ෂර්ලි සමරසිංහ විසින් අධ්‍යක්ෂණය කළ “සිලිලාරේ (The Voiceless Waters)” වෘත්තාන්තමය චිත්‍රපටය පසුගිය මැයි මස 05 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර “මෙට්‍රෝ” සිනමා ශාලාවේදී ලෝක මංගල දර්ශනය පවත්වනු ලැබූවා. 1999 වර්ෂයේ දී සමාරම්භය සනිටුහන් කළ යූකේ ආසියානු සිනමා උලෙළ, දකුණු ආසියානු කලාපීය රටවල සිනමාව වෙනුවෙන් එක්සත් රාජධානියේ පැවැත්වෙන පැරණිතම සිනමා උලෙළ වන අතර, එම උලෙළ ඉතිහාසයේ උලෙළ සඳහා නියෝජනය කරන 12 වෙනි ශශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය “සිලිලාරේ” වේ. මෙවර සරසවිය කලාපයේ ඉඩ හසර වෙන්වන්නේ තිර පිටපත් රචක, මාධ්‍යවේදි, ගත් කතුවර, සිනමා අධ්‍යක්ෂ ෂර්ලි සමරසිංහ සමඟ සිදුකළ කතාබහ සමඟිනි.
ඔබ සිනමා කලාවට මුලින්ම අත්පොත් තබන්නේ කොහොමද?
මම මුලින්ම සිනමාවට එන්නේ රූපවාහිනී මාධ්‍ය හරහා. ඒ වැඩසටහන් අධ්‍යක්ෂවරයකු විදියට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට. සිනමාවට මගේ කැමැත්තක් තිබුණා. කොළඹ ඉද්දි සෑම චිත්‍රපට උලෙළකටම ගිහින් චිත්‍රපට බලන්න පුරුදු වුණා. ඒ එක්කම ජාතික ච්ත්‍රපට සංස්ථාවේ චිත්‍රපටකරණය සම්බන්ධයෙන් ඩිප්ලෝමාව කළා. කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට කියන ශානර දෙක සම්බන්ධයෙන් නිර්මාණ කරලා මුලින්ම අත්හදාබැලීම් කළා. ඊටපස්සේ වෘත්තාන්තමය සිනමාව ඇතුලේ සහය අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදන කළමණාකරුවෙකු විදියට අත්දැකීම ලබා ගන්නවා. ඒ අනුව තමයි කෝව්ඩ් කාලයේ, ඒ කියන්නේ 2021 වසරේ “පියාඹන්න ආයෙත්” කියන වෘත්තාන්තමය චිත්‍රපටය පළමුවරට අධ්‍යක්ෂණය කරන්න ලැබෙන්නේ. එය 2023 වසරේ තිරගත වුණා.
“පියාඹන්න ආයෙත්” චිත්‍රපටයෙන් පසුව, ඔබේ දෙවන චිත්‍රපටය ලෙස “සිලිලාරේ” චිත්‍රපටය නිර්මාණය වීම සිද්ධ වෙන්නේ කොහොමද?
“පියාඹන්න ආයෙත්” චිත්‍රපටයෙන් පස්සේ මම කෙටි කාලයකින් වගේ “සිලිලාරේ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න යොමු වෙනවා. තිර නාටකය ලියලා ඉවරවෙලා ටික කාලයක් අපි අරගත්තා මෙහි පූර්ව නිෂ්පාදන කටයුතු කරන්න. විශේෂයෙන් කතාවට උචිත දර්ශනතල සොයාගන්න, නළු නිළියන් තේරීම, කලා අධ්‍යක්ෂණ කටයුතු වගේ දේවල් සඳහා. චිත්‍රපටය රූගත කළේ දකුණු පළාතේ තිස්සමහාරාමය ප්‍රදේශයේ. 2024 -2025 කාලය අතරතුර අපි චිත්‍රපටය රූගත කිරීම් ඉවර කරලා වර්ණ සංයෝජනය, පසුබිම් සංගීතය, ශබ්ද සැලසුම්කරණය, සංස්කරණය ආදී පසු නිෂ්පාදන කටයුතු සඳහා වෙහෙසුණා. 2026 වසරේ දී තමයි U.L.K චිත්‍රපට සමාගම හරහා ජාත්‍යන්තර චිත්‍රපට උලෙළවල් සඳහා තිරගත කරන්න ආරම්භ කළේ.
“සිලිලාරේ” චිත්‍රපටයේ ශානරය (Genre) කුමක්ද?
මෙය කලාත්මක ශානරයේ චිත්‍රපටයක්. වාණිජ සිනමාවේදි නම් විනෝදාස්වාදය ලබා දීම තමයි මුලිකාර්ථය වෙන්නේ. ඊට සාපේක්ෂව යමිකිසි සිනමාත්මක ප්‍රකාශනයක් තමයි කලාත්මක ශානරයට තේමා වන්නේ. සමාජයේ සිදුවන සමකාලීන අත්දැකීමක් කොහොමද? සිනමා මාධ්‍යය හරහා විචාරක සහ ප්‍රේක්ෂක පර්ෂදයට ලබා දීම තමයි මගේ අරමුණ වුණේ. මෙහි ප්‍රකාශන අත්දැකීම හරහා වාණිජ ධාරාවෙි ප්‍රේක්ෂකාගාරයටත් විනෝදාස්වාදය සපයන චිත්‍රපටයක් වෙනවා. මෙහි කතා පුවත ගත්තොත් ග්‍රාමීය පදනමේ ඉන්න යොවුන් වියේ තරුණයෙකුගේ පරිණතියත් එක්ක ඔහු ජීවත් වන සමාජ සංස්කෘතික පරිසරයේ සමග සිදුවන හැලහැප්පීමක් නිසා ජීවිත ඉදිරියට ගලාගෙන යන්නේ ගමෙන් නගරයට සංක්‍රමණය වුණහම සමාජ සංස්කෘතික සන්දර්භයේ විපර්යාසයන් සහ වේදිතයන් චිත්‍රපටයේ තේමා බවට පත්වෙනවා.
චිත්‍රපටයේ නළු නිළියන් සහ පසුබිම කාර්මික ශිල්පීන් ගැන කතා කරමු….
සිනමා පටයේ රූගත කිරීම් තිස්සමහාරාමය ප්‍රදේශයේ සිදුවුණා. එම ප්‍රදේශයේ වැව් රාශියක් තියෙනවා. වැව් ආශ්‍රිතව නර්තන කලාව හදාරන තරුණයෙක් වටා චිත්‍රපටය නිර්මාණය වන්නේ. උඩරට නැටුම් කලාව මෙහි එක් ස්තරයක් විදියට තියෙනවා ප්‍රධාන චරිතයේ සංගීත් ප්‍රභූ විසින් නිරූපණය කරනවා. ඔහු තෝරා ගැනීමේදී විශේෂ අවධානයක් යොමු වුණා. සංගීත් උඩරට වෙස් නැට්ටුවෙක් විදිහට වෙස් පැලඳ තිබුණා.
මෙහි මවගේ භූමිකාව රඟපාන්නේ වසන්ති චතුරාණි. ප්‍රවීණ රංගනවේදනයක් විදිහට ඇය වසර වසර පහළොවකට පසුව තමන් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම චමත්කා ලක්මිණි, පූජන දන්දෙණිය, පසිඳු විතානගේ, ග්‍රේස් තෙන්නකෝන්, රිචඩ් මානමුදලි, ශාක්‍යා කැටපෙආරච්ච්, යසෝදා රසදුනි වගේ රංගන ශිල්පීන් රාශියක් චිත්‍රපටයට සම්බන්ධ වෙනවා.
චිත්‍රපටයේ වස්තු බිජය නිර්මාණය වුණේ ඔබ අත්දුටු අත්දැකීමක් පදනම් කරගෙනද?
කලාකරුවා ගත්තොත් ගමෙන් නගරයට එහෙමත් නැත්නම් කොළඹට සංක්‍රමණය වන පිරිසක්නේ ඉන්නේ. ගම පිටින් සුන්දර වුණාට අභ්‍යන්තරයෙන් එතරම් සුන්දර නැහැ. සමහර පුද්ගල අත්දැකීම් ගත්තොත් ගම ගැන නීරස අත්දැකීම් බොහෝමයි. පොදුවේ ජන සමස්තයක් විදිහට හැමෝටම බලපාන සාධකයක් සහ මගේ පරම්පරාවේ හැමෝටම බලපාන ලද ප්‍රස්තුතයක් මේක. ගම පිළිබඳ සාකච්ඡා කරන යටිපෙළ කිහිපයක් තියෙනවා. අපේ නව යොවුන් වියේ තරුණ තරුණියන්ගේ සෞඛ්‍ය පහසුකම්, ඔවුන්ගේ ජීවිතයේ තිබෙන අවශ්‍යතාවයන් කොහොමද? පෞරුෂයට බලපාන්නේ කියන එක පිළිබඳ අවධානය යොමු කළා මම. මෙය වර්තමානයේ ඈත ගම් දනව්වල තරුණ ජීවිතවල තිබෙන අඳුරු පැතිකඩක්. පවුල් පරිසරය තුළි අපි දකිනවා මෙය. අපිත් අත් දැකලා තියෙනවා කිසියම් ආකාරයක බලපෑම් කරන වැඩිහිටියන්. තව එකක් ලිංගිකත්වය පිළිබඳ සහ සබුද්ධිකව, විවෘත ලෙස කතා නොකිරීම පිළිබඳව ගැටලුව අපි දකිනවා.
සිනමා රූපය (shot) “සිලිලාරේ” කතාව සිනමානුරූපි ලෙස ගොඩනඟන්නට දායක වුණේ කොහොමද?
ඔබ අහපු ප්‍රශ්නය හරි වැදගත්. කලාත්මක ශානරයේ චිත්‍රපටයක් විදියට ගොඩක් වෙලාවට රූපය ප්‍රධාන වෙනවා. සංකේතාත්මකව තමයි රූප පද්ධතිය ගොඩනඟා ගන්නේ. ප්‍රවීණ සිනමා ඡායාරූප ශිල්පී චන්දන ජයසිංහ මෙහිදි කැමරාකරණය සඳහා සම්බන්ධ කර ගත්තා. ඔහු සමඟ මම නිරතුරුව සාකච්ඡා කළා රූප පද්ධතිය ගොඩනඟා ගැනීම සම්බන්ධයෙන්. කැමරාව මෙවලමක් විදිහට විවිධ කැමරා කෝණ මඟින්, චලනවලින්, ශිල්ප ක්‍රමවලින්, භාවිතාවන්ගෙන් රූප පද්ධතිය නිර්මාණාත්මකව සහ සංයමයෙන් සකස් කළා. චන්දන ජයසිංහ රූප පද්ධතිය ගොඩනැගීම සඳහා විශාල සාකච්ඡාවක් ගෙන ගියා. අවසානයේ එය සාර්ථක වුණා කියලා විශ්වාස කරනවා.
“සිලිලාරේ” කියන නම යොදන්න හේතුව මොකක්ද?
ශබ්දකෝෂයේ තියෙන්නේ දිය බුබුළකින් මතුවෙලා ගලාගෙන යන දිය පහරක් විදියට. වසන්ත වක්කුඹුර සහෘදයා “සිලිලාරේ” කියන සිංහල නම ඉංග්‍රීසියෙන් පරිවර්තනය කර දෙන්නේ “The Voiceless waters” යන නමින්. ඇත්තටම මෙම නමත් එක්ක මෙහි නියම අර්ථය ගන්න වෙන්නේ චිත්‍රපටය නරඹලාම තමයි. “සිලිලාරේ” කියලා අපි දකින්නේ යම් දෙයක ආරම්භයක් ගන්න උත්තේජනයක් ලබා දෙන තැන. නව යොවුන් වියේ තරුණයෙකුගේ ජීවිතය ගලාගෙන යාම, ලිංගික පරිණතිය, විපර්යාසයන් තමයි චිත්‍රපටය සඳහා ප්‍රස්තුත කර ගත්තෙ. භද්‍රජි මහින්ද ජයතිලක සහෘදයා තමයි සිනමාපටයේ නම සඳහා “සිලිලාරේ” යනුවෙන් නම යෝජනා කරන්නේ.
චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා උදව් කළ පිරිස ගැන කියමු.
ගයන්ත් ප්‍රසන්නජිත් ජයසුන්දර සහ වෛද්‍ය දර්ශන අනුරාධ චන්ද්‍රසිරි යන අර්ථපතින් දෙපළ තමයි චිත්‍රපටය නිෂ්පාදනය කළේ. තිර පිටපත ලියුවේ මම. මෙහි කාර්මික ශිල්පීන් සියලුම දෙනා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ අය සහ ප්‍රවීණයන්. එම ප්‍රවීණයන් පිළිබඳ මෙහිදි සඳහන් කළොත්, කැමරාකරණය සිදු කළේ සිනමා කැමරා ශිල්පී චන්දන ජයසිංහ. මෙහි පසුබිම් සංගීතය සිදු කළේ සංගීතවේදී නවරන්න ගමගේ විසින්. සංස්කරණය සිදු කළේ සමන් ඇල්විටිගල විසින්. කලා අධ්‍යක්‍ෂණය සිදු කළේ කුමාර කරව්දෙණිය. වේශ නිරූපණය සිදු කළේ ප්‍රේමලාල් ලියනගේ විසින්. ශබ්ද සංස්කරණය සිදු කළේ ශෂික රුවන් මාරසිංහ. වර්ණ සංයෝජනය සිදු කළේ ආනන්ද බණ්ඩාර විසින්. සහය අධ්‍යක්ෂණය කළේ සිසිර වෙළන්ගහවිට. සිනමාපටය සඳහා උපසිරැසි (Subtitles) යොදා පරිවර්තනය කළේ භාෂා පරිවර්තක වසන්ත වක්කුඹුර සහෘදයා. සිනමාපටය රූගත කරද්දි දර්ශනතලවලට ඇවිත් නිශ්චල ඡායාරූප ශිල්පියා විදියට කටයුතු කළේ නිශ්ශංක විජේරත්න. U.L.K චිත්‍රපට සමාගම විදෙස් සම්මාන උලෙළවල් සඳහා ඉදිරිපත් කිරීම සිද්ධ කරන්නේ. පසුබිම් ගායනයෙන් ආදිත්‍යා වැලිවත්ත, මියුරු සෝමරත්න, ලිමිනී මනෝදා, තුෂාරි කලුබෝවිල, හර්ෂ ජාගොඩ, රසින්ත ගයාන්.
චිත්‍රපටය සඳහා ලැබෙන දෙස් විදෙස් ප්‍රතිචාර කොහොමද?
චිත්‍රපටය මේ දිනවල විදෙස් සිනමා උලෙළවල් කිහිපයක ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. විශේෂයෙන් පසුගිය මැයි මස 05 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර “මෙට්‍රෝ” සිනමා ශාලාවේදී ලෝක මංගල දර්ශනය පවත්වනු ලැබූවා. ඒ යූකේ ආසියානු සිනමා උලෙළෙහි. දකුණු ආසියානු කලාපීය රටවල සිනමාව වෙනුවෙන් එක්සත් රාජධානියේ පැවැත්වෙන පැරණිතම සිනමා උලෙළක් විදියට එම උලෙළ ඉතිහාසයේ උලෙළ සඳහා නියෝජනය කරන 12 වෙනි ශශ්‍රී ලාංකේය වෘත්තාන්ත සිනමාපටය වෙන්නෙත් “සිලිලාරේ”. ඒ වගේම එන මාසයේදී ඉන්දියාවේ මුම්බායි නගරයේ පැවැත්වෙන කෂිෂ් ප්‍රයිඩ් සිනමා උලෙළෙහි මෙය තිරගත කරන්න සුදානම්. තවත් බොහෝ රටවල අන්තර්ජාතික සිනමා උලෙළවල් සඳහා “සිලිලාරේ” ප්‍රදර්ශනය වෙනවා. ලාංකික ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් මෙි දවස්වල දැඩි උද්යෝගයෙන් ඉන්නවා “සිලිලාරේ” චිත්‍රපටය නරඹන්න. ලෝක ප්‍රදර්ශනය අවසන් වූවායින් පසුව නුදුරේදීම ලාංකේය ප්‍රේක්ෂකයන්ට “සිලිලාරේ” සිනමාපටය සිනමාශාලාවල තිරගත කරන්න මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා.
