නිවස සංවාද බලපෑමකින් තොරව සමාජයට කතා කළ හැකි මාධ්‍යය සිනමාවයි

බලපෑමකින් තොරව සමාජයට කතා කළ හැකි මාධ්‍යය සිනමාවයි

- නිෂ්පාදිකා රේණුකා බාලසූරිය

by Thanushika
May 2, 2024 1:00 am 0 comment

මේ දිනවල තිරගත වන ‘සිංහබාහු’ සිනමා කෘතියේ නිෂ්පාදන අර්ථපතීත්වය දරන්නේ ඇයයි. එමෙන්ම ඉකුත්දා යූ ටියුබ් සමාජ මාධ්‍යයට මුදාහැරුණු ‘ඉටිපහන්’ ටෙලිනාට්‍යයේ නිෂ්පාදිකාව ද ඇයයි. නිෂ්පාදිකාවක ලෙස සිය නිර්මාණ කාර්යයන් පිළිබඳව සහ නිවේදිකාවක, රංගන ශිල්පිනියක ලෙස ද සිය භූමිකාව පිළිබඳවත් කතා කිරීමේ අරමුණින් රේණුකා බාලසූරිය නම් වූ ඇය සිය හඬ අවදි කළේ මෙලෙසිනි.

පසුගිය දා ප්‍රදර්ශනය ආරම්භ කළ ඔබේ නවතම නිෂ්පාදනය වූ “සිංහබාහු” පිළිබඳ ඔබේ අදහස පැවැසුවොත් ….?

ඔව්, මෙය නිෂ්පාදනයට මාත් සමඟ ගාමිණී වික්‍රමසිංහ මහතාත් සම්බන්ධ වුණා…ඔහුවත් මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා. දැනටමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් පවතිනවා. ඒ ගැන ඇත්තෙන්ම සතුටුයි. මේ චිත්‍රපටය ගැන ප්‍රේක්ෂක, විචාරක විශේෂ කතාබහකට ලක්වේවි කියා සිතනවා. අපි අසා තිබෙන, දැකලා තිබෙන “සිංහබාහු” කතාවට නව අර්ථකථනයක් දෙන චිත්‍රපටයක් තමයි මේක. මේ ගැන බොහෝ දෙනා කතා කරාවි. සමහරුන්ගේ ගැරහුමටත් ලක්වේවි. සමහරු “සිංහබාහු” විවේචනය කරාවි. කෙසේ නමුත් මේ “සිංහබාහු” චිත්‍රපටය ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වේවි කියා මම විශ්වාස කරනවා.

මෙවැනි ඓතිහාසික නිර්මාණයක් සිනමාවට නැඟීමේදී ඉතිහාසගත පුවතේ නිරවද්‍යතාව පිළිබඳ බොහෝ අධ්‍යයනයන් කළයුතු වෙනවා නේද…? එසේම කලා අධ්‍යක්ෂවරයාටත් විශාල වෙහෙසක් දරන්න වෙනවා ….?

අපි සෑම කෙනෙක්ටම ඉතිහාස කතා පිළිබඳ ඇසින් දුටු ඉතිහාසයක් නැහැනේ. කොතැනක හෝ සඳහන් වී ඇති නැත්නම් කටකතාවෙන් එන නැත්නම් කවුරුන් හෝ ලියූ පොතක සඳහන් වූ දෙයක් මිස ඇසින් දුටු සාක්ෂියක් අපට නැහැනේ. අපි ආසන්නයෙන් මනෝමයෙන් ගොඩනඟා ගන්නා පසුබිම් තමයි බොහෝ වේලාවට නිර්මාණයට ගන්නට වෙන්නේ. එතැනදී යම් හැදෑරීමක් කරන්න වෙනවා ඒ පිළිබඳ දන්න අයගෙන් විමසා. විශේෂයෙන් කලා අධ්‍යක්ෂවරයාට විශේෂ හැදෑරීමක් අවශ්‍යයි. එසේ කළොත් තමයි ප්‍රේක්ෂකයාට ආසන්න මට්ටමකින් එය යම් සාර්ථක නිර්මාණයක් වෙන්නේ.

පසුගියදා ඔබේ “ඉටිපහන්” ටෙලිනාට්‍යය යූ ටියුබ් හරහා මුදාහැරියා. ඒ පිළිබඳ යමක් කීවොත් ….?

“ඉටිපහන්” ඇතුළු අපේ ටෙලිනාට්‍ය නැවත නැරඹීමට අවස්ථාවක් දෙන්න කියලා ප්‍රේක්ෂකයන්ගෙන් විශාල ඉල්ලීමක් තිබුණා. අපි හිතුවා නව තාක්ෂණයත් උපයෝගි කරගෙන ඕනෑම අයෙක්ට නැරඹිය හැකි ලෙස “ඉටිපහන්” ටෙලිනාට්‍යය යූ ටියුබ් සඳහා මුදාහැරිය යුතුයි කියලා . ඒ සිතුවිල්ලයි අපි ක්‍රියාත්මක කළේ. “ඉටිපහන්”වලට අමතරව “පුංචි පැටව්, සුවඳ කැකුළු, අවසඳ” වගේ ටෙලිනාට්‍ය රැසක්ම අපි නිර්මාණය කළා. අවසානයට නිර්මාණය කළේ “ඉටිපහන්1 සහ 2 “. එය යූ ටියුබ් මුදාහැරීම සාර්ථකයි. මේ වෙද්දී ලක්ෂ ගණනක පිරිසක් එය නරඹා තිබෙනවා. මීට වසර 29කට පෙර නිර්මාණය කළ “ඉටිපහන්” පරම්පරා කිහිපයක්ම රසවිඳීනවා කියන්නේ හරිම සතුටක්.

මෙවැනි හරවත් නිර්මාණ අද බිහිනොවීම කනගාටුදායක තත්ත්වයක්. මතු පරපුරට නැරඹීමට සංරක්ෂණය කිරීමේ අරමුණින් “ඉටිපහන්” ච්ඍච් තාක්ෂණයෙන් එළිදක්වන්න අදහසක් නැද්ද….?

ඩිජිටල් ෆෝමැට් එකෙන් ඒවා අරන් තියලා තියෙනවා. පසුකාලීනව විවිධ මාධ්‍යවලින් නරඹන්නත් පුළුවන්. ච්ඍච් තාක්ෂණයෙන් එළිදැක්වුවොත් ඒවා මිලදී ගන්න වෙනවානේ. යූ ටියුබ් දැම්මම ඒක කාටත් නොමිලයේ නරඹන්න පුළුවන්. එය වඩාත් සාර්ථකයි කියා මට හිතෙනවා

90 දශකයේ නිර්මාණය වූ විශිෂ්ට ටෙලිනාට්‍ය කලාව සහ අද බිහිවන මෙගා රැල්ලේ ටෙලිනාට්‍ය පිළිබඳ ඔබේ මතය කෙබඳු ද…..?

මෙහෙමයි, කාලය වෙනස්. තාලය වෙනස්. සියලුම දේ වාණිජකරණය වෙලානේ. රුපියල් සත පමණක්ම පවතින ලොවකටනේ මේ නිර්මාණ කියන දේ සිදුවෙන්නේ. සාමාන්‍ය රසවින්දනය ගැන පමණක්ම සිතන කාලයක්නේ දැන්. ඉඳලාහිටලා හොඳ නිර්මාණත් බිහිවෙනවා. එකඑක කාලවලට ඕනෑම මාධ්‍යයක් වෙනස්වෙනවා. එකම දේ මේවාගේ තත්ත්වය බාල නොකර කරන්න උත්සහ කළානම් හොඳයි. එහෙම දෙයකට ලොකු ව්‍යායාමයක් නැති බව පේනවා. අද සමාජ, ආර්ථික තත්ත්වය එක්කයි මේ දේවල් වෙලා තියෙන්නේ. වෙනත් රටවල නිර්මාණය කළ “ඔෂින්” වැනි මෙගා ටෙලිනාට්‍යවල තත්ත්වය ගුණාත්මක මට්ටමේ තිබුණා. ලංකාවට තමයි මේ ප්‍රශ්නය බලපා තියෙන්නේ. ඒ කාලය වගේ නෙවෙයිනේ දැන්.ඒක ඇත්තටම රසවින්දනයට විශාල හානියක්

“ඉටිපහන් 1-2” එකල ඉතා ජනප්‍රිය වුණා. අදටත් ප්‍රේක්ෂකයාට ඒ ටෙලිනාට්‍යය මතකයි. “ඉටිපහන්”වලින් පසු එවැනි හරවත් ටෙලි නිර්මාණයක් නිෂ්පාදනයට ඔබ යොමුවූයේ නැහැ නේද ……?

ඔව්, අවසන් ටෙලිනාට්‍ය නිෂ්පාදනය “ඉටිපහන්”. “ඉටිපහන් -2” කළේ 1996දී. ටෙලිනාට්‍ය ප්‍රචාරණ ක්‍රමවේදය, නිර්මාණය වන විදිහ විශාල වෙනසකට ලක්වුණා. ඒ වෙනසත් සමඟ එයට යොමුවීම නොතරම් කියා සිතුණා. ඒවගේම 1998දී අපි “සරෝජා” චිත්‍රපටය කළා. ඉන්පසු අපට තේරුණා කිසිදු බලපෑමකින් තොරව යමක් සමාජයට කිවහැකි සුදුසුම මාධ්‍යය සිනමාව කියලා. ඉන්පසු දිගටම සිනමා කර්මාන්තයේ සිටි නිසාත් ටෙලිනාට්‍ය කලාව තුළ අපට සිටගත හැකි තැනක් නොවුණු නිසාත් මගේ අවසන් ටෙලිනාට්‍ය නිෂ්පාදනය “ඉටිපහන්” වුණා

“ඉටිපහන්” ටෙලිනාට්‍යයේදී සුමිත්‍රා රාහුබද්ධගේ නවකතාව ආශ්‍රයෙන් “ඉටිපහන්-2” නිර්මාණය වුවද “ඉටිපහන් -1” සඳහා නවකතාවේ කතාවට පෙර මන:කල්පිතව ගොඩනඟපු කතාවක් ටෙලිනාට්‍යයට ගැළපෙන ලෙස සාර්ථක වුණා.ඒ පිළිබඳ යමක් කීවොත්…….?

සුමිත්‍රාගේ නවකතාව ආරම්භවෙන්නේ දුලීනා තමන්ගේ පියා නැති දරුවාත් රැඟෙන ගමට ඇවිත් ජීවිතය පටන්ගන්නා තැනින්. ඉටිපහන් නවකතාව කියවපු අවස්ථාවේ සෝමේ කිව්වා මට මෙහි පෙර කතාවක් මැවෙනවා. ලස්සන කතාවක් කලින් තියෙනවා, ඒක මම ලියන්නම් කියලා. එහෙම ලියූ කතාව තමයි “ඉටිපහන්-1” වුණේ. එය සෝමේගේ මනසේ මැවුණු කතාව. ඒදෙක ඉතා සාර්ථක ලෙස එකිනෙක බද්ධවුණා. “ඉටිපහන් -1” අවසන් වන තැනින් 2 පටන්ගත්ත තැනට එම චරිත අපූරුවට ගොඩනැඟුණා. “ඉටිපහන් -1” නිසා 2ට ආලෝකයක් ලැබුණා වගේම “ඉටිපහන් -2” න් 1ට ආලෝකයකුත් ලැබුණා

ඔබ කලාවට අවතීර්ණ වූ ආකාරය සිහිපත් කළොත්….?

මම කලාවට සම්බන්ධ වෙන්නේ 1975දී. පාසල් යන කාලයේ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවට සම්බන්ධ වෙනවා. ඒ වේදිකා නාට්‍ය ශිල්පිනියක් ලෙස. ඉන්පසු ගුවන්විදුලි මාධ්‍යයට, එතැනින් රූපවාහිනියට, එතැනින් සිනමාවට සම්බන්ධ වෙනවා. මගේ ආරම්භය වේදිකාව.

පසුගියදා තිරගත වූ ඔබේ “මින්නු” චිත්‍රපටය ගැනත් හඳුන්වා දුන්නොත්….?

“මින්නු” චිත්‍රපටය සුමිත්‍රා රාහුබද්ධගේ කතාවක් සහ තිරරචනයක්…..එය සත්‍ය කතාවක් පාදක කරගෙන ලියවුණු තිරපිටපතක්. එහි ප්‍රධාන චරිතය “සුඛිත”. සත්‍ය කෙනෙක් ගැනයි සුමිත්‍රා ලියලා තියෙන්නේ. සුමිත්‍රාගේ මිතුරකුගේ දරුවෙක්ගේ කතාවක් තමයි එය. ඒවටා සුමිත්‍රා තව චරිත කිහිපයක් ගොඩනඟා තිබෙනවා. “මින්නු” තුළින් කියවෙන්නේ ආදරය නිසා කොතරම් දේ කළ හැකි ද යන්න ගැනත් කිසියම් දුෂ්කර මොහොතකදී පසුබසින්නේ නැතිව සිටිනවා නම් එයයි සිදුවිය යුත්තේ යන්නයි. කිසියම් ඉලක්කයකට ජයග්‍රහණය කරා යනවා නම් මරණය වුවත් ජයගත හැකියි කියායි “මින්නු”තුළින් කියවෙන්නේ.

ඔබ නිෂ්පාදනය කළ “සංකාරා, දැවෙන විහඟුන්” වැනි චිත්‍රපට කලාත්මක විශිෂ්ට නිර්මාණ වුවත් ප්‍රේක්ෂක ආකර්ෂණය අවම මට්ටමක තිබුණේ. එවැනි චිත්‍රපට සඳහා නිෂ්පාදන පිරිවැය දැරීමේදී ලාභ ලැබීම පිළිබඳ යම් අවදානමක් තිබෙනවා නේද…..?

“සංකාරා” ආර්ථික ලාභ බලාගෙනම නිෂ්පාදනය කළේ නැහැ. ප්‍රසන්න ජයකොඩිගේ පළමු සිනමා කෘතිය එයයි. ඔහුට උදව් කිරීමක් වශයෙන් තමයි අපි “සංකාරා” නිෂ්පාදනයට පෙලඹුණේ. එවැනි නිර්මාණ තුළින් වාණිජව සාර්ථක විය හැකි ප්‍රේක්ෂකාගාරයක් තවම මේ රටේ හැදිලා නැහැ. එය අභ්‍යාග්‍යසම්පන්නයි. සිනමා රසවින්දනය පාසලේ සිටම හැදෙන්න ඕන දෙයක්. කර්මාන්තයක් ලෙස රැඳෙන්න නම් වාණිජ චිත්‍රපට අවශ්‍යයි . මෙකී වාණිජ චිත්‍රපට තුළින් තමයි සිනමා කර්මාන්තය රැකෙන්නේ. ඒ තුළයි කලාත්මක සිනමාවට රැඳීමටත් ඉඩකඩ ලැබෙන්නේ.

“සරෝජා”ගෙන් ආරම්භ වී ළමුන් කේන්ද්‍ර කරගත් සිනමා නිර්මාණ රැසක්ම ඔබ නිපදවූවා. ඒ නිර්මාණ රැසම ඔබේ සැමියා වූ සෝමරත්න දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයන්.එකී නිර්මාණගොන්න දෙස නැවත හැරී බැලීමේදී මොකද හිතෙන්නේ ….?

ඒ ගැන ආපසු හැරීබලද්දී ලොකු සතුටක් දැනෙනවා .”සරෝජා” කියන්නේ ලංකාවේ සිනමාවට වසන්තය රැඟෙන ආ චිත්‍රපටය වගේම අපේ පළමු චිත්‍රපටය. අන්තර්ජාතික ලෙසත් ලංකාවට විශාල ජයග්‍රහණ රැසක් “සරෝජා”ගෙනාවා. වාණිජ හා කලාත්මක අතිනුත් සාර්ථක චිත්‍රපටයක්. “සරෝජා”ගෙන් පටන්ගෙන “සිංහබාහු” දක්වා ආ ගමන්මඟේ කළ සෑම චිත්‍රපටයක්ම මෙරට සිනමා කර්මාන්තයට විශාල ශක්තියක් වුණා. අපේ රට ලෝකයේ සනිටුහන් කිරීමට අන්තර්ජාතික ජයග්‍රහණ ලබාදෙන්න අපේ චිත්‍රපට ඉවහල්වුණා කියා සිතනවා.

සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණ කාර්යය ඔබ දකින්නේ කෙසේද…..? ඔහු සමඟ කටයුතු කිරීම ගැන පැහැදිලි කළොත්….?

සෝමේ චිත්‍රපටයක් නිර්මාණය කරන්න ගියහම ඔහුගේ මුළු ජීවිතයම එම නිර්මාණයයි. කරන කියන හැමදේම කේන්ද්‍ර කරගන්නේ ඒ නිර්මාණයට. නිර්මාණයේදී හරිම අවංකව වැඩකරනවා. ඒවගේම ඔහු හරිම සුහදව, සන්සුන්ව කණ්ඩායමත් සමඟ වැඩකරන්නේ. චිත්‍රපටයට පෙර හොඳටම සූදානම් වෙනවා. ඒ සඳහා සෝමේ වසර 02ක පමණ කාලයක් ගන්නවා. පිටපතේ සිට චිත්‍රපටය ප්‍රදර්ශනය වන තෙක්ම සෝමේ ඒ නිර්මාණයත් එක්කමයි ඉන්නේ

ළමුන් කේන්ද්‍ර කරගත් නිර්මාණ භාවිතයෙන් මිදී වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් නිර්මාණය වූ “ජංගි හොරා” ඔබේ නිෂ්පාදනයක්. ළමුන් කේන්ද්‍ර කරගත් නිර්මාණ බලාපොරොත්තු වූ ප්‍රේක්ෂකයා “ජංගි හොරා”භාරගන්නේ කවරාකාරයෙන් ද…..?

“ජංගි හොරා” සාර්ථකව තිරගත වුණා. කොවිඩ් සමයේ රට වසා තිබිලා රට විවෘත වූ කාලයෙනේ “ජංගි හොරා” තිරගත කළේ. ඒත් ඒ පසුබිම යටතේ සාර්ථකව චිත්‍රපටය තිරගත වුණා. එයින් අපි කතා කළේ වටිනා මාතෘකාවක්. මානසික ආතතියක් තියෙන පුද්ගලයෙක් එයින් මුදාගෙන ඔහුව සමාජගත කරන්නේ කොහොමද කියනදේයි එයින් කියවෙන්නේ. එය ඉතාම වැදගත් මාතෘකාවක් ලෙස බොහෝදෙනා අගය කළා. ප්‍රේක්ෂකයා “ජංගි හොරා” නරඹා එයට ප්‍රශංසා කළා.

“කුසපබා, සිංහබාහු” වැනි ඓතිහාසික කතා ද සිනමාවට ඔබ දායාද කළා. එවැනි නිර්මාණ නිෂ්පාදනයෙන් ඔබ ලද අත්දැකීම් විස්තර කළොත් ….?

ඓතිහාසික නිර්මාණයක් කරද්දී තිබෙන අමාරුම කාර්යය එකී සමාජ පසුබිම නිර්මාණය කිරීම සහ එයට යන වියදම..හැමදේම යළි ප්‍රතිනිර්මාණය කරන්න වෙනවා. “කුසපබා, සිංහබාහු , සිරිපැරකුම්” චිත්‍රපට ඓතිහාසික කතා. මේ නිර්මාණවලට විශාල මුදලක් යොදන්න වුණා. එකී නිර්මාණවල ඇත්තෙන්ම අභියෝගයක් තිබෙනවා .එවැනි නිර්මාණවලදී විශාල පිරිසක් සමඟ වැඩකරන්න මම ඉගෙනගත්තා. අලින්, ඇතුන්, අශ්වයන් වැනි සතුන් සමඟත් වැඩකරන්න වුණා. ඒක හොඳ අත්දැකීමක්. විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙනගන්නවා වගේ තමයි ඒ චිත්‍රපට කිරීමෙන් ලබන අත්දැකීම්

ඔබ නිපදවූ ටෙලිනාට්‍ය තුළින් වඩාත් කැමැත්තක් දක්වන ටෙලිනාට්‍යයක් තිබේද….?

විශේෂයෙන් එහෙම කියන්න බැහැ . “ඉටිපහන්, අවසඳ, පුංචි පැටව්, සුවඳ කැකුළු “කියන ටෙලිනාට්‍ය කිහිපයටම මම කැමැතියි

නැවත ටෙලිනාට්‍යයක් නිර්මාණය කරන්න අදහසක් නැද්ද……?

ටෙලිනාට්‍ය නිෂ්පාදනයට අකැමැත්තක් නැහැ . පවතින ක්‍රමයත් එක්ක අපට ඉඩක් තියෙනවාද කියන එකයි ප්‍රශ්නය. මේ ක්‍රමය වෙනස් වුණොත් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනයට මගේ අකැමැත්තක් නැහැ

ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියගේ භූමිකාවෙන් මිදී අධ්‍යක්ෂවරියක් ලෙස ප්‍රේක්ෂකයන් අතරට එන්න අදහසක් නැද්ද…..?

තවම ඒ ගැන සිතුවේ නැහැ. එයට හොඳ හැදෑරීමක් තියෙන්න ඕනි. එය වෙනස්ම විෂයයක්.. ඒ පිළිබඳ ශාස්ත්‍රීයව හැදෑරීමකින් තොරව එයට යොමුවෙන්න අදහසක් නැහැ

රේණුකා බාලසූරිය නමැති නිවේදිකාව ගැනත් යමක් සඳහන් කළොත් ….?

මම නිවේදිකාවක් ලෙස රූපවාහිනී මාධ්‍යයට සම්බන්ධ වෙන්නේ 1985දී. ඒත් 1983 සිට මම රූපවාහිනියට සම්බන්ධ වෙනවා. ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන්ගේ ටෙලිසිනේ ආයතනයෙන් කළ වෙළෙඳ දැන්වීම්වලට රංගන ශිල්පිනියක් ලෙස සම්බන්ධ වෙනවා. වසර 35ක කාලයක් මහජන සම්පත ලොතරැයි දිනුම් ඇදීම වැඩසටහනට දායක වුණා. එහි නිත්‍ය නිවේදිකාව බවට පත්වුණා. වෘත්තිය නිවේදිකාවක් විදිහට ආයතනයකට සම්බන්ධ වෙලා ස්ථිර වශයෙන් කටයුතු කර නැහැ කවදාවත්ම. ජාතික රූපවාහිනියේ පවා බාහිර නිවේදිකාවක් ලෙසයි කටයුතු කළේ. එසේ වැඩකරද්දී නිදහස තිබෙනවා, සිනමාව වැනි මාධ්‍යවලටත් අපට සම්බන්ධ වෙන්න පුළුවන්

ඔබේ අනෙකුත් ටෙලි නිර්මාණයන් යූ ටියුබ් හරහා මුදාහරින්න අදහසක් නැද්ද …..?

අපේ අනෙක් නිර්මාණත් යූ ටියුබ් හරහා මුදාහරින්න අදහසක් තිබෙනවා

මෙරට සිනමාවේ තරුණ අධ්‍යක්ෂවරුන් (සංජීව පුෂ්පකුමාර, ජගත් මනුවර්ණ වැනි) අද වෙද්දී අන්තර්ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබමින් සිටිනවා .ඒ පිළිබඳ ඔබේ මතයත් අපේ සිනමාව අන්තර්ජාතික තලයේ තිබෙන ස්ථානය ගැනත් ඔබට දැනෙන හැඟීම මොනවගේද……?

ඒ ගැන ඉතාම සතුටුවෙනවා. ලංකාවේ තේ, රබර්, මැණික් පිළිබඳ කතා වෙනවා වගේ සිනමාව ගැනත් අන්තර්ජාතික මට්ටමින් වසරකට වරක් කතා වෙනවා. ජගත් මනුවර්ණ, සංජීව පුෂ්පකුමාර, මලිත් හෑගොඩ වගේ දක්ෂ, නවක අධ්‍යක්ෂවරුන් ඉන්නවා. අපට හොඳ කර්මාන්තයක්, නිෂ්පාදකවරුන්, ආයෝජකයන් නැතිකම වගේ ප්‍රශ්න රැසක්ම තිබෙනවා . නිර්මාණ කිරීමේ නොහැකියාවක් මේ රට තුළ නැහැ

වේදිකාවට ඔබ සක්‍රිය මට්ටමේ දායකත්වයක් නැද්ද…….?

වේදිකාවට මම සම්බන්ධ වෙන්නේ 1970 දශකයේ. මෑතකාලයේ නම් වේදිකාවට සම්බන්ධ වුණේ නැහැ. රූපවාහිනියට සම්බන්ධ වුණාට පස්සේ ඒ යුගය අවසන් වුණා .මුලින්ම ප්‍රසිද්ධ වේදිකාවේ මම රඟපෑවේ තිලක් ගුණවර්ධන මහතාගේ “කොන්ත නෝනා” වේදිකා නාට්‍යයේ . ඉන්පසු සෝමරත්න දිසානායකගේ “වෙඩික්කාරයෝ”. පීටර් වෙදමුණිගේ වේදිකා නාට්‍ය කිහිපයකමත් රඟපෑවා. නාමල් ප්‍රියදේවගේ “මං මුඩ්ලියර් , නිධානය ” වේදිකා නාට්‍යවල රඟපෑවා. “මීපුර වැසියෝ” හිත් එකල රඟපෑවා

ඔබේ නිර්මාණ සඳහා රංගන ශිල්පීන් තෝරාගැනීමේදී සෝමරත්න දිසානායකයන් සහ ඔබ අතර ගනුදෙනුව සිදුවෙන්නේ කවරාකාරයෙන්ද …..?

පිටපත සකස් කරගෙන යද්දී සෝමේ සාකච්ඡා කරනවා මේවගේ චරිත තියෙනවා , කවුද ඒවාට ගන්නේ කියලා. අපි දෙන්නා ඒ ගැන සාකච්ඡා කරනවා . නමුත් අවසන් තීරකයා වෙන්නේ සෝමේ..

කෙටි චිත්‍රපට- වාර්තා චිත්‍රපට නිෂ්පාදනයට අතගසා නැද්ද…….?

තවම නැහැ

ඇතැම් චිත්‍රපට සඳහා ඔබට අමතරව නිෂ්පාදන අර්ථපතීත්වයෙන් තවත් කිහිපදෙනෙක් දායක වී තිබෙනවා. ඒ පිළිබඳවත් යමක් කීවොත් ……?

මට එවැනි අත්දැකීම් 03ක් තිබෙනවා .එකක් “කුසපබා”. එහිදී නිෂ්පාදකවරුන් 12ක් එක්ක එකතුවෙලා කටයුතු කළත් එහිදී දර්ශනතලයේ සිට සියලු කළමනාකරණ කටයුතු කළේ මම සහ සෝමේ. අනෙක සුනිල් ටී. මහතා සමඟ වැඩකිරීම. “මින්නු” චිත්‍රපටයේදී සුනිල් ටී. මහතා නිෂ්පාදනයෙන් දායකවුණත් මමයි සියලු දේ බලලා කළේ. අනෙක “සිංහබාහු” චිත්‍රපටය. එහිදීත් ප්‍රධාන නිෂ්පාදක ලෙස ගාමිණී වික්‍රමසිංහ මහතා සම්බන්ධ වුණා .එහිදීත් මමයි දර්ශනතලයේ සිට සියලු කටයුතු කළේ….

අද වනවිට ලාංකේය වත්මන් සිනමාව ඔබ දකින්නේ කෙසේද …..?

අද වනවිට සිනමාව දකින්නේ කොහොමද කියද්දී දකින්නට දේශීය සිනමාවක් තියේද යන්න ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මෙය පුළුල් ලෙස සාකච්ඡා කළයුතු කරුණක්.

රේණුකා බාලසූරිය නමැති රංගන ශිල්පිනිය නැවත අපට දකින්නට නොලැබේවිද…..? ඔබ රඟපෑ ටෙලි _ සිනමා නිර්මාණ ගැන මතකාවර්ජනය කළොත්…..?

මම මුලින්ම රඟපෑවේ සෝමේගේ “පුංචි පැටව්” ටෙලිනාට්‍යයේ. “අවසඳ, සුවඳ කැකුළු” වගේම සුදත් මහදිවුල්වැවගේ “ධවල රාත්‍රිය” ටෙලිනාට්‍යයේත් රඟපෑවා..ඒවගේම ඒකාලයේ නිර්මාණය කළ වාර්තාමය ටෙලිනාට්‍ය රැසකම රඟපෑවා. නම් වශයෙන් කියන්න මතකත් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්මාණය කළ වාර්තාමය ටෙලිනාට්‍යවල රඟපෑවා. වෙළෙඳ දැන්වීම් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් සමඟ රැසක්ම කළා. නැවත රංගනයට එන්න ඉඩක් ලැබුණොත් බලමු.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT