Home » රකිමු කලාකරුවෝ කැපකාර මෙහෙවරට – ඇපකාර සෙනෙහසක් ශශ්‍රී ලංකා නර්තන සහ බෙර වාදන සංවිධානයේ උප සභාපතිනී නර්තනාචාර්‍යාණී ගයනි කරුණාරත්න මීමනගේ

රකිමු කලාකරුවෝ කැපකාර මෙහෙවරට – ඇපකාර සෙනෙහසක් ශශ්‍රී ලංකා නර්තන සහ බෙර වාදන සංවිධානයේ උප සභාපතිනී නර්තනාචාර්‍යාණී ගයනි කරුණාරත්න මීමනගේ

by mavan
May 14, 2026 12:32 pm 0 comment

කලාව යනු මිනිසා පෝෂණය කරන අංගයකි. කලාව දැවැන්ත වෘක්ෂයක් බඳුය. ශශ්‍රී ලංකාවේ කලාවන් අතර නර්තනයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. අපේ නර්තන කලාව පැවත එනු ලබන්නේ සියවස් ගණනාවකට පෙර සිටය. නර්තනය පිළිබඳ කතා කිරීමේදී එයට බද්ධ වන බෙර වාදනයත් සිංහල සංස්කෘතියේ අනන්‍යතාවය පෙන්නුම් කරන්නකි.

නර්තනය සහ බෙර වාදනය කෙරෙහි නිපුණත්වය දැක්වූ ප්‍රවීණ ශිල්පීන් රාශියක් ලංකාව පුරා විසිරී ජීවත් වෙති. එවන් ප්‍රවීණ ශිල්පීන් බොහෝ දෙනෙක් අද ජීවිතයේ සැදෑ සමය ගත කරමින් සිටිති. පෙර සේ බෙර පදයට තාලයට තැබූ පා අද වාරු නැත. බෙරයට ගැසූ අත් අද ජවසම්පන්න නැත. එහෙත් ඔවුන් තෑනූ ගෝලබාල පිරිස නර්තන කලාව සහ බෙර වාදන කාලාව මතු පරපුරට දායද කරන්නට වෙර දරති. මේ සියලු දෙනාම ජාතියේ පිනට පහළ වූ කලාකරුවන්ය. ඔවුන්ව රැක ගැනිම, ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය රැක ගැනීමට උපකාර කිරීම කාගේත් වගකීමකි. යුතුකමකි. එවන් වගකීමක් තම කරමතට ගත් පිරිසක් ගැන අප විශේෂයෙන් කතා කළ යුතුයි. එමෙන්ම වර්තමානයේ සිටින ශිල්පීන්ගේද ජීවිත උසස් තත්වයට පත්කිරීමද තවත් වගකීමකි. මේ සියල්ලටම කදිම පිළිතුරක් ” රකිමු කලාකරුවෝ” සංවිධානය ඔබ වෙත ලබා දීමට සූදානම්. “රකිමු කලාකරුවෝ යනු කුමන ආකාරයක සංවිධානයක්ද, එහි අරමුණ කුමක්ද ? මේ පැනයට පිළිතුරු දීමට සහ ඒ පිළිබඳ තවත් තොරතුරු ඔබ වෙත ලබා දීමට රකිමු කලාකරුවෝ සංවිධානයේ උප සභාපතිනිය ගයනි කරුණාරත්න මීමනගේ සරසවිය සමඟ මෙසේ එක්වූවාය.

මමත් නර්තන ශිල්පිනියක්. දැනට වෘත්තීය නර්තන ගුරුවරියක් විදිහට සේවය කරනවා. ඒ නිසාම අපේ අතීත නර්තන ශිල්පීන්, බෙර වාදන ශිල්පීන් සහ වර්තමානයේ එහි නියැළී සිටින ශිල්පීන් වෙනුවෙන් කරනු ලබන අගනා කටයුත්තක් වෙනුවෙන් සම්බන්ධ වීමට ලැබීම සතුටක්.

රකිමු කලාකරුවෝ සංවිධානය පිහිටුවා ගත්තේ 2020 දී. ඒ කාලේ පැවති කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් කලාකරුවන් වෙනුවෙන් රංග වීරකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහ මඟ පෙන්වීම අනුව නිරංජ ඉනෝජ් ගුණසේකර සහ සාරංග අභයසිංහ යන කලාකරුවන් මුල්වී මේ සංවිධානය බිහිකළා. ශ්‍රි ලංකා නර්තන සහ බෙර වාදන ශිල්පීන්ගේ සංවිධානය පිහිටු වීමට ප්‍රධාන අරමුණක් තිබුණා. වර්තමානයේ නර්තන සහ බෙර වාදන ක්ෂේත්‍රයේ සේවය කරන ශිල්පීන් මුහුණ දෙන සමාජ ආර්ථික සහ වෘත්තීය අභියෝග හඳුනා ගෙන ඒවාට විසඳුම් සෙවීමේ අරමුණින් මෙය ආරම්භ කළා. ඔවුන්ගේ අයිතිවාසිකම් ගෞරවය සහ වෘත්තීය සුබ සාධනය ඇතිකිරීම මෙම සංවිධානය බිහි කිරීමට තවත් හේතුවක් වුණා. ගෙවීගිය සයවසක අතීතය දෙස සලකා බැලූවිට මෙම සංවිධානය ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව කලාකරුවන් මේ සංවිධානය සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර ඔවුන්ගේ හඬ සමාජයට ගෙන යාමට දායක වී තිබෙනවා. විශේෂයෙන්ම මේ ගැනත් සඳහන් කළ යුතුයි. අපේ රට පුරා විසිරී සිටින වයෝවෘද්ධ කලාකරුවන් ගැනත් මෙම සංවිධානය සොයා බලනවා. ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරනවා.

ඒ වගේම දැනට ක්ෂේත්‍රයේ සිටින ශිල්පීන්ට පුහුණුව ලබා දීම සහ ඔවුන් අන්තර් ජාතික මට්ටමේ අවස්ථාවන් ලබා දීමට කටයුතු කිරීම මෙම සංවිධානයෙන් සිදුවෙනවා. පසුගිය කාලයේ තවත් සුවිශේෂී කර්තව්‍යයන් රාශියක් මෙම සංවිධානය මඟින් සිදු කෙරුණා. ඒ අතර රක්ෂණාවරණ, කලාකරුවන් වෙත රංගවස්ත්‍රාභරණ නොමිලේ ලබාදීම, ගං වතුර තත්වයකදී ආපදාවන්ට පත්වූවන්ට වියළි සලාක ලබාදීම ආදී වටිනා කටයුතු ශශ්‍රී ලංකා නර්තන සහ බෙර වාදකයන්ගේ සංගමය මඟින් සිදු කෙරුණා.

මෙම සංවිධානය මඟින් තවත් කාලෝචිත සමාජ මෙහෙවරක් ආරම්භ කළා. ඒ තමයි 2026 ලෝක නර්තන දිනයට සමගාමීව “කැපකාර මෙහෙවරට – ඇපකාර සෙනෙහසක්” නමින් දැවැන්ත ව්‍යාපෘතියක් ශශ්‍රී ලංකා වෘත්තීය නර්තන සහ බෙර වාදන ශිල්පීන්ගේ සංවිධානය විසින් ආරම්භ කළා. එය ආරම්භ කළේ වයෝවෘද්ධ කලාකරුවන්ගේ සුබ සිද්ධිය උදෙසායි. එය අපගේ ශශ්‍රී ලාංකික සංස්කෘතියට අමිල දායකත්වයක් ලබාදුන් කලාකාරුවන්ගේ ජීවිත යථා තත්වයට පත් කිරීමට ගත් අතිමහත් උත්සාහයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මෙම සංවිධානය පිළිබඳ මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුම්වත් කිරීමක් අපි සිදුකරනවා.

මෙම සංවිධානය බලාපොරොත්තු වෙන ඉලක්කයන් ජය ගැනීම සඳහා තිරය පිටුපසින් සිටින විශාල පිරිසක් ඉන්නවා. ඒ අයව ගෞරවයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. අපගේ සභාපතිතුමා සහ භාණඩාගාරික තුමාගේ මැදිහත් වීමෙන්, විදෙස් ගතව සිටින නර්තන ශිල්පීන්ගෙන් සක්‍රීය දායකත්වය ලබා ගත්තා. ඔවුන් දුරින් සිටියත් මව්බිම සහ අපේ කලාකරුවන් අමතක කරලා නැහැ.

ඒ වගේම ශශ්‍රී ලංකා වෘත්තීය නර්තන සහ බෙර වාදන ශිල්පීන්ගේ සංවිධානය දේශීය කලා උරුමය රැකගෙන, ශිල්පීන්ගේ ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින්, ඊට නායකත්වය දෙමින් ශශ්‍රී ලංකාව තුළ බිහිවූ එකම සංවිධානය ලෙස නම් කරන්න පුළුවන්. ඒ ශක්තිමත් සංවිධානය සමඟ අත්වැල් බැඳ ගැනීමට එක් වන්නැයි මම ඔබටද ආරාධනා කර සිටිනවා.

මෙම කැපකාර ක්‍රියාදාමය අනාගත පරම්පරාවටද ආදර්ශයක්. ඒ වගේම කලාකරුවාට ගෞරවනීය වටිනාකමක් ලබාදීමට සහ එය තවත් ශක්තිමත් කරන මෙම සංවිධානයට දායක වන සියලුම දෙනාට ශශ්‍රී ලංකා නර්තන සහ බෙර වාදන සංවිධානයට දායක වෙන සියලුම දෙනාට ගෞරවය පුද කරනවා.

 

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT