මගේ පවුලේ වැඩිමලා මම වුණාට මම තමයි අපේ පවුලින් අවසානයටම විවාහ දිවියට ඇතුළත් වුණේ. අපේ පවුලේ පළමුවෙන්ම විවාහ වුණේ යමුනා නංගී. එයා අපේ පවුලේ හතරවැනියා. දෙවැනියට ගංගා නංගි විවාහ වුණා. (පවුලේ දෙවැනියා) තුන්වැනිව මල්ලී විවාහ වෙනවා. හතරවැනියට විද්‍යා නංගි විවාහ වෙනවා. මම තමයි අන්තිමයා. අපිව ඉක්මනට විවාහ කරලා දෙන්න අපේ අම්මට ඕන කමක් තිබුණෙත් නෑ. එයා හැම මොහොතෙම දරුවෝ ටික වට කරගෙන ජීවත් වෙන්න කැමැති වුණා. කොහොම වුණත් අම්මා නැතිවෙනකොට විද්‍යා නංගි විවාහ ගිවිසගෙන හිටියා.
නමුත් මේ කාලය වනවිට මම විවාහ වෙන්න ඕන කියන ස්ථිර තැනක හිටියේ නෑ. ඒ කාලය වනවිට මගේ තිබුණු සම්බන්ධතා අතර එහෙම විශ්වාස කටයුතු සම්බන්ධතාවයක් තිබුණෙත් නෑ. එහොම ඉන්න අතරතුරදි තමයි මට වසර 2000 දි සුරේන් මුණ ගැහෙන්නේ. අපි දෙන්නා අතර මුලින් වර්ධනය වුණේ හුදු මිතුරු සබඳතාවයක් විතරයි. ඒත් කලක් ගතවන විට ඒක ප්‍රේම සම්බන්ධතාවයක් බවට පතිවුණා. අම්මා සුරේන් ගේ සබඳතාවය ගැන දැනගෙන හිටියා. සුරේන්ට හරිම ආදරෙන් හිටියා.
‘සුදු කවදද එයා විවාහ වෙන්නේ? කියලා එයා කවදාවත් මගෙන් ඇහුවේ නෑ.
මමත් එහෙම තමයි. මට විවාහ වෙන් ඕන කියලවත්, විවාහයට මම සූදානම් කියලවත් කවදාවත් මම අම්මට කිව්වේ නෑ. මේ විෂය ගැන අපි දෙන්නට දෙන්නා හැමදාම නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ඇයි කියන්න මට අදටත් දන්නේ නෑ.
සමහරවිට විවාහයේදි අම්මා මුහුණ දුන්න කටුක අත්දැකීම් නිසා අම්මා එහෙම හැසිරුණාද දන්නෙත් නෑ. නමුත් අපේ අම්මා මියයන්න ට ප්‍රථම මගේ දරුවන් නොදැක්කට මගේ නංගිලා මල්ලිලාගේ දරුවන් දැකලා එවුන්ව හුරතල් කරලා හදාවඩාගැනිමේ වාසනාව ලැබුවා.
පළමුවෙන්ම එයා දකින්නේ ගංගා නංගිගේ පුතා සහන්ව. සහන්ට අම්මා පුදුම විදියට ආදරේ කළා. එයා ඉස්ඉස්රලාම ආච්චි කෙනෙක් කළේ සහන් පුතා. ඒකාලේ බොහෝ වෙලාවට ගංගා නංගී සහන්ව අම්මගේ මාලිගාවත්තේ ගෙදර තියලා ගමන් බිමන් ගිහින් එනවා. අම්මා මුනුපුරාව බලා ගත්තේ හරිම ආදරයෙන්. අම්මයි මමයි ‘ ඇය ඔබට බාරයි චිත්‍රපටය නිෂ්පාදනය කරත්දි එහි ළමා චරිතය නිරූපණය කළේ සහන් පුතා. ඒ 1987 අවුරුද්දේ. එතකොට සහන්ට වයස අවුරුදු පහක් විතර ඇති. අද එයා රංගන ශිල්පියෙක් විදියට දුර ගමනක් යමින් පවතිනවා. ඇත්තටම අම්මා හිටියා නම් ඒ ගැන අප්‍රමාණව සතුටු වෙයි.
ගංගා නංගිගේ පුතාට පස්සේ අම්මා මල්ලි ගේ දරුවෝ දෙන්නත් බැලුවා. ඊට පස්සේ යමුනා නංගීගේ දරුවෝ බැලුවා. එයාට මිස් වුණේ මගේ සහ චූටි නංගිගේ දරුවෝ විතරයි.
මම මුලිනුත් කිව්වා වගේ සුරේන් හමුවෙලා ආශ්‍රය කළත් මම අම්මට කියලා තිබුණේ නැහැ මම විවාහයට ලෑස්තියි කියලා. අම්මා හැමවෙලේම හිතන්න ඇති නොගැළපෙන විවාහයකට ගියොත් අපි තනිවෙයි කියලා. අම්මට කවදාවත් අපෙන් නිදහස් වෙන්න උවමනාවත් තිබුණෙ නෑ. සාමාන්‍යයෙන් උස් මහත් වුණු ගැහැනු දරුවෝ ඉන්න අම්මා කෙනෙක් බලන්නේ තමන්ගේ දරුවන් විවාහ කර දිලා යුතුකම් ඉටුකරලා නිදහස් වෙන්නනේ. අපේ අම්මට එහෙම වුවමනාවත් තිබුණේ නැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් දරුවෝ තුන්දෙනෙක් දාල ගිය ගැනියෙක්නේ කියලා. නමුත් මම දන්නවා එයාට කවදාවත් අපිව දාලා යන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ ඒ කාලවලදි මුහුණ දුන්න විවිධ ප්‍රශ්න නිසාවෙන් අම්මයි තාත්තයි වෙන්වුණත් එයා කවදාවත් අපිව අතහැරියේ නෑ. අනන්ත දුක්පීඩා විඳලා අවසනානයේ එයා එයාගේ දරුවෝ පස් දෙනාම එක වහලක් යටට ගන්නවා. ඇත්තටම කිව්වොත් අම්මට තිබුණු ඒ ධෛර්යය කවදාවත් මට නම් තියෙය කියලා මට විශ්වාස කරන්න අමාරුයි. ඒ අතින් අපේ අම්මා යකඩ ගැහැනියෙක්. ජීවිතේ රෝස මල් යහනාවත් මත්තේ හැදි වැඩුණ ගැහැනියක් අපේ අම්මා. එයාට කවදාවත් දුක්පීඩාවත්, අඩුපාඩුවක් තිබුණු කෙනෙක් නොවෙයි. ඒ වගේ සියුමැලි ගැහැනියෙක් මේ වගේ දුක් කන්දරාවක් කොහොම දරා ගත්තද කියලා මට අදටත් විශ්වාස කරන්න බෑ.
පස්සේ කාලෙක එයාගේ දරුවෝ විවාහ වෙලා වෙනම පදිංචියට යනවා. මම විවාහ නොවුණත් මගේ ව්‍යාපාර කටයුතුත් එක්ක මම වෙනම ගෙදරක පදිංචි වෙනවා. අම්මා යමුනා නංගිත් එක්ක මාලිගාවත්තේ ගෙදර ඉන්නවා. නමුත් අපි හැමදෙනාම වරින්වර අම්මා ගාවට යනවා එනවා. එයා ඒකට හරි කැමැතියි. එයාට ඕනවුණේ දරුවෝ වට කරගෙන ජීවත් වෙන්න. වෙලාවකට මම ගිහින් එයාගේ කාමරේ සුව පහසු ඇදේ නිදාගෙන ඉදලා එනවා. මම ආවට පස්සේ එයා ගෙන් මට කෝල් එකක් එනවා.
සුදු…… ඔයාගේ සුවඳ තාමත් කොට්ටේ තියනවා………
ඇත්තටම දැන් ඒ අතීතය මතක් වෙනකොට අම්මා ගැන තිබුණු ආදරය වැඩි වැඩියෙන් උතුරා යනවා. අපි හැමදෙනාටම එයා එකවගේ ආදරේ කළා.
එක්තරා කාලයක මම තලකොටුව වත්ත ප්‍රදේශයේ නිවෙසක කුලියට ජීවත් වෙනවා. ඒ කාලයේ මගේ රෙදි ව්‍යාපාරයත් හොඳන් කෙරීගෙන යන නිසා අතමිටත් සරුවට තිබුණා. චිත්‍රපටිවලින් හම්බකළ මුදල් වගේම බිස්නස් එකෙන් හම්බකළ මුදලුත් මම නාස්ති කරපු කෙනෙක් නොවෙයි. ඒ කාලේ මගේ පුරුද්දක් තිබුණා අතේ ටිකක් වැඩිපුර සල්ලියක් තිබෙනවා නම් රත්තරන් බඩු හදවනවා. මේ නිසා රත්තරන් බඩුත් සෑහෙන ප්‍රමාණයක් මගේ ළඟ තිබුණා. එක්තරා මොහොතක මට හිතෙනවා මටම කියලා ඉඩමක් ගන්න ඒන කියලා. මේ වෙලාවේ තමයි මම දැන් ඉන්න මේ නිවස හදලා තියෙන අකුරගොඩ මේ ඉඩම පිළිබඳ ආරංචිය ලැබෙන්නේ. ඒ වෙනකොට මම විදේශ සංචාරයකට සූදානම් වෙලා හිටපු නිසා මුදල් ටිකක් හිර වෙලත් තිබුණා. මම මගේ රත්තරන් බඩු වලින් ටිකක් උකස් කරලා මේ ඉඩමට ඇඩ්වාන්සි පේමන්ට් එකක් කරලා ඉඩම රඳවගෙන මගේ විදේශ සංචාරයේ නියුතු වීමයි. ආපහු ලංකාවට ආවට පස්සේ ඉඩම ගත්තා. බැංකු ලෝන් එකකුත් අරගෙන ගේ වැඩ යම්තාක් දුරට එකලාසයක් වෙනකොට තමයි මට සුරේන් හමු වෙන්නේ. ඇත්තටම ඒ හමුවීම මගේ හදවතට දැනුණා. මාව බලාගනියි කියන තැනට වඩා මගේ තනි නොතනියට ආරක්ෂාවට, දුක සැප බෙදා ගන්නට කෙනෙක් ඉන්නවාය කියන හැඟීම දැනෙන්න පටන් ගත්තා. ගෙයක් දොරක් ගැන ඉදිරියක් ගැන බලාපොරොත්තුවක් ඇති වෙන්නේ ඊට පස්සේ තමයි.
ඇත්තටම සුරේන් හමුවෙනකොට මම මගේ ජීවිතේ මුහුකුරා ගිය අවධියකට යොමු වෙලා හිටියේ. සාමාන්‍ය තරුණියක් විදියට යොවුන් බොලඳ හීනවල හිටපු කෙනෙක් නොවෙයි මම. කාන්තාවක් විදියට මම මගේ ජීවිතය බොහෝ දුරට සකසා ගෙන තිබුණා. ගෙයක් දොරක් ඉදිකරගෙන තිබුණා. වාහනයක් මිලදි ගෙන තිබුණා. අතමිට නිතර මුදල් ගැවසුණා. ව්‍යාපාරිකාවක් වශයෙන් වුණත් මම සාර්ථකත්වයට පත් වී තිබුණා. ඒ කාලේ බොහෝ නළු නිළියන් ඇඳුම් මස්සවා ගත්තේ මගේ ළඟින්. සමහර අවස්ථාවන්වල මම සිනමාවෙන් හම්බකරනවාට වඩා දෙගුණයක් මුදල් ව්‍යාපාර කටයුතු වලින් හම්බකළා. නමුත් මගේ ජීවිතේ මොකක්දෝ හිස් බවක් තිබුණා. ඒ හිස් බව දුරලලා යම්කිසි අපේක්ෂා සහගත හැඟීමක් මට සුරේන් නිසා ඇතිවෙනවා.
ලබන සතියේ……..
විවාහයට බාධා…..
හේමාලි විජේරත්න
