Home » ස්වර්ණමය යුගයක පරපුරක් හැදූ ම්.ඒ.එ

ස්වර්ණමය යුගයක පරපුරක් හැදූ ම්.ඒ.එ

by mavan
April 30, 2026 2:16 pm 0 comment

ලාංකේය සිනමාවේ පුරෝගාමී සිනමා අධ්‍යක්ෂකවරුන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිවන සිනමාකරුවකු ලෙස කේ.ඒ ඩබ්ලිව් පෙරේරා හැඳීන්විය හැකිය. තම ජීවිතය කාලය පුරාම ලාංකේය සිනමාවේ උන්නතිය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක නිරත වී මින් දශක දෙකකට ඉහතදී ඔහු අවසන් ගමන් ගියේ මෙරට සිනමා කලාවට සුන්දර නිර්මාණ රාශියක් ඉතිරි කරය. ඒක එදා මෙන්ම අදත් සිනමා ඉතිහාසය පුරා රන් සලකුණු මෙන් දීප්තිමත්ව බැබළේ්. එසේම කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා නම් වූ ඔහු සුජීවත්ව සිටියා නම් මේ එළඹෙනුයේ ඔහුගේ සියවෙනි ජන්ම දිනයය. මෙම ලිපිය මේ සියලු හේතු කාරණා එක්කොට ගනිමින් ඔහු වෙනුවෙන් ලියවෙන්නකි.

කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා මෙලොව ජනිත වූයේ 1926 අප්‍රේල් මස 15 වැනිදාකය. ඔහුගේ උපන්ගම වූයේ කොළඹ හැව්ලොක් ටවුමය. එම ස්ථානයේ පිහිටි ඉසිපතනාරාමය අසල මධ්‍යම පාංතික නිවෙසක් ඔහුගේ ජන්ම භූමිය වූයේය. එහෙත් ඔහුගේ ආච්චී සහ අම්මා මාතර ප්‍රදේශයේ උපන්නෝ වූහ. ඔහුගේ පියාගේ ගම වූයේ ඇරව්වලය. පියා කොද්දුල්ල ආරච්චිගේ විල්බට් පෙරේරාය. මව කවිනිහාමි රත්නායකගේ නැන්සිනා පෙරේරාය.

තම්පතීන්ට උපන් පුත් රුවනට ඔවුන් නම් තැබුවේ කොද්දුල්ල ආරච්චිගේ විල්සන් පෙරේරා යනුවෙනි. එය කෙටි වූ කල කේ.ඒ. ඩබ්ලිව් පෙරේරා විය. ඒ කාලයේ කේ.ඒ ඩබ්ලිව් පෙරේරාගේ මිත්තණිය ඔහුට තැබූ විල්සන් යන නමට කොහෙත්ම කැමති නොවූ බව ඔහු පිළිබඳ ධර්මසිරි ගමගේ විසින් රචිත ග්‍රන්ථයේ සඳහන් කර තිබිණි.

“විලිසොන්” ? ? ? මොකක්ද බොල ඒ නොසන්ඩාලකම? පර සුද්දන්ගේ නම් අපට මොකටද? කියමින් ආත්තම්මා තම විරෝධය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නට විය.

සිංහල නමක් දාන්න තිබුණා කියමින් කේ. ඒ. ඩබ්ලිව්. ගේ මවද ඊට එක්වී ඇත. එහෙත් ඔහුගේ පියාගේ ස්ථාවරය වූයේ වෙනස් එකකි.

“මේක සුද්දාගේ කාලෙ බව දැන ගනිල්ලා. අපි ඉන්නේ ඉංග්‍රීසි කොඩිය යටතේ රට යන හැටියට අපිත් යන්න ඕන ඉංග්‍රීසි නමක් තිබුණොත් රස්සාවක් ගන්නත් ලේසියි.”

“මල ඉලව් රස්සාව…… රස්සාවට ජාතිය පාවා දෙන එවුන් මාතර පළාතේ නෑ බොලව්…” යයි කියමින් ආත්තම්මා මේ නමට දැඩි සේ විරුද්ධ වූවා සේම, ඇය නිරන්තරයෙන් ඔහුට ආමන්ත්‍රණය කරන්නට වූයේ අප්පුහාමි යනුවෙනි. කෙසේ වුවද පියා විසින් ඔහුට තබන්නට යෙදුණ නමින්ම ඔහු මේ රටේ ප්‍රචලිත විය.

කුඩා කේ.ඒ. ඩබ්ලිව් මූලික අධ්‍යාපනය ලැබූවේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමට අයත් නාරාහේන්පිට ශශ්‍රී අභිහාරාම විහාරස්ථාන භූමියේ පිහිටි සිංහල පාසැලෙනි.

මේ යුගය වන විට බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වන ලංකාවේද ඉංග්‍රීසි අධ්‍යාපන ආයතන බිහිවී තිබුණද ඉන් අධ්‍යාපනය ලැබීම සඳහා ආර්ථික හයියක් අවශ්‍ය විය. කේ.ඒ. ඩබ්ලිව්ගේ පියාද මුදල් අයකර ඉංග්‍රීසි සහ සිංහල උගන්වන පාසලකට ඔහු ඇතුළත් කිරීමට කටයුතු කළේය. ඒ අනුව ඔහු වැලවත්තේ බෝයිස් ඉන්ඩස්ට්‍රියල් ස්කූල් නමින් හැඳීන්වූ ක්‍රිස්තියානි පාසැලකට ඇතුළත් කළේය. ඉංග්‍රීසි අටවෙනි පන්තිය තෙක් කේ.ඒ . ඩබ්ලිව් ඉගෙන ගත්තේ මෙම පාසලේය.

ඉන්පසු වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් විය. ආනන්ද විදුහලේ දෙවන වරුවේ පැවැත්වූ ඕල්කොට් විදුහලේ වැඩිදුර ඉගෙනුම ලැබූ ඔහු 1948 දී ඉංග්‍රීසි සීනියර් විභාගය සමත් විය. ශිෂ්‍ය අවධියේ සිටම ආගමික හා කලා කටයුතුවලට වැඩි කැමැත්තක් දැක් වූ ඔහු පුවත්පත්වලට සහ ගුවන් විදුලියට නාට්‍ය පිටපත් ලියන්නට ද උනන්දු වූයේය. සීනියර් විභාගය සමත් වීමෙන් පසු රැකියාවක් කරන්නට උනන්දු වූ කේ.ඒ. ඩබ්ලිව් ඒ සඳහා වාසනාව උදා වූයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තාවකාලික ලිපිකරුවකු වශයෙන් පත්වීමක් ලැබීමෙනි. ඔහුගේ වැටුප වූයේ දිනකට රුපියල් පහකි. මේ කාලයේ අතරතුර ඔහු ගුවන්විදුලි නාට්‍ය රචනා කිරීමද අත්හැරියේ නැත.

1949 දී ඔහුට මහර බියන්විල පිරිමි පාසලට ඉංග්‍රීසි උපගුªරුවරුකු වශයෙන් පත්වීමක් ලැබිණ. මුල් රැකියාවට වඩා නිදහසක් මෙම රැකියාව තුළ වූයෙන් කලා කටයුතු වෙනුවෙන් වැය කරන්නට කාලය ඔහුට ඕනෑ තරම් විය.

මේ අතරම කේ.ඒ. ඩබ්ලිව් විවාහ දිවියටද ඇතුළත් වූවේය. පාසල් කාලයේදීම අසල පිහිටි නර්සින් ස්කූල් එකක පුහුණුවූ හෙදියකට ඔහුගේ සිත ගොස් තිබුණ අතර, ඒ ප්‍රේමය දළුලා වැඩුණේය. රැකියාව හමුවූ විගසම දෙදෙනා විවාහ වන්නට සිතූ අතර මංගල්‍යයට ඔහුගේ පියා දැඩි ලෙස විරුද්ධ විය. එහෙත් ඒ ප්‍රේමය ජය ගනිමින් දෙදෙනා විවාහ වූ අතර ඔහුගේ අත ගත්තේ එවකට මාණ්ඩලික හෙදියක ලෙසින් කටයුතු කළ තෙරේසා ඇග්නස්ය. විවාහයෙන් පසු ඔවුන් දෙදෙනා ගෝතමී පාරේ නිවසක් කුලියට ගෙන පදිංචි වූයේය.

1955 දී කේ.ඒ. ඩබ්ලිව් පෙරේරාට ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ රචනා සම්පාදකයෙකු වශයෙන් රැකියාවක් ලැබිණ. පාසල් රැකියාවට ආයුබෝවන් කියා ඔහු ගුවන් විදුලියට බැඳුණේ සතුටිනි. කෙටි කලකින්ම ඔහු වැඩසටහන් සම්පාදක තනතුර දක්වා උසස් කරන ලදී. වෙළෙඳ සේවයේ වැඩසටහන් සඳහා නව මුහුණුවරක් දෙන්නට මෙහිදී ඔහු විශේෂයෙන් උනන්දු විය. එකල වෙළඳ සේවයේ වැඩසටහන් වැඩි වශයෙන් යොමුවී තිබුණේ තරුණ හා වැඩිහිටියන්ගේ සරල වින්දනය සඳහාය. එබැවින් ළමා හා යෞවන වැඩසටහන් කෙරෙහි මෙහිදී කේ.ඒ. ඩබ්ලිව්ගේ අවධානය යොමු විය. ඒ සඳහා අවසරය බලධරයන්ගෙන් ලබාගත් ඔහු ළමා පරපුර වෙනුවෙන් “හඳමාමා” වැඩසටහනත් යෞවනයන් සඳහා “රේඩියෝ සඟරා” වැඩසටහනක් වැඩිහිටියෝ වෙනුවෙන් “වාසනා උදාව“ වැඩසටහනත් ආරම්භ කළේය. එදා මෙදා අතර ඔහු ගුවන් විදුලි මාධ්‍යයට හඳුන්වා දුන් “හඳ මාමා” වැඩසටහන මේ දක්වාම ළමයින් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද ප්‍රකට වැඩසටහනක් වූයේ ය.

කේ. ඒ. ඩබ්ලිව් පෙරේරාට සිනමාවේ දොරටු විවර වන්නේද ගුවන් විදුලිය නිසාය. ඒ ඔවුහු විසින් රචිත ගුවන්විලි නාට්‍ය ශ්‍රවණය කිරීමෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහුගේ ප්‍රථම චිත්‍රපටයේ දෙබස් රචනයට ආරාධනා කිරීමෙනි. ඒ පිළිබඳ ඔහු පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසා තිබුණි.

“රේඛාව චිත්‍රපටයේ දෙබස් රචනා කිරීමෙන් තමයි මගේ සිනමා ගමනත් ආරම්භ වුණේ. මේ චිත්‍රපටය හරහා සිනමා කලාවේ වෙනස්කම් රාශියක් සිද්ධ වුණා. එතෙක් චිත්‍රාගාර තුළ නිර්මාණය වූ වටපිටාව වෙනස් කර එළිමහනේ රූගත කිරීම් ඇරඹුණා. හින්දි ගීත වෙනුවට ස්ව තන්ත්‍ර නිර්මාණයන්ගෙන් අවස්ථානුරූපී සංගීතය හා පබැඳුම් වලින් යුත් නිර්මාණයක් වුණා. රේඛාව උසස් සිනමා කෘතියක් වුණාට එය ආර්ථික අතින් අසාර්ථක වුණා. රේඛාව නිෂ්පාදනය කර වසර 4ට පස්සේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘සන්දේශය’ අධ්‍යක්ෂණය කළා. මේ චිත්‍රපටයෙත් දෙබස් ලියන්න මට ආරාධනා කළා.”

රේඛාවෙන් ආරම්භ කෙරුණු ඔහුගේ දෙබස් රචනා කලාව ඉන්පසු සන්දේශය, ශශ්‍රී 256, සුහද සොහොයුරෝ, හෙට ප්‍රමාද වැඩියි, යටගිය දවස, සීගිරි කාශ්‍යප, සාරවිට ගැටවරයෝ ඇතුළු චිත්‍රපට රාශියක ඔහු දෙබස් රචකයා වූයේය. ‘සාරවිට’ චිත්‍රපටයේ දෙබස් රචනා වෙනුවෙන් එම වසරේ සරසවිය සම්මාන උළෙලේ හොඳම දෙබස් රචකයා ලෙසින් සම්මාන දිනා ගන්නේද කේ. ඒ. ඩබ්ලිව්ය.

කේ. ඒ. ඩබ්ලිව් චිත්‍රපට අධ්‍යක්ෂණයට පැමිණෙන්නේ සම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වශයෙනි. ඒ ‘පිරිමියෙක් නිසා’ චිත්‍රපටය ටී. සෝමසේකරන් සමඟ සම අධ්‍යක්ෂණය කරමිනි. එය සිදුවූයේද සුවිශේෂී ආකාරයකටය. කේ. ඒ. ඩබ්ලිව් සහ ඊ.ඒ.පී. එදිරිසිංහ එකල ආනන්ද විද්‍යාලයේ එක පන්තියේ සිටි මිතුරන්ය. පාසල් කාලයේ දෙදෙනා එක්ව චිත්‍රපට නැරඹීම පුරුද්දක් කරගෙන තිබිණ ඒ කාලයේද “අපි කවදා හරි චිත්‍රපටයක් කරමු” කියා ගිවිසගෙනද සිට ඇත. එහෙත් පාසල් අධ්‍යාපනය හමාරවීමෙන් පසුව දෙදෙනා දෙපසකට ගියේය. ඊ.ඒ.පී ව්‍යාපාර පැත්තට යොමු වූ අතර කේ.ඒ. ඩබ්ලිව් ගුරු සේවයට ගියේය. ඉන්පසු හම්බවීමෙන් පසු එදා ගිවිසගත් චිත්‍රපටය හදන්නට දෙදෙනා සූදානම් විය. ඊ. ඒ. පී එදිරිසිංහ කියුවේ කේ. ඩබ්ලිව් ට එය අධ්‍යක්ෂණය කරන ලෙසයි. එහෙත් කේ.ඒ ඩබ්ලිව්ගෙ අදහස වූයේ මුල්ම චිත්‍රපටය පළපුරුදු අධ්‍යක්ෂවරයකු ලවා කරවිය යුතු බවයි. ඒ අනුව ඔවුන් ටී. සෝමසේකරන් ඒ සඳහා තෝරා ගත් අතර, දෙබස් හා තිර රචනයට හා සම අධ්‍යක්ෂණයට කේ.ඒ. ඩබ්ලිව් එක්විය. මේ හරහා සිනමාවේ බොහෝ තැන් ස්පර්ශ කළ ඔහු අත්දැකීම් රාශියක් ලබා ගත්තේය.

ඊ.ඒ.පී සමාගම ඉන්පසු නිපද වූ සුහද සොහොයුරෝ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ ආරාධනාව ද ඔහුට ලැබුණ අතර, එය ඉන්දියාවේ ඉතාමත්ම ජනප්‍රිය “පාස මලර්” නැමැති චිත්‍රපටයේ අනුකරණයක් වූයෙන් කොපි කළ දකුණු ඉන්දියානු කතාවක් මුලින්ම අධ්‍යක්ෂණය කරන්නට ඔහු නොකැමැති විය. එහෙත් එහි දෙබස් රචනය ඔහු විසින් සිදු කරන ලදී. චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා ඇල්. ඇස් රාමචන්ද්‍රන් තෝරා ගැණින.

කේ.ඒ. ඩබ්ලිව් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසින් දොරට වඩිනුයේ ‘සැනසුම කොතැනද ‘ චිත්‍රපටය නිර්මාණය කරමිනි. චිත්‍රපටය නිෂ්පාදනය කළේ සෝමසිරි පෙරේරා විසිනි . මෙම නිෂ්පාදකවරයා කේ.ඒ ඩබ්ලිව්ට මුණ ගස්වනුයේ ගාමිණී ෆොන්සේකා විසිනි. 1966 වසරේ හොඳම චිත්‍රපටය ලෙසින් සරසවිය සම්මාන දිනා ගත්තේ ඔහුගේ මෙම සැනසුම කොතැනද චිත්‍රපටයයි.

සැනසුම කොතැනද චිත්‍රපටය සම්පූර්ණයෙන්ම දකුණු ඉන්දියානු සිනමා ආභාසයෙන් මිදුණු එකක් විය. ඔහු සංගීත ක්ෂේත්‍රයට දක්ෂතා සපිරි සංගීතඥයෙකු සහ ගීත රචකයෙකු මෙම චිත්‍රපටය හරහා හඳුන්වා දුනි. ඒ ප්‍රේමසිරි කේමදාසයන් සහ ධර්මසිරි ගමගේය. මේ චිත්‍රපටයට ඇතුළත් වුණු සියලුම ගීත අද දක්වා ද ජනාදරය දිනාගත් ඒවා විය. සුළං කුරුල්ලෝ, ආදරයේ රන්විමනේ, හංකිති සුරතල්, සංසාර ගමනේ, තණ්හා ආශා එම ගීත අතර වේ.

මේ යුගයේ පැවතුණු එක්තරා සම්ප්‍රදායක් වූයේ චිත්‍රපට කතාවේ අවසානයට යොදා ගන්නා පසුබිම් ගීතය බොහෝ විට මොහිදින් බෙග් විසින් ගායනා කිරීමය. එම සම්ප්‍රදාය කේ.ඒ ඩබ්ලිව් විසින් වෙනස් කරමින් ඉන් වෙනස් හැඩයක් හඳුන්වා දුන්නේය. ඒ අමරදේවයන්ගේ හැඩය.

ඉන්පසු ඔහු කපටිකම, බයිසිකල් හොරා, සීයේ නෝට්ටුව, කතුරුමුවත්, ලොකුම හිනාව, ඉහත ආත්මය, අපරාධය සහ දඬුවම දුලීකා, ළසඳා, වාසනා, නෑදෑයෝ, ජනක සහ මංජු, සසර, හිඟන කොල්ලා, ආදර රත්නේ, බංගලි වළලු, වතුර කරත්තය, රේල් පාර, දුර්ගා, ධවල පුෂ්පය, මධුරි, උණ්ඩය සහ සුමේධා යනුවෙන් චිත්‍රපට 24ක් අධ්‍යක්ෂණය කළේය.

අධ්‍යක්ෂණයෙන් නතර නොවූ ඔහු 1978 දී ‘ජනක සහ මංජු චිත්‍රපටය නිෂ්පාදනය කරමින් චිත්‍රපට නිෂ්පාදනයට ද එක් විය. 78 වසරේ ඉතාමත්ම ජනප්‍රිය චිත්‍රපටය වශයෙන් ජනක සහ මංජු පත්විය. නවක නළු නිළියන් අත්හදා බැලීමට සහ හඳුන්වාදීමට කේ ඒ ඩබ්ලිව් එඩිතරවූ අධ්‍යක්ෂවරයෙකි. එයට හොඳම උදාහරණය වූයේ ජනක සහ මංජුය. ජනක සහ මංජු, බංගලි වළලු, දුර්ගා, වතුර කරත්තය හා උණ්ඩය ඔහුගේම නිෂ්පාදන විය.

නිර්මාණකරුවකු වශයෙන් ඔහු මෙරටට දායාද කරන ලද නිර්මාණ මෙන්ම කර්මාන්තයක් වශයෙන් සිනමාව මෙහි ස්ථාපිත කිරීම පිණිස ද කේ.ඒ. ඩබ්ලිව් මහන්සි වූවෙකි. 60 දශකයේ අග භාගයේ දී ජාතික සිනමාවක් ගොඩනැඟීම සඳහා ප්‍රබල ලෙස සංවිධානය වූවන් අතර කේ.ඒ. ඩබ්ලිව් මූලිකයෙකු විය. විධිමත් සාධාරණ ක්‍රමයක් යටතේ චිත්‍රපට බෙදාහැරීමට බල කිරීම සඳහා ඔවුන් දිගින් දිගටම රැගෙන ගිය සටනේ ප්‍රතිඵල ඔවුනට ලබා ගැනීමට හැකි වූයේ සිංහල සිනමාවට 25 වසරක් පිරුණදා 1972 ජනවාරි 21 දායි. ඒ රාජ්‍ය චිත්‍රපට සංස්ථාවක් බිහිවීමෙනි.

සිනමා මාධ්‍යය තුළ පමණක් තම හරඹ නොදැක්වූ ඔහු 1980 දශකයෙන් පසු විවෘත ආර්ථිකය ඔස්සේ මෙරටට ලැබුණු රූපවාහිනී මාධ්‍යය සඳහා ඔහු ඔහුගේ දායකත්වය පිරිනැමුවේය. ඊට හොඳම උදාහරණය වනුයේ ගමන, ප්‍රමාද වැඩියි, හැංගි හොරා හිඟන කොල්ලා සහ පාසල් ගුරුවරිය ටෙලි නාට්‍ය.

මෙවන් සුවිසල් සේවයක් සිනමා කලාව වෙනුවෙන් කැප කරමින් තම පූර්ණ කාලීන ජීවිතයම ඒ වෙනුවෙන් වෙන් කළ ඔහු වැන්නන් නිසා අදටත් මේ රටේ සිනමා කර්මාන්තය ඉතිරි වී ඇත්තේය. ඔවුන් මෙරට සිනමාව වෙනුවෙන් ඉටු කළ යුතුකම් නැවත නැවතත් මෙසේ ලියා තැබිය හැකි නොවුණොත් වත්මනේ බිහිවන අනාගත පරපුර ඔවුන් වැන්නන් සිටිය බවට නොදැනෙනු ඇත. එබැවින් මතු පරපුරේ දැනුම්වත් භාවය උදෙසා මෙවන් මිනිසුන්ගේ අමිල සේවය යළි යළිත් ලියා තැබීම අපගේ යුතුකමක් වන්නේය.

 

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT