නිවස කළා පුවත් මගේ සෞන්දර්යවාදී අදහස් නිර්මාණ බවට පත්වී ප්‍රේක්ෂකයා අතරට ගියා

මගේ සෞන්දර්යවාදී අදහස් නිර්මාණ බවට පත්වී ප්‍රේක්ෂකයා අතරට ගියා

- ‍‍ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී සුරම්‍යා මාපිටිය

by Mahesh
April 11, 2024 12:30 am 0 comment

ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ (වැඩසටහන්) තනතුරෙහි සිට ඉකුත්දා විශ්‍රාම ලද සුරම්‍යා මාපිටිය නමැති මාධ්‍යවේදිනිය, ගීපද රචිකාව, රංගන ශිල්පිනිය සිය වසර 41ක මාධ්‍ය දිවියේ අත්දැකීම් පිළිබඳ සිය අදහස් පළකිරීමට සරසවිය හා මෙසේ සම්මුඛ වූවාය.

මාධ්‍ය දිවියෙන් විශ්‍රාම ගැනීමත් සමඟ එහි අත්දැකීම මොනවගේද කියනවානම්….? විශ්‍රාම ගත්තා කියන්නේ අවුරුදු 41ක රාජකාරි දිවිය අවසන් කළා විතරයි. රූපවාහිනියේ රාජකාරිවලට අමතරව මම වෙනත් වෙනත් කලා ක්ෂේත්‍රයන්හි වැඩකටයුතුවල නිරතව හිටියා.මගේ අධ්‍යයන කටයුතු ඉදිරියට කරගෙන යනවා. රූපවාහිනියට තවමත් නිර්මාණ කරමින් ඉන්නවා. නිවේදන කටයුතුත් කරගෙන යනවා.

පාසල් අවධිය ගැන කතා කළොත්….? ඒ කාලයේත් මාධ්‍යයට යොමුවීමේ කැමැත්තක් තිබුණා ද…..?

පාසල් කාලයේ සාහිත්‍ය අංශයට තමයි මගේ නැඹුරුවක් තිබුණේ . ඒ කාලයේ සාහිත්‍ය තරඟවලට ඉදිරිපත් වුණා. ඒවායින් ජයග්‍රහණත් ලැබුවා. පාසල් යන කාලයේ මම ගුවන්විදුලි ළමා ශිල්පිනියක් විදිහටත් හිටියා. පාසල් කාලයේම ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක රඟපාලා සම්මානත් හිමිකර ගත්තා. ඒ අත්දැකීම් සමඟ තමයි මම රූපවාහිනී මාධ්‍යයට සම්බන්ධ වුණේ

මාධ්‍ය වෘත්තිය ඔබ වෘත්තිය මට්ටමින් ආරම්භ කළ ආකාරය පැහැදිලි කළොත් ….?

වෘත්තිය මට්ටමින් ආරම්භ වුණේ 1983දීයි. ඒ වසරේදී තමයි මම රූපවාහිනියට බැඳෙන්නේ. රූපවාහිනී සංස්ථාව ආරම්භ කළේ 1982නේ. පළමුවෙන්ම පුවත්පත් දැන්වීමක් නිකුත් කරලා එයින් රූපවාහිනී සංස්ථාවට බඳවාගත්ත කණ්ඩායමේ සිටි කෙනෙක් තමයි මම. මට ඒ සඳහා සුදුසුකම් තිබුණේ අනෙක් ක්ෂේත්‍රවල තිබූ අත්දැකීම් නිසා කියලා කියන්න පුළුවන්. ඒ සුදුසුකම්වල එකතුව නිසයි රූපවාහිනී සංස්ථාවට මාව බඳවාගන්න හේතුවුණේ කියා මම සිතනවා. මම මුලින්ම පුහුණු නිෂ්පාදන සහකාර තනතුරට තමයි බැඳුණේ. එදා සිටම මේ වසර 41 සපිරෙන තෙක්ම ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක, සහකාර අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වගේම අධ්‍යක්ෂ (වැඩසටහන්) තනතුර දක්වාම වෘත්තියමය මට්ටමින් පැමිණියා

ඔබත් සමඟ රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයට තවත් ප්‍රවීණයෝ පිරිසක්ම සම්බන්ධ වුණා නේද…..?

ඔව්, එහෙම පිරිසක්ම ඒ කාලයේ මාත් එක්ක රූපවාහිනී සංස්ථාවට බැඳුණා .. දයාරත්න රටගෙදර, සුදත් සේනාරත්න, අනුර මාධව ජයසේකර, අජිත් ජිනදාස, විමලරත්න අධිකාරි වගේ කලා ක්ෂේත්‍රය තුළ නිපුණතාවක් තිබුණු පිරිස තමයි ඒ 1983දී අපේ කණ්ඩායමත් එක්ක බැඳුණේ.

ඔබේ මාධ්‍ය කලා දිවිය තුළ ගුරුතත්හිලා සැලකිය හැකි පිරිස මතක් කරනවා නම්…..?

එතැනදී මට මතක් වෙනවා නාට්‍ය කලාවට මා නැඹුරු වූ කාලය. එහිදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ දී අපට නාට්‍ය කලාව උගන්වපු ගුරුවරයා විදිහට හිටියේ ප්‍රේමකුමාර කරුණාරත්න මහතා. ඔහු මාව නාට්‍යකරණය පිළිබඳ වැඩිදුර ඉගැන්වීමට ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ පාඨමාලාවට යොමුකරවනවා. ඒ 1980 වසරේදී වගේ. මම පාසල් යන කාලයේදීම ආචාර්ය සාලමන් ෆොන්සේකාගේ නාට්‍යකරණය පිළිබඳ පාඨමාලාව හැදෑරුවා. මාධ්‍ය ලෝකයේදි නම් අත්දැකීම්වලින්ම තමයි අපි ගුරුහරුකම් ලැබුවේ. අපි වැඩකළේත් බොහොම අත්දැකීම් සහිත පිරිසක් එක්කනේ. රූපවාහිනියට බැඳුණාට පසුව මට මුලින්ම වැඩකරන්න ලැබුණේ වාර්තා විචිත්‍රාංග ඒකකයේ. ඒ අංශයේ හිටියේ ටයිටස් තොටවත්ත , ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි ,තුවාන් එන්. අමූර් වැනි දැවැන්ත චරිත. ඔවුන්ගෙන් මට විශාල අත්දැකීම් රැසක් ලබාගන්න පුළුවන් වුණා කිව්වොත් හරි. ඒ වගේම බර්ට්‍රම් නිහාල් වැනි අයත් හිටියා. වාර්තා විචිත්‍රාංග ඒකකයේ ප්‍රධානියා ලෙස හිටියේ මඩවල එස්. රත්නායක මහතා. වැඩසටහන් අංශයේ ප්‍රධානියා වශයෙන් ඒ කාලයේ කටයුතු කළේ හෙන්රි ජයසේන මහතා. නාට්‍ය අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ධම්ම ජාගොඩ මහතා. ඔවුන් ඇසුරු කිරීමෙන් ඔවුන් එක්ක එකට වැඩකිරීමෙන් ලද දැනුම නිසා මට ඉතා හොඳ වටිනාකමක් ලැබුණා. ඒ කාලයේ දැන් වගේ රූපවාහිනී, ගුවන්විදුලි නාලිකා තිබුණේ නැහැ.රූපවාහිනී සංස්ථාවට බැඳුණාට පසුව අපට දේශීය විදේශීය පුහුණුව හොඳීන්ම ලබාදුන්නා. ක්‍රමානුකූල අධ්‍යාපනයක් ලැබුණා රූපවාහිනියේදී.

අධ්‍යක්ෂ (වැඩසටහන්) තනතුරේ සිටියදී ලද අමතක නොවන අත්දැකීම් එහෙමත් ඇති…..?

මාධ්‍ය කියනකොට ඒක සජීවී දෙයක්නේ. එහිදී සෑම නිෂ්පාදනයකදීම අමතක නොවන සිදුවීම් තමයි සිදුවුණේ.. එහෙම කතා කරනවානම් වෙනමම පොතක් ලියන්න තරම් අමතක නොවන සිදුවීම් සිදුවෙලා තිබෙනවා

වැඩසටහන් තෝරාගැනීමේ දී එහි ගුණාත්මකභාවය මැනීමට ඔබ යොදාගත් මිනුම්දඬු පිළිබඳ සඳහන් කළොත්…..?

ගුණාත්මක වැඩසටහන් තෝරාගැනීම පිළිබඳ ඒ හුරුව, ඒ ඉව අපට ලබාදුන්නේ අපේ පළමු සභාපති ලෙස කටයුතු කළ එම්. ජේ. පෙරේරා මහත්තයා. අපව බඳවාගැනීමේදීත් අවශ්‍යවෙලා තිබුණේ සංස්කෘතිය, ඉතිහාසය, පුරාවිද්‍යාව වගේ අපේ දේශීයත්වය ඉස්මතු කරන වැඩසටහන් නිෂ්පාදනය කිරීමට තමයි අපට මඟපෙන්වීම කළේ. අපේ වයසත් එක්ක අපේ කණ්ඩායමේම ඒ හැඟීම තිබුණානේ ඒ කාලයේ. දෙයක් කරන්න කලින් හොඳට කල්පනා කරලා බලලා මේ වැඩසටහන් කෙනෙකුට කෙසේ බලපායි ද, යම් අයෙකුට එයින් බලපෑමක් වේවි ද, කෙනෙකුගේ සිත් රිදවීමක් වේවිද යන කරුණු ගැනත් එහිදී අවධානය යොමුකළා. ඒ වගේම ඒ වැඩසටහන්වලින් රසවින්දනයක් ලබාදෙන අතරේම හුදු ඥානනය කිරීමේ අවශ්‍යතාව අපේ කාලයේ තිබුණා. ප්‍රේක්ෂකයාව ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයෑමක් වගේ වෑයමක අපි නිරන්තරයෙන්ම යෙදී සිටියා. දැන් කාලයේ වගේ මොනවහරි ඔහේ කියලා, පුද්ගල චරිත ගැන මොනවාහරි දෙයක් කියනවා වගේ සරල, බොළඳ වැඩසටහන් නෙවෙයි ඒ කාලයේ තිබුණේ. මම දකින විදිහට අදටත් ඒ ප්‍රමිතිය නම් ජාතික රූපවාහිනිය ආරක්ෂා කරගෙන තිබෙන බව පෙනෙනවා. හැබැයි දැන් සිදුවෙලා තියෙන්නේ ඒ ප්‍රමිතිය අද ඉන්න ප්‍රේක්ෂකයන්ට හරියන්නේ නැහැ. ඒ කාලයේ හොඳ සාහිත්‍ය වැඩසටහන් තිබුණා. සාහිත්‍ය කෘති හඳුන්වා දීම්, නාට්‍ය කෘති හඳුන්වාදීමේ වැඩසටහන් ඒ කාලයේ තිබුණා. ඒවා හඳුන්වාදීමේදීත් ඉහත කී ආකාරයට අපේ සංස්කෘතිය, ඉතිහාසය, පුරාවිද්‍යාව, දේශීය අනන්‍යතාව වැනි දේ මූලික කරගෙනයි අපි එම වැඩසටහන් ඉදිරිපත් කළේ.

ගීපද රචිකාවක් ලෙස ඔබේ භූමිකාව විස්තර කළොත් ….?

රූපවාහිනී මාධ්‍ය තුළ මම කළ වැඩසටහන්වලින් මගේ නිර්මාණ ජනගතවුණා කියන්න පුළුවන්. මගේ ඔළුවේ තිබෙන සෞන්දර්යවාදී අදහස් නිර්මාණගතවෙලා ප්‍රේක්ෂකයා අතරට ගියා රූපවාහිනී සංස්ථාවේ මම කළ වැඩසටහන්වලින්ම. ඒවා රූප මාධ්‍යයෙන් එළියට ඒම සිදුවුණා. මගේ ලිවීම නම් ආරම්භ වුණේ පාසල් කාලයේදීමයි. ඒවා එකතුවක් ලෙස නම් තිබුණේ නැහැ. ඒවා තැනතැන තිබුණේ. යම් කිසි කාලයක මම සිතුවේ මම ලියූ දේ එකතු කර ග්‍රන්ථයක් විදිහට එළිදැක්වූවානම් හොඳයි කියලා. යම් රසවින්දනයක් තිබෙන කෙනෙක් මේ නිර්මාණවලට කැමැත්තක් දක්වයි කියලා මට සිතුණා. මම ලියූ දේවල් ගීත ලෙස එළිදැක්වුණේත් කවුරුන් හෝ රසවිඳීනවානේ කියලා ඒදේට මාව පෙලැඹවීමක් කළේ මගේ මහත්තයයි. ඔහු නමින් සිඩ්නි වඩුගේයි. මගේ පළමු ගීත සංගත තැටිය “අළුපාට හැන්දෑව” ගීත 17ක් සමඟ 2004දී එළිදැක්වූවා. මගේ පළමු ගීතය ළමා ගීතයක්. ඒක 1983දී මල්කාන්ති නන්දසිරියි අනුරාධා නන්දසිරියි ගායනා කළා. ළමා ගීත වැඩසටහනකදී ගීත අඩුපාඩුවක් වුණු මොහොතක මම හදිසියේම ලිව්ව ගීතයක් ඒක. “ටිකිරි මලේ පාට අරන්” ඒ ළමා ගීතයේ නම. ඊට පසුව ප්‍රචාරය සඳහා මම ගීත නොලිව්වත් මගේ ගීත ඇහෙන්න ඕන කියන අදහසින් දිගටම ගීත ලිව්වා. “අළුපාට හැන්දෑව” ගීතය අතිශයින්ම ජනප්‍රිය වුණා. “පෙම්කවක් ලියූ ඔබ” ගීතයත් ජනප්‍රිය වුණා. ගීත ජනප්‍රිය වීමත් එක්ක ගීත රචිකාව කියන ලේබලයෙන් මට ඉවත්වෙන්න බැරිව ගියා

ඔබේ ගීත එකතුවෙන් ග්‍රන්ථයක් සම්පාදනය කර තිබෙනවා ද……?

පොත් 02ක් ලියා තිබෙනවා. “මගේ පියුම නුඹයි” නමින් 2004දී සංගත තැටිය නිකුත්වූ අවස්ථාවේ පොතකුත් ලිව්වා. 2015දී “සුන්දරයාණෙනි” සංගත තැටියත් සමඟ “මිහිරිම මතක” නමින් ගීත පොතක් කළා.

ගීපද රචනයට ආභාසය ලද අයුරු සිහිකළොත් …..?

පාසල් කාලයේ සිටම ගීපද රචනයට ආභාසයක් තිබුණා . නොයෙක් තරඟ සඳහා කවි ලිවීමෙන් ජයග්‍රහණ ලැබුවා. මගේ ගුරුවරුන් ඒ කවි කියවා ඒවා ගීතවලට සුදුසුයි කියලා කිව්වා.

ඔබේ ගීපද රචනයට විශේෂ වස්තුවිෂයයක් හෝ තෝරාගැනීමක් සිදුකළාද…..?

විවිධ තේමා යටතේ ගීත රචනා කර තිබෙනවා . එහෙත් බොහෝ ජනප්‍රිය වුණේ ප්‍රේමය, විරහව සම්බන්ධ ගීතයි. බෞද්ධ ගීත, මවුපිය ගුණ වර්ණනා, පරිසරය වැනි මාතෘකා යටතේත් ගීත රචනා කර තිබෙනවා . එහෙත් සෑම මොහොතකම ඉදිරියට ආවේ විරහ ගීතයි.

ගායිකාවක ලෙස ඔබේ භූමිකාව කෙසේද….?

මම එහෙම ප්‍රසිද්ධියේ නම් ගීත ගායනා කරන්නේ නැහැ

කලාව තුළින් සෞන්දර්යවාදී මිනිසකු බිහිකිරීමේ සංකල්පය ගැන ඔබේ මතය පැහැදිලි කළොත් ….?

කලාව, සෞන්දර්ය කියන දේ දරුවකුට මවුකුස තුළ සිටම ලැබෙන දෙයක් ලෙසයි මමනම් දකින්නෙ. විශේෂයෙන් මවගෙන් තමයි ඒ දේ දරුවාට එන්නේ . මව පරිසරය රසවිඳීන ආකාරය, මවගේ සිතුම්පැතුම් ආදිය මෙහිදී වැදගත් වෙනවා. මෙලොවට දරුවා ඉපදුණු පසුවත් මව තමයි මුලින්ම දරුවාට සමාජය හඳුන්වා දෙන්නේ. යම් දෙයක් රසවිඳීන ආකාරය කියාදෙන්නේ මවයි. ගීතයක්, කවියක් ගායනා කිරීමෙන් රසවින්දනය නිතැතින්ම දරුවා තුළ වර්ධනය වෙනවා. දරුවා සමාජයට මුසු කරන්නේත් අම්මානේ. සතරබ්‍රහ්ම විහරණයන් වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතරත් සමඟනේ මවක් දරුවා හදන්නේ. ඒ දේවල් සමඟ බිහිවෙන දරුවා සෞන්දර්යවාදී දරුවෙක් වෙනවා. දරුවා සමාජයට ගියහම සමාජානුයෝජනය වන ආකාරය සමඟ දරුවාගේ වෙනස්වීම් ඇතිවෙන්න පුළුවන්. නැළවිලි ගීත තුළ පවා අපට යම් ධර්මතාවක් පෙන්වාදී තිබෙනවා. “ඔන්න බබෝ ඇතින්නියා ” කියලා කිව්වත් එහි යටිපෙළ අරුතක් තියෙනවා. “මේ ගසේ බොහෝ” කිව්වත් ඒකෙත් තියෙනවා සමානාත්මතාව, බෙදාහදා ගැනීම වැනි ගුණාංග. එවැනි දෑ කුඩා කලසිටම ප්‍රායෝගිකව අත්විඳීමින් වර්ධනය වෙන දරුවා සෞන්දර්යවාදී දරුවෙක් බවට පත්වෙනවා.

ඔබේ ප්‍රථම වාර්තා වැඩසටහන වූ “සුදු සැරයටිය” ගැනත් යමක් කීවොත්…..?

ඔව්, “සුදු සැරයටිය” මගේ පළමු වාර්තා වැඩසටහන. ඒ වෙද්දී හදලා තිබුණේ නැහැ ලංකාවේ ඇසේ නොපෙනෙන ජනතාව පිළිබඳ වැඩසටහනක් රූප මාධ්‍ය තුළින්. ඒකත් මඩවල එස්. රත්නායක මහතා සුදු සැරයටි දිනය වෙනුවෙන් මට පවරපු වැඩසටහනක්. සාහිත්‍යයට මගේ තිබුණු කැමැත්තයි සෞන්දර්යයට තිබෙන ලැදියාවයි නිසා මම මේ වැඩසටහන වෙනස් ආකාරයකින් ඉදිරිපත් කළා. පටන්ගත්තේ “මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කිව්වා” නමැති කවියෙන්. ඒක ඇස් නොපෙනෙන ළමයෙක් කියන කවියක්නේ. එවැනි තේමාවක වැඩසටහනක් එතෙක් නිෂ්පාදනය වී තිබුණේ නැහැ. කාලාන්තරයක් ඒ වැඩසටහනයි සුදු සැරයටි දිනයට විකාශය වුණේ. නැවත එවැනි වැඩසටහනක් විකාශය වුණා ද කියලත් සැකයි. අපිත් එක්ක ඉන්න මනුෂ්‍ය කොට්ඨාසයක ප්‍රශ්නයක් කතා කරද්දී ඒ ප්‍රශ්නයේ ගැඹුරයි, සෞන්දර්යයි එකතුවෙන් කතා කරද්දී ප්‍රේක්ෂක මනසට ඒක දැනෙනවා

නිවේදන භූමිකාව පිළිබඳ කතා කළොත් …..?

මම මුලින්ම නිවේදිකාවක් වෙන්නේ ගුවන්විදුලියට. වඩාත් කාර්යබහුල වූ නිසා නිවේදිකාව නමැති භූමිකාව මගෙන් ටික කලකින්ම මඟහැරී යනවා. වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වශයෙනුත් මම කටයුතු කළා. මුල් කාලයේ ඉඳන්ම එළිමහන් ප්‍රසංගවල නිවේදන කටයුතු සිදුකළා. යම් යම් උත්සවවල නිවේදන කටයුතුත් කළා

ඔබ රංගන ශිල්පිනියක් ද වෙනවා…?

ජාතික රූපවාහිනියේ මුල්ම ඒකාංගික ටෙලිනාට්‍යය හෙවත් මැදිරියෙන් පිටත රූගතකිරීම් කළ පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ “ඇබැද්දිය” ටෙලිනාට්‍යයේ මම මුලින්ම රඟපෑවා. මාධ්‍යයට සම්බන්ධ ටෙලිනාට්‍යයක රඟපෑ පළමු අවස්ථාවත් එයයි. ඒ කාලයේ හැටියට ඔක්කොම වේදිකා නාට්‍ය ශිල්පීන් එහි රඟපෑවේ. ජයලත් මනෝරත්න, චන්ද්‍රා කළුආරච්චි, දීපානි සිල්වා, සරණපාල ජයසූරිය වැනි පිරිසක් හිටියේ. ඊටපසුව ඉඩලැබෙන විදිහට ටෙලිනාට්‍ය කිහිපයකම රඟපෑවා. කාලය තමයි ප්‍රශ්නයක් වුණේ . සිනමාව පැත්තෙන් ගත්තොත් මම රූපවාහිනියට එන්න කලින් 1983දී යසපාලිත නානායක්කාරගේ “ජය සිකුරුයි” ෂෙල්ටන් පයාගලගේ “ගොළුමුහුදේ කුණාටුව” වැනි චිත්‍රපට කිහිපයකම රඟපෑවා.

ගීපද රචිකාවක ලෙස සම්මානයට ලක්වූ අවස්ථා තිබෙනවා නේද….?

ගීපද රචිකාවක් වශයෙන් මට සුමති ටෙලි සම්මාන සහ රයිගම් ටෙලි සම්මාන ලැබී තියෙනවා. හොඳම ටෙලිනාට්‍ය ගීත රචනයට සුමති ටෙලි සම්මාන ලැබුණේ රූපවාහිනී සංස්ථාවේ නාට්‍ය අංශයේ නිෂ්පාදනයක් වූ “බිනරි” ටෙලිනාට්‍යයේ “සහසක් ළන්දූ” ගීතයටයි.

ලේඛනයට යොමුවූ අයුරු සිහිපත් කළොත් …..?

මම කෙටිකතා, කවි ලියලා තියෙනවා. බොහෝදුරට සියලු වැඩසටහන්වල පිටපත් රචනා කරන්නේත් මමයි. වාර්තාමය වැඩසටහන්, සඟරාමය වැඩසටහන් ආදී මගේ වැඩසටහන්වලත් අනෙක් අයගේ වැඩසටහන්වලත් තිර රචනා මම ලියා තිබෙනවා. මගේ අධ්‍යයන කටයුතුවලට අදාළ පර්යේෂණ කෘති කිහිපයක් ලියා තිබෙනවා

ඔබේ සහෝදරයා ද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ….?

ඔව්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ නලින් මාපිටිය කියන්නේ මගේ මල්ලි. ඔහුගේ ටෙලිනාට්‍යවලත් මම රඟපාලා තියෙනවා වගේම ඔහුගේ ටෙලිනාට්‍ය සඳහා ගීපද රචනා කරලත් තිබෙනවා

වත්මන් මාධ්‍ය කලාව ගැන මොක්ද කියන්න තිබෙන්නේ ….?

මාධ්‍ය කලාව කිව්වට අද මාධ්‍යය ඇත්තෙන්ම කලාවක් ද…? අද තිබෙන්නේ මාධ්‍ය කලාවක් නෙවෙයි මාධ්‍ය ව්‍යාපාරයක්. අද මුදල්වලටම යටවූ මාධ්‍ය ව්‍යාපාරයක්නේ ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒ කාලයේ හොඳ හැදෑරීමක් කළා. ටයිටස් තොටවත්ත, ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි, හෙන්රි ජයසේන, මඩවල එස්. රත්නායක වැනි දැවැන්තයන්ගේ ගුරුහරුකම් අරගෙන ඉතා පැහැදිලි ගමනක් අපි ආවේ. ඉතිහාසය, පුරාවිද්‍යාව පිළිබඳ වාර්තා වැඩසටහන් කළොත් එම ඓතිහාසික ස්ථානවලට ගිහින් ඒ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනයක් කරලා ඒ පිළිබඳ ලියැවුණු තවත් ශාස්ත්‍රීය, පර්යේෂණ ග්‍රන්ථ අධ්‍යයනය කරලා තමයි අපි එම කාර්යයේ නිරත වුණේ. අද රූපවාහිනී වැඩසටහන්වල නිවේදන කටයුතු ගැන කිව්වොත් ගිරව් වගේ ඔහේ කියවාගෙන යෑමක් බොහෝදුරට සිදුවෙන්නේ . භාෂාව පිළිබඳවත් වැඩසටහනේ තේමාව පිළිබඳවත් හැදෑරීමක් කෙරෙන්නේ නැහැ. අද මේකප් එක දාගෙන , කොණ්ඩේ හදාගෙන මුලින්ම කරන්නේ සෙල්ෆියක් අරන් මුහුණු පොතට (ටඡඑකට) දාන එක. ඒ ෆේස් බුක් ෆොටෝස් එකට ලැබෙන ප්‍රතිචාර අනුවයි අද බොහෝ තරුණ පිරිස තමන්ගේ මාධ්‍ය ලෝකයේ ගමන හදාගන්නේ. අනෙක අද ගැඹුරින් අධ්‍යයනය කිරීමක් සිදුවෙන්නේත් නැහැ. යූ ටියුබ්වලින් යම් දේවල් බලලා ඒවයින් යම් යම් කරුණුත් එකතු කරගෙන තමයි වැඩසටහනකට අවශ්‍ය අමුද්‍රව්‍ය එයාලා සපයාගන්නේ. සමාජ මාධ්‍ය ජාලාවලත් බොහෝදුරට ව්‍යාජ තොරතුරු සන්නිවේදනය වෙනවා. ඒ ව්‍යාජ තොරතුරු අරගෙන රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී සමාජගත වෙන්නේත් වැරදි දේවල්. එතැනදී මාධ්‍ය කලාව තුළ ඉදිරිපත් කරන වැඩසටහන්වල නිරවද්‍යතාව පිළිබඳ යම් යම් ගැටලු ඇතිවෙනවා…අද මුදල් මතම ක්‍රියාත්මක සමාජයක් පවතිද්දී මාධ්‍ය කලාවක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. මුදල් ඉපයීමම අරමුණු කරගෙන මාධ්‍යය හැසිරවීම ගැන නම් තෘප්තිමත් වෙන්න බැහැ

වසර 41ක මාධ්‍ය දිවිය දෙස ආපසු හැරී බැලුවොත් මොකද හිතෙන්නේ….?

අනිවාර්යයෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්. මම මගේ උත්සාහයෙන් , කැපවීමෙන්, අධිෂ්ඨානයෙන් ආපු ගමනක් මේක. එහි ප්‍රතිඵල තිබෙනවා . මගේ රට වෙනුවෙන් , මිනිස්සු වෙනුවෙන් මම දෙයක් කළා කියන හැඟීම පිළිබඳ සතුටක් තිබෙනවා

මේ දිනවල ඔබේ විශ්‍රාම දිවිය ගෙවන අයුරු පැහැදිලි කළොත් …..?

මේ දිනවල විශේෂ වැඩසටහන් , වැඩමුළුවලට ආරාධනා ලැබෙනවා . ගී රසවින්දන වැඩසටහන්වලට , කාන්තා සවිබලගැන්වීම් වැඩසටහන්වලට එහෙමත් ආරාධනා ලැබෙනවා . කාන්තා සවිබලගැන්වීම් පිළිබඳ සෑහෙන වැඩ කොටසක් ඒ කාලයේ ඉඳන්ම මම කරලා තිබෙනවා . ඒක මගේ සංකල්පයක්.එහිදී අපි ව්‍යවසායිකාවෝ හැදුවා. ඒවා ප්‍රායෝගික වැඩසටහන්නේ. ඒවා ආයතනික වශයෙන් හා ඉන් පිටතත් සිදුකර තිබෙනවා. ආරාධනා ලැබෙන ආකාරයට දැනටත් එම කටයුතුවල නියැළෙනවා..ගීත කිහිපයක විෂුවල් කළා.

ඉදිරි නිර්මාණාත්මක කටයුතු පිළිබඳ සිහිපත් කළොත් …..?

මගේ නවතම කවි පොත එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. ශාස්ත්‍රවේදී උපාධිය අවසන් කළ මම දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා සූදානම් වෙනවා.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT