Home » මේ යන්නේ කොයිබටද? සාජන්ට් පුංචිසෝම

මේ යන්නේ කොයිබටද? සාජන්ට් පුංචිසෝම

by mavan
May 21, 2026 10:32 am 0 comment

අදින් විසි නව වසකට පෙරාතුව උදයකාන්ත වර්ණසූරිය සිනමාකරුවකු සේ පළමු වරට හඳුනා ගැනෙන්නේ සියුම් හා හැඟුම්බර මිනිස් සබඳතා පිරිමදින්නට සමත් වන්නකු වන වග නිරවුල්ව දනවමිනි. අනතුරුව ගෙවී ගිය කාල වකවානුව මුළුල්ලේම ඔහු ඉන් බැහැර නොවූ අවස්ථා කිහිපයක්ම දත හැකිවේ. එසේම මුළුමනින්ම හා අඩ වශයන් ඉන් බැහැරට ගිය අවස්ථාද ඔහුගේ සිනමා මෙහෙයුම තුළ අන්තර්ගතය. මේ හැම විටෙකදීම සිය රසික පිල සමඟ සමීප සබඳතා පැවැත්වීමට ඔහු දැරුවේ කැපී පෙනෙන තැතකි. මේනිසාම අද දවසේදදීත් ඔහුව හඳුනා ගත හැක්කේ රසික පිලෙන් වියෝ නොවූ සිනමාකරුවකු සේය. අතිශය රසාලිප්ත සිනමා නිමැවුම් විෂයෙහි පවා ඔහු උත්සුක වූයේ නිපැයුම් ප්‍රමිතිය ඉහළ මට්ටමකින් රඳවාලන්නටයි.

උදයකාන්තගේ තිරගත සිනමාපට අතර අරමුණු කිහිපයක්ම පවතින වග පෙනේ. මේ ඔහුගේ සිනමා මෙහෙයුම අරභයා පුළුල් විමසීමක් කළ හැකි පසුබිමකි . පසුගියදා සිනමා විචාරක – ලේඛක ජීවන්ත දයානන්ද , උදයකාන්ත අනුදත් සිනමා නිමැවුම් පිළිවෙත් අළලා පළ කළ විමසුම් ගත සන් කරන්නේද එකරුණයි. වෙසෙසින්ම සිනමා වෙළෙඳ පොළේ හැසිරීම් පිළිබඳ මැනවින් සලකා බලන සිනමාකරුවකු සේ ඔහුව නම් කරලීමට මේ ඔස්සේ ඉඩ කඩ සැලසිණි. මෙම සලකා බැලීම අත්වැරදීමක් බවට පත්වූ අවස්ථා හමුවේ පවා ඔහු විපිළිසර නොවූ වග සඳහන් කළ යුතුම කරුණකි.

සරල හාස්‍ය රසවත්ව සිනමාගත කරලීමට ගෙවී ගිය විසි නව වස පුරා උදයකාන්ත පියවර සලසා ගත්තේ වෙනත් අරමුණු හා බැඳී සිනමාපටද සමඟිනි. මේ අතර තුර එක එල්ලේම සරල හාස්‍යය නවමු අයුරින් ගෙන හැර පෑමට ඔහු දැක්වූ ඕනෑකම හා සමත්කම විමසුම් පිළේ නොමඳ අවධානයට ලක් වූ බව පෙනේ. මේ අතරින් ‘බහුභුතයෝ’, ‘ගින්දරී’ හා ‘කොස්තාපල් පුඤ්ඤසෝම’ යන සිනමාපට කැපී පෙනෙන වග නොරහසකි. ගැඹුරු සිනමා අත්දැකීම් විද ගනු රිසියෙන් පසුවන රසික කණ්ඩායම් පවා මෙම සිනමාපට නරඹමින් ආනන්දයක් ලද වග සැබෑවකි . මෙයින් තවදුරටත් කියවෙන්නේ උදයකාන්ත යනු අරමුණු කිහිපයක්ම හා බැඳුණු සිනමාකරුවකු මතු නොව ආකාර කිහිපයකින්ම සිනමා නිමැවුමට එළඹෙන සිනමාකරුවකු වන බවය.

වත්මනෙහි තිරගත කෙරෙන ‘සාජන්ට් පුංචිසෝම’ද එක එල්ලේම සරල හාස්‍ය සිනමාගත කරලීමට ඔහු දක්වන උනන්දුවේ තවත් අවස්ථාවකි. තමාට පසු පරම්පරාවේ හා ඊටත් පසු පරම්පරාවේ සිනමාකරුවන් විසින් වත්මන් සිරිලක සිනමාවේ හැඩ රුව තීන්දු කරනු ලබන පසුබිමක උදයකාන්ත මෙසේ සිය හුරුපුරුදු සිනමා මෙහෙයුම සිනමා රසිකාගාරය අබියස දිග හරින්නේ සිය සිනමා මෙහෙයුම හා බැඳුණු රසිකයන් තරමක විමතියට පත්කරමිනි. මේ ගෙවුණු විසිනව වසර තිස්සේම ඔහු විසින් මහත් වැර වෑයමෙන් උපයා ගනු ලැබූ සම්පතකි. නොකඩවා සිනමා මෙහෙයුම් විෂයෙහි නියැළෙන සිනමාකරුවන් හීන වෙමින් ගිය සමයකදී වුව උදයකාන්ත නොවැටී සිටියේ මේ සිනමා රසික සවියද නිසාවෙනි. කෙසේ නමුදු වත්මන වන විටත් මේ පිරිස හා ඔවුන් අනුගමනයට සූදානම් මීළඟ රසික පරපුර නිසැකවම හා සක්‍රියව සිටින්නේදැයි යන්න නම් නොපමාව විසඳා ගත යුතු පැනයක් වේ. පසුගිය තෙවසක පමණ කාල වකවානුව තුළ වඩා ඉහළ ආදායම් උපයන්නට සමත්වූ සිනමාපට කවරේදැයි යන්න විමසීමේදී මේ අදහස මනාව හඳුනා ගන්නට අවකාශ සැලසේ.

‘සාජන්ට් පුංචිසෝම’ පන්නයේ සිනමාපටයක් නැරඹීමේ එකම අරමුණ වනුයේ අදාළ ධාවන කාලය තුළදී සිනා සිසී සිටීමයි. සිනමා ශාලාවෙන් නික්ම ගිය පසුව පවා ඇතැම් හාස්‍යෝත්පාදක ජවනිකා සිහිපත් කරමින් සිනා සීමේ අවස්ථා මීට පෙර උදයකාන්ත රැගෙන විත් තිබිණි. පෙර දැක්වූ නිදසුන් මෙතැනටද අදාළය. මේ අනුව වත්මන් සිරිලක සිනමාවේ පෙළ ගැසීම් අබියස ‘සාජන්ට් පුංචිසෝම’ යනු නිරනුමානවම රසිකයා සිනා ගන්වන සිනමාපටයක් වන්නේදැයි යන්න සොයා බැලීම වැදගත්ය. මෙය නිරායාසයෙන්ම බැඳෙන්නේ උදයකාන්තගේ යහ පැවැත්ම සමඟිනි. ඉදිරි සමයේදීත් සිනමාකරුවකු සේ සමත්කම් දැක්වීමට ඔහුට ඇති හැකියාව සේම ඉඩකඩ සම්බන්ධයෙන් යම් තාර්කික අදහසක් සරි කර ගැනුමට මේ අනගි අවස්ථාවකි.

උදයකාන්ත ‘සාජන්ට් පුංචිසෝම’ හි පළමු පෙළ චරිතය නිරූපණය පිණිස කැඳවන්නේ මෙතෙක් සිය පළමු පෙළ තෝරාගැනීමක් නොවූ ප්‍රියන්ත සෙනෙවිරත්නය. ප්‍රියන්ත මීට පෙර අවස්ථා දෙක තුනකදීම සිනමා රසිකයාගේ මුවට සිනා ගෙන දීමට සමත් වූවකුය යන්න සඳහන් කළ යුතුය. යම් අනපේක්ෂිත තතු මැද හෝ සැලකිය යුතු රසික ප්‍රතිචාර ලද ‘කතුරු මිතුරු’ නිදසුනකි. කෙසේ වෙතත් මෙහිදී ජයලත් මනෝරතන, මහේන්ද්‍ර පෙරේරා හා රොඩ්නි වර්ණකුල පෙන්වූ රූපණ කටයුතු සමඟම ප්‍රියන්තගේ රූපණය හඳුනා ගැනීම වඩා උචිතය. මෙයින් අදහස් කෙරෙන්නේ ප්‍රියන්ත මොවුන’තර වඩා පහළින් සිටින්නකුය යන අදහස නොවේ.

විනෝදාස්වාදය දනවන එළිමහන් හා ගෘහස්ත ප්‍රසංග රස ගැන්වීමට ප්‍රියන්ත සමතකුය යන්න කියවෙන්නේ වසර ගණනාවක පටන්මය. ඇතැම් සමාජ මාධ්‍ය ජාලා ඇසුරෙන්ද ප්‍රියන්ත සතු හාස්‍ය ඉපදවීමේ හැකියාව දක්නට ලැබේ. ඇතැමුන් මේවා දෙස වපර ඇසින් බලන බව නොරහසකි. වෙසෙසින්ම මෙහිලා වහරන දෙවන , තෙවන අරුත් දනවන වදන් ආදිය නිසාවෙනි. මේවා අසැබි වදන්ය යන අදහස කාවැද්දීම ඉතා පහසුය. මේ වපසරිය මත ප්‍රියන්ත සතු හාස්‍ය දැනවීමේ සමත්කම බැහැර නොකිරීම යුක්තියුක්තය.

ප්‍රියන්ත ‘සාජන්ට් පුංචිසෝම’ හි පළමු පෙළ චරිතය හා එක්වන්නේ මෙසේ හාස්‍ය චරිත නිමැවුමට තමා සතු සමත්කම ප්‍රකට වන පරිසරයකය. සිනමා රූපණයේ දුර දිග ගිය අත්දැකීම් නොමැති වුවද පෙරදීද දැක්වූ පරිදි එය ඔහුට එපමණ අභියෝගයක් නොවූ සැටියකි. පොලිස් නිලදරුවකු සිය වෘත්තීය දිවියේදීත්, බිරිඳ හා දරුවන් ඇසුරේදීත් , සමාජමය ගනුදෙනු ආදියේදීත් ලබන අනපේක්ෂිත හා අපේක්ෂිත අත්දැකීම් ඔස්සේ රසිකයාගේ මුවට සිනහ ගෙන දීම ඔහුගේ කාර්යය වී තිබේ. මෙබඳු හාස්‍ය දනවන සිනමාපට නිතර සිනමාව හා එක්වන රසිකයනයට ආගන්තුක නොවේ. උදයකාන්තගේම ‘කොස්තාපල් පුඥ්ඥසෝම’ ද මේ පන්නයේම සිනමාපටයකි. මෙහෙයින් ‘කොස්තාපල් පුඥ්ඥසෝම’ හා සාජන්ට් පුංචිසෝම’ සැසඳීමේ තැනකටද රසික පිරිස් ගමන් කරන්නට ඉඩ තිබේ. නියත වශයෙන්ම මෙම රසික පිළිවෙත උදයකාන්තගේ හිත සුව පිණිස නම් නොවේ.

සාජන්ට් පුංචිසෝම’ පුරාම ප්‍රියන්ත රසික මුවට සිනා ගෙන දීමට දරන වෑයම සැලකිය යුතු තරම්ය. ඔහු තමා දන්නා සියලු සමත්කම් නොසඟවයි . මෙතැනදී ඔහුට ගැටලු මතුවන්නේ සිනමා රූපණය හසු කර ගැනීමේදීය. මෙය පළමු පෙළ චරිතයක් වීම මේ තතු තීව්‍ර කරන්නකි. එළිමහන් හෝ ගෘහස්ත ප්‍රසංග රස ගන්වන හාස්‍යය සිනමාවට උචිත නොවන බව ඔහු නොදන්නවා විය නොහැකිය. මේ සිදුවීම් ගණනාවකින්ම යුතු කෙමෙන් ගලා යන පුවතක් සහිත නිමැවුම් කාර්යයකි. නොබිඳෙන සුලු බව රැක ගැනීමේ කාර්යයද ඔහු මත පැටවී ඇත. සෙසු චරිත පන ගැන්වීම සඳහා එක්වන්නවුන්ගේ නොබිඳෙන සුලු බව වෙනුවෙන් පෙනී සිටීමටද ඔහුට සිදුව තිබේ. මෙහෙයින් වඩා නිදහසේ හාස්‍ය රසය දැනවීමේ ඉඩ කඩ පාදා ගැනීමේදී ඔහු සිනමාකරුවාගේ අභිලාෂය සමඟ පෑහෙන අවස්ථාවලට වඩා නොපෑහෙන අවස්ථා සංඛ්‍යාත්මකව වැඩි අගයක් ගනී. ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’ යන වැඩි රසික ප්‍රතිචාර නොලද උදයකාන්තගේ සිනමාපටය වුව හාස්‍ය රසය මෙය අභිබවා දැනවූ වග පෙනේ.

‘සාජන්ට් පුංචිසෝම’ හි මෙම ඉරණම පසුපස තිරනාටකයද තිබෙන බව නොසැඟවිය යුතුය. ප්‍රියන්ත කිසිදු විටෙක තිරනාටකයේ සීමා පසුකර යන්නට තැත් නොකරයි. මෙනිසාම සිය ශක්ති පමණින් නව අරුත් සලකුණු කරලීමේ අවස්ථා ඔහු වෙතින් ගිලිහී යන වග පෙනේ. ඇතැම් ජවනිකා තිරය මත දිග හැරෙන්නේම ඒවායේ පසු අවස්ථා නොරහසක් බව හඟවමිනි. විස්මයජනක හාස්‍යයක් උද්දීපනය මෙනිසා අසීරු වී තිබේ.

මෙතැනින් ඔබ්බට උදයකාන්තගේ සිනමා අදියුරු දිවිය ඇදී යන්නේ කෙසේදැයි යන්න ඔහුගේ රසික පිරිස පමාවකින් තොරවම විසඳා ගත යුතු පැනයකි. මෑත කාලීන සිරිලක සිනමාවේ එන තමාටම සමීප රසික පිරිසක් ගොනු කර ගත් සිනමාකරුවකු සේ උදයකාන්ත අත්පත් කර ගෙන ඇති වටිනාකම පවත්වා ගැනීමටත්, වැඩි දියුණු කර ගැනීමටත් මෙමඟින් හැකියාව ලැබේ. හෙට අනිද්දා නම් මෙයට නිසි පිළිතුරක් නොලැබෙනු ඇත. එනමුදු තවත් වසර කිහිපයකින් නම් එම නිසි පිළිතුර ලැබෙන වග ඒකාන්තය.

 

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT