නිවස සංවාද පමා වුණත් වේදිකාවට නඟින්න පින් කර තිබුණා

පමා වුණත් වේදිකාවට නඟින්න පින් කර තිබුණා

- 2019 හොඳම සහාය නිළිය චුලක්ෂි රණතුංග

by Thanushika
April 11, 2024 12:30 am 0 comment

විසිවන වරට පවත්වනු ලැබූ රයිගම් ටෙලිස් සම්මාන උෙලළ පසුගිය දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සදහා ජනමාධ්‍ය හා ප්‍රවාහන, මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ජ්‍යේෂ්ඨ මහාචාර්ය ජේ. බී. දිසානායක, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීණ රංගවේදනී ස්වර්ණා මල්ලවාරච්චි රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා අයෝධ්‍යා ඉද්දවෙල, සම්පත් බැංකු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල, රයිගම් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිෂාන්ත තියඩෝ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ කලාකරුවන් හා මාධ්‍යවේදීන් රැසක් මේ සඳහා සහභාගී වූහ. මෙවර සම්මාන උලෙළ නැටුම් ගයුම්වලින් වර්ණවත් කරමින් ජනමාධ්‍ය හා ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන 65ක් පිරිනැමීය. මේ එදින සම්මානයට පාත්‍ර වූ මාධ්‍යවේදීන් හා කලාකරුවන්ගේ නාමාවලිය හා උලෙළ විචිත්‍රවත්වූ අයුරුයි.

හම්දුම්මාට ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ?

මම කුඩා කාලේ ඉඳලම අභියෝග බාරගෙන වැඩ කරන්න හරිම කැමති. හම්දුම්මා කියන්නේ මට බාර දුන්න අභියෝගාත්මක චරිතයකි. විජයබා කොල්ලය කියන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සර්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වන මගේ දෙවැනි සිනමාපටයි. මගේ පළමු සිනමා පටය වෙන්නේ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ දේදුනු ආකාසයේ සිනමා පටයයි. ඒ සිනමා පටය රූපගත කිරීම් අවසන් කරලා අවුරුද්දකට පස්සේ තමයි 2018 වර්ෂයේ විජයබා කොල්ලය සිනමාපටයට රංගනයෙන් දායකවෙන්නේ. මගේ පළමු සිනමා ගමනේ සිදුවෙන්නේද සුවිශේෂී ආකාරයකින්ය. නිරූපණ ශිල්පිනියක් ලෙස මුලින්ම පා තබලා මිස් ශ්‍රී ලංකා වෙනවා. ඉන්පසු එහි විශේෂ දක්ෂතා අන්තර්ජාතික තලය දක්වා ගෙන ගිහින් එහි ජයග්‍රහණ ලබාගෙන ආපු ගමනේදී මට ලැබෙන අභියෝගාත්මක චරිතයක් තමයි හම්දුම්මාගේ චරිතය. චරිතයට පිවිසෙන්නේ ඉස්සෙල්ලාම ප්‍රේමදාස හොස්රයිඩින් පාසලේ අශ්වයින් පදින්න පුහුණුවීම් වුණා. මේ චරිතය කියන්නේ ඒ වකවානුවේ සිටි සුන්දරම යුවතියක්. රජ කුමාරිකාවක් නෙවේ. මුස්ලිම් සුරූපී යුවතියක් වෙනවා. සියලු පිරිමින් ආකර්ෂණය කරගත් කා අතරත් මිමිනෙන වචනයක් බවට ඇගේ නම කියවුණා එදා ලසර්දා කියන පරංගි නායකයාගේ සුරතලා වන්නේ පිඹුරයි. මේ චරිතය කරන විට මම සර්පයන්ට හරිම බයයි. පිඹුරා බලා කියා ගැනීම මගේ කාර්යභාරයක් වුණා එදා, ඒත් ඒ බය නැතිවෙලා මේ චරිතයට පණ පොවන්නට මට අවස්ථාව ලැබුණා. මම මුලින්ම කිව්වේ ඒකයි. මේ චරිතය පණ පොවන්න අභියෝග ගොඩක් මැද තමා චරිතය නිරූපණය කළේ.ඒනිසා එදා වගේම අදත් මම හම්දුම්මාට ආදරෙයි. ඒ වකවානුවේ ඇය වගේ සුරූපී තරුණියක් හිටියේ නැත්නම් මට ඒ චරිතය ලැබෙන්නෙත් නැහැ.වෙනත් චරිතයක් ලැබෙන්න තිබුණා.ඒ නිසා ඇයට ලැබුණු පළමු සම්මානයට මම ගෞරව කරනවා. මාව ඒ සම්මානය කරා ගෙන ගිය අධ්‍යක්ෂකතුමා වන සුනිල් සර්ටත්,එච් ඩ් ප්‍රේමසිරි නිෂ්පාදකතුමාටත්, කැමරා අධ්‍යක්ෂක චන්න දේශප්‍රිය අයියාටත්, මනෝහාරි අක්කාටත්, සිනමා පටය සහය අධ්‍යක්ෂකවරයා වන නිමල් ෆ‍්‍රැන්සිස් සහ සිනමා පටයට දායක වුණු සියලූම දෙනා ඇතුළු චරිතය රංගනයේ යෙදෙන ආකාරයට දර්ශන තලයෙන් පිටුපස සිට උපදෙස් දුන්නු ප්‍රවීණ චිත්‍රපටය අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතාටත් මම විශේෂ ස්තූතියක් පුදකරනවා මේ අවස්ථාවේ.

සිනමාවට පිවිසිලා කොපමණ කාලයකින්ද මේ සම්මානය ලැබුණේ?

මේ සිනමා පටය රූපගත කිරීම් කරන්නේ 2018 වර්ෂයේ. ලෝකයේ පැවැති කොරෝනා වසංගත උවදුරත් සමඟ රටේ විවිධ පැතිකඩවල් වෙනස් අතකට ගමන් කරන්නට යෙදුණා. ඒ අතර කලාවටත් එසේම සිදුවුණා.ඒත් ගෙවල්වල සිටිය සියලු දෙනාටම රස විඳීන්නට ලැබුණේ කලාව පමණයි. ඒත් සිනමාපට ප්‍රදර්ශනය වීමද කාලය සමඟ අත්හිට වුණා. මේ කාලවකවානුව ගෙවිලා හරියටම වසර හතකින් තමයි මේ සම්මානය මට ලැබෙන්නේ. මගේ ජීවිතයේ මම ලබපු පළවැනි සම්මානයද මෙය වෙනවා. මම හිතන විදිහට කාලය එළඹුණාම පමණයි අපට හරි දේ ලැබෙන්නේ කියලයි මම විශ්වාස කරන්නේ.

චූලක්ෂි දැනගෙන හිටියාද සරසවි සම්මාන උලෙළේ සම්මානයක් හිමිවෙයි කියලා?

ඇත්තටම මම දැනගෙන හිටියේ නෑ සරසවිය සම්මානයක් මට මෙවර ලැබෙයි කියලා. ඒත් නිර්දේශිත නාම අතර මගේ නම තියෙන බව නම් සඳහන් වුණා.

රටේ ගොඩක් සම්මාන උ⁣ලෙළේ පවත්වනවා. ඒත් ඒ සම්මාන උළෙලවල් කොපමණ විශ්වශනීයතාවයකින් පවත්වනවාද කියන්න මට හරියටම කියන්න බැහැ. ඒත් සියලූම සිනමා ශිල්පීන් වෙනුවෙන් පවත්වන එකම සම්මාන උළෙල ලෙස මම දකින්නේ සරසවිය සම්මාන උළෙල පමණයි. සරසවිය සම්මාන උළෙල ගැන සියලුම කලා ශිල්පීන් ගැන හොඳ විශ්වසනීයත්වයක් තියෙනවා.

සිනමාවේ නිරත වන ඕනෑම රංගන ශිල්පියෙකුගේ හෝ ශිල්පිනියකගේ එකම බලාපොරොත්තුව කවදා හෝ සරසවිය සම්මානයක් ලබා ගැනීම පමණයි. සම්මාන උළෙලට තියෙන ගෞරවය නිසාම මගේ අම්මාගේ අසනීප තත්වයෙන් පසුවෙද්දිත් අවසාන මොහොතේ හෝ මම සම්මාන උළෙලේට එනවා කියන අධිෂ්ඨානය ඇතිවයි සිටියේ. මම අදහන ආගම දහම අනුවත් අම්මාගේ ආශීර්වාදයත් නිසා මට සම්මාන උළෙලට එන්නට අවස්ථාව ලැබුණා. මම සම්මාන උළෙලට එන මොහොතේදී තමයි අපේ ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන් මට දුරකථන ඇමතුමක් දීලා කතා කළේ නංගි කොහෙද ඉන්නේ හොදම සහය නිළිය සම්මානය තියෙන ඔයාට ගන්න එන්න ඉක්මනට කියලා. ගොඩක් පින් නිල්මිණි අක්කේ මට ඒ වගේ දුරකථන ඇමතුමක් දීලා සඳහන් කළාට.

ඔබේ සම්මානය ලබාගන්න නිෂ්පාදකවරිය ප්‍රධාන පීඨිකාවට ගොඩ වී හමාරයි නේද ඔබ එන විට?

ඇත්තටම ඔව් මම ප්‍රධාන ශාලාවට ඇතුළුවන විටම නිෂ්පාදකවරිය ඇය ප්‍රධාන පීඨිකාවට නඟින්න පඩි පෙල් තුන හතරක්ම නැඟ ඉවරයි.ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙන විටම චුලක්ෂිට සහාය නිළිය සම්මානය තියෙනවා තාම නෑ කියලා ඇහුණා. පාදවල මස් පිඩු වල තියෙන වේදනා බව නිසා වෛද්‍යවරු මට ඇවිදින්න හයියෙන් එපා කියලා තියෙද්දිත් මට ඒ සියල්ල අමතක වෙලා මම දුවගෙන ගියා. ප්‍රධාන පීඨිකාවට. ජීවිතයේ පළමුවැනි වතාවට මට ලැබෙන සම්මානයත්, මම බලාපොරොත්තු වුණු උසස්ම සරසවිය සම්මානයත් ලබාගන්නටයි. මම දුවලා ගියේ මගේ ජිවිතේ එක් සිහිනයක් සැබෑ වුණා කියාගෙනයි. මම සිනමාවට පිවිසෙන විට ඥාතින්ටත්, යාළුවන්ටත් මම කියලා තිබුණේ කවදා හෝ මම සිනමාවෙන් අයින් වෙන්නේ සරසවිය සම්මානයක් ලබාගෙන පමණයි කියලා. ඕනෑම ක්ෂේත්‍රයේ නියැළෙන්නෙකුට ඇගැයීම් සම්මානයක් ලැබෙනවා කියන්නේ ඇයට හෝ ඔහුට උත්තේජනයක් ලැබෙන බවයි.අන්තර්ජාතික මට්ටමෙන් ජයග්‍රහණයක් ලැබුවත් මම මේ ලබපු සම්මානය තරම් තවත් සම්මානයක් මට නැහැයි කියලයි හිතෙන්නේ.

ඔබේ හැකියාවට මෙතෙක් තිබුණු සම්මාන උලෙළවල් වලින් ඇගැයීමක් ලැබුණේ නැත්තේ ඇයි?

මාව ඇගැයීමට ලක්වුණේ නැත්තෙ කුමන හේතුවක් නිසාද කියලා මම නම් කියන්න දන්නේ නැහැ. සමහර විට මගේ දෛවය වෙන්න පුළුවන්. පසුගිය කාලයේ පවත්වපු සම්මාන උලෙළවල්වලදී මගේ රංගනය ප්‍රශස්ත මට්ටමේ තිබුණාද නැද්ද කියලා මට කියන්න බෑ. ඒ සියලු දෙවල් ජුරියක් ගනුලබන විනිශ්චයයි. රංගන ශිල්පිනියක් හැටියට ඒ සියලුම විනිශ්චයන් වලට මම ගරු කරනවා. අන්තර්ජාතික මට්ටමේ තරඟවලට ඉදිරිපත් වෙච්ච ශිල්පිනියක් හැටියට මට කියන්න තියෙන්නේ එයයි. ඒත් මම බලාපොරොත්තු වුණ ඇගැයීම අද මට ලැබිලා තියෙනවා ඒ හින්දා මම අද සතුටින් ඉන්නේ.

ඔබත් සමඟ හොඳම සහාය නිළියට නිර්දේශිත අනිත් නිළියන් දෙදෙනා ගැන මොනවාද කියන්න තියෙන්නේ?

ඇත්තටම මගේ ගුරුවරියක් වූ ප්‍රවීණ රංගන ශිල්පී කෞශල්‍යා ප්‍රනාන්දු මහත්මියත් එක්කම සම්මානයට නිර්දේශිත වීමම මම ලද භාග්‍යයක් ලෙසයි මම දකින්නේ. ඇයට මම ගෞරව කරනවා ක්ෂේත්‍රය තුළ ගෞරවනීය ලෙස ගමනක් යන්න මඟ කියා දුන්නට ඇගේ ශිෂ්‍යාවක් ලෙස. යූ ටර්න් සිනමාපටයේ රංගනයේ යෙදෙන චානු දිසානායක මගේ සමකාලීන ශිල්පිනියක් ලෙස මම දකිනවා. ඇයත් හරිම දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසයි කියන්න තියෙන්නේ. සරසවිය සම්මාන උලෙළ ගැන කියන බොහෝ දෙනා කියන්නේ සම්මාන උලෙළට නිර්දේශිත වීමද සරසවිය සම්මානයක් ලැබුවා හා සමානයි කියලයි. මම දකින්නේ ඒ ආකාරයටමයි.

සිනමා ක්ෂේත්‍රයට පමණක් ඔබේ රංගනය සීමා වෙලාද?

මම ක්ෂේත්‍රයට පිවිසෙන්නෙම සිනමා නිර්මාණ හරහායි. මම නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ ඉඳලා රංගනයට පිවිසෙන්නේ සිනමාවට තිබෙන ආසාව නිසාමයි. මම කලා ක්ෂේත්‍රයේ බොහෝ දුරට නියැළෙන්නේ සිනමාව තුළ පමණයි. රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට තමන් යන පාත් එක තෝරා ගැනීමට අයිතියක් තියෙනවා. ඒ නිසා මම දැඩි ලෙස ප්‍රිය කරන්නේ සිනමාව නිසා මගේ පාත් එක මම හැමවෙලේම හදාගන්නේ සිනමාව තුළයි.දැනට සිනමා නිර්මාණ හතකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒත් හොඳ තිර පිටපතක් ලැබුණොත් ටෙලි නාට්‍යය දෙකක විතර රංගනයෙන් දායක වෙන්නත් අදහසක් තියෙනවා. එහෙම දෙකක නිරත වෙන්න අදහසක් තිබුණා කියලා දිගටම නිරත වෙන්න නම් කවදාවත් අදහසක් තියාගෙන නැහැ. මට ආදරේ කරන බොහෝ ප්‍රේක්ෂකයන් මාව දකින්න කැමතියි පුළුල් තිරය මතයි. ඒ නිසා මම සිනමාවේ ගමනක් යයි කියලා තමයි මම හැමෝටම කියන්න බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රධාන පෙළේ සිනමා අධ්‍යක්ෂකවරු ඔබව රංගනයට තෝරා ගන්නේ කුමන හේතුවක් මත කියලද ඔබ හිතන්නේ?

සිනමාත්මක නිර්මාණයක් තුළ බොහෝ දුරට නළු නිළියන් තෝරා ගන්නේ දේහ ලක්ෂණය අනුවයි. ඒ නිසා මම හිතන්නේ අධ්‍යක්ෂකවරුන්ට සරිලන රූප ස්වභාවයක් සහ චරිතයට සාධාරණයක් ඉටුකරනවා කියන විශ්වාසය මත වෙන්න ඕනේ මාව තෝරා ගන්නේ. විශේෂයෙන් මා අතට තිර පිටපතක් ලැබුණාම අධ්‍යක්ෂකවරයාගේ මනසේ ඇඳුණු චරිතය මා ජීවත් කරවන්න මම හැමවෙලේම කැපවෙනවා. නිර්මාණයක් බාර ගත්තාම ඒ කාලසීමාව තුළ වෙනත් වැඩ යොදා ගැනීම කිසිසේත්ම මම කරන්නෙත් නැහැ. නිර්මාණයට මූලිකත්වය දී කටයුතු කිරීම තමයි බොහෝ අධ්‍යක්ෂකවරුන් මට ප්‍රිය කරන්නේ කියලා. මම තවත් පැත්තකින් හිතනවා. මා ගමන් කරන මාවත සිනමා මාවත නිසාත්, තිරයෙන් ඉදිරිපස සහ පිටුපස කියන කොටස් දෙක ගැනම මට හොඳ අවබෝධයකින් කටයුතු කිරිමත් බින්දුවේ සිට පඩි නැගීම ඔවුන් සැම විටම අගය කරනවා. ක්ෂේත්‍රය තුළ එය අද දක්නට නොලැබෙන නිසා ඔවුන් විනයගරුකත්වය දැඩි ලෙස ප්‍රිය කරනවා.

ලැබුණු සහාය නිළියගේ සම්මානයේ උණුසුම ප්‍රේක්ෂකයන් බෙදා ගන්නේ කොහොමද?

ඇත්තටම එදා වගේම මට ප්‍රිය කරපු ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. මම ජීවිතයේ බලාපොරොත්තු වුණේ කවදාහරි පළමු වතාවට මෙවැනි සම්මානයක් ලබා ගැනීම තමයි. ජනප්‍රියත්වය පසෙකලා මම මගේ දක්ෂතාවය ඇගැයීමයි බලාපොරොත්තු වුණේ. සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයේ සිටින රංගන ශිල්පීනියක් වුණාට මම ලෝකයේම පිළිගන්න ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයේ සම්මාන උළෙලක නාමය රඳාපවතින සරසවිය සම්මාන උලෙළේ සම්මානය ලබා ගැනීම තරම් තවත් ලෝකයේ මාව ශ්‍රී ලාංකීය කලා ශිල්පිනියක් ලෙස පිළිගන්න සලකුණක් නෑ කියලයි මම හිතන්නේ. විජයබා කොල්ලයේ හම්දුම්මාව කවදාවත් ප්‍රේක්ෂකයන් අමතක කරන්නේ නැත්නම් මාවත් කිසි දිනක අමතක නොකරනවා කියලයි මම විශ්වාස කරන්නේ. මේ සම්මානය වෙනුවෙන් මුහුණු පොතේ මෙන්ම වට්ස්ඇප් ගෲප්වලින් සහ දුරකථන ඇමතුම් වලින් සුභ පැතුවාර අනන්තයි.එය මා ලද ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ.

සරසවි සම්මාන උළෙල ගැන ඔබට දැනුණේ මොකක්ද?

සරසවිය සම්මාන උළෙලකට සහභාගි වීමත් හරියටම කලා ශිල්පිනියක් හා ශිල්පියෙකු ලබන ගෞරවයක් බවයි මම දකින්නේ.සමහරක් ශිල්පීන්ට මෙම සම්මාන උළෙල නියෝජනය කිරීමට එම වසරේදී බැරිවෙන අවස්ථා තිබෙනවා.එයට හේතුව මම ශිල්පිනියක් ලෙස දකින්නේ එම වසරේ තිරගත වූ සිනමා පට සඳහා සුවිශේෂත්වයක් දක්වන ශිල්පීන්ට විශේෂ අවස්ථාවක් හිමිවෙනවා. කලා ශිල්පිනියකුට හෝ ශිල්පියකුට සිනමාවේ සිටින තිබෙන උසස්ම සම්මාන උළෙල මෙය නිසා නොකඩවා වසරක් පාසා මෙම උළෙල පැවැත්වීම තමයි මම දකින එකම සිහිනය ලෙස මම අද දකින්නේ. ඕනෑම ශිල්පියකුට වෙනත් සම්මාන ගන්නවාට වඩා මෙහි ඇගැයීම් සම්මානයක් ලැබීම තරම් වෙනත් දෙයක් නෑ. එදා මා ජීවිතේ බලාපොරොත්තු වුණු සරසවිය සම්මානය අරගෙන වේදිකාවෙන් බසින විට මට දැනුණේ මගේ මවත් මගේ දෙවැනි මව වන පාසල් මාතාවත් ජීවිතේ මතක් වුනේ පුදුමාකාර විදිහටයි. ඔවුන් මා මෙච්චර දුරක් රැගෙන ගියේ ඒ සතුට මට භුක්ති විඳීන්න දෙන්න කියලයි මට දැනුණේ. මාව කලා ක්ෂේත්‍රයේ ඉහළින් ඔසවා තබන්නට මට ගුරුහරුකම් දුන්න ජයන්ත චන්ද්‍රසිරියන්, මහේන්ද්‍ර පෙරේරා කෞශල්‍යා ප්‍රනාන්දු යන සියලු දෙනාටම සහ සුනිල් සර් සහ ප්‍රසන්න විතානගේ ඇතුළු උදව් උපකාර කර සියලු දෙනාටම මම වැඳ නමස්කාර කරනවා මේ අවස්ථාවේදී. ජීවිතය කලා ශිල්පිනියකට ශිල්පියකුට ලැබෙන්න තියෙන උතුම්ම සම්මානය පුද දෙන සරසවිය සම්මාන උලෙළ චිරාත් කාලයක් වැජඹේවා කියලා මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා.

සටහන සහ සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT