Home » ඔහුගේ රසාලිප්ත සමාන්තර සිනමාව

ඔහුගේ රසාලිප්ත සමාන්තර සිනමාව

by mavan
April 30, 2026 2:20 pm 0 comment

අදින් සැත්තෑ වසකට පමණ පෙරාතුව සිරිලක සිනමාව විෂයෙහි එක් අසිරිමත් සිදුවීමක් වාර්තා වූයේ සිනමාව සිය දිවි සරු කර ගත හැකි මඟක් සේ දකිනු පිණිස නොපැකිලුණු රසික කණ්ඩායම් විෂයෙහි නව බලාපොරොත්තු රැසක් දනවමිනි. මේ රජයේ චිත්‍රපට අංශයේ සේවයේ නිරතව සිටි තුරුණු වියේ තිදෙනෙකු අවදානම් සහගත තීන්දුවකට එළඹීමේ පුවතය. ලෙස්ටර් ජේම්ස් පීරිස්, විලියම් බ්ලේක් හා ටයිටස් තොටවත්ත මෙසේ නව පිවිසුමක් සලකුණු කරලූයේ ජන දිවියේ සුලබ හා දුලබ තැන් හසු කර ගන්නා සිනමානුරූපී නිමැවුමක් සරි කර ගනු පිණිසයි. ඵලය රසවත්ය. ඊටත් වඩා ගුණදායකය. මේ 1956 වසරේ දෙසැම්බර් මස සිනමාශාලා කරා සපැමිණි චිර ප්‍රසිද්ධ ‘රේඛාව’සිනමාපටයයි. සිරිලක සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් සේ ‘රේඛාව’ අදත් සම්භාවනාවට පාත්‍ර වන්නේ සිනමාව නොතකන හා සිනමාව බැහැර කරන උදවියගේද සැලකිල්ලට බඳුන් වෙමිනි.

‘රේඛාව’ නිමවන්නට පෙරමුණ ගත් ලෙස්ටර් ජේම්ස් පීරිස් වසර 2018 දී නික්ම යන්නේ සිරිලක සිනමාවේ විශිෂ්ටතම සිනමාකරුවා සේය. විලී බ්ලේක් වත්මන් සබුද්ධික සිනමා රසිකයා පවා විස්මයට පත්කරමින් සිනමා කැමරාව මෙහෙය වූ විසල් කැමරා ශිල්පියෙකි. ටයිටස් තොටවත්ත අතිශය විවාදාත්මක සිනමාකරුවකු සේම සුරුවිරුකම් පෑ සිනමා සකසුවෙකි. මෙතැනට තිස් වියැති තුරුණු අයකුද කැඳවිය යුතුවේ. ඔහු ‘රේඛාව’ට එක් වන්නේ දෙබස් රචනයෙනි. මේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාය.

‘රේඛාව’ මුළුමනින්ම ගෙවුණු සියවසේ මුල් අවදියේ පිටිසර ගම්පියසක පැතිරුණු සිදුවීම් පෙළකින් සුසැදි සිනමාපටයකි. සැබෑ දිවියට බෙහෙවින්ම සමීප ලකුණු සනිටුහන් කරලීමට සිනමාකරු ලෙස්ටර් මහත් සේ වෙහෙස වී තිබිණි. මෙහිලා ඒ ඒ චරිත වහරන වදන් හා ඊට අදාළ රටා මැනවින් ගළපා ගත යුතුව තිබූ බව පෙනේ. ගුවන්විදුලි පිටපත් රචනයෙන් යම් සමත්කම් විදහා දක්වමින් සිටි පෙරේරා තරුණයා ලද මෙම අවස්ථාව අනාගතය උදෙසා කළ අපරිමිත ආයෝජනයක් සේ පෙනී යන්නට ඒ හැටි කාලයක් ගත නොවීය. මේ අනුව ‘රේඛාව’ සතු සඵලදායී බව තීව්‍ර කරලන්නට පෙරේරා තරුණයාද එක්වූ වග නොසැඟවිය යුත්තකි.

කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා නොඑසේනම් කේ .ඒ.ඩබ්ලිව්. සිය කීර්තිමත් දිවි සැරිය නිමා කළේ අදින් විසි වසකට පෙරාතුවය. 2006 වසරේදීය. අසූ හැවිරිදි වියේදීය. ඔහු උපන්නේ අදින් සියවසකට පෙරාතුවයි . එනම් 1926 වසරේ අප්‍රියෙල් මස 15 දාය. මේ එළඹ ඇත්තේ ඔහුගේ සියවන ජන්ම දිනය සැමරීමේ අවස්ථාවයි.

සිනමාකරුවකු සේ වැඩිපුරම පතළ කේ.ඒ.ඩබ්ලිව්. වෘත්තාන්ත සිනමාපට 24කින් සිය සිනමා දිවිය පොහොසත් කරලූයේ කෙටි හා වාර්තා සිනමා නිමැවුම් කෙරෙහි එපමණ අවධානයක් යොමු නොකරමිනි. සිය සමකාලීනයන් අඩු වැඩි වශයෙන් කෙටි හා වාර්තා සිනමා මෙහෙයුම් කෙරෙහි උනන්දු වුවද කේ.ඒ.ඩබ්ලිව්. සපුරාම වෘත්තාන්ත සිනමාව සමඟම බැඳුණේ එහි ප්‍රබල ප්‍රකාශන සමත්කම පිළිබඳ නොසැලෙන විශ්වාසයකිනි. ඔහුගේ පළමුවැනි සිනමා මෙහෙයුම සේ සැලකෙන ‘සැනසුම කොතැනද’ මුල් වරට සිනමාශාලා ප්‍රදර්ශනයට එක්වූයේ වසර 1966 දීය. එනම් අදින් වසර 60කට පෙරාතුවය. වෙසෙසින්ම සඳහන් කළ යුත්තක් වනුයේ ‘සැනසුම කොතැනද’ පිළිබඳ මතකය අදත් නොනැසී පවතින බවයි. අතීත සිරිලක සිනමාවට පෙම් බඳීන වත්මන් සිනමා රසිකයනට ‘සැනසුම කොතැනද’ කිසිසේත්ම මඟ නොහැරෙන සිනමාපටයකි. එක්තරා ආකාරයකින් ‘සැනසුම කොතැනද’ සිරිලක සිනමාවේ විකාශය හදාරන තැන්හිදී නාමිකව වුව සඳහන් කෙරෙන සිනමාපටයක් වේ.

ලෙස්ටර්, විලී බ්ලේක් හා ටයිටස් සමඟ සිනමාවතරණය කළද ඔවුන් අනුදත් සිනමා අරමුණු ඔස්සේ ගමන් කරලීමේ වුවමනාවක් කේ.ඒ.ඩබ්ලිව්. පළ නොකිරීම කැපී පෙනේ. මේ අනුව කේ. ඒ. ඩබ්ලිව්.ගේ සිනමා මෙහෙයුම පිළිබඳ නිසැක අදහසක් සරි කර ගන්නට මහෝපකාරී වන අවධිය කරා යාම වඩාත් තාර්කිකය. මේ ‘රේඛාව’ හා ‘සැනසුම කොතැනද’ අතර දිග හැරෙන සමයයි. මෙසමයේ කේ.ඒ.ඩබ්ලිව්. හමුවන්නේ දෙබස් රචකයකු, දෙබස් කවන්නකු, සහාය අදියුරුවරයකු වශයෙනි. එසේම සිනමාපට ද්වයක අදියුරුකරණයේ සමතැන් ගනිමිනි.

ඉන්දියානු හින්දි සිනමාපටයක් වන ‘අංජලී’ හි සිංහල දෙබස් කවන්නට කේ.ඒ.ඩබ්ලිව්. එක් වන්නේ එහි සම අදියුරුවරයා වන අතරය. කෙසේ නමුදු ඉනික්බිතිව ඔහුගේ එබඳු පිවිසුම් දැක ගත හැකි නොවේ. මේ තමනට අයත් වූවක් නොවන බව ඔහු විසින් වටහා ගනු ලැබීමේ ඵලයක් යැයිද විටෙක සිතේ.

කේ.ඒ.ඩබ්ලිව්. දෙබස් රචනයට එක්වූ සිනමාපට සමුච්චය අතර සිරිලක සිනමාවේ එන නිසැකවම සලකා බැලිය යුතු සිනමාපට කිහිපයක්ද වේ. මේ ‘සන්දේශය’, ‘ගැටවරයෝ ’ හා ‘සාරවිට’ යි. සුලබ යොවුන් පෙමට පමණක්ම මුල් තැනක් නොදුන් මේ සිනමාපට විද්වත් රසික අවධානයට සේම විචාරක අවධානයටද ලක් වූයේ නිතැතිනි. මෙහිලා ඇතැම් නව්‍ය කරුණු එක් කරලීමට කේ.ඒ.ඩබ්ලිව්. උත්සුක වූ අයුරු පෙනේ. සිනමාකරුවාගේ අභිලාසය නොබිඳ මෙසේ මැදහත්වූ කේ.ඒ.ඩබ්ලිව්. සිය පසුකාලීන සිනමා දිවිය පොහොසත් කරලන්නට ඉන් යමක් උකහා ගත් බව පැහැදිලිය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෙවන සිනමා මෙහෙයුම වන ‘සන්දේශය’ සිරිලක සමාන්තර සිනමාවේ පුරෝගාමී අවස්ථාවක් සේ වුව නම් කළ හැකිය. එසේම එය මෙරට නිර්මිත අද්විතීය ක්‍රියාදාම සිනමාපටයක්ද වේ. ලෙස්ටර් අනතුරුව ‘සන්දේශය’ පන්නයේ සිනමා මෙහෙයුමකට නොපැමිණීමද මෙතැනදී අමතක නොකළ යුත්තකි. මයික් විල්සන් හා තිස්ස ලියනසූරිය නිමවූ ‘ගැටවරයෝ’ , ගම හා නගරය අතර දුරස්ථ බවද, සමීපතාද නිරූපිත නාගරික ලකුණු උත්කර්ෂයට නැංවූ සිනමාපටයකි. කේ.ඒ.ඩබ්ලිව්. මේ වග හඳුනා ගැනීම වෙතින්ද කියැවෙන්නේ ‘සන්දේශය’ ට අදාළ කාරණාවමය. එනම් ‘ගැටවරයෝ’ද සිරිලක සමාන්තර සිනමාවට අයත් කරලිය හැක්කක්ය යන්නයි. තිස්ස ලියනසූරියගේ ‘සාරවිට’ , කේ.ඒ.ඩබ්ලිව්.ගේ සිනමා මෙහෙයුමට වඩාත්ම ළංවූ සිනමාපටයක් සේ පෙනේ. ‘සාරවිට’ පොදුජනයා අතර වෙසෙන සුලබ මිනිසකුගේ ඉරණම දයාබරව නිරූපිත සිනමාපටයකි. කේ.ඒ.ඩබ්ලිව්. මේ තැනැත්තා වෙසෙන නාගරික පහළ පන්තික පරිසරය සියුම්ව හසු කර ගනිමින් රචනා කරන දෙබස් සිනමාපටයේ ජීවය බවට පත්වන්නේ නිරායාසයෙනි. ‘සාරවිට’ද සිරිලක සමාන්තර සිනමාව 1960 දශකයේදී ඔප් නැංවූ අවස්ථාවක්ය යන්න පැහැදිලිය.

කේ.ඒ.ඩබ්ලිව්. සම අදියුරු සේ හමුවන ‘පිරිමියෙක් නිසා’ හා ‘සුහද සොහොයුරෝ’ යන සිනමාපට යුගලද උක්ත අදහස සහතික කරලීම පිණිස උපයෝගී කර ගත හැකිවේ.

‘පිරිමියෙක් නිසා’ හි අනෙක් අදියුරු වූ ටී.සෝමසේකරන් හඳුනා ගැනෙන්නේ සිරිලක රසාලිප්ත සිනමාව ඉහළට ඔසවා තැබූවකු ලෙසිනි. මෙහි දෙබස් රචනය සේම කතා පුවතද, තිරරචනයද කේ.ඒ.ඩබ්ලිව්. සතු වන්නේය යන කාරණය එක එල්ලේම වාගේ ගමන් කළේ සමාන්තර සිනමා සංකල්ප කරාය.

‘සුහද සොහොයුරෝ’ හි සම අදියුරු වන එල්.එස්. රාමචන්ද්‍රන් හමුවන්නේ ‘සිකුරු තරුව’ හා ‘කුරුලු බැද්ද’ යන විද්වත් රසික ප්‍රතිචාරද, විචාරක සැලකිලිද ලද සිනමාපට ද්වයේ නිමැවුම් කරු විලසිනි. මේ සිනමාපටද සිරිලක සමාන්තර සිනමා මාදිලියේ ගමන් මඟ විමසන අවස්ථා හමුවේ සලකා බැලෙන වග නොරහසකි.

1960 දසකය පසු අඩේදී සිනමාකරුවකු සේ දොරට වඩින කේ.ඒ.ඩබ්ලිව්. 1970 දශකය නිමවන සමය දක්වාම සිරිලක සිනමාවේ මුල් පෙළේ සිනමාකරුවකු සේ නිශ්චය කළ හැක්කේ කිසිදු විවාදයකින් තොරවයි.මෙසමය තුළ ඔහුගේ නමින් ආ සිනමාපට සංඛ්‍යාව පහළොවකි. ඉන් පසු එළඹෙන්නේ සිරිලක සිනමාවේ සමස්තයම පැවැත්ම පිළිබඳ බරපතළ අර්බුදයක් කරා ගමන් කළ සමයකි. මෙසමයේ එනම් 1980 දශකයේදී තිරගත කේ.ඒ.ඩබ්ලිව්.ගේ සිනමාපට කිහිපයක්ම රසික මනාපය පෙර පරිදි නොලද බව පෙනේ. 1990 දශකයේදී ඔහුගේ නමින් තිරගත එකම සිනමාපටයද ලැබුවේ සෑහීමකට පත්විය හැකි රසික ප්‍රතිචාර නොවේ. 2000 දශකයේදී ආ ඔහුගේ සිනමාපට ද්වයද සැලකිය යුතු රසික – විචාරක ප්‍රතිචාර නොලබා සැඟව ගිය වග සඳහන් කරන්නේ කේ.ඒ.ඩබ්ලිව්. පිළිබඳ කිසිදු අහිතකින් නොවේ. මන්ද පෙර සඳහන් කළ 1966 – 1980 කාල වකවානුව තුළදී ඔහු සිරිලක සිනමාවට දැක්වූ ඉහළ දායකත්වය වරෙක අපමණ වන නිසාවෙනි. මෙසමය සිරිලක සිනමාවේ ස්වර්ණමය අවධිය සේ හඳුන්වා දෙන්නේ කේ.ඒ.ඩබ්ලිව්ද සමඟය. මෙම හඳුන්වාදීම පසුපස රසාලිප්ත විනෝදාත්මක සිනමාව සිදු කළ මැදහත්වීම අතිමහත්ය. ලෙස්ටර් ජේම්ස් පීරිස් සේම ජී.ඩී.එල්.පෙරේරා, ඩී.බී.නිහාල්සිංහ, සුගතපාල සෙනරත් යාපා, රන්ජිත් ලාල්, වසන්ත ඔබේසේකර, ධර්මසේන පතිරාජ, තිස්ස අබේසේකර, සුමිත්‍රා පීරිස්, පරාක්‍රම ද සිල්වා හා ධර්මසිරි බණ්ඩාරනායක යන සිනමාකරුවන් මෙසමයේදී සිරිලක සිනමාවේ කලාත්මක , සම්භාවනීය හා විවාදාත්මක පිවිසුම් පොහොසත් කරලන්නේද උක්ත ස්වර්ණමය හඳුන්වාදීම සහේතුක කරමිනි. මේ අතරට විජය ධර්ම ශශ්‍රී, එච්.ඩී. ප්‍රේමරත්න යන සිනමාකරුවන්ද පැමිණෙන වග සඳහන් කළ යුතුය.

කේ.ඒ.ඩබ්ලිව්. මෙසමයේදී සිනමාකරුවකු සේ හමුවන්නේ ලෙස්ටර්- පතිරාජ අනුදත් අයකු සේ නොවේ. සමාන්තර සිනමාවේ නව ප්‍රවණතා සමඟ ඇයි හොඳයිකම් පාන්නකු විලසින්ද නොවේ. ලෙනින් මොරායස්, නීල් රූපසිංහ, යසපාලිත නානායක්කාර, ජේ.සෙල්වරත්නම් බඳු අතිශයින්ම රසාලිප්ත විනෝදාත්මක සිනමාපට නිමවන්නකු සිහිගන්වමින්ද නොවේ. නිසැක වශයෙන්ම මේ පිවිසුම් ත්‍රයේම ලකුණු නන් අයුරින් ආසක්ත කර ගන්නට උත්සුක වන්නකු ලෙසිනි.

මේ අනුව වරෙක කේ.ඒ.ඩබ්ලිව්. රසාලිප්ත විනෝදාත්මක සිනමාවට අදාළව හඳුනා ගත හැකිය. තවත් වරෙක නොයෙකුත් දිවි තතු විමසන සිනමාකරුවකු සිහිගන්වමිනි. ඇතැම් විවේචන ආදියද සහිතවය. ඒ ඒ අනුෂංගික අංග සඳහා ප්‍රතිභාසම්පන්න නවකයන්ද, දැනුමැති අයවලුන්ද එක්කර ගන්නට උත්සුක වන්නකු ලෙසින්ද ඔහුව දත හැකිය. මේ සියල්ල අතර රසිකයා වෙත නිල හා නොනිල පණිවුඩ සපයන්නකු බවටද ඔහු පත්වන අන්දම පැහැදිලිය. මේවායින් කියැවෙන්නේ අයහපත පරයා යහපත පෙරට ආ යුතු බවයි. අයුක්තිය පරයා යුක්තියම ජය ගත යුතු බවයි. ගුණ ගරුක මිනිස් බැඳීම් සතු සුමිහිරි බව කිසිවිටෙකත් යටපත් නොකළ යුතු බවයි.

රූපණය කෙරෙහි සෙසු සිනමාකරුවන් සේම කේ.ඒ.ඩබ්ලිව්. ද දැක්වූයේ නොමඳ අවධානයක්ය යන්න පෙනේ. ඊට අදාළව ඔහු නොපැකිළව හා නොබියව ගත් තීන්දු කිහිපයක්ද දත හැකිය. එනම් දීප්තිමත් සිනමා තාරකා පමණක්ම එක්කර ගැනීමේ සුලබ පිළිවෙත එලෙසින්ම පිළිනොපැදීමයි. ‘කපටිකම’ හා ‘බයිසිකල් හොරා’ යන සිනමාපට ද්වය නිදසුන් දෙකකි. මේවායේ පළමු පෙළ චරිත රූපණයට එක්කර ගත්තේ සුලබ තරු ගුණයක් නොපෙන්වන ඩී.ආර්.නානායක්කාරය. ගාමිණී ෆොන්සේකා, ආනන්ද ජයරත්න.ටෝනි රණසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ වැනි දිදුලන තරු අබිබවා ඩී.ආර්.නානායක්කාර වැනි ප්‍රතිභාසම්පන්න අයකු එක්කර ගැනීමේ ප්‍රතිඵල මනාව සලකුණු වූයේ විචාරක හා විද්වත් රසික පාර්ශ්ව මැදහත්වීමෙනි. 1969 වසරේදී පැවති සය වන ‘සරසවිය’ සිනමා සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය ඩී ආර්. නානායක්කාර හිමි කර ගත්තේ ‘බයිසිකල් හොරා’ නිසාවෙනි.

‘දුලීකා’ , ‘ජනක සහ මංජු’ යන කේ.ඒ.ඩබ්ලිව්ගේ සිනමාපටවල සිනමාශාලා ප්‍රදර්ශනය සමත්කම් පෙන්වූයේ රූපණය සඳහා වූ නවකයන්ගේ සහභාගිත්වයද මුල් කර ගෙනය. ‘දුලීකා’ හි බියුලා ඩයස්, ‘ජනක සහ මංජු’ හි ජයන්ත දාස් පෙරේරා හා ගෝතමී පතිරාජ මෙහිලා කැපී පෙනේ. ගෝතමී පතිරාජ අනතුරුව සිනමාපට ගණනාවකම පළමු පෙළ චරිත සඳහා එක්වෙමින් සිය තාරකා ගුණය තහවුරු කරගන්නට සමත් වූ බව කිව යුතුය.

‘සැනසුම කොතැනද’ හි එන ප්‍රේමසිරි කේමදාසගේ සිනමානුරූපී සංගීතය සිරිලක සිනමා වංශය ප්‍රබෝධමත් කරන්නකි. එහිලා හරූන් ලන්ත්‍රා ගයන ගී සතු මිහිර කිසිදා වියෝ නොවන සුලුය. ‘සීයේ නෝට්ටුව’ හි නන්දා මාලිනී ගයන ‘දේදුනු පායා’ මැයෙන් ඇරඹෙන ගීයද එසේමය. සනත් නන්දසිරි, එච්.ආර්.ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක, ලතා වල්පොල, ටී.එම්. ජයරත්න සේම ඩබ්ලිව්.ඩී. අමරදේවද, ක්ලැරන්ස් විජේවර්ධනද කේ.ඒ.ඩබ්ලිව්.ගේ ස්වර්ණමය සමය ගායනයෙන් විචිත්‍ර කළ බව පැහැදිලිය.

‘සැනසුම කොතැනද ’ හි පළමු පෙළ චරිතයට එක්වන ගාමිණී ෆොන්සේකා ඉනික්බිතිව කේ.ඒ.ඩබ්ලිව්.ගේ කිසිදු සිනමාපටයකින් හමු නොවේ. එහෙත් ඔහු ඔස්වල්ඩ් ජයසිංහ, ආනන්ද ජයරත්න, විජය කුමාරතුංග, තිස්ස විජේසුරේන්ද්‍ර, රවීන්ද්‍ර රන්දෙණිය වැනි තරු කෙරෙහි තබන්නේ ඉහළම විශ්වාසයකි. එසේම ශ්‍රියාණි අමරසේන, මාලිනී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු, සෝනියා දිසා සිය නිළි පෙදෙස උද්දීපනයට ඔහු එක්කර ගනියි.

කේ.ඒ.ඩබ්ලිව්. විද්වත් රසික අවධානයටත්, විචාරක අවධානයටත් ලක් වන සිනමාකරුවකු බවට පත්වන්නේ තනිව නිමවූ පළමු සිනමාපටය වන ‘සැනසුම කොතැනද ’ හිදීයි. එය ඉක්මවන හෝ එයට සමාන රසික – විචාරක අවධානයක් අනතුරුව ඔහු දිනා ගන්නේ ‘ළසඳා’ ඔස්සේය යන්න මෙහිලා සඳහන් කළ යුතුමය. 1975 වසරේදී පැවති ශශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ තෙවන උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී කේ.ඒ.ඩබ්ලිව්. වෙත ‘ළසඳා’ නිමැවුම වෙනුවෙන් සම්මානයක් පිරිනැමිණි. ‘සරසවිය’ හා ‘ජනතා’ පුවත්පත් අනුග්‍රහයෙන් රසිකයන්ගේ ප්‍රියතම සිනමා කලාකරුවන් තේරූ තරගයේදී හොඳම සිනමාකරුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ ‘ළසඳා’’ වෙනුවෙන් කේ.ඒ.ඩබ්ලිව්.ය. ෆුජිටෙරම් අන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂද සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කළ සිරිලක සිනමාපට අතරට ‘ළසඳා’ද එක් කෙරිණි.

‘සැනසුම කොතැනද’ සිනමාපටයේ සිට කේ.ඒ.ඩබ්ලිව්. විසින් ගොඩ නංවා ගනු ලැබූ අසීමිත රසික ප්‍රසාදය උච්චස්ථානයක් සළකුණු කරන්නේ 1979 වසරේදී මුල්වරට තිරගත ‘හිඟන කොල්ලා’ හිදීයි. ඩබ්ලිව්.ඒ.සිල්වා එනමින්ම ලියූ අතුරු කතා බහුල නවකතාව උද්වේගකර සිදුවීම් රැසකින් යුතු ආකර්ෂණීය සිනමාපටයක් බවට පත්කර ගැනීමේදී කේ.ඩබ්ලිව්. පළ කළ සමත්කම අතිමහත්ය. මෙය ඔහුගේ සිනමා අදියුරු පරිචය මැනවින් දත හැකි අවස්ථාවකි.

සිය සිනමා අදියුරු දිවියේ සරුසාරම අවදිය තුළ නවකතා සිනමාගත කිරීම සම්බන්ධයෙන් කේ.ඒ.ඩබ්ලිව්. දැක්වූ උනන්දුව අවස්ථා ගණනාවකදීම දක්නට ලැබේ. මේ සමකාලීන සිරිලක සිනමාවේ ආ නිසැක නැඹුරුවීමකි. ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ හා සුමිත්‍රා පීරිස් වැනි සිනමාව කලාත්මකව, විවාදාත්මකව පොහොසත් කළ අයද නවකතා හා කෙටිකතා සිනමාගත කිරීම පිළිබව විවෘත හා එකඟතා සහිත අවධානයක් පළ කළ බව පෙනේ. ‘නිධානය’, ‘එයා දැන් ලොකු ළමයෙක්’ හා ‘ගහැනු ළමයි’ නිදසුන් ත්‍රයක් පමණි. කේ.ඒ.ඩබ්ලිව්.ද නවකතා සිනමාගත කළ මුල් පෙළේ සිනමාකරුවකු බවට පත්වන්නේ ඔවුන් මෙන් නොවේ. තමා විසින් මුල් සමයේදීම උපයා ගත් අනන්‍යතාව සුරකින අන්දමිනි. ‘හිඟන කොල්ලා’ සඳහා ඩබ්ලිව්.ඒ.සිල්වා ලියූ නවකතාවක් තෝරා ගැනීමට පෙරාතුව ටී.බී.ඉලංගරත්න ලියූ නවකතා ත්‍රයකින්ම සිනමාපට නිමවන්නට ඔහු සමත් වූයේය. මේ ‘ළසඳා’, ‘නෑදෑයෝ’ හා ‘සසර’ යි. ටී.බී.ඉලංගරත්න පාඨක ප්‍රසාදය දිනූ නවකතාකරුවකු වීම කේ.ඒ.ඩබ්ලිව්. ගේ සිනමා මෙහෙයුම ලද වාසියකි. කේ.ඒ.ඩබ්ලිව්. ‘ආදර රත්නෙ’ නිමවන්නේ කුමාර කරුණාරත්න ලියූ නවකතාවක් පාදක කර ගනිමිනි. කුමාර කරුණාරත්න හඳුනා ගැනෙන්නේද ඉහළ පාඨක ප්‍රසාදයක් දිනා ගෙන සිටි නවකතාකරුවකු වශයෙනි. මෙසේ සිය සිනමා මෙහෙයුම් සඳහා නවකතා තෝරා ගැනීමේදී ඒවා පාඨක ප්‍රසාදය වැඩිපුර දිනා ගෙන තිබීම යන සාධකය අරභයා වැඩි සැලකිල්ලක් දැක්වීමට කේ.ඒ.ඩබ්ලිව්. ගත් තීන්දුව නිරනුමානවම කැපී පෙනේ.

කේ.ඒ.ඩබ්ලිව්.ගේ වෘත්තාන්ත සිනමාපට විසිතුනම සමස්තයක් සේ ගත් විට ස්වතන්ත්‍ර ලකුණු බොහොමයකින් සමන්විතය. නිපැයුම්කරුවන්ගේ විශ්වාසයද දිනා ගෙන වසර තිස් අටක් තිස්සේ මෙපමණ සිනමාපට සංඛ්‍යාවක් නිමවීම සිරිලක සිනමාවේ වපසරිය විෂයෙහි අසීරු කටයුත්තකි. ‘සැනසුම කොතැනද ’ සිනමාපටයට ඉන්දියානු හින්දි හා දමිළ සිනමාපට ද්වයක් ඇසුරු කර ගත් බව කියැවිණි. එහෙත් මෙය එහෙම පිටින්ම සනාථ කළ හැකි ආකාර සපයා ගැනීම අසීරුය. ‘අපරාධය හා දඬුවම’ සිනමාපටය සඳහා ප්යෝදර් දොස්තොවුස්කිගේ සුපතළ ‘ක්‍රයිම් ඇන්ඩ් පනිෂ්මන්ට්’ නවකතාව පාදක නොවූ බව වෙසෙසින් සඳහන් කළ යුත්තකි. ‘දුලීකා’ සිනමාපටය සඳහා ‘බ්ලෝ හොට් බ්ලෝ කෝල්ඩ්’ යන ඉතාලි සිනමාපටයෙන් යම් ආභාසයක් ලද වග කියැවේ. එනමුදු ‘දුලීකා’ නරඹන විට රසිකයා දකින්නේ කේ.ඒ.ඩබ්ලිව්.අනුදත් ස්වතන්ත්‍ර නිමැවුම් පිළිවෙතමය. ‘බංගලි වළලු’ සිනමාපටය නිමැවුමට කේ.ඒ.ඩබ්ලිව්. ඇසුරු කර ගන්නේ පන්සිය පනස් ජාතක පොතේ එන සේරිවාණිජ ජාතකයයි. සිනමාපටය මෙහි නව අරුත් දැක්වීමේ ප්‍රයත්නයකි.

1970 දශකය ගෙවී යාමෙන් අනතුරුව කේ.ඒ.ඩබ්ලිව්.ගේ සිනමා මෙහෙයුම බරපතළ අර්බුදයක් කරා සැලකිය යුතු වේගයකින් ගමන් කළ වග පෙරදීද සඳහන් කෙරිණි. 1979 වසරේදී මුල් වරට තිරගත ‘හිඟන කොල්ලා’ සේම ඊට පෙර නිර්මිත ඔහුගේ බොහෝ සිනමාපට ලද රසික ප්‍රතිචාර කරා සමීපවන්නටවත් මෙසමයේ කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා සමත් නොවූ සෙයකි. මෙයට තුඩු දුන් හේතු කිහිපයකි. 1970 දශකයේ අග භාගයේදී සිරිලක සිදුවූ සමාජ,ආර්ථික හා දේශපාලනික පරිවර්තන සිනමා රසිකාගාරය වෙත එල්ල කළ බලපෑමේ ස්වරූපය හා ස්වභාවය නිසිව වටහා ගනු පිණිස කේ.ඒ.ඩබ්ලිව්. සෑහීමකට පත්විය හැකි උනන්දුවක් නොපෙන්වීම ඉන් ප්‍රමුඛය. ඔහු දිගින් දිගටම පිහිටා සිටියේ අතීත සමත්කම් දැනවූ නිමැවුම් පිළිවෙත් මත වීම තවත් හේතුවකි. පෙරදා එක්කර ගත් සුපිරි තරු මෙසමයේ එක්කර ගන්නට ඔහු එපමණ වෑයම් නොකළ සැටියකි. මෙයද යම් පමණකින් හෝ ඔහුට අභියෝග කළ අනිසි බලපෑමක් යැයි සිතේ.

මෙසමයේ උද්ගත සිනමා අර්බුදය ජය ගනු පිණිස පෙරට ආ සිනමාකරුවන් හා සිනමා නිපැයුම්කරුවන් සෘජුවම හෝ වක්‍රාකාරයෙන් ඉන්දියානු හින්දි භාෂීය රසාලිප්ත සිනමාපට අනුකරණයට පියවර සලසා ගත බව පෙනේ. වර්ණවත් පරිසරය, තුරුණු විලාසිතා, ඉන්දීය ගී තනු හා ඉන්දීය රසාලිප්ත සිනමා නර්තනාංග සමඟ නවක හා පළපුරුදු තරු රූපණයට එක්කර ගැනීම මේවායේ සුලබව දක්නට ලැබිණි. සටන් ජවනිකා හා හාස්‍ය උපදවන ජවනිකා නිමැවීමේදීද මේ සිනමාපට වඩා සැහැල්ලු ලකුණු පෙන්නුම් කළ බව කිව යුතුය. කේ.ඒ.ඩබ්ලිව්. කිසි විටෙකත් මෙම නැඹුරුව සමඟ මඳ ඇසුරකට වුව නොගිය වග සැබෑවකි.

කේ.ඒ.ඩබ්ලිව්.අනුදත් මේ පිළිවෙත ‘මධුරි’, ‘උණ්ඩය’ හා ‘සුමේධා’ යන ඔහුගේ අවසන් සිනමාපට වෙතින්ද දැක ගත හැකිය. සැබැවින්ම මේ සිනමාපට 1970 දසකයේ තිරගත වූයේ නම් සැලකිය යුතු රසික ප්‍රසාදයක් ලැබ ගන්නට ඉඩ තිබිණි.

මෙබඳු අසමත්වීම් එසමයේ හෝ පසුකාලීනව දැක ගත හැකි වුවද සිරිලක සිනමාව කරා අපූර්වත්වයක්ද, ආකර්ෂණීය බවක්ද ගෙන ඒමට කේ.ඒ.ඩබ්ලිව්. දැක්වූ සමත්කම කිසි ලෙසකින්වත් අමතක කළ හැකි නොවේ. සිරිලක සිනමා වංශයේ එක පරිච්ඡේදයක් නියත වශයෙන්ම කේ.ඒ.ඩබ්ලිව්.ගේ සිනමා මෙහෙයුම ගැන ලියැවිය යුතුය. මෙහිලා අවධාරණය කළ යුත්තේ සිය සිනමා නිමැවුම් පිළිවෙත මත අවිච්ඡින්නව රැඳී සිටි සිනමාකරුවකු සේ ඔහුව හඳුනා ගැනීම යුක්තියුක්ත වන බවයි

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT