Home » නළු නිළියන් ටැටූ ගැසීමෙන් වැළකිය යුතුය අංගරචනා හා රංගන ශිල්පී වාසනා බණ්ඩාර

නළු නිළියන් ටැටූ ගැසීමෙන් වැළකිය යුතුය අංගරචනා හා රංගන ශිල්පී වාසනා බණ්ඩාර

by mavan
May 14, 2026 11:18 am 0 comment

වේදිකා නාට්‍යයක්, ටෙලි නාට්‍යයක්, හෝ චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදී අංගරචනා ශිල්පියාට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. රංගන ශිල්පියා හෝ රංගන ශිල්පිනිය වේදිකාවේ, ටෙලිනාට්‍යයේ, චිත්‍රපටයේ, චරිතයට අනුව මුහුණ සහ ඊට අදාළ අංගයන් ඉස්මතු වන වෙස් ගැන්වීම පැවරෙන්නේ අංගරචනා ශිල්පියාටය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. වෙස් ගැන්වීම සඳහා මනා පුහුණුවක් සහ අත්දැකීම් තිබිය යුතුයි. එමෙන්ම ඒ සඳහා වැයවන පිරිවැය, කාලය සහ ශ්‍රමය සුළුපටු නොවේ. අංග රචනා ශිල්පියා තාක්ෂණය පිළිබඳව දැනුම් තේර්ම් තිබිය යුතු අයෙකු විය යුතුයි. අද කලා ක්ෂේත්‍රයේ එවැනි ශිල්පීන් සිටින්නේ අතළොස්සකි. ඒ අතළොස්ස අතරින් වාසනා බණ්ඩාර යනු අංගරචනය විෂය සම්බන්ධව වසර පහළොවක් පමණ පළපුරුද්දකින් සමන්විත සම්මානනීය අංගරචනා ශිල්පියෙකි. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම අංගරචන ශිල්පියාට හිමි සම්මානය දිනාගත්තේ ඔහුය. අංගරචනා ශිල්පියෙකුට අමතරව ඔහු දක්ෂ රංගන ශිල්පියෙකු සේම දක්ෂ ගායකයෙකි. සරසවිය සමඟ ඔහු එක්වූයේ වසර ගණනාවක අංග රචනා ශිල්පියෙකු ලෙස කටයුතු කිරීමේදී ලත් අත්දැකීම් සහ එම විෂය පිළිබඳ උනන්දුව දක්වන නවකයන්ට ප්‍රයෝජනවත් තොරතුරු රැසක් පිළිබඳ කතා කරීමටය.

මම කලා ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු විස්සක් පමණ වෙනවා. අංගරචනා ශිල්පියෙකු ලෙස කටයුතු කරන්න පටන්ගෙන අවුරුදු පහළොවක් වෙනවා. ඒ වසර ගණනාවක කැපවීම වෙනුවෙන් පසුගියදා පැවති රයිගම් ටෙලි සම්මාන උලෙළෙදී හොඳම අංගරචනා ශිල්පියා ලෙස සම්මාන හිමිවුණා. සිනමා සහ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ පබ්ලෝ ටෙලිනාට්‍යය වෙනුවෙන්. මම කලාවට පිවිසියේ පාසල් කාලයේ. අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ සඳහා මම කළේ නාට්‍ය සහ රංග කලාව. ඒ කාලේ මම හිතාගෙන හිටියේ නළුවෙකු හෝ නාට්‍ය සහ රංග කලාව උගන්වන ගුරුවරයෙකු වෙන්න. මම ඉපදුනේ ගමක. ඒ නිසා කොළඹ එන්නත් ලොකු උත්සාහයක් දරන්න සිදුවුණා. ඒ වෙලාවේ හිතුණා නළුවෙකු වෙන්නත් ලේසි නැහැ කියලා.

මට තිබුණ නළු පිස්සුව නිසාම උපුල් ශාන්ත සන්නස්ගල සර් මාව කොළඹ එක්කගෙන ආවා. එහෙම ඇවිත් එතුමා සමඟ සංහිදේ වැඩකළා. ඒ අතරේ මම ටවර් හෝල් පදනමේ ඩිප්ලෝමාව එක්කට ඉල්ලුම් කළා. එහිදී නාට්‍ය සහ රංගකලාව උසස් ඩිප්ලෝමාව සහ අධ්‍යාපනවේදී උපාධිය හදාරන්න සුදුස්සෙක් වුණා. ඒ 2004 වසරේදි. එහිදි නාට්‍ය සහ රංග කලාව ඉගෙන ගන්න අතරේ එහි ආනුශාංගික අංගයක් ලෙස අංගරචනය ඉගෙන ගත්තා ක්ෂේත්‍රයේ රැඳී සිටිය යුතු නිසා. එහිදී ප්‍රවීණ අංගරචනා ශිල්පී වසන්ත විට්ටච්චි තමයි අපිට දේශන සඳහා ආවේ. වේදිකාවේ මගේ ගුරුවරයා වුණෙ ඔහුයි. ටවර් හෝල් පදනමේ ඉන්න ගමන් ටෙලි නාට්‍ය වලටත් මම සම්බන්ධ වුණා.ටෙලි නාට්‍ය කලාවේ මගේ ගුරුවරයා වුණේ පුෂ්පකුමාර බණ්ඩාර මහතා. මම මුලින්ම වැඩ කළේ සහය අංගරචනා ශිල්පියා විදිහට. එය ස්වර්ණවාහියේ විකාශය වුණා. එය මහේෂ් වහේන්ද්‍රසිංහගේ නිර්මාණයක්.

මම අංගරචනය වැඩිදුර හැදෑරුවේ ඒ සම්බන්ධ ප්‍රවීණයෙකු වු ජයන්ත රණවක සර්ගෙන්. ටවර් හෝල් පදනමේ පුහුණුව ලබන කාලේ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධනයන් නිර්මාණය කළ විදුර, බෙරහඬ සහ සක්කායදිට්ඨි වැනි නිර්මාණවලට මම දායක වුණා. ඒ අතරේ මගේ අධ්‍යාපනවේදී උපාධිය සම්පූර්ණ කළා. ඉන් අවුරුදු දහයකට පසු මගේ ඉලක්කය සම්පූර්ණ කරගන්න හැකිවුණා. ඒ වසර දහය තුළ ලබාගත් ප්‍රතිඵල තමයි රයිගම් සම්මානය පිටුපස තිබෙන්නේ. ඉන් පෙර චාමර සමරවික්‍රම නිෂ්පාදනය කළ, ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ” බොහීමියානුවා” ටෙලි නාට්‍යය වෙනුවෙන් මාව නිර්දේශ වෙලා තියෙනවා.

අංග රචනා ශිල්පියෙකු වෙන්න ලෙහෙසි නැහැ. මම අද ඉන්න තත්වයට එන්න බොහෝ මහන්සි වුණා. සහය අංගරචනා ශිල්පියෙකු ලෙස කාලයක් වැඩ කළා. ඒ හරහා තමයි අත්දැකීම් ලබා ගත්තේ. මෙම විෂය කරද්දී වේදිකාවේදී , ටෙලිනාට්‍යයේදී, සිනමාවේදී, අංගරචනය එකිනෙකට වෙනස් වන්නේ කෙසේද කියා මම දැනගත යුතුයි. වේදිකාවේ රඟපාන ශිල්පියාගේ මුහුණේ භාවයන් ප්‍රේක්ෂකාගාරයේ මුල සිටින කෙනාගේ සිට අවසානයේ වාඩිවෙලා සිටින ප්‍රේක්ෂකයා දක්වා ඇසට අසුවෙන්න අවශ්‍යයි. එයට ආලෝකකරණයෙනුත් පිටුවහලක් ලැබෙනවා. වේදිකාවේදී කරන අංගරචනය අතිශෝක්තියට බරයි. නමුත් ටෙලිනාට්‍යයේදී කරන ක්‍රමය වෙනස්. එහිදී අපි කරන වෙස්ගැන්විම් කැමරාවට පෙනෙන පරිදි කළ යුතුයි. ටෙලි තිරය කුඩායි. කුඩා තිරයක තමයි අපි ටෙලි නාට්‍ය නරඹන්නේ. වර්තමානයේ නම් ජංගම දුරකතනයෙනුත් ටෙලි නාට්‍ය නරඹන්න පුළුවන්. ඒ නිසා සියුම් දේ ටෙලි තිරයට පෙනෙන්නේ නැහැ. එහෙත් සිනමා තිරයේදී අංගරචනය ඊටවඩා හාත්පසින්ම වෙනස්. සිනමා තිරය පුළුල්. රංගන ශිල්පියාගේ සියුම් තැන්පවා කැමරාවට හඩුවෙනවා. අඩි පහක් හයක් උස නළුවා සිනමා තිරයේදී අඩි දහයක් පහළොවක් උසට පෙන්නුම් කෙරෙනවා. එහිදී අපි කරන මේක්අප් එක ගැන කල්පනාකාරී විය යුතුයි. අපි අතින් සිදුවෙන සියුම් වැරැද්දත් එහිදී හොඳීන් පේනවා.

මෙහිදී විශේෂයෙන්ම අපි අවධානය යොමු කළ යුත්තේ ටෙලිනාට්‍ය සහ සිනමාවේදී භාවිතා වන කැමරාව කුමක්ද යන වගයි. ටෙලි නාට්‍යයේදී භාවිතා වන කැමරාව අබිබවා සිනමා කැමරාව භාවිතා වෙනවා. ඒ නිසා සිනමා තිරයට වෙස් ගන්වන විට ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. අංග රචනා ශිල්පියා තාක්ෂණය ගැනත් දැනුම්වත් විය යුතුයි.එසේ දැනුම නැති වුණොත් කැමරාව ඉදිරියේදී අංගරචනා ශිල්පියා අසමත් වෙනවා. ඒ නිසා තාක්ෂණය දියුණු වෙනවා සේම අංගරචනා ශිල්පියාද යාවත්කාලීන වියයුතුයි. තාක්ෂණය ගැන අවබෝධයක් තිබිය යුතුයි.

අංග රචනා ශිල්පියා ලෙහෙසි නැහැ කියා මම කලිනුත් සඳහන් කළා. කාලය, පිරිවැය ගැනත් සිතන්නට අවශ්‍යයි. විශේෂයෙන් ඒ සඳහා භාවිතා කරන ද්‍රව්‍ය සියල්ලම පාහේ ගේන්නේ පිටරටින්. ඒ සඳහා අධික මුදලක් වැය වෙනවා. මෙහිදී තව විශේෂ කාරණාවක් ගැන කතා කරන්න අවශ්‍යයි. වේදිකාවේදී , ටෙලි නාට්‍යයේදී , සිනමාවේදී භාවිතා කරන මෙවලම්, මේක්අප් බඩු එකිනෙකට වෙනස්. ටෙලි නාට්‍ය සඳහා භාවිතා කරන ද්‍රව්‍ය සිනමාවේදී භාවිතා කළොත් වෙස්ගැන්වීම කළා කියලා විශේෂයෙන් පේනවා. උදාහරණයක් විදිහට ටෙලි නාට්‍යයකට රැවුලක් අලවන්න භාවිතා කරන ගම් එක නෙවෙයි සිනමාවේදී රැවුලක් අලවන්න භාවිතා කරන්නේ. සිනමාවේදී රැවුලක් දාන්න විනාඩි හතළිස් පහක්, පැය එකහමාරක් පමණ ගත වෙනවා. කොණ්ඩයක්, තට්ටයක් දාන්න ගියොත් පැය තුනක් හතරක් ගත වෙනවා. වේදිකාවේදී මෙය තරමක් වෙනස් මඟක් ගන්නවා. වේදිකාවත්, ප්‍රේක්ෂකයාත් අතර පරතරය අඩි පහළොවයි. ඒ නිසා වෙස් ගැන්වීමෙන් දමන මායාව ඔවුන්ට පෙනෙනවා අඩුයි. ටෙලි නාට්‍යයේ තරමක් ළඟට පේනවා. එහෙත් සිනමාවේ ඊට වඩා සමීපව පේනවා. ඒ ගැන අපි අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. තාක්ෂණය වෙනස් වනවිට භාවිතා කරන ද්‍රව්‍යද වෙනස් වෙනවා. ඒ ගැන දැනුමක් තිබුණේ නැත්නම් අංගරචනා ශිල්පියා හෑල්ලුවට ලක් වෙනවා.

මෙහිදී නළුවා සහ නිළියගේ පෙනුම, වයස ගැනත් අපි සිතන්නට අවශ්‍යයි. සමහර අවස්ථාවල තරුණ ශිල්පීන්ට වයස පෙනුමක් ලබා දෙන්න වෙනවා. අපි බොහෝ විට නිර්මාණය ආරම්භ කිරීමට පෙර අධ්‍යක්ෂවරයාට , පිටපත් රචකයා , අංග රචනා ශිල්පියා, රංගන ශිල්පියා එකතු වෙලා කතා කරනවා. සමහර අවස්ථාවල රංගන ශිල්පියා සහ අංගරචනා ශිල්පියා අතර මත ගැටුම් සිදුවන අවස්ථාත් තියෙනවා. ඒ නිසා ඉහත සඳහන් කළ සියලු දෙනාම මේ කාර්‍යයන් ගැන යාවත්කාලීන විය යුතුයි. මේ ක්ෂේත්‍රයේ සුලභව සිදුවන දෙයක් ගැනත් කතාකළ යුතුයි. අවුරුදු කුමරියෝ, කුමාරයෝ ඒ තරඟාවලින් දිණූවාට පසුව රඟපාන්න එනවා. කිසිම දෙයක් ගැන දැනුමක් නැතුව ආ විට ඒ අය අප සමඟ ගැටුම් ඇති කරගන්න අවස්ථාත් තියෙනවා. ඒ හේතුවෙන් සිදුවන්නේ සමස්ත නිර්මාණයම හෑල්ලුවට ලක් වෙන එක.

සමහර නළු නිළියන් ටැටූ ගහනවා. සමහර ටැටූ තියෙනවා ඉවත් කරන්න බැරි. ඉතින් ඒ වගේ ශිල්පීන් ආවම ඒ ටැටූ වසා දමන්න කාලයක් ගත වෙනවා. ඒ සඳහා වැය වන ද්‍රව්‍ය නිසා අමතර පිරිවැයකුත් ඇතිවෙනවා. මගේ මතය නම් නළු නිළියන් ටැටූ ගැසීමෙන් වැළකිය යුතුයි. සමහර වෙලාවට අංග රචනා ශිල්පීන්ට චෝදනා එල්ල වන අවස්ථා තියෙනවා. අමතර චරිත රඟපාන්න එන ශිල්පින්ව මේක් අප් කරන්නෙ නැහැ කියලා. ඒ බව තීරණය කළ යුත්තේ අධ්‍යක්ෂවරයා සහ කැමරා ශිල්පියා. වර්තමානයේ ටෙලි නාට්‍ය කලාව සිනමාව බිස්නස් එකක් වෙලා තියෙන්නේ. ඒකට පිළියම් යොදන්න අංගරචනා ශිල්පියාට බැහැ.

මම ඉහතදී සඳහන් කළා මම කැමැත්තෙන් හිටියේ නළුවෙක් වෙන්න කියලා. ඒ අවස්ථාව මට උදාවුණා නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයෙන්. එහි සුරංගගේ චරිතය නිරූපණය කළේ මම. ඒ චරිතය අතිශය ජනප්‍රිය වුණා. ඒ නිසා මම ගායකයෙකු බවටත් පත්වුණා. නාඩගම්කාරයෝ ශිල්පීන්ට අවස්ථාව ලැබුණා. වේදිකාවේ ගී ගයන්න. අපි ප්‍රසංග පැවැත්වූවා. ඒ සඳහා අපි රට වටේ ගියා. උපුල් ශාන්ත සන්නස්ගල සර් මට ගීතයක් ලියලා දුන්නා. ඉදිරියේදී මම තවත් ගීතයක් එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.

මේ දිනවල පාට කුරුල්ලෝ , ආලවන්ති, කළු අහස ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. කළු අහස ටෙලි නාට්‍යයට රංගනයෙනුත් දායක වෙලා ඉන්නවා.

මගේ කලා ජීවිතයට විශාල සහයෝගයක් මගේ පවුලෙන් ලැබෙනවා. මගේ බිරිඳ උෂානි තෙන්නකෝන් . ඇය රජයේ රැකියාවක නියැළින්නියක්. මට දියණියන් දෙදෙනෙකු ඉන්නවා. මගේ මව්පියන්ගෙන් සහ මගේ බිරිඳගෙ මව්පියන්ගෙන් මට හොඳ සහයක් ලැබෙනවා. මම ඔවුන් සමඟ ගත කරන කාලය අඩුයි. ඒත් මගේ යුතුකම් කොටස ඔවුන් වෙනුවෙන් ඉටු කරනවා. කලා ක්ෂේත්‍රයේ මම මේ ලබාගත් ජයග්‍රහණ ගැන ආඩම්බර වෙනවා. ඒ ආපු ගමනේ සම්මානයක් දක්වා එන්න ලැබුණ එක ගැන මට සතුටුයි.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT