දාසය හැවිරිදි වියේදී අවුරුදු හැත්තෑවක වැඩිහිටි චරිතයක් රඟපාමින් රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ මේ රංගන ශිල්පියා අද වෙනකොට තම කලා දිවියට වසර 47ක් සපුරා ඇත. වේදිකාව, පුංචිතිරය, සිනමාව තුළ එකසේ දස්කම් විදහා පෑ මොහු මේ වනවිට රඟපෑ චරිත බොහොමයක් අතුරින් අදත් ප්‍රේක්ෂක මතකයේ ඇති චරිත බොහොමයක් ඇත. ඔහුගේ සමහර රංගනයන් තුළ තිබූ තාත්වික රංගන ප්‍රතිභාව නිසාවෙන් රඟපෑ චරිත සඳහා ප්‍රේක්ෂකයන්ගේ ප්‍රශංසා මෙන්ම ගල් මුල්ද එල්ල වූ අවස්ථා තිබිණි. මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් තිරගතවන ආචාර්ය සෝමරත්න දිසානායකගේ සිංහබාහු චිත්‍රපටයේ කිමෙක්ද? ගැල්කරුවකු රජසභාවට ඇදහිය නොහැකි මුත් – මොහු පවසන බස කරුණක් නිසා – ඔබ වහන්සේගේ ගැන පැවසෙන නිසා ඉදිරිපත් කළෙමි. රාජසභාවට, රජතුමනි දෙබස් පවසමින් පුරෝහිතගේ චරිතය තුළින් ප්‍රේක්ෂකයන් අතරට එක්වන ලලිත් ජනකාන්ත හා කතා බස් කරමු.
ලලිත්ගේ කලා ජීවිතය අඩසියවසකටත් ආසන්න වෙන බවක් ආරංචියි?
ඔව්. දැන් මගේ කලා ජීවිතයට අවුරුදු 47ක්. 1977 මැයි මාසයේ මාපලගම සේනගනේවත්ත මහතාගේ අපෙන් එක්කෙනෙක් වේදිකා නාට්‍ය නිර්මාණයෙන් තමයි මම මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවට එක් වුණේ.
පාසල් ශිෂ්‍යයකුව ඉන්න අවධියේම රංගනයට එක්වුණා කියන්නේ ඇත්තක්ද?
මගේ පාසල වුණේ කොලොන්නාව ටෙරන්ස් එස් ද සිල්වා මහා විද්‍යාලය. අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න අවධියේ තමයි මම නාට්‍ය රංගනයට අවතීර්ණ වෙන්නේ. ඒ වෙනකොට මට වයස අවුරුදු 16යි. කොළොන්නාව රස හවුල මඟින් තමයි මම රඟපෑ මුල්ම වේදිකා නාට්‍ය වූ අපෙන් එක්කෙනෙක් ඉදිරිපත් කළේ.
ආශාව මතම රංග ශිල්පියෙක් වුණාද නැත්නම් කාගේ හෝ පෙලඹවීමකට රංගනයට එක් වුණාද?
කොලොන්නාව නගර සභාවේ වේදිකාවේ සයිමන් නවගත්තේගම නාට්‍ය නිර්මාණයක් වූ සුභ සහ යස මගේ මිත්‍රයකු වූ අනුර චන්ද්‍රසිරි සමඟ නැරඹුවා. ඔහු පසු කලෙක තුන්වැනි ඇහැ, සායනයේ සිහිනය වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. දැන් ඔහු ආචාර්යවරයෙක් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නවා. මේ නාට්‍ය නැරඹීමත් සමඟ මට ආශාවක් ඇතිවුණා රංගනයේ යෙදෙමින් දෙබස් කියන හැටි පිළිබඳ ඉගෙන ගැනීමේ ආශාවක්. මම නාට්‍ය පිළිබඳ පොතපත කියෙව්වා. මට ආශාවයක් ඇති වුණා රංගනය හදාරන්න. කොළොන්නාව රස හවුලෙන් කළ නාට්‍ය පුහුණු වැඩමුළුවක්. අවුරුද්දක් විතර මේ වැඩමුළුව තිබුණා. මෙය අවසනයේ මාපලගම සේනගනේවත්ත මහතා නිර්මාණය කළ නාට්‍ය තමයි අපෙන් එක්කෙනෙක්. මේ වැඩමුළුවත් සමඟ කලාවට ආව එක් අයෙක් මම. අනිත් කෙනා ළාහිරු දහසක් ටෙලි නාට්‍යයේ උදයරත්නට රඟ පෑ ජයරත්න රූපසිංහ.
ඔබේ මුල්ම රංගනය ඔබට අභියෝගයක්?
එතකොට මට අවුරුදු 16යි. ඒත් මම රඟපෑවේ වයස අවුරුදු 70වක වැඩිහිටි නීතිඥයෙකුගේ චරිතයක්.
මුල්ම වේදිකා රංගනයත් සමඟ ඔබ පාසල් අධ්‍යාපනයට සමු දෙනවාද?
ඔව්. මම දිගටම වේදිකා නාට්‍ය රංගනයට යොමුවුණා. මේ වන විට මම වේදිකා නාට්‍ය 32ක රඟපාලා තියෙනවා. වේදිකාව තුළ මම වඩාත් ජනප්‍රිය වුණේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ මී පුරවැසියෝ, හෙන්රි ජයසේනගේ හුණුවට කතාව, කුවේණී, අතුල පීරිස්ගේ මහා ඊඩිෆස් නාට්‍යවල රංගනයත් තුළින්. සුවිශාලපුර, පැන්ෂන් මහත්තයා, බල රංග, අපේ ඇත්තෝ, සකිසඳ මඬල, කෙසර, මුතු කැටයේ පළුද්දක්, දුක්ගන්නාරාල, සුරඹ, පෝරිසාද, ඌවේ ඊය, පුදන්න පෙර කාපී යකා, ධවල මන්දිර, රාහු ඇවිත්, හිම කුණාටු, මන්දාරම් වැහි, සමාවෙන්න පුතුනි මට, සිලිං බිලිං ආදී නාට්‍ය රැසක මම රඟපෑවා. මම නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ මුල් කාලයේ සිරිසේන විමලවීරයන්ගේ රොඩි කෙල්ල, පිටිසර කෙල්ල නාට්‍ය වලත් සුළු චරිත රඟපෑවා. ඒ තුළින් ටවර් හෝල් නාට්‍ය නළු නිළියන් සමඟ රංගනයේ නියැලෙන්න මට අවකාශ උදාවුණා. බී. සිරිතුංග පෙරේරාගේ ගමනේ යා, පාරාජිතයෝ, දියකිඳුරි, නාට්‍ය ත්‍රිත්තවයේම නාඩේ ගුරා හැටියට කටයුතු කළා.
මේ වෙනකොටත් ඔබ වේදිකා නාට්‍ය රංගනයේ නියැළෙනවාද?
හුණුවටයේ කතාව නාට්‍යයේ මම කස්බෙක්, කෝප්‍රල් චරිත දෙක අදටත් රඟපානවා. මෙහි ප්‍රසන්නජිත් අබේසුන්දර මහතා රඟපාන්න නීතිඥයාගේ චරිතයත් ඔහු නොමැති දවස්වලට රඟපානවා.
වේදිකාවෙන් ඔබ සිනමාවට එක් වෙනවාද? පුංචි තිරයට එක් වෙනවාද?
සිනමාට එක් වෙන්නේ අසූව දශකයේ ෂෙල්ටන් පයාගලගේ ගොළු මුහුදේ කුණාටුව චිත්‍රපටය සමඟ. මගේ මුල්ම සිනමා රංගනය ගොළු මුහුදේ කුණාටුව චිත්‍රපටයේ කැරලිකාරයෙක්ගේ චරිතයක්.
මේ වෙනකොට කොපමණ සිනමා නිර්මාණ ප්‍රමාණයකට ඔබ රංගනයෙන් දායක වෙලා තියෙනවාද?
චිත්‍රපට තිහකට අධික ප්‍රමාණයකට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. අනුර චන්ද්‍රසිරිගේ සායනයේ සිහිනය, වසන්ත ඔබේසේකරගේ සෙව්වන්දි, ආගන්තුකයා, සෝමරත්න දිසානායකයන්ගේ සරෝජා, පුංචි සුරංගනාවි, සමනල තටු, සූරිය අරණ, බිංදු, සිරි රජසිරි, සිරි පැරකුම්, ජංගි හොරා, සරිගම, සුනාමි, සිංහබාහු, ගිරිරාජ් කෞශල්‍යගේ සිකුරු හතේ, සුහද කොකා, කතුරු මිතුරු, අනුර හොරේෂස්ගේ සොඳුරු දඩබිම, ශිවගුරුනාදන්ගේ කිංහන්තර්, කෝමාක් නෝමාක්, බඹර වළල්ල, මචං ආදී චිත්‍රපට රැසක මම රංගනයන් ඉදිරිපත් කරලා තියෙනවා.
එකම අධ්‍යක්ෂවරයකුගේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් රඟපෑ නළුවෙක් ඔබ?
ඔව්. මම ආචාර්ය සෝමරත්න දිසානායකගේ චිත්‍රපට එකොළහක රඟපෑවා. එතුමන්ගේ සරෝජා චිත්‍රපටයේ සිට මේ දවස්වල තිරගත වන සිංහබාහු චිත්‍රපටය දක්වා චිත්‍රපට 11ක මම විවිධ චරිත රඟපෑවා. ආචාර්ය සෝමරත්නයන් මම මුලින්ම හඳුනා ගන්නේ එතුමන් අධ්‍යක්ෂණය කළ ‘මීපුර වැසියෝ’ වේදිකා නාට්‍යයේ රංගනයට එක්වීමත් සමඟ.
ඔබේ සිනමා රංගනය සුවිශේෂී අධ්‍යක්ෂවරයෙකු වන සෝමරත්න දිසානායකයන්ගේ සිනමා නිර්මාණ අතුරින් වඩාත්ම ඔබ ඇලුම් කරන චරිත මොනවාද?
සිරිපැරකුම් චිත්‍රපටයේ රණාවත්තේ දුරයා, සරිගම චිත්‍රපටයේ අංකල් සෑම්, සුනාමි චිත්‍රපටයේ ගමේ නායක හාමුදුරුවෝ සුවිශේෂයි. සිරිපැරකුම් චිත්‍රපටයේ රණාවත්තේ දුරයා චරිතය සිනමා ලේඛක විචාරක ගාමිණී සුමනසේකර මහතා පවා මා ගැන සඳහන් කරමින් මට ප්‍රශංසාත්මක විචාරයක් ලබා දීලා තිබුණා වචනයකින් පවා මගේ රංගනය ඇගයීම මම ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.
වසර 47ක් පුරාවට කලා ශිල්පියෙක් ලෙස කටයුතු කරන ඔබ, සිනමාවේ, පුංචි තිරයේ, වේදිකාවේ ප්‍රධාන චරිතයක් රඟපෑමේ වාසනාව නොලැබුණේ ඇයි? කියලද හිතන්නේ?
මම කවදත් නිහඬ චරිතයක්. රඟපෑවා කියලා පුවත්පත් ආටිකල් දාගන්න කවුරුවත් හොයාගෙන ගියේ නෑ. ප්‍රසිද්ධ කියන දේ හොයාගෙන නොගිය නිසා සමහර විට එවැනි දේකට කතා නොකරන්න ඇති. කලා ශිල්පියෙක් වුණාම ප්‍රසිද්ධිය විශේෂයෙන් වැදගත්. ප්‍රචාරය මෙහිදී විශේෂයි. නමුත් මම කවදාවත් ප්‍රචාරය හොයාගෙන ගියේ නෑ. ප්‍රසිද්ධිය ප්‍රචාරය සඳහා මගේ උනන්දුව තිබුණේම නැති නිසා සමහරක් විට මම ගැන ක්ෂේත්‍රයේ කතාබහක් ඇති නොවෙන්න ඇති. මම රඟපෑ චරිත ගත්තහම නිර්මාණය එක්ක ඒක කතාකරන්න තරම් රඟපෑමක් ද කියලා මට හිතුණු අවස්ථා තිබුණා. ඒකත් එක හේතුවක් වෙන්න ඇති. මම ප්‍රචාරය අමතක කරන්න. කොහොමත් මම අද පේ වෙනකොට පූර්ණ කාලීන කලාව තුළ නියැළේ ඉන්නවා. නමුත් මීට පෙර මම කලාව තුළ කටයුතු කළේ රැකිවක නිරත වෙන ගමන්. වෘත්තියෙන් මම විදුලි අධිකාරිවරයෙක්. 1979 වර්ෂයේ නුපුහුණු කාර්මික ශිල්පියෙකු වශයෙන් මම ලංකා විදුලිබල මණ්ඩලයට එකතු වෙනවා. ක්‍රම ක්‍රමයෙන් විභාග සමත් වෙලා. උසස්වීම් පටිපාටිය සමඟ මම විදුලි අධිකාරිවරයෙක් බවට පත්වෙනවා. රැකියාවට මුලිකත්වය දිලා කටයුතු කිරීම නිසාවෙන් පුර්ණකාලීනව කලාව තුළ නියැළෙන්න අපහසු වුණා. මගේ රාජකාරීමය නිවාඩු ක්‍රමවේදය තුළ තමයි රඟපෑම සඳහා කාලය සැලසුම් කරගත්තේ. දීර්ඝ කාලීනව රූපගත කිරීම් වෙනුවෙන් කාලය යොදවන්න මට පුළුවන්කමක් තිබුණෙම නැහැ. විදුලිබල මණ්ඩලය තුළ දේශපාලනය නොවන වෘත්තී සංගම් නායකයකු ලෙස මම කටයුතු කළා. වෘත්තීය නායකයකු ලෙසත් රංග ශිල්පියෙකු ලෙසත් විදුලිබල මණ්ඩලය තුළ මම ප්‍රසිද්ධ වෙලා හිටියා. 2019 වසරේ මම විදුලිබල මණ්ඩලයෙන් විශ්‍රාම ලැබුවා. එතැන් පටන් මම දැන් පූර්ණ කාලීනව කලාවේ නියැළෙනවා.
චිත්‍රපට රංගනයන් සඳහා ඔබ විදේශගතවීම් පවා සිදු කළා?
ආයතනයෙන් නිවාඩු ගෙන මචං චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් දවස් 15ක් මම විදේශ ගතවෙලා හිටියා.
අධ්‍යක්ෂවරුන්ගෙන් රංගනයේ නියැළෙන්න නිර්මාණ එහෙම ඔබ ඉල්ලලා නැද්ද?
කොහෙත්ම නෑ. මට ලැබුණු දෙයක් මම රඟපාලා තියෙනවා. කොටින්ම කිව්වොත් මගේ මල්ලි ගිරිරාජ් කෞශල්‍යගෙන්වත් මම රඟපාන්න චරිත ඉල්ලලා නෑ. ඔහු පවා මට රඟපාන්න කියලා චරිතයකට කතා කළොත් මම ඒ දේ බාරගෙන තියෙනවා. සෝමරත්න දිසානායකයන් පවා මට ඔහුගේ සෑම නිර්මාණයක් වෙනුවෙන්ම චරිතයක් තියෙනවා ලලිත්ට කියලා කතා කරලා දීලා මිසක් මම කවදාවත් සෝමරත්න සර්ගේ රඟපාන්න චරිත ඉල්ලලා නෑ.
ලලිත් පුංචි තිරයට එක්වන්නේ කුමන නිර්මාණයක් සමඟින්ද?
සෝමරත්නයෙන් දිසනායකයන්ගේ පුංචි පැටව් ටෙලි නාට්‍යයේ රංගනයත් සමගින්. මම හිතන්නේ අසූ දශකයේ අග භාගයේ අනුව දශකය මුල් භාගයේ තමයි මම ටෙලිනාට්‍ය රංගනයට එන්නේ. එහි මුල්ම රංගනය වුනේ ඉස්පිරිතාලෙක ඇටන්ඩන් කෙනෙක්ගේ චරිතයක්. ඊට පස්සේ දාමිණි, නිදිකුමරි, ශිතිල හදවත්, පැණිකුරුල්ලො, පෝය ටෙලි නාට්‍යය, අවුරුදු ඒකාංගික ටෙලිනාට්‍ය, දෙගම් දොර ආදී ටෙලිනාට්‍ය විසිපහක විතර මම මේ වනවිට රඟපාලා තියෙනවා. මම රඟ පෑ නලින් මාපිටිය අධ්‍යක්ෂණය කළ ගිරිරාජ් කෞශල්‍ය පිටපත ලියූපු ‘හැමදාම අවුරුදු’ ඒකාංගික ටෙලිනාට්‍ය විතරක් 2007 වර්ෂයේ සිට මේ වසර දක්වාම සෑම වසරකම අවුරුද්දට ජාතික රූපවාහිනියේ විකාශය වුණා.
ඔබේ තාත්වික රංගනය නිසාවෙන් සමාජය විසින් ඔබව දැඩිව පිළිකුල් කළා නොවේද?
එහෙම දේකුත් වුණා. දාමිණි, නිදි කුමරි, ශිතිල හදවත් ටෙලිනාට්‍ය තුනම එක වකවානුවේ විකාශය වුණේ. ඒ වෙනකොට මගේ දුවත් හතර වසරේ ඉගෙන ගත්තේ. දවසක් දුව අඬාගෙන ගෙදර ආවා මගේ රඟපෑම්වල තිබුණු දරුණුකම නිසා ළමයි එයාට විහිළු කරලා. දාමිණී, නිදි කුමරි බලපු බොහෝ කාන්තාව මට පාරෙදි මූණටම බැනලා තියෙනවා. ඒ බැනුම් වලින් මම එක දෙයක් දැනගත්තා මම ඒ චරිත හොඳට කරලා තිබුණා කියන දේ. සරෝජා චිත්‍රපටයේ කවුරුත් පුංචි සරෝජාට ආදරය කළා. මම තමයි සරෝජගෙ තාත්තා මරන්නේ. මේ ඔක්කොම නිර්මාණ එකම වකවානුවක ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙනකොට පුංචි දරුවන්ගේ ඉඳලා වැඩිහිටියෝ කියල නෑ කවුරුත් මට වෛර කළා. මාව ප්‍රතික්ෂේප කළා. කොටින්ම කිව්වොත් මගේම දුවත් මට කියන්න ගත්තා අනේ තාත්තේ ඔයා වගේ චරිත රඟපාන්න එපා කියලා.
ඔබ රඟපෑ චිත්‍රපටය ටෙලිනාට්‍ය එහෙම ඉදිරියේදී තිරගත වෙන්න විකාශ වෙන්න තියෙනවාද?
ටෙලිනාට්‍ය නම් නෑ. නලින් මාපිටිය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක් හා මේ දවස්වල චමල් රාජපක්ෂ අධ්‍යක්ෂණය කරන සිටුවර පුවත චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා.
මෙතෙක් ඔබ අපේක්ෂා කළ චරිත සඳහා රංගනයේ නියැළෙන්න අවස්ථාව උදා වුණාද?
සාමාන්‍යයෙන් රංග ශිල්පියෙක් හැටියට මම ඕනෙම චරිතයක් රඟපාන්න කැමතියි.
මේ වෙනකොට අධ්‍යක්ෂවරු ඔබව එකම චරිත ගොන්නකට කොටු කළාද?
කොහෙත්ම කැමති නෑ ඒ කොටු කිරීමට. මට හාස්‍ය උත්පාදක චරිත රඟපාන්නත් ලැබිලා තියෙනවා. නපුරු දුෂ්ට චරිත රඟපාන්නත් ලැබිලා තියෙනවා. රංග ශිල්පියෙක් වුණාම කොයි චරිතෙත් කරන්න පුළුවන් වෙන්න ඕනෙ. නමුත් ලංකාවේ මොනයම් හෝ චරිතයක් කළොත් ඒ චරිතයේ ඉස්තරම්ව ඉදිරිපත් කළොත් කොයි නිර්මාණකරුවත් බලන්නේ දිගින් දිගටම එවැනි චරිතය දෙමින් එවැනි රංගනයක් තුළ අපිව කොටු කරන්න. අපිට විවිධ චරිත නොලැබෙන නිසාවෙන් අපි ඒ දේ බාරගන්නවා. නමුත් එකම දේට කොටුවීම තුළ අපිට හානියක් වෙනවා කියලා අපි හිතන්නේ නෑ. විවිධ පරාසයන් තුළ චරිත අපිට දිගින් දිගට ලැබෙනවා නම් කොටුවෙන චරිත ප්‍රතික්ෂේප කරන තැන මම ඉන්නවා. රඟපෑමට තියන ආශාව නිසාම අපි කොටුවෙන නිර්මාණත් භාරගන්නවා.
රංගනයේ දුරක් ආ ඔබට අධ්‍යක්ෂණය පැත්තට ආශාවක් නැද්ද?
තියනවා. පිටපතකුත් මා සතුයි. මගේම අත්දැකීමක් පාදක කරගෙන තමයි මම මෙය රචනා කරල තියෙන්නේ. ටෙලි නාට්‍යයක් සඳහා මේ පිටපත මම දැනට ලියල වසර විසි අටක් විතර ඇති. මගේ පළමු වේදිකා නාට්‍ය චිත්‍රපට පිටපතක් හැටියට ලියන්නත් මගේ ලොකු ආශාවක් තියනවා. මගේම මල්ලි ගිරිරාජ් කෞශල්‍ය නිර්මාණය කළ ‘එතුමා’ කතා සංකල්පයත් මගේ.
ඔබ බොහෝ විට නිර්මාණ දායකත්වය ලබාදීලා තියෙන්නෙ මෙරට ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණය එකතුවකට කොහොමද ඔවුන්ගේ අධ්‍යක්ෂණයන් දකින්නේ?
සෝමරත්න දිසානායක වගේ අධ්‍යක්ෂකවරු සමඟ රඟපානවා කියන්නේ හරිම පහසු දෙයක්. මම පුංචි චරිතයක් තිබුණත් මුළු පිටපත මම හොඳීන් කියවනවා. මගේ චරිතය විතරක් මම පිටපතේ බලන් නෑ. මුළු පිටපතම කියවලා මම වටහා ගත්ත දේ මගේ චරිතය අධ්‍යක්ෂවරයා හා කතාබස් කරලා මගේ දෙයක් එක්ක රංගනයෙන් ඉදිරිපත් කරනවා. එතැනදී අධ්‍යක්ෂ හැටියට යම් යම් දේ වෙනස් විය යුතු තැන් පෙන්වා දෙනවා. මට මතකයි වසන්ත ඔබේසේකරයන් එතුමාගේ ආගන්තුකයා චිත්‍රපටයේ රඟපාන්න ගියාහම ඒ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂක දමින්ද මඩවලයන්ට කියල තිබුණා දමින්ද මෙච්චර දවසක් මේ මිනිහා කොහෙද හිටියේ අපිට හම්බවෙන්නේ නැතුව කියලා.
චරිත භාරගැනීමේදී ඔබට නිර්මාණකරුවා ප්‍රවීණයෙක් ද ආධුනිකයෙක්ද කියලා තෝරා බේරා ගැනීම් තියෙනවාද?
නෑ. මම බලන්නේ ඒ චරිතය තුළ මට කරන්න දෙයක් තියෙනවාද කියන එක විතරයි. මම මූල්‍යම පැත්තට ගැන එතරම් සැලකිලිමත් නෑ. නිර්මාණයට දායක වීමේ පිපාසය මට අදත් තියෙනවා.
ලලිත් ජනකාන්ත භික්ෂුවක් ලෙසත් තිරයේ රංගනයේ නියැළෙනවා?
චිත්‍රපටය සඳහා තමයි මම භික්ෂුවක්ගේ චරිතය කළේ. ඒ වෙනකොට විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරිවරයෙක් ලෙස රැකියාව කරනවා. මගෙන් ඇහුවා හිස මුඩු කරන්නද එපා ද කියලා මම රැකියාව ගැන බලා ගන්නම් හිස මුඩු කරන්න කිව්වා. මේ භික්ෂුවගේ චරිතයත් මට සුවිශේෂයි. මගේ පියා අවුරුදු හැත්තෑවේදී භික්ෂුවක් වුණා. අවුරුදු 15ක් මහණදම් පුරලා තමයි මගේ පියා අපවත් වුණේ. මම සිවුර පොරවලා තට්ටේ ගාලා කරපු භික්ෂුවක චරිතය මගේ තාත්තාගේ හැඩරුවට මම බොහෝ සේ සමාන වුණා. මගේ මල්ලි ගිරිරාජ් පවා භික්ෂුවකගේ චරිතය කළා. ඒ තාත්තාගේ හැඩරුවට සමාන කමක් තිබුණේ නෑ. මම තිරයේ භික්ෂුවක් වෙනකොට තාත්තා අපවත් වෙලා මේ චරිතයෙන් පස්සේ මට කවුරුවත් භික්ෂුවකගේ චරිතයට කතා කළේ නෑ.
වේදිකාව සිනමාව පුංචි තිරය, මාධ්‍ය ත්‍රිත්වය තුළ ඔබේ වඩා රුචිකත්වය කොයි මාධ්‍ය දෙසටද?
වේදිකාව, සිනමාව මට විශේෂයි. වේදිකාව සජීවී මාධ්‍යයක්. මම ආවෙත් වේදිකාවෙන්. මේ සජීවී මාධ්‍යයට ගොඩක් කැමතියි. සිනමාව රස විඳීන්න ඒ සඳහාම ප්‍රේක්ෂකයෙක් යා යුතුයි. නමුත් ටෙලි නාට්‍යයක් රස විඳීන්න එහෙම යා යුතු නැහැ. ඒත් අපිට ගෙදර කෑම කන ගමන් වුණත් බලන්නත් පුළුවන්. තමන් දෙයක් කැප කරලා තමයි චිත්‍රපටය නාට්‍යයක් බලන්න යන්න ඕනේ. එහෙම මාධ්‍යයක් තුළ අපි විසූක දස්සන කරලා හරියන්නේ නෑ. සමස්තයක් ලෙස අද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තියෙන්නේ ගරාවැටීමක් ඛේදවාචකයක්. වාණිජ පරමාර්ථයන් ඉටු කරගැනීමේ පරමාර්ථයක් මේ ක්ෂේත්‍රය තුළ තියෙන්නේ. මේ වෙනකොට අපෙන් වින්දනය වගේම ඥානයත් ටෙලි නාට්‍ය කලාව විනාශ කරලා ඉවරයි. තිබ්බා ගැහුවා ටෙලිනාට්‍ය කලාවක් අද දකින්න තියෙන්නේ.
ඔබේ කලා ක්ෂේත්‍රයේ විශේෂිත චරිත ඇති?
මගේ කලා දිවියේ ගුරුවරයා වුණේ මාපලගම සේනගනේවත්ත මහතා. සෝමරත්න දිසානායක, හෙන්රි ජයසේන, අතුල පීරිස්, ගිරිරාජ් කෞශල්‍ය වගේ සුවිශේෂී පුද්ගලයොත් ඒ අතර මට ඉන්නවා.
පවුල විස්තර එහෙමත් කියමුකෝ..
මගේ බිරිය සන්ධ්‍යා කුමුදිනී සෝමවංශ ඇය ගුරුවරියක් දැන් විශ්‍රාමිකයි. මගේ දුව යශෝධා රන්දිලිනි ජනකාන්ත දැන් විවාහකයි ඇය ප්‍රමාණාත්මක සමීක්ෂණ නිලධාරිනියක්. ඇය ඕමාන්වල පදිංචි වෙලා ඉන්නේ. පුතා අධීෂ ධනංජය විවාහකයි. කැනඩාවේ පදිංචි වෙලා ඉන්නවා. අද වෙනකොට මම රංග ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන අතරේම කොළොන්නාවේ කාගේත් දුක්ගන්නාරාල වශයෙන් සමාජ සේවයේත් නියැළී ඉන්නවා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන