Home » සුලබ පුවතක් දෙස දුරින් හිඳ බැලීම ‘චන්දරේගෙ වයිෆ්’

සුලබ පුවතක් දෙස දුරින් හිඳ බැලීම ‘චන්දරේගෙ වයිෆ්’

by mavan
June 4, 2026 12:19 pm 0 comment

හරිත පැහැයෙන් දිදුලන සරුසාර උක් වතු යයාය පේන තෙක් මානයක පැතිර පවතී. ඈතින් දිස්වන්නේ හඬ නඟමින් සිටින කම්හලයි. උක් සාරයෙන් නිපැයෙන දෑ හිමිකරුවන්ගේ මඩි තර කෙරෙන වග නොරහසකි. කෙසේ නමුදු මේ වෙනුවෙන් කඹුරන තුරුණු හා වියපත් ගම්වැසියනට සුගතියක් අත්පත් නොවන තරම්ය. ඔවුහු අරගල ආදියේ නියැළෙමින් සිය දිවි සැරිය වඩා උස් තැනකට රැගෙන යාමට යත්න දරති. ගම්වැසි සෙසු පිරිසද සුවදායී දිවියක් ගෙවා නොදමන බව පැහැදිලිය.

එකිනෙකට වෙනස් එහෙත් යම් සමාන ලකුණුද සහිත සිනමාපට කිහිපයක්ම නිමවූ සිනමාකරු ප්‍රසන්න ජයකොඩි සිය නවතම සිනමාපටය වන ‘චන්දරේගෙ වයිෆ්’ රසික ජනයා කරා රැගෙන එන්නේ මෙබඳු පරිසරයක රුව ගුණ පිටිවහලක් කොට ගනිමිනි. පළමු කොටම ඔහු ගම්වැසි ජනී ජනයාගේ දුක්බර සලකුණු හසු කර ගනී. පළමු පෙළ චරිතයක් සේ හඳුන්වා දෙන චන්දරේ නමැති උක් කම්හලේ සේවයේ නියුතු ගම වැසියා මේ වග මැනවින් පිළිබිඹු කරයි. ඔහු යම් වාමාංශික වෘත්තීය සමිතියක් මෙහෙයවන්නකු හා පාලක පිල සමඟ සාකච්ඡාවකට සුදුස්සකු වන බව පෙනේ. එසේම සිනමාකරු ප්‍රසන්න පවසන අන්දමට ඔහු සෙස්සන් තරමටම නැති බැරි අයකු නොවේ. ඔහු සතු ගෘහ උපකරණ මේ වග පවසන්නේ නිසොල්මනේය. සෞම්‍ය ලියනගේ කිසිදු ආයාසයකින් තොරව මොහුගේ මතුපිට ඉරියව්ද, සැඟව යන ඉරියව්ද සිය පාලනයට නතු කර ගන්නට ගන්නා පියවර අගනේ වෙයි. සිනමාපටය පුරාම මෙම ගුණය රැක ගැනීමට ඔහු දරන වෑයම සිනමාකරුගේ නොඑකඟතාවට හේතු නොසපයන බව පෙනේ.

‘චන්දරේගෙ වයිෆ්’ අතිශය හැඟුම්බර සිනමාපටයක් සේ ගොඩනැංවීමේ ඉඩ කඩ අහුරා දමන්නට උත්සුක වන පළමුවැන්නා වන්නේ මේ චන්දෙර්ය. කෙසේ නමුදු සිනමාපටයේ සමස්තය විෂයෙහි මෙය ප්‍රබලව දැනවීමට පැමිණෙන්නේ චන්දරේගෙ බිරිය හෙවත් ගංගාය. මේ අනුව ගංගා, සිනමාපටය හා රසික ජනයා අතර හැඟුම්බර සබඳතාව දුරු කරලන සිනමාකරුගේ සවිමත්ම මෙවලම බවට පත්වෙයි. මෙහිලා සිනමාකරු ප්‍රසන්න රසික ජනයා තරමක හෝ මුළුමනින්ම විස්මයට පත්කරලන තීන්දුවක් කරා එළඹෙන අයුරු දත හැකිය. සැබැවින්ම ‘චන්දරේගෙ වයිෆ්’ පිළිබඳ විමසුම් කතිකා පොහොසත් කරලනු පිණිස මෙයින් ලැබෙන අනුප්‍රාණය ඉමහත්ය යන්න වෙසෙසින් කිව යුත්තකි.

සිනමාකරු ප්‍රසන්නගේ මෙම විස්මිත තීන්දුව සේ පෙනී යන්නේ ගංගා , ඇය වෙසෙන පරිසරයෙන් මුදවා ගෙන ආකස්මික අන්දමින් ගෙන හැර පෑමය. මෙහිදී සිනමාකරු ප්‍රසන්න වෙසෙසින් පියවර සලසා ගන්නේ ගංගා ගම්පියසේ සෙසු කතුන් ඉක්මවා යන රුව සම්පතකට හිමිකම් කියන මාදිලියේ කතක බවට පත් කරලීමටයි. ඇය බොහෝ දුරට පැහැපත්ය. ගම්පියසේ සෙසු ගැහැනුන්ට වඩා සුන්දරය. වඩා පිරිසිදුය. දරු තිදෙනෙකු ලද ගැමි මවක සතු නොවන සිත් ඇදගන්නා සුලු බවකින් සමන්විතය. චන්දරේ කිසියම් වරදකට සිරගතවන පසුබිමක සිනමාපටයේ පළමු පෙළ රූපණය නිසැක වශයෙන්ම හිමි කර ගන්නේ ගංගායි. ඇය නොවලහා රසික ඇස තමා වෙත යොමු කර ගන්නට සමත් වන්නීය. මෙනිසාම සිනමාපටය හා රසිකයා අතර පරතරයක් නිමවීමේ සිනමාකරුගේ අරමුණ සඵල කර ගත හැකි මං විවර වේ.

සිනමාකරු ප්‍රසන්න මව් සෙනෙහස පිළිබඳ අතිශය සුලබ ගා දෑස් කඳුළින් තෙත් කරන දෑ එලෙසින්ම තිරය මතට රැගෙන ඒම වළක්වා ගන්නට දරන්නේ සැලකිය යුතු වෑයමකි. සිය කුසින් වැදූ දරුවනට සේම කුසින් නොවැදූ දරුවනටද මව් සෙනෙහස දැක්වූ මව්වරුන් දැක්වෙන කතා පුවත් විද්වත් රසිකයනට ආගන්තුක නොවේ. සිනමාවද මෙකරුණ සනිටුහන් කරලීමට දැරූ ප්‍රයත්න බොහෝය. ගංගා සිය දරු තිදෙනාට සේම සැමියාට දාව අන් අඟනකගේ කුසින් වැදූ දරුවාටද දක්වන්නේ අපරිමිත සෙනෙහසක් වීම මේ වග සහතික කර ගැනීමට පහසුවකි.

මේ අනුව සිනමාකරු ප්‍රසන්න ‘චන්දරේගෙ වයිෆ්’ මැයෙන් මෙසේ ඉදිරිපත් කොට තිබෙන්නේ සුලබ පුවතක් දෙස දුරින් සිට බැලීමේ හැකියාව රසිකයා වෙත ලබා දෙන සිනමාපටයක්ය යන්න පෙනේ. මේ දෙස සමීපව හිඳීමින් බලන කල අත්හැරෙන දෑ හේතුවෙන් උද්ගත විය හැකි ගැටලුකාරී තතු පරදවාලිමටද මෙයින් ලැබෙන සහය සුළු කොට තැකිය නොහැකිය.

මෙම සුලබ පුවත විෂයෙහි ඔහු සිදුකරන මැදහත්වීම වෙතින් සිත් ඇදගන්නා සුලු අවස්ථා කිහිපයක්ම රසිකයා ආසක්ත කර ගනියි. රසිකයා හා සිනමාපටය අතර නොපෑහීම් නොවැඩීමට තුඩු දෙන හේතු මෙතැනින් උපදින බවයි පෙනී යන්නේ. ගංගාගේ චරිතය නිසා සිදුවන දුරස්වීම හා උක්ත නොපෑහීම් එකම ආකාරයක් නොගන්නා බව කිසිසේත්ම අමතක කළ යුතු නොවේ.

මෙයින් එක් අවස්ථාවක් වනුයේ සිරෙන් නිදහස්ව හෝ ඇප ලබා පැමිණි සැමියා – චන්දරේ වෙත ගංගා පවසන කරුණකි. චන්දරේ නොමැති සමයේ ඔහු නයුවා සේ කටයුතු කළ වෘත්තීය සමිතියේ උදවිය සිවලුන් සේ තමාට ළං වන්නට යත්න දැරූ බවයි ඉන් කියවුණේ. එසේම එසමයේ වෘත්තීය සමිති සාමාජිකත්වය ගංගා හා දරුවන්ගේ දිවියට සවියක් නොවූ බවද මෙයට සමගාමීවම කියවිණි. තවත් අවස්ථාවක් වනුයේ සිංහල -හින්දු අලුත් අවුරුදු සැමරුමට අදාළව දරුවනට අලුත් ඇඳුම් සපයා ගැනීමේදී ගංගා අනුගමනය කළ පිළිවෙතය. සිනමාකරු ප්‍රසන්න ඊට යම් දේශපාලනික අරුතක්ද ගෙන එයි. ඒ වෘත්තීය සමිති කාමරයේ තිබූ රතු හා කළු පැහැති රෙදි උපයෝගී කරගෙන ගංගා විසින් දරුවනට අලුත් ඇඳුම් මසා දෙනු ලැබීමය. මෙය උත්ප්‍රාසාත්මක හා අරුමැසි සනිටුහන් කිරීමක් බවට පත්වන්නේ චන්දරේ පළ කරන විස්මය සමඟිනි. තමා පෙනී සිටි කම්කරු වුවමනා හා එය සවිබල ගැන්වූ මතවාද පිළිබඳ යළි සිතා බලන්නට මෙමඟින් චන්දරේට අවකාශ සැලසේ.

ගංගා යනු ගම්පියසේ බහුතර ජන කණ්ඩායමට අයත් නොවන්නියක සේ සඳහන් කිරීමද මෙහිලා සලකා බැලිය යුතු කරුණකි. මෙය අත්‍යන්තයෙන්ම බැඳෙන්නේ සිනමාපටය හා රසික ජනයා අතර පරතරයක් නිමවීමේ සිනමාකරුගේ වුවමනාව සමඟය. නදීෂා හේමමාලි මේ වග මූලිකවම වටහා ගෙන තිබෙන අන්දම දත හැකිවේ. සිනමා රූපණයේ දිගු හා බලවත් අත්දැකීම් ඇය සතුව නොමැති බව සැබෑවකි. එනමුදු ඒ බව නොහැඟෙන පිළිවෙතකින් ඇය සිනමාකරු ප්‍රසන්නට සිය එකඟතාව පළ කරයි. සෞම්‍ය ලියනගේ ලබා දෙන යෂ්ටිය රැගෙන ඇය දිව යන්නේ ධාවන සූරියක මෙනි. අවසන ඇගේ අතින් මේ යෂ්ටිය භාර ගැනීමට අපූරු කොලු ගැටයකු සිටින බවයි සිනමාකරු ප්‍රසන්න පවසන්නේ .

මේ දරුවා සිනමාපටයේ විලාසය සහතික කර ගැනීම සඳහා සිනමාකරු ප්‍රසන්න වෙත ලබා දෙන සහය ගංගාට හා චන්දරේට කෙරෙන යම් සුහද තරවටුවක් බඳුය. එක අතකින් මෙම චරිතයට පන දෙන තෙනුක රාමවික්‍රම, සිනමාකරු ප්‍රසන්නගේ වුවමනාව හා මනාව ගැළපෙන අයුරු පෙනේ. ඔහු සිය දෑස හා නිරුත්තර බව මෙතැනදී උපයෝගී කොට ගන්නේ සිනමා රූපණයේ තවත් දුර යාමට තමා සමත්ය යන්න සිහිගන්වමිනි.

සරුසාර උක් වගාවකින් පළමු රූප පෙළ සමන්විත කළද අනතුරුව යම් දුඹුරු පැහැයකින් රූප රාමු සනිටුහන් කරන්නට සිනමාකරු ප්‍රසන්න වැර දරන බව දත හැකිය. මේ පිළිවෙත සිනමාපටයේ මුහුණුවර වෙත සපයන්නේ මඟ හැර යා නොහැකි වටිනාකමකි. රසිකයා විසින් පළමු වටයේදී නොව දෙවන හා තෙවන වට කරා පැමිණ අරුත් දක්වනු ලැබිය යුතු ඇතැම් දෑ සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටලු සහගත තතු යම් පමණකින් හෝ වසං කරලන්නට මෙයින් ලැබෙන අවසරය සිනමාකරු ප්‍රසන්න සවිබල ගන්වන්නක් වේ. එනම් මෙම දුඹුරු පැහැය රසිකයා හා සිනමාපටය අතර දුරස්වීම හමුවේ සිදුවිය හැකි රසික නොකැමැත්ත යටපත් කරලන්නට හේතු වන බවය.

මෙසේ අතිශය සුලබ කරුණු සමුච්චයක් අපූර්වත්වය ජනනය කරවන අවස්ථාද සමඟ රැගෙන ඒම ප්‍රසන්න ජයකොඩි සිනමාකරුවාගේ අවගමනයක්ය යන අදහස පැනයක් සේ ඉස්මතු වීමට ඉඩ තිබේ. ඔහු පෙරදී නිමවූ සිනමාපට හා මෙම සිනමාපටය සැසඳීමේ උනන්දුවක් උත්සන්න විය හැක්කේ මෙහෙයිනි. අනෙක් අතට සිය අභිමතය පළ කරන්නට නිමැවුම්කරුවකු සතු හිමිකම සිනමාකරු ප්‍රසන්න නොවලහා භාවිත කොට ඇති බවද සිනමාපටය ඉඟි කරයි.

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

නවතම පුවත්

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT