නිවස සංවාද භාෂා කිහිපයකින් ගී ගයන නිසා මට ප්‍රසංග වේදිකාවේ ඉල්ලුමක් තියෙනවා

භාෂා කිහිපයකින් ගී ගයන නිසා මට ප්‍රසංග වේදිකාවේ ඉල්ලුමක් තියෙනවා

-ගායන ශිල්පිනී දිල්හානි සුරංජිකා එදිරිසිංහ

by Test User
March 21, 2024 12:59 pm 0 comment

ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මහනුවර සේවයේ සරස්වතී මණ්ඩපය ළමා ගී මිහිර නවක රඟමඩලෙන් කලා ක්ෂේත්‍රයට පිවිසුණාය. එමෙන්ම රජරට සේවය ‘රජරට කැකුළු’ වැඩසටහනෙන් ද පාසල් අවදියේම සංගීත ලෝකයට පියමැන්න ඇය ගායනයට මෙන්ම නර්තනයටද එක ලෙස පාසල් කාලයේ දස්කම් දැක්වූ ශිල්පිනියක් විය. දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වීම ඇයට ආශිර්වාදයක් බවයි සියලු දෙනා ඇයට පැවසුවේ. තම කලා හැකියාවන් උපතින්ම රැගෙන ආ ඇය කා අතරත් ජනප්‍රියත්වයට පත් විය. ඇතුගල් පුර මලියදේව ආදර්ශ විදුහලෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ දිල්හානි සුරංජිකා එදිරිසිංහ එවකට වයඹ ජනකලා කේන්ද්‍රයේ වයඹ තරංග සංගීත කණ්ඩායමේ ළාබාලම ශිල්පිනිය බවට ද පත්වීමට හැකියාව ලැබුණාය. ළාබාල කාලෙම ඇය විසින් ගීත හතරක් තැටි ගත කිරීමද විශේෂත්වයකි. ඒ ඇරඹි ගමනේ දිල්හානිගේ නවතම ගීතය ‘කෝල දෑස’ මේ දිනවල විද්‍යුත් මාධ්‍ය තුළ ජනප්‍රිය කාණ්ඩයේ ඉහළම තැනකට පත්වීමද ප්‍රසංග වේදිකාවේ වේග රිද්මයේ නැතුවම බැරි ගායිකාවක් බවට පත්වීමද විශේෂත්වයකි. ඇගේ නවතම ගීතය සහ කලා දිවිය ගැන සරසවිය සමඟ කළ කතාබහයි.

මේ දිනවල ඔබේ කලා කටයුතු කොහොමද ?

රටේ පවතින නොයෙකුත් වෙනස්කම් හා ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් සමඟ මගේ නවතම ගීතය ‘කෝල දැසින්’ ජනගත කිරීමට පසුගිය දිනවල හැකියාව ලැබුණා. මේ වන විට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය ජාලාවල පමණක් විතරක් නෙවෙයි විද්‍යුත් මාධ්‍ය ජාලාවලත් එක්ක ඒ තුළින් මගේ නිර්මාණ හැකියාවන් තව තවත් දියුණු කරගන්නට අවස්ථාව උදාවෙලා තියෙනවා. ඒ වගේම මේ දිනවල ප්‍රසංග වේදිකාවත් හොඳ මට්ටමක පවතිනවා. ඒක කලාකාරිනියක් හැටියට හොඳ ප්‍රවණතාවයක් ලෙස දකින්න පුළුවන් වාතාවරණයක් ඉටුවෙලා තියෙන්නේ. හිරවෙලා මිරිකලා ඉන්න මිනිස්සුන්ට පොඩි විනෝදාස්වාදජනක පැත්තට නැඹුරු වෙන්න අවස්ථාවක් උදාවෙලා.

සංගීත ක්ෂේත්‍රයට පිවිසීම සිදු වුණේ කොහොමද ?

මම පාසල් ගියේ කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයටයි. එවකට පාසලේ සංගීත ගුරුතුමා වූ අශෝක පුෂ්පකුමාර ගුරුතුමා මගේ හැකියාවන් හොඳීන් හඳුනාගත්තා. එතුමා මෑතක් දක්වාම කොළඹ රාජකීය විදුහලේ සංගීතාචාර්යවරයා සහ සගා නම් වූ සංගීත වැඩසටහනේ නිර්මාතෘ ලෙසත් කටයුතු කළා.එතුමා මාව වෙනුවෙන් ළමා ගීත හතරක් නිර්මාණය කර එම ගීත හතර ගුවන් විදුලියේ ගායනා කිරීමට අවස්ථාව ලබා දුන්නා. ඒ ගීතවලට හොඳ ප්‍රතිචාර එවකට ලැබුණා. ඒ කාලසිමාවදි ප්‍රසංග වේදිකාවේ ළාබාලතම ශිල්පිනිය ලෙස ජනප්‍රියත්වයට පත්වුණා. ඒ කාලේ කුඩා දරුවන් මගේ ගීතයක් ඇසෙනකම් ආසාවෙන් බලා හිටියේ.

 

ඔබ ගැයූ ගීත අතරට ඉහළම ප්‍රතිචාරයක් ලැබුණා නේද ?

ළමා පිටියදී ගැයූ ගීත එකල ජනප්‍රියත්වයට පත්වීම මා ලද භාග්‍යයකි. නිවාඩු කාලයේ දවසක, කළු කපුටා, සිත යට සැඟවුණු, මගේ කුරුලු පොඩි යාළුවනේ, සුළං රැල්ලේ, යුද්දෙට ගිය තාත්තා වැනි ගීත රැසක්ම මම එවකට ගායනා කළා. මේ සියලු ගීත ගුවන් විදුලියේ ඇසෙන ගීත බවට පත්වෙලා තිබුණේ.

 

විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්නට සංගීතය ඔබට රුකුලක් වුණා නේද ?

උසස් පෙලෙන් විෂය නිර්දේශයට අනුව මම තෝරාගන්නේ සංගීත විෂය මාලාවයි. ඒ සඳහා මම මහනුවර පුෂ්පදාන බාලිකාවට ඇතුළත් වෙනවා. උසස් පෙළ විෂය මාලාවට අනුව මට ලැබුණු ලකුණුත් එක්ක විශ්වවිද්‍යාලිය ප්‍රවේශය ලබාගන්නට අවස්ථාව හිමිවෙනවා. ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය පීඨයට යන්න අවස්ථාව උදාවුණා. ඒ කාලවකවානුවෙත් මම නොයෙක් සංගීත කණ්ඩායම් සමඟත් සජීවී ප්‍රසංග වලත්, මංගල උත්සවවලත්, තරු පන්තියේ හෝටල්වල බටහිර ගීත ගයන ගායිකාවක් බවට පත්වුණා.

 

දෙමාපියන් ඔබේ ගමන වෙනස් කරන්නට උත්සාහ කළාද ?

මගේ දෙමව්පියන් දෙදෙනා රජයේ සේවකයන්ය. මගේ අක්කලා දෙන්නත් රජයේ රැකියාවන් කරන ඒ ස්ථාවරයේ ඉන්නේ. මම විතරක් වෙනස්ම මාවතක ගියේ, මගේ කුඩා කාලෙ ඉඳන්ම තිබුණු සහජ දක්ෂතාවය නිසා ගීත ගායනයට ඒ ගැන විරුද්ධතාවයක් ඔවුන්ට තිබුණේ නැහැ. ඒ සියලු දෙනා මගේ හීනවලට යන්න මට උදව් කළා. මගේ මවගේ දැඩි ආශාවත් තිබුණේ සංගීත ගුරුවරියක් බවට මා පත්වෙනවා දකින්නටයි. නමුත් මට ඒ අවස්ථාව උදා කරන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඒත් අද මගේ මාවත දිහා බලලා ඇය සතුටු වෙනවා.

 

කෙටි කාලයක් ඔබ කලාවෙන් ඈත්ව සිටියා නේද ?

මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වෙලයි සිටියේ. මගේ කුඩා අවදියේ සිට තිබුණු බලාපොරොත්තුවක් තමයි මගේම කියලා ව්‍යාපාරයක් කරන එකයි. ඒ අරමුණ ඇතුව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් හදාරන්නට යුරෝපයට ගියා. පෙරළා මම ලංකාවට පැමිණෙන්නේ අවුරුදු හතරකට පසුවයි. ඉන්පසු මගේම ව්‍යාපාරයක් කරගෙන ගියා. මේ කාලවකවානුවේදී මගේ හිත මිත්‍රාදීන්ගේ ඉල්ලීම හා නෑදෑ හිතවතුන්ගේ දැඩි ඉල්ලීම මත නැවත මම කලා ක්ෂේත්‍රයට පිවිසෙනවා. ඒ ගමන නොනවත්වාම දැන් දිගටම යනවා. ව්‍යාපාර පැත්තත් කලා ක්ෂේත්‍රයත් සමබරව කරගෙන යාම මගේ අරමුණ වී තිබෙන්නේ.

ප්‍රසංග වේදිකාවට ඔබ නැතුවම බැරි ගායිකාවක් බවට පත්වෙලා නේද ?

මුලින්ම ප්‍රසංග වේදිකාවට විදෙස් ගතවීමෙන් පසු පැමිණෙන්නේ සනිධප සංගීත කණ්ඩායමත් සමඟයි. ඉන්පසු දිවයිනේ ජනප්‍රිය හා ජනප්‍රිය වෙමින් පවතින සංගීත කණ්ඩායම් රැසක් සමග වේග රිද්මයේ ගායිකාවක් ලෙස ප්‍රසංග වේදිකාව වර්ණවත් කරන්නට මට අවස්ථාව ලැබෙනවා. මේ ආගමනයත් සමඟ 2016 වසරේදී කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාරයේදී මගේ පළමු වන ඒක පුද්ගල ප්‍රසංගය දිල්හානි ලයිව් ඉන් කොන්සර්ට් පවත්වන්නට හැකියාව ලැබුණා.නැවත 2018 වසරේදී දිල්හානි ලයිව් ඉන් කොන්සර්ට් 2 පවත්වන්නට අවස්ථාව උදාවුණා. චන්දන ලියනාරච්චි සහ චාමික සිරිමාන්න සමඟ එක්ව මේ ප්‍රසංග දෙකම ඉතාම සාර්ථකව නිමා කරන්නට මට අවස්ථාව ලැබුණා. එය මම ලද භාග්‍යයක් කියලා මම හිතන්නේ. ජීවිතයේ වෙනත්ම මාවතකට යන්න ගිහිල්ලා නැවත මාර්ගයක් වෙනස් කරනවා කියන්නේ හරියට අතුරේ යනවා වගේ වැඩක්ය.

 

ඔබ කළ ප්‍රසංග දෙකෙන් පසු නැවත නව නිර්මාණ ගීත කිහිපයක් කළා නේද ?

මගේ තවත් එක් හීනයක් තමයි මගේම කියලා නිර්මාණ ගොන්නක් සමාජයට දායාද කිරීම. ඒ කළ නව නිර්මාණ අතරට ඉන්පසු තව එක වරක්, ලොව නිදි ගත් රැයක්, රන් මාල හතක්, නෙත් කොනෙන් හිනැහිලා, ආදරයේ ඕනෑ යනුවෙන් ගීත පහක් ජනගත කළා. පසුගිය මාසයේ තවත් නව නිර්මාණයක් කළා එම ගීතය මේ දිනවල ජනප්‍රියත්වයෙන් ඉහළ තැනක තියෙන්නේ පෙම්වතා හා කෝල දෑස ගීතයයි.

 

ජෝන් කීල්ස් සමාගමේ විධායක නිලධාරිනියක් ලෙස පත්වන්නේ කොහොමද ?

ජෝන් කිල්ස් සමාගමේ සංචාරක කර්මාන්තය පැත්තේ රැකියාවකට අවස්ථාව මට උදාවුණා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිය ලබා ගැනිම නිසා.පසුව මම ජෝන් කීල්ස් සමාගමේ විධායක නිලධාරිනියක් ලෙස මාලදිවයිනේ දොන් වැලි දූපතේ “දොන් වැලි රිසෝට්” රැකියාවක් ලැබුණා උදේ වරුවේ විධායක නිලධාරිනියගේ රාජකාරියත් සවස සංචාරකයින් සඳහා තනිවම සංගීතය සපයමින් ගීත ගායනා කළා. නැවත දෙමව්පියන්ගේ බල කිරීම මත ලංකාවට එන්න සිදුවුණා. ඒ ආපු ගමන තමයි අද මේ ඉන්නේ. එතනින් පැමිණ මම වාහන විකිණීමේ ව්‍යාපාරයකට මුල පිරුවා. එය මගේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සාර්ථක ගමනට මුල පිරුමක් ලෙස සිදුවුණා.

 

ඔබ වෘත්තීය සංගීත ශිල්පිනියක්ද නැද්ද ?

මේ කාල වකවානුවේ හැටියට ගෙවා දමන අපි කිසිවෙකුට කියන්න බෑ කලාව ජීවනෝපාය කරගෙන කටයුතු කරනවා කියලා. කලාව කියන්නේ විනෝදාශ්වාදයක් හැටියට රසවින්දනය කරන්නට අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මගේ වැඩි ඉඩකඩක් වෙන් වෙන්නේ ව්‍යාපාර පැත්තටයි. ඒත් ඉඩ ලැබෙන සෑම මොහොතකම කලාවේ නිරත වෙනවා. භාෂා කිහිපයකින්ම ගීත ගායනා කිරිමේ හැකියාව තිබෙන නිසා වේග රිද්මයේ ගායන ශිල්පිනියක් හැටියට ප්‍රසංග වේදිකාව මට ඉඩක් අද තිබෙනවා. එනිසා වසරේ පවත්වනු ලබන ප්‍රසංග වේදිකාවේදී මගේ හඬ අවදි කරන්නට අවස්ථාව ලැබෙන ප්‍රමාණය වැඩියි.

 

ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

මේ ගමනේදී මට ප්‍රවීණයන්ගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. ආධුනික කාලයේ සිට මේ දක්වා ආපු ගමනේදී මට ප්‍රායෝගික හා න්‍යායාත්මක ආභාසය ඔවුන්ගෙන් ලැබීම ආශිර්වාදයක් වුණා. ඒ නිසා මගේම කියලා නිර්මාණ ගොන්නක් එළිදක්වන්නටත් අවස්ථාව උදා වුණේ ඔවුන්ගේ ආශිර්වාදය මට ලැබුණ නිසයි. ප්‍රවීණයන්ට නිසි තැන ලබා දුන්නොත් අපිට ඒ ගෞරවය පෙරළා ලැබෙනවා. මගේ ඊළඟ ප්‍රයාත්නය තමයි පෙර අපරදිග ජන සංගීතය මුල් කරගනිමින් නව නිර්මාණ කීපයක් කිරීමයි.

 

තනිකඩ ජීවිතේ වෙනස් කරන්න කැමති නැද්ද ?

තනියෙන් උණත් වෙනසක් නෑ තමන්ගේ අරමුණ කරා යනවනම්. තමා වටා ඉන්න පිරිස ශක්තිමත් නම් තනියක් දැනෙන්නේ නෑ. ඒ ගැන වැඩිය හිතනවාට වැඩිය සමාජයට කළ යුතු මෙහෙවර ගැන හිතුවොත් ඇති කියලයි මම හැමදාම හිතන්නේ.

නව නිර්මාණ කීපයක් ඉදිරියේදී එළිදැක්වීම තමයි මගේ මීළඟ අරමුණ වෙන්නේ.

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT