නිවස සංවාද තාත්තා මං රඟපානවට කැමැති වුණේ නැහැ

තාත්තා මං රඟපානවට කැමැති වුණේ නැහැ

- ප්නප්‍රිය ගායනවේදිනී සධානා රණතුංග

by Thanushika
April 18, 2024 12:30 am 0 comment

ඇය මෙරට කීර්තිමත් සංගීත පරපුරවල් වලට නෑකම් ඇති ගායන ශිල්පිනියකි. සන්දනායක පවුලට අයත් පරම්පරාවේ අයකු වන ඈ ජ්‍යෙෂ්ඨ ගායන වේදිනී වසන්තා සන්දනායක මහත්මියගේ මිනිබිරියයි. එපමණක් නොව කීර්තිමත් ජෝතිමත් සංගීලොව බැබළ වූ ඒ සුමියුරු ගායන වේදියා ලෙස අදටත් ජනප්‍රියත්වයේ කිසිදු අඩුවක් නැති හෙට්ටිආරච්චිලාගේ රෙජිනෝල්ඩ් හෙවත් එච්. ආර්.ජෝතිපාලයන් ප්‍රථමයෙන් ගායන ක්ෂේත්‍රයට ගෙන එනු ලැබුවේද ශ්‍රේෂ්ඨ ගායනවේදී වසන්තා සදනායක මහත්මිය විසින්ම වීමද සුවිශේෂී වන්නීය.ඒ සන්දනායක පරම්පරාවෙන් පැවැත එන ඇය සිය සැමියාගේ පාර්ශ්වයෙන් ගත් කළ ලාංකික සංගීතයේ තවත් ප්‍රතාපවත් චරිතයක් වන ජ්‍යෙෂ්ඨ ගායනවේදී සංගීත අධ්‍යක්ෂ ආචාර්ය දයාරත්න රණතුංග හා නැසී ගිය ගායනවේදීනී විශ්වවිද්‍යාල කථිකාචාර්ය සංගීත මහාචාර්ය අමරා රණතුංගයන්ගේ ලේළියයි.ඔවුන් දෙපළගේ දෙවැනි පුත් නන්දික රණතුංගගේ ආදරණීය බිරිඳයි.ඇය නමින් ජනපි‍්‍රය ගායන ශිල්පිනී සංගීත් නිපුන් සධානා රණතුංග යි. ඇය අද අපේ කතාබහට එකතු වූයේ මෙසේය.

.මුලින්ම කියමු ඔබ සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?.

මට වයස හය හත (6/7) කාලයේදී තමයි සංගීතයට සම්බන්ධ වුණේ. මොකද මම කලා පරම්පරාවකින් තමයි බිහිවුණේ. ජනප්‍රිය ගායනවේදිනියක වන කලාශූරි වසන්තා සන්ධනායක මහත්මියගේ මිනිබිරිය. ඒවගේම ජ්‍යෙෂ්ඨ චිත්‍රපට රංගන ශිල්පීයෙක් හා චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක් වන කලා ශූරී ශාන්ති අබේසේකර මගේ පියා ජනප්‍රිය ගායන ශිල්පිනී දයා හේමන්තා අබේසේකර මගේ මවයි. කලා භූෂණ සරත් සන්ධනායක මගේ ලොකු මාමා ගාමිණි සන්දනායක මගේ පොඩි මාමා තවත් අය ඉන්නවා. ඒ තමයි මගේ ලොකු අම්මා ආචාර්ය සුජාතා අත්තනායක (ප්‍රවීණ ජනප්‍රිය ගායන වේදිනී.) රංජනී පෙරේරා ප්‍රවීණ ජනප්‍රිය ගායනවේදනී සහ සුසිල් පෙරේරා (ප්‍රවීණ ඩ්‍රම්ස්වාදන ශිල්පී), සිසිර සන්දනායක යන මගේ නැන්දාලා හා මාමලා ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායන ශිල්පිනී සුප්‍රියා අබේසේකර කියන්නේ මගේ අක්කා.

මේ තරම් විශාල පවුල් පසුබිම ඔබේ කලා ජීවිතයට ශක්තියක් වුණේ කොහොමද ?.

ඇත්තටම මගේ ඒ කලා පරම්පරාව හා මගේ සහජ හැකියාවත් නිසා තමයි මගේ කලා ජීවිතයට මහත් ශක්තියක් වුණේ. එනිසා කලා ක්ෂේත්‍රයේ මගේ මේ ගමන එන්න පහසු වුණා කිව්වොත් හරි

මුලින්ම ඔබ ගීත ගායනා කළේ ප්‍රසංග වේදිකාවේ ද?.

මම මුලින්ම අම්මා සමඟ ගීතයක් ගායනා කළා. සුජාතා ලොකු අම්මාගේ ළමා පිටියේ ගීතයක් ගායනා කළා අතුල සෝමසිරි මාමා නාලනී රණසිංහ නැන්දගේ, සරත් විමලවීර, ඩී.ඩී ඩැනී මහතුන්ගේ ළමා පිටිය වැඩසටහන් වලත් මම ගීත ගණනාවක්ම ගායනා කළා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියේ ගීත ගායනා කළේ ළමා ගායිකාවක් හැටියට. පසු කාලයක මම ප්‍රසංග වේදිකාවෙත් ප්‍රසංග ගණනාවකම ගීත ගායනා කළා. දැනටත් මට ආරාධනා ලැබෙන අයුරින් මම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනයට එක්වෙනවා.

සධානා මේ වෙනකොට ඔබේම කියලා ස්වතන්ත්‍ර ගීත කීයක් විතර ගායනා කරලා තියෙනවාද?.

ගීත එකසිය පනහක් (150) පමණ ගායනා කරලා තියෙනවා. නමුත් ඒවා ජනප්‍රිය කරගන්න ටිකක් අමාරුයි. ඒකට හේතුව තමයි මම ගීත ගායනා කරන්න ප්‍රසංග වලට ගියාම මගෙන් ඉල්ලන්නේ මගේ ආච්චි අම්මා, මගේ අම්මා සහ ලොකු අම්මාගේ ගීත ඉතින් ඒ හේතුව නිසා මගේම අර ගීත ටික පස්සට යනවා. නමුත් මගේම ගීතත් මං ඒ අවස්ථාවල ගායනා කරනවා. ඒ වගේම හින්දි ගීත හා දෙමළ ගීතත් මම විවිධ වැඩසටහන් වල හා ප්‍රසංග වලදිත් ගායනා කරනවා. මුල් කාලයේ හින්දි ගීත දැන් නම් වැඩිපුරම සිංහල ගීත ඒ අතර හින්දි ගීතත් ගායනා කරනවා.

ඔබේ පියා මේ රටේ ජනප්‍රිය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තාත්තා වගේ සධානටත් රඟපාන්න හිතුණෙ නැද්ද?.

ඇත්තටම රඟපාන්නත් මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා. ඒ වගේම චිත්‍රපට වල රඟපාන්න ආරාධනාවල් පවා ලැබුණා නමුත් තාත්තා කැමති වුණේ නැ මම රඟපානවාට ඒ නිසා ඒක කෙරුණේ නැ.

සධානා ගායනයට එනකොට ආච්චි අම්මාගෙන් ලැබුණු ප්‍රතිචාර ඒ වගේම ආච්චි අම්මාට ඔබ ගැන තිබූ බලාපොරොත්තු මොනවාද?

ආච්චි අම්මාගෙන් ලැබුණු ප්‍රතිචාරය තමයි මම කුඩා කාලේ ගීත ගායනා කරනවා දැකලා ඇය ගොඩාක්ම සතුටු වුණා. ඒ වගේම ඇයගේ හිතේ තිබ්බ ලොකුම බලාපොරොත්තුව තමා මම ගායන ක්ෂේත්‍රයේ ඉහළටම යනවා දකින්න අද වන විට මම ඒක ඉෂ්ට කරලා තියෙන්නේ සංගීත අධ්‍යාපනයත් හොඳට හදාරලා මම ක්ෂේත්‍රයේ හොඳ තැනකට අද වන විට ඇවිල්ලා තියෙනවා. ඇය අද ජීවතුන් අතර හිටියා නම් ගොඩක් සතුටු වෙනවා තව දෙයක් තමයි මගේ ආච්චි අම්මා මට කුඩා කාලයේ සිටම විශේෂ ආදරයක් තිබුණා. ඇය නිතරම මාව පන්සල් එක්කන් යනවා. සමහර වෙලාවල්වල ප්‍රසංගවලටත් ගිහින් ඇවිල්ලා මාව කොහේ හරි එක්කන් යනවා. එහෙම ගිහින් මට තෑගි අරන් දෙනවා. ඒ වගේම මගේ අම්මයි, තාත්තයි චිත්‍රපටවල රූගත කිරීම් හා පටිගත කිරීම්වලට යනකොට මාව ආච්චි අම්මා එක්ක තමා වැඩිපුර තියලා යන්නේ ඉතින් ඒ නිසා ආච්චි අම්මා මට විශේෂත්වයක් තිබුණා. කුඩා කල මම ආච්චි අම්මා සමග ගත කරපු කාලය හරිම සුන්දරයි. අදටත් මට මතක් වෙද්දි….

මං දන්නා විදිහට ඔබේ කලා පරම්පරාව තමයි ලංකාවේ විශාලම කලා පරම්පරාව සධානා ඒ පරම්පරාවේ ගීත ඉදිරියට ගෙනියනවද?

මේ වගේ පරම්පරාවකට හිමිකම් කීමට ලැබීම ගැන ඇත්තටම මම ගොඩක් වාසනාවන්තයි. ඉතින් මගේ පරම්පරාව මං ඉදිරියට ගෙන යනවා. ඒ වගේම මගේ සැමියා දරුවොත් ගීත ගායනා කරනවා. මගේ මේ පරම්පරාවේ ගීතත් ඔහුගේ (සැමියාගේ) පවුලේ ගීතත් යුග ගීතත් අපි දෙදෙනාම එක්ව ගායනා කරනවා.

සධානා සංගීතය කොතරම් දුරට ඉගෙන ගෙන තියෙනවාද?.

මම සංගීත් විශාරද සහ සංගීත් නිපුන් උපාධිය දක්වා ඉගෙන ගෙන තියෙනවා.

ඔබ සංගීත ගුරුවරියක් ලෙසත් සේවය කළා නේද?

ඔව් මම ඇමරිකාවේ ගණිත ගුරුවරියක් ලෙස සේවය කළා. කොළඹ රාජකීය විදුහලේ ප්‍රාථමික අං‍ශයේ සංගීත ගුරුවරියක් හැටියට වසර දහයක්(10) වැඩ කළා.

ඇයි ඔබ රාජකීය විදුහලේ සංගීත උගන්වමින් සිටියදී ගුරු සේවයෙන් ඉවත් වුණේ ඇයි?

මගේ පෞද්ගලික වැඩ නිසා මම ඒකෙන් ඉවත් වුණා.(මගේ කලා වැඩ සහ අනෙකුත් වැඩ නිසා කාර්ය බහුල වුණ නිසා එයින් ඉවත් වෙන්න සිදු වුණා.)

දැනට ඔබ පෞද්ගලික පන්ති පවත්වනවාද,ඒ කොහේද,?

වර්තමානයේ මම පෞද්ගලික පන්ති පවත්වනවා. සංගීත විශාරද උපාධිය සහ කටහඬ පුහුණුවත් සමග තව මානසික සුව සහනය සඳහාත් සංගීත පන්තියක් කරගෙන යනවා. ගෙදර(නාවල සහ තලවතුගොඩ පිහිටි නිවාස) කුඩා ළමයින් හා වැඩිහිටියන් වෙනුවෙනුත් ඒ පන්ති පැවැත්වෙනවා. ඔන්ලයින් (මාර්ග ගත ක්‍රමයට) ක්‍රමයටත් මම පංති පවත්වනවා.

ඔබට සංගීතය උගන්වපු ගුරුවරුන් ගැනත් මතක් කරමු?

1.ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න ගුරු පියාණන්

2.සංගීත් නිපුන් ආචාර්ය පී. වී.නන්දසිරි ගුරුපියාණන්

3.මහාචාර්ය අමරා රණතුංගයන්

4.ආචාර්ය පණ්ඩිත් ශාන්ති ගීත දේවයන්

5.ආචාර්ය සඳුන් පතිරණයන්.

ඔබගේ සංගීත ජීවිතයේ සිදුවුණු විශේෂ අවස්ථාවන් එහෙමත් තියෙනවාද ?

තියෙනවා. ඇත්තටම මට වයස අවුරුදු දහසයේ දී (16) විතර ඒ කියන්නේ පාසල් අවධියේදී මගේ අම්මට ප්‍රවීණ ගායනවේදී මිල්ටන් පෙරේරා සමග යුග ගීත හතරක් (04) ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඉතින් අම්මා මට ඒ අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඒක මට මගේ ජීවිතයට විශේෂ අවස්ථාවක් වුණා. ඒක මට අමතක වෙන්නේ නැ. එදා මං ගායනා කරපු ගීත හතරම (04) ගොඩාක් ජනප්‍රිය වුණා. ඊට පස්සේ ජනප්‍රිය ගායන ශිල්පී පුන්සිරි සොයිසා මහතාගේ කැසට් පටයක් වෙනුවෙන් මං තවත් ගීත දෙකක්(2) ගායනා කළා. ඒ ගීතත් ගොඩාක් ජනප්‍රිය වුණා ඒකේ,

1. රෑ කාලේ සීත යාමේ

2.මල් වැහි සීතල මල් වැස්සේ

එදා අමරණීය ගායනවේදී මිල්ටන් පෙරේරා මහතා එක්ක ඔබ ගැයූ ඒ ජනප්‍රිය වුණු ගීත මතකද?.

ඔව් මිල්ටන් අන්කල් සමඟ

1.බැඳුනේදෝ

2.හීන් බණ්ඩාගේ මැණිකේ

3.ළංවෙන්නම්

සධානා ඒ කාලේ සංගීත කලාවට අමතරව මොනවා වගේ පැති වලටද කැමැත්තක් තිබුණේ?

ඇත්තටම සංගීත කලාව ඇරුණු කොට මගේ තිබුණු බලාපොරොත්තුව තමයි නර්තනය පැත්ත ඊළඟට නීතිඥවරියක් වීමටත් හිතන් හිටියා නමුත් පස්සේ මං සංගීත විෂය තෝර ගත්තා.

ඔබ සී.ඩී (ඛ්.ච්.) හා කැසට් පට වලටත් ගීත ගායනා කරලා තියෙනවාද,කැසට් හා සී.ඩී (ඛ්.ච්.) පට කීයකට වගේ ගීත ගායනා කළාද?

මගේ ආච්චි අම්මා කලාශූරී වසන්තා සන්දනායක මහත්මිය, ඒ වගේම මාමා ශ්‍රේෂ්ඨ ගායනවේදී කලා භූෂණ සරත් සන්දනායක මහතා ඊළඟට මගේ අම්මා සමඟින් දයා හේමන්තා අබේසේකර මහත්මිය) මගේම ගීතත් ඒ වගේම පරම්පරාවේ ගීතද ඇතුළත්ව

කල්‍යාණී ගංගා රාජීනී, නොකියාම එදා ඇසළ මහේ, කැසට්පට වලටත්

*.රඟන නැගුම්

*.බුදු දහමේ දැක්මට

සී.ඩී. (ඛ්.ච්) තැටි වලට මිල්ටන් පෙරේරා සමඟින් සිකුරුලියා සහ සාරවිට කියන කැසට්පට වලටත් එතුමන් සමඟ ගායනා කරපු ඒ ගීත ගොඩාක් ජනප්‍රිය වුණා. එතකොට මට වයස අවුරුදු දාසයත් (16) ඒ අවස්ථාව ගැන මම නැවතත් මතක් කරනවා චිත්‍රපට පසුබිම් ගායන ශිල්පිනී දයා හේමන්තා අබේසේකර මගේ අම්මා තමා ඒ අවස්ථාව මට ලබා දුන්නේ. පසු කලක මම ඉන්දියාවට ගිහින් සංගීත් නිපුන් උපාධිය සම්පූර්ණ කළා. ඒ වගේම මගේ ආච්චි අම්මා සමඟින් ගැයූ සුදු මල් නෙළාලා ගීතයත් පසු කාලෙක මගේ අම්මාත් සමඟ මං ඒ ගීතය ගායනා කළා.

අපිට සධානාගේ පෞද්ගලික ජීවිතය ගැනත් කියමු.?

ඔව්. මම විවාහ වුණේ ජනප්‍රිය ප්‍රවීණ කලා පවුලකට සම්බන්ධ අයෙක් සමඟ මහාචාර්ය දයාරත්න රණතුංග මහාචාර්ය අමරා රණතුංග යන කලාකරුවන්ගේ දෙවැනි පුත් නන්දික ශාරද රණතුංග සමඟ ඔහුත් එක්ක එකතු වීම මගේ ජීවිතයේ තවත් පිටුවක් පෙරළුනා. විවාහයෙන් පසුව මං නැවතත් සංගීතය හදාරන්න පටන් ගත්තා. මගේ මේ සංගීත ගමනට තවත් ලොකු ශක්තියක් ලැබුණා පස්සේ මට පුතාලාම දෙන්නෙක් ලැබුණා. ඔවුන් දෙදෙනාත් සංගීත කලාවට ගොඩක් දක්ෂයි.ගායනය, රංගනය, වාදනය යන පැතිවලින් ලොකු පුතා ඕෂාද් රණතුංග දෙවැනි පුතා ශෂික රණතුංග ඔවුන් දෙදෙනාම සංගීත ක්ෂේත්‍රයේ මේ වන විට නියැළෙමින් සිටිනවා. ගීත ගායනා කරනවා. සීයගේ ගීතත් ගායනා කරමින් ඉදිරියට ගෙන යනවා. ඒ වගේම මගේ සැමියා නන්දික රණතුංග ඔහුගේ පියාගේ (මහාචාර්ය දයාරත්න රණතුංග) ගීත දැනට ගායනා කරමින් ඉදිරියට ගෙන යනවා.

ඔබ තනියම ප්‍රසංගයක් සංවිධානය කරන්න යනවා කියලා ආරංචි වුණා ඒක ඇත්තද?

ඔව් මගේ පවුලේ සියලු දෙනාම එකට එකතු කරගෙන මගේම සංවිධාන ශක්තියෙන් මට තියෙන සම්බන්ධතාත් එක්ක සාර්ථක සුන්දර ප්‍රසංගයක් පවත්වන්නටත් දැනට වැඩ කටයුතු කරගෙන යනවා.

මීට පෙරත් සධානා තනියම ප්‍රසංගයක් කළා නේද?.

ඔව් දෙදහස් එකොළහ (2011) වසරේදී තමා කළේ එය තමා මගේ මුල්ම ප්‍රසංගය.එය ඉතාම සාර්ථක ප්‍රසංගයක් වුණා. මං හිතන්නේ ලංකාවේ මෙතෙක් ඒ වගේ විශේෂිත වූ ප්‍රසංගයක් කෙරුණෙ නැ එම නිසා විශේෂ ප්‍රසංගයක් ලෙස ඒ ප්‍රසංගය හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව තමයි මොකද මගේ පවුලේ පරම්පරා හතරක (4) පිරිස එහිදී ගීත ගායනා කිරීම.ප්‍රථම ප්‍රසංගයේදීම මගේ ලොකු මාමා, සහෝදරියන්, මගේ දරුවන් මගේ බැඳිච්ච පවුල ඒ තාත්තා සමග යන ඒ හැමෝගෙම වගේ ගීත මම ගායනා කළා. මගේ සැමි‍යත් සමඟ ඔහුගේ දෙමව්‍පියන්ගේද ගීත ගායනා කළා.ඒ ගැන මට හරිම සතුටුයි. මම ගොඩක් වාසනාවන්තයි. මම බැදිච්ච ඒ පවුල සංගීත පවුලක් වීම ඒ මගේ භාග්‍යයක් කොට සලකනවා. ඉතින් මම ඒ හැම දෙයක් එක්කම හොඳ ජනප්‍රියත්වයක් ඇතුව අද දක්වාම මගේ පවුලත් රැකගෙන ඉන්න එක ගැන මම ගොඩාක් ආඩම්බර වෙනවා.

ඔබට ගායනය වෙනුවෙන් සම්මාන එහෙමත් ලැබිලා තියෙනවාද?

ඔව් මට ගායනය වෙනුවෙන් සම්මාන රැසක් ලැබිලා තියෙනවා.

1.ගෞරව දේශාභිමානී, දේශ ගෞරව කලා කීර්ති

2.දේශමාන්‍ය ජනරංජන කලා කීර්ති

එතකොට කවද්ද කොහේදී ද ඔබේ අලුත් ප්‍රසංගය අපිට දැක ගන්න ලැබෙන්නේ?

මම ඒක ගැන ළඟදීම දැනුම් දෙන්නම්.

ඔයාගේ පරම්පරාවල ගීත දැන් වෙනත් අය කියනවා නේද?.

ඇත්තටම අපේ පරම්පරාවේ ගීත මෑතක ඉදලා සමහර අය ගායනා කරනවා. විශේෂයෙන් මගේ සැමියා වන නන්දිත් රණතුංගගේ දෙමාපියන් වන මහාචාර්ය දයාරත්න රණතුංග හා මහාචාර්ය අමරා රණතුංගයන්ගේ ගීතත් සමහර අය කිසිදු අවසරයකින් තොරව විද්‍යුත් මාධ්‍ය වල සහ ප්‍රසංග වේදිකාවල ගායනා කරලා මුදල් උපයනවා. නමුත් මගේ සැමියා කියන්නේ ඒ ගීත එහෙම ගායනා කරන අයට පැවැත්මක් නැහැ කියන එක. මොකද එයාලට කියලා තමන්ගෙම ගීත නැති නිසා අනුන්ගේ ජනප්‍රිය ගීත ගායනා කරලා ඔවුන් ප්‍රසිද්ධ වෙන්න බලනවා. ඉතින් අපිට කනගාටුයි ඒ උදවිය ගැන මේ වෙනුවෙන් මගේ සැමියා වන (විශාරද නන්දිත් රණතුංග) ඊට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නවා.

 

[email protected]

 

හේමන්ත බණ්ඩාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT