Home » ‘චායා’ අවසන් විනාඩි විස්සෙන් සරසවිය-ජනාධිපති සම්මාන දක්වා

‘චායා’ අවසන් විනාඩි විස්සෙන් සරසවිය-ජනාධිපති සම්මාන දක්වා

40 වැනි කොටස

by mavan
May 7, 2026 1:37 pm 0 comment

සදාකල් පෙම් බදින යසෝමා ගැන ආදරණිය මතක… ලබන සතියේ

ඇය ඔබට බාරයි. තිරගත වෙන්නේ 1998 පෙබරවාරි මාසෙදි. නමුත් ඊට කලින් තිරගතවුණු තවත් චිත්‍රපටයක් තිබෙනවා මගේ සිනමා ජීවිතේ මට නොමැකෙන සන්ධිස්ථානයක් වුණු. ඒ තමයි දයා විමලවීර අධ්‍යක්ෂණය කළ ‘චායා’ චිත්‍රපටය. මේ මම දයා විමලවීර ත් එක්ක කරපු එකම චිත්‍රපටය. ඉන්පසු මට ඔහුගේ කිසිම චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. නමුත් මම අදටත් විශ්වාස කරනවා චායා හරහා ලැබුණු ඒ අවස්ථාව විතරක් වුණත් මගේ මේ ගමනට ලැබුණු ආලෝකය මට හොඳටම ඇති කියලා. චායා චිත්‍රපටයේ මම කරපු ‘සෙල්ලි’ ගේ චරිතය වෙනුවෙන් ඒ වසරේ මට හොඳම සහාය නිළිය වශයෙන් සම්මාන ලැබෙනවා. සරසවිය සම්මාන උළෙලෙදි වගේම ජනාධිපති සම්මාන උළෙලෙදිත්.

දයා විමලවීර මට මුන ගැසෙන්නේ ත් මගේ අම්මගේ මාර්ගයෙන්. ඔහුගේ දයාබර බිරිය මාලා ආන්ටි අපේ අම්මගේ ළඟම මිතුරියක්. ඔවුන් දෙදෙනා වීදුරු ගෙවල් චිත්‍රපටය කරන කාලේ ඉදලම යාළුවෝ. මේ චිත්‍රපටයට මට කතා කරන්නේ චිත්‍රපටයේ තිර රචකයා වුණු ඇන්ටන් අල්විස් විසින්. සනත්- සබිතා තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වුණේ. තිර රචනාවට අනුව මගේ චරිතය මේ චිත්‍රපට යේ තිබුණේ විනාඩි විස්සයි. ඒකත් අන්තිම විනාඩි විස්ස. මේ වෙනකොට මම බැද්දේගම වැනි සම්භාව්‍ය ගණයේ චිත්‍රපටයක් කරලා ලංකාවේ ජනප්‍රිය නමගිය නිළියක් විදියට බැබලුණු කාලයක්.

මගේ චරිතය කෙටියි. චිත්‍රපටයේ දකින්න ලැබෙන්නේ අවසන් විනාඩි විස්සේ විතරයි. නමුත් මට එතනදි වැදගත් වුණේ ඒ චරිතය ඇතුළත මට කරන්න තිබෙන දේ මිසක් චිත්‍රපටයේ දර්ශන ගණන හෝ වෙලාව නොවෙයි. ‘සෙල්ලි’ කියන්නේ මගේ ජීවිතේ බැද්දේගම හින්නිහාමි වගේම බැඳුණු චරිතයක්. මගේ හදවතේ සෙල්ලි වෙනුවෙන් ලොකු ඉඩක් මේ මොහොත වනතුරුත් තිබෙනවා. සෙල්ලි කියන්නේ මගේ ජීවිතේ එක් ටර්නින්ග් පොයින්ට් එකක්. සෙල්ලි වනාන්තරයක් ඇතුළේ හැදෙන වැදි තරුණියක්. නගරයෙන් එන සනත් මේ වනාන්තරය ඇතුළේ අතරමංවෙලා තුවාල වෙලා වැටිලා ඉන්නවිට සෙල්ලි තමයි තමන්ගේ පැලට අරගෙන ගිහින් ඔහුට බේත් හේත් කරන්නේ. අන්තිමේ සෙල්ලිට ඔහුගෙන් දරුවෙකුත් ලැබෙනවා. ඔහු පියවි සිහියට ආවට පස්සේ නගරයට යන්න හදනවා..

මට තාමත් මතකයි ඒ දර්ශනය රූ ගත කරපු අවස්ථාව. දරුවත් ඉනේ ගසාගෙන සනත් ගේ කකුල් දෙක අල්ලගෙන යන්න එපා කියලා මට අඬන්න වෙනවා. මම ඒ රංගනයේ නියුතු වෙත්දි දයා අයියා කැමරාවට ඇහැ තියාගෙන ඉද්දි ඔහුගේ ඇස්වලිනුත් කඳුළු එනවලු මේ දර්ශන අවස්ථාව දැකලා. එදා දයා අයියත් කැමරාව පිටිපස්සේ ඉඳගෙන අඬලා තියෙනවා .

මේ චිත්‍රපටයේ මගේ දරුවා විදියට මම ඉණේ ගහගෙන ඉන්නේ දයා අයියගේ ලොකු දුවගේ පුතා. දවස් දෙක තුනක් යනකොට ඒ දරුවා මට පුරුදු වුණා. එයාවත් ඉණේ ගහගෙන මම අඬනකොට ඒ දරුවට මුත්‍රා පහවෙනවා. මම ඉතින් ඔහුගේ මුත්‍රා වලින් නෑවෙනවා. කොහොම හරි දර්ශනය රු ගත කරලා ඉවරවෙනකොට දරුවා තුන් හතර පාරක්ම මුත්‍රා කරලා ඉවරයි. දර්ශන ගතකිරීම් ඉවරවනතුරුම ඇඳුම් මාරුකර ගන්න විදියක් නෑ. සිවුරඟ සේනා වලින් පස්සේ මට සබීතා මුණ ගැසෙන්නෙත් මේ චිත්‍රපටයේදියි. නමුත් අපි දෙන්නට එක ෆ්‍රේම් එකේ ඉන්න තිබුණේ එක දර්ශනයකදි විතරයි. ඇන්ටන් අල්විස් මේ චිත්‍රපටයට හරිම හෘදයාංගම දෙබස් ටිකක් රචනා කරලා තිබුණා.

චිත්‍රපටයේ අන්තිම දර්ශනයත් මට අද වගේම මතකයි. ඒ සිදාදියේ ඇත්තන් (සනත්) කොළඹ යන්න උත්සාහ කරන අවස්ථාව. මම දරුවත් උකුලේ ගසාගෙන පිස්සියක් වගේ වැලපෙනවා. මම පොළොවේ හැපි හැපි අඬලා මෙහෙම කිව්වා.

“යන්න එපා ඇත්තො….. මාව දාලා යන්න එපා. එතකොට මට ඇත්තෙක් කෝ?. කෝ මගේ පැටියට අප්පුච්චෙක්? යන්ඩ එපා…. ගියොත් මම මෙතනම මියැදෙනා. සත්තයි ! සත්තයි!…. කියලා

චායා චිත්‍රපට කතාව ඒ කාලේ සරසවිය පුවත්පතේ හරි ලස්සනට පළවෙලා තිබුණා. සෙල්ලි ඒ කතාව කියන විදියට තමයි පළවෙලා තිබුණේ. මෙතනින් එහාට මේ කතාව එදා සරසවියට ලියපු විමල් තිලකරත්නගේ භාෂාවෙන්ම අපි අහමු.

“සිදාදියේ ඇත්තෝ ඒව නාහ යන්න හදනකොට අප්පුච්චා මන්තරයක් ජප කරලා ගමන හරස් කළා. පස්සේ එයැයි කැලේට වෙලා හිටියා. මෙහෙම දවස් ගාණක් ගියහම අර පින්තුර කොලේ හිටිය ඇත්තී පැල් කොටේට ආවා.

උඹ කවුද?….. කාගෙද මේ දරුවා…… කියලා ඒ ඇත්තී ඇහුවා.

‘මගේ නම සෙල්ලි එකී. මේ මගේ දරු පැටියා. සිදාදියේ ඇත්තෝ මාව සහේට අරන් මෙහේ ඉන්නේ …. කියලා මම කිව්වා. කොළඹ ඇත්ති හොඳටෝම ඇඬුවා. අඬල කරේ තිබුණු මාලෙ ගලවල දරු පැටියට දැම්මා.

යන්න එපා……… සිදාදියේ ඇත්තෝ මේ ඇත්තිට හරි මනාපයි. අපි මෙහෙ ඉමු කියලා මම අඬ අඬ කිව්වා.

‘උඹ හරි අහිංසකයි සෙල්ලී දැන් එයා අයිති මට නොවේ උඹටයි. මමත් ගෑනියෙක් උඹත් ගෑනියෙක් සෙල්ලි මොනවා කරන්නද? මේ අපි දෙන්නා පතාගෙන ආව හැටිවෙන්ඩ ඇති. කොළඹ ඇත්ති දිගටම කියාගෙන ගිහින් යන්න ගියා.

සිදාදියේ ඇත්තෝ මේක ආරංචිවෙලා මේ ඇත්තිව හොයාගෙන ගියා. යනකොට සිදාදියේ ඇත්තොයි තවත් කලිසම් ඇත්තෙකුයි හොඳටම තඩි බා ගන්නවා. පස්සේ කලිසම් ඇත්තෝ තුවක්කුව මානලා මගේ ඇත්තට වෙඩි තියන්න හදනකොටම මම දරු පැටියා බිම තියලා ‘අනේ එපා කියලා මගේ ඇත්තෝ ළඟට පැන්නා.

මට මතක මගේ පපුව පලාගෙන වෙඩිල්ලක් පත්තු වුණා විතරයි.මම බඩගාගෙන මගේ දරු පැටියා ළඟට ගිහින් දරු පැටියා ලෙවකාලා කොළඹ ඇත්තිගේ අතට දුන්නා. මගෙන් උපන්නත්, කොළඹ ඇත්තිගෙන් උපන්නත් මේ දරුවගේ ඇඟේ තියෙන්නේ සිදාදියේ ඇත්තන් ගේ ලේ. කොළඹ ඇත්තිත් ගැහැනියක් නිසා මගේ දරු පැටියා ඒ ඇත්තිගේ අතට දුන්නා. මට මතක එච්චරයි.”

ඇත්තටම කිවුවොත් මේ දර්ශන පෙළ රූ ගන්වත්දි වටේ හිටපු අයත් අතිශයින්ම සංවේදි වෙලා තියෙනවා. ඒ කාලය වනවිට මම විවාහ වෙලා හිටියේ නෑ. සැබෑ දරු සෙනෙහස මම ඇත්තටම අත්විඳලා තිබුණේ නැ. නමුත් ඒ අවස්ථාව යථාර්ථවාදීව නිරූපණය කරන්න මට පුළුවන් වුණා. ඒකට විශේෂ සහයෝගයක් සනත් ගුණතිලකගෙන් මට ලැබුණා. ඒ වගේම තමයි අධ්‍යක්ෂවරයා විදියට දයා විමලවීර මේ වගේ අවස්ථාවල දෙන නිදහස සුවිශේෂීයි. ඔහු චරිතයේ ස්වභාවය කියලා දීලා නළු නිළියන්ට තමන්ගේ රංගනය නිදහසේ ඉදිරිපත් කරන්නට අවස්ථාව දෙනවා.

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT