සිරිලක සිනමා කලාපයේ ස්වර්ණමය සමය සේ බොහෝ දෙනෙකු දක්වන්නේ 1970 දසකයයි. නොඑසේනම් 1960 දසකයයි. මේ පසුපස ඇති පළමු පෙළ සාධකයක් වනුයේ සිනමාශාලා ඇසුරට වැටෙන රසික සංඛ්‍යාවය යන්න පැහැදිලිය. ශශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්තා අනුව සිනමාශාලා ඇසුරට වැටුණු ඉහළම රසික සංඛ්‍යාව හඳුනා ගැනෙන්නේ 1979 වසරේදීය. එම වසරේ මිලියන 74.4 ක සිනමා රසික පිරිසක් වාර්තා වී තිබිණි.
අනතුරුව උදාවූයේ සිරිලක සිනමාව මතු නොව සිරිලක සිනමා කලාපයම පැවැත්ම පිළිබඳ බරපතළ අර්බුද කරා යැවෙන සමයක්ය යන්න කිසිවකුටත් රහසක් නොවේ. මෙයට විසඳුම් පිළිවෙත් හඳුනා ගැනීමේ හා ඒවා සක්‍රිය කිරීමේ අරමුණු සහිතව නොයෙකුත් වැඩසටහන් මතු වන්නට විය. කෙසේ නමුදු මෙහිලා වැඩි සැලකිල්ලකට බඳුන් නොවූ ගැටලුවක් වූයේ විරාමයකින් තොරව වෙනස් වෙමින් තිබූ සිනමා රසික ආකල්ප ආදිය නිසිව වටහා ගත් සිනමා නිමැවුම් කටයුතු වෙසෙසින් සිදු නොවීමයි. මෙය වැඩිපුරම අදාළ වූයේ රසිකයනට ආනන්දයක්ම රැගෙන ඒමේ අදහස පෙරදැරි කොටගත් සිනමා නිමැවුම් මාදිලි සඳහාය.
කෙසේ නමුදු මේ වන විටත් ආනන්දජනක සිනමා නිමැවුමේ කෙළ පැමිණ සිටි යසපාලිත නානායක්කාර උත්සුක වූයේ සමකාලින තුරුණු සිනමා රසිකත්වය හසු කර ගත් නව සි ‘නැවත හමුවෙමු’ මෙහි ඇරඹුමක් සේ දත හැකිවේ. අනතුරුව උදා වූයේ යසපාලිත විසින් නිරවුල් කර දෙනු ලැබූ මෙමඟ ඔස්සේ ගමන් කරනු රිසියෙන් තවත් සිනමාකරුවන් කිහිප දෙනෙකුගේම සපැමිණීම සනිටුහන් වූ සමයකි. මෙතැනදී සුනිල් සෝම පීරිස්, මාලිනී ෆොන්සේකා, දිනේෂ් ප්‍රියසාද් ආදීහු කැපී පෙනෙති.
ඉකුත්දා සිය දිවි සැරිය නිම කළ ආනන්ද වික්‍රමසිංහද මේ ලැයිස්තුවට එක් කළ හැක්කේ කිසිදු පැකිළීමකින් තොරවය. සුනිල් සෝම පීරිස් සමඟ සමව නිමවූ ‘දිනුම’ හා තනිවම නිමවූ ‘සටන’ යන සිනමාපට ද්වය පමණක්ම ගත් විටද ආනන්දගේ බලවත් එළඹුම පිළිබඳ අදහසක් සරි කර ගත හැකිවේ. 1980 දසකය පුරාම ඇදී ගිය නව ආනන්දජනක සිනමාපට මාදිලියේ වඩාත්ම කැපී පෙනෙන සිනමාපට සමුච්චය අතරට නිසැක වශයෙන්ම ආනන්දගේ මෙම සිනමාපට ද්වයද ඇතුළත් කළ හැකිය. ආනන්ද පසුකාලයේදී නිමවූ සිනමාපට කවර පසුබෑම් විශද කළද ‘දිනුම’ හා ‘සටන’ යන සිනමාපට පිළිබඳ මතකය සිනමා රසිකයන් කිසි විටෙකත් අමතක නොකරන බව සැබෑවකි.
සිරිලක ආනන්දජනක රසාලිප්ත සිනමාවේ කැපී පෙනෙන්නකු සේ හඳුනා ගැනෙන ආනන්ද සිය සිනමා ඇසුර අරඹන්නේ ඊට හාත්පසින්ම වෙනස් ලකුණු සහිතවයි. ආනන්ද පිළිබඳ කෙරෙන මේ පසු විපරම තවදුරටත් සුවිශේෂ වනුයේ එහෙයිනි. මන්ද ඔහු කිසිවිටෙකත් රසාලිප්ත ආනන්දජනක සිනමා අරමුණු සමඟ එක් නොවීමේ පිවිසුම් මෙතැනදී නිශ්චය වන නිසාය. හරවත් කලාත්මක හා විවාදාත්මක සිනමා අරමුණු කුළුගන්වාලීමට අවකාශ නොලැබීමේ තතු හේතුවෙන් අන් සිනමා නිමැවුම් සමඟ බැඳෙන්නවුන් හා සිනමාව හැර යන්නවුන් පිළිබඳ කරුණු සෙවීමේ වුවමනාව පෙරට රැගෙන ඒමේ අරුත්සරු බව ඉඟි කරලන්නටද ආනන්දගේ මෙම මුල් සමය ඉඩ කඩ සලසා දෙයි.
සිරිලක සිනමා වංශයේ හමුවන කිසිදු විටෙක නොසලකා නොහැරෙන සිනමාපට තුනක් සමඟ ආනන්දගේ සිනමාවතරණය බැඳී තිබේ. මේ ‘ගැටවරයෝ’ , ‘චණ්ඩියා’ හා’තිසාහාමි’ ය. මයික් විල්සන් හා තිස්ස ලියනසූරිය එක්ව නිමවූ ‘ගැටවරයෝ’ හි සහය අදියුරුවරයකු ලෙසිනුයි ආනන්ද සිනමාව හා පළමු වරට එක්වන්නේ. ටයිටස් තොටවත්තගේ ‘චණ්ඩියා’ හි පළමු සහාය අදියුරු වන්නේද ආනන්දය. සමකාලීන සිරිලක සිනමා දැවැන්තයන් පිරිසක් සමඟ ආනන්ද ලද මේ අත්දැකීම් සුවිසල්ය යන්න රහසක් නොවේ. මයික් විල්සන් , තිස්ස ලියනසූරිය හා ටයිටස් තොටවත්ත හැරුණු කොට ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම , අනුලා කරුණාතිලක, එච්.ඩී.කුලතුංග මෙම දැවැන්තයන් අතරින් පෙරමුණ ගන්නා බව සඳහන් කළ යුතුය.
කිසිදා නිම නොවූ විජය අබේදේවගේ ‘තිසාහාමි’ නිපැයුම වෙනුවෙන් දායක වන්නට ආනන්ද ගත තීන්දුවද සඵල නොවූයේ එය කිසිදා නිම නොවූ සිනමාපටයක් වීම නිසයි.
ආනන්ද මෙසේ සිය සිනමා පෙම වඩවා ගැනීමේ එක් අදියරක් සලකුණු කරලන්නේ 1968 වසරේදී තිරයට එක් කළ ‘වසන්ති’ සිනමාපටනි. එතෙක් තමා උගත් සිනමා දැනුම භාවිතයෙන් ආනන්ද ‘වසන්ති’ නිමවූයේ ඉනික්බිතිව එළැඹි සමයේ සිරිලක ආනන්දජනක සිනමාවේ දැවැන්තයකු බවට පත්වන යසපාලිත නානායක්කාරගේ නිපැයුම් සහයද සමඟිනි. ආනන්දගේ සිනමා ඇසුරට අනගි සහයක් ලබා දුන් පියා – ඩග්ලස් වික්‍රමසිංහද මෙහිලා නිපැයුම්කරුවකු සේ දත හැකි විය. ඩග්ලස් වික්‍රමසිංහ සිනමා රසිකයනට වඩා සමීප වනුයේ රූපණ කටයුතු සමඟය.
‘වසන්ති’ හා එක්වූ පිරිස අතර 1960 දසකයේ සිරිලක සිනමා දැවැන්තයන් වූ ටයිටස් තොටවත්ත, ලයනල් අල්ගම, ටෝනි රණසිංහ හා අනුලා කරුණාතිලකද සිටියහ. දෙබස් රචනයෙන් හා ගීත රචනයෙන් එක්වූයේ සිරිල් බී.පෙරේරාය. එනමුදු මෙම අගනා සම්පත් සමඟ නවමු ලකුණු සහිත සිනමාපටයක් නිමවීමේ සමත්කම විදහා දක්වන්නට ආනන්ද සමත් නොවූ බව සැබෑවකි. ‘වසන්ති’ එක්තරා අයුරකින් සිරිලක සිනමා වංශයේ එන තවත් එක් සිනමාපටයක්ම වූ බවයි මෙයින් කියවෙන්නේ.
දසක ද්වයකට ආසන්න දිගු නිහැඬියාවකට තිත තබන ආනන්ද , වසර 1986 දී සුනිල් සෝම පීරිස් සමඟ ‘දිනුම’ තිරයට රැගෙන එන්නේ හින්දි බසින් නිමවූ ඉන්දියානු ආනන්දජනක සිනමාපට එක එල්ලේම හා වෙනස්කම් සහිතව අනුකරණයට බට සමකාලීන සිනමාපට මාදිලියට ඇතැම් නවමු ලකුණු ගෙන එමිනි. එසේම ‘දිනුම’ , මෙම සිනමාපට මාදිලියේ පුරෝගාමීන් වූ යසපාලිත නානායක්කාර හා සුනිල් සෝම පීරිස් නිමවූ සිනමාපට හා එක පෙළට තැබීමේ කිසිදු නොහැකියාවක් නොපෙන්වූ සිනමාපටයක්ද විය. කලාත්මක ගුණාංග ඔප් නැංවූ සිනමාපට අතළොස්සකට එක්ව සිනමා රූපණයෙන් දුරස් වූ වසන්ති චතුරාණි ‘දිනුම’ සමඟ ආනන්දජනක සිනමාවේ රුවැති පෙම්වතියක සේ හඳුන්වා දීමේ සියලු ගෞරව හිමි විය යුත්තේ ආනන්දටය. යම් හෙයකින් වසන්තිගේ පෙර සිනමා රූපණ හා සසඳමින් මෙම නව එළඹුම රසික නොඑකඟතාවකට ලක් වූයේ නම් ආනන්දගේ ඉරණමද ඛේදයක් වන්නට ඕනෑ තරම් ඉඩ තිබිණි.
‘දිනුම’ හි අනුකාරක ලකුණු සමඟ වෙසෙසින් ඉස්මතු වූයේ සරත් දසනායකගේ සංගීතයයි. ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක හා චන්ද්‍රිකා සිරිවර්ධනගේ ගායනාය. ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ගී පබැඳුම්ය. 1987 සරසවිය සිනමා සම්මාන උළෙලට සමගාමීව ‘සරසවිය’ පාඨක ඡන්දයෙන් පෙරට ආ සිනමාපට සත අතරටද ‘දිනුම’ එක් වූයේ තරගකාරී සිනමාපට කිහිපයක්ම අභිබවා යමිනි. එසේම 1987 ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී ඉහළම ආදායම් ඉපයූ සිනමාපට වෙනුවෙන් පිරිනැමූ සම්මානයක් හිමි කර ගත්තේද ‘දිනුම’ය. ‘වසන්ති’ ලද පසුබෑම ‘දිනුම’සමඟ පහව ගියේ ආනන්ද වික්‍රමසිංහ පිළිබඳ රසික විශ්වාසය වඩවමිනි.
ආනන්ද අනතුරුව නිමවූ ‘සටන’ ද පෙම් පුවතක් සංගීතයෙන් හා සටන් ජවනිකා ආදියෙන් උද්ධරණය කළ සිනමාපටයක් සේ දත හැකිය. ‘දිනුම’ සමඟ ආනන්දජනක සිනමාවේ දිගු ගමනක නිරත වෙමින් සිටි වසන්ති මෙහි පළමු පෙළ චරිතයට පන දෙන්නේ සටන් ජවනිකා විෂයෙහිද නොපැකිළව එක්වෙමිනි. සනත් ගුණතිලකගේ ප්‍රේමනීය හා උද්වේගකර රූපණයෙන් ‘සටන’ වර්ණවත් වූයේ ඒ ඒ අනුකාරක ලකුණු පසෙකට තල්ලු කර දමමිනි. සරත් දසනායක, උපාලි ධනවලවිතාන, ප්‍රේමකීර්ති ද අල්විස්, එච්.ආර්.ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලීන් ගුණතිලක, චන්ද්‍රිකා සිරිවර්ධන හා නිහාල් සිල්වා ‘සටන’ හි චමත්කාරජනක බව තහවුරු කළහ.
‘සටන’ ලද රසික ප්‍රසාදය තවදුරටත් සහතික වූයේ 1989 සරසවිය සිනමා සම්මාන උළෙලේදීය. මේ 1988 වසරේ මුල්වරට තිරගත සිනමා රසික පාඨක මනාපය ඉහළින්ම ලද සිනමාපටයට පිරි නැමෙන සම්මානය ඔස්සේයි. හොඳම සහය නිළියට හා හොඳම ශබ්ද පරිපාලනයට හිමි සම්මානද ‘සටන’ වෙත පිරිනැමිණි.
ආනන්දගේ සිනමා මෙහෙයුමට තවත් සිනමාපට සයක් එක්වුවද ‘දිනුම’ හා ‘සටන’ පරයා යන්නට ඒවා අසමත් වූ බව සිහිකටයුතුය. එනමුදු 1993 වසරේදී තිරගත සනත් ගුණතිලක නිපැයූ ‘සසර සැරිසරන තෙක් ඔබ මගේ’ සන් කළේ ආනන්ද වික්‍රමසිංහගේ සුපුරුදු සිනමා මෙහෙයුම පිළිබඳ මතකයයි. ‘ධනය’, ‘යසස’ , ‘දිනුම කාගේද’ හා ‘හදවත මල් යායයි’ යන සිනමාපට වෙතින්ද එහි සමහර ලකුණු දක්නට ලැබිණි. කළු සුදු සිනමාපටයක් වන ‘සාජන්ට් නල්ලතම්බි’ දෙස ආනන්දගේ රසිකයන් නෙත් හෙළුවේ එපමණ කැමැත්තකින් නොවේ.
ආනන්ද අගනා තිළිණ ද්වයක් සිරිලක සිනමාවට ප්‍රදානය කළ වග මෙතැනදී අමතක නොකළ යුතුමය. මේ ඩිලානි අබේවර්ධන හා සංගීතා වීරරත්නයි. ඩිලානිව හඳුන්වා දෙන්නේ ‘සටන’ සිනමාපටයෙනි. රෝයි ද සිල්වා නිමවූ ‘ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්’ සිනමාපටයෙන් සිරිලක සිනමා රූපණයට එක් වූ සංගීතා වීරරත්න සිංහල බසින් යුතු සිරිලක සිනමාවට එක්වන්නේ ආනන්දගේ ‘යසස’ සිනමාපටයෙනි. එසේම ඔහු ‘යසස’ සිනමාපටයෙන් හර්ෂණ නානායක්කාර සිනමා ප්‍රධාන චරිත රූපණයට එක්කර ගත්තේය. හර්ෂණ නානායක්කාර වත්මනෙහි අධිකරණ ඇමැති ධුරය දරයි.
සිනමාකරුවකු සේ හඳුනා ගන්නා නිසාම ආනන්දගේ අන් කටයුතු යටපත් වන බව කිවයුතුය. මේ අතරින් වැඩි අවධානයකට ලක් කළ යුත්තේ ඉන්දියානු සිනමා තරු සමඟ ඔහු පැවැත්වූ සමීප සබඳතාය. 1980 දසකයේ අවස්ථා ගණනාවකදීම ඉන්දියානු සිනමා තරු සිරිලකට කැඳවාගෙන ඒමේ කටයුත්තෙහි නිමග්න වූවකු වූයේ ආනන්දය. රාජේන්ද්‍ර කුමාර්, නූටාන්, දේව් ආනන්ද් හා මොහොමඩ් රාෆි මෙසේ ආනන්දගේ සම්බන්ධිකරණයෙන් සිරිලකට ආ ඉන්දියානු සිනමා තරු අතර ප්‍රමුඛ වෙති. ඔවුන් මැයි දින සංගීත ප්‍රසංග ආදියේදී ගැයූ ඉමිහිරි ගී පිළිබඳ මතකය අදත් ඇතැම්හු ආස්වාදයෙන් සිහිපත් කරති.
ආනන්ද මාදිලියේ සිනමාකරුවන් වත්මන් සිරිලක සිනමාව වෙතින් දැකිය නොහැකි තරම්ය. එමෙන්ම ආනන්ද, යසපාලිත, සුනිල් සෝම මාදිලියේ සිනමාකරුවනට වත්මනෙහි ඉඩක් නොමැති වගද පෙනේ. වත්මන් සිරිලක ආනන්දජනක සිනමාව දැකිය හැක්කේ එදාට වඩා වෙනස් ලකුණු සහිතවයි. කිසියම් සංකීර්ණ තතුද සමඟිනි. මෙනිසාම මොවුනගේ සාරවත් සිනමාපට ආවර්ජනයෙන් රසවත් වීමේ අවස්ථා මඟ හැර නොයන්නට පෙර පරපුරේ රසික පිරිස් ඉඳුරාම සැදී පැහැදී සිටින අයුරු පැහැදිලිය. වත්මන් රසික පිරිස්ද අතීත සිරිලක සිනමාවේ ආනන්දජනක බව හඳුනා ගන්නේ මොවුන්ගේ සිනමාපට ඇසුරෙන්ය යන්න නොරහසකි.
තුසිත ජයසුන්දර
