Home » මාව සිනමාවට හඳුන්වාදුන් ගුරුවරයා ප්‍රවීණ සිනමාවේදි තිස්ස ලියනසූරිය

මාව සිනමාවට හඳුන්වාදුන් ගුරුවරයා ප්‍රවීණ සිනමාවේදි තිස්ස ලියනසූරිය

by mavan
April 30, 2026 2:29 pm 0 comment

සිනමාවේදි කේ. ඒ. ඩබ්.පෙරේරා මතකාවර්ජනාවේදී ඒ මතක පිරිස්සුමට දායක කරගත යුතුම සිනමා ගමන් මඟ සගයකු වනුයේ ප්‍රවීණ සිනමාවේදි තිස්ස ලියනසූරිය ය.

පුංචි බබා, ගැටවරයෝ, සාරවිට, නාරිලතා, වැනි අවධානය දිනූ චිත්‍රපට රැසක් නිර්මාණය කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ තිස්ස ලියනසූරිය සිනමාවේදී කේ. ඒ. ඩබ්.පෙරේරා සමඟ සමීපව කටයුතු කළ අයෙකු වේ.

මට එතුමාව මුණ ගැසෙන්නෙ 1952 පමණ.එවකට එතුමා වැඩ කරමින් හිටියෙ ගුරුවරයෙක් වශයෙන්. ඒ ඒ අවධියේ ම තමයි එතුමා ගුවන් විදුලි වැඩසටහන්වලට සම්බන්ධ වී කටයුතු කරමින් සිටියෙත්.ඒ අවස්ථාවේ තමයි මම ගොස් එතුමාව මුණ ගැසී කතා කළේ මමත් හරි කැමතියි කලාවේ යම් දෙයක් කරන්න කියා. ඒ හමුවීමෙන් පසු එතුමා මාව ඔහුගේ වැඩසටහන්වලට සම්බන්ධ කර ගනු ලැබුවා.

විශේෂයෙන් විචිත්‍රාංග හා කෙටි ගුවන් විදුලි වැඩසටහන්වලට සම්බන්ධ කර ගනු ලැබුවා. එහිදී එක දිගට කරපු විශේෂ වැඩසටහනක් තමයි ‘රේඩියෝ සඟරාව’ කියන වැඩසටහන. ඔය කාලෙදි ම තමයි එතුමාට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයත් සමඟ වැඩ කරන්න ලැබුණේ.රේඛාව චිත්‍රපටයේ. කතාව සහ දෙබස් ලිවීමෙන්. ඒ වගේම සංදේශය චිත්‍රපටයේ කතාව හා දෙබස් ලිවීමෙනුත්. ඒ අවස්ථාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා එතුමාගේ චිත්‍රපටයට සහය අධ්‍යක්ෂවරයෙක් සොයන අවස්ථාවේ තමයි මාව සන්දේශය චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තේ. ඊට සම්බන්ධ කරගත් සහය අධ්‍යක්ෂවරු තිදෙනාගෙන් එක් සහය අධ්‍යක්ෂවරයෙක් විදිහට.ඒ අවස්ථාව මට ලැබුණේ කේ. ඒ. ඩබ්. පෙරේරා මහත්මය නිසා. එතුමා තමයි මාව ඒ වෙලාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයට හඳුන්වා දුන්නෙ.

කෙසේ වෙතත් ඉන්පස්සේ එතුමාගෙ සිනමා ගමන ආරම්භ කරන අවස්ථාවේ මට ඔහු සමඟ කටයුතු කිරීම මඟ හැරී ගිය කාල පරිච්ඡේදයකුත් තිබුණා. ‘ පිරිමියෙක් නිසා’ කියන චිත්‍රපටයෙන් තමයි එතුමාගේ සිනමා ජීවිතය ආරම්භ වුණේ සම අධ්‍යක්ෂවරයකු ලෙස.

සෙරන්ඩිබ් චිත්‍රපට වෙනුවෙන් කළ ගැටවරයෝ චිත්‍රපටයේ දෙබස් හා කතාව එතුමා අතින් ලියැවුණේ. ඒ වගේම මම අධ්‍යක්ෂණය කරපු සාරවිට චිත්‍රපටයේත් කතාව හා දෙබස් ලියුවේ එතුමායි. ඒ අවස්ථා සෑම එකකදීම මට එතුමා සමඟ සමීපව ඇසුරු කරන්න ලැබුණා.සාරවිට චිත්‍රපටයෙන් පස්සෙ නම් මට එතුමා සමඟ වැඩ කරන්න ලැබුණෙ නැහැ.

එතුමා ඉතා සාර්ථක චිත්‍රපට ගණනාවක් කළ අධ්‍යක්ෂවරයෙක්. විශේෂයෙන් ඒ අවධියේ වාණිජමය වශයෙන් ඉතා සාර්ථක චිත්‍රපට කීපයක්ම එතුමාට කරන්න හැකි වුණා. විශේෂයෙන් සැනසුම කොතැනද කියන චිත්‍රපටය ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට යා හැකි සාර්ථක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙස එතුමා හඳුනාගත හැකි වුණා. ඊළඟට එතුමාගේ ‘ හිඟන කොල්ලා චිත්‍රපටයත් එබඳුම සාර්ථක චිත්‍රපටයක් ලෙස හඳුන්වා දිය හැකියි.

සිනමා මිතුදමෙන් බැහැරව මගෙ ජීවිතයේ මුණ ගැසුණු වටිනා මිනිසකු ලෙසයි එතුමාව මම දකින්නෙ. කොටින්ම කියතොත් එතුමා මට සැලකුවේ පියතුමකු ලෙසයි. සිනමාවට මට ප්‍රවේශ වෙන්න ලැබුණේ එතුමා නිසයි. ඉතාම සංවේදී කෙනෙක්. මගෙ කලා ජීවිතයේ මුල පටන් මා සමඟ සිටිය කෙනෙක්. මගෙ ජීවිතයේ මට හමුවූ මිනිසුන් අතර මගෙ ගුරුවරයා වශයෙන් එතුමාව මුල් තැනක තබන්න කැමැතියි.

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT