Home » අපිට ඕනෑ වුණේ ගුණාත්මක චිත්‍රපටයක් හදන්න ‘රිවර්ස්ටන්’ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ

අපිට ඕනෑ වුණේ ගුණාත්මක චිත්‍රපටයක් හදන්න ‘රිවර්ස්ටන්’ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ

by mavan
May 21, 2026 10:57 am 0 comment

ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ රිවර්ස්ටන් චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වෙයි.

අන්තර්ජාතික සම්මාන රැසක් හිමිකරගත් මෙම චිත්‍රපටය ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයේ ඉහළට ඔසවා තබන්නට සමත් වූ චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා ආර්ථික දායකත්වය දැරුවේ අනූව දශකයේ මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියම තරුවක් වූ නිමන්ති පෝරගේ විසිනි. රංගන ශිල්පිනියක් වශයෙන් තම නිර්මාණ දිවියේ ඉහළම ස්ථානයකට පැමිණ පසුව ටෙලි නාට්‍ය නිෂ්පාදනයෙන් තම දායකත්වය කලා ක්‍ෂේත්‍රයට පිරිනැමූ ඇය වර්තමානයේ අපට හමුවනුයේ චිත්‍රපට නිෂ්පාදිකාවක වශයෙනි. මෙවර අපගේ කතාබහ යොමු වූයේ රිවර්ස්ටන් නිෂ්පාදිකා නිමන්ති පෝරගේ සමඟය..

riverstone ඔබගේ පළමු සිනමා නිෂ්පාදනය. නිමන්තිට චිත්‍රපට නිෂ්පාදනයට එන්න හිතුනේ ඇයි

මගේ සැමියා ප්‍රභාත් රෝෂන්ට සහ මට සෑහෙන කලක පටන් අදහසක් තිබුණා චිත්‍රපටයක් කරන්න. මේ වනවිට අපි ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ දුර ගමනක් ඇවිත් ඉන්නේ. ටෙලි නාට්‍ය තිස්පහක් හතළිහක් වගේ ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරලා තිබෙනවා. අපට මීළඟට අවශ්‍ය වුණේ චිත්‍රපටියක් කරන්න. මේ අදහසින් ඉන්න කාලයේ තමයි කොරෝනා ආවේ. ඒ නිසා ඒ අදහස අපෙන් සෑහෙන කාලයකට ගිලිහී ගියා.

ඉන්පසු කලෙක මේ අදහස ආයෙත් ආවම අපිට ලලිත් රත්නායක හමුවුණා. ඔහු කිව්වා ස්ක්‍රිප්ට් එකක් තියෙනවා කියලා. ඒ නිසා අපි ඒ ගැන උනන්දු වුණා.

අධ්‍යක්ෂවරයා ලෙසින් ලලිත් රත්නායක තෝරගන්න හේතුවක් තිබුණද?

ඇත්තටම ඒකට විශේෂ හේතුව වුණේ ප්‍රභාත් ලලිත් රත්නායක සමඟ අවුරුදු විසි තිස් ගණනක යාළුකමක් පැවතීම. ටෙලිවීව් ආයතනයේ ඔවුන් දෙදෙනා එකට වැඩ කළේ. අපි කිට්ටුවෙන් ආශ්‍රය කරන තවත් බොහෝ අධ්‍යක්ෂවරුන් ඉන්නවා. නමුත් ප්‍රභාත් කිව්වා අපි දන්න කෙනා සමඟ වැඩ කරමු කියලා. ඒකට මූලික වුණේ හිතවත්කමම තමයි.

ලලිත් රත්නායක මින් පෙර කරපු නිර්මාණ පිළිබඳ ඔබට පැහැදීමක් තිබුණද?

ලලිත් ගේ පළවෙනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයේදී ඔහු කැමරාකරණය සඳහා තෝරාගන්නේ ප්‍රභාත්ව. එතැනදී ප්‍රභාත් හොඳම කැමරාමන් විදිහට සම්මාන දිනාගන්නවා. තෙත් සහ වියළි නාට්‍යය වෙනුවෙන්. ප්‍රභාත් ගේ කැමරාකරණයේ ඇති දක්ෂතා සහ සුවිශේෂතා ලලිත් හොඳීන් දන්නවා. ඒ නිසා තමයි ප්‍රභාත්ව ඔහු ගන්නේ ඊට පස්සේ අවුරුදු විසි ගණනක් තිස්සේ ප්‍රභාත් සහ ලලිත් එකට වැඩ කළේ නෑ. ලලිත් වෙනම වැඩ කළා. මොකද අපි කරන ටෙලි නාට්‍ය ස්ටයිල් එක නෙමෙයි ලලිත්ගේ තිබුණේ. නමුත් චිත්‍රපටය කරද්දී ප්‍රභාත් කිව්වා ලලිත් එක්ක කරමු කියලා. ලලිත් ගේ පළමු ටෙලි නාට්‍ය ප්‍රභාත් එක්ක කරපු නිසා අපේ පළමු චිත්‍රපටය ලලිත් එක්ක කරමු කියලා ප්‍රභාත් කිව්වා. එහෙම තමයි ලලිත්ව තෝරා ගත්තේ.

ඇත්තටම අපිට ඕන වුණේ හොඳ නිර්මාණයක් කරන්න සිනමා නිර්මාණයකට ඉන්න එකම අධ්‍යක්ෂවරයා ලලිත් නොවෙයි වුණාට හිතවත්කම තමයි මූලික වුණේ. අනිත් එක ලලිත් ළඟ තිබුණු රිවර්ස්ටන් තිර රචනයටත් අපි කැමති වුණා.

ඇයි තිර රචනයට එච්චර කැමති වුණේ?

script එක බලලා අපි දෙන්නා එකෙන්ම කැමති වුණා.

නමුත් ඒකේ අපිට ලොකු රිස්ක් එකක් තිබුණා. මේ කතාව දේශපාලනමය කතාවක් ඒ කාලේ හිටපු රාජ්‍ය පාලකයින් එය කරන්න දෙයිද කළත් තිරගත කරගන්න බැරි වෙයිද වගේ ප්‍රශ්න අපට තිබුණා. මොකද රටේ ඇත්තටම පවතින තත්වය තමයි ඔය චිත්‍රපටයේ තිබුණේ. නමුත් අපි ඒ රිස්ක් එක අරගෙන මේ පිටපතට තිබුණු ආශාව නිසාම මේක කරමු කියලා ප්‍රභාත් සහ මමයි තීරණය කළා. ප්‍රභාතුයි මමයි කියන්නේ ඇත්තටම දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්. අපි දෙන්නා සෑම දෙයකදීම සාකච්ඡා කරනවා. මගේ අදහස් එයාගේ අදහස් වලට එකඟ වෙලා දෙන්න තර්ක කරලා රණ්ඩු වෙලා එකකට එනවා. නැත්නම් වැඩිපුර අකමැත්ත තියෙනවා කියලා දැනෙනකොට හරි එහෙනම් ඊළඟ එකට යමු කියන තැනට එනවා. ඒ නිසා අපි දෙන්නම මාර විදිහට මේ ප්ලොට් එකට ආස වුණා. එහෙම තමයි මේ පිටපතට කැමති වුණේ මේ චිත්‍රපටයේ ප්ලොට් එක නිලන්ත පෙරේරාගේ. ඔහු තමයි ලලිත්ට මේ ප්ලොට් එක දීලා තියෙන්නේ.

නිලන්ත පෙරේරා කියන්නේ කවුද?

නිලන්ත මේ වන විට ශිෂ්‍යත්වයක් ලැබිලා විදේශ ගතවෙලා ඉන්නේ. නමුත් ඔහු මේ ප්ලොට් එක ලලිත්ට දීලා ගිහින් තිබුණා ලලිත් ඔහුට කියලා තියෙනවා මේක කාටවත් දෙන්න එපා ඔහු ඒකෙන් චිත්‍රපටයක් කරනවා කියලා. ඒකෙන් තමයි ලලිත් රත්නායක මේ තිර පිටපත ලියන්නේ ඇත්තටම නිලන්ත කියන්නේ මේ චිත්‍රපටයේ නිහඬ චරිතයක්. ඔහු ඔහුගේ පාඩුවේ වැඩ කරගෙන ඉන්න කෙනෙක්.

චිත්‍රපටයට රිවර්ස්ටන් කියලා නම දාන්න හේතුව මොකක්ද?

මේ කතාන්දරයේ එන ආකාරයට මෙහි ප්‍රධාන චරිතය වන නන්දිත මේ පොලිස් නිලධාරීන් තුන්දෙනා සමඟ යන්නේ රිවර්ස්ටන් ප්‍රදේශයට අනිත් එක නන්දිතගේ ගම වෙන්නෙත් රිවර්ස්ටන් ප්‍රදේශය මේ නම නිලන්තගේ line up එකේ පවා තිබුණ එකක්. ලලිත් රත්නායක මේක නම් කරලා තිබුණේ beyond the bound කියලා. නමුත් ඔය ඉංග්‍රීසි නම අපේ ප්‍රේක්ෂකයින්ට ගැලපෙන්නේ නැති නිසාත් මේකට හොඳටම ගැලපෙන නම රිවර්ස්ටන් නිසාත් නිලන්ත පෙරේරා දාපු නමම අපි යොදා ගත්තා.

චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය වෙන්නත් කලින් නොසිතූ විදිහට අන්තර්ජාතික අවධානයට යොමුවෙනවා. ඒ ගැන මොනවද නිෂ්පාදිකාව විදිහට ඔබට කියන්න තියෙන්නේ?

ඇත්තටම මේක අපි එච්චර හිතුවේ නෑ එච්චර එහෙම වෙයි කියලා. අපිට ඒක හීනයක් වගේ. මේක හොඳ නිර්මාණයක් බව අපි දන්නවා. සාමාන්‍යයෙන් ලංකාවේ තිරගත වුණාට පස්සේ අපට අන්තර්ජාතික සම්මාන උළෙල වලට ඉදිරිපත් කළ නොහැකියි. ඒ නිසා තමයි අපි මෙහේ පෙන්වන්න කලින් සම්මාන උළෙල වලට ඉදිරිපත් කළේ. අපිට මුලින්ම ආරාධනාව ආවේ චීනයේ ෂැංහයි අන්තර්ජාතික සිනමා උළෙලෙන්. අපි ඒකට සහභාගි වුණේ අලුත් අත්දැකීමක් ගන්න මිසක් සම්මාන බලාගෙන නොවෙයි. අපි නිකමටවත් හිතුවේ නෑ සම්මාන තියෙයි කියලා. රටවල් එකසිය ගණනක් මේ චිත්‍රපට උළෙල නියෝජනය කළා. මුලින් නොමිනේෂන් වත් මුකුත් කිව්වේ නෑ. Award ceremony එක පටන් ගත්තෙම Best cinematography කියන සම්මානයෙන්. ප්‍රභාත්ගේ නම කියනවාවත් අපට ඇහුණේ නෑ අපි දෙන්නා හිටියෙත් වෙන කතාවක ඒ වගේ තමයි පළවෙනි සම්මානය ලැබුණේ.

ඊට පස්සේ ලැබුණ සම්මාන මොනවද?

Asia Pacific සම්මාන උළෙලේදී ප්‍රභාත් best cameraman විදියට නිර්දේශ වුණා. චීනයෙන් සම්මානයක් ලැබුණා. කල්කටා වලින් ලැබුණ ප්‍රංශයෙන් ලැබුණා. ඉරානයෙන් ලැබුණා. සිංගප්පූරුවෙන් මහේන්ද්‍ර පෙරේරාට හොඳම නළුවා ලැබුණා. රන්දික නිර්දේශ වුණා ඔයවගේ තමයි.

ලාංකේය ප්‍රේක්ෂකයින් මේක කොහොමද බාර අරන් තියෙන්නේ?

ලංකාවේ ප්‍රේක්ෂකයිනුත් දැන් ආදරයෙන් මේක වැලදගෙන තිබෙනවා. චිත්‍රපටය නරඹන්න ප්‍රේක්ෂක ජනතාව ඉතාම උනන්දුවෙන් එනවා අපේ ලංකාවේ ඉන්නේ අවුරුදු ගණනාවක් එසේ දේශපාලනයෙන් බැටකාපු මිනිස්සු. අපේ රටේ සාමාන්‍ය වෘත්තියක් ගත්තත් රජයේ රැකියාවක් ගත්තත් ඒ ඇතුළෙත් දේශපාලනය තිබුණා. දේශපාලනය නිසා අසාධාරණයට ලක්වුණු මිනිස්සු මේ රටේ වැඩි හරියක් ඉන්නවා. ඒවගේම අතුරුදන් වුණු මිනිස්සු රැසක් ඉන්න රටක්. ඒ නිසා මම හිතනවා මේ චිත්‍රපටය ලංකාවේ අපට වැඩි වැඩියෙන් දැනෙන සංවේදී චිත්‍රපටයක් වෙයි කියලා. මොකද මේ චිත්‍රපටය හරහා අපි කතා කරන්නේ තිත්ත ඇත්ත.

නිෂ්පාදකවරියක් විදියට මුදල් ආයෝජනය කරන්නේ නැවත ලාභයක් බලාපොරොත්තුවෙන්. එහෙත් කලාත්මක සිනමාව තුළ ලාභ නොලැබී ගිය අවස්ථා ඕන තරම් තිබෙනවා. riverstone ගැන ඔබේ බලාපොරොත්තුව කුමක්ද?

මේක ඇත්තටම මේ චිත්‍රපටය නරඹපු ඕන කෙනෙක් තේරුම් ගන්න දෙයක්. මොකද සල්ලිම බලාපොරොත්තු වුණා නම් ඔය වගේ චිත්‍රපටයක් අපි කරන්නේ නෑ ඒකට උත්තර චිත්‍රපටය නරඹන අය අපිට දෙනවා. ගොඩක් අය හතු පිපෙනවා වගේ චිත්‍රපට කරන්නේ මුදල් හම්බ කරන්න. එහෙමනම් අපිටත් මීට ඉස්සර සිනමාවට එන්න තිබුණා. ඕන තරම් ප්ලොට්ස් තිබුණා අධ්‍යක්ෂකවරු හිටියා තිර රචනා තිබුණා. අධ්‍යක්ෂවරු ගෙදරට ඇවිත් තිර රචනා දීලා ගිය අවස්ථා තිබුණා. නමුත් එතැනින් එහා ගිය දෙයක් අපි දෙන්නගෙම ඔලුවෙ තිබුණා. ගුණාත්මක නිර්මාණයක් සිනමාව වෙනුවෙන් කරන්න ඕන කියන හැඟීම තිබුණා. නමුත් අනිත් පැත්තෙන් බලනකොට නිෂ්පාදකවරයෙක් ලාභ බලාපොරොත්තු වෙන්නෙ නැත්තෙත් නෑ.

නමුත් අපි මේකෙන් බලාපොරොත්තු වුණේ සල්ලිම නොවෙයි. සල්ලි කියන එක අපේ දෙවැනි තැනට. ඒක වුණේ හොඳ චිත්‍රපටයක් කරන්න ඕන කියන එකයි. එහෙම නැත්නම් මේ වගේ රිස්ක් එකක් තිබුණ චිත්‍රපටයක් අපි බාරගන්නේ නෑ අපි දෙන්නම බිස්නස් කරන ව්‍යාපාරිකයෝ නෙවෙයි. දෙන්නම කලාවෙන් ජීවත් වෙන අය අපි දෙන්නම මේ ක්ෂේත්‍රයේ අවුරුදු 35ක් තිස්සේ ඉන්නවා. කලාව කියන දේ ගැන හොඳට දන්නවා අපි දෙන්නම ඉන්නේ සාමාන්‍ය නිෂ්පාදකවරයෙකුගෙන් වෙනස් තැනක.

කලාත්මක සිනමාවකට මුදල් ආයෝජනය කළා කියන සතුට ඔබට තියෙනවද?

අනිවාර්යයෙන්ම ඔව්. අපිට ඒක සල්ලි වලින් ලැබෙන ලාභෙට වඩා වටිනවා. අපි දෙන්නට ජීවිතයේ අන්තිම හුස්ම හෙළන මොහොතෙදිත් ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් වෙයි. අපි දෙන්නම දැන් ශශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මාන රැගෙන ආව නිෂ්පාදකවරු දෙදෙනෙක් ඒක අපිට මිල කරන්න බෑ. ඉතිහාසයේ රන් අකුරින් ඒක ලියවෙන එක වළක්වන්නත් බෑ. මේ චිත්‍රපටයට ලැබුණු සමහර අන්තර්ජාතික සම්මාන ලංකාවේ චිත්‍රපටයකට ලැබුණේ පළමුවැනි අවස්ථාවට.

මේ මුදල් ඔබ කලාවෙන්ම හම්බ කළ මුදල්ද?

නැතුව. අපිට වෙන ව්‍යාපාර නෑනේ. අපි දෙන්නා කලාවෙන්ම හම්බ කළ මුදල් අපි කලාව සඳහාම යෙදවූවා. අපි අවුරුදු දොළහක් දහතුනක් තිස්සේ කරන්නේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය. මෙගා ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරලා සෑහෙන්න බැනුම් අහලත් තියෙනවා. නමුත් අපි ඒ සල්ලි වලින් වෙන ව්‍යාපාර කළේ නෑ. ඒ සල්ලි යොදවන්නේ කලාවටමයි.

ඔබ එක්තරා කාලයක ලංකාවේ සිටි ජනප්‍රියම ටෙලි තරුවක්. ඇයි ඔබ රංගනයෙන් ඈත් වුණේ?

මගේ ජීවිතයේ අංක එක මගේ පවුල නිසා මම රංගනයෙන් ඈත් වුණා. මට හිතුණා මම මගේ වැඩවලට ගියොත් මට පවුල මග ඇරෙයි කියලා. විවාහයෙන් පස්සේ මට සැමියා දරුවෝ දෙන්නා තමයි මූලික වුණේ. මගේ පුතාට දැන් අවුරුදු 19 ක්. දුවට අවුරුදු 12ක් අපි හතර දෙනා හරිම ආදරණීය පවුලක්. මේ බැඳීම මේ විදිහට අපි අතරේ තියාගන්න බැරි වෙනවා මම රඟපාන්න ගියා නම්. ඒ ගැන මට පොඩි හෝ දුකක් කනගාටුවක් නෑ මට මගේ දරුවන්ට ආඩම්බරයෙන් අම්මා කියන්න පුළුවන් විදියට ජීවත් වුණු කෙනෙක්. ඉඳලා හිටලා හා අපේ නිෂ්පාදනයකට රඟපාන්නේ එක්වෙනවා හැර වෙනත් නිර්මාණවලට නම් දැන් එක්වෙන්නේ නෑ. ඇත්තටම ඒකට මට කාල වේලාව හදාගන්න අමාරුයි. අපි ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන නිසා දන්නවනේ නළු නිළියන්ගේ දින නිසා විඳීන වද වේදනා. ඒ නිසා ඒ අපහසුතා මම වෙන නිෂ්පාදකවරයෙකුට දෙන්න කැමති නෑ.

ජීවිතය දිහා ආපස්සට හැරිල බලද්දි මොකද හිතෙන්නේ?

මට හරි සතුටුයි ජීවිතේ ඒ ඒ කාල මම සතුටින් ගෙවල දැම්මා. ප්‍රභාත් මුණගැහිලා මම විවාහ වෙනකොට මම ලංකාවේ ජනප්‍රියම තලයේ නිළියක්. ඒත් මට පවුල් ජීවිතේ වෙනුවෙන් රංගනයෙන් ඈත් වෙන්න කිසිම ලෝභකමක් හිතුනේ නෑ. කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර අපි අපේ ගමන යනවා.

රිවර්ස්ටන්වලින් පස්සේ මොනවද කරන්නේ?

අලුත් චිත්‍රපටයක් ඉක්මනටම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට තවත් පිටපත් දෙකක් කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්නවා.

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT