නිවස සංවාද අන්තර්ජාතික තලයට යෑමට අනන්‍යතාව වැදගත්

අන්තර්ජාතික තලයට යෑමට අනන්‍යතාව වැදගත්

- ජාත්‍යන්තර ශ්‍රී ලංකා සිනමා උළෙලේ නිර්මාතෘ අරුණි බොතේජු

by Test User
March 21, 2024 1:00 pm 0 comment

” අපේ සාඩම්බරනීය ලාංකේය සිංහල සිනමාව ජාත්‍යන්තරයට ඔසවා තබන අන්තර් ජාතික මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක තත්ත්වයේ තිබෙන බවත් ශ්‍රී ලංකා සිනමා සංස්කෘතියේ අනන්‍යතාවය හෙළි කරමින් අප කවුද කියා ලොවටම පෙන්වීමට තමන් මූලිකත්වය ගෙන මෙමඟින් කටයුතු කරන බවත් ජාත්‍යන්තර ශ්‍රී ලංකා සිනමා සම්මාන උළෙලේ නිර්මාතෘ (Ceylon International Films Festival  අරුණී බොතේජු මහත්මිය ඇමෙරිකාවේ, කැලිෆෝනියාවේ සිට සරසවිය සමඟ විශේෂ පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් එසේ පැවසුවාය.

” අපේ රටේ සිනමා කලාව පැත්තෙන් බැලූවිට දක්ෂතා කුසලතා ඇති අය ඕනෑතරම් ඉන්නවා. ඒ වගේම සිනමාවට සම්බන්ධ රැකියාවන් රාශියක්ම තිබෙනවා. ඉන්දියාවේ තනන චිත්‍රපට ලොව පුරා ප්‍රදර්ශනය වුවත් අපේ සිනමා නිර්මාණවලට එහෙම අවස්ථාවක් නැහැ. මේ වනවිට මගේ කැපවීමෙන් උත්සාහයෙන් අන්තර් ජාතික සිනමා උළෙල ඉලක්ක කරගෙන ඒ පිළිබඳව කටයුතු රාශියක් සිදු කැරෙමින් පවතිනවා. රටක් හැටියට ආඩම්බරයෙන් ජාත්‍යන්තරයේ පෙනී සිටින්නට අප එකාවන්ව කටයුතු කළයුතුව ඇතැයිද ඇය සඳහන් කළාය.

ඇමෙරිකාවේ පදිංචියට ඇය එනවිට ඇයට වයසින් අවුරුදු 17කි. සිය පවුලේද අය සමඟින් පදිංචියට පැමිණි ඕ තම මවුබිම ජාත්‍යන්තරයේ ඔසවා තබනු රිසියෙන් කටයුතු කරන්නීය.. ඇය විසින් ආරම්භ කළ CEYIFF  සංවිධානය සමග Santa babara latino  ව්‍යාපාරික සංගමයේ නායකත්ව සම්මන්ත්‍රණයේ ආරාධිත කථිකයා වූයේද ඇයය.

එහිදී ඊට අනුග්‍රාහකත්වය දැක්වීමට හැකිවීම ගැන සතුටක් බව මෙන්ම ශ්‍රී ලංකාවේ විශිෂ්ට භූමිකාව පිළිබඳවද ප්‍රකාශයට පත්කරමින් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ නායකත්ව, ව්‍යවාසකත්වය හා සංස්කෘතික ගවේෂණ යන ක්ෂෙත්‍රවල අප පාලම් ගොඩනගමින් අර්ථවත් සම්බන්ධතා ඇති කරවන වෑයමට අප සමඟ එක්වන්නැයි එහිදී විවෘතව ඉල්ලීමක් කළාය.

මෙහිදී ඕ මෙසේද සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ විවෘත පළමු ජාත්‍යන්තර චිත්‍රපට උළෙල වන  Ceylon international Film Festival  ආරම්භ කරමින් සෘජු සහන පදනම සමඟ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ කරගනිමින් වෛද්‍ය සැපයුම් ලබාදීමට හැකි වූ බව තම ජයග්‍රහණයක්සේ සලකන බවද ඇය කීවාය.

තවදුරටත් අදහස් දැක්වූ අරුණී බොතේජු මහත්මිය මෙසේද පැවසුවාය.

“සිලෝන් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් සතිය වෙනුවෙන් ප්‍රථම වරට අප ලොවට හඳුන්වා දුන්නේ Ceylon High  තේ වැඩ සටහන බව කියන්න සතුටුයි. එදා සැන්ට්‍රා බාබරා නගරයේ අපේ ශ්‍රී ලංකා ධජය ලෙළ දුන්නා. ඒ 2023 ඔක්තෝම්බර මස 23 දා 2 වන ලංකා ජාත්‍යන්තර සිනමා උළෙලට සමගාමීව පැවැති අවස්ථවේදී.. එය සැබැවින්ම ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ සිය අනන්‍යතාවය පිළිබිඹු කැරෙමින් සිදුවූ කාර්යයක් බවද ඇය කීවාය.

මෙම උළෙලට සැන්ට්‍රා බාබරා නගරාධිපති සෙනෙට් සභික මොනික් ලිමෝන්ගේ කාර්යාලයේ නියෝජිත 1 වන දිස්ත්‍රික් අධීක්ෂක දාස් විලියම්ස් නගර සභා සාමාජිකයන් රාජ්‍ය සභාව නියෝජන නිලධාරි ; නගර සංවිධාන නායකයින්ද ග්‍රේටර් සැන්ටා බාබරා හිස්පැනික් වාණිජ මණ්ඩලයේ සභාපති සැන්ටා බාබරා සිටි කොලේජ් ෆවුන්ඩේෂන්හි ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු තවත් බොහෝ නගර නායකයින් එක්වූ මෙම අවස්ථාවට අපද කොටස්කරුවන් වීම පිළිබඳව ගෞරවයට පාත්‍ර වී ඇත.

අරුණී බොතේජු මහත්මිය…

“අප සිංහල ; දමිළ, මුස්ලිම් කියා බේද කිසිත් නැතිව එක ජාතියක් හැටියට අපට එකම අරමුණක් තිබුණේ. අප එක්සත්ව වැඩ කළොත් අපට ජාත්‍යන්තරය දිනාගත හැකියි. හැමදේටම ඉස්සෙල්ලා අපගේ අනන්‍යතාවයයි වැදගත් වන්නේ. අප කවුද කියා අප තුළම ආඩම්බරයක් තියෙන්න ඕනේ.

අපේ රටේ තරුණ පරම්පරාව ගැන ආඩම්බරයක් තියෙනවා. අපේකම කියනදේ ඒ අය හඳුනා ගත යුතුයි. අද අපේ තරුණ ළමයි එදා පැරණි ගීත ගයනවා. එයම මොන තරම් අගය කළයුතු දෙයක්ද.

විදේශිකයනට ශ්‍රී ලංකාව ගැන හරිහැටි අවබෝධයක් ගැනීමට නොහැකි වීමේ පළමු කාරණය අපේ රටේ නම උච්චාරණයයි. ඉස්සර ඉතිං සෙලාන් කියලත් කීවානෙ. සිලනියස් කීවා. පස්සෙ බ්‍රිටිෂ් සිලෝන් වුණා. උච්චාරණ ස්වභාවය අනුව සිලෝන් වුණා. ”

සිනමා උළෙල පිළිබඳව කරුණු දැක්වූ Ceylon international Flims Festival ජාත්‍යන්තර ශ්‍රී ලංකා සිනමා උළෙලේ නිර්මාතෘ අරුණී බොතේජු මහත්මිය…

“ජාත්‍යන්තරයට අපේ සිනමාව ගෙන යා යුතුයි. අපේ රටේ දක්ෂතා තිබෙන අය ඉන්නවා. මේ අයව ජාත්‍යන්තරයට අප පෙන්වන්න ඕනා. අපේ රටේ සිනමා සම්පත ප්‍රමෝට් කරන්නෙ කොහොමද කියල මම දැනටත් අපේ අධ්‍යක්ෂක මණ්ඩලය සමග සාකච්ඡා කරමින් ඉන්නෙ.

“බොහෝ වෙලාවට ලංකාවේ අසුභ නිවුස් තමයි අපට ලැබෙන්නෙ. ඒක හොඳ ප්‍රවණතාවක් නම් නෙවි. කොටින්ම කියනවනම් අපට ලංකාවෙ සෘණාත්මක නිවුස් තමයි එන්නෙ.අපට උවමනා ලංකාවෙ දේ ඉහළට ගන්නයි. ඇත්තම කියනවනම් ලංකාවෙ වගේම කකුලින් අදින ජාතියෙ අයත් මේ රටවලත් ඉන්නවා.

පසුගිය වසරේ අපේ ෆිල්ම්ස් ෆෙස්ටිවල් ගැන කිව්වොත් අප තමයි එය පටන් ගත්තෙ. අපට සම්මාන රැසක්ම ලැබුණා. නිව්ස් පේපර්..සුනාමි.. නිර්මාණ සිනමා ෆෙස්ටිවල් එකට තිබුණා . ඒ නිදහස් සිනමාකරුවන්ටත් අප අවස්ථාව දුන්නා. එය 2022 ජුනි මස පැවැති දින 3 ක උළෙලක්. පළමුවරටයි අන්තර් ජාතික මට්ටමින් මෙහෙම සිනමා උළෙලක් පැවැත්වූයේ.

ඇය මෙසේද කීවාය.

“2021 වසරේ මුල් කාලෙදි මට mark gaergon  හමුවූ වෙලාවෙදි ලංකාවෙ සිනමා කලාව නංවන්න කතා කළා. ඒ සාකච්ඡාවෙදි හොඳ ප්‍රතිචාර ලැබුණා. එවක චිත්‍රපට සංස්ථාවෙ සභාපති ජයන්ත ධර්මදාස මහත්තයාට..ප්‍රදීපා ධර්මදාස මහත්මියට..රවීන්ද්‍ර රන්දෙනිය මහත්තයට කතා කර කිව්වෙ අපේ චිත්‍රපට සංස්ථාව හරහා පිටරට සිනමා උළෙලට අපේ නිර්මාණ යවන්න කියලයි. ඒක අහල එයාලා ඉහළින්ම සතුටු වුණා. ඒ අනුව තමා 2023 වසරට ආවේ. 2024 තමයි අපේ මීළඟ අවස්ථාව ..”

කැලිෆෝනියාවේ 2021 වසරේ ජුනි මසදී සිනමා උළෙලක් සංවිධානය කරමින් ලංකාවේ නම ඉහළින්ම රඳවන්නට ඕ කටයුතු කළ අතර 2015 දී ලොස් ඇන්ජලිස්වල ඇය ප්‍රසංගයක් ද සංවිධානය කළ බව අරුණී කීවාය.

මෙවර එහිදී මෙවර පවත්වනු ලබන සිනමා උළෙලේදී “රිදීතැල්ල” චිත්‍රපටය වෙනුවෙන් ශ්‍රියාණි අමරසේන මහත්මිය සම්මානිත කරවන්නට කටයුතු කෙරෙන බවද ඇය කීවාය.

“ශ්‍රී ලාංකික එක් අයකුවත් නැතිව සැන්ට්‍රා බාබරා නගරයේ අපේ ශ්‍රී ලංකාව අප ජනප්‍රිය කළා. ඒ නිසා අපේ කටයුතුවලට සැන්ට්‍රා බාබරා නගරයේ හැමෝගෙම සහය දැන් අපට ලැබෙනවා.”

ඇය අවධාරණය කරමින් කියා සිටියේ…

“අපේ රටේ නිර්මාණ මෙහෙට එව්වෙ නැතිනම් අපට මෙහෙ ප්‍රදර්ශනය කරන්න දෙයක් නැතිවෙනවා. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවෙ සිනමා කර්මාන්තයට සවියක්..සහයක් වෙන්නයි අප මෙහෙ සිට මේවා කරන්නෙ. අපේ ශ්‍රී ලංකාවෙ අය මෙය අතිශයින් ම තේරුම් ගත යුතුයි. ” කියාය.

“ඇත්තමයි . ලංකාවෙ දක්ෂතා තියෙන අය ඉන්නවනෙ. සිනමා කර්මාන්තයෙන් රැකියා කෙතරම් උපද්දන්න පුළුවන්ද. හරියට කටයුතු කළොත් අත් වී තියෙන ඉරණමින් අපට ගොඩ ආ හැකියි. ඉන්දියාවේ ..කොරියාවේ චිත්‍රපට ලොව පුරා යනවා. අපත් ඉහළටම ආ යුතුයි. හොඳ ආදායමක් ලබන්න පුළුවන්. දැන් එළියට ඇවිත් අප සමග එකතුවෙන් වැඩ කරල අපේ රටේ සිනමාව ඉහළට ගනිමු. එයයි මම දෙන පණිවුඩය. අවශ්‍ය සහයට අප කටයුතු කරනවා.

2023 වසරේ දි මෙහෙට එන්නට අපහසු නිසා අපි ජයන්ත ධර්මදාස මහතා ඇතුළු 15 දෙනකුට නවලෝක තියටර් එකේදි තිළිණ 15 ක් ප්‍රදානය කළා.

හොඳම නළුවාට සරත් කොතලාවලටත් හොඳම නිළිය නිරංජනී ෂන්මුගරාජන්ටත් හොඳම පිටපත වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරිටත් “සුනාමි” නිර්මාණය වෙනුවෙන් සංස්කරණයට අජිත් රාමනායකටත් තිළිණ ප්‍රදානය කළා.

තම ජාත්‍යන්තර ශ්‍රී ලංකා සිනමා උළෙලේ තෙවන අදියර ලෙසින් පවත්වනු ලබන සිනමා උළෙලෙහි අරමුණ ලංකාවේ සිනමාව ජාත්‍යන්තරයට ගෙනයාම යැයි අවධාරණය කරන එහි නිර්මාතෘ අරුණී බොතේජු මහත්මිය වැඩිදුරටත් කීයේ විශේෂ ජූරියක් යටතේ එය සිදුකැරෙන බවයි.

දුර ගමනක් ගොස් තිබෙන ඉන්දීය සිනමාව හැම ජාතියකටම අයත් පුරවැසියන් නරඹන බවත් ලාංකේය චිත්‍රපටද හැම ජන වර්ගයකටම නැරඹිය හැකි අයුරින් නිපදවිය යුතු බවද කීවාය.

වාණිජ හා කලාත්මක සිනමා නිර්මාණ අතර කොමඩි සිනමා නිර්මාණද අගයෙන් බැහැර කළ නොකළ හැකි බවද කීවාය

” අපේ සිනමාවේ අය සහ ජාත්‍යන්තරය අතර සම්බන්ධතා පුබුදුවන්නට දැනට තමන් වැඩ සටහන් රැසක් සම්පාදනය කරමින් සිටින බවද ඇය කීවාය.

“ශ්‍රී ලංකාවේදී චිත්‍රපට නිපදවීමට ඉතා සුදුසු ආකර්ෂණීය ස්ථාන ඕනෑතරම් තියෙනවා. ජාත්‍යන්තර සිනමා කරුවන් මේවා දන්නෙ නැහැ. ලස්සන ලොකේෂන්ස් තියෙනවා. අභිමානයකින් යුතුව අපි අපේ සම්බන්ධතා වැඩිදියුණු කර ගන්නවානම් ආර්ථිකය පැත්තෙන් ඉහළම බලාපොරොත්තුවක් තැබිය හැකියි. ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් ශ්‍රී ලංකා ඇමෙරිකානු සම්මානය තමන්ට හිමි වූ බවද ඇය කීවාය.

සිය සිනමා උළෙල හරහා ශ්‍රී ලංකාවේ තත්ත්වය පැහැදිලි කරමින් තමන් ඉටුකිරීමට සැලසුම් කළ සද්කාර්යය පහදා දීමෙන් 2022 දී වසර දෙක තුනකට අවශ්‍ය නොමිලේ වෛද්‍ය පහසුකම් සහ ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කර රෝහල් වලට ඩොලර් මිලියන 300කට වැඩියෙන් යවා ඇති බවද ඕ පැවසුවාය.

ඒ වෙනුවෙන් සම්මානය එක තමන්ට ලැබෙනු ඇති බවද කියූ ඇය තමන්ගේ එකම අරමුණ ශ්‍රී ලංකවට උපරිමයෙන් සේවය කිරීම බවද කීවාය.

“ඒ වගේම සිනමාවට දිය හැකි උපරිම සහය ලබා දෙනවා. අපේ නිර්මාණ ජූරියට බලන්න දෙන්න. ඒක අපටත් ආඩම්බරයක් . අපි ඇමෙරිකාවේ හිටියාට අපේ ලංකාවට අපි හරිම ආදරෙයි. ලංකාව අමතක කර ඉන්න අපට බැහැ.මොකද මමත් කලාකාරිනියක නිසා..”

ඕ මුවපුරා සිනාසෙමින් කීවාය.

ප්‍රවීණ නැටුම් ආචාරිණී පද්මිණී දහනායක මහත්මිය යටතේ භරත, උඩරට කතක් හදාරා ඇති ඈ කුඩාවියේ සිටම මවුපියන්ගේද ආභාසයෙන් අපේ රටටත් සංස්කෘතියටත් දැඩිසේ ආදරය කරන බවද ඈ කියන්නීය.

“මගෙ අම්මා අපේ රට ගැන හැමතින්ම මට කියා දුන්නා. මම මගේ දරුවනට ඒකම කියා දෙනවා. අපේකම ගැන. ලෝකයේ කොහේ සිටියත් අපේකම රැකගෙන ජීවත් වීමයි වැදගත්ම දේ.”

ජාත්‍යන්තරය ඉදිරියේ අප අප ගැන පහත්ව සිතිය යුතු නැහැ. පිටරටුන් ළඟදි සමහරු සුද්දො වගෙ වෙන්න හදනවනෙ. අපේ අභිමානය අප රැකගත යුතුයි. අප අපිව පහත් නොකරන තරමට මෙහෙ අයට අපේ අනන්‍යතාවය ඉස්මතු වෙනවා. අපේකම පෙන්වන විට මෙහෙ අය ඉබේටම අපව ඉහළින් පිළිගන්නවා.”

ඇය මෙසේද කියන්නීය.

“මං හැමදාම පාන්දරට රාත්‍රියට ගුවන් විදුලියේ පිරිත් දමනවා. දරුවන්ටත් අහන්න සලස්වනවා. අපේ සිරිත විරිත මගේ දරුවනට මම නිතර කියාදෙනවා. අපේ ගෞරවය කාටවත් බලෙන් ගන්න බැහැනෙ. අපේකම තුළ අප කටයුතු කරනවිට ඉබේටම අපට ගෞරවය ලැබෙනවා”

ජාත්‍යන්තර ශ්‍රී ලංකා සිනමා උළෙල නිර්මාතෘ අරුණී බොතේජු මහත්මිය අපේ සුහද කතාබහ අවසන් කරමින් පැවසුවේ අපේ සිනමාව ජාත්‍යන්තරයේ ඉහළම සැලකිල්ලට ගෙන එන්නට තමන් දරණ වෑයමට ලාංකේය සිනමාකරුවන්ගේ හා බලධාරීන්ගේද නොඅඩු සහය ලබාදෙමින් තමන් සමඟ එකතු වන ලෙසටය.

 

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT