නිවස කළා පුවත් ‘ඉස්සර දවසක්’ අපි තිදෙනාගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි

‘ඉස්සර දවසක්’ අපි තිදෙනාගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි

by Mahesh
April 4, 2024 12:30 am 0 comment

මෙරට විශිෂ්ටතම ගායනවේදීන් තිදෙනකුගේ පුතුන් තිදෙනකු වන මිත්‍ර කපුගේ, විහඟ විජේසේකර, සංඛ එදිරිසිංහ යන තරුණයන් තිදෙනාගේ ගායනයෙන් විචිත්‍රවත් වෙමින් ගීත රසිකයාට, ප්‍රේක්ෂකයාට වෙනස්ම වූ ගීතමය රසයක් ලබාදෙන “ඉස්සර දවසක්” සන්ධ්‍යාව පිළිබඳ එකී තරුණ ගායනවේදීහු තිදෙනා සිය අදහස් දැක්වීමට සරසවිය හා මෙසේ සම්මුඛ වූහ.

“ඉස්සර දවසක්” යනු 70, 80, 90 දශකයන්හි සිසාරා යන ප්‍රේමනීය ගීත ඇසෙන ආදරබර සන්ධ්‍යාවකි. එකී ප්‍රේමනීය ගීත ගයනුයේ තරුණයන් තිදෙනකු වන අතර එහි විශේෂත්වය නම් මෙරට විශිෂ්ට ගණයේ ගායක පියවරුන් තිදෙනකුගේ පුතුන් තිදෙනකු එසේ “ඉස්සර දවසක්” සන්ධ්‍යාව ආලෝකවත් කිරීමයි. ලබන 06 වැනිදා කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී “ඉස්සර දවසක්” ප්‍රසංගය හැඩකරනුයේ විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ පුත් මිත්‍ර කපුගේත් ලක්ෂ්මන් විජේසේකරයන්ගේ පුත් විහඟ විජේසේකරත් සුනිල් එදිරිසිංහයන්ගේ පුත් සංඛ එදිරිසිංහත්ය.

“ඉස්සර දවසක්” මෙරට ගීතමය රසය සොයන රසිකයාට, ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් වනු නිසැකය. ලාංකේය සංගීත ප්‍රසංග කලාව තුළ නව අත්හදාබැලීමක් රසිකයාට දායාද කරමින් සිදුකෙරෙන්නා වූ මෙකී ප්‍රසංගයට මිත්‍ර, විහඟ, සංඛ තිදෙනාගේ සුසංයෝගය ඇතිවූ අයුරු ගැන විශාරද ගුණදාස කපුගේ ශූරීන්ගේ පුත් මිත්‍ර කපුගේ දැක්වූයේ මෙවැනි අදහසකි.

” ඇත්තෙන්ම අපි තිදෙනාගේ පියවරුන් මෙරට 1970, 80, 90 දශකවල ගුවන්විදුලි සම්ප්‍රදාය තුළ නන් අයුරින් තමන්ගේ අනන්‍යතාවන් එළිදැක්වූ ගායකයන්, ඔවුන් විසින් කරන ලද නිර්මාණවල එකතුවක් විදිහටයි මේ ප්‍රසංගයේ ඉදිරිපත් කරන්නේ. එම අනන්‍යතාවන් එළිදැක්වීම තමයි මේ “ඉස්සර දවසක්” හි මූලික අරමුණ. එකී කාරණය තමයි මෙහිදී රසික ප්‍රජාවට මූලික වශයෙන් බලපෑමක් කරන්නේ.

මිත්‍ර කපුගේගේ භූමිකාව මෙකී ප්‍රසංගය තුළ කවර ස්ථානයක තිබෙන්නේ දැයි යන්න පිළිබඳ ඔහු සිය අදහස් දැක්වූයේ මෙසේයි. “අපි තිදෙනාම මෙහිදී තීරණය කළා අපේ පියවරුන්ගේ ප්‍රේමගීත එකතුවක් ලෙස මෙම ප්‍රසංගය ඉදිරිපත් කිරීමට. ඒකත් මෙහි මූලිකම කාර්යයන් වෙනවා. මගේ පියා 1970, 80, 90 දශකවල දායාද කළ ගීත දැන් ගුවන්විදුලියෙන් ඇසෙන්නෙම නැති තරම්. ඉතින් එම ගීත අද සිටින රසිකයාටත් එදා ඒ ගීතවලට ප්‍රිය කළ රසිකයාටත් ඒ අයුරින්ම ළයාන්විතව දායාද කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.

“ඉස්සර දවසක්” හි අදහස ඇත්තෙන්ම කාගේද….? එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී කොතෙක් දුරට සාර්ථක වූවාද…..?

මේ ප්‍රසංගය විහඟගේ මූලිකත්වයෙන් ඔහුගේ අදහසක් අනුව ක්‍රියාත්මක කරන්නට යෙදුණු ප්‍රසංගයක්. මෙහි මූලික පරමාර්ථය එකල මගේ පියාගේත්, ලක්ෂ්මන් විජේසේකරයන්ගේත් සුනිල් එදිරිසිංහයන්ගේත් ප්‍රේමනීය ගීත එකතුවක් මේ ප්‍රසංගය තුළින් ඉදිරිපත් කිරීමයි. මෙහිදී එකී ප්‍රේම ගීත නව ආරකින් ඉදිරිපත් කිරීමම නෙවෙයි සිදුවෙන්නේ. ඒ ගීතවල මූලික ලක්ෂණ එලෙසම තබාගෙන අද තිබෙන තාක්ෂණයත් උපයෝගි කරගනිමින් ඉතාමත් ප්‍රාසාංගික ලෙස මෙය ඉදිරිපත් කිරීම මෙහි අරමුණක්.

මෙහි ගීත තෝරාගැනීමේදී ඔබේ දායකත්වයේ වපසරිය කවරාකාර ද …..? මෙහිදී මගේ පියාගේ ගීත ගොන්නක් මම ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව මා විසින් සංගීතවත් කර ගායනා කරන ලද නව ගීතයකුත් මේ ප්‍රසංගයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එය මා පමණක් නෙවෙයි සංඛ එදිරිසිංහ හා විහඟ විජේසේකරත් ඒ ලෙසම ඉදිරිපත් කරනවා. මෙහි සංගීත සංයෝජනය භාරදී තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ වාදක ශිල්පියකු වන ගිටාර් වාදක මහින්ද බණ්ඩාරටයි. ඔහුගේ සංගීත අධ්‍යක්ෂණය මෙහිදී වැදගත් වෙනවා. අපි ඔහුට කිව්වේත් සෑම ගීතයකම මූලික ලක්ෂණ එලෙසම තබාගනිමින් නව සංගීත සංයෝජනයක් කරමින් මෙය ඉදිරිපත් කළ යුතුයි කියා.

ගායකයකු , සංගීතවේදියකු ලෙස මෙකී ප්‍රසංගය සඳහා ඔබේ දායකත්වය ඇත්තේ කවර ස්ථානයක ද….?

ප්‍රචාරණ කටයුතු තුළින් ජනතාව අතරට කොතෙක්දුරට “ඉස්සර දවසක්” ජනගතවේවිද කියා මට කියන්න අමාරුයි. ප්‍රසංගය නැරඹීමට එන අයට ඉතාමත් රසවත් සන්ධ්‍යාවක් ගතකළ හැකි පරිදි අපි මෙය සංවිධානය කර තිබෙනවා. අපේ ගායන හැකියාව ද ඒ ලෙසම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

වෙනත් ප්‍රසංග හා සාපේක්ෂව සැසැඳීමේදී “ඉස්සර දවසක්” වෙනස්වෙන්නේ කවර සාධක මත පදනම්ව ද…..?

මෙම ගීත සියල්ලම ගුවන්විදුලිය තුළින් ප්‍රචාරණය වුණු ඒවා. අද වෙද්දී තිබෙන්නේ රූප රචනා තුළින් ගීත ඉදිරිපත් කරන ක්‍රමවේදයක්. අපේ පියවරුන් තිදෙනාගේම ගීත, රසිකයා වැලඳගන්නේත් ගුවන්විදුලියෙන්. ඔවුන් ගුවන්විදුලි ගායකයන් ලෙසයි හඳුන්වන්නේත්. ඔවුන්ගේ කටහඬට තිබෙන ප්‍රේක්ෂක ආදරයත් එක්කයි මේවා ජනගතවෙලා තිබෙන්නේ. එයයි අපේ මේ ප්‍රසංගයේ සුවිශේෂීම ගුණාත්මකභාවය. ඒ ගීතවල එකල රූපරචනා තිබුණේ නැහැ. අද වෙද්දීත් නැහැ. ඒ නිසා හොඳ ප්‍රාසාංගික බවක් ඇතිවෙන ලෙස නව තාක්ෂණය ද උපයෝගි කරගනිමින් මේ ගීත හොඳීන් ඉදිරිපත් කිරීම අපේ බලාපොරොත්තුවක්

මෙහි සංගීත නිර්මාණයට ඔබ තිදෙනාගේ දායකත්වයක් තිබේද….?

මා ඉහත කී පරිදි මෙහි සංගීත සංයෝජනය මහින්ද බණ්ඩාරයගෙන්. පියවරුන්ගේ ගීත මෙන්ම ඔවුන්ගේ පුතුන් තිදෙනා වන අප තිදෙනාගේ ගීතද සමාජගත කිරීමත් මෙහි අරමුණක්.

“ඉස්සර දවසක්” ප්‍රේක්ෂක රසවින්දනයට සිදුකරන බලපෑම ඔබ නිර්වචනය කරන්නේ කවර ලෙසින් ද……?

මෙහි ගීත සියල්ලම 1970, 80, 90 දශකයේ ගුවන්විදුලි ගායකයන් ලෙස අපේ පියවරුන් නිර්මාණය කර ඉදිරිපත් කළ ගීතයි.මේවා සුවහසක් රසික ජනයා වැලඳගත්තා. එම ගී අදටත් ජනතාව ඉල්ලනවා. ඒ තුළින්ම ප්‍රේක්ෂකයාගේ රසවින්දනය කොයිවගේද කියා පෙනෙනවා. මෙකී ගීත ඉදිරියට ගෙනයෑම අපේ යුතුකමක්. 70, 80,90 දශකයේ රසිකයා අදටත් ජිවමානව සිටිනවා. ඒ ගීත ඔවුන් අදටත් ඉල්ලනවා. නවක පරම්පරාවෙත් ලොකු පිරිසක් මේ ගීත වැලඳගෙන තිබෙනවා .ඔවුන්ටත් සාධාරණයක් ඉටුකිරීමක් මේ ප්‍රසංගය තුළින් සිදුවෙනවා . අද මාධ්‍ය තුළින් මෙකී ගීත ප්‍රචාරණය වෙනවා අඩුයිනේ.

වත්මන් තරුණ පරපුර “ඉස්සර දවසක්” කොතෙක්දුරට ග්‍රහණය කරගනීවි කියා ඔබ සිතන්නේද…..?

වත්මන් පරපුර ඉතා හොඳීන් මේ ගීත වැලඳගනියි කියා මා විශ්වාස කරනවා . අපේ පියවරුන් ඉදිරිපත් කළ ගීත නව ආරකින් ඒවාට නව තාක්ෂණය ද යොදාගනිමින් හොඳ පූර්ව කථනයක් ඉදිරිපත් කරමින් ඔවුන්ව දැනුම්වත් කරමින් මේ ගීත තවදුරටත් වඩාත් හොඳීන් ජනතාව අතරට ගෙනයාමට අපි උත්සහ කරනවා . මෙය වත්මන් රසිකයන් වැලඳගනීවි කියා සිතනවා

“ඉස්සර දවසක්” ලංකාවෙන් පිටතට ගෙනගොස් ප්‍රදර්ශනය කිරීමේ වෑයමක් ඇතැයි මා සිතනවා…….?

ඔව්, මේ ප්‍රසංගයේ මූලික කටයුතු සම්පාදනයේදීම විහඟ සහ අප අතර තිබූ අදහසක් තමයි මෙය ලංකාව පුරා මෙන්ම පිටරටවල ද ඉන්න ලාංකේය ජනතාවට ගෙන යායුතුයි කියන දේ. එහි මුල් පියවර තමයි “ඉස්සර දවසක්” පළමුවැනි ප්‍රසංගය වන මෙය….     

ඔබලා තිදෙනාගේම පියවරුන් ප්‍රවීණ ගායනවේදීන් , සංගීතඥයන්. ඔවුන් පිළිබඳවත් යම් සිහිපත් කිරීමක් කළොත් …..?

අපේ පියවරුන්ගේ ඉතිහාසය ගත්තොත් ඔවුන් සංගීත ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර 50කටත් වැඩියි..ඔවුන්ගෙන් ලක්ෂ්මන් විජේසේකරයන් සහ මගේ පියා වන ගුණදාස කපුගේ ශූරීන් අද ජීවතුන් අතර නැහැ .මගේ පියා මියගිහින් පසුගිය 03 වැනිදාට වසර 21ක් වෙනවා. ලක්ෂ්මන් අන්කල් මියගිහින් වසර 02ක් සම්පූර්ණයි. සුනිල් අන්කලුත් අද සංගීත ක්ෂේත්‍රයේ සිටින ජ්‍යෙෂ්ඨතම සංගීතවේදියෙක්, ගායන ශිල්පියෙක්.එවැනි වකවානුවක මෙවැනි ප්‍රසංගයක් තුළින් ඔවුන්ගේ ගීත නැවත සමාජගත කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් ලෙසත් නවක පරපුරට හොඳ පූර්වාදර්ශයක් ලෙසත් මම දකිනවා.

ඔබේ සංගීත දිවියට පියාගේ ආභාසය ලද අයුරු පැහැදිලි කරනවා නම්…….?

ඔව්, මම විතරක් නෙවෙයි පියාගේ ආභාසය සංඛටත් විහඟටත් වගේම කලා ලොවේ සිටින බොහෝ කලාකරුවන්ගේ දරුවන්ටත් ඇතැයි මම සිතනවා. මවුපියන්ගේ කලා දිවිය දරුවන්ට මනා පූර්වාදර්ශයක් කියා මම සිතනවා. එම ආභාසය ලැබීම අපේ ජීවිතවලට සුබවාදී ලෙස බලපෑම් කරනවා . කුඩා කල සිටම අපි වින්ඳේ, අපට අහන්න ලැබුණේ මවුපියවරුන්ගේ කලාකාමී ජීවිතයයි. මෙය අපේ ජීවිත හොඳ පැත්තට යොමුකරලීමක් කියා සිතනවා

“ඉස්සර දවසක්” ඔබ තිදෙනාගේ කලා දිවියේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවිද…..?

මේ ප්‍රසංගය අපේ කලා දිවියේ එක්තරා කඩඉමක් විතරයි. මෙය අපේ කලා දිවියේ සාර්ථක හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න පුළුවන්. මෙයින් ලබන අත්දැකීම තුළින් අලුත් මඟක යෑමට, නැවුම් දේ ගැන සිතන්නට, නැවුම් බලාපොරොත්තු ඇතිකරගන්නට හැකිවේවි..මෙයින් අප ලබන අත්දැකීම් හා ප්‍රේක්ෂක ප්‍රතිචාර අපේ කලා දිවියේ ඉදිරි ගමනට ආශීර්වාදයක් වේවි

ඔබේ පවුලේ විස්තර ගැන කීවොත්……?

මගේ පියා සංගීත විශාරද ගුණදාස කපුගේ . මව නර්තන ශිල්පිනියක්. ඇය රාජ්‍ය නර්තන කණ්ඩායමේ පළමුවැනිම කණ්ඩායමේ නර්තන ශිල්පිනියක්. පණීභාරතයන් මවගේ නර්තන ගුරුවරයා. මට නංගිලා දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් විදෙස්ගතවෙලා ඉන්නේ. පොඩි නංගි ඇගේ රූපලාවණ්‍ය උපාධිය තෙක් ඉගෙනගත්තේ එංගලන්තයේ. ඇය ඉතාලි ජාතිකයකු සමඟ විවාහවී සිටිනවා..ඇය දැන් ඉතාලියේ පදිංචි වෙලා ඉන්නේ. ලොකු නංගී උසස්පෙළ විශාඛා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කැලණිය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබුවා. ඇය භාෂා පිළිබඳ බාහිර කථිකාචාර්යවරියක් ලෙස සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සේවය කළා. විවාහයෙන් පසු ඇය නවසිලන්තයේ පදිංචි වුණා. මම පාසල් කිහිපයකටම ගියා. මගේ පියා වසර 13ක් අනුරාධපුර රජරට සේවයේ ප්‍රධානියා වශයෙන් සේවය කළා. ඒ කාලයේ මම අනුරාධපුරය මධ්‍ය මහා විද්‍යාලයට ගියේ. මම මුලින්ම ගියේ ශාන්ත ජෝසප් විදුහලට.

සංගීතවේදී සුනිල් එදිරිසිංහයන්ගේ පුත් සංඛ එදිරිසිංහ “ඉස්සර දවසක්” පිළිබඳ එංගලන්තයේ සිට සිය අදහස් දැක්වූයේ මෙලෙසිනි.

“ඉස්සර දවසක්” කියා ඔබලා තිදෙනාගේ ප්‍රසංගයට නම යොදන්න හේතුව කුමක්ද……? “ඉස්සර දවසක්” කියලා මෙයට නම යොදන්න හේතුව ගුණදාස කපුගේ කපුගේ , ලක්ෂ්මන් විජේසේකර , සුනිල් එදිරිසිංහ යන ප්‍රවීණ ගායනවේදීන්ගේ ඉස්සර දවසක නැතහොත් අතීතයක ගෑවුණු ගීත එකතුවක් නිසයි. වැඩියෙන්ම නොඇසෙන ගීත තමයි මෙයට යොදාගන්නේ. අපි මෙයින් උත්සහ කරන්නේ ඒ මතක අතීතයට අද සිටින වත්මන් රසික ජනතාව රැගෙනයෑමටයි.

මෙහිදී ඔබ , මිත්‍ර කපුගේ , විහඟ විජේසේකර යන ත්‍රිත්වයේ එකතුවක් සිදුවන්නේ කෙසේද…..?

ඇත්තෙන්ම විහඟ මගේ හොඳ මිත්‍රයා. කුඩා කාලයේ සිටම මම ඔහුව දන්නවා. මම එයාට කිව්වා මගේ පියාගේ “සඳකඩ පහණ” ප්‍රසංගය වෙනුවෙන් මම ලංකාවට එනවා, ඔයයි මමයි එකතුවෙලා ප්‍රසංගයක් කරමු කියලා. පසුව අපි තීරණය කළ මෙයට මිත්‍රවත් එකතු කරගනිමු කියලා.

“ඉස්සර දවසක්” සඳහා ගීත තෝරාගන්නේ කුමන පදනමකින්ද…..?

මෙයට යොදාගත්තේ ප්‍රේමයට සම්බන්ධ ගීතයි.

ඔබේ ගායන දිවියේ ආරම්භක අවධියේ මතකයට යනවානම්……?

මම කුඩා කාලයේ සිටම ගීත ගායනා කරනවා . එහෙත් ප්‍රසිද්ධියට පත්වුණේ 2019දී “සුනිල විල” නමැති මගේ පියාගේ ප්‍රසංගයෙන් පසුවයි

ඔබ වෘත්තියමය වශයෙන් ගායනයේ යෙදෙන්නේද……?

නැහැ. මම වෘත්තියෙන් බෙහෙත් ගබඩා පරිපාලන අංශයේ රැකියාවක නිරතවෙනවා.

“ඉස්සර දවසක්” වෙනත් ප්‍රසංග හා සංසන්දනය කළොත් ……?

මෙහි විශේෂත්වය මට හිතෙන විදිහට සිංහල ස්වාභාවික ගීතයේ දැවැන්තයන් තුන්දෙනෙක්ගේම (ගුණදාස කපුගේ / ලක්ෂ්මන් විජේසේකර /සුනිල් එදිරිසිංහ) පුතුන් තිදෙනෙක් විසින් තම පියවරුන්ගේ ගීත ගයමින් මෙකී ප්‍රසංගය ඉදිරිපත් කිරීමයි.

මෙහි විදෙස් ප්‍රසංගයක් පවත්වන්නත් අදහසක් ඇති…..?

ඇත්තෙන්ම ලංකාවට කලින් ඕස්ට්‍රේලියාවේ තමයි “ඉස්සර දවසක්” පළමු ප්‍රසංගය ඉදිරිපත් කිරීමට සූදානම් වුණේ. එහෙත් පසුව තීරණය කළා අපි ලංකාවේ එක් ප්‍රසංගයක් පවත්වා බලන්න. හොඳ ප්‍රතිචාර ලැබුණොත් වෙනත් රටවලටත් රැගෙන යන්න තීරණය කළා.

ඔබේ ගායන දිවියේ ගුරුතත්හිලා සලකන පිරිසක් වේද…..?

අමරදේවයන්, ලක්ෂ්මන් විජේසේකර, රෝහණ වීරසිංහ, ආනන්ද වීරසිරි සහ මගේ පියාණන්. මේ සියලුදෙනා ගෙන් කුමන හෝ ගුරුහරුකම් ලබාගන්නා කුඩාකල සිටම මම නැති වුණා….

ඔබේ ගායන ශෛලිය සහ ගායන අනන්‍යතාව අනෙක් දෙදෙනාගේ අනන්‍යතාව සමඟ කෙසේනම් වෙනස් වන්නේ ද…..?

ඇත්තටම මම හිතන්නේ විහඟටයි මිත්‍රටයි වගේම මටත් තිබෙන්නේ සිය පියවරුන්ගේ ආභාසය. අපි තුන්දෙනාටම ආවේණික වූ ආභාසයක් තියෙන හින්දා ඒක වෙනසක් කියා මා සිතනවා

“ඉස්සර දවසක්” කාගේ අදහසක් ක්‍රියාත්මක වීමක්ද…..?

මම දන්නා විදිහට මෙය විහඟගේ අදහසක්.

ඔබේ පවුල් දිවිය පිළිබඳ සඳහන් කළොත් ….?

මම ජීවත්වෙන්නේ එංගලන්තයේ “මිල්ටන් කීන්ස්” නගරයේ. මගේ බිරිය සුමුදු එදිරිසිංහ. මට නිවුන් දියණියන් දෙදෙනෙක් ඉන්නවා. ඔවුන් රිදී එදිරිසිංහ සහ රුවා එදිරිසිංහ

ඔබලා ත්‍රිත්වයේ එකතුවෙන් සිදුකෙරෙන “ඉස්සර දවසක්” හි ඉදිරි වැඩපිළිවෙළ ගැන සඳහන් කළොත් ….?

ඇත්තෙන්ම මිත්‍ර කපුගේව මට මුල් වතාවට හමුවෙන්නේ මේ ප්‍රසංගයෙන්. මේ හමුවීමත් එක්ක ඉදිරියට කුමන ආකාරයෙන් පරිණාමයක් වේවිද කියා හිතන්න අමාරුයි

සංගීතවේදී , ගායනවේදී ලක්ෂ්මන් විජේසේකරයන්ගේ පුත් විහඟ විජේසේකර “ඉස්සර දවසක්” පිළිබඳ සිය අදහස් මෙසේ දැක්වීය.

“ඉස්සර දවසක්” ප්‍රසංගය කාගේ සිතුවිල්ලක් ක්‍රියාත්මක වීමක්ද කීවොත් ….?

මෙය ඇත්තෙන්ම මිතුරන් අතරේ ඇතිවුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් කිව්වොත් නිවැරදියි. අපේ පියවරුන්ගේ ගීත දැන් පරම්පරාවේ අයට ඇසෙනවා අඩුයි..ඒ නිසා මෙම ගීත නැවත වතාවක් අලුත් මියුසික් ඇරේන්ජ්මන්ට් එක්ක ඇසෙන්නට සැලැස්වීමක් මෙහි සිදුවෙන්නේ. නව සංගීත සංයෝජනයක් එක්ක මෙය නව පරපුරටත් ඇසෙන්නට සැලැස්වීමක් මෙයින් සිදුවෙන්නේ

“ඉස්සර දවසක් ” හැඩකරන්න සහභාගී වන අනෙක් පිරිස ගැනත් සිහිපත් කරනවානම් ……?

මමයි මිත්‍රයි සංඛයි තිදෙනා මෙහි පියවරුන්ගේ ගීත ගායනා කරනවා. මෙයට සංගීතය සැපයීම මහින්ද බණ්ඩාර ප්‍රමුඛ වාද්‍ය වෘන්දය. අපේ ගීත සඳහා යුග ගායනයෙන් එකතුවෙනවා සමනලී ෆොන්සේකා, නෙරංජලා මංජරී, කවීෂා සූරියආරච්චි, පුන්මිලා චතුලක්ෂ. ඒවගේම “ඉස්සර දවසක්” පිටපත ලියන්නේ දිලීප අබේසේකර. වේදිකා කථනය බිමල් ජයකොඩි සහ බිම්සරා ප්‍රේමරත්න දෙදෙනා විසින් සිදුකරනු ලබනවා. මෙයට “ඉස්සර දවසක්” නම යෙදුවේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුපුන් රත්නායකයි. මෙය සංවිධානය කරනු ලබන්නේ ගීත රත්නායක ප්‍රමුඛ කස්තිරම් ප්‍රඩක්ෂන් ආයතනයයි.

මෙහි ගීත තෝරාගැනීම ගැන යමක් සඳහන් කළොත් …..?

අපේ පියවරුන් තිදෙනාගේ 1970,80, 90 දශකවල ගුවන්විදුලියේ ප්‍රචාරය කළ ගීතයි අපි ගායනා කරන්නේ. ඒවගේම මගෙයි මිත්‍රගෙයි සංඛගෙයි ගීත 03ක් ද මෙහිදී ගායනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඔක්කොම ගීත 24ක් හෝ 25ක් “ඉස්සර දවසක්” හි අතීතයේ සුන්දරත්වය සොයන රසිකයන් වෙනුවෙන් ගායනයට අපේ සූදානමක් තිබෙනවා. පැරණි සොඳුරු මතකයන් අලුත් කිරීමක් තමයි මෙහිදී සිදුවෙන්නේ

“ඉස්සර දවසක්” පවත්වන්නේ කවද්ද…? කොහේද කියලා දැනගන්න ඔබේ පියා ඇතුළු පියවරුන්ගේ ගීත ශ්‍රවණයට ඇලුම් කරන රසික ජනතාව දැනගන්නත් කැමැති ඇති….?

ඔව්. ඒ 1970, 80, 90 දශකවල ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූ ඒ අතීත මිහිරි මතක සහිත ගීත රසවිඳීන්න කැමැති මගේ පියා ඇතුළු අප තිදෙනාගේ පියවරුන්ට ආදරය කරන ආදරණීය රසික ජනයාට කියන්න කැමැතියි ලබන 06වැනිදා කොළඹ මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයට පැමිණෙන්න කියා…එසේ පැමිණ අපිත් එක්ක මේ ආදරණීය සන්ධ්‍යාව බෙදාගන්න කියන ආරාධනාවත් මේ අවස්ථාවේදී මම කියන්න කැමැතියි.

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT