නිවස විශේෂාංග නෙත විසිතුරු තරු බැබළූ තාරකා යාත්‍රාව

නෙත විසිතුරු තරු බැබළූ තාරකා යාත්‍රාව

චන්දන දයාසිරිවර්ධන

by Thanushika
March 28, 2024 12:30 am 0 comment

සරසවිය සම්මාන උළෙල ආරම්භ වුයේ 1964 දීය. මෙම සම්මාන උලෙළ කොටස් දෙකකින් සමන්විත විය. මෙය මංගල සරසවිය සම්මාන උලෙළේ විශේෂත්වයක් විය. 1960 -1961 1962,1963, යන වසරවලදී ප්‍රදර්ශනය වූ සියලු සිංහල සිනමා සිත්තම් සම්මාන පිදීම සඳහා මෙම උලෙළට ඉදිරිපත් කර තිබිණි.

මෙම සම්මාන උලෙළේ පළමු අදියර තුළ පාඨක ඡන්දයෙන් තෝරා ගනු ලැබු හොඳම චිත්‍රපට පහක් සිනමා ශාලාවක නැවත ප්‍රදර්ශනය කරනු ලැබීය. එම ප්‍රදර්ශනයේදී විශේෂයක් ලෙසින් සවස 6යේ දර්ශන සඳහා ඒ ඒ චිත්‍රපට නිෂ්පාදනයට දායක වූ සියලු දෙනා මෙම අවස්ථාවට සහභාගි වූහ. චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට පෙර එහි නිෂ්පාදක අධ්‍යක්ෂ, නළු නිළියෝ, කැමරා ශිල්පීන් ඇතුළු සෙසු සියලු ශිල්පීන් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ වේදිකාවට ගෙන ගෞරවයට පාත්‍ර කිරීමක් සිදු කරනු ලැබීය. සිනමා ශාලාව ඉදිරියේ රසිකයෝ මහා පරිමාණයෙන් එක් රැස් වුයේ නළු නිළියන් දැක බලා ගැනීමටය. නැතහොත් තමන් ආදරය කරන ඔවුන් සමඟ වචනයක් හෝ කතා කිරීමටය. නැතහොත් අඩුම තරමින් සිනහවක් හෝ බෙදා ගැනීමටය.

ඉන්පසු උලෙළේ දෙවන අදියර ලෙසින් දවස ගාණේ පැවති පාඨක ඡන්දයෙන් තෝරාගත් චිත්‍රපට ප්‍රදර්ශනයක අවසානයේ සම්මාන ප්‍රදානය අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණි.

1964 පළමු සරසවිය සම්මාන උලෙළ පැවති මැයි 09 වැනිදා සිනමා ලෝලී රසික රසිකාවන්ට මෙන්ම එහි නියැළී කලා ශිල්පීන්ට මෙන්ම රසිකයන්ට ද ආනන්දනීය රාත්‍රියක් විය.

මෙම අසිරිමත් ප්‍රථම සරසවිය සම්මාන උ‍ෙලළට නළු නිළියන් රැගෙන ආවේ විශේෂයෙන් නිර්මාණය කරන ලද තාරකා යානයකිනි. එදින සවස 4.00ට පමණ ලේක්හවුස් මන්දිරය ඉදිරියෙන් පිටත් වූ තාරකා යාත්‍රව සුරූපී තාරකාවන් සමඟින් අශෝකා සිනමා ශාලාව කරා ගමන් ඇරඹිණි. තාරකා යාත්‍රාව මනහර ලෙසින් ගොක් කොළ වලින් හා සමන්පිච්ච වලින් සරසා තිබිණි.

ගමන් කරනා මග දෙපස විශාල රසික ජනතාවක් එක් රොක් වී සිටියේ තාරකා යානයේ ගමන් ගන්නා තමන්ගේ සිත්ගත් තාරකාවන් සියසින් දැකගන්නටය. අභිමානවත් ලේක්හවුස් මන්දිරය අවට මන්දිරයේ පියගැට පෙළ සිට මන්දිරයේ ජනෙල් කවුළු තුළත් රසිකයින් පොර කැවේ මේ අසිරිමත් කලා කටයුත්ත නැරඹීමටය. කොතරම් ජනගඟක් මේ සුවිශේෂ අවස්ථාවට පැමිණියේද කිවහොත්, තාරකා යානයේ ආරක්ෂාවට පොලිස් බළඇණි පවා ගෙන ඒමට සිදුවිය රසික ජනතාව හැසිරවීමට පොලිස් බළ මුළු පොලිස් අශ්වාරෝහක භට පිරිස් ද රැගෙන එනු ලැබූහ. පොලිස් අශ්වා රෝහක නිල දරුවන්ගේ ආරක්ෂාව මත නළු නිළියන් රැගත් තාරකා යාත්‍රාව දෙපැයක ගමනකින් පසු අශෝකා සිනමා ශාලාවට සැපැත්විය. මඟ දෙපස රැස් වූ සිනමා රසිකයන් ප්‍රීති ඝෝෂා හා ඔල්වරසන් මධ්‍යයේ තාරකා යාත්‍රාවේ ගමන් ගත් නළු නිළියන් පිළිගනු ලැබීය. මීට වසර හැටකට පෙරාතුව පැවති මුල්ම සරසවිය සම්මාන උලෙළේ විචිත්‍රත්වය ලේක්හවුස් කැමරා ශිල්පීන්ගේ තෙවන ඇසට හසු වූ අයුරු.

ඡායාරූප – ලේක්හවුස් මාධ්‍ය පුස්තකාලය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT