නිවස විශේෂාංග ගී ලොව සඳ කුමරුන්ගේ බැස යෑම

ගී ලොව සඳ කුමරුන්ගේ බැස යෑම

by Thanushika
April 11, 2024 12:30 am 0 comment

ඉකුත් දා (මාර්තු 26 වැනිදා) අප අතරින් සදහටම නික්ම ගිය ප්‍රවීණ ජනප්‍රියතම ගායනවේදි චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා පිළිබඳවයි මේ සටහන.

ජනප්‍රිය ගයනවේදි චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා මෙලොව උපත ලබන්නේ කඳනාරච්චි පවුලේ 09 වෙනියා ලෙසයි. ඔහුගේ වැඩිමල් සොහොයුරා වන්නේ ප්‍රවීණතම ජනප්‍රිය ගායනවේදි විශ්වවිද්‍යාල ඉංග්‍රීසි විෂය පිළිබඳ කථිකාචාර්ය ටිවුඩර් කඳනාරච්චි මහතාය. ඊළඟට වැඩිමල් සොහොයූරා ද ජනප්‍රිය ගායන ශිල්පී සංගීත අධ්‍යක්ෂවරයකු වන වික්ටර් කඳනාරච්චි මහතාය. මේ අයගේ මෙන්ම පවුලේ අනෙකුත් සියලු දෙනාගේම ආදරය චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතාට නොඅඩුව ලැබුණි. මිය යන මොහොත දක්වාම වැඩිමල් සොහොයුරන් ඇතුළු සියලු දෙනාට මෙන්ම බාල අයටද චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා බෙහෙවින් ආදරය කළේය. ටියුඩර් කඳනාරච්චි මහතාව දැන් අසනීපව සිටියදී චන්ද්‍ර කුමාර මහතා ඔහු බැලීමට ආ ගිය අතර එසේ පැමිණීමට නොහැකි වූ විට දුරකථන ඇමතුමක් හෝ ලබාදී තොරතුරු විමසන බව ටියුඩර් මහතාගේ දියණිය වන සාගරිකා කඳනාරච්චි මහත්මිය අපහට පැවසුවාය. එතරම් පවුලට ළැදී ඔහු මෙලොව හැරයාම දැරිය නොහැකි පාඩුවක් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අධ්‍යාපනය ලැබුවේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙනි. අධ්‍යාපනය හමාර වීමෙන් පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඔහු එක්වන්නේ ය. එහි සේවය කරන අතරතුරදී ශ්‍රී ලංකා ගුවන් සේවයට (Sri Lanka airline) එක්වීමට ද අවස්ථාව උදා විය. ඒ එහි පියාසර ඉංජිනේරුවරයෙකු ලෙස වසර 12ක සේවයක් සිදු කරමිනි. සිංගප්පූරුව, මාලදිවයින ආදී ලෝකයේ විවිධ රටවලට ඔහු ආ ගිය අතර එහි යෑමට ඒමට ගතවන පැය ගණනක කාල අතරතුරදී ඔහු අතින් සුමියුරු සංගීත හා ගී තනු ද නිර්මාණය විණි. ඒ සඳහා ගුවන් යානා වලින් නිකුත් වන විවිධ හඬවල් පවා ඒවකට තමා නිර්මාණවලට පාදක කරගත් බව ඔහු මාධ්‍යටද සදහන් කර තිබුණි. ඒ ගීත අදවන විට ඔහු අපේ රසවිඳීම උදෙසා නිර්මාණය කර ඉතිරිකර ගොස් ඇති ගීත තුන්සියට (300) අධික ප්‍රමාණයක සංගීත හා ගී තනු නිර්මාණය කර ඇත්තේ ද ඒ සාධක උපයෝගී කරගෙනයි. එලෙස සංගීත හා ගායන ශිල්පියකු ලෙස ලැබූ අසීමිත ජනප්‍රියත්වය නිසාම ඇති වූ කාර්ය බහුලතාවය සමඟ ඔහු ගුවන් සේවා රැකියාවට සමු දුන්නේය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය රටවල වෙසෙන සුවහසක් ශ්‍රාවකයින් මෙන්ම සංගීත ප්‍රසංග නරඹන ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට ඔහුගේ ගී හඬ තවම මතකය

දශක පහක් (05) හෙවත් වසර පනහක (50) කාලයක සිට ඔහු අපව පිනවුවේය. නමුත් කිසිදාක ඔහු අපව නැවත සජීවී ප්‍රසංග වේදිකාවෙන් නම් හමු නොවනු ඇත. මීට දින කීපයකට ඉහත එනම් 2024.03.26 වැනි දින අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලොව හැර ගියේය. මිය යන විට ඔහු 76 වන වියේහි පසුවූවාය.

එදා අපට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණක් බිහිව තිබූ ස්වර්ණමය යුගයක ඔහුගේ ගීත අපට එයින් අසන්න ලැබුණි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහනකට චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා ගායනයෙන් එක්වන්නේ වැඩිමල් සොහොයුරන් වන ජනප්‍රිය ගායන හා සංගීත අධ්‍යක්ෂකවරුන් වන ටියුඩර් කඳනාරච්චි සහ වික්ටර් කඳනාරච්චි යන මහතුන් දෙදෙනාගේ සරල ගී වැඩසටහන් වලට සහයෝගී දායකත්වය ලබා දෙමිනි. පසුව ඔහු ඔහුගේම ආරකට හුරු බටහිර අභාසය මුසු කර ගත් ඔහුගේම නව ගීත රැසක් සංගීත ලොවට දායාද කළේය. ඔහුගේ ගීතයක් නෑසූ කෙනෙක් නම් නැති තරම්ය. ගී නිර්මාණයක බහුල ලෙස වස්තු බීජය වන්නේ ගැහැනිය හා ආදරයයි. එය තේමාව කරගත් බොහෝ ගීත එදත් අදත් අපේ ගායන ශිල්පීයෝ ගැයූ අතර අදත් ගයති.

චන්ද්‍ර කුමාර කඳනාරච්චි නම් ගායනවේදියාද එම තේමාවෙන් ගීත රැසක්ම අපට තිළිණ කළේ ය. ඒ වෙනස්ම ආකාරයක සුවිශේෂී හැඩයක් අලංකාරයක් ඇති ඒ ගීත අප සිත් තුළ ජනිත කරමිනි. අද විවිධ මාධ්‍ය නාලිකා තුළින් එළියට එන්නට වෙර දරන ආධුනික ගායන ශිල්පීන් ශිල්පිනියන්ට හා රියැලිටි ගායන තරු වලට ඔහුගේ ඒ ගී හඬ මනාව අධ්‍යයනයක් කිරීම තුළින් උකහා ගත හැකි දේවල් බොහෝය.

කොටින්ම කිව්වොත් චන්ද්‍ර කුමාර කදනාරච්චි එවන් ගී තරු අතර සිටි ඉහළින්ම වැජඹුණ දීප්තිමත් ම ගායන තරුවකි. ආදරය තේමා කරගත් ඔහු ගැයු රසාලිප්ත සුමියුරු වූ ගීත කිහිපයක මුල්පද මාගේ මතකයට එයි. ඒ ගීත සියල්ලගේම පාහේ දේශීය නාද රටා හා බටහිර සංගීත සංයෝජනයට අනුව ගී තනුව හා සංගීත අධ්‍යක්ෂණයේ ද ආකර්ෂණීය ලෙසින් නිර්මාණය කර තිබීමද සුවිශේෂී වන්නේය. ආසන්න සැණින් එයට වශී වේ.

1.පෙම් බැන්ද සිත් බැන්ද නෙත් කැල්ම රන් සිහින සේයා..

2.ගංගා නදි තීරයේදි එදා ඇ හා ගෙවූ කාලයේ..

3.නෙළුම් විලේ කැලුම් පෙරා පායන දේව්දුනු ප්‍රභාතයේ

4.ඇගේ සිනහව තහනම් ගෙදරින් මට තහනම්

යන ආදිය ලෙස ඔහු ගැයූ එවන් ගී රැසක්ම යොවුන් ආදරයේ විරහ වේදනාව මනාව කියාපෑ ගීත වේ. ඒ අතරින් ඉහත ගීත මටද වඩාත් මතකයේ රැව් පිළි රැව් දුන්නේය. එදා මෙතරම් දියුණු තාක්ෂණයක් හා පහසුකම් අපට නොතිබූ යුගයක පෙම්වතුන් තම පෙම්වතියන්ට පණිවිඩ හුවමාරු කර ගන්නටත් තමන් ආදරය බව කියන්නටත් බහුල ලෙස භාවිතා කළේත් පෙම් හසුන්ය. එවන් පෙම් හසුනක චන්ද්‍ර කුමාර කඳනාරච්චි නම් මේ සුවිශේෂී ගායනවේදියාගේ ඒ එක ගීතයක් ඉන් කොටසක්වත් ඇතුළත් කිරීමක් එකල සිදු නොකළ අයෙක් නැති තරම්ය. එතරම්ම ඒ ගීත ඔවුන්ට සමීප විය.

තවද ඔහු ආදර ගීත මෙන්ම විවිධ තේමාවන්ටත් අදාළව ගීත ගයා ඇත. ඒවා අතර තම ගම පිළිබඳව මෙසේ ගැයුවේය. ගම මහනුවරයි මගේ ගම මහනුවරයි නිල් කඳු පවුරයි මහවැලි දිය නදියයි විරුවන් දිනූ මා ඉපදුණ ගමයි ගම මහනුවරයි. එසේම තවත් වරෙක දේශාභිමානී ගීතයක් ඔහු මෙසේ ගැයුවේය. “උපන් බිම වෙත මගෙන් සේවය ලැබේවා. දයාබර වූ සිතක් මා වෙත වරම් ඔබහට ලැබේවා” එවන් විවිධ මාදිලියේ ගීත රැසක්ම ඔහු ඔහුටම ආවේණික වූ සුවිශේෂී හඬ පෞරුෂයකින් හා හැඩයකින් යුක්තව ගී ගයා ඇත. සමකිරීමට පවා නොහැකි බැවිනි. ඒ ගීත රචනා කර ඇත්තේ නැසී ගිය ගීත රචක ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි නිවේදක කේ.ඩී.කේ ධර්මවර්ධන මහතා, නැසී ගිය ගීත රචක ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි නිවේදක ප්‍රේමකීර්ති ද අල්විස් , ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී ගී පද රචක සංගීත අධ්‍යක්‍ෂක වර්නන පෙරේරා, ජ්‍යෙෂ්ඨ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක ගුවන් විදුලියේ ළයාන්විත නිවේදක ධර්ම ශ්‍රී වික්‍රමසිංහය යන අය ගීත ලියා ඇත. ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා තමාගේ දැන් බිරිද එදා පෙම්වතිය ලෙස ආදරය කරන කාලයේ ඇය වෙනුවෙන් ලියූ ප්‍රථම ගීතය

“ඈත භවයේදී පැතුව වෙසේ ඇය මට හමුවූ මුල් දවසේ” නම් ගීතය ප්‍රථමයෙන්ම රචනා කර ගායනා කිරීමට ලබා දුන්නේ ද චන්ද කුමාර කඳනාච්චි මහතාය.

ගායන ශිල්පියකු ලෙසින් වෘත්තිය දිවිය පවත්වාගෙන යෑම අසීරු වූ යුගයක ඔහු තමාගේම නිෂ්පාදනයකින් ව්‍යාපාරිකයෙකු ලෙසද වඩාත් ජනප්‍රිය විය. ඒ ඔහුගේම සහෝදරයන්ගේ දායකත්වයෙන් ව්‍යාපාරයක් ආරම්භ කරමිනි. පෝලෝ නම් කමිස නිෂ්පාදන ආයතනය (polo Lanka Pvt limited) ස්ථාපිත කරමින් විශාල පිරිසකට රැකියා අවස්ථා ද උදාකරදෙමිනි. ඒවකට පෝලෝ කමිසය බොහෝ දෙනා අතර ජනප්‍රිය වු අතර අලෙවියද ඉහළ තැනක තිබුණේ ය. පෝලෝ කමිසය ගැන කියුවිට එය නොදන්නා කෙනෙකුද නැති තරම් ය. එතරම්ම පෝලෝ ව්‍යාපාර සන්නාමය පාරිභෝගිකයාට වඩාත් සමීප විය. ඒවකට මාධ්‍ය තුළින් මේ ව්‍යාපාරය පිළිබඳව ප්‍රචාරය වු දැන්වීමක් මා හට මේ අවස්ථාවේ දී සිහිපත් කළ හැකිය. පෝලෝ.. පෝලෝ.. පොලෝ.. අද දවසේ කමිසය පෝලෝ යනුවෙන් ඒ සඳහා හඬ මුසුව හා සංගීතය නිර්මාණය කර තිබුණේද චන්ද්‍ර කුමාර කඳනාරච්චි නම් ගායනවේදියා විසිනි. නමුත් අද ඔහු ඒ සියල්ල නිහඩ කරමින් අප අතරින් සදහටම සමුගෙන ගොස් හමාරය.

සදාදරණීය ජනතාවාදී ගයනවේදියණනි ඔබගේ ඒ සුවිශේෂී වු ගී හඬ පෞරුෂය මෙන්ම සුමියුරුව නිර්මාණය වුණු සංගීත හා ගී තනු තවත් චිරාත් කාලයක් එලෙසම අප හදවත් තුළ පවතිනු ඇත. මන්දයත් ඔබේ ඒ නිර්මාණ සියල්ලම පාහේ අමරණීය ඒවා වන බැවිනි. නැවතත් මේ අයුරින් සුමියුරු සංගීතයෙන් හා ගායනයෙන් අපව පිනවන්නට ඔබ අප අතරෙම ඉපදේවා යන්න අප සැමගේ පැතුමයි.

ප්‍රවීණ ජනප්‍රියතම සංගීතවේදි ගී පදරචක ගායන ශිල්පි රූකාන්ත ගුණතිලක අතින් නිම වුණු ගීතයක කොටසකින් මෙලෙස ඔබ පිළිබඳව තැබූ සටහන මම අවසන් කරමි.

“ඉරහඳ තරු යට මේ මිහි මඬලේ ඔබ හා අප මේ යන ගමනේ කොහෙදෝ කෙළවර කිසිවෙකු නෑ දන්නේ මිනිසා කොතනද මේ කොයිදෝ යන්නේ”

චන්ද්‍ර කුමාර කඳනාරච්චි නම් සොදුරු ගයනවේදියාණෙනි (ඔහුගේ සමීපතමයින් ඔහු අමතන ආකාරයට ආදරණීය කදනාරච්චි අයියා) ඔබට අපි සැම නිවන් සුව පතමු!!

[email protected]

හේමන්ත බණ්ඩාර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT