එරන්ද රත්නසේකර වර්තමානයේ නවකතා කියවන පාඨක ප්‍රජාව අතර වඩාත් කැපී පෙනෙන ලේඛකයෙකි. ඇමරිකන් පෙම්වතා, ඩැඩා, වසරක කසාද ගිවිසුම, ඛ්ධ්ච් රමේෂ් සහ අභිරහස් දාම ඝාතකයා, ඔබ ආයේ එනවා නම්, සමනල පාලම ආදී නවකතා රාශියක් රචනා කර ඇති එරන්ද ලියූ අලුත්ම නවකතාව වන “ටීචර් කෙනෙක් බැඳලා බලන්න ආස හිතෙයි?” නවකතාව මේ වනවිට පාඨක ආකර්ෂණය දිනා ගන්නට සමත් වී ඇත. මෙවර සරසවිය අවකාශය හරහා ඉඩහසර වෙන් වන්නේ ලේඛක එරන්ද රත්නසේකර සමඟ සිදුකළ කතාබහ සමඟිනි.
එරන්දට ලිවීමේ උන්මාදය ඇති වුණේ කොහොමද? මොකක්ද ඒ පසුබිම?
ලිවීමේ උන්මාදය කියන එක එක රැයකින් පහළ වෙච්ච දෙයක් නෙවෙයි. මම හිතන්නේ ඒක කුඩා කාලයේ ඉඳන්ම මගේ ඇතුළේ පැසවමින් තිබුණු දෙයක්. මම කුඩා කාලයේ ඉඳන්ම හරිම ආසාවෙන් පොත් කියවපු කෙනෙක්. කියවීම හරහා මම මවාගත්ත ලෝකයෙන්, මම දැකපු මිනිස්සු සහ සමාජය දිහා මම බලපු වෙනස් කෝණයන් මාව ලේඛකයෙක් කළා කියලයි මම හිතන්නෙ. සැබෑ ජීවිතේදී අපිට කියන්න බැරිවෙන, ප්‍රකාශ කරන්න අමාරු හැඟීම්, සිතුවිලි සහ මිනිස්සුන්ගේ සංකීර්ණ ස්වභාවයන් පිටකරන්න මට හම්බවුණු හොඳම මාධ්‍යය තමයි අකුරු. ඒ අකුරුත් එක්ක ජීවත්වෙද්දී, ඒවායින් අලුත් ලෝක මවද්දී දැනෙන නිදහස සහ සතුට තමයි කාලයත් එක්ක මේ “ලිවීමේ උන්මාදය” බවට පත්වුණේ. හැබැයි, මේක කියන්නම ඕන. මම අවුරුදු 30ක් යනකන් ආසවට කතාවක් හෝ කවියක් ලියපු කෙනෙක් නෙවෙයි.
ඔබ ලියූ අලුත්ම නවකතාව තමයි ”ටීචර්” කියන්නේ. මේ දවස්වල කෘතියට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. කෘතිය ලියන්න පසුබිම මොකක්ද? ලැබෙන ප්‍රතිචාර කොහොමද?
”ටීචර්” නවකතාවට පසුබිම වෙන්නේ අපේ සමාජය ඇතුළේ අපි දකින, හැබැයි ගැඹුරින් කතා කරන්න අදිමදි කරන මානව සබඳතා සහ ගුරු-ශිෂ්‍ය භූමිකාවන් ඇතුළේ තියෙන සංකීර්ණ මනෝවිද්‍යාත්මක තත්ත්වයන්. අපේ අධ්‍යාපන ක්‍රමය හෝ සමාජ රාමුව ඇතුළේ මිනිස්සුන්ගේ හැඟීම් යටපත් කරලා තියෙන විදිය මම නිරීක්ෂණය කළා. මට වුවමනා වුණා ඒ සාම්ප්‍රදායික රාමුවෙන් එහාට ගිය, මිනිස් මනසේ ඇතුළාන්තය ස්පර්ශ කරන කතාවක් ලියන්න. ලැබෙන ප්‍රතිචාර ගැන නම් තියෙන්නේ පුදුමාකාර සතුටක්. පාඨකයෝ කතාව කියවලා ලියන දිගු විචාර, පණිවිඩ දකිද්දී තේරෙනවා කතාව ඔවුන්ගේ හදවතටම දැනිලා තියෙනවා කියලා. සමහරු කියනවා මේක කියවද්දී තමන්ගේම ජීවිතයේ යම් යම් මතකයන් අවදි වුණා කියලා. ලේඛකයෙකුට ලැබෙන ලොකුම තෘප්තිය ඒකයි. කෙටියෙන්ම කිව්වොත් ටීචර් කියන්නේ මගේ හොදම මිතුරෙකුගේ ජිවිතේ සැබෑම ජිවන අත්දැකීමක්.
ඔබ විවිධ ශානරයන් තුළ ලියන්නට ආශා කරන ලේඛකයෙක්. මේ විවිධ ශානර ගැන මෙතරම් ලියන්න පෙලඹෙන්න හේතුව මොකක්ද?
එකම රාමුවකට කොටුවෙලා ලියන්න මම කවදාවත් කැමති වුණේ නැහැ. ලේඛකයෙක් වුණාම හැමදාම එකම වර්ගයේ කතා, එකම ශෛලියකින් ලියද්දී නිර්මාණශීලිත්වය එකතැන පල්වෙන්න පුළුවන්. මට ඕනෙ මගේ පරිකල්පන ශක්තියේ සීමාවන් උරගා බලන්න. සමාජ විග්රහයන්, ආදරය, අද්භූත හෝ මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක (ර්ථඵරජඩධතධඨඪජචත ඊඩපඪතතඥප) වගේ විවිධ ශානරයන් (ට්ඥදපඥඵ) අත්හදා බලද්දී මට ලැබෙන උත්තේජනය වැඩියි. ඒ වගේම වර්තමාන පාඨකයාත් හරිම බුද්ධිමත්, ඔවුන් එකම දේ කියවන්න කැමති නැහැ. විවිධ රසයන් හොයන පාඨකයාට අලුත් අත්දැකීමක් දීම මගේ වගකීමක් විදියටයි මම දකින්නේ.
“ඩැඩා” කෘතිය හරහා ගෙන එන්නේ වෙනස්ම විදියේ කතා පුවතක් නේද? කෘතිය ගැන කියමු…
ඔව්, “ඩැඩා” කියන්නේ මගේ ලේඛන ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. ඒක සාමාන්‍ය පවුල් පසුබිමක් ඇතුළේ දිවෙන සරල ආදර කතාවක් නෙවෙයි. මවක් අහිමි අලුත උපන් දියණියක් හදා වඩා ගන්න පියෙක් විසින් කරනා අසීමාන්තික කැප කිරීමක් ගැන කියවෙන සුන්දර කතාවක්. අපේ සමාජයේ පීතෘමූලික සංකල්පය ඇතුළේ සැඟවුණු අඳුරු පැතිකඩවල් සහ මිනිසෙකුගේ පෞරුෂය හැඩගැසීමට කුඩා කාලයේ අත්දැකීම් බලපාන විදිය “ඩැඩා” හරහා මම කතා කළා. ඒක කියවලා ඉවර කරද්දී පාඨකයාගේ හිත ඇතුළේ ලොකු කම්පනයක් සහ ප්‍රශ්න වැලක් ඉතුරු කරන්න “ඩැඩාට” පුළුවන් වුණා. අවසාන වශයෙන් ඩැඩා කියන්නේ පිය සෙනහසක අසීමාන්තික ආදරේ..
ඔබේ කෘතිවලට පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?
”පාඨකයා තමයි ලේඛකයෙකුගේ කැඩපත.” ඇත්තටම මට ඉන්නේ හරිම ආදරණීය වගේම ඉතාම විවේචනාත්මක පාඨක පිරිසක්. මගේ අලුත් පොතක් ආපු ගමන් ඒක කියවලා, ඒකේ හොඳ වගේම අඩුපාඩුත් එකලෙස පෙන්වා දෙන පරිණත පාඨකයෝ පිරිසක් මට ඉන්නවා. සමහර පාඨකයෝ මම කතාව ලියද්දී හිතපු නැති පැති පවා ඔවුන්ගේ විග්රහයන් හරහා මතු කරලා පෙන්වනවා. ඒ වගේ සජීවී ප්‍රතිචාර ලැබෙද්දී දැනෙන තෘප්තිය මිල කරන්න බැහැ. ඔවුන්ගේ ඒ ආදරය සහ උනන්දුව තමයි මාව දිගටම ලියන්න දිරිමත් කරන්නේ.
ඔබ සාමාන්‍යයෙන් කෘතියක් ලියන්න පටන් ගන්නේ කොහොමද? ලියන්න කලින් එදිනෙදා ලියන්න යන දේ ගැන සැලසුම් කරනව ද? ලියන කාලෙට ඔබේ හැසිරීම මොනවගේ ද?
කෘතියක් ලියන්න කලින් ඒකේ මූලික තේමාව, චරිත සහ කතාව ගලාගෙන යන රීතිය ගැන මම හිතින් ලොකු සැලසුමක් හදාගන්නවා. හැබැයි මම එදිනෙදා ලියන දේ අකුරටම සැලසුම් කරන “ර්ණමඥප-නතචදදඥප” කෙනෙක් නෙවෙයි. මම කැමතියි චරිතවලට නිදහසේ ගලාගෙන යන්න දෙන්න. සමහර වෙලාවට මම හිතපු නැති පැත්තකට චරිත හැසිරෙන්න ගන්නවා, මම ඒකට ඉඩ දෙනවා. ලියන කාලෙට මම ටිකක් “නිශ්ශබ්ද” කෙනෙක්. මගේම ලෝකෙක, මගේම චරිත එක්ක තමයි මම මනසින් ජීවත් වෙන්නේ. ඒ කාලෙට සාමාන්‍ය ජීවිතේ වැඩවලින් පොඩ්ඩක් ඈත් වෙලා, තනියම ඉන්න, රාත්‍රීයේ ලියන්න මම ප්‍රිය කරනවා. ඒක හරියට භාවනාවක් වගේ වැඩක්.
ඔබ වෘත්තිමය වශයෙන් ලේඛකයෙක්ද? නැත්නම් තෘප්තියට ලියන ලේඛකයෙක්ද?
ලංකාව වගේ රටක වෘත්තිමය වශයෙන් විතරක්ම ලේඛනයෙන් යැපෙන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මම මූලිකවම ලියන්නේ මගේ ආත්ම තෘප්තිය වෙනුවෙන්. මගේ ඇතුළේ තියෙන පීඩනය, සතුට, අදහස් එළියට දාන්න තියෙන හොඳම ක්‍රමය ලිවීමයි. හැබැයි ඒ තෘප්තිය වෙනුවෙන් කරන දේ මම ඉතාම වගකීමෙන් සහ වෘත්තීය මට්ටමකින් කරනවා. පර්යේෂණ කිරීම, භාෂාව හැසිරවීම සහ ග්‍රන්ථකරණයේදී මම උපරිම සාධාරණයක් ඉටු කරනවා. ඒ නිසා මම කියන්නේ මම “ආත්ම තෘප්තිය වෙනුවෙන් වෘත්තීය මට්ටමකින් ලියන” ලේඛකයෙක් කියලා.
ඔබේ නවකතා ලිවීමේ ආඛ්‍යාන රටාව, ආකෘතිය, භාෂාව ඔබටම අනන්‍ය වුණ එකක්. බොහෝ පාඨකයන්ගේ අදහස ඔබ ලියන ශෛලිය සිනමාත්මක ශෛලියක් (ඛ්ඪදඥථචබඪජ ඹපඪබඪදඨ) තිබෙන බව. මේ පිළිබඳ ඔබේ අදහස මොකක්ද?
ඔය අදහස මට ගොඩක් පාඨකයන් සහ විචාරකයන් පවසලා තියෙනවා. මම ඒක දකින්නේ මට ලැබුණු ලොකු ප්‍රශංසාවක් විදියට. මම ලියද්දී මගේ හිත ඇතුළේ ඒ දර්ශනය මුලින්ම මැවෙන්නේ චිත්‍රපටියක් වගේ. කැමරා කෝණ, ආලෝකය, පසුබිම් ශබ්ද පවා මම හිතින් විඳීනවා. මම උත්සාහ කරන්නේ මගේ හිතේ මැවෙන ඒ “දෘශ්‍ය රූපය” (ඍඪඵභචත) ඒ විදියටම අකුරු බවට හරවන්න. දිගු වර්ණනාවලින් තොරව, කෙටි තියුණු දෙබස් සහ වේගවත් සිදුවීම් දාමයන් හරහා පාඨකයාට කතාව කියනවා වෙනුවට, ඔවුන්ට කතාව නරඹනවා වගේ හැඟීමක් දෙන්න මම ආසයි. සිනමාත්මක ශෛලියක් තිබීම නිසා වර්තමාන සිනමාවට සහ දෘශ්‍ය මාධ්‍යයට හුරුවෙච්ච තරුණ පරම්පරාව මගේ පොත්වලට වඩාත් ආකර්ෂණය වෙනවා කියලා මම විශ්වාස කරනවා. ළඟදීම මගේ පොතකින් ටෙලි නාට්‍යක් නිර්මාණය වෙනවා.
මලින්ත විතානගේ
