාදඩ සමාජය ඇසුරු කරමින් ඔවුන්ටත් පාදඩ වැඩ කරන කෙනෙක් හැටියට මයිකල් නිරූපණය වෙනවා.

මාලිනී ෆොන්සේකාගේ අවසන් රංගනය දකින්න ලැබෙන්නේ මලකිදුවේ නුඹ චිත්‍රපටය තුළයි…

මම ඇගේ රසිකයෙක්. මගේ ප්‍රියතම රංගන ශිල්පිනිය ඇයයි. මගේ තක්සේරුවට අනුව නම් ඇය හැර වෙන කවුරුවත්ම එතැන තියන්න බැහැ. ඇය එතරම්ම දක්ෂයි. මාලිනීගේ රංග භාවිතාව සිනමාවට ගැළපෙන ආකාරයට මිනිස්සුන්ට ඉතාම විශ්වාසනීය විදිහට තිබුණා. කිසිම චරිතයක කැමරාවක් ඉදිරිපිට රඟපානවා කියලා අපිට දැනුණේ නැහැ. ඇය එතරම්ම කැමරාව ඉදිරිපිට ජීවත් වුණු කෙනෙක්. ඒක අපිට තුෂාරා හෝ සසර චේතනා වැනි වාණිජ සිනමාව තුළත් නිධානය එයා දැන් ලොකු ළමයෙක් වගේ සියුම් රංගනයන් ඇතුළත් චිත්‍රපටවලත් ඒ හැම අවස්ථාවකම මම රඟපාන්නේ නැහැ. අපිට නොදැනෙන විදිහට හැසිරෙනවා කියලා පෙන්නපු ඇය ගැන මට විශාල ගෞරවයක් තියෙනවා. මලකි දුවේ නුඹ චිත්‍රපටයේ ඇය සමඟ දර්ශනයක එකට රඟපාන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් චිත්‍රපටයේ නාමාවලිය තුළ ඇගේ නම සමග මගේ නමත් දකින්න ලැබීම මට විශාල සතුටක් වගේම ගෞරවයක් කියලා කියන්න පුළුවන්.

වේදිකා නාට්‍ය රංගනය තුළදී ඔබට විශේෂ වුණේ රාජිත දිසානායකයි. ඒ කොහොමද?

මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ වෘත්තියක් විදිහට කරන්න හෝ ඒ තුළින් ජනප්‍රිය වෙන්න නෙමෙයි. මම රාජිතගේ නාට්‍යවල භාවිතාවට කැමති වෙලා ඉන්න කාලේ රාජිත මට ඔහුගේ වීරයා මැරිලා නාට්‍යයට කතා කරද්දිත් මම ඒකට කැමති වුණේ ඔහුට තියෙන කැමැත්තටයි. රංගනය සම්බන්ධයෙන් විශාල අත්දැකීමක් පුහුණුවක් ඔහු නිසා මට ලැබුණා ඒ වගේම ජීවිතේ සම්බන්ධයෙන් මට හුඟාක් හිතන්න පුරුදු කළේ ඔහුයි. සමාජය ගැන මට වැඩියෙන්ම ඉගැන්නුවේ රාජිත අනිත් අයව අවතක්සේරු කරනවා නෙවෙයි. ඔහු සමග දිගු ගමනක් ආවා. මගේ ජීවිතයේ එක පරිච්ඡේදයක් තමයි රාජිත දිසානායක කියන්නේ.

ඔබ අධ්‍යක්ෂණය කළ මගේ පන්තියේ ළමයෙක් චිත්‍රපටය පිළිබඳවත් කියන්න

අධ්‍යක්ෂණය කියන්නේ මම කරන්න බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ජීවිතයේ ඉදිරි කාලය අධ්‍යක්ෂවරයෙක් හැටියට එන්න ඕනෑ කියන ආශාව තිබුණා. මගේ පන්තිය ළමයෙක් සඳහා එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන මොහාන් රාජ් මඩවල ඇතුළු වෘත්තීය සගයන් හුඟ දෙනෙක් මට උදව් කළා. ලංකාවේ අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනෑ කියන කාරණය ගැන එහි කතා කරනවා පාසැල් වලට ළමුන් ඇතුළත් කරගැනීමේදී ප්‍රායෝගිකව සිදුවන දේවල් සම්බන්ධයෙන් මම වේදනාවට පත්වුණා.

වසර විස්සක් ගුරු වෘත්තීයේ සිටියදී සහ තාත්තා කෙනෙක් හැටියට මට ලැබුණු අත්දැකීම්ද එයට පාදක වුණා. චිත්‍රපටයේ අන්තර්ජාතික සිනමා උලෙළයන් කිහිපයක්ම නියෝජනය කළා. මට ඕනෑ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය කරන්නයි. නමුත් ඒක චිත්‍රපටය හදන්න හේතු වුණු හිතේ වේදනාව වගේම තවත් වේදනාවක් බවට පත්වෙලා. චිත්‍රපටය ප්‍රදර්ශනය කරගන්න මණ්ඩලයක් හොයමින් ඉන්නවා.

ඉදිරි කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද?

ජාත්‍යන්තර සම්මාන විශාල ප්‍රමාණයක් ලැබුණු ලලිත් රත්නායකගේ රිවස්ටන් චිත්‍රපටය සහ ඔහුගේම බොම්බයි මොටයි මේ වසරේ තිරගත වීමට නියමිතව තිබෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේම ප්‍රදර්ශනය කර ගැනීමට නොහැකිව ප්‍රියන්ත කළු ආරච්චිගේ රතු සමනල හීනයක් චිත්‍රපටයත් තියෙනවා. වෛද්‍ය කපිල සූරිය ආරච්චිගේ අග්නි සහ මේඝ සූරිය ආරච්චිගේ මැරීන් ඩ්‍රයිව් තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම වජිර ලෙවුකේය බණ්ඩාරගේ අන්තරාවි නිෂ්පාදන අවධියේ තියෙනවා. මේ දිනවල චිත්‍රපට කිහිපයක නිෂ්පාදන අංශයේ කටයුතුවලයි යෙදිලා ඉන්නවා. රංගනය සම්බන්ධ ඉගැන්වීම් කටයුතු කරනවා.

 

 

ෂෙරින් පීරිස්

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT