Home » බොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ සිනමාව

බොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ සිනමාව

by mavan
May 7, 2026 12:55 pm 0 comment

දශක ගණනාවක් පුරාවට ඉන්දියානු සිනමාව හෙවත් බොලිවුඩය ලොව පුරා ප්‍රචලිතව පැවතියේ පවුල් සබඳතා, වීරෝදාර ක්‍රියාදාම, ප්‍රේමය සහ වර්ණවත් ගීත ජවනිකා මත පදනම් වූ සංස්කෘතියක් නියෝජනය කරන සිනමා කර්මාන්තයක් ලෙසිනි. බැලූ බැල්මට එය හුදු විනෝදාස්වාදයට පමණක් සීමා වූ රාමුවක් සේ පෙනුණද, කාලයත් සමඟ මෙම සාම්ප්‍රදායික ආකෘතිය අතික්‍රමණය කරමින් නවීන විද්‍යාත්මක සංකල්ප, ඉන්දියානු සංස්කෘතික අනන්‍යතාවය සමඟ මනාව බද්ධ කිරීමට විද්‍යා ප්‍රබන්ධ සිනමාව සමත් වී ඇත. බටහිර ලෝකයේ විද්‍යා ප්‍රබන්ධ සිනමාව බොහෝ විට යන්ත්‍ර සූත්‍ර, තාක්ෂණික ගැටුම් සහ අභ්‍යවකාශ තරණය වැනි යාන්ත්‍රික කරුණු කෙරෙහි පමණක් සිය අවධානය යොමු කරද්දී, බොලිවුඩය එම න්‍යායන්ම මානුෂීය බැඳීම් සහ අධ්‍යාත්මික දර්ශනයන් සමඟ මුසු කරමින් සුවිශේෂී සිනමාත්මක කතිකාවක් නිර්මාණය කළේය.

බොලිවුඩය තුළ විද්‍යා ප්‍රබන්ධයක සැබෑ විභවය ප්‍රථම වරට මැනවින් ස්පර්ශ කළ නිර්මාණයක් ලෙස ශේකර් කපූර් විසින් අධ්‍යක්ෂණය කරන ලද Mr. India (1987) හැඳීන්විය හැක. අනිල්කපූර් සහ ශශ්‍රීදේවිගේ විශිෂ්ට රංගනයෙන්ද, අම්රීෂ් පුරිගේ ‘මොගෑම්බෝ’ නම් අතිශය ජනප්‍රිය දුෂ්ට චරිතයෙන්ද හැඩගැන්වුණු මෙය, ඉන්දියානු සිනමා ඉතිහාසයේ නොමැකෙන සලකුණකි. අදෘශ්‍යමාන වීම සහ ආලෝක වර්තනය (Light refraction) යන විද්‍යාත්මක තේමාවන් මූලික කරගනිමින් නිර්මාණය වූ මෙය, හුදු ෆැන්ටසියකින් ඔබ්බට ගොස් ඉන්දියාවේ එකල පැවති දූෂිත දේශපාලන ක්‍රමය සහ අනාථ දරුවන් මුහුණ දෙන සමාජ ඛේදවාචකය දැඩි ලෙස විවේචනය කළේය. සමාජ සාධාරණත්වය උදෙසා කෙරෙන සටනක් බවට විද්‍යාව පත්වීම ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එකල හැටියට රුපියල් කෝටි 10 ක දැවැන්ත ආදායමක් උපයා ගනිමින් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කිරීමට මෙම චිත්‍රපටය සමත් විය.

ඉන් පසුව බොලිවුඩය අභ්‍යවකාශය දෙස බැලූ හැඟීම්බරම අවස්ථාව සනිටුහන් කළේ රාකේෂ් රෝෂන් ගේ අධ්‍යක්ෂණයෙන් සහ රිතික් රෝෂන්, ප්‍රීති සින්ටාගේ ප්‍රධාන රංගනයෙන් හැඩගැන්වුණු Koi… Mil Gaya (2003) සිනමාපටයෙනි. නාද තරංග සහ රේඩියෝ තාරකා විද්‍යාව (Radio astronomy) ඔස්සේ ඈත අභ්‍යවකාශය සමඟ සන්නිවේදනය කිරීම මෙහි කේන්ද්‍රීය තාක්ෂණික තේමාව විය. පෘථිවියෙන් නිකුත් කරන ‘ඕම්’ නාදයට පිටසක්වල ජීවීන් ප්‍රතිචාර දැක්වීම හරහා විද්‍යාව යනු හුදු සීතල ලෝහයක් නොව, එයට මානව දයාව සමඟ මුසු විය හැකිය යන පණිවිඩය මෙමඟින් ලබා දුන්නේය. ප්‍රේක්ෂකාගාරය කඳුළින් සහ සිනහවෙන් මුසපත් කළ මෙම නිර්මාණය

රුපියල් කෝටි 80 ක ආදායමක් වාර්තා කරමින් විද්‍යා ප්‍රබන්ධයකට ඉන්දියාව තුළ තිබෙන දැවැන්ත වාණිජ ඉඩකඩ මනාව තහවුරු කළේය.

බොලිවුඩ් සිනමාව දෘශ්‍ය ප්‍රයෝග තාක්ෂණය අතින් තැබූ යෝධ පිම්මක් ලෙස අනුභව් සින්හා විසින් අධ්‍යක්ෂණය කළ Ra One (2011) හැඳීන්වීම නිවැරදිය. ශාරුක් ඛාන්, කරීනා කපූර් සහ අර්ජුන් රාම්පාල් මෙහි ප්‍රධාන භූමිකාවන්ට පණ පෙවූහ. කෘත්‍රිම බුද්ධිය (AI) සහ පරිගණක කේතයන් ඝන ස්වභාවයට පත් වී සැබෑ ලෝකයට පැමිණීම (Solid Light) වැනි අතිශය දියුණු සංකල්ප මෙහි සාකච්ඡාවට ලක් විය. රුපියල් කෝටි 130 ක අතිවිශාල අයවැයකින්, දැවැන්ත අවදානමක්ද සහිතව නිපදවූ මෙය, කෘත්‍රිම බුද්ධිය මිනිස් පාලනයෙන් මිදී යාමේ ඛේදවාචකය අපූරුවට සිතුවම් කළේය. තිර රචනයේ යම් යම් දුර්වලතා මත විචාරකයන්ගෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබුණද, ලොව පුරා ප්‍රදර්ශනයෙන් රුපියල් කෝටි 200 කට අධික ආදායමක් ලබමින් වාණිජමය වශයෙන් සාර්ථක වීමට එය සමත් විය.

තාක්ෂණික පර්යේෂණවලින් ඔබ්බට ගොස් විද්‍යා ප්‍රබන්ධයක් හරහා දාර්ශනික කියවීමක් කළ විශිෂ්ටතම අවස්ථාව වන්නේ රාජ්කුමාර් හිරානිගේ PK (2014) සිනමා පටයයි. අමීර් ඛාන් සහ අනුෂ්කා ෂර්මා මෙහි ප්‍රබල චරිත නිරූපණයක යෙදෙති. අන්තර්-තාරකා තරණය (Interstellar travel) හරහා පෘථිවියට ගොඩබසින පිටසක්වළ ජීවියෙකුගේ අපක්ෂපාතී ඇසින්, මිනිස් හැසිරීම් සහ ආගමික මිථ්‍යාවන් මානව විද්‍යාත්මකව නිරීක්ෂණය කිරීම (Anthropological observation)  මෙහි ප්‍රධාන තේමාව විය. සමාජයේ මුල් බැසගත් අන්ධ විශ්වාසයන් අතිශය සියුම්ව ප්‍රශ්න කළ මෙම නිර්භීත ප්‍රකාශනය, ඉන්දියානු සිනමා ඉතිහාසයේ එතෙක් පැවති සියලු බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් රුපියල් කෝටි 800 කට අධික අතිවිශාල ආදායමක් උපයා ගත්තේය.

මීට හාත්පසින්ම වෙනස් මාවතක් ගත් ආරති කඩව් නම් ස්වාධීන සිනමාකාරියගේ Cargo (2019) යනු බොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ ඉතිහාසයේ සම්ප්‍රදායික ආකෘතියෙන් සම්පූර්ණයෙන්ම පිටපැන කළ අපූරු පර්යේෂණයකි. වික්‍රන්ත්

මාසේ සහ ශ්වේතා ත්‍රිපාඨිගේ සියුම් රංගනයෙන් හැඩ වූ මෙය අභ්‍යවකාශය සහ ආධ්‍යාත්මිකත්වය යා කළ අපූරු පාලමකි. අතිශය අවම අයවැයකින් නිපදවූ මෙම චිත්‍රපටය දිවෙන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කේන්ද්‍ර කරගනිමිනි. මියගිය පුද්ගලයන්ගේ මතකයන් මකා දැමීම හෙවත් ස්නායුක හැසිරවීම්  (Neural manipulation) සහ ඔවුන්ව අණුක මට්ටමින් ප්‍රවාහනය කිරීම (Teleportation) වැනි ගැඹුරු විද්‍යාත්මක සංකල්ප මෙහි අන්තර්ගත විය. වාණිජ ආදායම් වාර්තා නොතැබුවද, ජීවිතයේ හිස්බව සහ මරණය පිළිබඳව අතිශය ගැඹුරු දාර්ශනික විග්‍රහයක් ඉදිරිපත් කළ මෙය, ජාත්‍යන්තර සම්මාන උළෙල වලදී ඉහළම විචාරක ඇගයීමට ලක් විය.

අවසාන වශයෙන් විමසා බලන කල, බොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ සිනමාව යනු හුදු යන්ත්‍ර සූත්‍ර සහ ගණිතමය සමීකරණ වල එකතුවක් පමණක් නොවේ. Mr. India  ෂබාස් හි සමාජවාදී අරගලයේ සිට, PK සහ Cargo වැනි නිර්මාණ හරහා ජීවයේ පැවැත්ම පිළිබඳ කෙරෙන දාර්ශනික විග්‍රහයන් දක්වා විහිදුණු මෙම සිනමා ප්‍රභේදය, මිනිස් මනසේ සහ මානව හැඟීම්වල ගැඹුරුම ස්තරයන් ස්පර්ශ කළ හැකි ප්‍රබල කලා මාධ්‍යයක් බව මනාව සනාථ කර ඇත. අපේක්ෂාවන් සහ තාක්ෂණය පෙරටු කරගත් මෙම ගමනේදී, අනාගතයේ දිනෙක මීටත් වඩා ප්‍රබල, ලෝක මට්ටමේ විද්‍යා ප්‍රබන්ධ බොලිවුඩ් සිනමාවෙන් බිහිවනු ඇතැයි අපට නිසැකවම විශ්වාස කළ හැකිය.

 

සුධීර විශ්වනාථ කලංසූරිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT