ප්‍රවීණ සිනමාවේදී කේ.ඒ.ඩබ්. පෙරේරා සිනමා මතකාවර්ජන පෙළගැස්මේදී අත් නොහැරිය හැකි නිර්මාණ සගයකු වන්නේ එස්. ඒ. අලගේෂන් නිර්මාණ සගයාය. දක්ෂ දෙබස් රචකයකු මෙන්ම පිටපත් රචකයකු ලෙසින් ද ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ කටයුතු කර ඇති ඔහු ප්‍රවීණ සිනමාවේදි කේ. ඒ. ඩබ්. පෙරේරා සමඟද ඉතා සමීපව කටයුතු කළ අයෙකු වේ. ඊ. ඒ. පී. චිත්‍රපට වෙනුවෙන් එතුමා සමඟ ඉතා ජනප්‍රිය චිත්‍රපට කීපයකට ම සහය අධ්‍යක්ෂණයෙන් දායක වූ හෙතෙම සිය මතක මෙලෙස අවදි කළේය.
ඊ.ඒ.පී. චිත්‍රපටවලට සම්බන්ධ වෙලා ඉන්න අවධියේ තමයි මුලින් ම මට කේ. ඒ. ඩබ්. පෙරේරා මහත්මයව හඳුනා ගන්න ලැබෙන්නෙ. ඒ කාලෙ මුලින් ම මම සහය අධ්‍යක්ෂවරයෙක් විදියටත් නෙවෙයි සම්බන්ධ වෙලා හිටියෙ. නමුත් කේ. ඒ. ඩබ්. පෙරේරා මහත්මයගෙ කැමැත්ත මත මම එතුමාගෙ සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්න පටන් ගත්තා.
‘ අධ්‍යක්ෂවරයා නැති අවස්ථාවක මතුවන ඕනෑම ගැටලුවකට උත්තරයක් දෙන්න පුළුවන් කෙනෙක් තමයි සහය අධ්‍යක්ෂවරයෙක් කියලා කියන්නෙ.ඉතින් ඒක දෙන්න අලගේෂන්ට’ කියලා තමයි එතුමා කිව්වෙ. ඒ අනුව තමයි මම එතුමාගෙ චිත්‍රපට ගණනාවක සහය අධ්‍යක්ෂවරයෙක් විදියට කටයුතු කරන්න පටන් ගත්තේ. ඊ. ඒ.පී. ෆිල්ම්ස් යටතෙ.
එතුමා එක්ක චිත්‍රපට හතරක මම වැඩ කරල තියෙනවා.
බයිසිකල් හොරා, ලොකුම හිනාව, කතුරු මුවත්, දුලීකා අපි එකට වැඩ කරපු චිත්‍රපට.
එතුමා ගැන කියනව නම් ඔහු දක්ෂ නිර්මාණකරුවකු වගේම හරිම යහපත් පුද්ගලයෙක්. ඕනෑම දේකට, ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් දෙන කෙනෙක්.
සමහර විට අපි එකට වැඩ කරනකොට කේ. ඒ. ඩබ්. පෙරේරා මහත්තය කියපු එකක් තමයි අලගේෂන් නිතරම මගෙ වැරැද්දක් හොයනවනෙ කියල. නමුත් ඒක කේ. ඒ. ඩබ්. පෙරේරා මහත්තය මා එක්ක තරහින් කියපු දෙයක් නෙවෙයි.
මම ඒ වෙලාවට නිතරම පැහැදිලි කර දුන්න චිත්‍රපටයේ මොකක් හරි අඩුපාඩුවක් වුණොත් ඒක සමස්ත නිර්මාණයටම හොඳ නැති නිසා මම නිතරම ඒ ගැන උනන්දු වෙන බව. එතුමා ඒක පිළිගත්තා. මගේ අදහස් එතුමා අගය කළා. එතුමා හොඳ කෙනෙක්. අපි හොඳ මිතුරන් සහෝදරයන් මෙන් ඇසුරු කළා.
එතුමා අභාවප්‍රාප්ත වෙනකොට මම ලංකාවේ හිටියෙ නැහැ. ටෙලිනාට්‍ය කටයුත්තක් වෙනුවෙන් ඉන්දියාවට ගිහින් සිටියේ.
ඉතින් මේ මොහොතේ එතුමාගේ සියවස් ජන්ම දිනය යෙදෙන අවස්ථාවේ එතුමාගේ නිර්මාණ දක්ෂතාව වගේම හොඳ යහගුණ ද ගෞරවයෙන් සිහිපත් කරනවා .
සමුද්‍රිකා වර්ණකුල
