නිවස සංවාද 2025 ‘වෙස්ට් මීට්ස් ඊස්ට්’ තිරපිටපත් සංවර්ධනාගාරයට ඔබත් එක්වන්න

2025 ‘වෙස්ට් මීට්ස් ඊස්ට්’ තිරපිටපත් සංවර්ධනාගාරයට ඔබත් එක්වන්න

- සම කැඳවුම්කරු සදියා ඛලීඩ්

by Thanushika
April 25, 2024 12:30 am 0 comment

අන්තර්ජාතික ඩකා සිනමා උළෙලට සමගාමීව පවත්වනු ලබන ‘වෙස්ට් මීට්ස් ඊස්ට්’ තිරපිටපත් සංවර්ධනාගාරය (West Meets East Screenplay Lab) 2025 වසර සදහා දකුණු ආසියාතික සිනමාකරුවන්ට අයදුපත් කැදවා ඇත. 2019 වසරේදී ඇරඹි මෙම වැඩසටහන දකුණු ආසියාතික චිත්‍රපටකරුවන් සඳහා සංවර්ධන අවධියේ ඇති තිර රචනා වැඩිදුරටත් අන්තර්ජාතික උපදේශන මණ්ඩලයක අදහස්, උපදෙස් හරහා වැඩිදුරටත් සංවර්ධන කරගැනීමටත්, අන්තර්ජාතික සිනමා කර්මාන්තය හා සම්බන්ධ වෘත්තිකයින් මුණගැසීමටත්, ඔවුන්ගේ අදහස්, උපදෙස් ලබාගැනීමටත්, චිත්‍රපට සංවර්ධන අවධිය සදහා අරමුදල් ලබාගැනීම සදහාත් වන හොඳම අවස්ථාවන්ගෙන් එකකි.

මෙම වැඩසටහන සදහා පසුගිය වසර කිහිපය පුරා ලංකාවේ සිනමාකරුවන් කිහිපදෙනෙක් සහබාගී වූ අතර, තෙවැනි වරට මෙම වසරේදී පවත්වනු ලැබූ වැඩසටහන සඳහා ශ්‍රී ලංකික සිනමා අධ්‍යක්ෂිකා භවනීධා ලෝගනාදන් සහභාගී වූ අතර, ‘කිට්ටු’ නම් ඇගේ ඇනිමේශන් චිත්‍රපට තිර පිටපත සඳහා ඇය එහිදී ඩොලර් දෙදහසක තෙවෙනි ස්ථානය දිනාගැනීමට සමත් විය.

දකුණු ආසියාතික සිනමාකරුවන් සඳහා වන මෙම වැඩහටහන සඳහා ශ්‍රී ලංකාව, බංගලිදේශය, නේපාලය, භූතානය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය සහ මාලදිවයින යන රටවල සිනමාකරුවන්ට www.dhakafilmfestival.org/west-meets-east-screenplay-lab යන වෙබ් අඩවිය හරහා ඇයදුම් කළ හැක.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් වැඩි දුරටත් සාකච්ඡා කිරීම සදහා එහි සම කැඳවුම්කරු සදියා ඛලීඩ් මහත්මිය සමග සූම් ඔස්සේ ඉංග්‍රීසි බසින් පැවති සම්මුඛ සාකච්ඡාවේ සාරාංශ සටහනකි මේ.

2019 වසරින් ඇරැඹි වැඩසටනේ මේ දක්වා පැමිණි ගමන්මඟ සහ එහි ප්‍රධාන මංසලකුණු ගැන කතාකළොත්.

2019 වසරේදී මෙම වැඩසටහන මුලින්ම ආරම්භ කලේ එක්දින වැඩමුළුවක් හැටියටයි. ඩකා අන්තර්ජාතික සිනමා උලෙළ සඳහා ලෝකයේ හැම පැත්තකින්ම සිනමාකරුවන් සහ සිනමාව හා සම්බන්ධ විවිධ වෘත්තිකයින් විශාල ප්‍රමාණයක් සෑම වසරකම සහභාගි වෙනවා. මොවුන්ගේ සිනමාව සම්බන්ධ දැනුම, පළපුරුද්ද සහ අත්දැකීම්, අප රටේ දේශීය සිනමාකරුවන් සමඟ බෙදාගැනීමට වේදිකාවක් සෑදීම තමයි මූලිකම පියවර වුණේ. 2020 වසරේදීත් එවැනිම එක්දින වැඩමුළුවක් පැවත් වූ අතර ඉන් පසුව මෙය හුදු දේශන මාලාවකට සීමා නොකර කලාපීයව ප්‍රයෝජනවත් වන තිර පිටපත් සංවර්ධනාගාරයක් ලෙස හෝ සම-නිශ්පාදන වෙළෙඳපලක් ලෙස වර්ධනය කිරීමට යෝජනා කෙරුණා. පසු ගිය තෙවසර තුළ මෙය ඩකා අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ එක ප්‍රධාන අංගයක් ලෙස වර්ධනය කරගැනීමට හැකි වුණා. 2025 වසර සඳහා මේ වන විට කැඳවා තිබෙනවා.

මේ සදහා සහභාගී වන චිත්‍රපටකරුවන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය විස්තර කළ හැකිද? විශේෂයෙන් යම් ව්‍යාපෘතියක් තෝරාගැනීමේදී ඔබ සලකා බලන නිර්ණායක මොනවාද?

මේ සදහා සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් ජූරි මණ්ඩලයක් තිබෙනවා. ඔවුන් එම වර්ෂය සදහා ඉදිරිපත් වී ඇති තිර පිටපත් සියල්ලම අධීක්ෂණය කර හොඳම තිර පිටපත් 10 තෝරා දෙනු ලබනවා. එම තෝරා ගත් තිරපිටපත් 10යේ අධ්‍යක්ෂකවරුන්ට මෙම සංවර්ධනාගාරය සඳහා ආරාධනා කරනු ලබනවා. එහිදී ඔවුන්ට තව දුරටත් මෙම ජූරි මණ්ඩලයත් සමග ඔවුන්ගේ තිර පිටපත් පිළිබදව සාකච්ඡා කිරීමටත්, අදහස් ලබාගැනීමටත් වැඩිදුරටත් එය සංවර්ධනය කළයුතු ආකාරය පිළිබදව දින තුනක වැඩමුළුවක් සඳහා අවස්ථාව ලැබෙනවා. ජූරි මණ්ඩලය හරහා ලැබෙන අදහස්, යෝජනා වලින් තවදුරටත් සංවර්ධනය කරන ලද ව්‍යාපෘතිය ජූරිමණ්ඩලය ඉදිරියේ කිසියම් නිශ්චිත කාල වේලවක් තුළ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා. මෙහිදී ජූරි මණ්ඩලය විසින් තෝරාගනු ලබන හොඳම තිර පිටපත් තුන සඳහා මුදල් ත්‍යාග හිමිවෙනවා. ඒ සදහා භාවිතා කරන නිර්ණායක ගැන කතා කලොත්, අපි වැඩිපුරම අවධානය යොමු කිරීමට උත්සාහ කරන්නේ, තිර පිටපත රචනා කිරීමේදී පෙන්වා ඇති කුසලතාවයට. මොකද බටහිර චිත්‍රපට උලෙළවල් වලදී අපේ කලාපයේ සිනමා කෘතීන් විනිශ්චය කිරීමට හුරු වී ඇති ඒකාකෘත කෝණයක් තිබෙනවා. බොහෝවිට මෙම කලාපයේ දරිද්‍රතාවය ඉස්මතු වන කතා ආකෘතීන් කෙරෙහි ඔවුන් වැඩි නැඹුරුවක් දක්වනවා. මෙම ඒකාකෘත ආකෘතිය බිදීමට අපට උවමනායි. ඒ සඳහා ජූරිසභිකයින් තේරීමේදි කලාපීයව වැඩි ඉඩක් අපි ලබාදෙනවා. කලාපීය සහ අන්තර්ජාතික කෝණයන් දෙකින්ම තිරපිටපත් දෙස බැලීමට අප උත්සාහ කරනවා. ඒ වගේම චිත්‍රපටියක් නිෂ්පාදනයවීම දක්වා තිරපිටපතේ ඇති වියහැකි භාවය පිළිබදව අපි අවධානය යොමු කරනවා. ඒ නිසා චිත්‍රපට අධ්‍යක්ෂකගේ මෙන්ම නිෂ්පාදකවරයාගේ සිනමා කෘතිය සඳහා ඇති කැපවීම පිළිබදව අපි සලකා බලනවා. උදාහරණයකට ඩොලර් මිලියන 100ක් වැය වෙන තිරපිටපතක් තෝරා නොගැනීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. චිත්‍රපටයක තිර පිටපතක් ලිවීමේදී එය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පිරිවැය පිළිබදව අවබෝධයක් තිබීම ඉතාම වැදගත්.

ඇනිමේශන් තිරපිටපත් සදහා ඔබලා වැඩි අවධානයක් යොමු කරන බවක් පසුගිය වසර කිහිපය දෙස පසුවිපරම් කිරීමේදී පෙනෙන දෙයක්..

ඇනිමේශන් චිත්‍රපට සදහා විශේෂ අවධානයක් තිබුණේ නැහැ. මොකද අප රටේ ඇනිමේශන් වලින් නිෂ්පාදිත කෙටි චිත්‍රපට කිහිපයක් තිබුණත්, ඇනිමේශන් මාධ්‍යයෙන් දීර්ඝ චිත්‍රපටයක් බංග්ලාදේශයේ තවම නිෂ්පාදනය වී නැහැ. 2023 වසරේදී මෙම වැඩසටහනේ ප්‍රථම ස්ථානය දිනාගත් සාරා හොසේන්ගේ චිත්‍රපට තිරපිටපත තමයි අපට අයදුම් කරතිබූ පළමු ඇනිමේශන් තිර පිටපත. ජූරියේ සියලුම දෙනාගේ මේ සඳහා විශේෂ අවධානයක් යොමු වුණා මොකද එම තිරපිටපතේ සහ සාරාගේ චිත්‍ර කටු සටහන් ඉතාම විශිෂ්ට මට්ටමක තිබුණා. එහිදී විශේෂ අවධානය යොමු වුණේ සිනමාවේදියාගේ ඒ සදහා වූ සූදානම සහ කැපවීම. මේ වන විට ඇයට පුළුවන් වෙලා තියෙනවා ඇගේ ව්‍යාපෘතිය සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය සහ නිෂ්පාදකවරු රැස් කරන්න. එය මේ වසරේදී ශ්‍රී ලාංකික අධ්‍යක්ෂකවරියක් වූ භවනීධාගේ ව්‍යාපෘතියේදීත් අපි දැක්කා. බොහෝ දුරට ලබන අවුරුද්දේදී බංගලිදේශයේ පළමු වැනි ඇනිමේශන් දීර්ඝ චිත්‍රපටය දැකගැනීමට අවස්ථාව ලැබෙයි.

මෙවැනි වැඩසටහනක් සදහා අයදුම්පතක් ඉදිරිපත් කරන විට නිවැරැදිව ලොග් ලයින් එකක්, චිත්‍රපට සාරාංශයක්, අධ්‍යක්ෂකවරයාගේ චේතනාව සහ චිත්‍රපටය ගොඩනගන ආකාරය පැහැදිලිව, නිශ්චිත වචන ප්‍රමාණයකට යටත්ව ලියන්නේ කෙසේදැයි දැනගැනීම අත්‍යාවශ්‍ය කාරණයක්. ඔබට මෙම අංගයන් පිළිබඳව කෙටියෙන් විස්තර කළ හැකිද?

ලෝකයේ ඕනෑම තැනක පවත්වන මෙවැනි වැඩසටහනකට තෝරාගැනීමේ මූලිකම කාරණය වන්නේ මෙම ප්‍රධාන අංගයන් නිවැරැදිව, පැහැදිලිව ලියා තිබෙනවාද යන්නයි. ලොග් ලයින් එකක් බොහෝවිට කෙටි පේළි එකකට හෝ දෙකකට සීමාවෙනවා. මෙහිදී චිත්‍රපටයේ කතා සාරය අවධාරණය කෙරෙනවා. චිත්‍රපටයේ කතා සාරය පැහැදිලිව එක් වාක්‍යයකින් කීමට නොහැකි නම් ඒ කියන්නේ ඔබ තවම ඔබගේ චිත්‍රපටය එක් කතා තේමාවකට ගොනු කරගෙන නැහැ. චිත්‍රපට සාරාංශයේදී චිතපටයේ කතාව පිළිබද සාරාංශයක් ද, චිත්‍රපටය රූපමය භාෂාව තුළ ගොඩනඟන ආකාරය පිළිබඳව නැතිනම් චිත්‍රපට තිරය මත ඔබගේ කතාව පෙනෙන ආකාරය පිළිබඳව රූපමය පැහැදිලි කිරීමක්ද කලයුතු වෙනවා. මේ සදහා ඔබ රූපමය ලෙස ඔබගේ චිත්‍රපටය ඔබගේ මනසින් දැක තිබීම වැදගත්. ඒ වගේ අධ්‍යක්ෂකවරයාගේ චේතනාවේදී පැහැදිලි කලයුතු වන්නේ ඇයි මෙම කතාව ඔබ විසින්ම කිව යුතු වන්නේ කියන එක අවධාරණය කිරීමයි සහ මේ මොහොතේ එය කීම වැදගත් ඇයි යන්න පිළිබඳව නිවැරදිව අවධාරණය කළ යුතුයි. මෙම කරුණු පැහැදිලිව දක්වා ඇති තිරපිටපත් අතරින් නිර්දේශ කළ චිත්‍රපට 10 අප විසින් දැනුම් දුන් පසු, ජනවාරි මාසයේදී පැවැත්වන මෙම වැඩසටහනට කලින්, එම සිනමාකරුවන්ට මාස දෙකක කාලයක් තුළ ඔවුන්ගේ තිර පිටපත තවදුරටත් ලියා අවසන් කිරීමටත් පිරිපහදු කිරීමටත් කාලය හිමිවෙනවා.

මීට පෙර ඔබ සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔබ කියා සිටියා ලන්කාවෙන් පැමිණෙන අයදුම්පත් වල විශාල වැඩිවීමක් පසුගිය වසර තුන තුළ දකින්නට ලැබුණු බව. ඒ අතරින් සිනමාකරුවන් කිහිපදෙනෙක් පසුගිය වසර කිහිපය තුළ මෙම වැඩසටහනට සහභාගි වීමට මෙන්ම අරමුදල් ත්‍යාග හිමි කරගැනීමටත් සමත් වුණා. ලංකාවේ තිරපිටපත්වල වැඩි දියුණු කරගත යුතු කාරණා ලෙස ඔබ දකින්නේ මොනවාද?

අවුරුදු පතා අපිට ලැබෙමින් පවතින අයදුම්පත් ප්‍රමාණය ඉහළ යනවා. ඒ අතරින් ලංකාවෙන් පැමිණෙන අයැදුම් පත් ප්‍රමාණයත් ඉහළ යනවා. ලංකාවෙන් ඉදිරිපත් වන අයදුම්කරුවන් ඉහළ හැකියාවන් පෙන්නුම් කරනවා. ඔවුන් ලෝකයේ ඇති මෙවැනි තවත් බොහෝ වැඩසටහන් සඳහා සහභාගී වූ අය. උදාහරණයකට බර්ලින් ටැලන්ට්ස්, ඒශියන් ෆිල්ම් ස්කූල් වැනි. ඔවුන් තමන්ගේ සිනමා කෘතිය වෙනුවෙන් කැපවන බව ස්ථීරයි. එම පිටපත්වල වැඩිදියුණු විය යුතු අංග පිළිබඳව කතා කළොත්, උදාහරණයකට, භවනීධාට මීට වඩා ඇනිමේශන් සම්බන්ධයෙන් පෙර අත්දැකීම් තිබුණා නම් හොදයි සහ ඇය ඇගේ චිත්‍රපටය අවසන් කිරීමට බලාපොරොත්තු වන්නේ 2029. එය දීර්ඝ කාලයක්. ඒ පිළිබඳව ජූරිය තුළ වාද විවාද ඇති වුණා. ඇයට පුළුවන් වුණානම් මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඇයට මීට වඩා හොඳ ස්ථානයක් දිනා ගැනීමට හැකියාව තිබුණා. කෙසේ වුවත් ලංකාවෙන් ලැබෙන තිර පිටපත් ඉතාම හොද මට්ටමේ තිබෙනවා.

මෙම වැඩසටහනේ ත්‍යාගලාභීන්ගේ ව්‍යාපෘති වල ප්‍රගතිය තක්සේරු කිරීමක් සිදුවනවාද? එම චිත්‍රපටි නිම කිරීම සදහා වැඩිදුරටත් පහසුකම් සපයනවාද?

සෑම වසරකම නිර්දේශ වන සිනමාකරුවන් 10 දෙනා ඇතුළත් වන පරිදි සංගමයක් අපි මේ වනවිට පටන්ගෙන තිබෙනවා. ඒ හරහා දැනටමත් පෙර වසරවල සහභාගී වූ සිනමාකරුවන් සමග සම්බන්ධ වී සිටිනවා, වගේම හැම චිත්‍රපටියකම ප්‍රගතිය පරීක්ෂා කරනවා. ඔවුන් එම ව්‍යාපෘති අවසන් කිරීමට කිසිදු ගිවිසුමකට යටත් නැහැ, නමුත් අපි ඒවායේ ප්‍රගතිය පරීක්ෂා කරමින් ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මේ අතර දැනටත් නිෂ්පාදන වැඩ අවසන් චිත්‍රපට, දැනටමත් නිෂ්පාදනය වෙමින් පවතින චිත්‍රපට සහ මේ වන විට අන්තර්ජාතික චිත්‍රපට උළෙලවල් නියෝජනය කිරීම ආරම්භ කර ඇති චිත්‍රපට තිබෙනවා.

ඒ වගේම තවත සිනමා උලෙළක් සමඟ පසු-නිෂ්පාදන වැඩසටහනක් සඳහා ගිවිසුම්ගත වීමට මේ වන විට අප සාකච්ඡා පවත්වමින් සිටිනවා. එමඟින් තවත් පියවරක් ඉදිරියට යෑමට අප බලාපොරොත්තු වෙනවා.

කලාපීය වශයෙන් චිත්‍රපට නිෂ්පාදනයේදී අප මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් වන්නේ ඒ සඳහා වන අරමුදල් සොයා ගැනීම. මෙම වැඩසටහන සංවිධානය සහ කළමනාකරණය කිරීමේදී ඔබ මුහුණ දුන් ප්‍රධාන අභියෝග සහ ඔබ ඒවාට මුහුණ දුන් ආකාරය කතා කළොත් අරමුදල් සම්පාදනය සම්බන්ධයෙන් කලාපීය වශයෙන් ඉතාම අර්බුදකාරී තත්වයක් තිබෙනවා. මෙම වැඩ සටහන සදහා අරමුදල් සම්පාදනය වන්නේ ඩකා අන්තර්ජාතික සිනමා උලෙළ හරහා වන අතර වාර්ෂිකව මෙය පවත්වාගෙන යාමට සහ අරමුදල් රැස් කිරීමට උළෙලේ සංවිධායක කමිටුව ඉතා විශාල පරිශ්‍රමයක් දරනවා. මෙම වැඩසටහන සඳහා සහභාගී වන සිනමාකරුවන්ගෙන අප කිසිම අය කිරීමක් කරන්නේ නැහැ. නමුත් යුරෝපයේ පවත්වනු ලබන මෙවැනිම වැඩමුළු සදහා විශාල මුදලක් සහභාගිවන්නන්ගෙන් අයකරනු ලබනවා. දින හතරක් පුරා පැවැත්වෙන මෙම වැඩමුළුව සදහා නිශ්චිත ස්ථානයක් සොයා ගැනීම තරමක අභියෝගයක්. ඩකා කියන්නේ අධික වාහන තදබදයක් ඇති නගරයක්. දින හතර පුරා ස්ථාන කිහිපයක යාමට සිදුවීමෙන් අහිමි වන කාලය අපරාදයක්. වාහන තදබදයෙන් ගැලවීමට නිශ්චිත තනක් යොදාගනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා.

2025 වසරේ වෙස්ට් මීට්ස් ඊස්ට් තිරපිටපත් සංවර්ධනාගාරය සදහා අයදුම්පත් කැදවීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබදව කතා කළොත්

ඔව්, මේ වන විට අයැදුම්පත් බාරගැනීම ආරම්භ කර තිබෙනවා සහ තවත් මාස තුනක කාලයක් ඒ සදහා ඉතිරිව තිබෙනවා. අයදුම් එවීමේ අවසාන දිනය ජූනි 30 වෙනිදායි. මෙම අවස්ථාවෙදී අපි බලාපොරොත්තු වෙන්නේ උපරිම වචන 50 සීමා වූ ලොග් ලයින් එක, උපරිම වචන 400 සීමා වූ චිත්‍රපට සාරාංශය, උපරිම වචන 400 සීමා වූ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශය, උපරිම වච 2000 සීමා වූ චිත්‍රපටය සාදන ආකාරය සහ අධ්‍යක්ෂකවරයාගේ ජීව දත්ත විස්තරය. කෙටි ලැයිස්තුගත වූ අධ්‍යක්ෂකවරුන් නිවේදනය කළ පසු ඔවුන්ට මාස දෙකක පමණ කාලයක් හිමිවෙනවා ඔවුන්ගේ තිර පිටපතේ පළමු සටහන අවසන් කිරීමට මෙම වැඩටහනට පෙර. www.dhakafilmfestival.org/west-meets-east-screenplay-lab  යන වෙබ් අඩවිය හරහා ඇයැදුම් කළ හැක.

 

[email protected]

අනුරාධා කෝදාගොඩ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT