නිවස විශේෂාංග සරසවිය ගෙනා සල රූ සරණිය

සරසවිය ගෙනා සල රූ සරණිය

by Mahesh
March 28, 2024 12:30 am 0 comment

1964 සරසවිය සම්මාන උලෙළ අවසන් වූ පසු මාස හයකින් පමණ එහි විස්තර හා විශේෂ ඡායාරූප සහිත සමරු කලාපයක් ප්‍රකාශයට පත් කෙරිණි. සතිපතා පළවන සරසවිය පුවත්පතේ වාර්ෂික සංග්‍රහයේ මංගල කලාපය ලෙස එළිදුටු එම සඟරාව නම් කොට තිබුණේ සරසවිය සිනමා නමිනි. ඡායාරූප ශිල්පී නිමල් පෙරේරා විසින් ගන්නා ලද 1964 වර්ෂයේ හොඳම නිළිය වූ පුණ්‍යා හීන්දෙණියගේ වර්ණ ඡායාරූපයකින් එහි කවරය නිර්මාණය විය.

එවක සරසවිය කර්තෘ මණ්ඩලයේ සිටි පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වූ ආර්.ඩී. ගුණරත්න මහතා විසින් මෙම අගනා සඟරාව සංස්කරණය කරන ලදී. මේ සමරු සංග්‍රහය හුදෙක්, රූපාවලියක්ම පමණක් නොව බුද්ධිමත් රසිකයින්ගේ උසස් රුචියට සරිලන අගනා දැනුම් කෝෂයක් ලෙසින් සකසා තිබිණි. සරසවිය සිනමා සමරු කලාපය සිබිල් වෙත්තසිංහගේ චිත්‍ර වලින් ද ඇස්.ආර් හේමපාලගේ සිරස්තල අක්‍ෂර රූපවලින් ද අලංකාර වී තිබූ අතර මෙහි කලා නිමැවුම නිමල් පෙරේරා අතින් සිදුවී තිබිණි. මෙය 1964 නොවැම්බර් මස 24 වැනිදා පාඨකයන් අතට පත් කෙරුණු අතර පැය කිහිපයක් තුළ සියලු පිටපත් අලෙවි වී අවසන් විය.

එලෙස ප්‍රථම සරසවිය සම්මාන උලෙළට සමගාමීව නිකුත් වූ සරසවිය සිනමා සඟරාව ඉන්පසු පැවැත්වූ සරසවිය සම්මාන උලෙළ සඳහා නිකුත් වීමක් සිදු නොවූ අතර යළිත් එය 1991 වසරේ පැවති 19 වන සරසවිය සම්මාන උලෙළ සමඟ යළි මුද්‍රණය කිරීමට ලේක්හවුස් පාලන අධිකාරිය කටයුතු කරනු ලැබීය.

එම සඟරාව යළි මුද්‍රණය කිරීමේ කටයුත්ත ආරම්භ කිරීමට හේතු වූ නිදාන කතාවක් ද තිබිණි. එවක සරසවිය පුවත්පතේ කර්තෘවරයා වූයේ ඒ. ඩී. රන්ජිත් කුමාර මහතාය. ලේක්හවුස් සභාපතිතුමන් වූයේ සුනිල් කේ.රුද්‍රිගු මහතාය. රටේ ජනාධිපතිවරයා වූයේ ආර්. ප්‍රේමදාස මහතාය. කලාකරුවන්ට බොහෝ සේ හිතේෂි පුද්ගලයකු වූ ආර් ප්‍රේමදාස මහතාට සරසවිය සම්මානය සමඟ මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අවශ්‍යතාවයක් ඇති විය. ඒ යෝජනාව එතුමන් යොමු කරනු ලැබුවේ එවක ලේක්හවුස් සභාපති සුනිල් කේ. රුද්‍රිගුª මහතා වෙතය. සභාපතිතුමන් එම යෝජනාව ඉටු කිරීමට අපූරු යෝජනාවක් ගෙන ආවේය. එවක එම සම්මාන උලෙළ සඳහා අනුග්‍රාහකත්වය එක් කර තිබුණේ ලක්ස්ය. ඔවුන්ට මුදල් ත්‍යාග සඳහා යන මුදලින් හරි අඩක් දැරීමටත් ඉතිරි මුදල ලේක්හවුස් ආයතනයෙන් දැරීමටත් යෝජනා කරන ලදී. ඒ අදහසට ලක්ස් එකඟ වූ අතර ලේක්හවුස් ආයතනයෙන් ඒ සඳහා ලබාදෙන මුදල සඟරාව මුද්‍රණය කිරීමෙන් ඒ සඳහා ලැබෙන දැන්වීම් ඔස්සේ සොයා ගැනීමටත් ලේක්හවුස් ආයතනයේ දැන්වීම් කළමනාකරුවන්ට භාර කෙරිණි. ඒ අනුව නැවත සරසවිය සමරු කලාපය මුද්‍රණය කිරීම ඇරැඹිණි.

19 වැනි සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් මුද්‍රණය කළ සරසවිය විශේෂ සමරු කලාපයේ මුල් කවරය 1989 වසරේ හොඳම නිළිය වූ අනෝජා වීරසිංහගේ ඡායාරූපයකින් හා ඒ වන විට හොඳම නිළිය ලෙස සරසවිය සම්මානය දිනා සිටි පුණ්‍යාහීන්දෙණිය. මාලිනී ෆොන්සේකා, වසන්ති චතුරාණි, සබීතා පෙරේරා යන නිළියන්ගේ ඡායාරූප වලින් සැකසී තිබූ අතර, පසුකවරය 1989 වසරේ හොඳම නළුවා ලෙස සරසවිය සම්මානය දිනූ රවින්ද්‍ර රන්දෙණියගේ ඡායාරූපයකින් හා ඊට පෙරඅතුව වරින් වර සරසවිය සම්මානයෙන් පුද ලද ගාමිණී ෆොන්සේකා, ඩී.ආර්. නානායක්කාර, ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක යන නළුවන්ගේ ඡායාරූපවලින් සැකසී තිබිණි. එවක සරසවිය කර්තෘවරයාව සිටි ඒ.ඩී. රන්ජීත් කුමාර මහතාගේ ප්‍රධාන සංස්කරණයෙන් නිකුත් වූ සරසවිය විශේෂ සමරු කලාපය අතුල උපසිරි කල්දෙමුල්ල හා ජගත් හේවාපන්න මහත්වරුන්ගේ රූ රටා සැලසුම් නිර්මාණය තුළින් එළිදැක්විණි.

20 වැනි සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් මුුද්‍රණය කළ සරසවිය විශේෂ සමරු කලාපයේ මුල් කවරය සබීතා පෙරේරාගේ රුවින් හා පසු කවරය ජනකාන්ත නළු විජය කුමාරතුංගයන්ගේ රුව අඩංගු ඡායාරූපයන්ගෙන් නිමවී තිබිණි. එම කවරය නිර්මාණය කොට තිබුණේ දි.ග සෝමපාල මහතා විසිනි. ඒ.ඩී. රන්ජිත් කුමාර මහතාගේ සංස්කරණයෙන් හා අනුර බණ්ඩාර රජගුරු මහතාගේ සහාය සංස්කරණයෙන්් එළි දුටු සරසවිය ලිපි සරණිය ජය දද බැඳී තිර නළු නිළි ලෙස නම් කොට තිබූ අතර මෙහි රූ රටා සැකසීම සමන් මලලසේකර මහතා අතින් සිදුවිය.

21 වැනි සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් නිකුත් කෙරුණු සරසවිය විශේෂ සමරු කලාපයේ මුල් කවරය මෙවර සකසා තිබුණේ සංගීතා වීරරත්නගේ රුව අඩංගු ඡායරූප යකිනි. මෙහි කවර නිර්මාණය හා ඡායාරූප දි.ග සෝමපාල මහතා අතින් සිදුකර තිබිණි. පසුකවරය සරසවිය සම්මානයේ ඡායාරූපයකින් නිමවා තිබු අතර රූ රටා නිමැවුම හා විවිත්‍රකරණය සුජීවන් පි‍්‍රයනන්දන අතින් සිදුවිය. ඒ.ඩී. රන්ජිත් කුමාර මහතාගේ ප්‍රධාන සංස්කරණයෙන් නිකුත් වූ 21 වන සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් නිකුත් කෙරුණු විශේෂ කලාපය මෙවර වෙන්කර තිබුණේ සෙනෙහසින් බැඳුණු රීදී තිරයේ පෙම්වතුන් වෙනුවෙනි. හතළිස් හයවියැති සිංහල සිනමා වංශකතාවේ එදා මෙදා තුර සෙනෙහසින් බැඳි රිදී තිරය සැරසූ සුපෙම් නළු නිළි පුරාණය මෙවර සැලසුම් කොට සංස්කරණය කළේ අනුර බණ්ඩාර රාජගුරු මහතාය.

22 වැනි සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් නිකුත් වූ විශේෂ සමරු කලාපය දිල්හානි අශෝකමාලාගේ ඡායාරූපයකින් මුල් කවරය හැඩවී තිබූ අතර පසු කවරය විජය කුමාරතුංගයන්ගේ ඡායාරූපයකින් නිර්මාණය විය. කවරයේ ඡායාරූප හා කවර නිර්මාණය සිසිර විජේතුංගයන් අතින් නිර්මාණය විය. හද රැඳී තිර රූ ලෙස නම් කර තිබූ එම විශේෂ සමරු කලාපය ප්‍රධාන සංස්කාරක ලෙසින් ඒ. ඩී. රන්ජිත් කුමාර මහතා කටයුතු කළ අතර එහි සැලසුම හා සංස්කරණය අනුර බණ්ඩාර රාජගුරු මහතා අතින් සිදුවිය. මෙහි රූ රටා නිමැවුම් හා විචිත්‍රකරණය කපිල උභයසේන මහත අතින් සිදුවිණි.

23 වැනි සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් නිකුත් කරනු ලැබූ සරසවිය විශේෂ සමරු කලාපය සරසවිය කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාගේ සංස්කරණයෙන් නිකුත්විය. මෙතැන් පටන් මෙම විශේෂ කලාපය සලරූ සරණිය ලෙස නම් කෙරුණු අතර එහි මුල්කවරය මෙවර අලංකාර කර තිබුණේ නිල්මිණී තෙන්නකෝන්ගේ ඡායාරූපයකිනි, පසු කවරය වෙළඳ දැන්වීමක් සඳහා වෙන්ව තිබූ අතර මෙම විශේෂ සමරු කලාපයේ සැලසුම හා රූරටා නිම වී තිබුණේ ගීෂා මුණසිංහ අතිනි.

24 වැනි සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් නිකුත් කෙරුණු සල රූ සරණිය තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතාගේ සංස්කරණයෙන් යුතුව එළි දැක්විය. ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහ විසින් ගන්නා ලද අනුෂා සොනාලි මහත්මියගේ ඡායාරූපයකින් එහි මුල් කවරය නිර්මාණය වී තිබූ අතර පසුකවරය වෙළඳ දැන්වීමක් වෙනුවෙන් වෙන් වී තිබිණි. සලරූ සරණිය සඳහා මෙවර ද සැලසුමෙන් හා රූ රටාවෙන් දායක වී තිබුණේ ගීෂා මුණසිංහය.

25 වැනි සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් නිකුත් වූ සල රූ සරණිය මුල්කවරය ඡායාරූප ශිල්පී දයාන් විතාරණ විසින් ගන්නා ලද රුවන්ති මංගලාගේ ඡායාරූපයකින් එළි දක්වා තිබූ අතර 26 වැනි සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් නිකුත් කරනු ලැබූ සලරූ සරණිය අපේ සිනමාවේ විශ්ව ප්‍රසාදිනියෝ වූ අනෝජා වීරසිංහ, මාලිනී ෆොන්සේකා, නීටා ප්‍රනාන්දු එක්ව ගත් ඡයාරූපයකින් හැඩකර තිබුණි. එම ඡායාරූපය ද රැගෙන තිබුණේ දයාන් විතාරණ විසිනි. එම කලාප දෙකේම පසුකවර දැන්වීම් සඳහන් වෙන් කර තිබිණි. මෙම කලාප දෙක ද සංස්කරණ කර තිබුණේ තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා වන අතර එහිද සැලසුම් හා රූ රටා නිර්මාණය කර තිබුණේ ගීෂා මූණසිංහය.

අනුර බණ්ඩාර රාජගුªරු මහතාගේ ප්‍රධාන සංස්කරණයෙන් මුද්‍රණය කරන ලද 27 වන සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් නිර්මිත සලරූ සරණිය මුල්කවරය හැඩ වූයේ කාංචනා මෙන්ඩිස්, රොෂාන් පිලපිටිය ගේ ඡායාරූපයකිනි. එම ඡායාරූපය ගෙන තිබුණේ ටෙනිසන් එදිරිසිංහ විසිනි. එහි පසු කවරය දැන්වීමක් සඳහා වෙන් කර තිබූ අතර නළු නිළියන්ගේ මනබඳීන ඡායාරූප එකතුවකින් හා එතෙක් සරසවිය සම්මානය දිනූ හොඳම නළුවන් නිළියන් තමන් සම්මානය දිනූ චිත්‍රපටය හා එහි චරිතය ගැන මෙහිදී ලිපි මාලාවක් මඟින් කරුණු අනාවරණය කොට තිබිණි.

අරුණ ගුණරත්න, දර්ශන ගුණරත්නගේ සංස්කරණයෙන් එළිදුටු සල රූ සරණිය රූ රටාවන්ගෙන් හා පිටු සැකසූමෙන් අලංකාරය කරනු ලැබුවේ කපිල උභයසේන විසිනි.

ගෙවුණු 27 වසරක හොඳම චිත්‍රපට පිළිබඳ සරසවිය සම්මාන උලෙළේ තොරතුරු ඇතුළත්ව සංස්කරණය කරන ලද 28වන සරසවිය සම්මාන උලෙළේ සල රූ සරණිය සරසවිය කර්තෘ දීප්ති ෆොන්සේකාගේ ප්‍රධාන සංස්කරණයෙන් එළිදැක්විණි. සරසවිය සම්මානය හා සරසවිය සම්මානය දිනූ හොඳම චිත්‍රපට ඡායාරූප එකතුවක් සමඟ නිර්මාණය වූ පිට කවරයකින් නිකුත් වූ සලරූ සරණීය විශේෂ කලාපයේ පසුකවරය දැන්වීමක් සඳහා වෙන් වී තිබිණි. මෙහි කවරයේ ග්‍රැෆික් නිර්මාණය බන්දුල ජිනේද්‍රසිංහ අතින් නිර්මාණය විය. කපිල උභයසේනගේ රූ රටා සහ පිටු සැකසූමෙන් අලංකාර වූ මෙම විශේෂ කලාපය සුනිල් හොරේෂස්, චන්දන දයාසිරිවර්ධනගේ සංස්කරණයෙන්් නිකුත් වී තිබිණි.

29 වන සරසවිය සම්මාන උලෙළ සඳහා වසර 28ක් පුරාවට හොඳම අධ්‍යක්ෂණය සඳහා සරසවිය සම්මානය දිනු සිනමාකරුවන් පිළිබඳ හා 1947 වසරේ සිට 2023 වසර දක්වා තිරගත වූ සිංහල චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු නාමාවලියක් වෙනුවෙන් සල රූ සරණිය වෙන් කොට තිබිණි. දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල දෙපළගේ ප්‍රධාන සංස්කරණයෙන් හා කපිල උභයසේනගේ පිටු සැකසුමෙන් ද චන්දන දයාසිරිවර්ධනගේ විචිත්‍රකරණ නිර්මාණ සැලසුමෙන් හා සංස්කරණයෙන් මෙවර සලරූ සරණිය මුද්‍රණය කෙරිණි.

29 වැනි සරසවිය සම්මාන උලෙළ සඳහා විශේෂිත සරසවිය සමරු කලාපය සම්මානනීය සිනමාවේදියෝ සඳහා වෙන්කර තිබූ අතර එහි කවරය සරසවිය සම්මානය දිනූු හොඳම සිනමාවේදීන්ගේ ඡායාරූපවලින් හා හොඳම චිත්‍රපට ලෙස සරසවිය සම්මානයට පාත්‍ර වූ ගම්පෙරළිය හා සුදු සෙවණැලි චිත්‍රපට රූප රාමු දෙකක් සමඟින් සරසවිය සම්මානය ඇතුව නිර්මාණය කොට තිබිණි. එම විශේෂ කලාපයේ කවර සැකසුම හා පරිගණක ග්‍රැෆික් නිර්මාණය කර තිබුණේ ධනංජය පි‍්‍රයලාල් විසින්.

සවිස්තරාත්මකව සරසවිය සම්මාන උලෙළවල එතෙක් පැවති තොරතුරු හා නළු නිළියන්ගේ ඡායාරූප එකතුවක් සමඟින් නිර්මාණය කරන ලද 30 වැනි සරසවිය සම්මාන උලෙළේ සල රූ සරණිය පිට කවරය සරසවිය සම්මානය හා චිත්‍රපට රූප රාමු සමඟින් කොම්පියුටර් ග්‍රැෆික් නිර්මාණයක් ලෙසින් හැඩකර තිබිණි. එය නිර්මාණය කොට තිබුණේ ද වීඩියෝ ටීම් ආයතනයයි. එහි පසු කවරය සරසවිය පුවත්පතේ පසුගිය කවර වලින් හැඩ වී තිබිණි. සුනිල් මිහිඳුකුලගේ ප්‍රධාන සංස්කරණයෙන් එළිදුටු සලරූ සරණිය නුවන් නයනජිත්, දර්ශන ගුණරත්නගේ සංස්කරණයෙන් නිකුත් විය. කපිල උභයසේනගේ පිටුසැකසුමෙන් මෙය විචිත්‍ර කොට තිබිණි.

31 වැනි සරසවිය සම්මාන උලෙළ සඳහා එළිදැක්වූ සල රූ සරණිය. තිස් වසරක් පුරා සරසවිය සම්මානලාභීන් වෙනුවෙන් හා නළු නිළියන්ගේ ඡායාරූප එකතුවක් වෙනුවෙන් වෙන්කොට තිබිණි. එතෙක් තිස් වසරක් පුරාවට සරසවිය සම්මානලාභීන් හා ඔවුන්ගේ ජීවන තොරතුරු කලාක්ෂේත්‍රයේ තතු ඡායාරූප සමඟ ඉදිරිපත් කොට තිබුණි. චිත්‍රපට රූප රාමු හා සරසවිය සම්මානයෙන් නිර්මාණය වූ පිටකවරයකින් අලංකෘත වූ මෙම සඟරාවේ පසුකවරය සරසවිය පුවත්පත්වල කවරවලින් අලංකාර කර තිබිණි. මෙම කවරය නිර්මාණය කර තිබුණේ ද වීඩියෝ ටීම් ආයතනයයි. සරසවිය කර්තෘ ගාමිණී සමරසිංහගේ සංස්කරණයෙන් හා නුවන් නයනජිත් කුමාරගේ, අසංක දේවමිත්‍ර පෙරේරා සහාය සංස්කරණයෙන් එළිදුටු සල රූ සරණිය කපිල උභයසේනගේ පිටු සැකසුමෙන් විචිත්‍රවත් විය.

33 වැනි සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් නිකුත් කරනු ලැබූ සල රූ සරණිය දශක හතක රූ සරණිය ලෙස නම්කොට තිබිණි. එතෙක් පැවති සරසවිය සම්මාන උලෙළ වල සවිස්තරාත්මක විස්තරයන් හා නළු නිළියන්ගේ වෛවර්ණ ඡායාරූපයන්ගෙන් සමන්විත වූ සල රූ සරණින් මෙවර ආචාර්ය නුවන් නයන්ජිත් මහතා අතින් සංස්කරණය විය.

සරසවිය සම්මානයෙන් එහි මුල් කවරේ හැඩ වී තිබූ අතර පසු කවරය දැන්වීමක් සඳහා වෙන්කර තිබිණි. දයාන් හේවාවසම්ගේ පිටු සැලසුම් නිර්මාණයෙන් හා මනෝඡ් නිශාන්තගේ පිටු සැකසුමෙන් විචිත්‍රවත් වී තිබු සරසවිය සල රූ සරණිය පිටු 199 කින් සමන්විත විය.

2018 වසරේ පැවති 34 වැනි සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් සම්පාදනය කළ සල රූ සරණිය. විශේෂ සමරු කලාපය සම්පූර්ණයෙන් වෙන්කොට තිබුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වෙනුවෙනි. ලෙස්ටර් ළයාන්විතය ලෙස නම්කර තිබූ එම විශේෂ සමරු කලාපය ආචාර්ය නුවන් නයනජිත් කුමාර හා හේමාලි විජේරත්න විසින් සංස්කරණය කරනු ලැබූහ. පිටු 199කින් සමන්විත වූ මෙම විශේෂ සමරු කලාපය චාමර කවිරත්නගේ පිටු සැලසුමෙන් හා නිර්මාණකරණයෙන් විචිත්‍රවත් විය.

චන්දන දයාසිරිවර්ධන

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT