නිවස වේදිකා නාට්‍ය ‘දෙවඟනක් කළුවරේ’ යටිපෙළ කළුවරේ කියවන්න

‘දෙවඟනක් කළුවරේ’ යටිපෙළ කළුවරේ කියවන්න

- ‍නාට්‍යවේදී තරංග බණ්ඩාර

by Thanushika
April 18, 2024 12:30 am 0 comment

“ලේන්සුව වගේ ම තරාදිය තියෙන්නෙත් ගෑනියෙක්ගේ අතේ මහත්තයෝ”

එහෙම කියන්නේ කවුද කියලා අපි සොයා බැලුවා. එතකොටයි දැන ගන්න ලැබුණේ මීට වසර කිහිපයකට කලින් ‘චෞදරී’ව අරගෙන ආව තරංග කාලයකට පස්සේ අලුත්ම වේදිකා නාට්‍යයකුත් අරගෙන මේ 29 වැනිදා ඔබ හමුවට එන බව. ඒ ‘දෙවඟනක් කළුවරේ’නමින්.

එතැනින් අපි කතාව ආරම්භ කළා.

“2017 වසරේදියි මා චෞදරී කළේ. ඊට වසර හතකට විතර පසුවයි මේ මගේ අලුත් ම වේදිකා නාට්‍යය අරගෙන මා වේදිකාවට එන්නේ. ඒ තරම් කාලයක් ගත වෙන්න හේතු වුණේ රටේ තිබුණු වාතාවරණය. ඒත් රටේ පවතින වාතාවරණය යහපත් වනතුරු හිටියොත් අපට නාට්‍ය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා නැවතත් කොහොමහරි නාට්‍යයක් කරන්න ඕන කියලා සිතුවා. මේ අනුව නාට්‍යකරුවන් විදියට නාට්‍ය කරන්න ඕන වකවානුව හදාගන්න ඕන අපිමයි කියන පදනමේ මා සිටියා. ඒ වගේ ම නාට්‍යකරුවන් වන අපේ වගකීම වන්නේ නිර්මාණ බිහි කරන එක. මොන ප්‍රශ්න තිබුණත් මිනිස්සු කලාවත් එක් ඉන්නවා. ඒ නිසාමයි මේ අවුරුද්දේ ‘දෙවඟනක් කළුවරේ’ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරන්න පටන් ගත්තේ. මේ වනවිට එහි වැඩකටයුතු බොහොමයක් අවසන්. ඒ අනුව මේ 29 වැනිදා ටවර් රඟහලේදි සවස 6.30ට ‘දෙවඟනක් කළුවරේ’ කියන වේදිකා නාට්‍යයේ මංගල දර්ශනයයි ‌වේදිකා ගත වෙන්නේ.”

මගේ මතකයේ විදියට තරංග බණ්ඩාර කියන නාට්‍යකරුවා වැඩි කැමැත්තක් දක්වන්නේ ස්වතන්ත්‍ර නාට්‍ය කරන්න. ඒත් කාලයකට පස්සේ ඔහුගේ ඒ කලින් අදහස වෙනසකට ලක් වෙලා ද කියලත් හිතුණා.

“මොකද කාලයකට පස්සේ මේ ගෙනෙන වේදිකා නාට්‍යය පරිවර්තනයක් ද?”

“මෙතෙක් මා පරිවර්තන නාට්‍ය කරලා නැහැ. කරන්න අදහසකුත් නැහැ. ඒ වගේ ම ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණය කරන්න මා දක්වන්නේ ඉමහත් කැමැත්තක්. අපේ රටේ ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණකරුවෝ ඉන්නේ අතළොස්සයි. ඒ වගේ ම අද පරිවර්තන නාට්‍යයක් කරන එකත් පහසු නැහැ. ඒ වගේ ම අද තියෙන්නේ පරිවර්තන නාට්‍යයත් නොවෙයි. ඒ කියන්නේ ඒවා කොපි කරන්න පහසුයි. ඒ කියන්නේ විදේශ රටවල නිෂ්පාදන අමෙරිකාවේ, එංගලන්තයේ, ඔස්ට්‍රේලියාවේ වගේ නිර්මාණ ඕන තරම් අන්තර්ජාලයෙන්, යූටියුබ් එකෙන් දැක ගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් වෙලාවට පරිවර්තනයක් නොවෙයි කොපියක් කිරීමේ හැකියාවයි එවිට වැඩි වන්නේ. ඒ විතරක් නොවෙයි ස්වතන්ත්‍ර නාට්‍යකරුවන් වුණත් බොහොම අසීරුතාවෙන් යුතුවයි මේ වේදිකා නාට්‍ය කරන්නේ. මා ඒ අසීරුතාවට කැමැතියි. ඒ නිසා මා තෝරා ගත්තේ ස්වතන්ත්‍ර නිර්මාණයි.”

තරංග බණ්ඩාරගේ පළමු වේදිකා නාට්‍යය පිටපත ලිව්වේ ඔහුමයි. ඒ චෞදරී. මේ ‘දෙවඟනක් කළුවරේ’.

“මේ වේදිකා නාට්‍යය පිටපත ලියන්නේත් ඔබ ම ද?”

“අපේ රටේ නාට්‍යකරුවන් තමන්ගේ නිර්මාණයේ පිටපත අධ්‍යක්ෂණය කිරීමයි බොහෝ විට දකින්න ලැබෙන්නේ. අද වෙන කෙනෙකුගේ නාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා මේ නාට්‍යයේ පිටපත මා ලිව්වා. ඒ අනුව ලේන්සුව වගේ ම තරාදිය තියෙන්නේත් ගැහැනියෙක්ගේ අතේ කියලයි මෙහි කියලා තිබෙන්නේ. මෙහි කතාව වෙන්නේ වල් වැදුණු නීතිය හා අපේ රටේ තිබෙන අවනීති තත්ත්වයයි. ඒක ඛේදවාචකයක්. හැම දෙයකම දේශපාලනයක් තිබුණත් ඒත් පෙනෙන දේශපාලනයක් නැහැ. ඒ නිසා මේ නාට්‍යයෙන් කතා කෙරෙන්නේ නීතිය ගැනයි. රටේ පවතින නීතිගරුක භාවයක් නැති බව ගැනයි. ජනමාධ්‍ය, දේශපාලනය, පොලිසිය, උසාවිය වගේ ම සමාජයේ ජීවත්වන මිනිස්සු අතරත් ඒ හැම දෙයක්ම සිදු වෙනවා. එතනදි හතර දෙනෙකු එක්ක මහපාරේ මහ රෑ කරන ගේම් එකකුයි තියෙන්නේ. ඒ කියන්නේ මේක පොඩි කුතුහලයෙන් පිරි වැඩක්. නාට්‍යයේ කාලය හා ප්‍රදර්ශනය වන කාලය, සිද්ධියේ කාලය එක වගේ කාලයක් තියෙන්නේ. රැයක සිට පාන්දර දක්වා පැය දෙකක් වගේ කාලයක සිදු වන සිදුවීම් පෙළකුයි මේ නාට්‍යය මඟින් දිගහැරෙන්නේ.”

නීතිය. රටකට වගේ ම ජනතාව අතරේ නිතරම වගේ කතා කරන මාතෘකාවක්. එහි තිබෙන විවිධ දුර්වලතා වගේ ම විවිධ අයට විවිධ විදියට නීතිය ක්‍රියාත්මක වීමත් පිළිබඳ බොහෝදෙනාගේ හිත්වල තිබෙන්නේ නොසන්සුන්බවක්.

“රටක නීතිගරුක භාවය තමයි මිනිස්සුන්ව යහපත් විදියට තියන්න උදවු වෙන්නේ. ඒ වගේ ම රටක මිනිස්සු නීතිගරුක විය යුතුයි. ඒක පොලිසියෙන්, උසාවියෙන් විතරක් නොවෙයි. රටේ පරිපාලනය පැත්තෙනුත් විය යුතුයි. එවැනි සමාජ වාතාවරණයක මිනිස්සුන්ගේ පැත්තෙන් ගත්තොත් මිනිස්සු නීතිගරුක බවයි මට නම් හැඟෙන්නේ.”

අධ්‍යක්ෂවරයාගේ මෙතෙක් පැමිණි නිර්මාණවලට ඔහු බොහෝ විට පාදක කරගත්තේ දේශපාලනය. ඒ දේශපාලනයෙන් ඔහුගේ අලුත් නිර්මාණයත් අතහැරලා ගිහින් නැහැ වගෙයි.

“‘දෙවඟනක් කළුවරේ’ වේදිකා නාට්‍යය ඇතුළේදිත් ඒ දේශපාලනය ගැන කතා කරන්න ඔබ අමතක කළේ නැහැ.”

“දේශපාලනයෙන් තොරව හුස්ම ගන්නවත් බැහැ. මෙහි තියෙන්නේ දේශපාලනයයි. හැබැයි ඒ කිසි දෙයක් මේ වේදිකා නාට්‍යයේ උඩින් පේන්න නැහැ. එහි අවසානයේදියි ප්‍රේක්ෂකයා එය දකින්නේ. ඒ නිසා ඒ ගැන දැනගැනීමට නම් ප්‍රේක්ෂකයා නාට්‍යය නැරැඹිය යුතු ම වෙනවා. එහි අවසානය දැකිය යුතු ම වෙනවා. එවිටයි ඔවුන්ට හැඟෙන්නේ අපි මොනවද කරලා තියෙන්නේ කියලා. ඒ මඟින් නීතිය විතරක් නොවෙයි අපේ රටේ ජනමාධ්‍යය හැසිරෙන විදිය, පොලිසිය, උසාවිය ඒ සියලු දෙනා හැසිරෙන විදියත් පිළිබඳ කතා කරන්න මා උත්සාහ කළා. වැඩිය ඒ ගැන මා කියන්න යන්නේ නැහැ.මේ නිර්මාණය කුතුහලයෙන් පිරුණු නාට්‍යයක් නිසා නාට්‍යය නරඹලාම ඔබ ඒක තීරණය කරන්න.”

තරංගගේ ‘චෞදරි’ත් දර්ශන රැසක් වේදිකා ගතවුණු නිර්මාණයක්. ඒත් ඒක අතරමඟදි නවත්වන්නට සිදු වුණා.

“ඒකට විශේෂ හේතුවක් තිබුණා ද?”

“ඒ නාට්‍යයත් දර්ශන වාර 50ක් දක්වා වේදිකා ගත වුණා. ඉන් පස්සේ ඒ නාට්‍යය තාවකාලිකව නවත්වන්නට සිදු වුණා. එකක් මේ වේදිකා නාට්‍යය ආරම්භ කළ නිසා. ඒ වගේ ම එහි රඟපෑව සරත් චන්ද්‍රසිරි අප අතුරින් සමුගත්ත නිසා, ඊට පස්සේ ඒ නාට්‍යය වේදිකා ගත කරන එක ගැටලුවක් වුණා. ඒත් එහි එක් දර්ශන වාරයක් ප්‍රියන්ත සෙනෙවිරත්න රංගන ශිල්පියා ඇවිත් රඟපාලා දීලා ගියා. එතැනින් ඒ නාට්‍යය වේදිකා ගත කිරීම අවසන් වුණා. ‘දෙවඟනක් කළුවරේ’ නාට්‍යය නිෂ්පාදනය කරලා අවසන් වුණු වහාම නැවතත් එහි වැඩකටයුතු ආරම්භ කරන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.”

තරංග බණ්ඩාරගේ ‘දෙවඟනක් කළුවරේ’ වේදිකා නාට්‍යයේ ඔහුගේ පළමු නාට්‍යයේ වගේ ම මේ නාට්‍යයේදිත් ප්‍රවීණ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් රඟපෑමෙන් එකතු වන බවයි පෙනෙන්නේ.

“ඒ සඳහා සහය දක්වන පිරිස කවුද?”

“කුසුම් රේණු, ඒ වගේ ම කාලයකට පස්සේ ජනක කුඹුකගේ රඟපානවා. චන්න කුලරත්න වගේ ම අලුත් නළුවකු වුණු චරිත් මධුරංග කියලා යොවුන් නළුවකුත් මෙහි රඟපානවා. මේ නාට්‍යයේ ඒ කියන ලද ශිල්පීන් කිහිපදෙනා පමණයි රඟපාන්නේ. මා අධ්‍යක්ෂණ කටයුතු විතරක් කරනවා. වේදිකා නාට්‍යය පිටපතත් මගේමයි. සංගීතයෙන් ශාන්ත පීරිස්, ඇඳුම් නිර්මාණයෙන් මා වගේම නිපුණි මෙන්ඩිස්, ආලෝකකරණයෙන් මිහිඳු මධුශංක, වේදිකා පසුතල නිර්මාණයෙන් චන්න මහේෂ් කුලරත්න, වේදිකා පරිපාලනයෙන් මලීෂ අබේසේකරත් මේ නිර්මාණයට සහයෝගය සපයනවා. මෙහි නිෂ්පාදන කටයුතු කරන්‌නේ ශාරිකා බණ්ඩාර මගේ නංගියි. මෙහි වේශ නිරූපණ කටයුතු කරන්නේ අපි හතර දෙනාමයි.”

බොහෝ වේදිකා නාට්‍යවලදි වේශ නිරූපණ ශිල්පියකුගේ කටයුත්ත වෙනස්ම භූමිකාවක්.

“ඒත් මෙහිදි ඒ කාර්යය වෙනසකට ලක්වෙනවා”

“ඇත්තටම කියනවා නම් අත්හදා බැලීමක් කරන්න අපට වුවමනාවක් තිබුණා. බොහෝ වෙලාවට අපේ කලින් නාට්‍යයේදි වෙනම වේශ නිරූපණ ශිල්පියකු සිටියා. ඒත් අපි මෙහිදි නව අත්හදා බැලීමක් කළා. අනෙක් චරිත ගත්තොත් චන්නත් වේදිකා පසුතල කරන ගමන්මයි රඟපාන්නේ.”

මෙවැනි කාර්යභාර රැසක් සිදු වන ‘දෙවඟනක් කළුවරේ’ වේදිකා නාට්‍යයේ රංගනයෙන් සහභාගි වන නළු නිළියන්ට වැඩි වගකීම් රැසක් පැවරී ඇති බවයි හැඟෙන්නේ.

“ඒ සියලු කටයුතු අවසන් කරන්න ඔවුන්ගෙන් ඔබට ලැබුණු සහයෝගය මොන වගේ ද?”

“කුසුම් රේණු මාත් සමඟ කලින් වැඩ කරලා තිබුණා. ඈ සමඟ බොහොම පහසුවෙන් වැඩ කරන්න හැකි නිළියක්. කලට වෙලාවට වැඩ කරනවා වගේ ම තමන්ගේ චරිතය ගැන ඉතා ම මහන්සි වෙන කෙනෙක්. ජනක කුඹුකගේ මෑත කාලීනවයි මා හඳුන ගන්නේ. ඔහු‌ගෙනුත් මට පුහුණු වීම්වලදි බොහෝ සහයෝගය හිමි වුණා. ඒ නිසා ඔවුන්ගේ දක්ෂතා 29 වැනිදාට ප්‍රේක්ෂකයන්ට වේදකාවේදි දැක ගන්නට හැකිවේවි.”

‘දෙවඟනක් කළුවරේ’ කියලා කියැවුණත්, ඒ කියන නාමයෙන් තරංග බණ්ඩාර කියන දේශපාලනයක් මේ වේදිකා නාට්‍යය මඟින් කියැවෙනවා ද කියන ගැටලුව ප්‍රේක්ෂකයන්ගේ සිත්සතන්වල ඇති විය හැකියි.

“එහෙම අදහසක් ගන්න මේ නාමයෙන් බැරි වෙන්න පුළුවන්.”

“අපි දෙවඟන කියන විට නීතියේ දෙවඟනක් ඉන්නවා. රාත්‍රී කාලයේදි පාර බහින්නේ දෙවඟනක් වගේ. ඒ ආකාරයෙන් විවිධ අර්ථ ගැන්වෙන විදියටයි මේ වේදිකා නාට්‍යය නිර්මාණය කරලා තියෙන්නේ. එදාට එය නරඹන්න ඔබ ටවර් එකට එන්න. එවිට එහි සත්‍යතාව දැක ගන්නට ඔබට හැකියාව ලැබේවි”

බොහෝ වේදිකා නාට්‍යවල දේශපාලනය වගේ ම සුලබව දකින්න ලැබෙන කාරණයක් වෙන්නේ Comedy බහුල බවයි. ඒ තරමටම ප්‍රේක්ෂකයන් කමඩිවලට කැමැත්තක් දක්වනවා ද කියන ගැටලුවත් අපට පැන නැඟෙනවා.

“ඔබගේ නාට්‍යයේත් Comedy ඇතුලත් ද?”

“මමත් Comedy නාට්‍යවල රඟපෑව කෙනෙක්. ඒ වගේ ම තවමත් රඟපාන කෙනෙක්. ඒත් මේ කාලයේ නාට්‍යයක් නිෂ්පාදනය කරනවා කියලා කිව්වට පස්සේ ප්‍රේක්ෂකයෝ බොහෝ දෙනෙකු අහන්නේ කමඩි නාට්‍යයක් ද කරන්නේ කියලා. ඒ වගේ ම කවුද ඉන්න නළු නිළියෝ. Comedy කරන නළු නිළියෝ කවුරුවත් මේ නිර්මාණයේ රඟපාන්නේ නැද්ද කියලා අහන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා ඔවුන් ඉස්සර වගේ නොවෙයි දැන් නාට්‍යයක් නරඹන්න යන්නේ කමඩි අහන්න. ඇත්තටම අපට ඒකට මිනිසුන්ට දොස් කියන්නත් බැහැ. හේතුව තමයි රටේ තියෙන ප්‍රශ්නත් එක්ක අපිත් ඔළුව අවුල් වන ප්‍රශ්නයක් නාට්‍යයේදි කතා කළොත් මිනිස්සු වාහනයත් හප්පගෙනයි ගෙදරට එන්නේ. අද ප්‍රේක්ෂකයෙකු නාට්‍යයක් නරඹන්න ගිහින් නැති ප්‍රශ්නයක් ඔළුවට දාගන්න කැමැති නැහැ. ඒක නිසා මිනිස්සු කැමැති බොහොම හිනාවෙලා ඒ පැය දෙක ගත කරලා එන්න. අද වුණත් සමහරු කතා කරන විට අහන්නේ මේ නාට්‍යයෙත් කමඩි තියෙනවා නේද කියලා. කමඩි නාට්‍යයක් කිරීම නොවෙයි අරමුණ. නාට්‍යයක් කරන එකයි. ඒ කරන නාට්‍යය ඇතුලේ කමඩි තියෙන්‌න පුළුවන්. නාට්‍යයක් ඇතුලේ චරිතවලින් මතු වන යම් යම් දෙවල් මඟින් ප්‍රේක්ෂකයන්ට හිනා යන්න පුළුවන්. ඒ ඇරෙන්න බලහත්කාරයෙන් ප්‍රේක්ෂකයන්ව හිනස්වන්න නම් ටිකක් අපහසුයි. මේ නාට්‍යය ගැන මිනිස්සු අහන නිසා කියන්නම් මේ නාට්‍යයේ සමහර දේ දැක්කම අපටත් සිනහ යනවා. ඒ සමහර සිදුවීමවලට. හැබැයි ඒ ගැන ප්‍රේක්ෂකයාට දැනුණත් චරිත දන්නේ නැහැ. ඒ කියන්නේ මේ නාට්‍යයේ පුරාවට තියෙන්නේ වැරැදි වටහා ගැනීම්.”

ඒ නිසා තරංග බන්ඩාර වේදිකාවට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට මෙහෙම ආරාධනාවකුත් කළා.

“මම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරන්නේ කමඩි නාට්‍ය කියලා නෙවෙයි නාට්‍ය නරඹන්න වේදිකාවට එන්න. මෑත කාලයේ හොඳ නාට්‍ය බෙහොමයක් නිෂ්පාදනය වෙනවා. හොද අධ්‍යක්ෂවරු ඉන්නවා. අලුත් අධ්‍යක්ෂවරුන් ඉන්නවා. අපිත් කමඩි නාට්‍යවල වැඩ කරනවා. ඒ නිසා නාට්‍යවල තියෙන කමඩි මිසක් කමඩි නාට්‍ය බලන්න යන එකනම් සුබදායක එකක් නොවෙයි. එහෙම කියලා හිතාගෙන ඒ නාට්‍ය නරඹන්න ගිහින් ඔවුන්ට සිදු වෙන්නේ ඒ නාට්‍ය මිනිස්සුත් එක්කත් තරහ වෙන්න.”

තරංග කියන්නේ අධ්‍යක්ෂවරයකු විතරක් නොවෙයි. රංගන ශිල්පියෙක්. ඔහු අද වේදිකාවේ වේදිකා ගතවන නාට්‍ය රැසකටම රංගනයෙන් සහභාගි වෙනවා.

“මේ භූමිකා දෙක ම දැනෙන්නේ මොන විදියට ද?”

“අධ්‍යක්ෂවරයකු වීම අවාසිසහගත බව දැනෙන්නේ දැන් තමයි. මොකද නළුවකු අධ්‍යක්ෂවරයකු වුණාට පස්සේ සමහර අධ්‍යක්ෂවරු බයයි ඔහුව ඔවුන්ගේ වැඩවලට ගන්න. මොකද ඔවුන්ට හිතෙනවා ද දන්නේ නැහැ ඔහු මේ නාට්‍යයත් අධ්‍යක්ෂණය කරයිද කියලා. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා නළුවකු අධ්‍යක්ෂවරයකු වීම වෘත්තීය නළුකමට බාධාවක් කියලයි මා හිතන්නේ. ඒක මෑත කාලීනව මා අත්වින්ඳා.”

“ඔබගේ මෙතෙක් රඟපාන අනෙක් වේදිකා නාට්‍ය ගැනත් යමක් සඳහන් කරමු ද?”

“මම සෑහෙන කාලයක් සමරකෝන් මහත්තයාගේ නාට්‍යවල ඉන්නවා. කැලණිපාලම, දූවිලි, අහසින් වැටුණු මිනිස්සු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කිහිපයකම වැඩ කරනවා. ප්‍රියන්ත රංජන්ගේ ‘රූකඩ රාජ්‍යය’, ‘අන්තඞපුරය හොරු කඩයි’, ‘රයිගමයයි ගම්පොළයයි’ කියන නිර්මාණවලට මගේ රංගන දායකත්වය සපයනවා.”

වර්තමනයේ රටේ තියෙන ප්‍රශ්නයක් එක්ක නිෂ්පාදකවරයකු සොයා ගැනීම පහසු කාර්යයක් නොවෙයි. අද දිනෙන් දින වැඩිවන ආර්ථික ගැටලු හමුවේ නාට්‍යයක් වේදිකා ගත කිරීම ම විවිධ ගැටලු ඇති කරන්නක්.

“මේ ප්‍රශ්නය ඔබට බලපෑවේ කොහොම ද?”

“ඇත්තටම මේ නාට්‍යය ඇතුලේත් එහෙම කතාවක් තියෙනවා. අවසානයේ මේ නාට්‍යය මටම නිෂ්පාදනය කරගන්න සිදු වුණා. ඒ නිසා මම ම මගේ නාට්‍යය නිෂ්පාදනය කරනවා. මගේ නංගි තමයි නාට්‍යය නිෂ්පාදනය කරන්නේ. ඈ ශාරිකා බණ්ඩාර. නාට්‍යයක් නිෂ්පාදනය කරන්නත් අද වනවිට විශාල මුදලක් වැයවෙනවා. පුහුණුවීම් ශාලාවක් වෙන්කරවා ගන්න කටයුත්තේ ඉඳලා ඔක්කොටම වඩා දර්ශන වාරයක් ලබාදෙන්න කෙනෙකුට ඉතා විශාල මුදලක් යනවා. අද වනවිට ප්‍රවාහන පහසුකම්වල මුදල බොහොම ඉහළයි. ඒ නිසා අද බොහෝ අධ්‍යක්ෂවරුන් අඩු පිරිසක් යොදාගෙනයි වේදිකා නාට්‍ය කරන්නේ. ඒ සියලු කාරණාත් මේ වේදිකා නාට්‍යයට බලපෑවා. ප්‍රවාහන කටයුතු හා හෝල්වල වියදම්, කෑම බීම වියදම් බැලුවාට පස්සේ නාට්‍ය සංවිධායකවරයකුට නාට්‍ය අපි දෙනවා. එතනදි ඔවුන් ඒ දේවල් සංවිධානය කරන්නේ නිකම් නොවෙයි. යම් ලාභයක් උපය ගන්නත් එක්කයි. ලාභයක් නැත්නම් ඔවුන්ට අපේ නාට්‍යයෙන් වැඩක් නැහැ. ඒ නිසා ඔවුන් අපේ නාට්‍යය නැවතත් සංවිධානය කරන්න පෙලඹෙන්නේ නැහැ. මේ රටේ අද පවතින හේතු නිසා පුද්ගලයන් තනියම නාට්‍ය සංවිධානය කිරීම අත්හැරලා. ආයතන මඟිනුයි ඒවා අද සංවිධානය වෙන්නේ. ඉතින් එහෙම වුණා කියලා අපිට නාට්‍ය නොකර ඉන්නත් බැහැ. මේ ප්‍රශ්න තියෙනවා කියලා අපට රජයෙන් උදවු කරන්නෙත් නැහැ.”

ඒ විදියේ මොන ගැටලු ආවත් තරංග බණ්ඩාර ඔහුගේ නවතම වේදිකා නාට්‍යය ‘දෙවඟනක් කළුවරේ’ ඔන්න වේදිකාවට අරගෙන එනවා. ඒ ඉදිරියේදි දිගටම වේදිකාවේ රැදෙන්න හිතාගෙන. එහෙම නම් එන්න ටවර් එකට 29 වැනිදා කළුවරේ ඉඳන් ‘දෙවඟනක් කළුවරේ’ නරඹන්න.

[email protected]

සටහන සහ සේයාරූ - තිලානි ශානිකා විතානච්චි

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT