චායා චිත්‍රපටියට පස්සේ මගේ චිත්‍රපට ලැයිස්තුවේ එන්නේ ආනන්ද වික්‍රමසිංහගේ ‘යසස’ චිත්‍රපටය. 1993- 06-18 වැනිදා තමයි තිරයට එන්නේ. ඉන්පස්සේ බන්දු සමරසිංහගේ ‘ රෝදය‘, සුමිත්‍රා පීරිස් ගේ ‘ලොකුදුව’ ෂර්ලි පී. විජේරත්න සහ උපාලි පියරත්නගේ ‘සිහින විමානේ රාජකුමාරි, මොහාන් නියාස් ගේ ‘ යසෝමා’ , යසපාලිත නානායක්කාරගේ ‘රතු අලුයම, හේමසිරි සෙල්ලප්පෙරුම ගේ ‘දඬුවම’ , රංග විජේන්ද්‍ර ගේ ‘වසන්තයේ කුණාටුවක්’ වැනි චිත්‍රපට තිරගත වෙනවා.
සුමිත්‍රා පීරිස් ගේ ‘ලොකුදුව’ චිත්‍රපටයේ මම රඟපාන්නේ ඉතාම සුළු චරිතයක්. ඇත්තටම ඒක සුමිත්‍රා මැතිනියට තිබුණු ගෞරවයටත්, ගීතා කුමාරසිංහ සමඟ තිබුණු මිතුරු දමත් නිසා කරපු චරිතයක්.
ඉහතින් සඳහන් කළ චිත්‍රපට ගොන්න අතරින් මගේ සිත පැහැරගත්, සැමදා මා ආදරය කළ, සහ අදටත් ආදරය කරන, එහෙත් කිසිදා ඇගයීමකට ලක් නොවූ චිත්‍රපට චරිතයක් තිබෙනවා. ඒ තමයි යසෝමා. මම තවමත් විශ්වාස කරනවා යසෝමාට නිසි ඇගයීමක් ලැබුණේ නෑ කියලා. මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 1997 ජනවාරි මාසේ තුන්වැනිදා. යසෝමා ගේ චරිතය මම කරනකොට මට අවුරුදු විසිනවයක් විතර වෙලා. ඇති. යසෝමාගේ චරිතය ගත්තම සුන්දර නාරි ලාලිත්‍යයක් හිමි, අහිංසක ආදරණීය චරිතයක්. මගේ මැසෙන්ජර් එකේ ඉන්නවා මිතුරෙක්. ඔහු තාමත් මේ චරිතයට පුදුම ආදරයක් දක්වන්නේ. ‘යසෝ’ කියලා තමයි ඔහු තවමත් මට කතා කරන්නේ. ඔහු දවසක් කියලා තිබුණා ජිවිතේට ගැහැනියක් හොයා ගන්නවා නම් හොයාගන්නේ යසෝමා වගේ හැඩ හුරුකමින් යුත් ගැහැනියක් කියලා. කොහොම වුණත් මේ ආදරණීය චරිතයට චිත්‍රපටය අවසානයේ අත්වෙන ඉරණම හරිම ඛේදනීයයි.
යසෝමාට මම හරිම ආදරෙයි. අදටත් චිත්‍රපටයක චරිතයක් වුණත්, ඒ ගැහැනියට අත්වුන ඉරණම ගැන මගේ හදවත කම්පා වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මොහාන් නියාස් විසින්. මට මතක විදියට මින් ඉහතදි මම ඔහුගේ ‘මල දරුවෝ’ කියන චිත්‍රපටයකට සම්බන්ධ වෙලා හිටියා. නමුත් චිත්‍රපටය කෙරුණේ නෑ. මම දංචුටිගේ චරිතය කියලා සිනමාවේ ජනප්‍රිය චරිතයක් වුණාට ඒ හරහා නිරූපණය වුණේ යෞවනියකගේ චරිතය පමණයි. නමුත් යසෝමා තුළින් ඉන් එහාට ගිය සිනමාවේ ගැහැනිය කියන ප්‍රතිරූපය නිර්මාණය කරන්න මට හැකිවුණා. සිනමා මාධ්‍යයේ ස්ත්‍රීත්වය නිරූපණය වෙන අවස්ථා රාශියක් අපේ සිනමා ඉතිහාසයෙන් හමු වෙනවා. විවිධ කාන්තා චරිත.මට හිතෙනවා ඒ අතර මම නිරූපණය කළ යසෝමාත් ඉන්නවා කියලා.
යසෝමා වෘත්තියෙන් සාත්තු සේවිකාවක්. කාරුණික හදවතකට හිමිකම් කී ඇය, තම රෝගීන් රැකබලා ගත්තේ හරිම පරිස්සමින්, ආදරයෙන්. මේ පින් බලය නිසාමද මන්ද ඇය රුවෙනුත් අග තැන්පත් වුණා. යසෝමාගේ ආදරේ හිමිවුණේ අජිත්ට. අජිත් ගුරුවරයෙක්. මේ සම්බන්ධයට යසෝමාගේ අයියා දැඩි සේ විරුද්ධ වුණා. එහෙත් යසෝමාත්, අජිතුත් විරුද්ධකම් මධ්‍යයේ ම විවාහ වුණා. එහෙත් දෙන්නටම සතුරු කරදර හිමිවුණා. දවසක් ඔවුනගේ නිවෙස හොරු බිඳලා යසෝමාගේ රත්තරන් බඩු සියල්ල රැගෙන යනවා. ඒ වෙනුවෙන් ඔවුන් පොලීසියේ පැමිණිල්ලක් කරනවා. පොලීසියේ ඉහල නිලධාරියෙක් යසෝමාගේ නිවෙසට පැමිනෙන්නේ ඒ සම්බන්ධයෙන් කට උත්තරයක් ගන්න පොලීසියට එන්න කියන්න. එහෙත් අදාළ දිනයට අජිත්ට පොලිසියට යා නොහැකි බැවින්, යසෝමට පොලිසියට යන්න වෙනවා. මේ මොහොතේදී හඳුනා ගන්නා චන්න නම් උසස් පොලිස් නිලධාරියා යසෝමා වසඟ කර ගන්නවා. අන්තිමේ යසෝමා ඔහු සමඟ වරදේ බැඳෙනවා. මේ සම්බන්ධය දැන ගන්නා අජිත් වියරු වැටෙනවා. අජිත් ගෙන් බේරෙන්න යසෝමාට පිහිට පතන්න වෙන්නේ චන්නගෙන්. අන්තිමේ යසෝමාට වෙන්නේ චන්න අතින් මිය යන්න.
ඉතාම ඛේදනිය ඉරණමකට මුහුණ දෙන ගැහැනියක් හැටියට තමයි යසෝමා මම හඳුනා ගත්තේ. මේ චිත්‍රපටයේ ඇතැම් තැන්වලදී මම ඇඬුවේ ඇත්තටම. ඒ තරමටම මම ඒ සංවේදි කතා පුවත ඇතුළේ හිටියා. මේ චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙණිය කරපු ‘ චන්න’ ගේ භූමිකාව නිරූපණය කරන්න මුලින්ම යොදාගෙන හිටියේ වෙනත් නළුවෙක්. ඒ අතරතුර යසෝමාගේ චරිතයටත් වෙනත් නිළියකගේ නමක් එකී නළු චරිතය විසින් යෝජනා කර තිබුණා. නමුත් මොහාන්ගේ හිතේ මැවුණු ‘යසෝමා’ වුණේ මම. ඒ නිසා ඒ චරිතය මගෙන් වෙන්කරන්න ඔහුගේ කැමැත්තක් තිබුණේ නෑ. ඒ නිසා මොහාන් චන්නගේ චරිතයට වෙනත් නළුවෙක් හොයමින් සිටියා. ඒ අතර තමයි රවීන්ද්‍ර රන්දෙණියගේ නම යෝජනා වෙන්නේ. රවි අයියා ළඟට ගියාම ඔහු මේ චරිතය කරන්න කැමැති වෙනවා. යසෝමා චිත්‍රපටය දිග හැරෙන්නේ සම්පුර්ණයෙන්ම කාන්තා චරිතය පදනම් කරගෙන. නමුත් යසෝමාගේ චරිතයේ රුව ගුන තේජස වර්ධනය වෙන්න රවි අයියා ලබල දුන්න ප්‍රති රංගනය අතිශයින්ම වැදගත් වුණා. සාමාන්‍ය පොදු ප්‍රේක්ෂකයාගේ හිතේ ‘යසෝමා’ චරිතය කෙරෙහි ඇතිවන ආදරණීය බව, අනුකම්පාව සහගත බව වැඩි දියුණු වෙන්න මේ චරිතය දැඩි ලෙසම බලපෑවා කියලා මට හිතෙනවා.
මේ චිත්‍රපටයට මාත් සමඟ රවීන්ද්‍ර රන්දෙණිය, ලකී ඩයස්, ආනන්ද වික්‍රමගේ, රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වුණා. ඇත්තටම චිත්‍රපට අධ්යක්ෂ මොහාන් නියාස් මුලින්ම මේ සියල්ල ලෑස්ති කරගෙන තිබුණත් ඔහුට නිෂ්පාදකවරයෙක් හිටියේ නෑ. අන්තිමේ බුද්ධි කීර්තිසේන කැමැති වුණා මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්න. ‘යසෝමා’ චිත්‍රපටයක් වශයෙන් ඉතාම හොඳ නිර්මාණයක් කියලා මම විශ්වාස කරනවා. නමුත් කිසිම සම්මාන උලෙළකින් ඊට ඇගැයිමක් වත් ලැබුණේ නෑ. අදටත් මගේ හිතේ ඒ සම්බන්ධයෙන් පුංචි කනගාටුවක් තිබෙනවා. ඒ ඇගයීම් කිසිවක් නොලැබුණත් මගේ හිතේ යසෝමා වෙනුවෙන් නොසන්සිඳෙන ආදරයක් තිබෙනවා.
යසෝමා තිරගත වුණාට පස්සේ තමයි අම්මයි මමයි නිෂ්පාදනය තළ ‘ඇය ඔබට බාරයි’ චිත්‍රපටය තිරගත වෙන්නේ. ඒ 1998 පෙබරවාරි මාසේ 20 වැනිදාවක. දහසකුත් එකක් බාධක මැද්දේ තමයි අපි මේ චිත්‍රපටය තිරගත කළේ. මම හිතන්නේ දේශිය සිනමා ඉතිහාසයේ අම්මෙකුයි, දුවෙකුයි එකතු වෙලා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ මුල්ම අවස්ථාව ඒක වෙන්න ඕන. ඒත් එක්කම මේ දෙදෙනාම ජනප්‍රිය නිළියන් විමත් සුවිශේෂයි.
ඇය ඔබට බාරයි තිර ගත වුණාට පස්සේ යසපාලිත නානායක්කාරගේ ‘රතු අලුයම’ , හේමසිරි සෙල්ලප්පෙරුමගේ ‘දඬුවම’ රංග විජේන්ද්‍රගේ ‘වසන්තයේ කුණාටුවක්, වැනි චිත්‍රපට මීළඟට තිරයට පැමිණෙනවා. වසර 2000න් පසු මගේ රංගනය ඇත්තටම සීමා සහිත වෙනවා. විශේෂයෙන් විවාහයෙන් පසු මවු පදවිය හිමි විමත් සමඟම වන වගකීම්, යුතුකම් සුමුදායත් සමඟ මම ජිවිතේ වෙනත් පැත්තක් විදිනවා. ඉන් පස්සේ මම හිතන්නේ චිත්‍රපට කිහිපයකම ආරාධිත චරිත සඳහා සම්බන්ධ වුණා. පසුකාලීනව කරපු චිත්‍රපට අතරින් 2023 තිරගත වුණු චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ ‘යුගාත්‍රා’ චිත්‍රපටයේ ඉවෝන්’ ගේ චරිතයට මම කැමතියි. දෛවය පුදුම තීන්දු දෙනවා කියන්නේ මේ චිත්‍රපටයේදිත් මම රංගනයට එක් වෙන්නේ ප්‍රවීණ නළු සනත් ගුණතිලක සමඟ.
ඉන් පස්සේ මෑත භාගයේදී සුවිශේෂ චිත්‍රපටයකට දායක වෙන්න අවස්ථාව මට ලැබුණා. (2026) ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන ‘18 වංගුව ‘චිත්‍රපටයේ මට සුවිශේෂ චරිතයක් ලැබුණා. මෙපමණ කලක් සෝමේත්, රේණුකා. මගේ හොඳම මිතුරන් වුවත්, ඔවුන්ගේ එකම චිත්‍රපටයකටවත් මම සම්බන්ධ වෙලා තිබුණේ නෑ. මේ තමයි ඔවුන්ගේ චිත්‍රපටයකට මම සම්බන්ධවෙන පළමු අවස්ථාව. ඊටත් වඩා මේ චිත්‍රපටය මගේ ජිවිතේට තවත් අයුරකින් වැදගත් වෙනවා. මගේ මව් පරම්පරාවේ තුන්වෙනි පුරුක මේ චිත්‍රපටය හරහා සිනමාවට එක් වෙනවා. මගේ ආදර එකම දියණිය තෙනුකි හපුආරච්චිගේ සිනමා ආගමනය සිද්ධ වෙන්නේ මේ චිත්‍රපටයෙන්. තෙනුකිටයි මටයි එකම ෆ්‍රේම් එකේ රඟපාන්න නොලැබුණත් මේ චිත්‍රපටයේ අපි දෙන්නම රඟපානවා. අතීතයේ දවසක මේ අන්දමින්ම මගේ අම්මයි, මමයි, රඟපාපු හැටිත් හීනයක් වගේ මගේ මනසේ දැවටෙනවා. ඒ මතක අලුත් වෙනකොට ඉබේම දෑසට කඳුළු නැඟෙනවා. අද මට මගේ දුව ගැන දැනෙන සංවේදි හැඟීම එදා මගේ අම්මත් එයාගේ දුව ගැන දැනිලා මං වගේම සංවේදී වෙන්න ඇති කියලා මට හිතෙන්නේ දැනුයි.
ජීවිතේ ගැන ආපස්සට හිතත්දි අපි මේ ගමන කොයි තරම් දුරක් පියමං කරලා තියෙනවද කියලා මට හිතෙනවා. දරුවෝ ලොකු මහත් වෙනවා කියන්නේ අපි අපේ ජිවිතේ කෙළවරට ළං වෙනවා. මං හිතනවා මගේ ඉදිරි රංගන ජිවිතේ මහා ලොකු බලාපොරොත්තු නැති වෙයි කියලා. ආරාධනා ලැබුණොත්, මගේ හිතට ගැළපෙන දෙයක් ලැබුණොත් මම දායකත්වය දක්වාවි. අනාගතය නිර්මාණය කරන්නට ඉඩක් නැති වුණත්, අතීතයේ අපි නිර්මාණය කළ දෙයින් වර්ණවත් වුණු සිනමා ඉතිහාසය තුළ නදිකා ගුණසේකර කියන නාමය අදටත් බැබළෙන එක ගැන නිහතමානි සතුටක් තිබෙනවා.
ලබන සතියේ –
ආදරය, ප්‍රේමය, විවාහය…
හේමාලි විජේරත්න
