Home » නිළි රැජින මාලිනිය මූර්තියෙන් දෙව්දුවක් කළ සොඳුරු කලාකරුවා ප්‍රවීණ චිත්‍ර සහ මූර්ති ශිල්පී, කථිකාචාර්‍ය භරත ලියනගේ

නිළි රැජින මාලිනිය මූර්තියෙන් දෙව්දුවක් කළ සොඳුරු කලාකරුවා ප්‍රවීණ චිත්‍ර සහ මූර්ති ශිල්පී, කථිකාචාර්‍ය භරත ලියනගේ

by mavan
June 4, 2026 2:00 pm 0 comment

අපේ රටේ පවතින කලාවන් අතරින් චිත්‍ර සහ මූර්ති කලාවට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි කිසියම් ජීව, අජීව වස්තුවක හෝ මනසින් ගොඩ නඟා ගත් චිත්ත රූපයක බාහිර හැඩය හෝ එහි ස්වරූපය මූර්තියක් ලෙස හැඳීන්විය හැකිය. මූර්ති කලාව සම්බන්ධයෙන් ප්‍රකට මූර්ති ශිල්පීන් ලෙස තිස්ස රණසිංහ, අයි තිලක් අබේසිංහ වැනි ශිල්පීන් හඳුන්වා දිය හැකිය. වර්තමානයේ මූර්ති කලාවේ නියැළී සිටින්නේ අතළොස්සකි. ඒ අතරින් ශ්‍රේෂ්ඨ චරිත මූර්තියක් ලෙසින් නිර්මාණය කිරීමට සහජ හැකියාව ඇති මූර්ති නිර්මාණකරුවන් සිටින්නේ කිහිපදෙනෙකු පමණි. භරත ලියනගේ යනු එවන මූර්ති ශිල්පියෙකි. ඔහු අතින් නිමැවෙන මූර්ති ලෙස ඕනෑ තරම් වේලාවක් බලා සිටීමට හැකිය. ඒවා එතරම්ම විශිෂ්ට ලෙස නිමැවී ඇත. ඔහු ජීවත්ව සිටින්නේ පිළියන්දල ප්‍රදේශයේය. ඔහුගේ මූර්ති කලාව වෙනුවෙන් ඔහුටම කියා ස්ථානයක් ඇත. ඒ පිළියන්දලට ආසන්න බෝකුන්දර ය. ඒ ඔහු කුඩා කල සිට හැදීවැඩුණු මහගෙදරට අයත් ඉඩමයි. භාරත ලියනගේ නම්වූ මේ අපූරු කලාකරුවාගේ මූර්ති වැඩපොළ පිහිටා තිබෙන්නේද එතැනය. ඔහු කිසිවිටෙකත් ප්‍රසිද්ධිය පසුපස හඹා නොගිය පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ විශිෂ්ට නිර්මාණ රටපුරා විසිරී ඇත. එයට එක් උදාහරණයක් ලෙස නුගේගොඩ හයිලෙවල් පාරේ, දෙල්කද මංසන්ධියේ ඉදිකර ඇති ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ ගේ අනුරුව පෙන්වා දිය හැකිය. මෙවැනි ශ්‍රේෂ්ඨ චරිත රාශියක් ඔහු අතින් නිම වී ඇත. මේ දිනවල රටේ ජනතාව අතර විශේෂ කතාබහක් ඇතිවී ඇත. එසේ කතා බහක් ඇතිවූයේ රුක්මණී දේවියට පසු සිංහල සිනමාවේ නිළි රැජින කිරුළට හිමිකම් කී මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා රංගවේදිනිය සිහිකරමින් ඉදිවූ පිළිරුව හේතුවෙනි. බොරැල්ල සුසාන භූමියේ තැන්පත් කළ එම පිළිරුව සැබෑවටම දෙවඟනකගේ රුවට සමාන කළ හැකිය. ඇත්තෙන්ම මාලිනියද දෙව්දුවක් වැනිය. මෙම පිළිරුව නිර්මාණය වූයේ නිළි රැජින මාලිනිය සිහිගැන්වීම පිණිසයි. එවැනි සුන්දර රුවක් මූර්ති කලාව ඔස්සේ නිර්මාණය කළ මූර්ති ශිල්පී භරත ලියනගේ කවුදැයි යන වග ලොවට හෙළිකළ යුතුය. අප පිළිරුවක් හෝ වෙනත් මූර්ති නිර්මාණයක් කොතැනක හෝ ඉදිකර තිබෙනවා නම් අප බලාසිටින්නෙ ඒ පිළිරුව දෙස පමණි. විඳීන්නේ එහි සුන්දරත්වය පමණි. එහෙත් එම පිළිරුවට මුවාවී සිටින චරිතය ගැන කතා නොකරයි. ඒ චරිතය කවුදැයි කියා කිසිවෙක් සොයන්නට උත්සාහ නොගනියි.

එහෙත් නිළි රැජින මාලිනියගේ පිළිරුව තැනූ මිනිසා කවුරුන්ද යන්න පිළිබඳ බොහෝ දෙනා තුළ ඇත්තේ කුතුහලයකි. ඒ සොඳුරු මිනිසා ගැන වචන අමුණන්නට තැත් කරන මේ අවස්ථාවේ එක්තරා ගීතයක කොටසක්ද මෙහි සඳහන් කිරීම සුදුසුය .ඒ ප්‍රවීණ ගායක සුනිල් එදිරිසිංහයන් විසින් ගයන,

මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා.

මාලිනියගේ පිළිරුව පිළිබඳ ලියන මේ මොහොතේ එම ගීතය කාගේ සිතටත් පැමිණීම වැළැක්විය නොහැකිය.

භරත ලියනගේ මූර්ති ශිල්පියා ඉතා නිශ්ශබ්ද සරල මිනිසෙකි. එහෙත් ඔහුගේ නිර්මාණ ගැන සමාජයේ මේ වන විට කතාබහක් ඇතිවී ඇත. මාලිනියගේ පිළිරුව ගැන විවිධ අයුරින් මතවාද ගොඩ නැඟී ඇත.

“එය මාලිනිය වගේ නෙවෙයි”

ඒ පිළිරුව දෙවඟනක වගේ”

මෙවන් වූ අදහස් ඇසෙන මොහොතක, එම පිළිරුව පිටුපස සැඟවී ඇති සත්‍ය කතාව හෙළි කිරීමට භරත ලියනගේ ප්‍රවීණ මූර්ති ශිල්පියා සරසවිය සමඟ එක්වූයේ තවත් පිළිරුවක වැඩ කටයුතු ආරම්භ කිරීමට ඇති වාතාවරණයකය.

මුලින්ම මා ගැන කෙටි හැඳීන්වීමක් සහිතව, මම මූර්ති කලාවට අවතීර්ණවීමෙ සිට මේ දක්වා කතා කරන්නම්. මම ඉගෙන ගත්තේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ. පදිංචියත් පිළියන්දල ප්‍රදේශයේමයි. උසස් පෙළින් පසු මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී චිත්‍ර විෂය ප්‍රගුණ කළා. ඉන්පසු කථිකාචාර්‍යවරයෙකු ලෙස වසර පහළොවක් විශ්වවිද්‍යාලයේ සේවය කළා. මෝස්තර අංශයේ. (ච්ඥඵඪඨද ච්ඥනචපබථඥදබ) මම මූර්ති කලාව ඉගෙන ගත්තේ අ ඉ ර් රත්නායක මහතාගෙන්. ඔහුව මට මුණ ගැසුණේ 1964 දි පමණ. ඒ කාලේ ඔහු පිළියන්දල පිඟන් සංස්ථාවේ සේවය කරමින් සිටි කාලේ. ඔහු මෝස්තර නිර්මාණකරුවෙක්. මම ඔහුගෙන් මූර්ති ශිල්පිය හැදෑරුවා. ඔහු ඒ කාලේ මූර්ති ශිල්පයට අවශ්‍ය කරන මෙවලම් පවා මට දුන්නා. මගේ අයියත් දක්ෂ කලාකරුවෙක්. මූර්ති ශිල්පය ඉගෙන ගැනීමෙන් පසුව මට මුලින්ම නිර්මාණයෙන් දිගටම තබා ගැනීමට අවශ්‍ය ජතඪනඵ ඇත්නම් නඪද කරගන්න. ජනාධිපතිවරුන්ගේ ප්‍රතිමා අතරින් මට හදන්න ලැබුණේ හිටපු ජනාධිපතිවරයකු වූ ජේ.ආර්.ජයවර්ධනයන්ගේ පිළිරුව. එය මට පැවරුවේ එවකට ජාතික සේවක සංගමයේ සභාපතිව සිටි සිරිනාල් ද මැල් මහතා. සිරිකොතේ තැන්පත් කිරීම සඳහා තමයි මම ඒ පිළිරුව නිර්මාණය කළේ.

එය නිර්මාණය කිරීමෙන් පසුව මම ගැන බොහෝ අය කතා කරන්න ගත්තා. මම මූර්ති ශිල්පියෙකු ලෙස නමක් දිනා ගත්තේ ජේ.ආර්. ජයවර්ධනයන්ගේ පිළිරුව නිර්මාණය කිරීමෙන් පසුවයි. ඉන් පසුව එදා අද දක්වාම මම ශ්‍රේෂ්ඨ මිනිසුන්ගේ පිළිරූ නිර්මාණය කර තියෙනවා. මා දැන් විශ්වවිද්‍යාලවල කථිකාචාර්‍යවරයකු ලෙස සේවය කරන්නේ නැහැ. වර්තමානයේ මගේ වෘත්තීය මූර්ති කලාව. ඒ සඳහාම වෙන්වූ ස්ථානයක් මට තියෙනවා. අවශ්‍ය වෙලාවට සේවකයන් ඉන්නවා. විවිධ වර්ගයේ මූර්ති නිර්මාණායන් මා අතින් නිර්මාණය වෙනවා. මගේ කලා ජීවිතය තුළ කළ නිර්මාණ අතරින් මෑතදී නිර්මාණය කළ නිළි රැජින මාලිනියගේ පිළිරුව ගැන විශේෂයෙන් කතා කරන්න පටන් ගත්තා.එතූමිය සිහිගන්වමින් පිළිරුවක් සාදන්නට මට අවස්ථාව හිමිවුණා.

එය නිර්මාණය කරන්න මට ආරාධනාව ලැබුණේ එතුමියගේ පවුලේ ඥාතින් විසින්. එතුමියගේ ඥාතිවරයෙක් වූ නිලංග ෆොන්සේකා සහ දමයන්ති ෆොන්සේකාත් ඇතුළුව ඥාතින් මේ පිළිරුව නිර්මාණය කර ගැනීම සඳහා කෙනෙක්ව සොයමින් ඉදලා තියෙනවා. මා දන්නා හඳුනන කිහිපදෙනෙකු මා ගැන ඔවුන්ට කියලා තියෙනවා. ඒ අතර බන්දුල පීරිස් මහතා සහ විශ්වවිද්‍යාලයේ සිසුවෙකුත් මා ගැන ඔවුන්ට පවසා තියෙනවා. ඉන්පසුව ඔවුන් මාව සොයාගෙන ආවා. ඇවිත් ඔවුන්ගේ අවශ්‍යතාවය මා සමඟ පැවසුවා. මේ පිළිරුව නිර්මාණය කරන්න මාලිනියගේ සේයාරුවක් දුන්නේ නැහැ. ඔවුන් හඳුනන නිර්මාණකරුවෙකු ලවා එතුමියගේ රුව නිර්මාණය කරගෙන තිබුණා. එය මූර්තියකට පෙරළන්න අමාරුයි. ඒ නිසා මූර්තියක් විදිහට කරන්න පුළුවන් නිර්මාණයක් මා විසින් ඇඳ පෙන්නුවා. ඔවුන් ඒකට කැමැත්ත දුන්නා.

නිළි රැජින මාලිනිය කියන්නේ රූපයෙන් සුන්දර වූ කාන්තාවක්. ඉතින් එවැනි අයෙකුගේ රුවම මූර්තියක් විදිහට නිර්මාණය කර සුසාන භූමියක තියන්නේ නැහැ. එතුමියගේ පවුලේ අයත් තීරණය කර තිබුණේ මාලිනිය නිළි රැජිනක් කියන අදහස පිළිරුවක් මඟින් ලෝකයට පෙන්වීමටයි. ඒ නිසා ඇයගේ අතට මල් කළඹකුත් හිසට ඔටුන්නකුත් නිර්මාණය කළා. ඇත්තටම පිළිරුව නිර්මාණය වුණේ ග්‍රීක දෙව්දුවක් විලසින්. මාලිනි ෆොන්සේකා මහත්මියගේ පවුලේ ඥාතීන්ට ඕනෑ වුණේ මාලිනියගේ තුන්මාසය වෙනුවෙන් මෙය සකස් කිරීමට. ඒත් ඒ වන විට නිර්මාණය කරන්න අපහසු තත්වයකයි මා සිටියේ. මාලිනිය සිප් සතර හැදෑරූ කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් මට පැවරූ කටයුත්තක් නිසා මම කාර්‍ය බහුල තත්වයකයි මා සිටියේ. ගුරුකුලයෙ ඉල්ලීමකට අනුව මාලිනියගේ උඩුකය සහිත මුර්තියක් නිර්මාණය කිරීමට මම භාරගෙන තිබුණා. පාසලෙන් දිනයක් යොදා ගෙන ඒ සඳහා උත්සවයක් සූදානම් කරගෙනයි ඉදල තියෙන්නේ. ඒ නිසා ඒ මූර්තිය ඉක්මනින් ලබා දිය යුතුව තිබුණා. ඒ අනුව දමයන්ති ෆොන්සේකා මහත්මිය ඇතුළු ඥාතින් සමඟ කතාකර පිළිමය සෑදීම ටිකක් පසු කළා. එහෙත් මූලික සැලසුම් ටික කලින් කළා.

පිළිරුවක් නිර්මාණය කිරීම එතරම් ලෙහෙසි නැහැ. අව්වෙන් වැස්සෙන් පවා බාධා ඇතිවෙනවා. මේ කටයුතු සඳහා භාවිතා කරන්නේ උළු මැටි. පිටරටවල නම් මෙවනි දේ සඳහා භාවිතා කරන්නේ තත්වයෙන් උසස් මැටි. මාලිනියගේ සොහොන් කොත උඩ තැන්පත් කිරීම සඳහා සෑදු පිළිරුවට පාවිච්චි කළේ කොන්ක්‍රීට්. ඒ නිසා අව්වෙන් වැස්සෙන් එයට හානියක් සිදුවන්නෙ නැහැ. මෙවැනි පිළිරුවක් සාදන්න කාලයක් ගතවෙනවා. මම මෙය නිම කළෙ තනියම.අවශ්‍ය වුණොත් පමණයි මම සහයට ගෝලයන් සම්බන්ධ කර ගන්නේ. මාලිනි ෆොන්සේකා රංගවේදිනියගේ පිළිරුව විවෘත කරන මොහොතට මට ආරාධනා ලැබුණා. එහෙත් ප්‍රතිපත්තියක් ලෙස එවැනි උත්සව වලට මම සහභාගී වෙන්නේ නැහැ.මට පැවරූ රාජකාරිය නිම කරදීමට පමණයි මා කරන්නේ.

මේ සඳහා මට විවිධ ප්‍රතිචාර ලැබුණා. ඇතැම් අය කියනවා මෙතන ඉන්නේ මාලිනිය නෙවෙයි කියලා .ඔව් මාලිනිය නෙවෙයි. ඇයව සිහිපත් කිරීමට අපි දෙව්දුවක් වැනි රුවක් නිර්මාණය කළා . කවදාවත් කෙනෙකුගේ සැබෑ රුවටම සමාන රුවක් සුසාන භූමියක තැන්පත් කරන්නේ නැහැ. එය ඇතැම් අය දන්නේ නැහැ. ඕනෑම අයෙකුට ගිහින් මේ පිළිරුව බලන්න පුළුවන්.

මා අතින් සිදුවෙන මූර්ති නිර්මාණ රටවටා තියෙනවා . මීට අමතරව මම චිත්‍රපට සඳහා පසුතල ඉදිකිරීමේ නිර්මාණත් කරනවා. ශශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය සඳහා විශාල පසුතලයක්, දෝලාවක් සහ එම චිත්‍රපටයට අවශ්‍ය කරන ආම්පන්න සෑදුවේත් මම. ඒ පසුතලය තවමත් එහි සුරක්ෂිතව තියෙනවා. මා අතින් බුදු පිළිම නිර්මාණය කෙරෙනවා. ඒ සඳහාත් හොඳ ඉල්ලුමක් තියෙනවා.

මේ දිනවල විශේෂ පුද්ගලයෙකුගේ රුවක් සකස් කිරීමට තියෙනවා. ඒ තමයි මහාචාර්‍ය සේනක බිබිලේ මහතාගේ රුව. එහි මූලික කටයුතු මේ දිනවල ආරම්භ කර තියෙනවා. මට මූර්ති වැඩ වලින් අඩුවක් නැහැ. පිළිරූ සහ වෙනත් මූර්ති නිර්මාණ ඇනවුම් මට අඛණ්ඩව ලැබෙනවා.

මාලිනිය සිහිගන්වමින් එතුමිය වෙනුවෙන් මේ රුව නිර්මාණය කිරීමට මට අවස්ථාව ලැබීම විශේෂත්වයක් ලෙස සලකන්න පුළුවන්.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT