නිවස විදෙස් සිනමා මාරාන්තික පළිගැනීම

මාරාන්තික පළිගැනීම

DEATH WISH

by Test User
March 7, 2024 12:34 am 0 comment

රයන් ගාර්ෆිල්ඩ් 1939 වසරේ ජනවාරි 26 වනදා ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඉපදුණු අතර, ඔහුගේ වෘත්තිය ලෙස සඳහන් වන්නේ නවකථාකරුවකු හා චිත්‍රපට තිර නාටක රචකයකු ලෙසටය. ඔහුගේ මුල්ම නවකථාව ඔහු පළකළේ 1960 වර්ෂයේ ය. එය නම් කරන ලද්දේ ‘රේන්ජ් ජස්ටිස්’ නමිනි. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 18 ක් පමණ විය. ඔහුට අවුරුදු 50 ක් ලබන විට, ඔහු නවකථා 60 ක් පමණ පළකර තිබුණි.

ඔහු මෙම ලිපියට එකතු වන හේතුව වන්නේ ඔහු 1972 වසරේ පළ කළ නවකථාවක් නිසාය. ඒ ‘ඩෙත් විෂ්’ය. අද ලිපියට පාත්‍රවන චිත්‍රපටය බිහිවන්නේ මෙම නවකථාව වූ ‘ඩෙත් විෂ්’ තුළින්ය.

‘ඩිනෝ ඩී ලොරෙන්ටීස්’ යනු ඉතාලියෙන්, ඇමරිකාවට සංක්‍රමණය වී ඇමරිකන් පුරවැසිභාවය ලබා ගත් ඉතාලි හා ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකවරයකි. ‘ඩිනෝ ඩී ලොරෙන්ටීස්’ ගේ නම එකවරම මතකයට එන්නේ ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට කීපයක්ම ලංකාවේ ප්‍රදර්ශනය කර, අතී සාර්ථක වූ නිසා විය හැක.

කර්ක් ඩග්ලස්, ඇන්තනි කුවින් රඟපෑ, මාරියෝ කැමරිනි අධ්‍යක්ෂණය කළ ‘යුලීසස්'(1954), රිචඩ් හැරිස්, ස්ටෙෆන් බොයිඩ්, ජෝර්ජ් සී ස්කොට් සහ ජෝන් හස්ටන් රඟපා අධ්‍යක්ෂණය කළ, ‘ද බයිබල් ඉන් ද බිගිනින්’ (1965), රැෆ් වැලොන් , මයික් කෝනර්ස්, රඟපෑ හෙන්රි ලෙවින් අධ්‍යක්ෂණය කළ ‘කිස් ද ගර්ල් ඇන්ඩ් මේක් දෙම් ඩයි’ (1966), බර්ට් රෙ⁣නොල්ඩ්, ෆර්නෑන්ඩු රේ, රඟපෑ සර්ජියෝ කොර්බුසි අධ්‍යක්ෂණය කළ ‘නවා ජෝ ජෝ'(1966), පැට්‍්‍රක් ඕ නීල් රඟපෑ ඇල්බර්ටෝ ලටුවාඩා රඟපෑ ‘මැච්ලස්’,(1966) ජෝන් පිලිප් ලෝ, මයිකල් පිකෝලි, රඟපෑ මාරියෝ බාවා අධ්‍යක්ෂණය කළ ‘ඩේන්ජර් ඩයබොලික්’, (1968) ‘ජේන් ෆොන්ඩා, ජෝන් පිලිප් ලෝ රඟපෑ රොජර් වාඩිම් අධ්‍යක්ෂණය කළ ‘බාබරැල්ලා'(1968), ජේම්ස් ගානර් රඟපෑ වික් මොරෝ අධ්‍යක්ෂණය කළ ‘අ මෑන් කෝල් ස්ලෙඩ්ජ්'(1970), රොඩ් ස්ටෙයිගර්, ක්‍රිස්ටෝපර් ප්ලමර්, ඕසන් වේල්ස් රඟපෑ සෙර්ජි බොන්ඩර්චක් අධ්‍යක්ෂණය කළ ‘වෝටර්ලූ'(1970), බෙකිම් ෆෙම්යූ, රිචඩ් ක්‍රීන්නා,චක් කෝනොර්ස් රඟපෑ බර්ට් කෙනඩි අධ්‍යක්ෂණය කළ ‘ද ඩෙසර්ටර්’ (1970), චාර්ල්ස් බ්‍රොන්සන්, ලිනෝ වෙන්තූරා රඟපෑ ටෙරන්ස් යංග් අධ්‍යක්ෂණය කළ ‘ද වලාචි පේපර්ස්’ (1972), ජේම්ස් මේසන් රඟපෑ රිචඩ් ෆ්ලෙචර් අධ්‍යක්ෂණය කළ ‘මැන්ඩිගෝ'(1975), ජෙෆ් බ්‍රිජර්ස් රඟපෑ ජෝන් ගුයිලර්මෙන් අධ්‍යක්ෂණය කළ ‘කිංකොං’ (1976) වැනි චිත්‍රපට එලෙස ලංකාව තුළ ප්‍රදර්ශනය කර ජනප්‍රිය වූ චිත්‍රපටයන්ය. ඩිනෝ ඩී ලොරෙන්ටීස් 1946 සිට 2007 දක්වා චිත්‍රපට 138ක් නිෂ්පාදනය කර ඇත. එලෙසම ඔහු ඇමරිකානු ඇකඩමි සම්මානය එක් වරක් දිනා ඇත. ඒ 1958 ඔහු නිෂ්පාදනය කළ ‘ලා ස්ට්‍රාඩා’ චිත්‍රපටය වෙනුවෙනි. ඒ හොඳම විදේශීය චිත්‍රපටය සඳහා වූ සම්මානය යි. මේ ලිපියට අඩංගු වන ‘ඩෙත් විෂ්’ ඔහුගේ 73 න් වෙනි චිත්‍රපට නිෂ්පාදනය විය.

‘වෙන්ඩල් මේයස්’, ඇමරිකාවේ මිසෝරි ප්‍රදේශයේ 1919 ජුලි 21 වන දින ඉපදුණු අතර, වෘත්තිය වශයෙන් ඔහු කළේ චිත්‍රපට තිර රචන ලිවීමය. ඔහුගේ නම කෙළින්ම මා මතකය⁣ට එනුයේ, ඔහු ‘ ද පොසිඩන් ඇඩ්වෙන්චර්’ චිත්‍රපටයේ තිර රචකයා නිසාය. එලෙසම ෆ්‍රෑන්ක් සිනාට්‍රා, ට්‍රෙවෝ හොවාඩ් රඟපෑ මාර්ක් රොබ්සන් අධ්‍යක්ෂණය කළ ‘වොන් රයන් එක්ස්ප්‍රස්’,(1965), විලියම් හෝල්ඩන්, අර්නස්ට් බොග්නින් රඟපෑ ඩැනියල් මාන් අධ්‍යක්ෂණය කළ ‘ද රිවෙන්ජර්ස්’,(1972) ග්‍රෙගරි පෙක්, රොබට් ෆෝස්ටර් රඟපෑ රොබට් මුලිගන් අධ්‍යක්ෂණය කළ ‘ ද ස්ටොකින්ග් මූන්’, (1968) වැනි චිත්‍රපටවලද ඔහු තිරනාටක ලීවේය. නිෂ්පාදක ඩිනෝ ඩී ලොරෙන්ටීස් තම චිත්‍රපටය වූ ‘ඩෙත් විෂ්’ හී තිරනාටකය ලිවීමට භාර කළේ මේ ‘වෙන්ඩල් මේසිස්’ ටය.

‘මයිකල් විනර්’ යන නම සිහිපත් වන්නේ ඔහු 1971 වසරේදී අධ්‍යක්ෂණය කළ, බර්ට් ලැන්කැස්ටර්,රොබට් රයන්, ලී ජේ කොබ්, රොබට් ඩුවාල් රඟපෑ ලංකාවේද තිර ගත කළ ‘ලෝ මෑන්’ චිත්‍රපටය නිසාය. එලෙසම ඔහු අධ්‍යක්ෂණය කළ ,මාලන් බ්‍රැන්ඩෝ රඟපෑ ‘ද නයිට් කොමර්ස්’ (1971), චාර්ල්ස් බ්‍රොන්සන්, ජැක් පැලන්ස් රඟපෑ ‘චටෝස් ලෑන්ඩ්’,(1972), චාර්ල්ස් බ්‍රොන්සන් රඟපෑ ‘ද මිකෑනික්'(1972) බර්ට් ලැන්කැස්ටර්, ඇලන් ඩෙලොන් රඟපෑ ‘ස්කෝපියෝ’ (1973), චාර්ල්ස් බ්‍රොන්සන්, මාර්ටින් බල්සාම් රඟපැ ‘ද ස්ටෝන් කිලර්'(1972) චිත්‍රපටද ලොව ජනප්‍රිය වී තිබුණි. ඒවා ලංකාවේද ප්‍රදර්ශනය කර සාර්ථක ප්‍රතිචාරයන් ලැබූ චිත්‍රපටයන් ය. ඔහු 1960 සිට 1999 දක්වා චිත්‍රපට 34 ක් අධ්‍යක්ෂණය කර තිබුණි.

නිෂ්පාදක ඩිනෝ ඩී ලොරෙන්ටීස්, ‘ඩෙත් විෂ්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට තෝරා ගත්තේ මේ මයිකල් විනර් වය.

මයිකල් විනර් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහු ඉපදුණේ ලන්ඩන් නුවර හැම්ප්ස්ටඩ් හී ය. ඒ 1935 ඔක්තෝබර් 30 වන දිනය.

ඔහු වෘත්තීන් කීපයකටම අයත් වූවෙකි. චිත්‍රපට අධ්‍යක්ෂක, චිත්‍රපට නිෂ්පාදක, තිරරචක, චිත්‍රපට සංස්කාරක, සූපවේදී ලේඛක, සහ මාධ්‍යවේදි එම වෘත්තීන් ය. ‘ඩෙත් විෂ්’ චිත්‍රපටය ලද සාර්ථකත්වය මත ඔහුට එහී ‘ෆ්‍රැන්චයිසය’ වූ ‘ඩෙත් විෂ් 2’,(1982), සහ ‘ඩෙත් විෂ් 3’,(1985), අධ්‍යක්ෂණය කිරීමට ද අවස්ථාව ලැබුණි. ‘ඩෙත් විෂ්’ චිත්‍රපටය ට යෙදු මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 3.7 , මිලියන 22 කක් කිරීමට ඔහු සමත් වූ අතර ‘ඩෙත් විෂ් 2’ චිත්‍රපටය ට යෙදූ ඇමරිකානු ඩොලර් මිලියන 8, මිලියන 29 කිරීමට ද ඔහු සමත් විය. ‘ඩෙත් විෂ් 3’, චිත්‍රපටයට යෙදු මිලියන 10 පමණක් ඔහුට කිරීමට හැකි වූයේ මිලියන 16.1 පමණි. එතනින් පසු ‘ඩෙත් විෂ්’ ෆ්‍රැන්චයිසිය දිගටම එනම් චිත්‍රපට 5 ක් දක්වා ගෙන ගියද, අවසන් චිත්‍රපට දෙක වෙනත් අයගේ නිර්මාණය න් විය.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ‘පෝල් කර්සී’, වෙනුවෙන් නළුවන් කීප දෙනෙක් ගැනම අවධානය යොමු කෙරීය. මුලින්ම එම චරිතයට ගැනීමට අදහස් කළේ ‘ජැක් ලෙමන්’ වය. ඉන්පසු ‘හෙන්රි ෆොන්ඩා’ ද අවධානයට පාත්‍ර විය. ස්ටීව් මැකුවින්, ක්ලින්ට් ඊස්ට් වුඩ්, බර්ට් ලැන්කැස්ටර්, ජෝර්ජ් සී ස්කොට්, ෆ්‍රෑන්ක් සිනට්‍රා, ලී මර්වින්, පමණක් නොව එල්විස් ප්‍රෙස්ලි ගැනද වෙන් වෙන් වශයෙන් සොයා බැලීය. එහෙත් අවසානයේ දී නිෂ්පාදන හා අධ්‍යක්ෂක නැවතුණේ චාර්ල්ස් බ්‍රොන්සන් ළඟය. ඒ ඔහු රඟපෑ ‘ද මිකෑනික්’ ‘ස්කෝපියෝ’ හා ‘ද ස්ටෝන් කිලර්’ චිත්‍රපට දුටු පසුවය. ක්‍රියාදාම, බටහිර ගොපලු, හා යුද චිත්‍රපට යන ත්‍රිත්වය තුළ එකිනෙකට වෙනස් චරිතවලට පණ දිය හැකි මුල් පෙළේ නළුවන් අතර ඉහළින් වැජඹුණු නළුවෙකි චාර්ල්ස් බ්‍රොන්සන්. ‘ද මිකැනික්’ වැනි ක්‍රියාදාම චිත්‍රපට, හා ‘වන්ස් අපෝන් අ ටයිම් ඉන්ද වෙස්ට්’ වැනි බටහිර ගොපලු, මෙන්ම ‘ද ඩර්ටි ඩසන්’ වැනි යුදමය චිත්‍රපට එයට කදිම උදාහරණයකි.

චාර්ල්ස් බ්‍රොන්සන් තම සිනමා රංගන ජීවිතය ආරම්භ කළේ 1951 වසරේදීය. ඒ වන විට ඔහුට වයස 30 ක් පමණ විය. 1951 දී ඔහු චිත්‍රපට 3 ක පෙනෙන නොපෙනෙන චරිත කළේය. 1952 දී ඔහුට සැලකිය යුතු චරිතයක් ලැබුණේ ජෝර්ජ් කුකෝර් අධ්‍යක්ෂණය කළ ‘පැට් ඇන්ඩ් මයික්’ චිත්‍රපටයෙන් ය. එතැන් සිට 1960 වන තෙක් ඔහු චිත්‍රපට 30 ක පමණ රඟපෑවද, ඔහුට කැපී පෙනෙන චරිතයක් ලැබු⁣ණේ 1960 වසරේ තිරගත වූ ජෝන් ස්ටර්ජර්ස් අධ්‍යක්ෂණය කළ ‘ද මැග්නිෆිෂන්ට් සෙවන්’ චිත්‍රපටයේය. එහීද ඔහු ප්‍රධනතම චරිතය නොවූවද එම ප්‍රධාන චරිත 7 න් එක් චරිතයක් වීමට ඔහුට හැකි විය. යූල් බ්‍රයිනර්, එලි වොල්ච්, ස්ටීව් මැකුවීන්, රොබට් වෝගන්, හෝස්ට් බුචෝල්ස්, වැනි නළුවන් හා කරට කර රඟපෑමට ඔහුට හැකිවිය.

1969 වන තෙක් ඔහු බොහෝ චිත්‍රපටවල රඟපෑවද ඒ සියල්ලේම ඔහුට රඟපෑමට සිදුවූයේ දෙවනි, තෙවනි හෝ හතර වෙනි චරිත ය.’ ද ග්‍රේට් එස්කේප්’ හී ස්ටීවි මැකුවින්, ජේම්ස් ගානර් සමඟද, ‘බැටල් ඔෆ් ද බල්ග්’ හී හෙන්රි ෆොන්ඩා, රොබට් ෂෝ, ටෙලි සවාලස් සමඟද, ‘ද ඩර්ටි ඩසන්’ හී ලී මර්වින්, අර්නස්ට් බොගිනි හා ජිම් බ්‍රවුන් සමඟද, ‘විලා රයිඩ්ස්’ හී යූල් බ්‍රයිනර් හා රොබට් මිචම් සමඟද, ‘වන්ස් අපෝන් අ ටයිම් ඉන් ද වෙස්ට්’ හී හෙන්රි ෆොන්ඩා හා ජේසන් රොබඩ්ස් සමඟද,

‘යූ කාන්ට් වින් දෙම් ඕල්’ හී ටෝනි කර්ටිස් සමඟද රඟපෑවේය.

1969 තිරගත වූ ‘ටුවින්කි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට ඔහුට අවස්ථාව ලැබුණි. එය මෙතෙක් ඔහු රඟපෑ ක්‍රියාදාම, බටහිර ගොපලු හා යුදමය චිත්‍රපට වලට වඩා හාත් පසින් වෙනස්ම චරිතයක් විය. එහී ඔහුගේ චරිතය වූයේ අසභ්‍ය නවකථා ලියන ලේඛකයකු ගේ චරිතයකි. එම චරිතය අවුරුදු 40 ක පුද්ගලයකුගේ චරිතයක් වූ අතර, ඔහු ඔහුට මුණ ගැසුණු අවුරුදු 16ක පාසැල් යුවතියක් සමඟ ආදරය සම්බන්ධයක් ඇති කර ගෙන පසුව විවාහ වේ. ඉන් පසු එකී වයස් පරතරය නිසා, ඔවුනොවුන්ගේ සිතුවිලිවල ඇති පරස්පර විරෝධි බව නිසා ඇතිවන ගැටලු පිළිබඳ කියවෙන මෙම ‘ටුවින්කි’ චිත්‍රපටය අපූරු සිත්තමක් විය.

එතැනින් පසු චාර්ල්ස් බ්‍රොන්සන් එක දිගටම තනි ප්‍රධාන නළුවා ලෙස රඟපෑවේය. ‘රයිඩර් ඔන් ද ⁣රේන්'(1970), ‘වයලන්ට් සිටි’ (1970), ‘කෝල්ඩ් ස්වේට්’ (1970), ‘සම්වන් බිහයින්ඩ් ද ඩෝ'(1971), ‘රෙඩ් සන්'(1971), ‘ද වලාචි පේපර්ස්’ (1971), ‘චටෝස් ලෑන්ඩ් (1972), ‘ද මිකැනික්’ (1972), ‘ද ස්ටෝන් කිලර් ( 1973), ‘චිනෝ’ (1973), මිස්ටර් මැජෙස්ටික් ‘(1974) එම චිත්‍රපට පෙළය. ‘ඩෙත් විෂ්” චිත්‍රපටයේ රඟපෑවේ ඉන් පසුවය.

චාර්ල්ස් බ්‍රොන්සන් 1951 සිට 1994 දක්වා චිත්‍රපට 84 ක රඟපෑවේය. ඔහුගේ අවසන් චිත්‍රපටය වූයේ 1994 තිර ගත කළ ඇලන් ඒ ගෝල්ඩ්ස්ටේන් අධ්‍යක්ෂණය කළ ‘ඩෙත් විෂ් 5, ද ෆේස් ඔෆ් ඩෙත්’,ය. එහෙත් ඔහු රූපවාහිනි චිත්‍රපටවල 1999 වන තෙක් රඟපෑවේය.

චාර්ල්ස් බ්‍රොන්සන් 2003 වසරේ අගෝ 30 වන දින මිය ගියේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 81 විය. ඔහුගේ මිය යාමට හේතු වූයේ නිව්මෝනියා වැලඳීම, අල්සෙයිමර් රෝගය ⁣සහ පෙනහළු පිළිකාව නිසා ඇතිවූ බව කියවේ. ඔහුගේ දේහය ඇමරිකාවේ වෙස්ට් වින්ඩ්සර් හී බ්‍රවුන්ස්විලේ සුසාන භූමියේ භූමදානය කෙරිණි.

‘ඩෙත් විෂ්’ නැවතත් 2018 වසරේදී ප්‍රති නිර්මාණ විය. එවිට චාර්ල්ස් බ්‍රොන්සන් ගේ චරිතය රඟපෑවේ ඇමරිකානු නළුවෙකු වූ ‘බෲස් විලිස්’ය. මෙම ප්‍රතිනිර්මාණික චිත්‍රපටය නිෂ්පාදනය කළේ රොජර් බර්න්බාම් විසිනි. එලි රෝත් අධ්‍යක්ෂක වරයා විය. ජෝ කනාහාර්න් තිර රචනය ලිවීය. මෙයටද පාදක වූයේ බ්‍රයන් ගාර්ෆීල්ඩ් ⁣විසින් ලියූ නවකථාව හා මයිකල් විනර් විසින් අධ්‍යක්ෂණය කළ ‘ ඩෙත් විෂ්’ චිත්‍රපටයම වූවද, එහී වෙනස් කම් කීපයක් සිදු කර තිබුණි. 1974 චිත්‍රපටයේ චාර්ල්ස් බ්‍රොන්සන් රඟපෑ පෝල් කර්සි ගෙ චරිතයේ වෘත්තිය ගොඩනැගිලි සැලසුම් කරුවෙක් වූ අතර, 2018 චිත්‍රපටයේ එම චරිතයේ ඔහු වෛද්‍යවරයෙකි. කථාව තුළද, අන්තර්ගතනය ට හානි නොවන අන්දමට යම් යම් වෙනස් කම් සිදු කර තිබුණි.

බෲස් විලිස් රඟපෑ ‘ඩෙත් විෂ්” චිත්‍රපටය එතරම් සාර්ථකවී තිබුණේ නැත. මුලින් සඳහන් කෙරූ පරිදී, 1974 වර්ෂයේ චාර්ල්ස් බ්‍රොන්සන් රඟපෑ ‘ඩෙත් විෂ්’ චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 3.7 ක වියදමට, මිලියන 22 කක ආදායමක් ලැබුණද, 2018 වර්ෂයේ බෲස් ලී රඟපෑ ඩෙත් විෂ් චිත්‍රපටයෙ ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ඇස්තිමේන්තු වට, ඔවුන් ලබා ගත්තේ ඩොලර් මිලියන 49.6 ක් පමණි.

‘ඩෙත් විෂ්’ චිත්‍රපටය පටන් ගන්නෙ මුහුදු වෙරළක දර්ශනයකිනි. එහී පෝල් කර්සි හා ඔහුගේ බිරිඳ ජොඅන්නා මුහුදේ නාන දර්ශනයකුත්, පෝල් රැල්ලෙන් වැල්ලට එන තම බිරිඳගේ විවිධ දර්ශන තම කැමරාවට හසුකර ගන්නා අයුරුත්, ඔවුන් දෙදෙනා වැල්ලේ සිප වැලඳ ගන්නා ආකාරයෙනුත් පෙන්වන්නට අදහස් කරනුයේ මැදිවියට එළැඹුණද, ඔවුන් ඉතාමත් ආදරයෙන් ජීවත් වන බවක් ය.

වෘත්තිමය ලෙස පෝල් ගොඩනැගිලි හා ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ අතර ඔහු විශාල සමාගමක රැකියාව කරන බවක් ඇඟවෙයි.

චිත්‍රපටය නියම මාර්ගයකට අවතීර්ණ වනුයේ පෝල්ගේ බිරිඳ ජොඅන්නා හා ඔවුන්ගේ එකම විවාහ පත් වූ දියණිය කැරොල් සුපිරි වෙළඳ සැලකට ගොස් එන අතර මග ඔවුන් පසු පස ඔවුනට නොදැනෙන්නට රස්තියාදු කාර තරුණයන් තිදෙනෙක් (ඔවුන්ව හඳුන්වන්නේ ‘මගර්ස්’ හෙවත් ‘මුග්ධයන්’ ලෙසටය. මුග්ධයන් යනු පිහි හා ⁣තුවක්කු පෙන්වා බලෙන් මුදල් පැහැර ගන්නන් විය හැකිය. නොඑසේ නම් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහී වූවන් විය හැකිය. එසේ නැත්නම්, ස්ත්‍රී දූෂකයන්, මිනී මරුවන් හෝ ඔය සියලු සංකල්නයෙන් සපිරු තරුණ අපරාධකරුවන් විය හැකිය). ජොඅන්නා හා කැරොල් පිටුපසින් පැමිණියේ මෙවන් අරමුණෙන් සපිරුණු මුග්ධයන්ය.

ඔවුන් දෙදෙනා තම නිවසට ඇතුල් වූ පසු, මෙම මුග්ධයන් තිදෙනාද එම නිවසට ඇතුල් විය. ඉන්පසු ඔවුන් ජොඅන්නාගෙන් මුදල් ඉල්ලුවද, ඇයගේ පසුම්බියේ එම අවස්ථාවේ තිබුණේ ඩොලර් 7 ක් පමණී. එය ඇසු පසු ඔවුන් කළේ ඇයට දරුණු ලෙස පහර දීමය. තවත් අයෙක් කැරොල්ව පෙරළා ගෙන අමානුෂික ලෙස දූෂණය ක⁣ළේය. පැයකටත් අඩු කාලයක් තුළදී ඔවුන් මේ සියල්ලම නිම කර, නිවසින් පැන ගියහ. අමානුෂික දූෂණයට ලක්වූ කැරොල් ඉතාමත් අපහසුවෙන් නිවසේ දුරකථනය ළඟට ගොස් මෙම සිදුවීම පොලිසියට දැන්වූවාය. ⁣පොලිසිය පැමිණ මේ බව කාර්යාලයේ සිටි පෝල්ට දන්වා ජොඅන්නාව සහ කැරොල් ව රෝහලට ගෙන ගියහ. දරුණු ලෙස තුවාල ලැබූ ජොඅන්නා රෝහලේදී මිය ගියාය. කැරොල් කෝමා තත්වයට පත්විය.

තම බිරිඳගෙ මරණයත්, තම දියණියගේ කෝමා තත්වයත් නිසා පෝල් දරුණු ලෙස මානසීකව කඩා වැටුණි.

මේ අතර පෝල් රැකියාව කළ ආයාතනය ඔහු ව ඇරිසෝනා හී ටක්සන් වෙත යවන්නේ නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් ඇති සේවාදායකයෙක වන ‘ඇමෙස් ජෙයින්චිල්’ ව හමුවීමටය. ඇමෙස්, පොල්ට ඔහුගේ තුවක්කු සමාජ ශාලාවේ භෝජන සංග්‍රහයට ආරාධනා කරයි. එහිදි පෝල් හොඳට ඉලක්කය බලා වෙඩ් තැබීමට හැකි දක්ෂයෙක් බව ඇමෙස් දැන ගනී.

ගොඩනැගිලි සැලසුම්කරුවකුට මෙතරම් දක්ෂ ලෙස ඉලක්කයට වෙඩි තැබීමට හැකි වන්නේ කෙසේදැයි ඇමෙස්, පෝල් ගෙන් විමසූ විට පෝල් කීවේ ඔහුගේ පියා දක්ෂ දඩයක්කාරයෙකු බවත්, මෙම ඉලක්කයට වෙඩි තැබීමට ඔහුට හැකි වූයේ ඒ නිසා බවය.

පෝල්, ඇමේස්ට ඔහුගේ නේවාසික නිවාස සංවර්ධනය සැලසුම් කිරීමට උපකාර කළ අතර, ඇමේස්, පෝල් ගැන දැඩි ලෙස පැහැදුණි. නියමිත රාජකාරිය නිමවා, ඇමේස් පෝල්ව නැවත ටක්සන් ගුවන් තොටුපොළට හැරලවන විට ඔහු, පෝල් ට ත්‍යාගයක්, ඔහුගේ පරික්ෂා කළ මලු වල තබන්නට විය. එය පෝල් නිවසට ගොස් විවෘත කර බැලූ වි⁣ට එහී තිබුණේ අගනා, රිවෝල්වරයක් හා පතොරම් පෙට්ටියකි.

මේ අතර පෝල්ගේ දියණිය කැරොල් කෝමා තත්වයෙන් මිදුණද, ඇයගේ මව වූ ජොඅන්නාගේ මරණය ඇයගේ දෑස් ඉදිරියේදී සිදුවීම, හා කැරොල්ව දරුණු ලෙස දූෂණය කිරීම නිසා ඇය තද බල මානසීක අබාධයකට ගොදුරු වී තිබුණි. එය කෙතරම් ඇයට බලපෑවද කිවහොත් ඇය ඇයගේ සැමියා වූ ජැක් සමඟ කථා කිරීම පවා ප්‍රතික්ෂේප කර තිබුණි. පෝල්ගේ ආශිර්වාදය ඇතුව, ජැක්, කැරොල්ව මානසීක පුනරුත්ථාපන ආයතනයකට භාර දෙන්නට විය.

දිනක් රාත්‍රියේ නගරයේ පාළු පාරක පෝල් ඇවිදින විට, එක් රස්තියාදු කාර මුග්ධයෙක් පැමිණ පිහියක් පෙන්වා පෝල්ව මංකොල්ල කෑමට සැරසීය. පෝල්, ඇමේස් තෑගි දුන් තුවක්කුවද සඟවා ගෙනය රාත්‍රියේ ඇවිදීමට ගියේ. ඔහු වහා තුවක්කුව ගෙන මෙම මුග්ධයාට මාරන්තික ලෙස වෙඩි තබන්නට විය. මෙවන් මුග්ධයන් ය ඔහුගේ බිරිඳව මරා දමා, දියණියව ඔත්පළ කළේ. මේ ඔහු ගේ ප්‍රථම මිනීමැරුම විය හැක. මිනිය මරා එතනම දමා ඔහු නිවසට ගියද, මිනිහෙක්ව මැරවා කියා එන පීඩනයෙන් ගැලවීමට ඔහුට එදින රාත්‍රියේ නොහැකි විය. ඔහු එදින නිවසට පැමිණි සැණින්ම වමනය කළේ ඒ නිසා විය හැක.

ඉන්පසු පෝල් දිගටම නගරයේ අපරාධ කරන මෙවන් මුග්ධයන් සොයා ගොස් වෙඩි තබා මරා දැමීය.

එක දිගට මෙලෙස අපරාධවලට සම්බන්ධ මුග්ධයන් ව කවුරු හෝ මරා දැමීම පොලිසියට ප්‍රශ්නයක් විය. ඔවුන් මෙම මිනිමරුවා සොයා පරීක්ෂණ ආරම්භ කරන්නට විය. ඔවුන් මුලින්ම සෙව්වේ මෑතකදී මුග්ධයන් ⁣අතින් මිය ගිය සිදුවීම් තිබෙනවාද කියාය. ආසන්නම සිදුවීම වී තිබුණේ පෝල්ගේ බිරිඳ ජොඅන්නාගේ මරණයයි. පොලිසිය පෝල් නොමැති අවස්ථාවක පෝල්ගේ නිවස කඩා පරීක්ෂා කළද වටිනා සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි විය. එහෙත් ඔවුන් පෝල් පසු පස පන්නා ඔහුව අත් අඩංගුවට ගැනීමට සැරසුණද, දිස්ත්‍රික් නීතිඥවරයා හා පොලිස් කොමසාරිස් වරයා එයට එකඟ වූයේ නැත. ඔවුන් පෙන්වා දුන්නේ පෝල්ගේ මේ සුපරීක්ෂාකාරි ක්‍රියාව නිසා නගරයේ අපරාධ විශාල ලෙස අඩු වී ඇති බවය.

පොලිසිය මොන තරම් පෝල් ගෙ පසු පස එලෙව්වාද, පෝල් ඔහුගේ පළිගැනීම් නතර කළේ නැත. ඔහු අහුවන අහුවන මුග්ධයන් ට වෙඩි තියා මරා දමන්නට විය. එය පොලිසියට නතර කිරීමටද නොහැකි විය. මේ මරන මුග්ධයන් අතර, තමාගේ බිරිඳව මරා දමා දියණියව ඔත්පල කළ මුග්ධයන්ද ඇති බවක් පෝල් සිතීය. එහෙයින්ය ඔහු මුග්ධයන් ව දිගටම මරා දැමුවේ. අවසානයේ පොලිසියට හැකි වූයේ පෝල් ගේ තුවක්කුව පමණක් පොලිස් භාරයට ගැනීමත්, ඔහුගේ ආයතනයට දන්වා ඔහු ගේ රැකියා ස්ථානය චිකාගෝ නුවරට මාරු කිරීමත් පමණි. පෝල් සතුටින් චිකාගෝවලට යන බවකි, අවසානයේදී දකිනුයේ. ඒ ඔහුට අවශ්‍ය පළිය ඔහු ගත් නිසා විය හැකිය.

චාර්ල්ස් බ්‍රොන්සන්ට අමතරව, හෝප් ලාන්ජ්, වින්සන්ට් ගාර්ඩනියර්, විලියම් රෙඩ් ෆීල්ඩ්, කැත්ලීන් ටොලන්, ක්‍රිස්ටෝපර් ගස්ට්, මෙහී අනෙක් ප්‍රධාන චරිතවලට සාර්ථකව පණ පෙවීය.

1974 නිර්මාණය වූ ‘ඩෙත් විෂ්’ හා 1982 දී නිර්මාණය වූ ⁣’ඩෙත් විෂ්’- 2, හා 1985 නිර්මාණය වූ ‘ඩෙත් විෂ් -3 යන චිත්‍රපට ත්‍රීත්වය ම අධ්‍යක්ෂණය කළේ මයිකල් විනර් ය. එහෙත් 1987 නිර්මාණය වූ ‘ඩෙත් විෂ් 4 – ‘ද ක්‍රැක් ඩවුන්’ අධ්‍යක්ෂණය කළේ ජේ.ලී.තොම්ප්සන් ය. 1994 දී තිරගත කළ ඩෙත් විෂ්’ ෆ්‍රැන්චැසියේ අවසන් චිත්‍රපටය වූ ‘ද ඩෙත් විෂ් -5′ -ද ෆේස් ඔෆ් ඩෙත්’ අධ්‍යක්ෂණය කළේ ‘ඇලන් ඒ ගෝල්ඩ්ස්ටේන්’ ය. කෙසේ හෝ අධ්‍යක්ෂක මයිකල් විනර් ගේ නිර්මාණ තුනම බොක්ස් ඔෆිස් ආදායම් ඉතාමත් ඉහළ වූ අතර, ඔහුගේ අධ්‍යක්ෂණයෙන් ගිලිහුණු අවසන් චිත්‍රපට දෙක ඉතාමත් අඩු ආදායම් ලැබීය.

මෙම ‘ඩෙත් විෂ්’ චිත්‍රපට පහේම තිබූ වි⁣ශේෂත්වය වනුයේ මෙහී ගලා ගිය ප්‍රධානතම චරිතය වූ ‘පෝල් කර්සෙ’ ලෙස රඟපෑවේ එකම නළුවා වීමය. ඒ ‘චාර්ල්ස් බ්‍රොන්සන්’ ය.

 

[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT