මගේ ජීවිතේ ආදරය, ප්‍රේමය, විවාහය වගේ දේවල් පිළිබඳ මුල් කාලයේ වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාවක් තිබුණේ නෑ. නව යෞවනය මා බොහෝ විට ගෙවා දැමුවේ නේවාසිකාගාරයක. ඒ යුගයේ වෙනත් තරුණියන්ට තිබුණ අසීමිත නිදහසක් මගේ යෞවනය තුළ මට තිබුණේ නෑ. එහෙත් යොවුන් වියේ ආදර හැඟීම්, සෙනෙහෙවන්තකම් මට නොදැනුණා නොවෙයි. පාසල් සමය නිම වීමටත් පෙර සිනමාවට පිවිසීමත් ඉන් අනතුරුව සිනමාව තුළ කාර්ය බහුල වීමත් නිසා යොවුන් ප්‍රේමය ඇත්තටම මට මඟ හැරුණාද කියලත් හිතෙනවා.
නමුත් ආදරය මා ඉතාමත්ම අගය කරන කෙනෙක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මම ආදරයට කැමැතියි. ආදරය මොන තරම් සුන්දර දෙයක්ද? අප ආදරයට තරම් වෙනත් කිසිවකට ආදරය කරනවාද? නමුත් මම විශ්වාස කරන අන්දමට පටු පරමාර්ථ වලට ආදරය කියන වචනය පාවිච්චි කිරිමට අපි ඉඩදිය යුතු නෑ. ඒක ඉතාමත්ම අසාධාරණ දෙයක්.
අපේ සමාජයේ සමහරුන් ආදරය යොදා ගන්නේ පටු පරමාර්ථ ඉටු කර ගන්නට. මේ බොහෝ දෙනා ආදරය ගැන කියන තරම් දේවල් ක්‍රියාවට නඟනවා නම් එහි අගය මිල කළ නොහැකියි. බොහෝ දෙනෙක් ආදරය තේරුම් ගන්නේ වැරැදි විදියට. කොහොම වුණත් පාසල් යන අවදියේ සිතුවිලි මාත්‍රයක් ලෙසින් ඒක පාර්ශ්වීය ආදර හැඟිමක් හිතට දැනුණත් ඒවා දුර දිග යන්නට ඉඩක් තිබුණේ නෑ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ වුවත් සිනමාව සමඟ රැඳී සිටිමින්ම උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වු බැවින් ප්‍රේම කිරීමට හෝ ප්‍රේමවන්තයකු සොයා ගැනිමට ඉඩක් ලැබුණේ නෑ. ඒත් මම අති දුෂ්කර ගමනක නියුතු වෙමින් උපාධිධාරිනියක් බවට පත් වුණා. ඒක මගේ ජීවිතයේ ලද සුවිශේෂ ජයග්‍රහණයක්. මම ඇත්තටම වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ රැකියාවක් ඉලක්ක කරගෙන නොවෙයි. නමුත් මම රැකියා නොකර සිටියෙත් නෑ. එක්තරා කාලයක ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂවරියක ලෙසින් වසර දෙකක් පමණ සේවය කළා. තවත් අවධියක ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්යක්ෂවරියක ලෙසත් සේවය කළා. ජීවිතය අධ්‍යයනය කරන්නට හොඳ අධ්‍යාපනයක් අවශ්‍යයයි කියලා මම විශ්වාස කරනවා.
මා ලැබු අධ්‍යාපනය නිසා ජීවිතේ බොහෝ සංවේදි කාරණා, හැඟීම්බර කාරණා ඉවසීමෙන් දරා ගැනීමේ ශක්තිය මට ලැබුණා. ජීවිතය දෙස ආපස්සට හැරි බැලීමේදි ආදරය සෙනෙහස කෙරෙහි මා ඇතිකර ගත් දැඩි බැඳීම් සහ විශ්වාසය කඩවීම් නොයෙක් විට මගේ ජීවිතයේදී සිදුවුණා. මා ආදරයෙන් පැරැදි ඇතිදැයි කෙනෙකු මගෙන් ඇසුවහොත් මා ඊට දෙන පිළිතුර වන්නේ මා පරාජය නොවුණ බවයි. මන්ද බිඳී ගිය සබඳතා මත වුවද ආදරය ප්‍රේමය මා අපරිමයෙන් අත්වින්ඳා. ආදරය වෙනුවෙන් පරිත්‍යාග කළ අවස්ථා, කැපකිරීම් කළ අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. ඒ වෙනුවෙන් කඳුළු හෙළු අවස්ථාද අප්‍රමාණයි. මේ සියල්ල දරාගත හැකි දැඩි හදවතක් මට තියෙනවා කියලා කෙනෙකුට සිතිය හැකියි. නමුත් මම දන්නවා, මම හදවත දැඩි ගැහැනියක් නොවන බව. හැම මොහොකතදිම දායාර්ද්රව, අණුවෙන මගේ හදවත හැමවෙලේම ළං වුණේ කඳුළට. ඒත් මම ඒ හැම අවස්ථාවකදීම කඳුළත් එක්ක යළිත් ජීවිතෙන් නැගිට්ටා. ඒ නිසා හදවත දැඩි ගැහැනියකට වඩා දිරිමත් ගැහැනියක් කියලා මම මාව හඳුන්වා ගන්න කැමැතියි.
පිරිමියා හැම මොහොතේම ගැහැනියට කන්න අඳීන්න දී රැකබලා ගත යුතුයැයි කියන තැන මම නැහැ. කාන්තාවක් වශයෙන් තමන්ගේ සහයෝගයත් පිරිමියාට ලබා දිය යුතුයි කියන තැන ඉන්න කෙනෙක් මම. අද මට මම කවිද කියා නිර්වචනය කර ගැනිම හරිම පහසු කාරණයක්. මම හිතනවා මම දිරියෙන් යුතුව දෙපයින් නැඟී සිටි ගැහැනියක් කියා. මගේ ජීවිතේ දිහා ආපස්සට හැරි බලත්දී ඇතැම් අවස්ථාවල මම ගත් තීරණ අන්තනෝමතික ලෙස ගත් තීරණ කියලා සමහර වෙලාවට හිතෙනවා. මම වැඩිපුරම තිරන ගත්තේ මගේ නැඹුරුවට පක්ෂපාත්වය. මම හිතුවා නිවැරැදි විය යුත්තේ මගේ මතය කියලා. ඒ සමහර තින්දු තීරණ නිසා පසුතැවිලි වෙන්නට සිදුවුණු අවස්ථාද නැත්තේ නොවේ.
පස්සේ කාලෙක මම අවබෝධ කර ගත්තා සමහර තින්දු තීරණ සඳහා වැඩිහිටියකුගේ මඟ පෙන්විමක් අවශ්‍යයයි කියලා. කොහොම වුණත් ආදරය, ප්‍රේමය කියන තැනදි මම විශ්වාස කරනවා මම අතිහය සංවේදි ගැහැනියක් කියලා. ජීවිතේ විවිධ අවස්ථාවල මමත් ආදරය, ප්‍රේමය හමුවේ ආදරණිය වු අවස්ථා, අසරණ වු අවස්ථා, හිත් වේදනාවට පත්වු අවස්ථා තිබුණා. කරපු ආදරේ තරමටම තරහ ගිය අවස්ථා, කලකිරුණ අවස්ථා ඕන තරම් තිබුණා. මමත් සාමාන්‍ය හැඟීම් දැනීම් තිබෙන පෘථග්ජන ගැහැනියක් නිසා. ඒත් කාලයත් එක්කම ඒ හැම දෙයක් ගැනම උපේක්ෂාවෙන් බලන්න හැකි හදවතක් මට තියෙනවා. ජීවිතේ අපි බලාපොරොත්තු වෙන ආකාරයෙන් හැම දෙයක්ම සිදු නොවන්න පුළුවන්. හිමිවීම් අහිමිවීම් තිබෙන්න පුළුවන්. ඒ ලෝක ධර්මයට අනුව මටත් හිමිවිය යුතු දේවල් හිමිවුණා. අහිමි විය යුතු දේවල් අහිමි වුණා. ඒ ගැන මගේ හිතේ කහටක් නෑ.
මගේ ජීවිතයේ සිදුවුණ බොහෝ දේවල් ගැන මගේ අම්මා දැනගෙන හිටියා. ඒ හැම මොහොතකම ඇය මගේ සිත සනසන්න මගේ පිටුපස්සේ රැඳී සිටියා. එයා තමයි ඒ යුගයේ මට තිබුණ ලොකුම හයිය වුණේ. ඒ වගේම තමයි විවාහය කියන තැනදි ඉතාම කුඩා අවදියේ පටන් මට තියෙන්නේ අමිහිරි අත්දැකිම්. මට අවුරුදු පහේ ඉඳන්ම මගේ අම්මා ළඟ නෑ. අම්මගෙයි, තාත්තගෙයි විවාහ ජීවිතේ සාර්ථක එකක් නොවෙයි. දෙන්න දෙතැනක ඉඳගෙන තමයි අපිව ඇති දැඩි කළේ. ඒ නිසාම එක්තරා අන්දමකට විවාහය කියන එකට මම බය වුණාද? නැතිනම් ඒ කෙරෙහි පූර්ණ විශ්වාසයක් නැති වුණාද? කියලත් මට වෙලාවකට හිතෙනවා.
මම ජීවිතේ ආදරය ගෞරවය ලබපු තැනක් තිබුණා. අනිත් සබඳතා එහෙම කියලා මට හිතෙන්නේ නෑ. ඒත් මම හැදුණ වැඩුණ ආකාරයට සමාජයට ලොකු බයක් මට තිබුණා. මට ඕන ඕන ආකාරයට තැන් තැන්වල රැඳෙන්න බෑ. අදටත් ඒ බය මට තිබෙනවා. ප්‍රේමණිය බැඳීිම් අමතක කරන්න ගත්ත උත්සාහයන්, රැඳෙන්න බැරි තැන් වලින් මිදෙන්න ගත්ත උත්සාහයන් මගේ ජීවිතේ පුරාත් තිබුණා. ඒ හරහා විඳපු වේදනාත් මට හොඳට මතකයි. නමුත් ඒ හැම තැනකදීම කරපු, අත්විඳපු හොඳ දේවල් ටික මතකයි. ජීවිතේ මේ තාක් කිසිම දවසක කිසිම කෙනෙක් ගෙන් මම වෛරයෙන් අයින් වෙලා නෑ. මට කවදාකවත් ආදරය කියන්නේ පරාජයක් නොවෙයි. ජයග්‍රහණයට තවත් මාවතක් හැඳීමක්.
ජීවිතේ කවදාවත් අසිමිත නිදහසක් භුක්ති විඳීන්න ලැබුණේ නැති මට ආදරයේදිත් ඒක එහෙම වුණා. විශේෂයෙන් මගේ ජනප්‍රියතාවයත් එක්ක සාමාන්‍යයෙන් පෙම්වතුන් සිදුකරන දේවල් කරන්න මට ඉඩක් තිබුණේ නෑ. පාරක අතක් අල්ලගෙන ඇවිදගෙන යන්නවත් නිදහසක් තිබුණේ නැ. සමහර සබඳතා දුරකථනයට විතරක් සිමා වුණු අවස්ථාත් තිබුණා. අපේ අම්මට වුණත් මට විවාහයක් ගැන බලකරන්න තරම් විවාහය පිළිබඳ සුන්දර අතීතයක් තිබුණේ නෑ. අවුරුදු 19න් තාත්තා සමඟ විවාහ වුණා වගේම ඇය කෙටි කලකින්ම තාත්තාගෙන වෙන්වුණා. ඊට පස්සේ බැසිල් අන්කල් සමඟ විවාහ දිවියක් ගෙවුවත් නංගිලා දෙන්න ලැබිලා ටික කලකින්ම බැසිල් අන්කල්ගෙනුත් වෙන් වුණා. ඒ නිසාම වෙන්න ඇති විවාහ වෙන්න කියලා අම්ම මට බලකරලම කිව්වේ නැ. කොහොම වුණත් මගේ චූටි නංගි විවාහ වෙනතුරුත් මම විවාහවෙලා හිටියේ නෑ. එක්තරා කාලවකවානුවකදි මම විවාහය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම හිතුවා මම විවාහ වෙන්නේ නෑ කියලා. ආදරය දැනුණ අවස්ථා තිබුණා නමුත් කසාදයක් සඳහා සූදානම් වෙන්න මට හැකියාවත් තිබුණේ නෑ.
ලබන සතියේ විවාහයක් ගැන සිතුවිල්ලක්…
