නිවස සංවාද මෙය මිනිසාට සිදුවන අයුක්තියකදී නීතියේ පිළිසරණ ගැන කියැවෙන පොතක්

මෙය මිනිසාට සිදුවන අයුක්තියකදී නීතියේ පිළිසරණ ගැන කියැවෙන පොතක්

-ලේඛිකා/නීතිඥ ප්‍රිියාශා රන්වල

by Thanushika
May 2, 2024 12:35 am 0 comment

පෝල් යුක්තිය හඹා ගිය මිනිසා නමින් පාඨකයන් අතට පත් වන සුවිශේෂ පරිවර්තන ග්‍රන්ථය පිළිබඳ සෙවීම වැදගත් වන්නේ හේතු කීපයක් නිසාය.

ස්කොට් ජාතික ලේඛක වෛද්‍ය ඒ. ජේ. ක්‍රෝනින් රචනා කළBeyond this place නවකතාව සිංහල බසට පරිවර්තනය කරන්නේ නීතිවේදී ප්‍රියාශා රන්වල ය.

ඇය මෙම ලෝ ප්‍රකට කෘතිය පරිවර්තනය සඳහා තෝරා ගැනීමට පෙලඹෙන්නේ ඇයි ?

නවකතාවකින් එපිටට ගොස් සිනමා නිර්මාණ කීපයක් බිහිකිරීමටත් හේතු පාදක වූ Beyond this place හෙවත් පෝල්-යුක්තිය හඹා ගිය මිනිසා නම් ග්‍රන්ථය පිළිබඳ නීතිඥ ප්‍රියාශා රන්වල සමඟ කළ කතා බහකි මේ.

මේ පොත ඒ. ජේ. ක්‍රෝනින් කියන ස්කොට් ජාතික වෛද්‍යවරයා විසින් ලියූ නවකතාවක්. Beyond this place කියන මේ පොතේ සිංහල පරිවර්තනය තමයි මා විසින් සිදු කළේ. මේ පොත මුලින්ම ප්‍රකාශයට පත් වුණේ 1953 දී. මම මේ පොතේ සිංහල පරිවර්තනය කළේ 2023දී.

මේ නවකතාවට මූලික ව හේතු පාදක වෙන්නෙ මොකක්ද ?

මේක තාත්තා කෙනෙක් ගැන කතාවක්. ඔහු නොකළ වරදක් වෙනුවෙන් සිරගත වන කෙනෙක්. එහිදී සිය පියා ඉන් මුදවා ගැනීමට ඔහුගේ පුතු දරන ප්‍රයත්නය තමයි මේ පොතේ විස්තර කරන්නේ. විශේෂයෙන් ඒ යුගයේ මහා බ්‍රිතාන්‍ය දූපත්වල තිබුණු නීති පද්ධතීන් කොහොමද ක්‍රියාත්මක වුණේ කියන දේ මේ කතාව ඇතුළෙ අපට නිරීක්ෂණය කරන්න පුළුවන්. එහිදී පුතකු කෙසේද සිය පියාණන් බේරාගන්න ධෛර්යයෙන් වැඩ කළේ කියන එක තමයි මේ පොතේ විස්තර වෙන්නේ.

මේ කතාව සිනමා නිර්මාණ ගණනාවක් බිහි කරන්නත් මග පෑදූ පොතක් නේද ?

ඔව්. මේ නමින් ම 1953දී ඉංග්‍රීසි චිත්‍රපටයක් බිහි වුණා. ඊට අමතරව මම දන්න විදියට කන්නඩ, හින්දි, තෙළිඟු, බෙංගාලි වැනි චිත්‍රපට කීපයක් මේ කතා ව ඇසුරෙන් නිර්මාණය වී තියෙනවා.

සිනමානුරූපි බවින් අනූන මේ පොත ඔබේ මනසට කතා කළේ කුමන කාරණා ඔස්සේ ද ?

ඇත්තටම මේ පොත හරිම සිනමානුරූපි පොතක් තමයි. කතුවරයා ඒ අතිනුත් ගොඩක් දක්ෂ ලෙස මෙහි ලිවීම ගොඩනඟා තිබුණා. එහිදී මම මේ පොත පරිවර්තනය කරන්න තෝරා ගත් පසුබිම ඇතුළෙ කාරණා කීපයක් තිබුණා. එකක් මම නීතිවේදිනියක් වීම. එහිදී නීති පද්ධතිය ඔස්සේ මිනිසුන්ට පණිවිඩයක් දෙන්න පුළුවන් කියන හැඟීම මා තුළ ඇති වුණා. විශේෂයෙන් ඒක අපේ සමාජය ට වැදගත් වේය කියන හැඟීම ඇති වුණා. මොකද මේක සර්වකාලින වටිනාකමක් පෙන්වන පොතක්.

1953 වැනි මේ යුගයෙන් සැලකිය යුතු දුරස්ථ අවධියක ලියැවුණු මේ පොත නූතන සමාජයට කුමනාකාර බලපෑමක් ද කරන්නේ ?

කෙනකු ට යුක්තියක් අවශ්‍ය මොහොතක දී නීතිය ඉදිරියට යන්න පසුබට නොවීම හරි වැදගත් කියන පණිවිඩයයි මෙහි ලොකුම අන්තර්ගතය. මේ පොත සර්වකාලිනයි කිව්වෙ ඒක යි. මොකද අදත් මිනිසුන්ට අයුක්තියෙන් වන බලපෑම් එලෙසම වනවා. නමුත් ඊට නීතියේ පිළිසරණ තිබෙනවා. නමුත් බොහෝ දෙනෙක් නීතියේ පිළිසරණ පතන්නෙ අඩුවෙන්. සමහර විට බයයි. සමහර විට දැනුම්වත් මදි. නමුත් සත්‍ය තත්ත්වය නම් කෙනකු ට අයුක්තියක් අසාධාරණයක් වූයේ නම් නීතියේ උපකාරය තිබෙනවා. සිය පියා වෙනුවෙන් ඒ පුත්‍රයා නීතියේ පිළිසරණ පැතුවේ කෙසේද අදටත් ඒ ලෙසම ඕනෑ ම අයකුට නීතියේ පිළිසරණ පැතිය හැකියි. පවතින නීති රාමුව තුළ අදාළ ක්‍රියා පටිපාටීන් අනුගමය කිරීමෙන් නීතියේ සහය සැමටම ලබා ගන්න පුළුවන්.

ඔබේ නිර්මාණ දිවියේ මීට පරිබාහිර කටයුතු මොනවාද ?

මෙය මගේ පළමුවැනි පරිවර්තනය. ඊට පෙර 2017 දී කවි පොතක් කළා. (සඳමැදියමක පන්හිඳක්) ඉදිරියේ දී මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් ඒ වගේම පරිවර්තන කීපයක් එළිදක්වන්න හිතාගෙන ඉන්නවා.

ඒ වගේම නීතිය පැත්තෙන් මිනිසාට සහය වනසුලු පොත් කීපයක් ලියන්නත් අදහස් කරගෙන ඉන්නවා. මම මුහුණු පොතේ නම් දැනටත් ඒ සම්බන්ධ දේ ලියනවා.

ඕඥරධදඤ බඩඪඵ නතචජඥ කෘතියේ අපි දකින දේට සාපේක්ෂව අද සමාජයේ නැඹුරුව කොයි වගේ කියාද ඔබ සිතන්නේ ?

මේ පොත තරුණ පරපුරට මනා ආදර්ශයක්. අපේ සමාජයෙත් හොඳ ආත්ම විශ්වාසයක් තියෙන පරපුරක් සිටිනවා. නමුත් ඒ තත්ත්වය තව බොහෝ වර්ධනය විය යුතුයි. ඒ සඳහා පසුබිම සකස් විය යුතුයි ඒ ගැන සිතන මනසක් සහිත පිරිසක් බිහිවීම එහිදී මූලික යි. ඒ සඳහා මූලික ව සාහිත්‍යය පරිශීලනය වර්ධනය විය යුතුයි. විශේෂයෙන් සාහිත්‍යය, සිනමාව වැනි දේට සමාජය තව නැඹුරු වීම අවශ්‍යයි.

පොදුවේ බැලුවොත් හොඳ නිර්මාණ බිහිවීම සීමාවන්න බලපාන ප්‍රායෝගික ගැටලු මොනවාද ?

ඊට පිළිතුර මෙහෙමයි. ලංකාවේත් හොඳට හිතන්න පුළුවන් හොඳ වස්තු බීජ ඔළුවෙ තිබෙන පිරිසක් සිටිනවා. ඒත් මෙහි තිබෙන ආර්ථික පසුබිම ඔවුන්ගේ ගමනට බාධා වී තියෙනවා. මොකද හොඳ නිර්මාණයක් කරන්න ශක්තිමත් වටපිටාවක් අවශ්‍ය යි. හොඳ මූල්‍යමය වටපිටාවක් සහිතව කරන නිර්මාණ කැපී පෙනෙනසුලු යි. මොකද පුංචි වස්තුබීජයක් වුව නිර්මාණශීලිව ගොඩ නගන අවස්ථා අපි දැක තියෙනවා.නමුත් ඒක ට හොද වටපිටාවක් වගේම හොඳ මූල්‍ය පිරිවැයක් අවශ්‍ය විය හැකියි. ඉතින් ඒ කාරණය තමයි එක් පැත්තකින් ලොකුම බාධාවක් වෙන්නෙ. සිනමාව ගත් විට මේක අපි දකිනවා. අපේ අසල්වැසි ඉන්දියාව උදාහරණයක්. ඊළඟට සාහිත්‍ය අංශය ගත්තත් මේක යථාර්ථයක්. මොකද හොඳ පොතක් ගුණාත්මකව මුද්‍රණය කර ගැනීම මේ වන විට අභියෝගයක්.

ඔබේ යෝජනා මොනවාද ?

නිතරම සාහිත්‍යය පරිශීලනය කරන්න කියන එක. ඒ වගේම ලෝකය සමඟ නිරන්තරයෙන් අලුත් වෙන්න කියන එක. ඒ වගේම නීතිය ගැන අවබෝධයක් ලබා ගන්න කියන එක.

ඒ සමඟ මේ විශ්වයේ පවතින රිද්මයට අනුකූලව ජීවත් වෙනවා නම් හොඳ නිර්මාණකරුවකු බිහි විය හැකියි. මගෙ හැඟීම ඒක යි.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT