නිවස විශේෂාංග වේදිකාවේ විකසිත වූ අනුරාධා

වේදිකාවේ විකසිත වූ අනුරාධා

by Thanushika
April 18, 2024 12:30 am 0 comment

සියලු කලාවන්ට අධිපතිනිය වූ ශ්‍රී සරස්වතී මෑණියන්ගේ ඇල්ම බැල්ම ලැබීමට නම් පෙර පිනක් තිබිය යුතුමය. එවන් පිනක් පිහිටක්, ආශිර්වාදයක් ලද මේ හුරු බුහුටි දියණිය ඇත්තෙන්ම වාසනාවන්තියකි. කුඩා කල සිටම රැඟුªමට, ගැයුමට, නැටුමට උපන් හපන්නියක් ලෙස ඇය කැපී පෙනුණාය. කෙමෙන් කෙමෙන් ඇගේ පාසලවිය එළඹෙන විට දෙමව්පියන් විසින් ඇයව කහතුඩුව කනිෂ්ට විද්‍යාලයට ඇතුළත් කළහ. එහිදී පැවැත්වූ විවිධ ප්‍රසංග වලදී ඇය අන් සිසුවියන්ට වඩා කැපී පෙනුණේ ඇගේ හුරුබුහුටි පෙනුම සහ දක්ෂතාවය නිසාය. කුඩා කල සිටම වේදිකාවේ දස්කම් පෑ ඇය රවිනි අනුරාධා පෙරේරායි. වේදිකාව සිනමාව ටෙලිනාට්‍ය කලාව යන අංශ තුනෙන්ම කැපී පෙනෙන දක්ෂතා දක්වන ඇය වඩාත් ඇලුම් කරන්නේ ආදරය කරන්නේ වේදිකාවටයි.

කහතුඩුව කනිෂ්ට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද අනුරාධා පහේ ශිෂ්‍යත්වය සමත් හපන්නියක ලෙස පිළියන්දල මැදි විදුහලට පිය නැගීමට වරම් ලැබුවාය. රංගනයට ඈ තුළ ඇති හැකියාව, ආශාව ඔපමට්ටම් වන්නේ මැදි විදුහල් මාතාවගේ තුරුලේදීය.

ඇය හමුවී ඇය සමඟ කතාබස් කර, ඇගේ කතාව ලිවීමට ආශාව ඇති වූ නිසාම කලින් දිනක තීරණය කළ පරිදි මම ඇය සේවය කරන පිළියන්දල මැදි විදුහල කරා පියමෙන්නෙමි.

අනුරාධා නම් මේ අපූරු රංගන ශිල්පිනිය ගුරුවරියක ලෙස සේවය කරන්නේ තමා ඉගෙන ගත් පාසලේම වීම විශේෂත්වයකි.

මා ඇය සොයා යන විට මට ඇසුණේ කුඩා දියණියකගේ මිහිරි කටහඬකි.

“රැජිනට ඇන්දා…. රජ කුමරිට ඇන්දා…. “

වසා තිබූ දොර හඬ නෑසෙන පරිද්දෙන් විවෘත කර ගනිමින් මම ශාලාවට ඇතුළු වුණෙමි.

කොතරම් නම් අපූරු රුවැත්තියක්ද හැඩ වැඩ දැමූ ඔසරියකින් සැරසී සිටි ඇය මා ඉහත කී පුංචි දැරිය සමගින් හරි හරියට රැගුමෙහි නිරත වී සිටියාය පුංචි දැරිය “රැජනට ඇන්දා” පද පේළිය ගයන විට එයට රංගනයේ යෙදෙන අනුරාධා ඇත්තටම දක්ෂ ගුරුවරියක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියකි. මම ඔවුනට බාධා නොකර මදක් පසෙකට වී බලා සිටියෙමි. රැගුම් අහවර වී පියකරු සිනහවක් සමඟින් ඇය මා ඉදිරියට පැමිණ මා හා කතාවට මුල පිරුවාය. ඇගේ රංගන ජීවිතය ආරම්භ වූ ආකාරය පියවරෙන් පියවර ඇය මා ඉදිරියේ දිග හැරියාය.

පුංචි කාලෙ ඉඳන් හරි ආසාවක් තිබුණා රඟපාන්න නටන්න ගයන්න සිංදු කියන්න පුංචි ඉස්කෝලෙ යනකොට පාසලේ විවිධ ප්‍රසංගවල මම නැටුවා ගැයුවා. ඒ එක්කම මම මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන ගියා. ඒ නිසා තමයි පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා මේ මැදි විදුහලට එන්න පුළුවන් වුණේ.

මම හත වසරේ ඉන්නකොට තමයි අපේ ඉස්කෝලෙ හිටපු නාට්‍ය හා රංඟ කලාව භාර ගුරුතුමාව මුණ ගැහෙන්නේ. ඒ ප්‍රවීණ නාට්‍යවේදී ප්‍රේම කුමාර කරුණාරත්න මහතා. මම සර් යටතේ නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. අපේ පාසලෙන් කරපු “මාලිමා” නාට්‍යයේ “රාදුගා” කියන චරිතය තමයි හා පුරා කියලා රඟපාන්න ලැබුණේ. ඒ 1995 වසරේ.

ඇය තම රංගන දිවියේ මූලාරම්භයේ සිට මෙතෙක් ආ ගමන පිළිබඳව ඉතා සවිස්තරාත්මකව පැවසීමට තරම් නිහතමානී වූවාය එහෙත් කෙතරම් මා සමග කතා කළත් ඇගේ අවධානය යොමු වී තිබුණේ ඇගේ ගෝල බාලයන් දෙසටය. සිසු සසු වියන් පනහකට ආසන්න පිරිසකට නාට්‍ය හා රංග කලා පාඨමාලාවක් පවත්වන දිනයක් වූ නිසාවෙන් ඇය තරමක් කාර්යබහුල වූවාය.

අනුරාධා පෙරේරා සැබෑ ජීවිතයේදී රංගන ශිල්පිනියක් බව සම්පූර්ණයෙන් අමතක කොට තමා ගුරුවරියක් බව සිත්හි දරාගෙන කටයුතු කරන තැනැත්තියක ඇය එතරම්ම නිරහංකාර සරල සාමාන්‍ය චරිතයකි.

තම ගෝල බාලයන් සමග සිටින ඇය කෙරෙහි මම මගේ අවධානය යොමු කළෙමි. ඇත්තෙන්ම දරුවන්ට ඇය දැනුම ලබා දෙන ආකාරය නම් පුදුම සහගතය. අනුරාධා උගන්වන ආකාරයත් එක්තරා කලාවකි. විටෙක කුඩා දියණියක බඳුය. විටෙක දරු දැරියන්ට තදින් අවවාද අනුශාසනා දෙන්නීය. තවත් විටෙක විනෝදකාමී චරිතයකට ආරූඪ වන්නීය. කෙතරම් නම් සුන්දරද ඇගේ ඉගැන්වීමේ රටාව.

ගෝල බාලයන්ට අභ්‍යාසයක් පවරා ඇය නැවතත් මා සමඟ කතාබහට හවුල් වූවාය.

ඔය විදිහට මම ප්‍රේම කුමාර සර්ගෙන් නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. සර් කරපු නාට්‍ය කීපයකම රඟපාන්නත් අවස්ථාව ලබා දුන්නා. ඒ තමයි කලින් සඳහන් කරපු මුතු ඇටයේ ගීතය.

මලිත් පීරිස් සහ කලන ගුණසේකරගේ දාස මල්ලිගේ බංගලාව “(2004)” ප්‍රියංකර රත්නායකගේ “ඊඩිපස්” (2004) චතුරානි තිලකරත්නගේ “සෙල්ලම් ගෙදර” (2003) ධර්ම ප්‍රිය ඩයස්ගේ “ගැහැනු වැඩ අරඹති.” (2006) ඉන්ද්‍රප්‍රිය උදිත කුමාරගේ කලියුගයට මිනිහෙක් (2007) චාමිකා හත්ලහවත්තගේ “හරි අපූරු දවසක්” (2008), ප්‍රභාත් වරුසමාන්න ගේ සූරිය මල් (2009), ධර්මප්‍රිය ඩයස්ගේ සාදය මාරයි සල්ලි හමාරයි. (2013), ඇය මෙතෙක් රංගනයෙන් දායක වූ වේදිකා නාට්‍ය පෙළගැස්මයි.

මේ දිනවල අති සාර්ථකව වේදිකාගත වන “මම නෙමෙයි වෙන කෙනෙක්.” නාට්‍යයේ අනුරාධාගේ රංගනය ගැන නොලියාම බැරිය. ඇය ඇයගේ උපරිම රංගන දක්ෂතා විහිදුවා ළමින් ප්‍රේක්ෂකයා තමාගේ රංගනය වෙත ඇඳ බැඳ තබා ගැනීමට සමත් වීම ඇත්තෙන්ම අපූරුය.

මම කෙටි නාට්‍ය කීපයකුත් රඟපාලා තියෙනවා. “පොපර් මාමා සහ පින්තූරය”, “අසම්මත ප්‍රේමය”, “රූපගේ ප්‍රේමය සහ ප්‍රේමග රූපය” “ආපසු” සහ “එල්.බී. ඩබ්ලිව්”

වේදිකාවට පමණක් සීමා නොවූ ඇය ටෙලි නාට්‍ය සහ චිත්‍රපටි කිහිපයකටද සිය දායකත්වය සපයා ඇත සන්තුස ලියනගේ “සිරකාරිය” සහ “දූලි පිංතාරු” චන්දික ජයසේනගේ “සිහින සින්ඩරෙල්ලා” සහ “පබළු පාලම” සහ ලක්මිණි අමරදේවගේ “දෙයියන්නේ රටේ” අනුරාධා පෙරේරා තම රංගන දක්ෂතා පෙන්නුම් කළ ටෙලි නාට්‍ය කිහිපයකි.

එමෙන්ම ඇය විසින් පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍ය කිහිපයක් ද ඇත’ “අපි හැමෝම ලස්සනයි.” ඕඥචභබර ඪඵ ච ඡඥචඵබ සහ “අවිනැති අත්” අනුරාධා විසින් සිංහල භාෂාවට පරිවර්තනය කොට අධ්‍යක්ෂණය කරන ලද වේදිකා නාට්‍යය වේ.

අනුරාධා සිනමාවට දායකවී ඇති බව විශේෂයෙන් කිව යුතුයි. ශ්‍රී ලංකාව ඉතාලිය සහ ජර්මනිය ඇතුළු රටවල් තුනෙහි එකමුතුවෙන් නිෂ්පාදනය කෙරුණු ඉතා ආකර්ෂණීය සහ කතාබහට ලක් වූ සිනමා පටයක් වූ “මචං” චිත්‍රපටයද ඇය දායක වී ඇත. ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන් වන මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ “උප්පලවණ්ණා” 2008 ප්‍රසන්න විතානගේ “ආකාස කුසුම්” 2009 සහ ඉන්දියානු සිනමාකරු අනුරාග කාශ්‍යපගේ “බොම්බේ වෙල්වට් 2017 අනුරාධා රංගන දායකත්වය ලබා දුන් සිනමා පට කිහිපයකි.

“ඇත්තටම මට චිත්‍රපටි බලන්න පොඩි කාලේ ඉඳන් ලොකු ආසාවක් තිබුණා. මගේ තාත්තා වෑතර වැලන්ටයින් සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටර් ඔපරේටර් කෙනෙක් විදිහට වැඩ කළා. ඉතිං අපේ තාත්තා රෑ නමයයි තිහ ෂෝ එක බලන්න මාවයි අක්කවයි එක්කගෙන යනවා. මට මතක විදිහට මම මුලින්ම බැලුවේ ගුරු ගෙදර ෆිල්ම් එක ඉතින් ඒක බලලා ගෙදර එන අතරේ තාත්තගෙන් මම ප්‍රශ්න වැලක් අහනවා මට ලොකු උනන්දුවක් තිබුණා නළු නිළියො රඟපාන හැටි දැනගන්න. තාත්තා එයාට පුළුවන් විදිහට මට ඒ ගැන කියා දුන්නා.

පුංචි කාලෙ ඉඳන්ම මට රඟපෑම ගැන දැනගන්න උනන්දුවක් තිබුණා.

ඇගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ද අසා දැන ගැනීමට මම අමතක නොකලෙමි. “මගේ මහත්තයා ආලෝකකරණ ශිල්පියෙක්.” රංග සමරකෝන්. මගේ ජීවිතයට ලොකු ශක්තියක් රුකුලක් ලබා දෙන්නේ රංග, පාසල් ප්‍රේමයේ ප්‍රතිඵලයක් විදිහට තමයි රංගයි මායි විවාහ වුණේ. අපි දෙන්නාට දුවලා දෙන්නෙක් ඉන්නවා.ඒ දෙන්නටත් කලා හැකියාවන් තියෙනවා. ඒත් ඒ දෙන්නගේ නිසි කාලය පැමිණියාම ඒ අය කැමති දේ තෝරාගනීවි. ඒ තෝරා ගැනීමට අපි උපරිම සහය දෙනවා.

අනුරාධා බිරිඳක්, මවක්, රංගන ශිල්පිනියක් යන තුන් භූමිකාවන්ටම එකසේ ඇලුම් කරන තැනැත්තියක් බව ඇගේ හැසිරීම් රටාවලින් පැහැදිලි පැහැදිලි වෙයි. මම මගේ ගුරු වෘත්තියට දැඩි ලෙස ආදරය කරනවා. ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තිය ගැන කියලා නිම කරන්න බැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ මම රංගනය පිළිබඳව අඩිතාලම දා ගත්තේ මේ මැදි විදුහලෙන්මයි.

අනුරාධ හා පෙරේරා සාමාන්‍ය රංගන ශිල්පිනියක් නොවේ. උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා එහිදී උසස් අධ්‍යාපනය ඉහළින් ප්‍රගුණ කළ උපාධිධාරී රංගන ශිල්පිනියක් බව කිව යුතුය.

ඇය මේ දිනවල ඉතා කාර්යබහුල රංගන ශිල්පිනියකි. අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වන ධර්මප්‍රිය ඩයස් ගේ “සාදය මාරයි සල්ලි හමාරයි” වේදිකා නාට්‍යයේ පුහුණුවීම් වලට ඇය නැවතත් සම්බන්ධ වී සිට එමෙන්ම ප්‍රියාල් වීරසිංහගේ “පුංචි අන්දරේ” ටෙලි නාට්‍ය රූගත කිරීම් වලටද ඇය සහභාගී වන්නීය.

රංගනය පිළිබඳව තමා සතු දැනුම දක්ෂතාවය නිසාම 2000 වසරේදී පැවැත්වූ සරසවි නාට්‍ය උළෙලේදී “අසම්මත ප්‍රේමය” වේදිකා නාට්‍ය වෙනුවෙන් හොඳම නිළිය සම්මානය ද 2004 දී “දාස මල්ලිගේ බංගලාව“ වේදිකා නාට්‍යය වෙනුවෙන් හොඳම සහය නිළිය සම්මානයද, 2008 දී “හරි අපූරු දවසක්” වේදිකා නාට්‍ය වෙනුවෙන් රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මානවලින් පිදුම් ලබා ඇත.

අවසාන වශයෙන් ඇය මා සමග කියා සිටියේ තමන්ගේ ගෝලයන්ට තමන් ඉගෙන ගත් දෑ තිළිණ කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද නාට්‍ය හා රංග කලාව පිළිබඳ පාඨමාලාව තව තවත් වැඩි දියුණු කිරීමට සහ දක්ෂතාවලින් පිරුණ ශිල්පීන් බිහි කිරීම ඇගේ අරමුණ බවයි.

මේ සියලු කතා අතරේ සවස් කාලය ළං වූයේ අප කාටත් හොර රහසේය. කතාබහ අවසන් කිරීමට කාලය එළැඹ ඇති නිසාත් තම වැඩමුළුව ද අවසන් කිරීමට කාලය පැමිණ ඇති නිසාත් ඇගෙන් සමු ගැනීමට මම තීරණය කළෙමි.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT