නිවස කළා පුවත් මගේ ඇස් දෙක පියවෙනතුරු රංග කලාවට ආදරෙයි

මගේ ඇස් දෙක පියවෙනතුරු රංග කලාවට ආදරෙයි

ජ්‍යේෂඨ රංගවේදී ගාමිණී අබේසිංහ

by Mahesh
April 11, 2024 12:30 am 0 comment

– එදා ප්‍රවීණයන් අලුත් කෙනෙක් කියල මාව පහත් කරල සැලකුවෙ නැහැ
– මං අදටත් සිනමාවට ආදරෙයි
– නැගී එන නළුවකුව එකදිගට චිත්‍රපට තුනක එකවර රඟපෑමට අවස්ථාව ලැබීමද කලාතුරෙකින් කෙනකුට හිමිවන භාග්‍යයක්
– මං තාම වයසට ගිහින් නැහැ

” ..උඹ බීපන් කඳුළු …මං බොන්නම් විස්කි….”

තම මනාලිය (මාලිනි ෆොන්සේකා ) තමන් නොතකා අහිමිව ගිය ඇයගේ පෙම්වතා නමින් ඈ කඳුළු හෙළනු දැක කෝපයට පත් සැමියා බීමතින් පැමිණ එසේ කෑ මොරදෙයි..ඇය නිහඩවම ඔහු නොතකා හිඳී…ඔහු වැරෙන් කෑ ගසා ඇයට තව තවත් බැණ වදී.

හෙළ සිනමා රිදී තිරය ඔපලූ “සංගීතා” නම් ජනප්‍රිය සිනමා සිත්තමේ එසේ කෝපාවිෂ්ටව බිරිඳට කෑ ගැසූ ඒ අසහාය රංගවේදියා දැන් මා හමුවේය…එදා අතිශය කඩවසම් රුවකට හිමිකම් කී හෙතෙම මේ වනවිට බොහෝ වියපත්ව ගොස් ඇතැයි මට සිතේ.

ජනප්‍රිය සිනමාවෙන් එදා ඉහළම නමක් දිනාගන්නට සමත්වූ ඔහු අපේ මේ කතාවේ සොඳුරු කතා නායකයාණෝය…නොඑසේනම් මේ අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ ගාමිණී අබේසිංහ මහතාය..

” තමන් වැනි අය පිළිබඳව සොයා බලන සරසවිය පුවත්පතටත්..එහි කර්තෘතුමාටත්…මටත්.. මුව නොසෑහෙනසේ ස්තුතිවන්ත වූ අපේ ආදරණීය කතා නායකයා මගේ ඇරියුමකට අනුව යමින් තම යටගිය දවස් ආවර්ජනය කරන්නට වූයේද ඉමහත් සතුටකිනි.

“දකුණු පළාතෙන් කොළඹට ආවේ ව්‍යාපාරිකයෝ. අපේ සිනමාවට නළුවකු හැටියට දකුණින් ආපු පළමුවන ගාමිණී මමයි..”

ඔහු කිසියමි ආඩම්බර හැඟීමකින් මෙන් මා සමඟ කියන්නේය.

වසර පනහකට ආසන්න කාලයක සිට ඔහුගේ පදිංචිය එංගලන්තයේ ය..සරසවිය පාඨකයාට ඔහු ගැන තතු සොයා කියන්නට වංහුං පීරමින් සිටියදී කලා පවුලකට හිමිකම් කියනා ආදරණීය චමත් ජයවර්ධන හමු වූ මොහොතකදී ඔහු පැවසූ තොරතුරකින් මම මහත් සතුටකට පත්වීමි.

“සරසවිය පත්තරේට හොඳ ආරංචියක් කියන්නම්. සිනමා නළු ගාමිණී අබේසිංහ මහත්තයාව මම ඔයාට මුණ ගස්සවන්නම්…”

චමත් ජයවර්ධන එදා රිදී තිරයේ විශිෂ්ට නළුවකු ලෙසින් නමක් දිනූ අපේ ඩොමී ජයවර්ධනයන්ගේ මුනුපුරාය. ප්‍රසංග වේදිකාවටද නැතිවම බැරි ප්‍රකට ගායන ශිල්පියකු ද වන චමත් කියූ අයුරින් ම ගාමිණී අබේසිංහයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මට මුණගැස්වූයේ එලෙසිනි.

“මං මෙහෙ උන්නත් මගෙ ඇස්දෙක පියවෙනතුරු මම රංගන කලාවට සේවය කරනවා…”

අපේ ආදරණීය කතා නායක ගාමිණී අබේසිංහයන් මදෙස බලා සිනාසී එසේ කියන්නේය.

1938 ක්වූ අගෝස්තු මස 18 වනදා මහනුවර දී උපත ලද ඔහු කලක් අපේ සිනමා රිදී තිරය හැඩකළ කඩවසම් රුවින් පිරිපුන් ගාමිණී අබේසිංහයන්ය..

“මම මුලින්ම රඟපෑවේ “දස්කම” චිත්‍රපටයෙනෙ. ඉතිං..ඒ මගේ සිනමා ගමන් මඟේ ඉදිරියටම එන්න මට අවස්ථාව ලැබුණා ..ඒ ගැන අදටත් හිතේ ලොකු සතුටක් තියෙනවා ”

බන්ධනාගාරයේ සේවයෙහි නියුතුව සිටි බෝපිටියේ , පී.ජී.වීරසේන සහ අක්මීමන, බ්‍රියටිස් යන දෙපළ අපේ කතා නායකයාගේ ආදරණීය මවුපිය දෙදෙනාය. ප්‍රකට දේශපාලනඥයකු වූ රිචඩ් පතිරණ ඔහුගේ මව් පාර්ශ්වයේ සමීපතම ඥාතියෙකි.

“මගෙ තාත්තා කලින් විවාහ වූ කෙනෙක්..ඒ විවාහයේ බිරිඳ මගෙ අම්මාගෙ අක්කා. ඒ විවාහයෙන් දරුවන් තුන් දෙනෙක්..තදබල විදිහට අසනීප වුණු ඇය මරණාසන්න මොහොතේදී අපෙ තාත්තාගෙන් ඉල්ලීමක් කරල තියෙනවා. මං නැති කාලෙක ඔයාට අපේ දරුවන් 3 දෙනා බලාගන්න අමාරුයි . ඒ නිසා මං ඔයාලට ආශීර්වාද කරනවා..ඔයා මගෙ නංගිව කසාද බඳීන්න කියලා..පසුව ඇය මියගියා. පස්සෙ අපෙ තාත්තා අම්මාගෙ නංගිව..ඒ කියන්නෙ මගෙ අම්මා ව කසාද බැන්දා.. මගෙ අම්මාගෙ දරුවන් අතර මම බාල පිරිමි දරුවා. මට අයියලා දෙන්නෙක් එක්ක අක්කා කෙනෙක් උන්නා.”

අපේ ආදරණීය කතා නායකයා හාපුරා කියා මූලික අධ්‍යාපනයට පිවිසියේ නුවර දළදා මැදුරට නුදුරු එවක පිහිටි සෙන් පෝල් විදුහලටය.

අම්මාගේ තාත්තා ගැන බොහෝ සතුටින් යුතුව කතා කළ හෙතෙම කීවේ ” ඒ මගෙ සීයා හොඳ ලීබඩු ව්‍යාපාරිකයෙක්. ලී බඩු සාප්පු හිමියෙක්.. රික්ෂෝවෙන් තමයි මාව ගමන් බිමන් යැව්වේ. මාව පාසලට යැව්වේ. මං පුංචි කාලෙ හැමෝම මගෙ මුහුණට..රූපෙට ආසයිලු. පාසලේ ගුරුවරියො හැම තිස්සෙම මාව බදා ගත්ත ගමන්. ඒ තරම් එයාලා මට ආදරෙයි..”

ඔහුගේ මුහුණ සතුටින් ඉපිලෙයි. කෙතරම් වියපත් වුවද තවමත් ඒ කටහඬේ..සිරුරේ හුරු ජවය ඇතැයි මට හැඟේ.

එකල නැටුමට ප්‍රකට තිත්තවෙල ගුණයා නමැති නැටුම් ගුරු භවතා යටතේද ඔහු නැටුම් ශිල්පය හැදෑරුවේය. වයසින් අවුරුදු අටේදී පමණ පාසලේ වේදිකාවට අවතීර්ණ ව තමිබි තොප්පියක් පැලැඳ හේ අපූරු රංගනයක යෙදුණේය.

“යේක එතන..යෙක කෙලියයි…යෙලිවෙනකම් ඊයේ…” යැයි එදා රඟමින් කී දෙබසද තවමත් ඔහු මතකයේය.

1950දී පමණ ඔහු වැඩිදුර අධ්‍යාපනයට ගාල්ල රිච්මන්ඩ් විදුහලට පැමිණියේය. එදා පාසලට ඇතුළුවීමේ ගාස්තුව රු. 8කි.

” ඒ පාසල් වේදිකාවෙ මම මසුරා කියන ප්‍රංශ කතාවක සිංහල පරිවර්තනයක් ලියා වේදිකාවේ රඟපෑමට ආවා. නාට්‍යයේ රඟපාන අනෙක් අයත් පුහුණු කරවන්න ලැබුනෙ මටමයි. ඉතින්.. මට මුහුණට අලවල තිබිච්ච රැවුල ගැලවෙනවා…හරි වදයක්..මම එකපාරටම “මුහුණ හංගන් ඉන්න කියල මං රැවුලක් දාගෙන ආවට දැන් ඒකත් ගැලවෙනවා” කියල නාට්‍යයේ නැති දෙබසක් කියමින් මම රැවුල ගලවල විසිකලාම නාට්‍ය නරඹමින් හිටපු විදුහල්පතිතුමා එක්ක හැමෝම හොඳ අත්පුඩියක් මට දුන්නා”

හෙතෙම සතුටින් සිනාසෙන්නේය .

මුල පටන්ම විද්‍යාව විෂයයට ඇලුම් කළ අපේ කතා නායකයා ජේ‍්‍යෂ්ඨ විභාගයද ඉහළින්ම සමත් වූයේය.

දුවනගිරි හෝල් නමින් එකල ප්‍රකට වූ වේදිකාවක “කඩවුණු පොරොන්දුව ” නාට්‍ය ප්‍රදර්ශනය කළේය. එම නාට්‍යය නරඹන්නට ගිය දිනෙක ඔහු නෙත ගැටුණේ අපේ ආදරණීය ජනප්‍රිය නිළි රුක්මණී දේවීයය.. ඈ දැකුමෙන්.. ඈ රැඟුමෙන් වශීකෘත වූ අපේ ආදරණීය ගාමිණීගේ සිතෙහි පළමුවරට මුල් බැස ගන්නට වූයේ මේ සිතිවිල්ලය.

“මටත් නළුවකු වන්නට ඇත්නම්.”

මේ 1956 වසරයි. එක් පුවත්පතක පළවී තිබූ දැන්වීමක් දැක හේ සතුටින් ඉපිල ගියේය.

” අලුත් චිත්‍රපටයකට නළු නිළියන් ඕනෑකර තිබේ..”

තාත්තා ගෙන් රු 100ක් ඉල්ලාගත් අපේ ආදරණීය ගාමිණී කොළඹට පැමිණ සිලෝන් තියටර්ස් සමාගම සොයා ගියේය. එහි සිටි කරුණාරත්න අබේසේකරයන් ඔහුට දෙබස් කියවන්නට දුනි.

චිත්‍රපටය “දස්කම”ය. උප ප්‍රධාන චරිතයට ඔහු තෝරා ගැනිණි.

කාලය ගතවී යන්නේය. අපේ ආදරණීය කතා නායකයා සිනමාවටද එක්වෙමින් පාසල් ඉගෙනුමද සාර්ථක කරගනිමින් විද්‍යා ගුරුවරයකු ලෙසින් තිස්සමහාරාමයේ පසලකට පත්වීමක් ලද්දේය. අනතුරුව මහරගම ගුරු අභ්‍යාස ආයතනයට ආවේය.

“ඔන්න ඉතිං කොළඹ දී මට කිංස්ලි රාජපක්ෂ හමුවුණා කියමුකො. “ශ්‍රී 296″ චිත්‍රපටයට මට අවස්ථාව ලැබුණා. ඒ චිත්‍රපටයෙ මට තිබුණෙ ගාමිණී ෆොන්සේකා මහත්තයාගෙ බිරිඳ සුමිත්‍රා මහත්මිය සමඟ නැටුමක් කරන්නයි. එතකොට සුමිත්‍රා ගාමිණී විවාහ වෙලා නැහැ..සුමිත්‍රා කියන්නෙ එදා හරිම ලස්සන කාන්තාවක්.”

ඔහුට ගාල්ලේ මහා විදුහලකට පත්වීමක් ලැබුණේ ය. එහිදී අංග සම්පූර්ණ විද්‍යාගාරයක් තනවා දීමටද මුල්වූ හේ එම පාසලේ දියුණුවටද ඉහළම දායකත්වයක් ලබා දුන්නේය.

අපේ ගාමිණී අබේසිංහයන් පසුව කොළඹ රාජකීය විද්‍යාලයට පත්වීමක් ලැබූවද එහි යන්නට අකමැති ව තම මිතුරකුට එම පත්වීම පවරා දී ඔහු කළුතර විදුහලකට ගියේය.

මේ වනවිට අපේ ආදරණීය කතා නායකයා කථිකාචාර්යවරයෙකි. පසුව හෙතෙම මියුසියස් විදුහලටද ගියේය.

සිනමා ගමන ද වේගවත් විය. විමලනාත් දිසානායකයන්ගේ පටාචාරා චිත්‍රපටයට ඔහු තෝරා ගැනිණි.

රඟපෑමෙන් උපයනවාට වඩා වඩා ගුරු වෘත්තීයෙන් හා ටියුෂන් දීමෙන් ලොකු ආදායමක් තමන් ලද බවද හෙතෙම කීයේය. දකුණින් සිනමාවට ආ 2 වන නළුවා වූ අශෝක පොන්නම්පෙරුම..විජය කුමාරණතුංග…ඩී.ආර්. නානායක්කාර..ඇල්.ඇම් පෙරේරා..ලයනල් දැරණියගල.. මාලනී ෆොන්සේකා ..සුමනා..රෝයි.ඇතුළු තවත් බොහෝ නළු නිළියන් ද..ගායන ක්ෂේත්‍රයේ දැවැන්තයන් ද දැන් ඔහුගේ සමීපතමයෝය.

අපේ ආදරණීය ගාමිණී තම අසුනේ හරිබරි ගැහී එවර කියන්නට වූයේ මේ ටිකය.

“ඇත්තමයි …එදා ප්‍රවීණයන් අතරට රඟපාන්න ගිය මම එදා නවකයෙක්. මම අලුත් කෙනෙක් වුණාට ඒ අය හැමෝම මා එක්ක හරීම ළෙන්ගතුව හිටියා. අලුත් කෙනෙක් කියල එයාලා මාව පහත් කරල මට සැලකුවෙ නැහැ. මට රඟපාන්න එයාලගෙන් ලොකු උත්තේජනයක් ලැබුණා. ඒත්..අද තත්ත්වය නම් ඊට හාත්පසින්ම වෙනස්…”

කළුතර ගඟේ මෝටර් බෝට්ටුවක පිරිසකි. සුමනා අමරසිංහ ..අධ්‍යක්ෂක තිමති වීරරත්න..තවත් දෙතුන් දෙනකුද කැමරා ආම්පන්න ද ඇතිව සිටී. බෝට්ටුවේ රියදුරා අපේ කතා නායකයාය. රිය රේස් කළේය. පිහිනීමට නොදත් තිමති ගඟට වැටුණේය. ඇතුළේ සිටියවුන් ඒ මේ අත විසිරී ගියේය…

“මං දැනන් උන්නෙ නැහැනෙ බෝට්ටු පදින්න..හරි ජංජංලයක් එදා වුණේ. මට ඒ දවස නම් කවදාවත් අමතක වෙන්නෙම නැහැ..”

ඔහු කීයේය.

ලෝක හොරු චිත්‍රපටයේ තිරනාටකය ලියුවේද අපේ ගාමිණී ය.

කළුතර ගුරු අභ්‍යාස විදුහලේ හෙතෙම කථිකාචාර්යවරයෙකි. ඒ අතරේදී ඔහු චිත්‍රපට රංගනයද සමබර කර ගත්තේය.

“එයා දැන් ලොකු ළමයෙක්” චිත්‍රපටයට ඔහු තෝරා ගැනුණිද එහි පුරුදු අධ්‍යක්ෂකවරයා බැහැරවීමෙන් තමන්ට ගෙවූ අත්තිකාරම් මුදලද නිෂ්පාදකවරයාට ආපසු දී තමන් ඉන් ඉවත් වුවද එහි නාමාවලියේ තමන්ගේ නම එලෙසම තිබුණු බවද ඔහු කියන්නේය.

“සංගීතා චිත්‍රපටයට එදා වැය වූ මුදල ලක්ෂ පහයි. ලක්ෂ 25කට වඩා ආදායම් ලැබුවා. සංගීතා චිත්‍රපටයෙ තේමාව ගැන සිරිල් පී. අබේරත්නයන් මා සමග සාකච්ඡා කළා. සංගීතා චිත්‍රපටය පෙර ආත්මයක් පිළිබඳ කතාවක්නෙ..ඒත් පෙර ආත්මයක් ගැන කියන විට ඒක දෙතුන් දෙනකුට පිහිටන්නෙ නැහැනෙ..මම ඒ ගැනත් පහදල දුන්නා..පසුව අපි චිත්‍රපටයෙ කතාවෙ සමහර තැන් නිවැරදි කළා. සංගීතා චිත්‍රපටය ඉහළටම ආවා…ඒ චිත්‍රපටයෙ මම දුෂ්ට චරිතයක්නෙ කළේ”

“ඉතිං ..අමල් ..කිංස්ලි රාජපක්ෂගෙ “සුදු පරෙවියෝ ” චිත්‍රපටයත් මට ලැබුණා. සිනාවයි ඉනාවයි..සුහද පැතුම ..හදවතක වසන්තය …සංගීතා..ඉඳුනිල , මේ දෑස් කුමටද , වගේම සඳ මැදියම , ඉර දරුවෝ , සිරිවාසල , වගේ ටෙලි නාට්‍ය වලටත් රඟපෑමෙන් සම්බන්ධ වුණා..මගේ නිෂ්පාදනයක් වන සසර වසන තුරු , එතකොට එක්සත් රාජධානියෙදි “සීත හිම මාලිගා ” කළා..ඔය වගේ චිත්‍රපට හා ටෙලි රැසක මං රඟපෑවා…මං අදටත් සිනමාවට ආදරෙයි..ඒ ගෙවූ දවස් නම් හරිම සුන්දරයි. ”

අපේ සොඳුරු කතා නායකයාණෝ තිරනාටක රචනයෙහිද සමතෙකි. එවක නැඟී එන නළුවකුව පසුවූ තමන්ට එකදිගට චිත්‍රපට තුනක එකවර රඟපෑමට අවස්ථාව ලැබීමද කලාතුරෙකින් කෙනකුට හිමිවන භාග්‍යයක් යැයි ඔහු කියන්නේය.

ඔහු දැන් විද්‍යා උපාධිධාරියෙකි. එම විෂයයට අනුබද්ධ ව ඉතියෝපියාවේ වෘත්තීය පත්වීමක් වෙනුවෙන් යාමට ලද අවස්ථාවද හෙතෙම අහකට දැම්මේය.

“එදා ඔය සමාජ මාධ්‍ය කියල දෙයක් මුකුත්ම නැහැනෙ. නමුත් දැන් එහෙම නැහැනෙ. එදාට වඩා මාව අද ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වයත් සමඟ මං හදවතින් ලොකු සතුටක් ලබනවා.. ”

අපේ ආදරණීය ගාමිණී අබේසිංහ කියන්නේය.

“හදවතක වසන්තය” චිත්‍රපටයේ ප්‍රධාන නළුවා අපේ ගාමිණී අබේසිංහයන්ය..උප ප්‍රධාන චරිතයට රඟපෑවේ ඩොමී ජයවර්ධනයන්ගේ පුත් ප්‍රකට හඬ කැවීමේ ශිල්පියකු වූ නිහාල් ජයවර්ධනයන්ය. දෙදෙනා අතර සටනකි. ඊට පෙරාතුව අධ්‍යක්ෂකවරයා කීයේ ගාමිණී පහර දෙනවිට මුහුණ එහා පැත්තට හරවන ලෙසටය. දැන් සටන ඇවිළිණි. ගාමිණී අත මිට මොලවා නිහාල්ගේ මුහුණට වැරෙන් පහරක් එල්ල කරන විටම අධ්‍යක්ෂක දුන් උපදෙස් අමතකව ගිය නිහාල් තම මුහුණ එන පහර දෙසට හැරවූවා පමණි. නිහාල් බුදු අම්මෝ කියාගෙනම පසෙකට විසිවූයේ නැඟ ආ ක්ෂණික කෝපයකින් පා පහරක්ද ගාමිණී ට එල්ල කරමිනි. පසුව දෙදෙනාටම හිනා ගියේය.

තම ජීවන සහකාරිය හමුවූ සැටිද මුව පිරුණු සිනා සතුටින් හෙතෙම කියන්නට වන්නේය.

“මගෙ මෝනා මහත්මිය එදා පණීභාරත මහත්මයා යටතේ දක්ෂ නැටුම් සිසුවියක්. එතුමිය නැටුම් ගුරුතුමියක් වගේම කථිකාචාර්යවරියක්. මගේ ජීවිතයට වගේම මගෙ කලා කටයුතු වලටත් බිරිඳ මට ලොකු අත්වැලක් වුණා. මගෙ මෝනා මට හිමිවෙනකොට එතුමියට වයස අවුරුදු 14යි.”

කමලාංගනී කලායතනය ඇයගේය..එහි විවිධ ජාතීනට අයත් දූ දරුවන් පාරම්පරික නැටුම් උගනිති. සිසු දූ පුතුනට සිංහල භාෂාව දුෂ්කරවීමෙන් එම දරුවනට ඉගෙනුම පිණිස අපේ ගාමිණී හෙළ පරපුර කියා සිංහල භාෂා පන්තියක්ද ආරම්භ කළේය. අපේ ආදරණීය කතා නායකයාට හා බිරිඳ කමලාංගනී පේරුසිංහ එම දෙපළට දියණියන් දෙදෙනෙකි.එක් පුතෙකි.

” මං එංගලන්තෙට ආවෙ 1974 දි. ඉතිං..දැනට අවුරුදු 50ක් වෙනව නේද..පසුව මගේ පවුලේ හැමෝමත් මෙහේට ආවා. මගේ දරු මුනුපුරු මිනිපිරියන් තමයි දැන් මගෙ ජීවිතය. මගෙ දරුවොත් අද ඉහළම තැන්වල ඉන්නවා..මගෙ දරුවන් උපාධිධාරියො..ඒ සතුටත් ලබමින් මම මෙහේ නාට්‍ය කලාවටත් සම්බන්ධව කටයුතු කරනවා..

නාට්‍ය ලියනවා. නාට්‍ය හදනවා..ආර්. සමරකෝන්ගෙ කැළණි පාලම..සුගතපාල ද සිල්වාගෙ බෝඩිංකාරයෝ ආදී නාට්‍ය මෙහෙ පෙන්නුවා. නාට්‍ය පිටපත් අරන්..මේ නාට්‍යවල රඟපෑවෙ ලංකාවෙන් නළු නිළියන් ඇවිත් නෙමේ. ඒක දුෂ්කරයිනෙ. මෙහෙ අය තමයි නාට්‍යවල රඟපෑවේ.. මගෙ මසුරා නාට්‍යයත් ඊළඟ වසරෙත් මම කරනවා.

උපන් මවුබිමට පැමිණ යන එන අවස්ථාවලදී අපේ ආදරණීය ගාමිණී ටෙලි නාට්‍ය රංගනයටද ආරාධනා ලබන්නේය. ටෙලි නාට්‍යවලද විවිධ චරිත නිරූපණය කළේය.

එංගලන්තයේ සුවිසල් නිවසක තම ප්‍රේමණීය බිරිඳ සහ දරු මුනුපුරු මිනිපිරියන් සමඟ පසුවන ඔහුගෙන් මම මෙසේ ඇසුවෙමි.

“ඔබට දැන් වයස කීයක් විතරද…කියන්න..”

කටපුරා සිනාසුණු අපේ සොඳුරු කතා නායකයාණෝ

“මට දැන් වයස අවුරුදු 85ක්..ඒත් ..මං තාම වයසට ගිහින් නැහැ..තවම හොඳට වැඩ කරන්න පුළුවන්…” කියා හෙතෙම උස්හඬින් සිනාසුණේය….

නැවත නැවතත් සරසවියට ස්තුතිවන්ත වූ අපේ ආදරණීය කතා නායකයාණෝ ජ්‍යෙෂ්ඨ රංගවේදී ගාමිණී අබේසිංහයන් දෑත් එකතුකර තම ලැමට තුරුලු කර බුදු සරණයි යැයි සුභ පතමින් ළයාන්විත හඬින් කියන්නට වූයේ මේ ටිකමය.

” මං මගෙ ඇස්දෙක පියවෙන දවස වෙනකම් කලාවට සේවය කරනවා..”

ප්‍රිය රංගවේදියාණෙනි! 
ඔබට චිර ජීවනයම වේවා…..!!

අමල් යශෝමන් ජයසිංහ 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT