නිවස විශේෂාංග ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ඇමරිකාවට තිළිණ කළ වගයි

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ඇමරිකාවට තිළිණ කළ වගයි

by Thanushika
May 2, 2024 1:45 am 0 comment

අඳුරේ අතපත ගාමින් නිවන් මඟ සොයන මිනිස් සත්වයාට යා යුතු මඟ කියා දෙමින් දහම් කරුණු මැනවින් පහදා දෙමින් මුළු ලොවටම දහම් අමා අස්වැන්න වැපිරුවේ අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේය. එවැනි ශ්‍රේෂ්ඨ උත්තම චරිතයක් පිළිබඳව සිනමා සිත්තමකට නැඟීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ලෝකයේ සිනමා නිර්මාණකරුවන් කොතෙකුත් සිටියත් එවැනි කාර්යයකට අත ගැසීමට බොහෝ නිර්මාණකරුවන් අකැමැතිය. ඒ මන්ද එය සාමාන්‍ය නිර්මාණ කාර්යයක් නොවන නිසාය.

එහෙත් අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතය සිනමාවට ගෙන ආ අවස්ථා අතීතයේදී ද වාර්තා වී ඇත. එසේ නිර්මාණය වූ පළමු චිත්‍රපටය ලෙස 1923 දි ඉන්දියාවේ නිර්මාණය කරන ලද “Buddhadev” නමැති කළු සුදු චිත්‍රපටය නිදසුනක් ලෙස ගත හැකිය. එය ඉන්දියාවේ සිනමාකරුවකු වූ Dada Sabeb Phalke විසින් නිර්මාණය කරන ලද්දකි. එය කළු සුදු මෙන්ම නිහඬ චිත්‍රපටයක් ලෙස පෙන්වා දී ඇත. (අන්තර්ජාලය ඇසුරෙනි.) ඉන්පසුව නිර්මාණය වූ චිත්‍රපට අතරින් ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ“Little Buddha”, “Siddhartha” සහ“The Great Buddha” වැනි චිත්‍රපට හඳුන්වා දිය හැකිය.

ඒ අනුව ශ්‍රී ලංකාවේද එවැනි නිර්මාණයක් බිහි වූයේ බෞද්ධයින් බහුතරයක් ජීවත්වන රටක් නිසාය. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය සිනමාවට නැඟෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම ගෘහ නිර්මාණ ශිල්පියකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයකු වන නවීන් ගුණරත්න මහතාගේ සිතෙහි මෙම නිර්මාණ කාර්යය ගැන වස්තු බීජය හට ගන්නේ බොහෝ කලකට ඉහතදීය. එතැන් පටන් නවීන් මහතා තම සමීපතම සගයන් සමඟ මෙම දැවැන්ත කටයුත්ත සඳහා

මුල පිරුවේය. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් රේඛීය නිෂ්පාදක ප්‍රීති වරාවිටගේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ නිෂ්පාදක සමන් වීරමන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ ලේඛකයකු වන එඩ්වින් ආරියදාස යන තම හිත මිතුරු කැල මේ සඳහා ඒකරාශී කරගත්තේය. එතැන් පටන් ඔවුහු මෙම සිනමා නිර්මාණය රිදී තිරය මත සිත්තම් කරන්නට තම උපරිම කැපවීම දායකත්වය සපයන්නට වූහ. නවීන් මහතා තමන්ට අයත් බත්තරමුල්ල ඉඩමෙහි ලහි ලහියේ මූලික අඩිතාලම දමන ලදී.

ඉන්දියාවේ මෙන් රජ මාළිගා, සටන් බිම්, මල් උයන්, කඩවීදි වැනි චිත්‍රපටයට අදාළ බොහෝ පසුබිම් තල එහි ඉදි වූයේ ස්ථිර ගොඩනැගිලි ලෙසය. වෙනත් චිත්‍රපටවල මෙන් රූගත කිරීම් අවසන් වූ පසුව ඉවත් කර දමන පසුතල මෙන් නොව ඒවා ඉදිරි පරම්පරාවටද ප්‍රයෝජනයක් ගත හැකි සේ ඉදිකර තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලාංකික ප්‍රවීණ සිනමා රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම සහභාගි කරවාගෙන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය බිහි වන්නේ නවීන් ගුණරත්නයන් ඇතුළු එතුමන්ගේ සමීපතම සගයන්ගේ එකමුතුව සහ උත්සාහයෙනි.

මින් වසර 11 කට පමණ පෙර අති සාර්ථකව තිරගත වූ මෙම ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ගැන වර්තමානයේ කතා කිරීමට පටන් ගන්නේ ඇයි දැයි සිනමාව ගැන මහත් උනන්දුවක් දක්වන පාඨකයාගේ සිත තුළ කුතුහලයක් ඇති වන්නට පුළුවනි.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ගැන සිනමාව ගැන උනන්දුවක් දක්වන සැමට මහත් ආඩම්බරයක් දනවන කාරණයක් ඔබ වෙත තිළිණ කිරීමට අපගේ යුතුකමක් ලෙස හැඟෙන නිසා ඒ පිළිබඳව ඔබට දැන්විය යුතුමයි.

සිනමා පටයක් වෙනත් රටකට තෑගි කලා යැයි ඔබ කිසි දිනක අසා තිබෙනවාද එහෙත් එය එසේ සිදු වී ඇත.

මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් දැනගත යුතු නිසාම මේ සඳහා අප සමඟ කතාබහට එක් වූයේ මේ කටයුත්තේ සියලු සම්බන්ධීකාරක කටයුතු කරන චිත්‍රපටයේ රේඛීය නිෂ්පාදක ප්‍රීති වරාවිටගේ මහතායි. ඉතාමත් ඕනෑකමින් ඔහු අප සමග කතාවට මුල පිරුවේය.

ඇත්තටම ඔබට කියන්න පුළුවන්ද ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ඇමරිකා එක්සත් ජනපදයට තෑගි කළා යනුවෙන් අදහස් කළේ කුමක්ද කියා

ඔව් ඒ ගැන හොඳ පැහැදිලි කිරීමක් මට කරන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන” Light of Asia”පදනම සහ නිව්යෝර්ක් හි ,”Long Island” භාවනා මධ්‍යස්ථානය අතර සිදු කෙරෙන උදාර කටයුත්තක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. මෙම පදනම් දෙක අතර සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතුව සම්මානලාභී චිත්‍රපට නිෂ්පාදක Light of Asia”පදනමේ සභාපතිතුමා වන නවීන් ගුණරත්න මහතා විසින් තමයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ”Long Island” බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ සභාපති කොට්ටාවේ නන්ද ස්වාමීන් වහන්සේ වෙත මෙම චිත්‍රපටය තෑගි කළේ.

“අපේ චිත්‍රපටය ඇමරිකාවේ සියලු ප්‍රාන්ත පුරා තිරගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වන සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතිනවා.”

“අපේ බලාපොරොත්තුව තමයි ඒ රටේ මෙය තිරගත කරන ගමන් බෞද්ධ දර්ශනය ඉගෙන ගැනීමට කැමති භාවනා කිරීමට කැමති පිරිස ඒවාට නැඹුරු කිරීම.”

“තවත් එක් අරමුණක් තමයි මිනිසුන්ගේ මනස නිරවුල් කිරීම සහ සොබා දහමට අනුගත වෙමින් ඔවුන්ව ධර්මයට අනුව හැඩගැස්වීම. විදේශකයින් ඒ සඳහා වැඩි වශයෙන් යොමු වෙයි කියලා අපි හිතෙනවා. මේ කාලයේ විදේශකයින්ගේ වැඩි නැඹුරුවක් උනන්දුවක් තියෙනවා ඒ ගැන.”

“ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ඇමරිකාවේ පෙන්වන්න පටන් ගත්තට පස්සේ භාවනා ආදියට යොමුවීම සඳහා අපේ රටට එන විදේශකයින්ගේ සංඛ්‍යාව වැඩි වෙයි කියලා අපි විශ්වාස කරනවා.

“විශේෂයෙන්ම ඇමෙරිකාවෙන් අපේ සිනමාව ගැන බොහෝ සෙයින් උනන්දු වෙයි කියලාත් අපි හිතෙනවා ඒක අපේ සිංහල සිනමාවට වැදගත් කාරණයක්.”

අපි ඒ කාලේ චිත්‍රපටය රටවල් කිහිපයකම ප්‍රදර්ශනය කළා. ඒ ඒ රටවල්වලට අදාල භාෂාවලින් Subtitle දාලා.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය 2014 දී වියට්නාමයේ Hanoi වල Buddhist Film Festival එකේදි හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සංස්කරණය සහ හොඳම සංගීතය සඳහා සම්මාන දිනාගත්තා.

මෙම චිත්‍රපටයේ රේඛීය නිෂ්පාදක වන ප්‍රීති වරාවිටගේ මහතාගේ උනන්දුව කැපවීම අගය කළ යුතුමය. ඒ නිසාම ඔහු ගැනද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ප්‍රීති මහතා සිනමා ලෝකයේ බොහෝ පිරිසක් හඳුනන කලාකරුවන් බොහෝ දෙනාගේ හිත දිනාගත් සුහදශීලී සුන්දර තැනැත්තෙකි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව ප්‍රකට සිනමා සමාගම් ලොව ප්‍රකට රංගන ශිල්පී ශිල්පිනියන් සමඟද ඔහු කටයුතු කරයි. ප්‍රීති මහතා පවසන අන්දමට ඔහුගේ පියා ද සිනමා කර්මාන්තයට සම්බන්ධව කටයුතු කර ඇත.

මගේ තාත්තා චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරලා තියෙනවා.

ඒ නිසාම තමයි මමත් සිනමාවට ආස කරන්නේ.

පසුගිය කාලයේ ලංකාවේ අති සාර්ථකව තිරගත වූ ජනප්‍රිය චිත්‍රපටයක් වූ ආදරණීය ප්‍රාර්ථනාහි ප්‍රධාන නළුවා වූ රාහුල් රිශික ප්‍රීති මහතාගේ වැඩිමහල් පුතණුවන්ය.

මගේ වැඩිමහල් පුතා රාහුල් රඟපෑමට දක්ෂයි. එයාට සිනමාවේ දුර ගමනක් යන්න පුළුවන් කියල හිතෙනවා. එයා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගත්තා. හොඳට ඉගෙන ගෙන උපාධියක් ගත්ත කෙනෙක්.

මගේ නැගණිය විවාහ වෙලා ඉන්නේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්න සමඟ ඉතින් අපේ පවුල සිනමාවට වැඩි නැඹුරුවක් ආදරයක් තියෙනවා. මේ කතාබහ ගලා යන අතරතුර මම ඉඳහිට පැනයක් ඇසීමට මම අමතක නොකෙළෙමි.

ඔබ මේ චිත්‍රපටය සම්බන්ධව වැඩ කරගෙන යද්දී ඔබට සහයෝගය ලබාදුන් අය අතර විශේෂයෙන් සඳහන් කරන්න කෙනෙක් එහෙම ඉන්නවද? එක්කෙනෙක් කියලා නැහැ. නම් වශයෙන් කියන්න අපහසුයි. බොහෝ පිරිසක් සිටින නිසා. ඒත් සඳහන් කළ යුතු කිහිප දෙනෙක් ඉන්නවා මගේ ළඟම මිත්‍රයෙක් වන චන්ද්‍රන් රත්නම් චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට වගේම Edting වලට විශාල සහයෝගයක් ලබා දුන්නා.

ඒ වගේම තමයි ගගන් මලික් (Gagan Malik) ඉන්දියාවේ ගිහින් තමයි අපි ඔහුව තෝරා ගත්තේ. තුන්සීයක් පමණ පිරිසක් අතරින්. Gagan Malik අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම ගොඩක් කැපවීමකින් කටයුතු කළා.

ඒ වගේම තමයි චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ සියලුම දෙනා කාර්මික ශිල්පීන් ඇතුළු සහයෝගය දුන් සියලුම දෙනා මම මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ නිෂ්පාදක නවීන් ගුණරත්නයන් ගැන මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන.නවීන් මගේ පාසැල් කාලයේ පටන් සිටින මිතුරෙක්.අපි දෙන්නම ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ. ඒ මිත්‍රත්වයම තමයි මේ කටයුත්ත සාර්ථක වෙන්න බලපෑවේ. සියලු කතාබහ අවසාන වන මොහොතේ මම මගේ අවසන් පැනය ප්‍රීති වරාවිට ගේ මහතාට යොමු කළෙමි.

වර්තමානයේ Light of Asia” පදනමේ දායකත්වය ඇතිව සිනමාව වෙනුවෙන් මොනවාද ඔබලා ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන කටයුතු

ඔව් අපි මේ වෙනකොට සිනමාව පිළිබඳ විවිධ පාඨමාලා පවත්වාගෙන යාමට කටයුතු යොදලා තියෙනවා. විශ්වවිද්‍යාලයට යාමට සුදුසුකම් නොලැබූ සිසුන් වෙනුවෙන් තමයි ඒ පාඨමාලා ආරම්භ කර තියෙන්නේ. අපි ඒක හඳුන්වලා තියෙන්නේ Funiversity නමින්. සිනමා අධ්‍යක්ෂණය, තිර රචනය, සංස්කරණය වැනි සිනමාවේ විවිධ පැතිකඩ ආවරණය වන විදිහට විධිමත් අධ්‍යාපනයක් ලබා දෙන්න අපි කටයුතු කරනවා.

තවත් විශේෂම කාරණයක් තමයි ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ දෙවැනි කොටස කිරීමට කටයුතු කරමින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ චරිතය පමණක් Animation එකක් විදිහට තමයි කෙරෙන්නේ.

ස්වාභාවික වේශ නිරූපණය සහ ඇඳුම් නිර්මාණය පිළිබඳ විශේෂ ඒකකයක් පිහිටුවීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් තිබුණා ඇමරිකාවේ සිට පැමිණි Dominic Patrick Marrunucci මහතා සමඟ. ඒ වගේම මනස සුවපත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට Kyoko kishikawa මහත්මිය සහ Yoshikawa Tsuyoshi මහතා සමග සාකච්ඡාවක් තිබුනා ඔවුන් පැමිණියේ ජපානයේ සිට.

මම හිතනවා මේ සියලු දේවල් සිනමාවේ නියැළෙන අයට සහ කලාවේ නියැළෙන අයට වැදගත් වෙයි කියලා.

ඇත්ත වශයෙන්ම “Light of Asia” පදනම සිනමාව වෙනුවෙන් ඉටු කිරීමට බලාපොරොත්තු වන මේ වැදගත් කටයුතු අපේ සිංහල සිනමාව වෙනුවෙන් කරන්නා වූ වටිනා මෙහෙවරකි.

විශේෂයෙන් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ඇමරිකා එක්සත් ජනපදයට ත්‍යාගයක් වශයෙන් ලබා දීමෙන් සිංහල සිනමාව ගැන ඉදිරියේදී ජාත්‍යන්තරයේද විශේෂ කතාබහක් ඇතිවේවි.

අවසාන වශයෙන් “Light of Asia” පදනමේ සියලු කටයුතු සාර්ථක වේවා යැයි සරසවිය පුවත්පතේ සුභාශිංසන පිරිනමමින් අප සමග රසබර හරබර කතාබහට

එක් වූ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ නිෂ්පාදක මෙන්ම වත්මනෙහි එහි සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන ප්‍රීති වරාවිටගේ මහතාට මම සමු දුන්නෙමි.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT