Home » මාව තවමත් ප්‍රේක්ෂකයන්ට මතකයි ප්‍රකට රංගන ශිල්පී ශශ්‍රීනාත් මද්දුමගේ

මාව තවමත් ප්‍රේක්ෂකයන්ට මතකයි ප්‍රකට රංගන ශිල්පී ශශ්‍රීනාත් මද්දුමගේ

by mavan
May 21, 2026 11:09 am 0 comment

රංගන ශිල්පියෙකු හෝ රංගන ශිල්පිනියක කලාවෙන් තරමක් ඈත් වුවද ඔහුව ප්‍රේක්ෂකයාට මතකයේ රැඳී තිබීම සතුටට කරුණකි. ඒ ඔහුගේ හෝ ඇයගේ දක්ෂතාවයන් ප්‍රේක්ෂකයාගේ හදවතේ තැන්පත් වී තිබීම නිසාය. එසේ කිසිදාක නොමැකී තිබෙන චරිතයක් පිළිබඳ තොරතුරු අද සරසවියෙන් ඔබ වෙත ගෙන ඒමට හැකිවිය. ඔහු අංශ කිහිපයකින් දක්ෂතා පෙන්නුම් කරන ප්‍රකට රංගන ශිල්පියෙකු වූ ශශ්‍රීනාත් මද්දුමගේය. ශශ්‍රීනාත් කලක් අපේ රටේ සිටි ජනප්‍රිය රංගන ශිල්පියෙකු විය. ඔහු රඟපෑ ඇතැම් චරිත ප්‍රේක්ෂකයන්ට අදටත් මතකය. ඔහු රංගනයට පමණක් නොව නිවේදකයෙකු මෙන්ම ලේඛකයෙකු ද වන්නේය. 1995 වසරේදී අයෝමා චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමින් සිනමා රංගනයට පිවිසි ශශ්‍රීනාත් මද්දුමගේ සොඳුරු දඩබිම, බහුබූතයෝ, ගින්දරී 2, රන්කෙවිට, ගිනි අවි සහ ගිනි කෙළි ඇතුළු චිත්‍රපටවල චරිත නිරූපණය කළේය.

ශශ්‍රීනාත් මද්දුමගේ නම් මේ අපූරු රංගන ශිල්පියා පසු කලෙක විදෙස් රටක පදිංචිය සඳහා ගියත් ඔහු තම කලා ජීවිතයට සමුදුන්නේ නැත. ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියත් ඉඩලද සෑම විටම තම මව්රටට පියඹා එන්නේ කලාව තම ජීවිතයේ කොටසක් යැයි දැනෙන නිසාය. ඔහු මෙවර ලංකාවට පැමිණ ඇත්තේ කරුණු තුනක් මුල් කරගෙනය. ඒ එකිනෙක ගැන රසබර තොරතුරු ඔබ හමුවේ තැබීමට පසුගිය දිනෙක ඔහු සරසවියට ගොඩවූයේ සරසවිය පිළිබඳ සුපුරුදු ලෙන්ගතු හදවතිනි.

මම මෙවර ලංකාවට ආවේ නිමිති තුනක් මුල් කරගෙනයි. ලෝකයේ කොහේ සිටියත් මගේ රට තරම් වටිනා තැනක් තවත් නැහැ. ඒ වගේම තමයි කලාව. ඒක මගේ ජීවිතය හා සමානයි. ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියත්, මම මගේ කලා ජීවිතයට සමු දුන්නේ නැහැ. මම ඕස්ට්‍රේලියාවට ඇවිත් දැනට වසර 22 ක් පමණ වෙනවා. ඒ කාලය තුළ මම ස්ථිර රැකියාවක නිරත වෙන අතරේ කලා කටයුතුත් කළා.

මම මීට කලින් පොතක් ලිව්වා. මම ශශ්‍රීනාත් – දුර ගමනක කෙටි මතක නමින්. ඒක ලිව්වේ වසර තුනකට කලින්. පොතක්

ලියන්න එක මට හීනයක් වෙලා තිබුණේ. පළමු පොත එළිදැක්වීමෙන් පසු මම දිගටම ලියන්න ප්‍රියතාවයක් දැක්වූවා. මෙවර මම ලංකාවට ආවේ මා අතින් ලියවුණු පොතක් එළිදැක්වීමට, මට උපහාර දැක්වීමක් වෙනුවෙන් සහ අපි කරන සමාජ සත්කාරයකට දායක වීම සඳහායි. මුලින්ම මගේ පොත ගැන කියන්නම්. එය මනමන්දාරම . එම පොත එළිදැක්වූවාට පසුව ඒ කාර්ය නිම කරල මුලින්ම ආවේ සරසවියට. හරිම සතුටකින් තමයි සරසවියට ආවේ.

මනමන්දාරම සරසවි ප්‍රකාශනයක්. ඒ වෙනුවෙන් එහි අධිපති ප්‍රේමසිරි මහතාට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ශශ්‍රීපාලි මහතාටත් ස්තූතියි.

අපේ රටේ බොහෝ අය පිටරට යන්න ආසයි. සැපවත් ජීවිතයක් සොයා ගෙන ඒ අය රට අතහැර යනවා. ඒත් එම රටවලට ගිය අය ඇත්ත තත්වය අඟවන්නේ නැහැ. ඒහේ ගිය අයට ගිය ගමන්ම රැකියා, නිවාස, වාහන ලැබෙන්නේ නැහැ. කාලයක් යනතුරු ජීවිතය ගෙවන්නේ දුෂ්කරතා මධ්‍යයේ. ඒත් මෙහේ ඉන්න උදවිය ඒක පිළිගන්න කැමති නැහැ. අපි ඕස්ට්‍රේලියාවට ගිහින් අවුරුදු 23 කට ආසන්නයි. අපිත් මුලදී ගැටලු වලට මුහුණ දුන්නා. අපි දැන් ඉන්න තත්වයට එන්න බොහෝ මහන්සි වුණා. මනමන්දාරම පොතට මම පාදක කරගත්තේ ඔවැනි සිදුවීම්.

එම නවකතාවෙන් කියැවෙන්නේ මේ රටෙන් විදෙස් ගතවූ තරුණ යුවළක් එරටේදී මුහුණ දෙන ඇත්ත තත්වය ගැන. මම අවුරුදු විසි දෙකක සිට සේවය කරන්නේ මෙල්බන් හි පීටර් මැක්ලම් පිළිකා රෝහලේ. එහිදී ලද අත්දැකීම් ද පොතට එක් කළා. ඒ වගේම අතීතයේ අපේ රටේ තිබුණ අරගලකාරී, භීෂණකාරී වාතාවරණයන් මම පොතට ඇතුළත් කළා. විශේෂයෙන් මේ ගැනත් කිවයුතුයි. මේ පොතට දේශපාලනය ඇතුළත් කර නැහැ. අපි හැත්තෑව දශකයේ අර්බුදකාරී තත්වයන්ට, ඉන්පසු යුද්ධයට, භීෂණයට, කොරෝනා වසංගතයට මේ සෑම සිදුවීමකටම අපි මුහුණ දුන්නා. මනමන්දාරම හැමෝටම කියවන්න පුළුවන් විදිහේ පොතක්. ඒක කියවන එක හොඳයි. අපේ රටෙන් පිටරට යන අයට ඒක පොඩි අත්පොතක් වේවි.

මනමන්දාරම පොත ලියන්න මගේ බිරිඳ බෙහෙවින් උදව් කළා. මගේ දුව මිනුලි චමත්කා. ඇයගේ සහයත් ඒ සඳහා ලැබුණා. ඒ වගේම නෙවිල් අබේගුණවර්ධන සංස්කරණ කටයුතු වලින් සහය දුන්නා. පිටකවරය නිර්මාණය කර දුන්නේ අතුල කල්දෙමුල්ල. සරසවි ප්‍රකාශකයෝ හි උදයංගත් බෙහෙවින් උදව් කළා. මගේ මිත්‍රයා අජිත් මෙන්ඩිස්වත් ආදරෙන් මතක් කරනවා. ඔහුගෙනුත් මට සහයෝගය ලැබුණා.

ලංකාවට එන්න දෙවෙනි හේතුව වුණේ අපිට උපහාරයක් පුදන්න පිරිසක් සූදානම් වෙලා හිටපු නිසා. මම කාලයකට ඉහතදී මත්පැන්, මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ඇපකැප වී වැඩ කළා. ඒ වෙනුවෙන් එදා මාත් එක්ක සිටි යාළුවෝ මටද ඇතුළුව මාත් එක්ක සිටි අනෙක් අයට උපහාර උළෙලක් සූදානම් කර තිබුණා. ඒ කාලේ මා සමඟ කටයුතු කළ මහාචාර්‍ය දයානාත් සමරසිංහ, අධ්‍යෂිකා ශ්‍රියානි අමරසිංහ, දුමින්ද ගමගේ වැනි අය මාත් සමඟ උපහාර ලැබුවා. ආයෙමත් මත්පැන් , මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් වැඩ කරන්න කැමැත්තෙන් සහ බලාපොරොත්තුවෙන් ඉන්නවා. කලාකරුවෙකු ලෙස එය මගේ යුතුකමක්.

මම කලාවට ආදරෙයි වගේම මගේ මව්රටටත් ආදරෙයි. මගේ රට මම කවදාවත් අමතක කරන්නේ නැහැ. පසුගිය වසරේ දිට්ඨා සුළි කුණාටුවෙන් ලංකාවට සහ ජන ජීවිත වලට විශාල හානියක් සිදුවුණා. ඒ වෙලාවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි ඒ සඳහා සහන දෙන්න තීරණය කළා. එහේ පිහිටුවා තිබෙන ඔස්කා සංවිධානයේ සාමාජිකයන් ඒකරාශි වුණා අපේ රටට සහන සලසන්න. එහි ප්‍රධානියා ශ්‍රියාණි. අපි එහේ ජ්ධධඤ ජ්චඪප එකක් සංවිධානය කළා. ඒ ඔස්සේ අපට ලොකු මුදලක් එකතු කරගන්න හැකිවුණා. අපි පාසල් උපකරණ පොත්පත් එකතු කළා. එම කටයුතු සංවිධානය ඔස්කා සංවිධානය මඟින්. එහි ලේකම් මහේන්ද්‍ර අධිකාරි සහ රොනී ප්‍රනාන්දු ඒ සඳහා අගනා සහයෝගයක් ලබා දුන්නා. අපි ඒ වැඩසටහන කළේ යුද හමුදා සේවා වනිතා ඒකකයත් එක්ක එකතු කරගෙන. අපි මෙහේ පාසල් දෙකක් තෝරාගෙන පරිගණක මධ්‍යස්ථාන දෙකක් ලබා දුන්නා. ඒ සඳහා තෝරා ගත්තේ මාතලේ මොරගහඔය කනිෂ්ඨ විද්‍යාලය සහ මාතලේ කවුඩු පැලැල්ල සිංහල විද්‍යාලය. අපි ඒ මධ්‍යස්ථාන දෙක මැයි පස්වෙනිදා විවෘත කළා. ඒ සඳහා යුද හමුදා විශේෂ කාර්‍ය බලකායත් සහය දුන්නා. අපි ඒ හැමදේම කළේ කමිටුවක් පත්කරගෙන. එහි සභාපති ශ්‍රියාණි ජයවික්‍රම, උප සභාපති අමිල ජයසූරිය, භාණ්ඩාගාරික වරුණ දීපාල් ධර්මරත්න, රසංක වීරසිංහ සහ පුෂ්පික ගමගේ යන හිතවතුන් මේ කටයුත්ත සාර්ථකව ඉටුකළා. කමිටු සාමාජිකයන් ලෙස සඳමාල් වර්ණකුලසූරිය, ප්‍රවීන් පීරිස්, රංග සහ ශානක සේනාරත්න කටයුතු කළා. කලාකරුවෙකු විදිහට මම ඉතා ඕනෑකමින් මේ කටයුත්තට සම්බන්ධ වුණේ.

මේ කුමක් කළත් රංගන ජීවිතයෙන් ඈත් වෙන්න වුණ එක ගැන දුකයි. වේදිකාවෙන් ලැබුණ ජවය නැතිවුණා වගේ හැඟීමක් එනවා හිතට. ඒත් අවුරුද්දකට සැරයක් වගේ කුමන හෝ නිර්මාණයකට දායක වෙන්න ලංකාවට එනවා. එක් වතාවක් ගින්දරී’ 3 වෙනුවෙන් ලංකාවට ආවා. ඒ වගේම උදයකාන්ත අධ්‍යක්ෂණය කළ රන්කෙවිට 2 චිත්‍රපටයේ රඟපාන්න හිතාගෙන අපි ඉන්නවා. මම ලංකාවෙන් දුරස් වී සිටියත් තාම මිනිස්සු මාව අඳුරනවා. මම දායක වූ නිර්මාණ ඔවුන්ට මතකයි. රම්බො, සත්පුර වැසියෝ, නෑදෑයෝ, ගින්දරි වගේ නිර්මාණ මිනිස්සුන්ට තාම මතකයි. ඒ වගේම වහළයක් කඩාගෙන බිමට වැටෙන වෙළඳ දැන්වීමත් මිනිස්සුන්ට තාම මතකයි. මම නළුවෙක් වුවත් සරල සාමාන්‍ය ජීවිතයක් තමයි ගත කරන්නේ. ඕස්ට්‍රේලියාවේදී ඔස්කා සංවිධානයෙන් කළ ප්‍රසංග , නාට්‍ය වලට මම දායක වුණා. එහිදී මම කෙටි චිත්‍රපටයක් කළා. එය් අධ්‍යක්ෂණය කළේ සම්පත් රොශන්. එම කෙටි චිත්‍රපටයේ නම කුරුලු පිහාටුවක් යවන්න. එය නිර්මාණය කළේ ඩිමෙන්ෂියා රෝගය වෙනුවෙන්. එය යූටියුබ් ඔස්සේ ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මගේ හිතේ දැඩි ආසාවක් තියෙනවා දිගු චිත්‍රපටයක් කරන්න. මා රචනා කළ මනමන්දාරම පොත ඇසුරින් ටෙලිනාට්‍ය සහ සිනමා අධ්‍යක්ෂ සුදත් දේවප්‍රිය විසින් තිරරචනය කරන්නට සූදානමින් ඉන්නවා. නිෂ්පාදනය කෙනත් වීරක්කොඩි ගෙන්.

මම රැකියාවක නිරත වී සිටින කෙනෙක්. ඒත් කලා කටයුතු සඳහා කාලය කළමනාකරණය කර ගන්නවා. සතියේ දින පහක් රාජකාරිය කරන ගමන් සති අන්තයේ මගේ තිබෙන කලා කටයුතු සඳහා කාලය යොදවනවා. මම රැකියාවට යන්නේ දුම්රියෙන්. ඒ යන එන වෙලාවට මගේ ඔළුවට එන දේ මම හැකිනම් ලියා ගන්නවා. නැත්නම් මතක තියාගෙන එය රෙකෝඩ් කරගන්නවා. ලංකාවේ ඉන්නවා මගේ හිතවතියක්. ඇය සසංකා. ඇය තමයි මම ලියන සියලු දේ ටයිප් කර දෙන්නේ.

ලංකාවට පැමිණි මේ වෙලාවේ අපේ සිනමාව ගැනත් කතා කිරීම වැදගත් කියා මා සිතනවා. අපේ සිනමාව දැන් තරමක් දියුණු තත්වයකට ඇවිත් තියෙනවා. ඕස්ට්‍රේලියාවට දැන් සිංහල ෆිල්ම්ස් ගෙන්වනවා. එහෙදී අපේ චිත්‍රපටවලට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. බාල බොළඳ චිත්‍රපට වලට නම් එහේ ප්‍රේක්ෂකයන් එතරම් කැමැත්තක් නැහැ. ක්ලැරන්ස්, ෆාදර්, නෙළුම් කුලුන වගේ චිත්‍රපට වලට ඉහළ ප්‍රතිචාර ලැබුණා. සංගීත ප්‍රසංගවලට වඩා එහේ උදවිය දැන් බලන්නේ සිංහල චිත්‍රපට.මලයාලම්, කේරළ චිත්‍රපටවලට වගේම සිංහල චිත්‍රපට වලටත් ඉල්ලුම තියෙනවා. ලංකාවේ දැන් දක්ෂ තරුණ අධ්‍යක්ෂවරු ඉන්නවා. ඔවුන් ඇවිත් තියෙන්නේ සිනමාකරණය ගැන දැනුම්වත් භාවයකින් යුතුවයි. ඒත් නළු නිළියන්ගේ අඩු පාඩුවක් තියෙන බව පේනවා. මම මේ කාටවත් අපහාසයක් නෙවෙයි කරන්නේ. ඇතැම් අයට හරියට දෙබසක්වත් කියාගන්න බැහැ. සමාජ මධ්‍යවල පෙනි සිටින , ටික්ටොක් කරන අය රංගනයට පැමිණියාම තමයි එහෙම වෙන්නේ. ඉස්සර නිර්මාණයකදී ඇඳුම ගැන පවා සැලකිලිමත් වෙනවා. ඒත් දැන් එහෙම නැහැ. මේවා සමාජ මාධ්‍යයට මුදා හරින උදවියත් දැන ගතයුතුයි මේ දේවල් මුළු ලෝකයටම් පේනවා දකිනවා කියලා.

කලාකරුවන් කියන්නේ උතුම් පිරිසක්. ඒ නිසා අපි අපේ ගරුත්වය ආරක්ෂා කරගත යුතුයි. කලාව හැමෝටම හැකියාව ආරක්ෂා කරගත යුතුයි. මම ලංකාවේ සිටි කාලේ බොහෝ කලා කටයුතු සහ රංගනයට සම්බන්ධ වුණා. ඒනිසා තමයි ලංකාවට යන එන ගමනේදී ගුවන් තොටුපොළේ සිට මිනිස්සුන්ගේ ආදරය ලැබෙන්නේ. ඒ ආදරය, සැලකිල්ල අපි ජීවිත කාලය පුරාවටම රැක ගතයුතුයි. නැවතත් මම ඉක්මනින් ලංකාවට එනවා. රංගන කටයුතු වලට සම්බන්ධ වෙන්න. ඕස්ට්‍රේලියාවට ගිය විගස මොහාන් රාජ් මඩවල සහෝදරයාගේ පොතක් එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙන්න නවසීලන්තයට යා යුතුයි.

ඉදිරියේදී මගේ රංගනයෙන් හැඩවැඩ වෙන නිර්මාණවලින් ඔබ හමුවට එනතෙක් මගේ මව්බිමටත්, ඔබටත් ආයුබෝවන්.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT