Home » ටෙලි චිත්‍රපටවලින් යහපත් මිනිස් සමාජයක් ගොඩනැඟිය යුතුයි – ටෙලි චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත වීරද්දන

ටෙලි චිත්‍රපටවලින් යහපත් මිනිස් සමාජයක් ගොඩනැඟිය යුතුයි – ටෙලි චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත වීරද්දන

by mavan
June 4, 2026 12:40 pm 0 comment

ටෙලි චිත්‍රපටයකින් ලාංකේය ප්‍රේක්ෂකාගාරයට අර්ථවත් යමක් දායාද කරන සොඳුරු නිර්මාණකරුවෙක් ලෙස වසන්ත වීරද්දන සහෘදයා අධ්‍යක්ෂණය කළ “මතක මැයි” ටෙලි චිත්‍රපටය පසුගිය මාර්තු මස පැවති රයිගම් ටෙලි සම්මාන උලෙළෙහි හොඳම ටෙලි චිත්‍රපටයට හිමි සම්මානය හිමි කරගැනීමට සමත් විය. දශක ගණනාවක් වෙළඳ දැන්වීම්, චිත්‍රපට, ටෙලි නාට්‍යය, සංගීත රූප රචනා සඳහා සහය අධ්‍යක්ෂවරයකු ලෙස අත්දැකීම් සම්භාරයක් සහිත වසන්ත වීරද්දන නිර්මාණකරුවා වඩාත් ආසක්ත වන්නේ ටෙලි චිත්‍රපට නිර්මාණකරණය වෙනුවෙනි. ඔහු අධ්‍යක්ෂණය කළ “හිත පෑරුවත් ආදරේ”, “කළු සුදු ඉරි අතර අපි” , “පහන් කන්ද”, “පරිණත” සහ “මතක මැයි” ටෙලි චිත්‍රපට ප්‍රේක්ෂකාගාරයේ ඉහළ ප්‍රතිචාර ලබාගන්නට සමත් විය. මෙවර සරසවිය කලාපයේ ඉඩ හසර වෙන්වන්නේ ටෙලි චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත වීරද්දන සමඟ සිදුකළ කතාබහ සමඟිනි.

ටෙලි ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

මගේ ගම මොරටුව ප්‍රදේශයේ කටුබැද්ද. ශශ්‍රී බෝධි දහම් පාසල කියලා මොරටුවේ දහම් පාසලක් තිබුණා. මම එහි ඉගෙන ගන්නකොට මට අවුරුදු අටක් – නවයත් අතර ඇති. දහම් පාසලේ තිබුණා මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියලා නිවාස හතරක්. එහි එක් නිවාසයක් බැගින් එක එක දවසට විවිධ නාට්‍ය පෙන්නනවා. ඔය 1988 – 1989 කාලේ වගේ. නාට්‍ය පෙන්නන එක්ක අයියා කෙනෙක් හිටියා, වසන්ත ඥානප්‍රිය කියලා. මම ඒ අයියගෙන් ඇහුවා මම හරි ආසයි රඟපාන්න, ඔයා මාව නාට්‍යයකට ගන්නවද? කියලා. හරි මම ගන්නම් කියලා, වසන්ත අයියගේ ඊට පස්සේ කිව්වා ගෝනියක් අරන් එන්න කියලා.

නාට්‍යයේ රඟපාන්න මාත් එක්ක දවස්වල හිටියා රමේෂ් කියලා යාළුවෙක්. අපි දෙන්නම තමයි රඟපාන්න ආසාවෙන් හිටියේ. වසන්ත අයියා ගෝනි දෙකක් අරන් එන්න කිව්ව නිසා ගෝනි දෙකක් අරන් ආවා. ඊට පස්සේ මටයි, රමේෂ්ටයි කිව්වා නාට්‍ය වෙලාවේ වැල්ලේ දණ ගහගෙන ගෝනි දෙක පොරවගෙන ඉන්න කියලා. හරියට දඬුවමක් කළා වගේ, දණගහගෙන හිටියා විනාඩි විස්සක් විතර. ඊට පස්සේ අපි ඇහුවා නාට්‍ය ඉවරද? කියලා. ඔව්… ඔව්…මල්ලි නාට්‍ය ඉවරයි කිව්වා. මම ඇහුවා ප්‍රැක්ටිස් තිබුණොත් නැහැ, මොකද වුණේ කියලා . ඒවා ඔක්කොම හරි, කිව්ව නිසා සිදුවීම එතනින් ඉවර වුණා. මට පස්සේ දවසක තමයි වසන්ත කියුවේ එදා ඒ ඉඳලා තියෙන නාට්‍යයේ සිදුවීමක ගලකට කියලා. (සිනාසෙමින්)

මම ශිෂ්‍යත්වය සමත් වෙලා මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට ගියා. එහි තමයි මගේ කලා ජිවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. මට එතකොට අවුරුදු 12ක් විතර ඇති. ඉස්කෝලේ හිටියා තිස්ස සර් කියලා නාට්‍යය උගන්වන ගුරුවරයෙක්. මට අර කලින් හමිබුණ වසන්ත ඥානප්‍රිය අයියා තිස්ස සර්ගේ ගෝලයෙක්. එක දවසක ඉස්කෝලේ පණිවුඩයක් ගියා නාට්‍යයක රඟපාන්න ළමයි එන්න කියලා. “අඹ යහළුවෝ” ටෙලි නාට්‍යයේ අශේන් මංජුල, සුදත් දේවප්‍රිය කියන දෙපළ මට මෙතනදි මුණ ගැහෙනවා. ඔවුන් දෙපළ මාව දැකලා “මඩොල් දූව” ටෙලි නාට්‍යයට තෝර ගත්තා. මම රඟපෑවා ජයලත් මනෝරත්නගේ, රම්‍යා වනිගසේකරගේ පුතා විදියට. අන්න ඒ් විදියට තමයි මම මුලින්ම ටෙලි නාට්‍යය කලාවට එන්නේ. ඊටපස්සේ සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කරපු “පහන් දොර” කියලා ඒකාංගික ටෙලි නාට්‍යයෙත් මම රඟපෑවා.

“මඩොල් දුව” ටෙලි නාට්‍යයෙන් පස්සේ සිනමාවට යොමු වුණේ නැද්ද?

මම උසස් පෙළ අධ්‍යාපනය ඉවර කරලා කලාවට යොමු වුණා. ඒ දවස්වල විශ්වලේඛා ප්‍රින්ට්න් හවුස් මගේ මාමා කෙනෙක් වැඩ කළා. දවසක් ප්‍රියන්ත කොළඹගේ ප්‍රින්ටින් හවුස් එකට ආපු වෙලාවක අපේ මාමා ප්‍රියන්ත කොළඹගේට හඳුන්වලා දුන්නා. ප්‍රියන්ත අයියා කරපු “අරුමෝසම් වැහි” ටෙලි නාට්‍යයේ මම රඟපෑවා. ප්‍රියන්ත අයියා කියුවා ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදියට වැඩ කරන්න කියලා. මම සහය අධ්‍යක්ෂණය ගැන කිසිම දැනුමක් තිබුණේ නැහැ. ඊටපස්සේ ප්‍රියන්ත අයියගෙන් සහය අධ්‍යක්ෂණය ඉගෙන ගන්න විමල් දේශප්‍රිය ගාවට මාව යොමු කළා. ඔන්න ඔය ආකාරයෙන් මම සහය අධ්‍යක්ෂවරයකු විදියට හැඩ ගැසුණා.

ඊටපස්සේ මම වෙළඳ දැන්වීම් 800 ක් විතර සහය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. මට හිතන්න බෑ, කටකාරීයක්, දෑසින් පෑවා, නදී ගංගා, සමනළියක් ආදී වශයෙන් ථභඵඪජ මඪඤඥධ 200 පමණ සහය අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ලලිත් රත්නායකගේ තෙත් සහ වියළි නාට්‍යයේ දෙවන සහය අධ්‍යක්ෂවරයා විදිහට වැඩ කළා. “අරුංගල්” නාට්‍යයේ පළමු සහය අධ්‍යක්ෂවරයා විදියටත් වැඩ කළා. ආනන්ද අබේනායකගේ සහ චාන්දනී අක්කගේ නාට්‍යවල සහය අධ්‍යක්ෂවරයා විදියට වැඩ කරන්නත් ලැබුණා.

“අකුරු මැකී නෑ” ටෙලිනාට්‍යයේ සහය අධ්‍යක්ෂවරයා විදියට වැඩ කරන්න ලැබුණට පස්සේ හිරු නාලිකාවට සම්බන්ධ වුණා. චාමර ජයවීර තමයි මාව චැනල් එකට ගත්තේ. චාමර ජයවීර පටන් ගත්තා “දිවි තුරා” ටෙලි නාට්‍යය. දිවි තුරා ටෙලි නාට්‍යයේ මම සහය අධ්‍යක්ෂවරයා විදියට සම්බන්ධ වුණාට පස්සේ ටෙලි ෆිල්ම් කරන්න පටන් ගත්තා. එහෙම කරපු පළමු ටෙලි චිත්‍රපටය තමයි “පරිණත”. ඒ ටෙලි ෆිල්ම් එක නිර්දේශ වුණා රයිගම් සම්මාන උලෙළේ. 2025 වර්ෂයේ ටෙලි ෆිල්ම් 20ක් කළා.

පරිණත ටෙලි චිත්‍රපටය නිර්මාණය වෙන්න පසුබිම සැකසුණු ආකාරය පිළිබඳ සඳහන් කරමු…..

හිරු ඊම එකේ වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත සහ චාමර ජයවීරට, මම කියනවා ටෙලි ෆිල්ම් එකක් කරන්න ඕන කියලා. චින්තක පීරිස් තිර පිටපත ලිව්වා. තිර පිටපත ලියලා වැඩ ආරම්භ කළා. පරිණත ටෙලි නාට්‍යයේ රඟපෑවා විජේරත්න වරකාගොඩ, ජගත් චමිල, ⁣ග්‍රේස් තෙන්නකෝන්, හිමාලි සිරිවර්ධන ආදී නළු නිළියන් පිරිස. කතාව තමයි සල්ලිකාර ළමයින් අම්මලා, තාත්ත⁣ලා වයසට ගියාම වැඩිහිටි නිවාසවල නවත්තලා, ඉන් පසුව සිදුවෙන ක්‍රියාදාමයක් ගැන. “පරිණත” ටෙලි චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊටපස්සේ මම “හිත පෑරුවත් ආදරේ” ඒකාංගික ටෙලි නාට්‍යය කළා. ඒක රයිගම් සම්මාන උලෙළ සඳහා නිර්දේශ වුණා. ඒ ටෙලිනාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊටපස්සේ 2025 වසරේ “මතක මැයි” ටෙලි චිත්‍රපටය කළා. ඒක ලියුවේ ගීතානි කියලා හොඳට රහට ලියන්න පුළුවන් ලේඛිකාවක්. “මතක මැයි” මාර්තු 27 රයිගම් සම්මාන උලෙළේ හොඳම ටෙලි චිත්‍රපටයට හිමි සම්මානය හිමි වුණා.

“මතක මැයි” ටෙලි චිත්‍රපටයට පස්සේ කරපු නිර්මාණ මොනවද?

“මතක මැයි” ටෙලි චිත්‍රපටයට සෑහෙන්න ප්‍රතිචාර ලැබුණා. සෑහෙන පිරිසක් ටෙලි චිත්‍රපටය නරඹලා තිබුණා. ඊටපස්සේ “කළු සුදු ඉරි අතර අපි” කියලා ටෙලි චිත‍‍්‍රපටයක් කළා. එහි කතාව වුණේ මිනී පෙට්ටි සාප්පුවක කතාවක්. ඊටපස්සේ “ආයෙමත් අපි” කියලා චින්තක කුලතුංග, උදයන්ති කුලතුංග, චින්තක පීරිස් සමඟ එකතු වෙලා ටෙලි චිත්‍රපටයක් කළා. ඒක ලස්සන ආදර කතාවක්.

ඔබේ අදහසට අනුව නිර්මාණයක් කරන්න පෙර තිර පිටපතක් තෝරා ගන්නේ කොහොමද?

පොඩි කාලේ ඉඳන් මං ෆිල්ම් බලන්න කැමතියි. ෆිල්ම් බලන එක පුරුද්දක් ⁣වෙලා තිබුණා. මම කතාවත් තෝර ගනිද්දී හිතන්න පුළුවන් මට මේක මිනිස්සුන්ට දෙන්න පුළුවන් හරියටම කියන එක. තිර පිටපත කියවද්දි තේරෙනවා. දැනෙනවා. කියවගෙන යද්දී ඇහැට පොඩි කඳුළක් එනවා නම් හරි තමයි.

ටෙලි චිත්‍රපටයක් කියලා කියන්නේ මොකක්ද?

ඉතාම කෙටි කාලයකින් වැදගත් යමක් ප්‍රේක්ෂකාගාරයට සන්නිවේදනය කිරීම තමයි ටෙලි චිත්‍රපටයකින් වෙන්නේ. සාමාන්‍ය දීර්ඝ ටෙලි නාට්‍යයක් සති ගණනක් බලා ඉන්න වෙනවනේ. ඊළඟ කතාංගය එනතෙක් බලන් ඉන්න වෙනවා. ටෙලි චිත්‍රපටයක් බලන් ඉන්න එකේ වාසිය තමයි කෙටි කාලයකින් කතාව නිමාවීම. මම නිර්මාණය කරපු “පහන් දොර” ටෙලි චිත්‍රපටය ලක්ෂ හතරක් බැලුවා. ටෙලි චිත්‍රපටයකින් ආට් වැඩ කරන්න පුළුවන් පුළුවන්. එක පහසුයි. මට ඇත්තටම අවශ්‍ය මිනිස්සුන්ට දැනුම යහපත් පණිවිඩයක් ලබා දෙන එක මගේ නිර්මාණ හරහා.

ඔබේ මේ කලා ගමනට එන්න උදව් කරපු පුද්ගලයන් කවුද

තිස්ස ගුණවර්ධන සර් උදව් කළා. වසන්ත ඥානප්‍රිය අයියා, ප්‍රියන්ත කොළඹගේ. ලලිත් රත්නායක විරාජ් වැලිවත්ත, චාමර ජයවීර, දමිත්, ජීවන්ත සහ මගේ ඛ්ඡ්ර්‍ණ, චෙයාමන් දෙන්නම උදව් කළා.

මෙතෙක් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සුන්දරයි. මගේ නිර්මාණවලින් සමාජයට පණිවිඩයක් දෙන එක හරිම සතුටුදායක මොහොතක්. ඒ වගේම මම කරන නිර්මාණ සම්මාන උලෙළවල්වලට නිර්දේශ වීම සහ සම්මාන හිමිවීම ගැනත් ඉතාම සතුටුයි.

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT